රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

සුගතපාල සෙනරත් යාපා

ඔබේ සම්පූර්ණ නම මොකද්ද?

සුගතපාල සෙනරත් යාපා.

උපන්නේ?

1935 නොවැම්බර් 10.

කොහේද?

අකුරැස්සේ මලිදූවේ. ඒත් මම හැදුණේ වැඩුණේ රක්වානේ.

පියා කවුද?

ඩේවිඩ් සෙනරත් යාපා. තාත්තා බස් කොම්පැනියක කොටස්කරුවෙක්. යාළුවෝ වහදීලා මැරුවා කියලා තමයි මම අහලා තියෙන්නේ.

මව?

බියට්‍රිස් පොඩි මැණිකේ. තාත්තා නැතිවුණු ළඟම වගේ අම්මත් නැතිවුණා.

පවුලේ කී දෙනයිද?

නංගිලා දෙන්නයි, මමයි. දැනට ජීවතුන් අතර ඉන්නේ එක නංගියි.

කොහෙටද ඔබ ඉස්කෝලේ ගියේ?

මුලින් ම රක්වාන මහා විද්‍යාලයට. ඊට පස්සේ පැල්මඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ගියා.‍ ඒක වුණේ මෙහෙමයි. රක්වානේ මහා විද්‍යාලයේ ඉද්දි බනිස්වල පණුවෝ ඉන්නවා කියලා තව යාළුවෙකුයි මමයි පන්ති වර්ජනයක් පටන් ගත්තා. මේකට මුළු ඉස්කෝලෙම ළමයි එකතු වුණා. ඒ නිසා තවදුරටත් අපි දෙන්නව පාසලේ තියා ගන්න බැහැ කියලා ලොකු මහත්තයා කිව්වා. ඒ අනුව තමයි පැල්මඬුල්ලට ගියේ.

ඔබ කොහොමද කලාවට එකතු වුණේ?

මම පුංචි කාලේ ඉඳන් කවි කියන්න, රඟපාන්න දක්ෂයි. රක්වාන ඉස්කෝලෙ නාට්‍යයක් කළා, ‘නිමල්ගේ ඉරණම’ කියලා. ඒකෙ රඟපාන්න නියමිතව තිබුණු දවසේ තමයි අම්මා නැති වුණේ. ලොකු මහත්තයා ඇහැව්වා දැන් මොකද කරන්නේ රඟපානවද, නාට්‍ය කල් දානවද කියලා. නාට්‍ය බලන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොකු නිලධාරි මහත්වරුත් එන්න නියමිතව තිබුණා. “සර්, මං රඟපාන්නම් කියලා කිව්වා. ගෙදර මිනිය තියෙද්දී මං නාට්‍යයේ රඟපෑවා. නාට්‍යයේ කියැවෙන්නෙත් මවගේ මරණයක් ගැනයි. මව මිය ගිය බව දැනගන්න නාට්‍යයේ චරිතය නිමල් හඬා වැලපෙනවා. ඒ දර්ශනය දැකපු ප්‍රේක්ෂකයෝ හරිම අනුකම්පාවෙන් මා දිහා බලන්න පටන්ගත්තා. මොකද ඒ අය දන්නවා නේ මගේ අම්මත් ඇත්තටම මැරිලා විත්තිය.

අම්මයි තාත්තයි නැතිවුණා ම ඔබයි නංගිලා දෙන්නයි කොහොමද ජීවිතයට මුහුණ දුන්නේ?

ආච්චි (අම්මගේ අම්මා) තමයි අපිව බැලුවේ. අපිට කිරි පට්ටියක් තිබුණා. හරක් පහළොස් දෙනෙක් විතර හිටියා. ඒක තමයි අපේ ජීවන මාර්ගය වුණේ. රක්වානේ තියෙනවා ‘සෙන්ට් ඇන්තනීස්’ කියලා ඉංග්‍රීසි විදුහලක් මට ආසාව තිබුණා ඒකට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න. ඒත් ඒකට යන්න වත්කමක් තිබුණේ නැහැ.

ගමෙන් පිටවෙන්නේ කොහොමද?

චිත්‍රපට නළු එල්.එම්. පෙරේරා නෑකමට මගේ අයියා වෙනවා. එයා ඇහැව්වා දැන් මොකද මල්ලී කරන්නේ කියලා. ඔහු මාව කොච්චිකඩේ ‘ආරියමාලා’ කියන සිනමාහලට දැම්මා ටිකට් කඩන්න. පස්සේ වෙන්නප්පුව ‘ශ්‍ර‍ී ලංකා’ කියන සිනමාහලෙත් වැඩ කළා.

කොළඹ ඇවිත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ?

මම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් පවත්වපු ලඝු ලේඛන පාඨමාලාවකට ගියා. එතැනදී තමයි මහගමසේකර හා ඩී.ජේ. කුමාරගේ යන දෙදෙනා මුණගැහුණේ. ඔවුන් වැඩකළේ එතැන. සේකර ‘ධවල සේනාංකය’ පරිවර්තනය කරමින් හිටියේ ඔය දවස්වල තමයි. මම ලිපිකරු සේවා විභාගයටත් පෙනී හිටියා. ලිපිකරුවකු විදියට මට මුල් ම පත්වීම ලැබුණේ කම්කරු දෙපාර්තමේන්තුවට. මගේ වාසනාවට එතැන ජී‍.ඩී.ඇල්. පෙරේරා වැඩ කළා. මම ඔහුගේ නාට්‍යවල (‘සාමා’, ‍'මෙහෙව් ලෝකෙක’, ‘ගැටේ සහ මතේ’, ‘අන්දරේ’) රඟපෑවා. ‘කුණ්ඩලකේශී’ ‘මැටි ‍කරත්තය’ වගේ වෙනත් අයගේ නාට්‍යවලත් මම රඟපෑවා. මමත් නාට්‍ය කීපයක් නිෂ්පාදනය කළා. විජය ධර්ම ශ්‍රී එකල මගේ නාට්‍යවල රඟපාපු කෙනෙක්.

‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරුටත් ඔබ පුහුණු වුණයි කියලා අපි අහලා තියෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය පන්තියකට මම ගියා. දවසක් ‘මනමේ’ නාට්‍යයේ කුරුණෑගල ෂෝ එ‍කක් තිබුණා‍‍. එදා ‘මනමේ’ කුමරුට රඟපාන බෙන් සිරිමාන්නත් නැහැ. හෙන්රි ජයසේනත් නැහැ. සරච්චන්ද්‍ර මහත්තයා මට කිව්වා සුගත් ඔයා‍ ‘මනමේ’ කුමාරයට පුහුණුවෙන්න කියලා. ඇත්තටම කුරුණෑගලට යන ගමන් බස් එක ඇතුළේ තමයි පුහුණු වුණේ. ‘මනමේ’ බිසවට රඟපාන ට්‍රිලීෂියා ගුණවර්ධන නම් එච්චර කැමැති වුණේ නැහැ මට. කොහොම හරි අන්තිම මොහොතේ හෙන්රි ආවා.

‘හන්තානේ කතාව’ කරද්දී ඔබ ස්වර්ණ මල්ලවආරච්චිත් එක්ක ‘මයි ෆෙයාර් ලේඩි’ බලන්න ගියයි කියන්නේ ඇත්තද?

ඔව්. ඒ ලිබර්ටි එකේ. මට ඕනෑ වුණා, ඇයට මේ චිත්‍රපටයේ ඕඩ්රි හෙප්බර්න්ගේ රඟපෑම් පෙන්වන්න. මට ඇගෙන් වුවමනා කළේ ඒවගෙ රඟපෑමක්. වෙන අදහසකින් ගියා නෙමේ. ස්වර්ණා මොනව හිතුවද දන්නේ නැහැ.

‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයේ වස්තු බීජය ඔබේ ම අත්දැකීමක් බව කියැවෙනවා.

ඔව්. එතකොට මං රැකී රක්ෂා කාර්යාලයේ වැඩ. ඒකත් කම්කරු දෙපාර්තමේන්තුව යටතෙනේ තිබුණේ. මමයි අමරදාසයි කියලා කෙනෙක් තමයි පඩි ගෙවන්නේ. අමරදාස ලොක්කා. වීරසිංහ කියලා මනුස්සයෙක් පඩි දවසට හැමදාම අපේ කාමරයට ඔළුව දාලා බලනවා. තව හිටියා සතිස්චන්ද්‍ර කියලා කෙනෙක්. මිනිහා දවසක් සල්ලි බෑග් එකකට කපුටෙක්ගේ මළ සිරුරක් දාලා තිබ්බා. වීරසිංහ ඕක දැකල බෑග් එක අරන් ගියා. ඔය අත්දැකීම තමයි ‘මිනිසා සහ කපු‍ටා'.

‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ තිරනාටකය කාගේද? ඔබේ ද? නැත්නම් ධර්මසේන පතිරාජ, බර්ටි ගුණසේකර හා බර්ටි ජයසේකර යන තුන්දෙනාගෙද?

මගේ.( සුගත් ‘හන්තානේ කතාව’ මුල් තිරපිටපත මට ගෙනැවිත් පෙන්වයි) මේ අත්අකුරු විජය ධර්ම ශ්‍රීගේ. මම කියද්දී එයා තමයි ලියාගත්තේ. චිත්‍රපටයට ‘අනන්ත වූ දෙරණ සරා’ ගීතය ලිව්වෙත් මම.

මහගමසේකරගෙයි ඔබෙයි තිබ්බෙ මොන වගෙ මිත්‍රත්වයක් ද?

සේකරයි මමයි කාලයක් වැඩට ආවෙ ගියේ කෝච්චියේ. දයානන්ද ගුණවර්ධනත් එහිදි අපිට එකතු වුණා. මට කවි ලියන්න පුළුවන් බව දැනගත්ත සේකර එයාගේ ‘පද්‍යාවලිය’ වැඩසටහනෙන් මගේ කවි ප්‍රචාරය කළා. ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ‘සරා සොඳුරු මල් පැටලී’ සින්දුව ලිව්වේ සේකරයි මමයි දෙන්නම එකතු වෙලා. වික්ටර් රත්නායක කියන කොටස සේකර ලිව්වා. නන්දා මාලිනි කියන කොටස මම ලිව්වා.

‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයෙන් පස්සේ ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළේ ඇයි?

නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරිවීම ඒකට ආසන්නම හේතුව යැයි කිව හැකි වුණත් මං කැමැති වුණෙත් නැහැ ඔවුන් එක්ක චිත්‍රපට කරන්න. මට තනියම චිත්‍රපටයක් කරන්න ආර්ථික ශක්තියක් තිබ්බෙත් නැහැ. මට රජයේ උදව් ලැබුණනම් අඩුම ගාණේ තව එක චිත්‍රපටයක්වත් කරන්න තිබුණා. වරක් ඒකට අවස්ථාවක් උදාවුණා. මට කිව්වා සුනන්ද මහේන්ද්‍රගේ තිරනාටකයකින් චිත්‍රපටයක් කරන්න කියලා. (ඒකේ නම ‘වැහි මන්දාරම’) ඒත් ඒක තිරනාටකයක් නෙමේ. මං කා එක්කවත් තරහට කියනවා නෙමෙයි. ඒකෙන් චිත්‍රපටයක් කරන්න බැහැ.

අලුත් චිත්‍රපටයක් කිරීමේ අදහස තවමත් ඔබේ ළඟ තියෙනව ද?

ඔබ දන්නවා මං දැන් අංශබාග රෝගියෙක්. ඒත් චිත්‍රපටයක් කරන්න ඒක බාධාවක් නෙමේ කියලා මම හිතනවා. මගේ ළඟ තිරනාටක කීපයක්ම තියෙනවා. ‘සීලවතිලගෙ මහ නඩුව’ (විජය කුවේණි කතාවට නව අර්ථ කථනයක්), ‘51 වැනි අක්කරය’, ‘රාණි වසුන්දරාගේ පලායෑම’ වගෙ තිරනාටක මගේ ළඟ තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් මං ඒවයින් චිත්‍රපටයක් කරලා පෙන්වන්නම්.

ඔබ දේශපාලන සත්වයෙක් වුණේ කොහොමද?

මම පොඩි කාලේ සමසමාජ රැස්වීම් බලන්න යනවා. මම මුලින් කිව්වනේ මට හොඳට කවි කියන්න පුළුවන් කියලා. මම රැස්වීම්වල කවි කිව්වා‍. විවියන් ගුණවර්ධන මට හරි ආදරෙයි. එතුමිය මාව ළඟින් ම වාඩි කරගෙන තියා ගන්නවා. මම කොයිතරම් පක්ෂයට වැඩ කළා ද කිවහොත් මට සෑහෙන කාලයක් යනකම් ‘සමසමාජ’ පත්තරේ පවා නොමිලේ ලැබුණා.

අද වෙනකොට ඔබේ දේශපාලනය මොන වගේ ද?

ඇන්. ඇම්. පෙරේරාගේ මරණයත් එක්කම වගෙ මම සමසමාජ පක්ෂයෙන් අයින් වුණා. න්‍යායික ප්‍රශ්න මතයි මම අයින් වුණේ. නැතුව වෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. විවෘත ආර්ථිකයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි හරියට කෙරෙනවනම් මොන ආණ්ඩුව තිබුණත් මට ඇති ප්‍රශ්නයක් නැහැ.

එතකොට සමාජවාදය?

දැන් සමාජවාදය කාට ද ඕනැ කරන්නෙ? අඩුම ගාණේ ජේ. වි. පි එකටවත් වුවමනා පාටක් පේන්න නැහැ.

කොටින්ම ඔබ හිටපු සමසමාජ පක්ෂයටවත් ඒ කාලේ විප්ලවයක් ඕනැ වුණේ නැහැනේ.

ඒකනෙ මම අයින් වුණේ. ට්‍රොස්කිවාදියෝ කියන්නෙ අර කිව්වත් වගෙ හාන්සි පුටු විප්ලවවාදීයෝ. කතාවෙන් විතරයි විප්ලවය කරන්නේ. නායකයෝ හිටියෙ කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන. හැබැයි ඇන්. ඇම්. ගැන මගෙ ලොකු ගෞරවයක් තියෙනවා. ඔහු අපේ රටේ බිහිවුණු විශිෂ්ට ගණයේ නායකයෙක්. සමඟි පෙරමුණු කාලේ එයා ඇමැතිකම් දැරුවෙ කැමැත්තකින් නෙමෙයි. ඇන්. ඇම්. සහෝදරයා මට පෞද්ගලිකව කියලා තියෙනවා, එයාගේ ඉල්ලා අස්වීමේ ලියුම හැම වෙලාවෙම සාක්කුවේ දාගෙනයි ඉන්නෙ කියලා. කීප සැරයක්ම ඉල්ලා අස්වෙන්නත් ගියා මට මතකයි.

ඔබ කාලයක් මේ ගේ ඉස්සරහම සිල්ලර කඩයක් පවත්වගෙන ගියා නේද?

ඔව්. ඒත් පාඩු වුණා. පස්සේ මගේ බෑනා පටන් ගත්තා. ලක්ෂ හයක විතර බඩුත් ගෙනැල්ලා දැම්මා. අන්තිමෙට හොරු කඩේ කැඩුවා. අයිස් ක්‍රීම් ටික පවා ගෙනිහින් තිබුණා.

මේ ගේ - ගෙවත්ත ඔබලාගේම ද?

ඔව්. මගේ නෝනගේ දේපළ. මෙතැන පර්චස් 60 ක් තියෙනවා. මුලදි මෙතැන තිබුණේ රබර් වත්තක්. 1975 දි තමයි අපි ගේ හදාගෙන පදිංචියට ආවේ.

ඔබේ බේත් හේත්වලට සෑහෙන වියදමක් යනවා ඇති නේද?

මාසෙට රුපියල් පහළොස් දාහක් විතර යනවා. සුමාන දෙහෙකට සැරයක් වැල්ලවත්තේ ඉන්න දොස්තරට පෙන්නන්න යනවා. බෑනගේ කාර් එක තියෙන හින්දා හොඳයි.

ඔබට විශ්‍රාම වැටුප කීයක් විතර ලැබෙනව ද?

රුපියල් 19 දාහයි. බේත්වලටම ඒ සල්ලි වියදම් වෙනවා.

සිනමා ක්ෂේත්‍රයේ ඉන්න අය ඔබේ සුවදුක් බලන්න එහෙම එන්න ඇති?

මගේ චිත්‍රපටවල රඟපාපු අය අතරින් නම් ආවේ හයසින්ත් විජේරත්න විතරයි. රඟපාපු නැති සනත් ගුණතිලක, ශ්‍රියානි අමරසේන එහෙම ආවා. ටෝනි රණසිංහ සුමානෙකට දෙසැරයක් විතර කතා කරනවා. අමරසිරි කලංසූරියත් එනවයි කිව්වා. මගේ ‘පෙම්බර මධු’ චිත්‍රපටයට සින්දුවක් ලියපු ප්‍රවීණ ගීත රචකයෙක් මේ ළඟ තියෙන හෝල් එකේ වෙඩිං දෙකකටම ආවා. ඒත් මාව බලන්න ආවේ නැහැ.

ගෙදර නිකං ඉන්න වෙලාවට ඔබට මොනව ද හිතෙන්නෙ?

අසනීපය ගැන නම් පොඩ්ඩක්වත් කල්පනා වෙන්නෙ නැහැ. නමුත් මට තව චිත්‍රපට දෙක තුනක් කරන්න ලැබුණනම් හොඳයි කියලා හිතෙනවා. ඒක ගැන මට හරි වේදනාවයි.

බිරිඳ හා දරුවන් ගැන යමක් කියමු.

බිරිඳ සෝමලතා සෙනරත් යාපා. මට දුවයි පුතයි. පුතා මුදිත. දුව සුභානි. පුතා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදැරූවෙක්.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්