කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»

ඔප්පුව සරිවරිය

ඔප්පුව සරිවරිය

අව් කාශ්ටකේට, බොල් හුළඟට, වැහි පිනි හිරිකඩේට, මැහි මදුරු උවදුරේට, තවත් එව්වා මෙවුවට අනන්තර අප්පරමානෙ දුක් පීඩා විඳිමිං අපේ ගම් තුලානවල ඇත්තං දහසකුත් එකක් ලාබ පොරෝජං බලා පො‍රොත්තු පපු කැණතිඹල මඩිස්සල් කොරගෙන හිරී කේඩියේ ගැහෙන්නෙ අහවල් එහෙකට ද කියා විඩප්පහකට හිතෙනවා. එහෙම්මට ම කීවත් එයිං ඒත්තුයට මූලික කාරිණාව වෙන්නෙ තම තමන්ගෙ අඹුදරු වරිගයා බඩ සා දුකිං මුදා ගන්නට මිසක්කා වෙන අහවල් කෙංගෙඩියකට (පුවක් කොළපතින් හෝ කෙසෙල් කොළ අග්ගිහවලින් ආවරණයකොට දික්හැඩයට බැඳගන්නා කිරිබත්මුල) නෙමෙයි.

ඇඟපත සයිරි මාංසයෙන් මහපොළෝ පතුගාල තුංහාරමාසයක් පුරාවට තුංතිස්පෑයේ රැකවල්ලාගෙන කැලෑ බද්දර සතා සීපාවාගෙන් වාගෙම මැස්සා, කූඩිත්තා, කූඹිත්තා, පණුවා දැලියා වැහේ පළිබෝධකයා ගෙනුත් එව්වා ආරස්සා කොරගංනා එක ලේසි පාසු කාරියක් නෙමෙයි. මේ සේරෝම උවං දිරං (බාධකවන කාරණා) ඔලිං අහකාවෙ තමයි ගොයිතැන බතක් බවට පත්කොරගංනෙ.

බොහොමයක් වේලාවට අහස් වැස්ස ම නම්බු කොරගෙන (විශ්වාසකරගෙන) හේන් කුඹුරු පතුගාන අපේ ඇත්තංගේ අර කියාපු අසක්කු අඩුලුහුඬුකම් මකා ගැනීමේ අපේක්සාවං තුං හිතිංවත් නොහිතාපු ආකාරෙට පෙලක් විඩේකට පැත්තකට උසික්කා වෙනවා. වැස්ස වළාහක දෙයියො හිත්පිත් නැත්තැහෙ අහක බලාපුහාමයි එහෙම වෙන්නෙ. නොවෙනවට වැඩිමනත් එහෙම වෙනවාර එමටයි.

අකල් ඉඩෝරෙත් තෙක්ක නියං සාය අල්ලංනෙ සේ‍රෝම දැවිල පිස්සිලාම නෝන හිංද ඩිංග ඩිංග හරි ඔහේ උගාවට අඳ අස්සනුත් ලැබෙනවා. කමත් පිල්ලෑවෙම දි එව්වයෙං බොහොමයක් ණය තුරුස්ඔලට හිලව් වෙච්චහම ඉතුරු සිරා බිරාව කැඳවීමටවත් සෑහෙන්නෙ නෑ. එහෙම දේට වැක්ක නොදෙන පෙලක් ඇත්තංනෙ හිත් කිඹුල් හං තරමට රළු පරළුවෙලා සොච්චං අතකට පහුවීමකදි උනත් නොරොක් නෝක්කාඩුකං වීගෙන උන් උන්ම විරසකේ අහක බලාගන්නවා. තැම්මට, නැම්මට, මඟුලට, ඉලව්වට තෝමට එපා එපාමයි කියා කිපී කෙලහාගෙන එහා ගෙදර පැනයං තනල තියෙන වැට කඩුල්ලටත් කටුපොකුරු කරඳවනවා.

එහෙම්මට ම කීවත් කෙරුණත් වටින කියන තවත් පැත්තකුත් ඒ ඇතුළේ ම තියෙනවා. ඒ තමයි එකෙකුට එකියකට දුකක් අරෝවක් වැදිලා කෑමුර දෙනවා ඇහෙනකොට අර කියාපු වල කඩුල්ලත් කඩා බිඳගෙන ගෙහුං අනේ මයෙ අම්මනෙ අපුච්චානෙ කියාන බදාගන්න එක. මං මේ කියං යන සංගදියත් (සිදුවීමත්) එහෙමට එක්ක ම නූනත් එහෙම තැනකට යාදෙන එකක්.

මේ කියන වංගියේ ගමේ පාරක් අහබඩ අපි දෙගොල්ලකට පොදු ඉඩමක් තිබුණා. ඒත් ඒකෙ පැළ භෝග හදා වඩාගෙන තනි හිතුලුවට බුත්ති සත්ති වින්දෙ අනෙක් පාරුසේ අපේම වරිගක්කාරයො කොටහක් ඉතරයි. ඉඩමෙ අයිති වාසිකං තහවුරු කොරන ඔප්පු තිරප්පුවක් අපේ තාත්තා සංතකේ තිබ්බත් උන්දැ ඒ ගැන ලෙපිය ඇරල වගේවගක් නැතුව කරබා ගත්තෙ අනේ මොකටදෑ කියන්නැහෙ. ඒකට විරසකව තක තකේ දතකාපු අපේ ම අයියා එක දොහක සංඩු සරුවලේට මුල පුරන නෝබින වැඩක්කෙරුව. ඒ තමයි වෙනත් තැනක හිටවන්ඩ ගලෝපු කෙහෙල්ගස් දෙහකිං කපාපු අග කොටහවල්දෙක සහං එළියෙම ඇන්න ගෙහුං උඩිංමත්තෙ අර ඉඩමෙ හි‍ටෝපු එක. ඒක දැකපු අර පාරුසෙ ඉලංදාරි ගෙඩියෙක් කටමැතේ දොඩා සද්ද බද්ද කොරාන හිටි පිම්මේ ඇවිත් ඇති වැරේට බදල කෙහෙල්ගස් අදිනකොට එවුවත් ගලවාගෙන උන්දැගෙ පස්ස ගිහින් බිම ඇනුණා. මේ කටම්මටම ඇහිල කුලප්පුවෙලා යාවෙම තිබ්බු ඒ ගෙදර ඇත්තොයි පාරෙ යන එන ඇත්තොයි කූට්ට රැව්වට (එකාට එකා තද වුන බොහෝ අය) එතෙන්ඩ කඩා වැදුණේ, කුඹ තෙරුවක් (යම්කිසි කල බැගෑනියකදි මුලා දෑනින් කරන මහ විභාගය) බලන්නැහෙ.

ගව දරුවො කීප දෙනෙක් නැම්මේලාගෙන (කෑමට යොමුකරගෙන) හිටපු අපේ තාත්තා මේ හැංදෑ මාන වේලාවෙ උන්වත් දක්කාගෙන යද්දි මේ විලම්බෑසෙ (කලබලේ) ඇහිලා එතෙංඩ එබුන්. “ආහ් මහමිනිහත් කැත්තක් කිහිලිගන්නාගෙන ආවෙ මයෙ පැටියට කොටන්ඩද?” කියාගෙන ඒත්තෙක්කම එතන හිටපු එදිරිවාදිකාරයගෙ මෝ (අම්මා) අපේ තාත්තට අවුනු මෙවුනු (නෝක්කාඩුකම්) කියංඩගත්ත. ‘කුරිච්චි’ නමිං කව්රුත් හඳුන්නාපු උන්දැ අපේ තාත්තගෙම ඇවැස්ස නෑනා කෙනෙක්. අපි උන්දැට කීවෙ බක්කම්මා (ලොකු අම්මා) කියලා. ඒත් උන්දැ අපේ තාත්තට වයසින් බාලයි.

“උඩක් පල්ලක් නැතුව උඩදාංඩ එපා කුරිච්චියේ.... කපනවා බෙල්ල....” කටකම සිරියාවක් නැතුව බක්කම්මා අකරහනෙ (අහේතුකව) කියන දෙස් දෙවොල් අහංඩ බැරිම තැන තාත්තා අතේ තිබ්බ අත්කැත්ත උළුක්කොර කීව ඉතිරයි. “හා පුළුහංනං කපාපං හජ්ජා (“හපනා” මුස්ලිම් ඌරුවට ගැනෙන නමක්) කියාගෙන තාත්තගෙ ඇඟටම තල්ලු වුණ ඒ හාම තාත්ත කෙරුවෙ කැතිතලේ මුවහත නැති පැත්තෙන් උන්දැගෙ බෙල්ලෙ පිටට තියල අතුල්ලපු එක. කොහොමටත් වැරේට කොරපු ඒ ඇතිල්ලිල්ලට බෙල්ල යං තරමකට තුවාල වෙලා උන්දැගෙ ළපැත්ත දිහාවට ලේ බිංදු කීපයකුත් වැටුණා.

“මහ එකා මයෙ බෙල්ල කැපුවෝ” යි පත්තෑයමම දෙහදුවන (දෙවනත්වන) තරමට උන්දැ කෑමුර දෙන ඒ අල්ල පනල්ල අවුවස්සෙං සෙනඟ පීරාගෙන ඉස්සරහට ආවේ උන්දැගෙම අප්පොච්චා. (අපේත් කිරිඅත්තා) “උගෙ ගෑනිගෙ බෙල්ල කපා ගන්ඩ බැරිනං මරාගෙන කාපුදෙන්... මෙය අපුච්චල මෙහාට ආපහු හැරියල්ල” උන්දැ හැර මිටියත් මානාගෙන වැත්ත දෙවැත්තෙ ගන සැරේට එහෙම කියනකොට මහා අණ පනතකට ආං බාං උනාවාගේ (මෙල්ල වුණා) සමානෙ සේරෝම දෙනා කස්ගලා ආපහු හැරුණා. තමං කොරගත්තෙ මහාමරිකොමක් ගාණකට බක්කම්මාත් අඬ අඬාම ඒ පස්සෙං වැටුණා.

අපෙ අම්මා විහිං පතල්ලා දුන්නු බත් පත දිහෑවත් රෑවිං රෑ වෙනකලුත් ඇහැක් ඇරල නොබලපු තාත්තා බැලූ අත බලානම කල්පනාවට වැටී හිටියා. ඒ මැදි මැද්දෙ කොහේදෝ ඉඳං ඇවිත් ගෙට ගොඩ වැදිච්චි අයියණ්ඩියා සිද්දියෙ අලුත් පානිපා (සුලමුල විස්තර) කියංඩ ගත්තෙ තැති ගැම්මට කඩිමුඩියෙකුත් පාගෙන. “බක්කම්මත් ඉස්සරකොරාන උන්දැගෙ අර අලුගුත්තේරු පුතය පොලීසි යනව කියල ගියා. මගට ගෙහුන් අහකාවෙ “උඩ බලල කෙල ගහ ගන්නෙ මොකට ද කියල බක්කම්ම අරූටත් බැණල ආපහු හැරිල. පයලිස්සා වැටිල උලක ඇනුණා කියලා බේත් හේත් කරගෙන ගෙදර ඇවිත් තියෙන්නෙ.”

“ලොකු එකෝ කිසි අරෝවක් නලංගුවක් (කරදරයක්) නැතුව පාඩුවෙ හිටපු මං නේද උඹ මෙහෙම දේකට පැටලෙව්වෙ...” “එතකොට තාත්තෙ අපි ළඟ තියෙන අර ඔප්පුව බොරු එකක් ද?” “ඔප්පුව නේන්නං ඒ මායියා ඔප්පු කොරල ඔය කරබාගෙන තියෙන්නෙ... මං ජීවතුං අතර හිටියා නැතෑ ආයෙ කිසියම් ම දාක අඩියක් තියන්ඩ එපා ඔය ඉඩමට විතරක්” තාත්තා ‍එහෙම කියල දෙන්න අතරෙ වෙච්චි දෙබහට අහවර අලගුව තිබ්බෙ දෑහෙ නැගුණු කඳුළු බිංඳුවක් දෙකක් සාලු පොටිං පිහගෙන.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්