![]() ![]() |
||
‘බාත් ටබ්’ එකේ පීනනා සංතෝෂමේ මාළුවා
ඇත්තම කියනවා නම්, අප හතර දෙනාගෙන් එක් අයෙක් විවාහකයෙක් විය. ඔහුගේ බිරිය සහ ළමයි කොළඹ පදිංචි වී සිටියහ. එක් පාසල් නිවාඩු සමයක ඔවුහු අපේ තනිකඩ නිවාසයට පැමිණියහ. ඇත්තෙන් ම ඔවුන් එසේ නොපැමිණියා නම්, මට තනිපංගලේ බඩ ගින්නේම ගත කිරීමට පවා සිදුවන්නට ඉඩ තිබිණි. මන්ද යත්, අපේ සිනමා තරු උමතුවෙන් පෙළුණු කෝකියා චිත්‍රපට නැරඹීමට යන අතර, අප මිත්‍රයන් දෙදෙනකු අතිරේක රාජකාරි ක්‍රියාකාරකම් සඳහා කොළඹට සහ පේරාදෙණියට සවාරි යන බැවිනි. අපේ පිස්සු කෝකියා අපට උයා දුන් තෙල් ගොඩවල් සහිත ලටපට මෙන් නොව, අපේ මිත්‍රයාගේ බිරිය පිස දුන් ආහාර තරු පහේ හෝටලයක ආහාර මෙන් රසවත් විය.
මගේ මිත්‍රයා වහාම ඉදිරිපත්වී පසුබිම් කතාව පැහැදිලි කරන්නට විය. ග්‍රෙගරි වැවේ ඉවුර දිගේ ඇවිදින්නට ගිය විටෙක, කැලෑ පඳුරුවලින් වට වූ සැඟවී සිටිය හැකි මුල්ලක හොරට මාළු අල්ලන පිරිසක් ඔහු විසින් දැක ඇත. ඔවුන් ‘වෙලින්ටන්’ බූට් ඇඳගෙන, වෙල්වට් තොප්පි හිස පැලඳගෙන එකට මාළු බිලී බාන ලොකු මහත්වරුන් නොව, පරණ කළු කෝට් ඇඳ, හිසට ජටා බැඳ ධීවර පරීක්ෂකයකු හදිසියේ ඒ පැත්තට පැමිණියහොත්, පැන දිවීමට සූදානමෙන් කපටි ඇස් විදහා වටපිට බලමින් හොර රහසේ මාළු අල්ලන පිරිසකි. මේ ජලාශයේ, එංගලන්තයෙන් ගෙන ආ නුවරඑළිය වැනි ප්‍රදේශයක අසීරුවෙන් ඇති කරන ‘ට්‍රවුට්’ වර්ගයේ මාළු පැටවුන් බෝ කරනු ලබන බවට පතළ වුණ රහසිගත ස්ථානය, මේ තක්කඩි පිරිස සොයාගෙන මෙහි මාළු අල්ලති. ලොකු මාළු එකෙක් - දෙන්නෙක් ඔවුන්ගේ කෙමනට කොටුවෙති. එදින සිය පවුලේ උදවිය සමඟ වැව රවුමේ සවාරියකට ගිය මගේ මිත්‍රයා විසින් අනවසර මාළුකාරයින් හමුවට ගොස්, තමාගේ තරාතිරම පිළිබඳ ඉඟියක් කර ඇත. ඔවුනට විරුද්ධව නීති පියවර නොගෙන, රහසක් වශයෙන් රැක ගැනීමට නම්, සන්තෝෂමක් වශයෙන් යමක් දිය යුතු බව ද ඔහු විසින් හඟවා ඇත. තක්කඩි මාළු කාරයින් වහාම ඔවුන් අල්ලාගෙන ඇති ලොකු ම මාළුවකු අපේ මිත්‍රයාට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇත්තේ බලවත් කැමැත්තෙනි. ඇවිදීමට යද්දී ‘නිකමට වාගේ’ ගෙනගිය බාල්දියක් ඔහු ළඟ තිබී, එම බාල්දිය දිගේ අපේ ‘බාත් ටබ්’ එකට සම්ප්‍රාප්ත වී මේ දඟලන්නේ සන්තෝෂමට ලැබුණු මාළු කූරියා ය. ඉන් පසු දින කීපයක් යනතුරු මාළුවා ඔහුගේ ළමයින්ගේ සුරතලා විය. කුඩා පාන් කැබලිවලින් ‘බාත් ටබ්’ එක පිරී ගොස් තිබිණි. ඇඟපත සෝදා ගැනීමට අවශ්‍ය විටෙක පොඩිවුන් එළියට ඇද දමන්නට සිදුවිය. මා නාන කාමරයට ගිය ද, අසරණ මාළුවාගේ ඇස්වල තිබුණ දුක්බර බැල්ම මඟහැරීමට කිසි විටෙක මාළුවා දෙස බැලීමෙන් මම වැළකී සිටියෙමි.
වාසනාවකට මෙන් එවිටම දුරකථනය නාද විය. ක්ෂණිකව නැඟිට ටැලිෆෝනයට කතා කළ මා, රාත්‍රි කෑම සඳහා ආරාධනාවක් ලද බවට බොරුවක් මවා පා එතැනින් පැන ගොස්, නගරයේ සයිවර් කඩයකින් බඩපුරා තෝසේ කා නවාතැනට පැමිණියෙමි. Tales from Provinces ඇසුෙරනි |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |