කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»

ජේතවනාරාමය පුද බිමෙන් හමුවූ මූර්ති කැටයමක්

පැරැණි කලා නිධාන

ජේතවනාරාමය පුද බිමෙන් හමුවූ මූර්ති කැටයමක්

නූතන ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත හයකි. ආන්ද්‍රා ප්‍රදේශ් එයින් එකකි. මීට වසරකට පමණ ඉහත දී ආන්ද්‍රා ප්‍රදේශ් දෙකට බෙදා, තෙලිංගානා නමින් ද ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කළේය. ඉතිරි ප්‍රාන්ත රාජ්‍යයන් වන්නේ කර්ණාටක, කේරළ, පොන්ඩිචෙරි හා තමිල්නාඩුය.

සුජාතා දේවියගේ කිරිපිඩු දානය,
අමරාවතී ස්තූප කැටයම, ක්‍රි.ව. 02 ශ. ව.

දක්ෂිණ භාරතයේ ඉහත සඳහන් ප්‍රාන්ත හයෙන් ඉතා පුරාණ මෙන් ම ඉතා විශාල සංඛ්‍යාවක් බෞද්ධ පුදබිම් හමුවන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍යයෙනි. 1997 වර්ෂයේදී ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික ගිවිසුම යටතේ මාස දෙකක පමණ කාලයක් තුළදී අප සිදු කළ ඉන්දියානු පුරාවිද්‍යා අධ්‍යයන චාරිකාවේදි ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති ප්‍රධාන ‍ෙබෟද්ධ සිද්ධස්ථාන දෙක මෙන් ම ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීප සංස්කෘතික හා ආගමික ‍(බෞද්ධ) සබඳතා තිබුණු ස්ථාන ලෙසින් අමරාවතී සහ නාගර්ජුනාකොණ්ඩ යන පුද බිම්, ඉතා ප්‍රකටය. අමරාවතී පුදබිමේ ස්තූපය දැන් එහි නැත.

එහි ඇත්තේ ඒ ආශ්‍රිත මූර්ති කැටයමක් අනුව සාදන ලද ආදර්ශ ස්තූපයකි. ඒ මුල් ස්තූපය වටා නිර්මාණය කරන ලද මූර්ති ඵලකවල ඇති මූර්ති කැටයම් හා සබඳතාවක් දක්වන මූර්ති කැටයම් රැසක් ම අනුරාධපුරයේ ජේතවනාරාම දාගැබ ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇත. අමරාවතී කලා සම්ප්‍රදාය පමණක් නොව අමරාවතී හා අනෙකුත් ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති පුදබිම්වල මූර්ති කැටයම් නෙළන ලද එම ශිලා වර්ගයට අයත් වූ ශිලා වලින් නිර්මිත මූර්ති කැටයම් රැසක් ඊට අමතරව ශ්‍රී ලංකාවේ සීගිරිය, පිදුරංගල, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවලින් ද හමුවී ඇත.

ඉහතින් පළවන ඡායාරූපය සහිත වූ මෙම මූර්ති කැටයම අමරාවතී මූර්ති සම්ප්‍රදායට අයත් වූ නිර්මාණයක් ලෙසින් සැලකේ. මෙය මෙකල අනුරාධපුරයේ ‍ජේතවනාරාමයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාරයෙහි දී දැකිය හැකි ය. මීට අමතරව අමරාවතී මූර්ති කැටයම් සම්ප්‍රදායට අයත් තවත් අල්ප උන්නත (BAS RELIFE - බා රිලිෆ්) මූර්ති ඵලකයක් ද හමු වී ඇත. එය මහාමායා දේවිය ලුම්බිනියට කැඳවාගෙන යන පරිවාර කාන්තාවන් ද නිරූපණය කෙරෙන බව සමහර විද්වත්හු සඳහන් ක‍රති.

මෙහි ඉහත දැක්වෙන ඡායාරූපය අනුව එය තොරණකට සම්බන්ධ ව‍ූ මූර්තියක් ලෙසින් සැලකේ‍. අමරාවතී මූර්ති සම්ප්‍රදායේ (ආන්ද්‍රා මූර්ති සම්ප්‍රදාය ලෙසින් ද හැඳින්වේ) කාන්තා රූප ඉතා සිහිනිඟ හා අඟ පසඟ සම්ප‍ූර්ණයෙන් ම අමරාවතී මූර්ති සම්ප්‍රදායට සබඳතාවක් දක්වයි. මෙහි මකර මුඛ දෙකක් ද පුන් කලසක් මත හිඳවන ලද කුලුනක් ද මූර්තිමත් කර ඇත. ත්‍රිභංග ලෙසින් නිරූපිත එම කාන්තා මූර්තියෙහි ශීර්ෂාභරණයක් ද පැලඳ සිටින ලෙසින් දක්වා ඇත.‍ ඊට අමතරව ඉණ වටා ධෝතියක ඇඳගෙන සිටින ලෙසින් ද දෙපාවල මෙන් ම දෑත්වල ද වළලු නිරූපිත ය.

මේ මූර්ති කැටයම් පිළිබඳ ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙසේ සඳහන් කරති. ආන්ද්‍රා කැටයම් කරන ලද පුවරු ලංකාවේ හමුවී ඇත. මෙයින් එකක් සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන පුවරුවකි. අම්බලන්තොට ගිරිහඬු විහාරයෙහි එම මූර්ති ඵලකය දක්නට ලැබේ. ආන්ද්‍රා දේශයේ සිංහල භික්ෂූන් වහන්සේ ද ඉතා සැලකිය යුතු තත්ත්වයකින් විසූහ. මෙම මූර්ති කැටයම් ඉහතින් සඳහන් මූර්තිය ද ඇතුළුව ඒ රටේ (ආන්ද්‍රා ප්‍රදේශ්හි) ත්‍යාග වශයෙන් හෝ වන්දනා කරුවන් විසින් ගෙන එන ලද ඒවා යැයි සිතමි. (මූර්ති කලාව - ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමි ලියූ ලිපිය පි. 4 (1990) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)

අමරාවතී පුදබිමෙන් හමුවූ ඉතා ප්‍රකට මූර්ති ඵලකයක් ද මේ සමඟ ඉහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් හමුවූ එම මූර්ති ඵලකයේ කාන්තා රූප ද ඒ හා සමානත්වයක් දරන බව පෙන්වීම සඳහා ය. එම මූර්ති ඵලකයෙන් නිරූපණය වන්නේ සුජාතා සිටු දේවිය බුදුරජාණන් වහන්සේට කිරිපිඬු පූජා කරන අවස්ථාව ය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ මූර්තිඵලකවල සහ අමරාවතී හා නගර්ජුනාකොණ්ඩ ඇතුළු ආන්ද්‍රා ප්‍රදේශ් හි පුදබිම් වලින් හමුවන මූර්ති කැටයම්වල සමරූපිතාවය මෙයින් පැහැදිලිවේ. මේ මූර්ති කැටයමෙහි (අමරාවතී පුදබිමෙන් හමුවූ) බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරෙන්නේ ශ්‍රී මහා බෝධියෙනි. ඊට හේතුව ඒ වනවිට බුදුරජාණන් වහන්සේ මානවරූපීව නිරූපණය කිරීම සිදු නොවූ හෙයිනි.

මහඉලුප්පල්ලම ගොවිපළෙන් හමුවූ හිටි බුදුපිළිමය (1962) ආන්ද්‍රා දේශයෙන් මෙරටට ගෙන එන ලද බුදු පිළිමයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරන කරුණකි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්