රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

.


ටිකිරි හමුව

අම්මා‍

මහා වාලුකා කතරේ
ක්ෂේම භූමිය ඇයයි
තෙරක් නොපෙනෙන මහා සයුරේ
ප්‍රදීපාගාරය ඇයයි
ගණින්නට බැරි තරු පොකුරු සැමට
නායිකාවත් ඇයයි
මගේ මුළු දිවියේ ම සදා නොනිමෙන
පහන් සිළුවත් ඇයයි


ආර්.ඩී.ආර්. සෙව්වන්දි,

(පන්තිය සඳහන්ව නැත)‍

බමුණුගම මහා විද්‍යාලය,

මිරිහානේගම.

වහිනවා වහිනවා

සුදු ඉරිද කහ ඉරිද අහසෙ තැන තැන දුවයි
වියළි රුක් අහසෙ පාවී යනු මට පෙනෙයි
මොර ගෙඩී තරම් ලොකු දිය බිඳු ද සට පටයි
නිවසෙ උළු කැට බිඳී වතුර දෝරේ ගලයි

විදුලි ඉරි ගිඟුම් දී ළමුන් බය කළ සැටී
රුක් ගොමුවෙ සිටි පැටව් පැන දුවයි හැපි හැපී
කුරුළු කිචි බිචිය නැත බලු රාළ වැටි වැටී
ගමරාළ දැන් නිදයි සීතලේ ගැහි ගැහී

පීල්ලෙන් වැටෙන ජල ශබ්දයේ ටක ටකේ
ගං වතුර සේ මිදුලෙ ජලෙන් වට වී බකේ
කෙත් යාය ජලෙන් වට වී පිරී යන දුකේ
ඇඳුම් ටික තෙමෙනවා වනා ඇත කජු රුකේ

බලු පැටියා අඬ අඬා ගෙට දුවයි මෙහෙ හැරී
ගම මහගෙ වේවැලක් දැන් සොයයි ගැහි ගැහී
රූපවාහිනිය දැන් වසා ඇත පාළු වී
අනේ ඇයි වහින්නේ හිත දුකෙන් මගෙ පිරී

දෙවියනේ මේ මොකද විදුලිය ද ඇණ හිටී
කළු වලාවක් අනේ දං ගෙඩිය සේ පෙනී
ලාම්පුව පත්තු කෙරුවට අනේ නිවි නිවී
කෙසෙල් ගස බිම වැටී ඇහෙන් කඳුළුත් ගැලී

කේ. එම්. ඒ. එච්. කුමාරසිංහ

7 ‍ශ්‍රේණිය ‘ඩී’,

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය,

ඉබ්බාගමුව

ඉස්සර රස කතා

ඉස්සර කාලේ ආච්චිලා
ඇහුවලු හොඳ රසට කතා
ඒවා මේ දැන් නැහැනේ
අපට අහන්ටා
ඉබ්බා අහසින් ගිය හැටි
නරියා මිදි කෑව විදිය
බොහොම රසට ඒ කාලේ
ආච්චිලා ඇහුවා
ගම ලොක්කගෙ පුහුල් හොරා
හොයා ගත්තෙ කර දැකලා
අලි රාලගෙ හැට්ටෙ එල්ලි
ගමයා දෙව්ලොවට ගියා
හාවයි නරියයි දෙන්නා
ලබු කිරිබත් ඉව්වා එදා
අපෙ ආච්චිලා මෙවැනි කතා
රස විඳිමින් ඇහුවා එදා
අද කොයින්ද මෙවැනි කතා
ඇත්තේ හරසුන් ඒවා
අනේ අනේ ඉතිරි වෙන්න
මෙවැනි කතා ඉදිරියටා

හිරුදිනී කුමාරි විජේතිලක,

9 ශ්‍රේණිය ‘කිව්’,

ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,

තෝලංගමුව.

ගුරු උපහාර!

ඇස් හිස් මස් ලේ
දන් දී පේවී
සත් වගටම සුවයම කැන්දා...
බෝසත්වරු
මහ පෙරුමන් පිරුවලු
මොක් මඟ නිවනට සිත රන්දා...
සත් සමුදුරු දිය
නෙත් උල්පත කර
කොපුලේ රුව දුටුව ද මන්දා...
සත් කුළු පව්වක
මහ සවියක් වී
දරු දුක හද දැරුව ද මන්දා...
හැදු වැදු දරුවන්
කඳුළු සිනහ මැද
ගුරුතුමනි තුන් සිත රන්දා...
ඒ දුක් ගිනි මැඩ
බෝසත් නිවනට
නුඹත් පෙරුම් පිරුව ද මන්දා...

ඩී.එම්.කේ.ජී.ටී. දිසානායක,

2 ශ්‍රේණිය,

දෙණිකේ ද්විතීයක පාසල,

දෙණිකේ.

වැස්සකට පසු

අහස් දෙව්ලියගේ
කෝප වූ
කාලවර්ණ නෙතු පිය
ඉකිගසා හඩනා පරිද්දෙන්
හදේ දුක් සෝ
පළවා හරිනු රිසියෙන්
ඇගේ හද ගැබ
දොම්නස් වලාවන්
දුරු කොට
මිතුරු සියොත් කැළහා
යළි දොඩන්නට
අහස් දෙව්ලිය
සරසා ඇගේ හිස
සූර්ය මාණික්‍ය පැළඳ

ශ්‍රීමාලි අධිකාරි,

13 ශ්‍රේණිය ‘බී’ ‘කලා’,

පුෂ්පදාන බා.ම.වි., මහනුවර.

හැමදා නියං එක දා වැහි වලාවේ

පරිසරය වියළී ගොස් ගස් වැල් මළානික වී ඇත. රන් කරල් පැසී තිබූ ගොයම් පැළ මහා නියඟය නිසා විනාශ වී ඇත. වේල් තුනක් ආහාර ගත් ගම් වැසියන්ට ආහාරයට ගැනීමට කිසිවක් සොයා ගැනීමත් අසීරු විය. එදා ‍මහා දිය කඳක් රඳවා තබා ගත් ඇළ වේලිවල ජලය සිඳී පතුලටම බැස ඇත. රන්වන් පැහැයෙන් කෙත්වතු වියළී ඉරිතලා ගොසිනි. මාස ගණනක් මෙලෙස ගතවිය. ගම් වැසියන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා බීමට දිය පොදක් නොමැති විය.

එක් දිනක මුළු පරිසරයම අඳුරු විය. අහස වැහි වලාකුලෙන් බරවී ඇත. මහ පොළොව ගිගුරුම් දෙමින් හෙණ හඬ පැතිරී සැඬ සුළං හමා ආවේ ය. ගස්වැල් ඒ මේ අත ඇඹරෙමින් සුළං හැමී ය. අනතුරුව මහා වර්ෂාව ඇද හැළෙන්නට විය. කලකින් දුටු මහ වැස්ස නිසා ගම් වැසියෝ ප්‍රීතියට පත්වූහ. නියඟයෙන් වියළී ගිය ගස් වැල් නව පණක් ලැබුවා මෙන් කොළ පැහැයෙන් බැබළෙන්නට විය. එය දුටු මට සිහි වුණේ “හැමදා නියං එකදා වැහි වලාවේ” යන්න සත්‍යයක් ම බවයි.

දෙනුක චන්සිළු නවරත්න,

4 ශ්‍රේණිය ‘සී’,

නාරංගොඩ පාලුව ප්‍රාථමික විදුහල,

බටුවත්ත.

කැඩපත

මාගේ දෙනුවනින්
අනෙකා පසෙකලා
මා රුව දකින්නට
පෙම් බඳිමි කැඩපතට
විරූපී සිත වසා
අඳුන් විලවුන් ලන්ට
සුරූපී කය මවා
කම් සැපින් අඳවන්ට
ලවල් නෙක පැහැ ඉලු
අඳුන් නෙත් බොඳ කෙරූ
එ අඩනිරුවත් සළු
ඉරණමයි ඔබ සතු
කැඩපත ඉදිරිපිට
ආත්මය සිසාරා
විනිවිද සරන්නට
මා දෙනෙත් හමුවෙලා
සුන්දර අසුන්දර
නෙක රුවින් මත්වන්න
කැඩපත මන්ද නුඹ
තවම නිරුවත සරණ

ආර්.ඒ. හිරුණි සමීරා රණසිංහ

9 ශ්‍රේණිය ‘සී’,

රත්නාවලී බාලිකා විද්‍යාලය,

ගම්පහ.

තිරකඩ

සිත් පිත් නොමැති මිනිසෙකුව ඉපිද
තිරකව නොමැති පහනක් විලස
අඳුර දුරලා දැල්වෙන්නේ කෙලෙසා
ආශා විලෙහි මත් වී සැලෙන
තිරකඩ රුවා, තණ්හා ගින්නෙන්
දැවී අළුවී, යන තෙක් රිසින්
සතුටින් සිටින්නේ මැවෙන්නා වූ
ගිනි සිළුවලට වශී වී නොවෙ ද
සුළං රොදකට වුව ද මර බියෙන්
සැලෙන ගිනි සිළු සිහි කරන්නේ
සසල මනසය
නමුදු නොනැවතී මහඟු අටියෙන්
විසල ගිනි සිළු මවා පවසන්නේ
අවසානය වෙතට
ළං වූ බව නොවෙ ද

හිරුණි සමීරා රණසිංහ

9 ශ්‍රේණිය ‘සී’,

රත්නාවලී බා. වි., ගම්පහ

ටිකිරි හමුව දින දින නිති වැජඹෙන්න

හද රැඳි මතක කවි සිතුවිලි පුබුදන්න
මන බැඳි රස පුවත් කැටි කර කියවන්න
දිවිය පුරා නිරෝගි සුව ලැබ ගන්න
සිළුමිණ සිළුමිණකි සැමදා වොරැදෙන්න

ටිකිරි හමුව අප හමු වූ තෝතැන්න
කවි ගී පබැඳුණා සිත් මල් පුබුදින්න
තිළිණ ලදිමි හද විල් තෙර ඉති‍ෙරන්න
ටිකිරි හමුව දින දින නිති වැජඹෙන්න

කාලය කෙමෙන් රහසේ වියැකී යනවා
පාසල් ජීවිතෙන් සමුගන්නට වෙනවා
ටිකිරි හමුව ළඟ මා වියපත් වෙනවා
හෙට දින ටිකිරි හමුවෙන් සමුගෙන යනවා

ගැදි පැදි කතා මල් සිත් සේ පුබුදින්න
ටිකිරි හමුව හිරු දහරකි දැන ගන්න
ටිකිරි සොහොයුරන් ඔබ පන්හිඳ හඬවන්න
මතු දින දැයේ නිමැවුම්කරුවන් වන්න

ඉනෝකා හංසනී කුමාරි

13 ශ්‍රේණිය (කලා),

බෞද්ධ මහා විද්‍යාලය,

ගම්පොල.

සත්තු අපට බොහෝ දේ උගන්වති

ඇතැම් සතුන්ගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය. අපා, දෙපා, සිවුපා සහ බහුපා නම් සතුන් වර්ග රැසකි. ඒ අතරින් කූඹියා කුඩා සතෙකු වන අතර උගෙන් ගත හැකි ආදර්ශ ද බොහෝ වේ. කුහුඹින්ගේ එකමුතුකම ඉතාමත් අගනේය. ඔවුන් ආහාර සොයා යෑමේදී මෙන්ම බුක්ති විඳීමේ දීද එකමුතුව කටයුතු කරති. පායන කාලයේ දී කඩිසර කමකින් හා උනන්දුවෙන් ආහාර රැස්කර වැසි සමයේ දී ප්‍රයෝජනයට ගැනීමට තරම් ඔවුන් බුද්ධිමත්ය. කුහුඹුන්ගේ කඩිසරකම, උනන්දුව සහ එකමුතුකම අපට ආදර්ශයට ගත හැකිය.

බල්ලා සහ බළලා වැනි සතුන්ගෙන් ද අපහට ගත හැකි ආදර්ශ බොහෝය. බල්ලා අප සතු සියල්ල ආරක්ෂා කරයි. අනතුරක් ඇති සැමවිටම බල්ලා බුරයි. එමෙන්ම දන්නා හඳුනන පුද්ගලයෙක් දුටු විට වලිගය වනයි.

බල්ලා නිදාගන්නා අවස්ථාවේ දී තුන් වතාවක් කැරකී නිදයි. ඌ ආරක්ෂාව ගැන සිතන බව ඉන් පෙනේ.

සතුන්ගේ සමඟිය, එකමුතුභාවය, පිරිසිදුකම සහ කඩිසරකම මිනිසාටත් මහඟු ආදර්ශයක් ගෙන දෙයි.

අනගි පංචාලි වික්‍රමනායක

7 ශ්‍රේණිය,

විශාඛා බාලිකා විද්‍යාලය,

සපුගස්කන්ද

සාමාන්‍ය පෙළ සමත් වෙලා

මුල් ම පාසල් ගිය දවසේ
හිතට දැනුණේ පුංචි බියකි
ඒ බිය තුරන් කරන්නට
ඉඩ හැදුවේ මගේ ගුරුතුමී මිනා
එදා ආපු පුංචි පැටික්කි අද
පාසලට ලොකු සම්පතක් වුණා

ඩී.එම්.ටී.කේ. දිසානායක

12 ශ්‍රේණිය ‘ඒ’ (කලා),

දෙණිකේ ද්. පාසල,

දෙණිකේ.

සඳ යානය

සඳට ගමන් කිරීම සඳහා මිනිසා විසින් සාදන ලද යානා සඳ යානා වේ. සඳ යානා රැගෙන යන්නේ රොකට්ටුවක් මඟිනි. සඳ වෙත ගුවන් ගත කළ පළමු සඳ යානය ‘ඇපලෝ 11’ නම් වේ. එය ගුවන් ගත කළේ 1969 ජූලි 21 වැනිදා ය. එහි ගමන් කළේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් යන ඇමෙරිකානු ජාතික ගගනගාමීන් තිදෙනා ය.

සඳ යානා මඟින් සඳ ගැන අප නොදත් බොහෝ තොරතුරු දැන ගන්නට ලැබිණි. අදටත් මිනිසා සඳ යානා ගුවන් ගත කරමින් තොරතුරු ලබා ගනියි.

නෙතුලි පූර්ණවී හඳුගල,

3 ශ්‍රේණිය ‘ඒ’,

ඇස්සැද්දුම සුභාරතී විදුහල,

කුලියාපිටිය.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්