සහතික මිලක් නාවොත් වී ගොවියා හාමතේ
ආර්ථික සංවර්ධන
සහතික
මිලක්
නාවොත්
වී ගොවියා
හාමතේ
 වී මිල දී ගැනීමේ වැඩ සටහන සම්බන්ධයෙන් ගොවිජනතාව තුළ පවතින ආකල්ප
සුබදායී නැති බව හා, විවිධ මතභේදයන්ට තුඩු දී ඇති බව පිළිඹිබු වූයේ පසුගිය දා
පැවැති ගොවි ජනතාවගේ උද්ඝෝෂණය යෙනි. ඒ පිළිබඳ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ
ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අදහස් දැක්වීය.'' අපේ රටේ අවුරුද්දකට
නිෂ්පාදන කරන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 65ක් . මේ අනුව යල කන්නයේ
මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් නිෂ්පාදනය කරන අතර මහ කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ
35ක් නිෂ්පාදනය කරනවා. මහ බැංකු වාර්තාව අනුව වී කිලෝවක නිෂ්පාදන වියදම
රුපියල් 33.29ක්. දැන් ආණ්ඩුවෙන් අපිට වී සඳහා රුපියල් 40ක සහතික මිලක් ලබා දී
තිබෙනවා.
හැම රජයක්ම මේ ආකාරයේ සහතික මිලක් ලබා දුන්නා. එහෙත් මේ මිල කුමන මොහොතකවත්
නීති ගත කළේ නැහැ.රජයක් විදහට මේ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. හැම
ආණ්ඩුවක්ම ගොවියා විශාල පීඩනයකට ලක් කළා. මේ ආණ්ඩුවත් ඒ ප්‍රශ්නය ගැන තැකීමක්
කරන බවක් පෙනෙන්නේ නැහැ. මේ පාරත් ආණ්ඩුව වී මිලදී ගන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්
විතරයි. ගොවියන්ගේ වී නිෂ්පාදනයෙන් ඉතිරි වෙන ලක්ෂ 33ක්ම අතරමැදියන්ට
දෙන්න සිද්ධ වෙනවා. සහතික මිලක් ප්‍රකාශ කළාට අතරමැදියන් ගන්නේ වී කිලෝවක්
රුපියල් තිහත් තිස්පහත් අතර මිලකට. ලබන සතිය වෙන විට සහල් තොග
මහාපරිමාණයෙන් වෙළෙඳ පොළට එනවා. තාම සියයට දහයයි වෙළෙඳ පොළට ඇවිල්ලා
තියෙන්නේ. සියයට අනූවක්ම තවම වෙළෙඳපොළට ඇවිල්ලා නැහැ. එතකොට සැපයුම වැඩිවීම
නිසා තවත් වී මිල අඩුවෙනවා.
ඒකියන්නේ වී කිලෝවක් රුපියල් විස්සටවත් දෙන්න සිද්ධ වේවි. වී නිෂ්පාදනයේ දී
කිලෝවක් සඳහා රුපියල් 33.29 ක් වැය වුණත් අවසානයේ දී ගොවියාට වී විකුණන්න
සිදුවන්නේ රුපියල් විස්සක් වගේ අඩු ගාණකට. ගොවියෝ මේ මිලට වී දෙන්න කැමැති නැහැ.
එහෙත් අවසානයේ කරන්න දෙයක් නැතිකමට එලෙස කරන්න සිද්ධ වෙනවා. ඉදිරියට එන්නේ
සිංහල අවුරුද්ද.ගොවියන්ට අවශ්‍යතා තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍යතා ඉටුකරගන්න
මුදල් නැහැ. මේ නිසා ආණ්ඩුව මිලදී ගත් පසු ඉතිරි වෙන වී මෙට්‍රික් ටොන් ලක්ෂ
තිස්තුන තුට්ටු දෙකකට දෙන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වයට ගොවියා පත්වෙන්නේ ඉබේටම.
මේක මං කොල්ලයක්. ආණ්ඩුව සහතික මිල කියලා කිව්වට මේ මිල හැම තැනටම වලංගුවෙන්නේ
නැහැ. සහතික මිල නීති ගත කළා නම් මේ තත්ත්වය උදාවෙන්නේ නැහැ.
සහතික මිල නීතිගත කරන්න ආණ්ඩුවට මුදල් වැය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට
යෝජනාවක් ඉදිරිපත් කරලා සරල බහුතර ඡන්දයකින් එය සම්මත කරගෙන ගැසට්
නිවේදනයක් කරන එක ආණ්ඩුවට ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි . එතකොට සහතික මිලට
අඩුවෙන් වි මිලදී ගන්න කිසිම අතරමැදියෙකුට බැහැ. එයින් ගොවියා ලොකු
සාධාරණයක් ඉටුවෙනවා.
පාරිභෝගිකයාගේ පැත්තෙන් වුවත් සිදුවන්නේ ලොකු අසාධාරණයක්. ගොවියාගෙන්
රුපියල් විස්සක් වැනි අඩු මිලකට වී මිල දී ගත්තට සහල් ලෙස විකුණන්නේ රුපියල්
හැත්තැවක් අසුවකට වගේ මුදලකට. හාල් කිලෝවක මිල නිර්මාණය වෙන්නේ වී කිලෝවක
මිල රුපියල් පනහයි කියන ස්ථාවරයේ ඉඳගෙන. වී කිලෝ සියයකින් හාල් කිලෝ
හැටපහක් හදන්න පුළුවන්. අතරමැදියන් වී කිලෝවක් රුපියල් විස්සක් වැනි
ඉතාමත් අඩු මුදලකට මිලදී ගෙන රුපියල් හැත්තෑවක් ,රුපියල් අසූවක් වැනි මුදලක
පාරිභෝගිකයාට හාල් අලෙවි කරනවා එයින් ගොවියා විතරක් නෙවෙයි පාරිභෝගිකයාත්
සූරාගෙන කනවා.
අතේ ඇඟිලි ගාණනටත් වඩා අඩු පිරිසකට තමයි මේ වාසිය ලැබෙන්නේ. ඒ මේ රටේ සහල්
වෙළෙද පොළ හසුරුවන සුළුතරයක් අතරමැදියන්. අපි ආණ්ඩුවට ඇඟිල්ල
දික්කරනවා. ඇයි ආණ්ඩුව පෙනී ඉන්නේ ගොවි ජනතාව වෙනුවෙන් නෙවෙයි. ගොවි ජනතාවගේ
නිෂ්පාදන මං කොල්ල කන ඉතාමත් අතළොස්සක් දෙනා වෙනුවෙන්. හැබැයි වී වල සහතික
මිල නීති ගත කළොත් එහි වාසි ඍජුවම ගොවියාට ලැබෙනවා.
රූපාන්ති බුලත්සිංහල
පසුබිම් කතාව සහ ඡායාරූප
අමිල ප්‍රභාත් වනසිංහ
(අනුරාධපුර විශේෂ )
සේන එදිරිසිංහ
(වයඹ පළාත් සංචාරක)
ඡායාරූප - සුදම් ගුණසිංහ
චෙක් නෑ;
කල් මරන්නේ නෑ මිල දී ගත් වීවලට
මුදල් ඉක්මනින්ම
මෙවර වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ නිකවැරටියේ දී පවත්වන ලදී. ගොවීහු තමන්ගේ
අතිරික්ත වී තොග නියම කළ සහතික මිලට රජයට බාර කළා. මෙවර රජය මිලදී ගැනීමට
තීරණය කරන ලද වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ පිළිබඳ වී අලෙවි
මණ්ඩලයේ සභාපති එම්.ඩී. දිසානායක මහතා කරුණු පැහැදිලි කළේ මෙසේය. අපි මෙවර එක
ගොවියෙකුගෙන් වී කිලෝ දෙදහක් මිලදී ගන්නවා. ගොවියන්ට මුදල් ලබාගන්න එතරම්
කාලයක් ගතවෙන්නේ නැහැ. දිසාපතිවරුන් මාර්ගයෙන් තමයි මුදල් නිදහස් කරන්නේ.
අවසානයේ චෙක්පත්වලින් නෙවෙයි මුදල් ලෙසින් ම තමයි ගොවියන්ට ලැබෙන්නේ.
ගොවියන්ගෙන් වී ගන්නේ මිල රුපියල් පනහට. ගන්න වී තොගවලට හානියක් නොවන ලෙස
ගබඩා කරනවා.
මෙවර අම්පාර, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට යන ප්‍රදේශ වලින්
තමයි අපි වී මිලදී ගන්නේ.
“පසුගිය කාලවලදී මිලදී ගත්ත වී තොග නරක් වුණා. ඒ පිළිබඳව විවිධ ප්‍රශ්න ඇති
වුණා. එහෙත් අපි මෙවර මිලදී ගන්නා වී තොග නරක් වෙන තෙක් ගබඩාවල තබාගන්නේ නැහැ.
ඒවා අපි නිසි කාලයට සහල් කරනවා. සහල් කිරීමේදී අපි නව ක්‍රම යොදා ගන්න තීරණය
කරලා තියෙනවා. වී සහල් බවට පරිවර්තනය කිරීමේදී ඇතිවෙන දුර්වලතා නිසා
සහල්වලට නිසි වටිනාකමක් දෙන්න බැරි තත්ත්වයන් මීට පෙර ද උදාවී තිබුණා.
ගොවි ජනතාවට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට
සමගාමීව මුදල් ලැබෙනවාද කියන එක. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. වී මිලදී
ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව මුදල් නිදහස් වෙනවා.
අපි දන්නවා ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න. ගොවියන් කියන්නේ විශාල ණය බරක් තියෙන
පුද්ගලයන්. ඒ අයට කලට වෙලාවට මුදල් ලැබුණොත් එයින් පහසුවක් ඇති වෙනවා.
අතරමැදියන්ට අහුවෙලා ගොවියො හැමදාම තාඩන පීඩනවලට ලක්වෙනවා. මේ
තත්ත්වයෙන් ගොවියන් මුදා ගන්න තමයි අපේ බලාපොරොත්තුව.
වී තිබෙන සෑම කෙනෙකුගෙන් ම වී මිලදී ගන්නවා ද? යන්න ඔබට ප්‍රශ්නයක් ඇති වෙනු ඇත.
වී වල ප්‍රමිතිය, ඊට බලපාන කොන්දේසි, ඒ සෑම දෙයක් ම වී මිලදී ගැනීමේ
ක්‍රියාවලියේ දී සලකා බලනවා.
මිලදී ගන්නා වී වල ප්‍රමිතිය මෙසේ විය යුතුයි.
ජලය ප්‍රතිශතය 14% අඩු ප්‍රමාණයක්.
අපද්‍රව්‍ය 1%
වර්ග මිශ්‍ර 6%
බොල් 9% උපරිමය
දුර්වර්ණ ඇටවලින් හා කෘමීන් හානිකළ ඇටවලින් තොරවීම. බිත්තරවලින් තොරවීම.
මෙවර වී මිලදී ගැනීමේ ක්‍රමවේදය කලාප හතකට බෙදා වෙන් කර තිබේ. ඒ අනුව
පොලොන්නරුව අනුරාධපුරය, අම්පාර, වයඹ දකුණ, උතුර සහ නැඟෙනහිර යන
ප්‍රදේශවලින් වී තොග මිලදී ගනු ලබයි. කලාප හතට ප්‍රාදේශීය කළමනාකරුවන්,
සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් පත්කර තිබේ. ඒ සඳහා කළමනාකරුවන් 150
දෙනෙකු සූදානම් කර තිබිණි.
වී මිලදී ගැනීමේ සමස්ත වැඩසටහන වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් මිලියන නවදහස්
නවසියයක මුදලක් වෙන් කර තිබේ. සම්බා සහල්, රුපියල් පනහක සහතික මිලටත් නාඩු
සහල් රුපියල් හතළිස් පහක සහතික මිලටත් මිලදී ගනු ලැබේ. කිලෝ හැත්ත දෙදහසක
වැඩිම මිලදී ගැනීම සිදුවූයේ අම්පාර දිස්ත්‍රික්කයෙනි.
වී මිලදී ගැනීමේදී සුදුසු ප්‍රමිතියක් තිබුණ ද වී ගොවියා එම වීවල නිත්‍ය
අයිතිකරුවා ද යන්න ප්‍රශ්නයක් මතුවේ. වී වගා නොකළ ද ගොවි නාම ලේඛනයේ නම සඳහන්
වේ. නමුත් මොවුන් සතුව වී තිබූ පමණින් ම ඔවුහු නිත්‍ය අයිතිකරුවෝ නොවෙති. ඒ
නිසා සත්‍ය වී වගාකරුවෝ පොහොර නාම ලේඛනයෙන් හඳුනා ගනු ලැබූහ.
වී මිලදී ගැනීමේදී නොයෙක් අක්‍රමිකතා මීට පෙර සිදුව තිබූ නිසා ගබඩා ආශ්‍රිත
කමිටුවක් පත් කරන ලදී. ගමේ ග්‍රාම නිලධාරී, ගොවිජන සේවා නිලධාරී, ප්‍රාදේශීය
ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් මේ කමිටුව සමන්විතය. දිවයින පුරා
මධ්‍යස්ථාන එකසිය තිස්හතක වී මිලදී ගැනීෙම් වැඩසටහන ක්‍රියාත්මක විණි.
අනුරාධපුර ප්‍රදේශයේ ගොවීහු වී මිලදී ගැනීම පිළිබඳ දැක් වූ අදහස් මෙහිදී
වැදගත් වේ.
“මම කනදරාව ගොවිජනපදයේ සභාපති හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක
සභික ප්‍රසන්න කුමාර නවරත්නයි. මං හිතන්නේ මිලදී ගැනීමේ නිසි යාන්ත්‍රණයක් නෑ.
එක් ගොවියෙකුගෙන් වී මිලදී ගන්නේ කිලෝ ග්‍රෑම් දෙදහසක් විතරයි. අක්කර තුනක්
විතර තියෙන ගොවියෙකුට මොකද වෙන්නේ. එයාට වී කිලෝග්‍රෑම් හය දහසක් පමණ ලැබෙනවා.
ඉතිරි වී ටික දෙන්න විදිහක් නෑ. මේ වී මිල නීතිගත කරනවා නම් හොඳයි. එයින්
ගොවියාට හොඳ මිලක් වී වලට ලැබෙනවා.”
වී මිලදී ගැනීම පිළිබඳ අනුරාධපුර නාච්චාදූව පදිංචි කේ.එම්. ඒකනායක මහතා
දැක්වූයේ මෙවැනි අදහසකි.
“අපි නියඟයෙන් වගේම ගංවතුරෙනුත් පීඩා විඳිනවා. කනකර පවා උගස් තියලා අපි වගා
කරන්නේ. වී වගාවට ස්ථිර වැඩපිළිවෙළක් සකස් වුණොත් හොඳයි.”
වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවියෝ ද
විවිධ අදහස් ඉදිරිපත් කළහ.
“මගේ නම එල්.එම්. තව්පික්. මම වී මිලදී ගන්නෙක්. අද ගොවියන්ට මේ ප්‍රමිතිය
තේරෙන්නේ නැහැ. මං හිතන්නේ පොහොර සහනාධාරය දෙන නිසා වී වලට සහතික මිලක් අවශ්‍ය
වෙන්නෙ නැහැ.
“මගේ නම සිරිල් ජාතුංග. මං ව්‍යාපාරිකයෙක්. ගොවියන්ට සහතික මිලක් දුන්න ඒක
හොඳයි.” ඒත් වී වල ගුණත්වය ඉහළ නම්, මං ඊට වඩා වැඩි මිලට වී ගන්නවා.”
වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නේ
අපිට ඔක්කොම වී මිලදී ගන්න බැහැ. අපි වී මිලදී ගැනීමේ දී ප්‍රමිතිය පිළිබඳ විමසීමක්
කරනවා. වී වල තෙත ප්‍රමාණය සියයට 14ක් තිබිය යුතුයි. ඊට වඩා වැඩියෙන් තෙතබරිත වෙලා
ති යෙන වී
අපිට මිල දී ගන්න බැහැ. එහෙම ගත්තොත් අපේ මුදලත් අපරාදේ. ඒ වී ගබඩාවල තැන්පත් කළොත්
ඒවා පුස්කනවා. අපිට බැහැ තේරුමක් නැතුව ප්‍රමිතියක් නැති වී ගන්න. ඉදිරියේදී
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වීවල තෙත ප්‍රමාණය මනින මාපක පිටරටින් ගෙන්වලා ගොවි
සංවිධාන වලට බෙදා හරිනවා .
ඒ සඳහා විශාල පිරිවැයක් වැයවෙනවා. ඒත් අපි ඒ දේවල් වුණත් ගොවියන් වෙනුවෙන් කරන්න
ලෑස්තියි. අපි පාලන මිලක් පැනෙව්වේ ගොවියන් සුරාකන්නන් ගෙන් ගලවන්න හිතාගෙන මිස
ගොවියන් අපහසුතාවට පත් කරන්න නොවෙයි. ගොවි සංවිධාන ඉල්ලීම් කරන ආකාරයට හැම දෙයක්ම
එකපාර කරන්න බැහැ. හැම දෙයක්ම පියවරෙන් පියවර තමයි කරන්න ඕනේ. මේ පාර තමයි අපි
විශාල වී ප්‍රමාණයක් මිලදී ගන්නේ. අපිට තියෙන වී ගබඩා ප්‍රමාණය තවදුරටත් වැඩි
කරගන්න අපි ඒකටත් පියවර ගන්නවා.” ඒ වගේම වී මෝල් ප්‍රමාණය වැඩි කරන්නත් අපේ
බලාපොරොත්තුවක් තියෙනවා. පැරැණි ණය ප්‍රමාණයන් කපා හරින්න කියලා අපි රාජ්‍ය
බැංකුවලට කියලා තියෙනවා. ඒ අනුව අපි ක්‍රියා කරනවා.
|