ආර්ථික සංවර්ධනය නාමයෙන් ‘ගැමි දිරිය’ අනාථ කිරීම!
ආර්ථික සංවර්ධනය නාමයෙන්
‘ගැමි දිරිය’
අනාථ කිරීම!
සහභාගිත්ව සංවර්ධනයේ ඉහළ මට්ටම වූ ප්‍රජා පාලිත සංවර්ධන ප්‍රවේශයක් හරහා
2004 වර්ෂයේදී ඇරැඹුණු ගැමිදිරිය ව්‍යාපෘතිය විවිධ සංවර්ධන
වැඩසටහන්වලින් අතරමං වී සිටි ගමේ ප්‍රජාව ඉතා කැමැත්තෙන් වැලඳ ගත්තේ එහි වූ
දැක්ම සහ හරය පිළිබඳව පූර්ණ විශ්වාසයක් තබමිනි.
එමෙන් ම ගමට රාජ්‍ය මුදල්
සකසුරුවම් ලෙස කළමනාකරණය කරමින් ගමේ සියලු දෙනා සහභාගි කරගනිමින්
ප්‍රජාවගේ ද මූල්‍ය හා ශ්‍රම දායකත්වය දරමින් ගම තුළ තිරසාර සංවර්ධන
ක්‍රියාවලියක් එමඟින් ගොඩ නඟන ලදී. ගමක සියලු දෙනා සහභාගි වන පරිදි
බහුතරයක් නිලතල බෙදී ගිය ගමේ සංවිධානයක් ඇත්නම් එය ගැමිදිරිය යි.
මේ සමාගමේ තිරසාර පැවැත්ම උදෙසා ම යෝග්‍යතම නෛතික ස්වභාවය පිළිබඳව සලකා බලා
සියලු දෙනාගේ ඒකමතික තීරණයෙන් සමාගම් පනත යටතේ ‘ගැමිදිරිය’ ලියාපදිංචි
කරනු ලැබිණි.
සමුපකාර පනත යටතේ ලියාපදිංචිය සිදු වූයේ නම් රජයට මේ
ව්‍යාපෘතිය සඳහා කළ හැකි බලපෑම් ප්‍රබල වුවත් සමාගම් පනත යටතේ ලියාපදිංචි වීම
තුළ බලපෑම් අවම වන බව පැහැදිලි කරන එවකට ක්‍රියාත්මක වූ පාලන අධිකාරිය මේ
ව්‍යාපෘතිය පළමු අදියරේදී සද්භාවයෙන් යුතුව කටයුතු කළ බව ඉතා පැහැදිලි ය.
එයට හේතුව රාජ්‍ය යාන්ත්‍රණය මේ සඳහා කළ බලපෑම ඉතා අල්ප වීම ය.
දිවිනැඟුම
එහෙත් මේ ව්‍යාපෘතියට කණ කොකා හැඬීම ඇරැඹුණේ වතු යටිතල පහසුකම් සංවර්ධනය
කිරීමේ අමාත්‍යාංශය යටතේ මුලින් ම ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළ 2012 වසරේදී
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් අනතුරුව බව එම ව්‍යාපෘතියට
බිම් මට්ටමින් සහභාගි වූ ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2014 දක්වා එහි සේවය කොට දැනට
රැකියාව අහිමි වී සිටින පිරිසගේ අදහස යි.
ශ්‍රී ලංකා සිතියමෙන් දුප්පත් ගම්මාන
ඉවත් කිරීමට ග්‍රාමීය මට්ටමේ සිට සහයෝගය දුන් විශාල නිලධාරීන් සංඛ්‍යාවකගේ
රැකියා හිටි හැටියේ ම සහාසික ලෙස අහිමි කොට ව්‍යාපෘති කාල රාමුව අවසන් කරමින්
වසා දැමීම තුළ ඔවුහු ඉතා ඛේදජනක ඉරණමකට වර්තමානයේ පත්වී සිටිති.
දිවි නැඟුම ව්‍යාපෘතිය සමඟ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ කොට ලියාපදිංචි කිරීමට
සැලැසුම් කර ඇති බව මෙහි සේවය කළ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන්
පාලන අධිකාරියෙන් විමසූ විට 2014 ඔක්තෝබරයේ සිට 2015 මාර්තු දක්වා මේ
වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද බවයි.
ඉරණම
ඒ අතර කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඉතා විශාල පිරිසකගේ රැකියා අහිමි
කරමින්, 2014 සැප්තැම්බර් මස 30 වැනිදා මෙහි දෙවැනි අදියර අවසන් කරන බව
ව්‍යාපෘති නිලධාරීන් විසින් සේවකයන්ට දැනුම් දෙන ලදී.
මේ අනුව අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබූ මේ ව්‍යාපෘතිය
අදියර දෙක අවසානයේ තුන්වන අදියරක් පිළිබඳව මහත් බලාපොරොත්තු සහගතව සිටි
සියලු රාජකාරි හා පෞද්ගලික කටයුතු සැලසුම් කළ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය මේ
වනවිට රැකියා අහිමි වීම හේතුවෙන් දැඩි අසීරුතාවන් රැසකට මුහුණපා සිටිති.
2004 වර්ෂයේ ආරම්භ කරන ලද ගැමිදිරිය ව්‍යාපෘතිය දිස්ත්‍රික් 11 ක ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාස 120 ක ග්‍රාම නිලධාරි වසම් 1498 ක නිවාස ඒකක 416965 ක් ආවරණය
කරමින් ප්‍රතිලාභීන් 1746458 ක් සඳහා ක්‍රියාත්මක වී තිබේ. මේ අනුව වතු
ග්‍රාමීය සංවිධාන 175 ක් සහිත ව මුළු ග්‍රාමීය සංවිධාන 2044 ක් පිහිටුවා ඇත. මේ
සඳහා පසුගිය රජය විසින් ආයෝජනය කළ මුදල රු. මිලියන 1147.22 කි.
අන්තර් ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය සභා නඟා සිටුවීමේ ව්‍යාපෘති
සඳහා එක ප්‍රාදේශීය සභාවකට මිලියන 210 ක මුදලක් ද ආයෝජනය කරන ලද අතර,
ප්‍රාදේශීය සභා 10 ක එම ව්‍යාපෘතිය නිම කර තිබේ. මුල් ව්‍යාපෘති ආරම්භයේ
ගැමිදිරිය ජනතා සමාගම් ලෙස ක්‍රියාත්මක වූ සංවිධාන ආර්ථික සංවර්ධන
අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2011 වසර ඇරැඹුමේ දී ග්‍රාමීය සංවර්ධන බවට පත්
කරමින් පැවැති රජයේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීමට ද ප්‍රබල දායකත්වයක් ද
සපයා තිබියදී විශාල පිරිසකගේ රැකියා අහිමි කරමින් අතරමැද නතර කර දමන්නට විය.
කිසිවිටකත් පවතින දෙයක් විනාශ කොට අලුත් දෙයක් ගොඩ නොනඟන බවට හිටපු
ජනාධිපතිවරයා දුන් පොරොන්දු සත්‍ය දැයි මැන බැලීමට මෙය මහඟු අවස්ථාවක් බව ද
පැවැති රජය යටතේ කළ බොහෝ ව්‍යාපෘති අටුව කඩා පුටුව තැනීමක් බව ද එම
ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලැබුවේ ඉතා සුළු පිරිසක් බව ද රැකියා අහිමි වූ
ගැමිදිරිය කාර්යය මණ්ඩලය පවසයි.
මෙනයින් ග්‍රාමීය දිළිඳු ජනතාවගේ දිරියෙන් ගොඩනැඟුණු ගැමිදිරිය
ව්‍යාපෘතියට අද පත්වී ඇති ඉරණම ඉතා ශෝචනීය ය.
ග්‍රාමීය ජනතාව තුළ තිබුණා වූ සාමූහිකත්වය, සමගිය, සමාදානය, ශක්තිය එක්තැන්
කොට ගැමියා විසින් ම ගොඩනඟාගත් ග්‍රාමීය මට්ටමේ සංවිධාන ව්‍යුහය කඩා බිඳ
දමමින් එතැනට දේශපාලන අධිකාරිය අතගැහීමෙන් එය සුළුතරයකගේ වුවමනා එපා
කම් ඉටු කරගනු පිණිස පෑදුණු ඉල්ලමක් බවට පරිවර්තනයවීම තුළ ඉතිහාසයේ පටන්
ග්‍රාමීය ජනතාවගේ අතර තිබුණු සාමූහික සංවිධානය විනාශ කිරීමට උත්සාහ කර තිබේ.
ගම් බිම් සංවර්ධනය සඳහා ව්‍යාපෘති රාශියක් ඉතිහාසයේ සිට පැවැති රජයක් විසින්
ගෙන එනු ලැබිණ.
වගකීම්
ඒ අතර ජනසවිය, සමෘද්ධිය, ගම නැඟුම, දිවි නැඟුම වැනි ව්‍යාපෘති රැසකි. එයින් මහා
පරිමාණ වැඩපිළිවෙළක් ලෙස ඇරැඹි ගම නැඟුම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අතර
ප්‍රමුඛස්ථානය ගනිමින් නව ජවයකින් ඉදිරියට පැමිණියේ ය. ප්‍රජාවට වගකීම්
පවරා දීමේ ව්‍යාපෘතියකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම එනම් ප්‍රජා පාලිත
ග්‍රාම සංවර්ධනය ඇති කිරීම මෙහි අරමුණ වී ය.
ජාති ආගම් කුල මල භේද නොමැතිව ගමේ සියල්ල සහභාගිවීම, දුප්පතුන්ට කාන්තාවන්ට
තරුණ පරපුරට ප්‍රමුඛතාව ලබාදීම, විනිවිද භාවය, වගකීම පිරිවැය බෙදාදීම මෙහි
අරමුණයි. වගකීම් පිරිවැය 30% ක් ප්‍රජාවගේ ද 20% ශ්‍රමදායකත්වය ද 10%
මුදලක් යටතේ ගැමිදිරිය ව්‍යාපෘතියට ජනතාවගේ සහභාගිත්වය ලැබේ.
කාන්තාවන්
සත් දෙනකුගෙන් යුතු සංවිධාන ගම පුරා ව්‍යාප්ත වෙමින් දිනකට රුපියලක් එක්
කාන්තාවක විසින් එකතු කළ යුතු විය යුතු අතර මේ රුපියල මහා ධනයක් වී අවසානයේ එය
කෝටි පන්සියයක් හයසියයක් පමණ විය. අනෙකුත් වත්කම් සියල්ල ද රුපියල් කෝටි දහයේ
සිට පහළොව දක්වා එකතු වී ඇත.
එමඟින් ග්‍රාමීය ජනතාව විසින් තමන්ගේ සාමාජිකයන්ගේ විපතකදී ඉතා විශාල මුදලක්
ලබාදීමට සමත් වූ බැව් පෙනේ. සමාගම් පනතේ ලියාපදිංචිය තිබූ නිසා එහි මුදල්
කිසිවකුටත් අනිසි ලෙස සෙලවිය නොහැකි විය.
සමාගම් පනතෙන් මේ ව්‍යාපෘතිය ඉවත් කිරීම මෙහි මුදල් සෙලවීමට කළ උත්සාහයේ
මූලාරම්භය විය. ගැමිදිරිය ව්‍යාපෘතියේ රැකියා අහිමි වූවන්ගේ සංවිධානය සඳහන්
කරන ආකාරයට ගැමිදිරිය ව්‍යාපෘතිය අදාළ පාර්ශ්වයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ
ලබාගනිමින් එය ස්වේච්ඡා සංවිධානයක් බවට ලියාපදිංචි කිරීම ට උත්සාහ කිරීම
එහි මුල් පියවර වූ බව. ගැමිදිරිය සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි. එතැනින්
එහාට ගැමිදිරිය පුපුරා යෑමේ මූලික පියවර මතු විය.
මෙතුවක් වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය යටතේ පැවැති මේ
ව්‍යාපෘතිය අවසානයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගැනීම සිදු විය.
ග්‍රාමීය ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් මහා ධනස්කන්ධයට අත්වූ ඉරණම ලඝුකොට
සැලැකිය නොහැකි බව ගැමිදිරිය ව්‍යාපෘතිය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය පවසයි.
මේ සඳහා ගැමිදිරිය සුරැකීමේ සංවිධානය ලෙස ඔවුන් පසුගිය රජයේ බලධාරින්ගෙන්
විමසු විට ‘ඉහළින් ගනු ලබන තීන්දු’ යැයි පවසමින් ඔවුන් ඇඟ බේරාගැනීමේ
පිළිවෙතක් අනුගමනය කොට ඇති බව ඔවුහු සඳහන් කරති.
1948 නිදහසින් පසුව ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වගකීම රජය විසින් ඍජුවම
උසුලනු ලැබුව ද 1948 ට පෙර මෙරට ගැමියා විසින් සංවිධානය කර ගත් යම් යම් ග්‍රාමීය
සංවිධාන මඟින් ගමේ සමඟිය සමාදාන සහයෝගය පදනම් කරගෙන ගම සංවර්ධනය කිරීම ද
සිදු විය.
එය ‘රුපියලෙන් රුපියලේ ඉතිරිය’ ලෙස විධිමත් වැඩපිළිවෙළකට
පැමිණිමට පෙරාතුවම නිවෙසේ මව විසින් පිසින්නට පෙර සහල් මිටක් නැළියෙන් ඉවත්
කොට සුරක්ෂිතව තබා ගැනීමේ සංස්කෘතියක් ගමේ පැවැතිණ. ඒ ඉතිරිය විධිමත්
කරමින් රුපියලේ ඉතිරිය මහා ධනස්කන්ධයක් වූ මුදල් පිළිබඳව හඬක් නැඟුමට
පසුගිය කාලයේ ඉඩක් නොතිබුණ බව ග්‍රාමීය ජනතාව පවසති.
ග්‍රාමීය සංවර්ධනය
අනෙක් අතට ගැමිදිරිය ව්‍යාපෘතිය 2018 දක්වා සැලසුම් කර තිබි හෙයින් එහි සේවයට
බඳවා ගත් සියලු බිම් මට්ටමේ නිලධාරීන් අද රැකියා විරහිත වී අන්ත අසරණ වී ඇත. ඒ
හරහා ඔවුන් ලබාගත් බැංකු ණය පියවිය නොහැකි වීම, වයස් සීමා ඉක්මවා ඇති හෙයින්
රැකියාවකට යළිත් සම්බන්ධ වීමේ නොහැකියාව බැහැර කළ නොහැකි කරුණුය. තතු මෙසේ
පවතිද්දී 2014. 09. 30 දින ජනාධිපති මාධ්‍ය ඒකකය රූපවාහිනියට දෙන ලද
ප්‍රකාශනයක් මඟින් ගැමිදිරිය කාර්යය මණ්ඩලය දිවි නැඟුම දෙපාර්තමේන්තුවට
අනුයුක්ත කරන බව පවසා ඇතත් ඒ පිළිබඳ කිසිඳු නිල දැනුම් දීමක් එහි සාමාජිකයන්ට
ලබා දී නැත.
ග්‍රාමීය සංවිධානවල ඉදිරි පැවැත්ම නෛතික ස්වභාවය අනුව ගමේ බැංකුවට (VSCO)
කුමක් වේ ද? එය දිවි නැඟුමට අත්කර ගෙන ද? කුඩා කණ්ඩායම්වලට අත් වන ඉරණම කුමක්
ද? උප ව්‍යාපෘති සඳහා කුමක් සිදු වේ ද යන ප්‍රශ්න ඉතිරි කරමින්. ගැමියා ආදරයෙන්
ගොඩනැගූ ‘ගැමි දිරිය’ නිහඬ වී ඇති බව නම් ඉතා පැහැදිලිය.
සුභද්‍රා දේශප්‍රිය
|