ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


සාලිය කුමාරයාගේ මාලිගාව දකින්න හැමෝටම වාසනාව නැහැ

සාලිය කුමාරයාගේ මාලිගාව දකින්න
හැමෝටම වාසනාව නැහැ

සාලිය - අශෝකමාලාගේ නෑසියෝ කියති

වලාපෙළට තුරුලු වී හිරු දෙවිඳුන් බටහිර අහසේ ගිලී යයි. ගුවන සිසාරා කුරුල්ලෝ රංචු ගැසී පියාඹති. උයන් කෙළියට මාලිගයෙන් නික්මුණු රාජ කුමාරයා ප්‍රතාපවත් ලීලාවෙන් අසු අරා අශෝක ‍උයන පසු කරද්දී උයන් කොනක මල් නෙළමින් සිටි තරුණියක රජ කුමරාගේ නෙත ගැටෙයි. උන්මාදන‍ීය ව‍ූ රූ සපුවකින් යුතු ඕ දුටු සැණින් කුමාරයාගේ සිත් වසඟ කරගත් ඒ හමුව සදාතනික ප්‍රේම වෘත්තාන්තයකට මුල පිරීය. සාලිය අශෝක මාලා ප්‍රේම වෘතාන්තය ඇරැඹෙන්නේ එතැන් සිට ය.

ක්‍රි.ප‍ූ. 161 සිට 137 දක්වා රට එක් සේසත් කරමින් අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සැඩොල් දුවක ආවාහ කරගත් නිසා අනුරාධපුර රජකම අහිමි වූ බව ඇතැමෙකුගේ මතයයි. සාලිය කුමරු උයන් කෙළියේ යද්දී අශෝක මාලා මල් නෙළමින් සිටින බවත් එහිදී කුමරු ඇය දුටු බවත් ජනප්‍රවාදයේ එයි. සැඩොල් කුලයේ තරුණියන්ගේ සිත් වසඟ කරගන්නා රූ සපුව නිසා ඔවුන්ට මඟ දෙපස මල් නෙළීමට අවසර තිබ‍ූ බව සඳහන් ය. එසේ මඟ දෙපස මල් නෙළමින් සිටි තරුණියට පෙම් බැඳි සාලිය කුමරාට රජකම අහිමිව‍ූ බව ඉතිහාසයේ සඳහන් වේ.

පියාගේ ඇවෑමෙන් රජකමට හිමිකම් කී සාලිය කුමාරයා අනුපම රූප කායෙන් යුතු අශෝක මාලා නම් චණ්ඩාල තරුණියක කෙරෙහි පෙම් බැඳ රාජ්‍ය සම්පත්තිය ප්‍රේමය උදෙසා පුද කළ බව මහාවංශය සඳහන් කරයි.

සාලිය කුමාරයා චණ්ඩාල තරුණියකට පෙම් බැඳීම ‍කෙරෙහි දුටුගැමුණු රජු දැක්වූ වි‍රෝධය හේතු කොටගෙන සාලිය අශෝක මාලා යුවළ ගල්ගමුව ප්‍රදේශයේ ගල්කිරියාගම කඳු වැටියෙහි මාලිගාවක් තනා එහි බොහෝ කාලයක් වාසය කළ බව ද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ගල්කිරියාගම කඳු වැටිය සෙසු කඳු වැටි අතුරින් විශාලතම කඳු වැටිය ද වෙයි.

ගල්කිරියාගල කඳු වැටිය අවට ඇති ලෝකුරුගම ඇතුළු තවත් කු‍ඩා ග්‍රාමයන්හි අශෝකමාලාගේ පරපුරෙන් පැවැත එන ඥාතීන් වෙසෙන බව ද සඳහන්වේ. සාලිය අශෝකමාලාගේ ප්‍රේමණීය ව‍‍ූ ඉතිහාස කතාවේ බොහෝ දේ සැඟවී ඇතැයි සඳහන් වන ගල්කිරියාගල කඳු මුදුනටත් ඇයගේ ඥාතීන් විසුවේ යැයි විශ්වාස කෙරෙන ලෝකුරුගමටත් පසුගිය දිනෙක අපි ගියෙමු.

කුරුණෑගලින් අනුරාධපුර පුත්තලම ඇල්ල පාරෙහි ගමන් ගන්නා විට හමුවන ගල්ගමුවෙන් ඇහැටුවැවටත් එතැනින් කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට හමුවන රැස්වෙහෙර ප්‍රදේශයෙන් ගල්වංගුවත් පසුකරමින් ගම්මැද්දට යනවිට හමුවන වෙල්යාය කෙළවර ඇති පටු මාවත ඔස්සේ ගමන් කරනවිට ලෝතුරුගල හමුවෙයි. වෙල්යාය ඉතා සුන්දරය. එහෙත් ලෝතුරුගම වැසියන්ට ඒ කුඹුරුවලට හිමිකම් නැත. සැබෑ සුන්දර ගමක සිරි උසුලන එහි වැසියෝ බොහෝමයක් අවුවැසි නොබලා තම කාර්යයෙහි යුහුසුලු වෙති.

මුල්කිරියාගම කඳු මුදුනින් හිරු නැ‍‍ෙඟමින් තිබිණි. ලෝතුරුගමට ගල්කිරියාගල කඳුමුදුන හොඳින් දිස් වෙයි. බෙහෙත් හේන් සොයාගෙන කඳු මුදුන බලා ඉබාගාතයේ යන ඇතැමෙකුට රාජමාලිගයේ නටබුන් දිස් වුව ද එය සෑම කෙනෙකුට ම දැක බලා ගැනීමට අවකාශය නැත. ගෝන මුව ඇතුළු සතා සීපාවුන් බහුල කඳු මුදුනේ අතරමං වූ සමහර ගැමියන් ද නැත්තේ නොවේ. ඇස ගැටෙන මානයෙන් ඔබ්බට යෑමට සමහර ගැමියන් මැලිවන්නේ ද මේ වනයෙහි නිදන් අරක්ගන්නා ලදැයි කියන නාගයන් වෙසෙතැයි ඇති දැඩි බිය නිසා ය.

සාලිය සහ අශෝකමාලා පිළිබඳව කෙතෙක් ජනප්‍රවාද තිබුණ ද සාලිය හා අශෝක මාලා යුවළත් සමඟ ලෝකුරුගම වැසියන්ට පැවැතියා‍ වූ ඥාතිත්වය පිළිබඳව මේ ගැමියෝ මහත් අභිමානයෙන් පසුවෙති. ලෝතුරුගම වෙසෙන රංගිරාගේ පේමියා ඒ ඉතිහාස කතාව මෙසේ සිහිපත් කළේ ය.

“අපි කුඩා කාලයේ නම් කඳු මුදුනට නැඟලා ති‍ෙයනවා. සාලිය අශෝකමාලාගේ මාළිගාව දකින්න හැම කෙනෙකුටම අවස්ථාව නැහැ. ඉබාගාතේ යන සමහරුන්ට දකින්න ලැබුණට හැමොටම මාලිගාව දකින්න පින නැහැ.‍ ඒක හාස්කමක්. සාලිය කුමාරයා මේ ප්‍රදේශයේ කුඹුරු වපුරන්න වැව් හාරසීයක් කරවලා තියනවා. ඒත් අපි කාටවත් කුඹුරු නැහැ. දැන් අපේ දරුවෝ හොඳටම ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරනවා. ගමෙන් ගිහින් පිට පළාත්වල ජීවත් වෙනවා.”යැයි ලෝතුරුගම වැසියෝ කියති.

ඇතැම් වැසියෝ තවමත් කොහු ඉඳල් කර්මාන්තයේ සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයේ නියැළෙති. ඇහැටුවැව මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා පාසලට නොගිය කෙනෙක් අද වනවිට ගමේ නොමැති තරම් ය. ගමේ සිට ගල්කිරියාගල කඳු මුදුනට බොහෝ දුර යා යුතු ය. ගල්වංගුව, මාඑළිය, ගනන්ගමුව යන ගම්මාන ගල්කිරියාගල කඳු පාමුල ඇති ගම්මාන වන අතර මේ ගම්වල සියලු වැසියෝ අශෝක මාලාට නෑකම් කියන්නෝ ද වෙති.

කුරුණෑගලින් පුත්තලම ඇල්ල මාර්ගයේ අනුරාධපුරය දෙසට ගමන් ගන්නා විට හමුවන ගල්ගමුව නගරයෙන් මොරගොල්ලාගම මාර්ගයේ සිට කිලෝමීටර් විසි දෙකක දුරින් ගල්කිරියාගල සාලිය ආරණ්‍ය සේනාසනය මුණ ගැසෙයි. ගල්කිරියාගල කඳු මුදුනට යන ගමන ඉතා දුෂ්කර වුව ද කඳු මුදුනට යෑමට හැකි පහසු ම මාර්ගය ද සාලිය ආරණ්‍ය සේනාසනයේ අසලින් ඇති මාර්ගයයි.

සාලිය ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ විතාරණගම සුමේධ හිමියෝ ද කඳුමුදුනට යන දුෂ්කර ගමනට අප හා එක්වූ හ.

සාලිය සහ අශෝක මාලා පිළිබඳ ඉතිහාස කතාව පිළිබඳ ජනප්‍රවාදයේ සහ පතපොතෙහි ඇති බොහෝ දේ ඒ යන ගමනේදී උන්වහන්සේ අප හා පැවැසූහ.

සාලිය කුමාරයා උපන් දිනයේ දී පෙර පින් මහිමයෙන් සාලිය නම් වූ වී වැස්සක් වැටුණු නිසා සාලිය නම් ‍තැබූ බව කියැවෙනවා. පෙර භවයකදී තම මවට සැඩොලිය යනුවෙන් බැණ වැදීමේ අකුසල කර්මය නිසා අශෝක මාලා සැඩොල් කුලයේ උපන් බවත් එසේ ම බණ අසා සාධුකාර දුන් නිසා කාන්තිමත්ව උපන් හෙයින් අශෝකමාලිනී ලෙස නම් ලද බවත් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා.

රාජවංශිකයන්ගේ විරෝධතාවය නිසා සාලිය අශෝකමාලා ගල්කිරියාගල කඳු මුදුනේ මාලිගයක් තනා ගෙන ඇය සමඟ එහි ජීවත් වූ බව පැවැසෙනවා. එහි සාලිය කුමරුට මුතුමැණික් රන් පිරවූ ගැල් දොළොසක් දුටුගැමුණු රජු විසින් ඉන්පසුව එවා ඇති අතර එම ගැල් සාලියගමට ආසන්න ප්‍රදේශයක දී ‍මඩේ එරී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.”

සාලිය කුමරු රජකුමාරයකු වශයෙන් තිබූ සතුරු උවදුරු නිසා ගල්කිරියාගල කඳු මුදුනේ සිට උමං මාර්ගයකින් අනුරාධපුරයට ආගිය බවත් ඔවුන්ට දිය නෑම පිණිස තැනූ පොකුණ ඉරහඳ නොපෙනෙන පොකුණ නමින් හඳුන්වා ඇති බවත් ජනප්‍රවාදයේ පවතී.

සාලිය කුමරු පලතුරු උයනක් ද නා උයනක් ද සාදා තිබූ බවට ද සාධක තිබෙන අතර මාගල රාජමහා විහාරයේ සිට නිකවැව කන්ද දක්වා නිදන් තැන්පත්කර ඇති අතර එදා මෙදා තුර ඒ නිදන් ආරක්ෂා කළ විශාල නාගයකු නිදන් තැන්පත්කර ඇති අතර එදා මෙදාතුර ඒ නිදන් ආරක්ෂා කළ විශාල නාගයකු සිටින බව ද උමං මාර්ගයේ ඇති මැණික් ඔබ්බන ලද රන් අසුන ආරක්ෂා කිරීමට ද නාගයන් දෙදෙනෙකු සිටින බව ද සුමේධ හිමියෝ පවසති. සාලිය කුමරු ප්‍රාදේශීය ආදිපාදවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ කලාවැවත් දැදුරුඔයත් අතර ප්‍රදේශ වට කොට තැනවූ විශාල ප්‍රාකාර හා දිය අගල්වල නටබුන් වර්තමානයේද දක්නට ඇති බව ද උන්වහන්සේ පැවැසූහ.

ප්‍රදේශයේ ඇතැම් ගැමියන්ට නිදන් අරක් ගත් නාගයන් දර්ශනය වී ඇත්තා සේ ම මීට වසර ගණනාවකට පෙර උමං සොයාගිය පිරිසකට එදා මෙදා තුර උමං මගේ අතරමැද පැහෙන කැකිරි ඇඹුල දර්ශනය වී ඇති බවද උන්වහන්සේ පැවැසූහ.

ගල්කිරියාගල කඳු මුදුනට යන දුෂ්කර ගමනේදී මුලින් ම මුණ ගැසෙන ඉපැරැණි ගල්කටාරමක තැනූ බුදු මැදුරෙහි ගල් බිත්තිවල කෙටූ සාලිය අශෝකමාලාගේ සිතුවම් රැසකි. අනතුරුව දක්නට ලැබෙනුයේ සාලිය කුමරුට මුල්වරට අශෝක මාලා මුණ ගැසුණේ යැයි සඳහන් අශෝක උයනයි‍. අති පැරැණි මහා රූස්ස ගස්වල කඳන් පමණක් සුරක්ෂිතව ශේෂ වී ඇතත් මල් උයනක් තිබූ බව කියා පාමින් එහි අතරින් පතර විශාල අරලියා ගස් කිහිපයක් ඉතිරිවී ඇත. එතැන් සිට කිලෝමීටර් හතරක් ඇතුළත වනයෙහි මාලිගයේ නටබුන් සහ පලතුරු උයන, ලංකා පොකුණ, මහා ගල්ලෙන්, ඉරහඳ නොපෙනෙන පොකුණ සහ උමගය පිහිටා ඇත.

ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ පමණ කෙටූ ගල්කටාරම් රැසක් ද ඒ යන මඟ දෙපස දකින්නට ලැබිණ. සාලිය අශෝක මාලා විසූ බව කියැවෙන මාලිගය දැකීමේ අවකාශය අපට ද නොලැබිණි.

කෙසේ වෙතත් මහා ගාලේවැව සහ කු‍ඩා ගාලේ වැව ඇතුළු විශාල වැව් අමුණු රැසක් සාලිය කුමරු විසින් තැනූ බවට සාධක හෙළිවී ඇති බවත් සාලිය කුමරු තනන ලද වැව් ආශ්‍රිත බිසෝ කොටු තුනක් ද මහා ගාලෙ වැවේ සිට මීඔය හරහා පුත්තලම දක්වා ගමන් ගන්නා ජල ව්‍යාපෘතියක් ද තිබී ඇති බවත් ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිදරව් වී තිබේ.

සාලිය කුමරු ප්‍රාදේශීය රාජ්‍ය නායකයකු ලෙස එම ප්‍රදේශවලට කරන ලද සේවය විශාලය. සාලිය කුමරු ඉතා දැහැමි පාලකයකු බව ද බවුන් වැඩීමෙහි බෙහෙවින් ප්‍රිය කළ බවද ඉතිහාසයේ සඳහන් වන අතර සාලිය අශෝක මාලාගේ සොහොන් කොත් වෙහෙරවැව අසල නිදන් කර ඇති බව ද සුමේධ හිමියෝ පැවැසූහ.

සාලිය කුමරුට රජ පදවිය නොලැබුණේ අශෝක මාලා අවාහ කරගැනීම නිසා ය යන කියමන පිළිබඳව ඇතැම් ඉතිහාසඥයෝ සැක පහළ කරති. එයට ප්‍රධාන හේතුව පෙන්වන්නේ රාජ උරුමය ගැන සලකා බලද්දී වැඩිමහල් සහෝදරයාගෙන් පසු ඊළඟට රජකම හිමිවන්නේ ඊළඟ සහෝදරයාට වීම ය. බාල සහෝදරයකු නොමැති විටදී පමණක් වැඩිමහල් රජ‍ුගේ පුතුට රාජ උරුමය හිමිවේ. ඒ අනුව රජකම හිමිවිය යුත්තේ සාලියට නොව දුටුගැමුණු රජුගේ සහෝදරයා වූ තිස්සට ය. ඒ අනුව අශෝක මාලා සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද පිළිබඳ සැකමතුවේ. ඇය කුලීන කාන්තාවක නොවන බව ද ඇතැම්හු පවසති. තවද සැඩොල් කුලයේ කාන්තාවක වූ අශෝකමාලාට දුටුගැමුණු රජ තදින් ම විරෝධය පෑව ද පසුව අශෝක මාලාගේ රූ සපුව දුටු කළ ඇගේ රූපසම්පන්තියට වශී වූ දුටුගැමුණු රජතුමා ඇය විවාහ කර ගැනීම සම්බන්ධයෙන් සාලිය කුමරු අනුවණ ක්‍රියාවක් කර නැතැයි පැවැසූ බව පැරැණි ග්‍රන්ථවල සඳහන් වන බව ද සුමේධ හිමියෝ පවසති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්