කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»

‘බාත් ටබ්’ එකේ පීනනා සංතෝෂමේ මාළුවා

‘බාත් ටබ්’ එකේ පීනනා සංතෝෂමේ මාළුවා

ශීත කඳුකර නුවරඑළියේ තනිකඩ නිල නිවාසයේ අප ගත කළ කාලය විනෝදයෙන් මෙන් ම, අවුල් ජාලාවන්ගෙන් ද එක සේ රසවත් විය. රජයේ දෙපාර්තමේන්තු හතරක් නියෝජනය කරමින් එහි නේවාසිකව සිටි අපි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලයේ මානසිකත්වයෙන් තවමත් මිදී නොසිටියෙමු. නිවාස භාරකරු හා කෝකියා ලෙස සේවය කළේ ඇදහිය නොහැකි චරිතයක් ඇති මනුස්සයෙකි. ඔහු පිරිමියෙකු මෙන් පෙනී සිටිය ද, නිතරම විවිධ මෝස්තරවල කාන්තා විලාසිතාවන්ගෙන් සැරසී හිරු එළියේ සෙවණැල්ලෙන් ඔහුගේ ඡායාව දෙස බලමින් පුදුම සතුටක් ලැබීමට පුරුදුව සිටියේ ය. ඔහු අපට ඉමහත් විනෝදයක් ලබා දුන් නමුත්, ඔහු අතින් පිසිනු ලබන ආහාර කොතරම් අසතුටුදායක තත්ත්වයක තිබුණේ ද යත්, ඉක්මනින් ම අප විවාහ බන්ධනයට යොමු කරවීමට තරම් එම තත්ත්වය ප්‍රබල විය.

ඇත්තම කියනවා නම්, අප හතර දෙනාගෙන් එක් අයෙක් විවාහකයෙක් විය. ඔහුගේ බිරිය සහ ළමයි කොළඹ පදිංචි වී සිටියහ. එක් පාසල් නිවාඩු සමයක ඔවුහු අපේ තනිකඩ නිවාසයට පැමිණියහ. ඇත්තෙන් ම ඔවුන් එසේ නොපැමිණියා නම්, මට තනිපංගලේ බඩ ගින්නේම ගත කිරීමට පවා සිදුවන්නට ඉඩ තිබිණි. මන්ද යත්, අපේ සිනමා තරු උමතුවෙන් පෙළුණු කෝකියා චිත්‍රපට නැරඹීමට යන අතර, අප මිත්‍රයන් දෙදෙනකු අතිරේක රාජකාරි ක්‍රියාකාරකම් සඳහා කොළඹට සහ පේරාදෙණියට සවාරි යන බැවිනි. අපේ පිස්සු කෝකියා අපට උයා දුන් තෙල් ගොඩවල් සහිත ලටපට මෙන් නොව, අපේ මිත්‍රයාගේ බිරිය පිස දුන් ආහාර තරු පහේ හෝටලයක ආහාර මෙන් රසවත් විය.

එක් සන්ධ්‍යාවක අපේ නාන කාමරය දෙසින් යමක් වතුරේ දඟලන ශබ්දයක් ඇසුණි. ‘බාත් ටබ්’ එකට මීයෙකු වැටී දඟලනවා විය හැකියි සැක කළ මා, ඌ මරණයෙන් ගලවා ගැනීම සඳහා ගෙබිම සේදීමට ගන්නා මුස්නයක් ද රැගෙන ගිය විට දක්නට ලැබුණේ, බාත් ටබ් පතුලේ ඇති වතුර ස්වල්පය තුළ වරල් හා වලිගය ගසමින් දඟලන වැව් මාළුවෙකි.

මගේ මිත්‍රයා වහාම ඉදිරිපත්වී පසුබිම් කතාව පැහැදිලි කරන්නට විය. ග්‍රෙගරි වැවේ ඉවුර දිගේ ‍ඇවිදින්නට ගිය විටෙක, කැලෑ පඳුරුවලින් වට වූ සැඟවී සිටිය හැකි මුල්ලක හොරට මාළු අල්ලන පිරිසක් ඔහු විසින් දැක ඇත. ඔවුන් ‘වෙලින්ටන්’ බූට් ඇඳගෙන, වෙල්වට් තොප්පි හිස පැලඳගෙන එකට මාළු බිලී බාන ලොකු මහත්වරුන් නොව, පරණ කළු කෝට් ඇඳ, හිසට ජටා බැඳ ධීවර පරීක්ෂකයකු හදිසියේ ඒ පැත්තට පැමිණියහොත්, පැන දිවීමට සූදානමෙන් කපටි ඇස් විදහා වටපිට බලමින් හොර රහසේ මාළු අල්ලන පිරිසකි.

මේ ජලාශයේ, එංගලන්තයෙන් ගෙන ආ නුවරඑළිය වැනි ප්‍රදේශයක අසීරුවෙන් ඇති කරන ‘ට්‍රවුට්’ ව‍ර්ගයේ මාළු පැටවුන් බෝ කරනු ලබන බවට පතළ වුණ රහසිගත ස්ථානය, මේ තක්කඩි පිරිස සොයාගෙන මෙහි මාළු අල්ලති. ලොකු මාළු එකෙක් - දෙන්නෙක් ඔවුන්ගේ ‍කෙමනට කොටුවෙති.

එදින සිය පවුලේ උදවිය සමඟ වැව රවුමේ සවාරියකට ගිය මගේ මිත්‍රයා විසින් අනවසර මාළුකාරයින් හමුවට ගොස්, තමාගේ තරාතිරම පිළිබඳ ඉඟියක් කර ඇත. ඔවුනට විරුද්ධව නීති පියවර නොගෙන, රහසක් වශයෙන් රැක ගැනීමට නම්, සන්තෝෂමක් වශයෙන් යමක් දිය යුතු බව ද ඔහු විසින් හඟවා ඇත. තක්කඩි මාළු කාරයින් වහාම ඔවුන් අල්ලාගෙන ඇති ලොකු ම මාළුවකු අපේ මිත්‍රයාට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇත්තේ බලවත් කැමැත්තෙනි. ඇවිදීමට යද්දී ‘නිකමට වාගේ’ ගෙනගිය බාල්දියක් ඔහු ළඟ තිබී, එම බාල්දිය දිගේ අපේ ‘බාත් ටබ්’ එකට සම්ප්‍රාප්ත වී මේ දඟලන්නේ සන්තෝෂමට ලැබුණු මාළු කූරියා ය.

ඉන් පසු දින කීපයක් යනතුරු මාළුවා ඔහුගේ ළමයින්ගේ සුරතලා විය. කුඩා පාන් කැබලිවලින් ‘බාත් ටබ්’ එක පිරී ගොස් තිබිණි. ඇඟපත සෝදා ගැනීමට අවශ්‍ය විටෙක පොඩිවුන් එළියට ඇද දමන්නට සිදුවිය. මා නාන කාමරයට ගිය ද, අසරණ මාළුවාගේ ඇස්වල තිබුණ දුක්බර බැල්ම මඟහැරීමට කිසි විටෙක මාළුවා දෙස බැලීමෙන් ‍මම වැළකී සිටියෙමි‍.

දිනක ‘බාත් ටබ්’ එක හිස් වී පිරිසිදුව තිබෙනු මම දුටුවෙමි. පොඩි එවුන් විසින් නි‍ෙවස අසලින් ගලා ගිය ජලධාරාවට අසරණ මාළුවා මුදා හරින්නට ඇතැයි සිතා සතුටු වූයෙමි. මගේ සතුට වැඩි වේලාවක් නොපැවතිණි. එදින රාත්‍රි භෝජනය සඳහා කෑම මේසයට ඉඳගත් විට දැක්කේ දිලිසෙන ලොකු දීසියක් උඩට වී වරල් කැපී, සුද්ද පවිත්‍ර වී මිරිස් තුනපහවලින් තවත් හැඩ වැඩ වී බැබළෙන ඇස් සඟළින් මා දෙස නෝක්කාඩු බැල්මක් හෙළමින් සිටි මාළුවාය. මගේ උගුර කට වියළි කෙළ ගිලීමට පවා නොහැකි වූ නමුත්, මා අසල වූ උදවිය තොල කට ලෙවකමින් හැඳි ගෑරුප්පු අතට ගෙන ආසාවෙන් බලාගෙන උන්හ.

වාසනාවකට මෙන් එවිටම දුරකථනය නාද විය. ක්ෂණිකව නැඟිට ටැලිෆෝනයට කතා කළ මා, රාත්‍රි කෑම සඳහා ආරාධනාවක් ලද බවට බොරුවක් මවා පා එතැනින් පැන ගොස්, නගරයේ සයිවර් කඩයකින් බඩපුර‍ා තෝසේ කා නවාතැනට පැමිණියෙමි.

Tales from Provinces ඇසු‍ෙරනි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්