රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මනාලියන් දහස් ගණන් ඇන්දුවට මට මනාලියක් නැහැ

මනාලියන් දහස් ගණන් ඇන්දුවට මට මනාලියක් නැහැ

හැරිස් විජේසිංහ

වර්ෂ 1944 ක් වූ උඳුවප් මස 30 දා විජේසිංහ පවුලට දාව හරිස්චන්ද්‍ර විජේසිංහ ලෙස මෙලොව එළිය දුටු ඔහු මතු දිනෙක මෙරට හැඩ වැඩ කලාවේ නොමැකෙන සලකුණක් වනු ඇති බවට කිසිවෙකු නොසිතන්නට ඇත.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කාන්තාවන්ට පමණක් ආවේණික වූ සමයක හැඩ වැඩ කලාවට පිවිසි ඔහු දශක හතරක කලක් මුළුල්ලේ මෙරට රූපලාවණ්‍ය කලාවේ සුවිශේෂි වෙනස් කම් රැසකට පුරෝගාමියා වෙමින් අදටත් නිහඩ මෙහෙවර ‍යෙදෙයි. ඔහුගෙන් ලද ඒ සුවිශේෂි වූ මෙහෙවර නිසාම මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී ආදරණීය තාත්තා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහු හැරිස් විජේසිංහ ලෙස මුළු රටම හඳුනනවා යැයි සිතමි.

හරිස්චන්ද්‍ර විජේසිංහ නම් වු ඔබ හැරිස් විජේසිංහ ලෙස වෙනස් වීමට ඉවහල් වූ හේතු සාධක මොනවාද ?

මගේ පෙර පාසල වුණේ බම්බලපිටියේ ශුද්ධවු පවුලේ කන්‍යාරාමයයි. එකල එහි සිප් සතර කියා දුන්නේ අයර්ලන්ත ජාතික කන්‍යා සොහොයුරියන්. ඉතින් හරිස්චන්ද්‍ර කියන නම උච්චාරණය කිරීම ඔවුන්ගේ මුවට හරිම නුහුරුයි. ඒ නිසා නිවෙසින් මට ලැබුණු උපදෙස තමයි මගේ නම පාසලේදී හරිෂ් යනුවෙන් භාවිත කරන ලෙස. නමුත් කන්‍යා සොහොයුරියෝ ඒ නම උච්චාරණය කළේ හැරිස් යනුවෙන්. ඉතින් ඔහෝම කල් ගත වෙද්දී හැමෝම හිතුවා මගේ නම හැරිස් කියලා.

මා ඔබ හැඳින්විය යුත්තේ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු ලෙසද නැතහොත් රූපලාවණ්‍ය ශිල්පියකු ලෙසද?

එය මට හරි හැටි අර්ථ දක්වන්න අපහසුයි. මෝස්තර නිර්මාණකරණය සහ රූපලාවණ්‍ය යන මේ අංශ දෙකටම මගේ එක හා සමාන උනන්දුව තිබුණා. කොහොමටත් ඒ ආභාසය කුඩා කල සිටම මගේ පවුල් පසුබිමෙන් උරුම වූ දෙයක් විය හැකියි. මගේ මව් පාර්ශ්වයේ උදවිය බටහිර පන්නෙට බොහොම නැඹුරුවක් දැක්වූ අය. ඔවුන් නවීන විලාසිතා ගැන බොහොම උද්‍යෝගිමත්. මගේ සීයා පවා හැන්දැවට ටයි පටිය පළඳින්නේ නැතුව එළියට ආවේ නැහැ. මේ කලාවට හිත ගියාට මගේ අනෙකුත් සිතුම් පැතුම් සියල්ල බද්ධ වී තිබුණේ මගේ ගමත් එක්කයි. ආගම සහ සංස්කෘතියට මාගේ තිබෙන මේ නැඹුරුව මට උරුම වුණේ ගැමි පරිසරයෙන්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඔබේ ප්‍රවිෂ්ට වීම සිදු වන්නේ ඒ පිළිබඳ කිසිඳු වෘත්තීමය සුදුසුකමක් නොමැතිව කීවොත් මා නිවැරැදියි?

මේ කලාවට මගේ තිබුණු කැමැත්ත සහ උද්යෝගිමත් භාවය තමයි මේ ක්ෂේත්‍රයට පිවිසීමට මට තිබුණු එකම සහ හොඳම සුදුසු කම. ඒ කැමැත්ත පෙර කිවූ පරිදි මගේ පවුලෙ ආභාසයෙන් ලැබුණත් ඔවුන් මම මේ ක්ෂේත්‍රය තෝර ගන්නවාට කිසිම රුචිකත්වයක් දැක් වූයේ නැහැ. ඔවුන්ට වුවමනා කළේ පවුලේ අනෙක් සමාජිකයන් සේ පෙරකදෝරුවෙක්, ඉන්ජිනේරුවෙක්, මිනින්දෝරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්නයි. නමුත් මට මගේ පාසල් කාලය එතරම් සුන්දර වුණේ නැහැ. ඒ වෙනුවට මගේ හිත ගියේ මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් වගේ ගේ දොර වැඩ සඳහා. නමුත් අවම වශයෙන් අ.පො.ස. සා පෙළ හෝ සමත් වි පාසලෙන් බැහැර වෙන්නයි මට වුවමනා කළේ. ඒත් ඉතින් ඒ විභාගයෙන් මම අසමත් වුණා.

රූපලාවණ්‍යට මෙතරම් ඇලුම් කළ ඔබ මුල්ම රැකියාව ලෙස වෙනත් ක්ෂේත්‍රයකට සම්බන්ධ වන්නේ ඇයි?

මම හරීම කැමැතියි කෑම හදන්න. කෑම ඇණවුම් බාර ගෙන හදපු කාලෙකුත් තිබුණා.ඉතින් මගේ මේ තිබුණු දක්ෂතාව හඳුනා ගත්තේ බාප්පා. ඉන් පසු ඔහුගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස මහා හෝටලයේ පුහුණු සූපවේදියක් ලෙස රැකියාව කරන්න මට අවස්ථාව සැලසෙනවා. ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සූපශාස්ත්‍රයක ගැන හොද අධ්‍යයනයක යෙදෙන්නත් මට හැකි වුණා.

වරක් මගේ මාමා කෙනෙකුගේ නිවෙසෙහි පැවැත්වූ සාදයකදී කෑම බිම පිළියෙල වුණේ මා අතින්. ඉතින් සාදයට පැමිණි මහාචාර්යවරයෙක්ට මාව හඳුන්ව දුන් මාමා කිව්වේ “මෙයාට ගෑනියෙක් වගේ හරි හරියට කෑම හදන්න පුළුවන් කියලා. ඒත් එදා ඒ මහාචාර්යවරයාගෙන් ඊට හොඳ පිළිතුරක් ලැබුණා ඒ “ලෝ ප්‍රකට සූපවේදීන් ලෙස වැජඹෙන්නේ පිරිමින් තමයි” යන්න. මේ සියල්ල අතරෙත් මගේ හිතේ ඇල්ම තිබුණේ කෝණ්ඩා මෝස්තර, මේකප් කිරීම සහ ඇඳුම් මොස්තර නිර්මාණකරණයටයි.

එකල කාන්තාවන්ගේ තෝතැන්නක්වු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පා තැබීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මගේ මතය නම් ගැහැනියකගේ සැබැ ලස්සන සැබෑ අයුරින්ම දකින්නේ පිරිමියෙක් පමණයි. ඉතින් කවුරු මොනවා කිව්වත් මම හැමදාම ක්‍රියාත්මක කළේ මගේ දේ. අනික ඒ කාලේ හිටියේ බොහොම අතළොස්සයි. ඒ තුළ මට කවදාවත් තරඟකාරිත්වයක් තිබුණේ නැහැ. තරඟකාරිත්වයක් ඇති කර ගන්න මට වුවමනා කළේත් නැහැ.

ඔබ අතින් හැඩවු මුල්ම මනාලියගේ මතකය යළි ආවර්ජනය කළ හැකිද?

මේ කලාවට පිවිසිලා ටිකෙන් ටික වැඩ කරගෙන යද්දි මගේ දක්ෂතා පිළිබඳ පවුලේ අය අතර වගේම ඉන් පිටත් ජනප්‍රිය වුණා. ඉතින් ඔය අතරේ 1972 එක් දිනෙක එක්තරා තරුණියක් ඇවිත් මගෙන් අහනවා ඇගේ මංගල දිනයේදී ඇයව මනාලියක් ලෙස හැඩ කරන්න පුළුවනිද කියලා. ඉතින් මම බොහොම කැමැත්තෙන් එය බාර ගෙන ඇයව මනාලියක් ලෙස හැඩ කළා. ඇය තමයි මංගලිකා විරසේකර. මා අතින් හැඩ වූ මුල්ම මනාලිය.

ඇගෙන් ලද ප්‍රතිචාර ඔබට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ?

ඇය කොතරම් සතුටු වුණාද කිව්වොත් ඇගේ දෙවැනි දිනයේ හැඩ ගන්වන්න කියලා මාව රත්නපුරේට එක්කර ගෙන ගියා. ඇයව දුටු බොහො දෙනා මගේ දක්ෂතා අගය කළා. ඊට පස්සේ තව කෙනෙක් ආවා. ඔහොම ඔහොම තමයි මනාලියන් හැඩ ගැන්වීම් පටන් ගත්තේ.

මෙරට රූපලාවණ්‍ය කලාවට ඔබ දායාද කළ දෑ බොහෝයි ?

මම සෑම විටම අත්හදා බලමින් ඉගෙන ගත් කෙනෙක්. මම මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමේදි අපේ රටේ මනාලියන් හැඩ වුණේ සුදු පැහැයෙන් පමණයි. නමුත් ඒ රටාවෙන් මිදිලා අපේ සමට සුදු පැහැයට වඩා බිස්කට් වර්ණය සහ අයිවරි වැනි වර්ණ හොඳින් ගැළපෙනවා යන්න නිතර මට වද දුන් කරුණක් වුණා.

ඒ පිළිබඳ අත්හදා බැලීමකින් පසුව ලාංකේය සමට ඒ වර්ණ හොඳින් ගැළපෙන බවයි මගේ නිගමනය වුණේ.ඉතින් මගේ මනාලියන්ට මම ඒ වෙනස කළා. ඒ වෙනස අද වන විට මුළු රටම පිළි ගෙන තිබෙනවා. මේකප් කිරීමේදි පවා තවත් සුවිශේෂි ක්‍රමයක් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න මට හැකි වුණා. මගේ අත්හදා බැලිම් වලදි මා දුටු අනෙක් කරුණ, අපේ සමෙහි කහ වර්ණයක් මිශ්‍රවි තිබෙන බව. එක‍ල මේ වර්ණය ගැන කිසිවෙක් දැන සිටියේ නැහැ.

ඉතින් මට අවශ්‍ය වුණා එය ඉස්මතු කර පෙන්වන්න. ආහාර වර්ණ සංයෝජනය ගැනත් දැනුමක් තිබුණු නිසා මේකප් වර්ගය සමඟ බිත්තර කහ මදයේ වර්ණය යොදා ගෙන මෙම අත්හදා බැලීම කරන්න මට අවශ්‍ය වුණා. අපි කෑමට ගන්න දෙයක් කවදාවත් මුහුණේ ගෑවට නරකක් වෙන්නේ නැති නිසා එය භාවිත කිරිමේදී බියක් දැනුණේ නැහැ. අන්තිමේදි මගේ උත්සාහය කොතරම් සාර්ථක වුණාද කිවවොත් මේ අලුත් වෙනස එකල හැමෝගේම අවධානය දිනා ගෙන කතා බහට ලක් වෙන කරුණක් වුණා. බොහෝ දෙනා එය හැරිස්ට ආවේණිකවූ හැරිස්ගේ සුවිශේෂි මේකප් ක්‍රමය බවට හඳුන්වන්න පටන් ගත්තා.

හැරිස් විජේසිංහ නම් වූ රූපලාවණ්‍ය වේදීයා පිළිබඳ ඔබ අර්ථ කථනය?

මගේ ඉගෙනීම කවදාවත් අහවර වෙන්නේ නැහැ. මුල් කාලයේ සිටම මම අත්හදා බැලීම් තුළින් අධ්‍යයනය කරන හැම දේම ජීර්ණය කර ගන්නවා. වතුර බින්දුව බින්දුව එකතු වෙලා පිරෙන දවසක් එනවා වගේ අන්තිමේදී ඒ අත්හදා බැලීම් වලින් ඒ කලාව පිහිටන දවස උදා වුණා. නමුත් මම හැම දේම දන්නවා කියලා කවදාවත් හිතුවේ නැහැ. මම තවමත් හෙට දවසේ අලුතින් එකතු වන දේවල් ගැන විමසිලි මත් වෙනවා.

නමුත් නිතරම පාරම්පරික සිරිත් වලට ගරු කළ යුතුයි. විවාහය යනු මා දකින ආකාරයට සඳහටම එකයි. ඒ නිසා හෙට දවසේ මනාලියක් වෙන්න ඉන්න සෑම දියණියකටම මගෙන් ලැබෙන උපදෙස සිරිත් විරිත් වලට ගරු කරන ලෙසයි. එසේ කළොත් පිවිතුරු මනාලියක් වෙන්න පුළුවන්. නොදන්න දේවල් කරලා අමාරුවේ නොවැටි දන්න දේවල් වලින් ලස්සන වෙනසක් කරන්න උත්සාහ කරන්න හැබැයි ඒ කිසිම මොහොතක රාමුවෙන් පිට පනින්න එපා.

ඔබ අතින් හැඩවූ සොඳුරුතම මනාලිය ලෙස ඔබ නම් කරන්නේ කවුද?

ප්‍රේමදාස ජනපති තුමාගේ දියණිය සුවිශේෂයි. එය මගේ දක්ෂතා මනාව ඉස්මතු කිරීමට ඉවහල් වූ එක් අවස්ථාවක් වුණා. ඊට හේතුව ඇයත් ඇගේ පියා මෙන්ම හරිම සරල යුවතියක්. ඇගේ මංගල දිනය වෙනුවෙන් උපදෙස් දෙන්න ඈ වටා බොහෝ පිරිසක් හිටියා. නමුත් ඒ සියල්ල අතරේ මගේ ඒකාග්‍රතාව රැක ගෙන කටයුතු කරන්නයි මට අවශ්‍ය වුණේ. ඇය ජනපති දියණිය වුණාය කියලා මට අමුත්තක් කරන්න බැහැ. ඇය මට තවත් මනාලියක් පමණයි. ඒ හැරුණු විට මා අතින් හැඩ වු මනාලියන් අතරින් ජාත්‍යන්තර වශයෙන් පවා වඩාත් දැස් ගැටුණේ සනත් ජයසූරියගේ මනාලියයි.

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වර්තමානය ගැන ඔබේ අදහස?

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අද වන විට ප්‍රපාතයකට වැටිලයි තියෙන්නේ. අමුතු දෙවල් කරන්න ගිහින් තමන් ඉන්නේ කොතැනද කියලා තමුන් දන්නේ නැහැ. වෙනස්කම් සහ නවීකරණය කියමින් රූපලාවණ්‍ය පිළිබඳ මාධ්‍ය තුළින් මොළේ අවුල් කරලයි තියෙන්නේ. මනාලියන් හැඩ ගැන්වීම පිළිබඳ කතා කළොත් ඔය කියන නවීන දේවල් අනුගමනය කර සාර්ථක වූ අය මම දැකලා නැහැ. නමුත් විලාසිතා ලොවේදි එය වෙනස් වෙන්න පුළුවන්.

නුතන රූපලාවණ්‍ය ක්‍රමවේද ඔබ යොදා නොගන්නේ ඇයි?

නවීන ක්‍රමවේද පිළිබඳ මම නිතරම අධ්‍යයනයක යෙදෙනවා. නමුත් සුදුසු නම් පමණයි ඒවා යොදා ගන්නේ. මනාලියකගේ සැබැ රූපය ලස්සනට ඉස්මතු කරනවා මිසෙක ඇයව කෘත්‍රිම මනාලියක් කිරීමට මම කැමැති නැහැ. මනාලියක් කියන්නේ නිරූපිකාවක් නොවෙයි.

ඔබේ රූපලාවණ්‍ය ක්‍රමවේද යල් පැන ගොස් ඇතැයි යමෙකු චෝදනා කළොත්?

එහෙම කියනවා. හැබැයි එය මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒහෙම කිව්වායි කියලා මම කවදාවත් දුක් වෙන්නේත් නැහැ. එසේ කළොත් මමත් මෝඩයෙක් වෙයි. මම ඒ අයට කියන්නේ මෙච්චරයි ඕල්ඩ් ඉස් ගෝල්ඩ්. මම හරි දේ කරනවා. හැරිස් ඉන්නේ මනාලියන්ගේ ලෝකයේ මිස ෆැෂන් වර්ල්ඩ් එකේ නෙමෙයි.

රුව ඉස්මතු කිරිමට රූපලාවණ්‍ය අත්‍යවශයමද?

මනාලියකට රූපලාවණ්‍ය අවශ්‍යයි. වර්තමානයේ ලස්සන කියලා බොහෝ දෙනා හිතන් ඉන්නේ ආලේපන ගැල්වීම සහා අලේපන වලින් ඉස්මතු වීමයි. ඉන් ඉස්මතු වෙන්නේ ඔවුන්ගේ ස්වාභාවික ලස්සන නෙමෙයි. කෘත්‍රිම රූපයක්. පිරිමි අයට නම් රූපලාවණ්‍ය කියන දේ අවශ්‍යම නැහැ. එය මම තරයේ ප්‍රතික්ෂේප කරන දෙයක්.

ඔබ දුටු ලස්සනම කාන්තාව කවුද?

වත්මන් අගමැතිතුමන්ගේ ලේලිය, ඇය උපතින්ම ලස්සන දියණියක්. මනාලියක් වූ දිනයෙත් ඇය හරිම පිවිතුරු මනාලියක් වුණා. උපතින්ම ආකර්ෂණිය රූ සොබාවක් හිමි තවත් කාන්තාවක් තමයි ෂර්ලි දංගල්ල. ඓශ්වර්යා දැකලා නැති නම් ෂර්ලිව බලන්න කියලා මම සමහර අයට කියනවා.

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තාත්තා ලෙස ඔබව හඳුන්වනවා ?

ඒ ගැන හරිම සතුටුයි. තරුණ වියේදි හැරිස් ලෙස ආදරය දිනා ගත් මට මගේ සැඳැ සමයේදි මා හැඳින්වීමට යොදා ගත් ඒ නාමය මට ලොකු ‍ගෞරවයක්. සමහරු කිව්වත් මම ගොඩේ කියලා, ම‍ඩේ නොවී ගොඩේ වීම ගැන සතුටුයි. එදා හිටපු හැරිස් මයි අදටත් ඉන්නේ. ඇඳුමින් පැළැඳුමෙන්වත් හැරිස් කවදාකවත් වෙනස් වුණේ නැහැ.

මනාලියන් දහස් ගණනින් හැඩ කළ ඔබට කෙදිනක හෝ මනාලියක් කැන්දන් එන්නට නොසිතුණේ ඇයි?

මගේ අම්මා, සහෝදර සහෝදරියෝ සහ ඔවුන්ගේ දරුවන් මට හරිම සමීපයි. ඉතින් මම කසාද බැන්ඳට වඩා හොඳ පවුලක් මට තිබෙනවා. කසාද බැන්දා නම් අද මා මේ භුක්ති විඳින සතුට සැනසිම නොලැබෙන්නත් පුළුවන්. මගේ අදහස නම් පිරිමියෙක් විවාහ විය යුත්තේ අවුරුදු 27-35 අතරයි. ඉතින් විවාහ වෙන වයස ට පා තබද්දි මට තීරණයක් ගන්න වුණා මගේ විවාහය ගැන. මගේ අවසන් තිරණය වුණේ මගේ පවුල වෙනුවෙන් මම කැප වෙනවා කියලයි. තාත්තා නැති වුණාට පස්සේ මගේ මව අපේ පවුල ගොඩ ගන්න කළ කැප කිරිම් සියල්ල මම අත් දැක්කා. ඒ වෙනුවෙන් මම මගේ ජිවිත කාලය කැප කළ යුතුයි යැයි මම පසුව තීරණය කළා.

ජිවිතයේ කෙදිනක හො ඔබේ සිත් ගත් කාන්තාවක් හමු වී නැතිද?

නැහැ කිසිම කාන්තාවකට මගේ හිතේ එවැනි ආදරයක් ඇති වුණේ නැහැ.

කෙදිනක හෝ ඔබට තනිකමක් දැනුණොත්?

කිසිම දවසක මට එහෙම දැනිලා නැහැ.

කෙදිනක හෝ ජීවිතය පිළිබඳ ඔබට පසු තැවීමක් ඇති වුණොත්?

අල්පමාත්‍රයක් වත් ඒ ගැන හිතෙන්නේ නැහැ. මගේ පවුල වෙනුවෙන් මම ඒ කරපු පරිත්‍යාගය කොතරම් අගනේද කියලා දැන් තමයි මට වඩ වඩාත් දැනෙන්නේ. එහි ප්‍රතිඵල අද මම භුක්ති විඳිනවා. මගේ ජීවිතයේ මුල් තැන වෘත්තීය, පවුල සහ ආගමයි ඒ සියල්ලෙන් දැන් මම පෝෂිතයි. ඉතින් අද වන විට මගේ ජිවිතය ගැන හරිම තෘප්තිමත් සහ සම්පූර්ණයි යන හැඟීම මට තිබෙනවා.

රූපලාවණ්‍ය හැරුණු විට ඔබ ජීවිතයේ වඩාත් ඇලුම් කරන දේ ගැනත් කියමු?

සංගීතයට මගේ ජිවිතයේ සුවිශේෂි තැනක් තිබෙනවා. මම ඊට කෙතරම් ලැදි දැයි කිව්වොත් කොතරම් කාර්ය බහුල වුණත් සංගීතයට දී තිබෙන කාල වේලාව කවදත් මම නැති කර ගන්නේ නැහැ. සංගීතය මගේ මනස නිවන එක් තැනක්.

ඔබේ ජිවිතයේ හෙට දවස ගැන ඔබේ සැලසුම?

මම නිතරම අනිත්‍ය සිහිපත් කරන කෙනෙක්. ඒ නිසා හෙට දවසක් ගැන හිතන්නේ නැහැ. හැම රාත්‍රියකම මම නින්දට යන්නේ සරලව හරිම සතුටින් සැහැල්ලුවෙන්. සැදැ සමයේදි මගේ ලොකුම සතුට තමයි දරුවන්. වසර පනහක් විතර වෙනකන් මම මගේ පවුලේ දරුවන්ට ආදරේ කළා. හැබැයි පණහ පිරුණට පස්සේ මම සියලුම දරුවන්ට ආදරේ කරන්න පටන් ගත්තා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්