රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

වතුකරයේ ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන

වතුකරයේ ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන

උතුරේ දේශපාලනඥයෝ

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූයේ මුළු ලොවම කම්පාවන සිදුවීමකි. මේ සිදුවීමත් සමඟ මුළු ලොවේම අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාව පිළිබඳවය. එපමණක් නොව මුළු රටේම අවධානය යොමුව තිබුණේ ද මීරියබැද්ද වතුයාය පිළිබඳවය. මේ සිදුවීම ගැන කම්පාවට පත්වූ පිරිස් විපතට පත්වූ ජනතාවට ආධාර උපකාර කරන්නට ඉදිරිපත් වූයේ ජාති ආගම් කුල භේදයකින් තොරවය.

මේ නායයෑමෙන් විපතට පත්වූ ජනතාවට සාමාන්‍ය වැසියන් උදව් උපකාර කළේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවේය. යම් කෙනකු එවැනි ලාබ ප්‍රයෝජන අපේක්ෂ‍ාවෙන් මෙම වතුයායට පැමිණෙන්නේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

පසට යටවී මියගිය අයගේ සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින්නේ අටසියයකට අධික ආරක්ෂක හමුදාවක්. ඊට නාවික, ගුවන් යුද හමුදාවන්ට අමතරව විශේෂ කාර්ය බළකාය ද එක්ව සිටී. මේ ආරක්ෂක හමුදා සාමාජිකයන් විටින් විට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව පවා නොතකා ඉහළ පස්කඳු යළි නායයාමේ අවදානම පෙනි පෙනී මේ කාර්යයේ නිරතවන්නේ මහත් කැප කිරීමකිනි.

මීරියබැද්ද වතුයායේ නායයෑම සිදුවූයේ ඔක්තෝබර් 29 වැනිදා පෙරවරු 7.30ත් 7.45ත් අතරය. එම නායයාමේ සිදුවීමෙන් පැය හතරක් තුළ කොළඹ සිට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොන්ඩමන් මීරියබැද්ද වත්තට පැමිණියේය. තමන්ගේ ජන වර්ගයාට සිදුවූ හානිය දැක ඔවුනට ඒ මොහොතේ පටන් කළ යුතු කාර්යයන් ඉටුකර දීම ඔහුගේ මූලික අරමුණ විය.

පසුදින එනම් 30 වැනිදා උදෑසනම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගුවන් මඟින් නායගිය ස්ථානය නිරීක්ෂණය කර පසුව අවතැන් වූ වැසියන් සිටි කඳවුරු වෙත ගියේය. ඉතා සංවේදී ලෙස ඒ ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා හැඟීම්බර දෙනෙතින් ඔවුන් දෙස බලා කියා සිටියේ කිසි කෙනකුට අනාථයන් වීමට කිසිදිනෙක ඉඩ නොදෙන බවය. ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය ඒ ජනතාවට මහත් ශක්තියක් විය.

එම ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ලෙස රජයේ නිලධාරීන්ට නියෝග කළ ජනාධිපතිතුමා මේ සිදුවීමට වගකිවයුත්තන් කවුද යන්න සොයාබැලීම සඳහා වහා පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම පරීක්ෂණ සිදුවෙයි. මේ අතර මේ නායයෑම පිළිබඳව කල්තියා දැනුම් නොදුන් බවට විපතට පත් ජනතාවගෙන් චෝදනා එල්ලවූයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ශාන්ති ජයසේකරටය. මේ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර එසේ චෝදනාවට ලක්වූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මාරුකර තිබිණි. එහෙත් පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතී.

මේ පරීක්ෂණ සිදු කෙරෙන ආකාරය තුළ විනිවිදභාවයක් පෙනෙන්නට ඇත. මේ අතර අවතැන් වී කඳවුරුවල වෙසෙන ජනතාවට ආහාරපාන සැකසීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක හමුදාව විසින් සිදුකරනු ලබයි.

එම ජනතාවට අවශ්‍ය සියලුම දෑ ආණ්ඩුව සපයන අතරතුර විවිධ පුද්ගලයින් හා ආයතන හරහා ද විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතී. එම ආධාර සාධාරණ ලෙස මේ ජනතාව අතටම ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.

මෙසේ රැගෙන එනු ලබන ආධාර බාරගෙන ගබඩා කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුකෙරෙයි.

මෙසේ තිබියදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමක් ද පැමිණ අවතැන් ජනතාව හමුවී ආධාර බෙදා දෙන ලදී. එහි යම් දේශපාලන මුහුණුවරක් ගෙන තිබෙනු දක්නට ලැබිණි. ඊට පෙර දින එම ස්ථානයට පැමිණි ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු තුළ එවැනි දේශපාලන මුහුණුවරක් දක්නට තිබුණේ නැත.

හරීන් ප්‍රනාන්දු මේ ඛේදවාචකය බලා සිටින අතරතුර එම ස්ථානයට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුහුණට මුහුණ මුණගැසී දෙදෙනාම කථා කළේ මේ ව්‍යසනය ගැනත් අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම ගැනත්ය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම හරින් ප්‍රනාන්දු ඌව පළාත් සභා විපක්ෂ නායකවරයා නායගිය කොටස තරණය කරමින් නිරීක්ෂණය කළේ මඩේ එරීගෙනය. ඒ මොහොත වන විට වතු ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් මඩ ගෑවෙනවාට බියේ ප‍ාරේ සිටිමින් ආණ්ඩුවට දොස් පවරමින් දේශපාලන වාසි තකා කටයුතු කරමින් සිටිනු දක්නට ලැබිණි.

එහෙත් ආණ්ඩුව නියෝජනය කර එම ස්ථානයට පැමිණි කිසිවකු එවැන්නක් කරන්නට පෙලඹුණේ නැහැ.

දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් මිරියබැද්ද නායයාම බලන්න ගිය අවස්ථාව.‍‍

අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් හා පළාත් ඇමැති සෙන්දිල් තොන්ඩමන් රජයේ වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුම්වත් කරන අයුරු.

මෙවන් තත්ත්වයක් හමුවේ මේ ඛේදවාචකය සිදුවී දින පහකට පසු එනම් ඉකුත් 2 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මීරියබැද්ද වතුයායට පැමිණියහ. ඔවුන්ගේ නඩේ ගුරා වූයේ බස්නාහිර ජනතා පෙරමුණ නායක මනෝ ගනේෂන්ය.

දෙමළ ජාතික සන්ධානය යනු මළ සිරුරු මත සිටිමින් දේශපාලනය කරන්න පළපුරුදු පිරිසකි. ඔවුන් උතුරේ යුද්ධය නිමාවීමෙන් පසු සිදුකළේත් එයමය. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නා සේ දෙමළ ජාතික සන්ධානය මීරියබැද්දට පැමිණ සිදුකළේත් එයමය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මාවයි සේනාධිරාජා, සෙල්වම් අඩෛකලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පී.සෙල්වරාජා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. මොවුන් අතරේම කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක නියෝජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් යන අය ද සිටියේය.

මේ ජනතාවට ඉටුකර දෙන්නැයි කියන්න දෙයක් දෙමළ ජාතික සන්ධානයට තිබුණේ නැහැ. එසේ වුවද විපතට පත් සියලු ජනතාවගේ අවශ්‍යතා ඉටු කළ යුතු යැයි කියා සිටියහ.

එමෙන්ම අවතැන් කඳවුරුවල සිටින අයට ස්ථිර නිවාස ඉදිකර දීමට ආණ්ඩුව පියවර ගත යුතුයි යැයි ඉල්ලා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොස්ලන්ද නාය යෑමෙන් අපගේ වතුකරයේ ඥාතීන් විපතට පත්වූහ. තවද දසදහසකට අධික පිරිසක් අනතුරු දැක දැක ජීවත්වෙති. මෙවන් තත්ත්වයක් හමුවේ එම ජනතාවට ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර ගැනීමට ආණ්ඩුව ඉඩම් ලබා නොදෙන්නේ නම් උතුරු නැ‍ඟෙනහිර පළාත්වලින් ඉඩම් ලබාදීමට අප සූදානමින් සිටින්නෙමු” යැයි ප්‍රකාශ කළේය.

ආණ්ඩුව මේ ජනතාවට ඉඩම් ලබාදීමට මැළිකමක් දක්වන බවත් ඉඩම් ලබා දුන්නහොත් ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවල් නිවාස ඉදිකිරීමට ආධාර කරනු ඇතැයි ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයට එවැනි අනුකම්පාවක් පහළවීම ගැන අප මවිතයට පත්වන්නේ පෙර සිදුවීම් කිහිපයක් හේතුවෙනි. 1958 ජාතිවාදී කෝලාහලය ඇතිවූ අවස්ථාවේ මේ වතුකරයේ ජනතාව අවතැන් වී උන්හිටි තැන් අත්හැර උතුරට ගියහ. එසේ ගිය කොටසක් කිලිනොච්චි නගරයේ පදිංචිවීමට උත්සාහ කළ අවස්ථාවේ “කල්ලතෝනින්ට කොහේද නගරයේ ඉඩම්” කියා ඔවුන් නගරයෙන් පන්නා දැමුවේ මේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලාගේ වර්ගයා විසින් වීමය.

ඒ අභියෝගයට එදා මුහුණ දුන් පරපුර අද ජීවතුන් අතර නැති නිසා ඒ සිදුවීම සඟවා ගෙන මේ පිරිස අලුත් ඉතිහාසයකින් කථා කරයි. එහෙත් පැරැණි ඉතිහාසය ලේඛණගතවී ඇත. එය මකාදැමීමට මේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලාට නොහැකිය. එලෙස වතුකරයේ ජනයාට ඉතා පහත් අන්දමින් ආමන්ත්‍රණය කළ උතුරේ දේශපාලනඥයින් අද වතු ජනයා ගැන කථා කරන්නේ දේශපාලන වාසි තකා මිස වෙනත් කිසිදුහේතුවක් නිසා නොවේ.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මීරියබැද්ද වතුයායේ ජනතාව ගැන කරන ලද ප්‍රකාශයට පිළිතුරු දුන්නේ ඌව පළාත් සභා ඇමැති හා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොන්ඩමන්ය.

මීරියබැද්ද නායයෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම්, ආරක්ෂාව, ආහාර ඇඳුම් පැලඳුම්, නවාතැන් පහසුකම් පමණක් නොව බෙහෙත් වර්ග සියල්ල කිසිදු අඩුවකින් තොරව සැපයීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

මෙවන් සමයක මේ ඛේදවාචකය සිදුවී දින පහකට පසු විපත සිදුවූ ස්ථානයට පැමිණි සමහර දේශපාලනඥයින් අවතැන් කඳවුරුවලට ගොස් ආණ්ඩුව දෝෂදර්ශනයට ලක්කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව ද සෙන්දිල් තොන්ඩමන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.

මේ දේශපාලනඥයන්ගේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම දේශපාලන වාසි තකා කරන ලද්දකි. ස්වභාවික විපත් වළක්වාලීමට කිසිවෙකුටත් නොහැකිය. එහෙත් ස්වභාවික විපත්වලින් විපතට පත්වූවන්ට අවශ්‍ය උපකාර සියල්ල රජය කරනු ලබයි. මේ ඛේදවාචකය ඇතිවී පැය 4ක් තුළ ඇමැති ආරුමුගම් තොන්ඩමන් ඇතුළු කණ්ඩායම කොළඹ සිට පැමිණ මේ දක්වා මෙහි සිටිමින් ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බවත් එහි සඳහන් විය.

මේ දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය තරයේ හෙළාදකින බව විපතට පත් වූ ජනතාව ප්‍රකාශ කරයි. මේ අතර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වතුකරයේ ජනතාවට උතුරු නැ‍ඟෙනහිර ඉඩම් ලබා දෙන බවට කරන ලද ප්‍රකාශය දැඩි ‍ෙලස හෙළාදකින බව කියා සිටි සෙන්දිල් තොන්ඩමන් වතුකරයේ ජනතාව ගැන කථා කරන්නට කලින් උතුරේ ජනතාවගේ ඉඩම් අවශ්‍යතාව ගැන බලාගන්නැයි සුරේෂ්ට දැනුම් දෙන බව ද සෙන්දිල් තොන්ඩමන් කියා සිටියේය.

වතුකරයේ ජනතාවට ආරක්ෂිත ස්ථානවල ඉඩම් ලබාදී නිවාස ඉදිකරදීමට ඇමැති ආරුමුගම් තොන්ඩමන්ට උපරිම ශක්තිය ඇති බවත් වතුකරයේ ජනතාව අයිතිවාසිකම් නැති පිරිසක් නොවන බවත් පෙන්වාදීමට කැමැති බව ද හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රකාශයත් සමඟ ලජ්ජාවට පත්වූ දෙමළ ජාතික සන්ධානය තොන්ඩමන්ගේ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ තම පක්ෂය පීඩිත ජනතාවගේ නියෝජිතයින් වන හෙයින් විශාල විනාශයක් සිදුවූ පසුවත් ආණ්ඩුව සමඟ සිටින එකම හේතුව මත අනෙක් අයගේ වැරැදි සෙවීමෙන් තේරුමක් නැති බවත් වතුකරයේ නව සංචාරය දේශපාලන අරමුණක් ඇතිව කරන ලද්දක් නොවන බවත් තමන් කිසිදිනෙක වතු ජනතාවගේ ඡන්දය ඉල්ලා නොසිටින බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර සිටියේය.

83 වැනි කාලවල සිදුවූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් උතුරු නැ‍ඟෙනහිරට පැමිණ පදිංචි වූ වතු ජනතාවගේ ඥාතීන්ද මීරියබැද්ද නායයෑමට ගොදුරුවූයේ ද යන්න සොයාබැලීමට තමන් පැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.

වතුකරය

කොටි සංවිධානය මෙන්ම දෙමළ ජාතික සන්ධානය අතීතයේ සිටම වතුකරයේ ජනයාව තමන්ට පක්ෂපාතී ලෙස සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබේ. එය වැළකී ඇත්තේ වතුකරයේ බහුතර ජන සහාය සෞම්‍ය මූර්ති තොන්ඩමන් පටන් ලංකා කම්කරු කොංග්‍රසය සතුකරගෙන සිටින නිසාවෙනි.

රට තුළ ත්‍රස්තවාදය පැවැති සමයේ සමහර වතු වෘත්තීය සමිති නායකයින් කොටි සංවිධානය සමඟ සබඳකම් පැවැත්වුවද එය සාර්ථක නොවූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ බලය ඉහළ මට්ටමක පැවැති නිසාය.

එවන් අවස්ථාවක මීරියබැද්ද සිද්ධිය මුල්කරගෙන වතුකරයට පැමිණ ඒ ජනතාව විනාශ කිරීමට තැත් කළේය යන චෝදනාව මත දෙමළ ජාතික සන්ධානයට අද ප්‍රහාර එල්ල කරන සෙන්දිල් තොන්ඩමන් මෙසේ කීවේය.

“සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වතු ජනතාවගේ ඡන්දය ඉල්ලන්න එහි නොපැමිණි බව සඳහන් කළත් මැතිවරණයකදී කවුරු ඡන්දය ඉල්ලුවත් වතු ජනතාව ඡන්දය දෙන්නේ ඔවුනට සේවය කළ නායකයින්ට පමණයි”

දෙමළ ජාතික සන්ධානයේ උප්පරවැට්ටි තේරුම් ගෙන ලංකා කම්කරු කොංග්‍රසය එසේ කටයුතු කරන විට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම කම්කරු ජාතික සංගමයේ නායක පී.දිගම්බරම් ප්‍රකාශ කරන්නේ වතුකම්කරුවන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හඬ නැඟීම අගේකරන බවය.

තමන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්නය සෘජුව ඉදිරිපත් කර විසඳාගත නොහැකි නම් ඒ සඳහා තමන්ට ආත්ම ශක්තියක් නොමැති බව දිගම්බරම් කරන ලද එම ප්‍රකාශයෙන් පෙනී යයි.

ඔහු කියා සිටින්නේ උතුරේ දෙමළ ජනතාව හා එක්වීම තමන් අගේකරන බවය. ඔහුට අවශ්‍ය කර ඇත්තේ තොන්ඩමන්ට පහරදීම විය හැකිය. එහෙත් ඒ සඳහා වතුකරය දෙමළ ජාතික සන්ධානය වැනි බෙදුම්වාදී කණ්ඩායමකට වතුකරයේ ජනතාව බිලි නොදිය යුතුය.

මේ වන විට මිරියබැද්ද වතුයායේ නායයෑ‍ෙම් සිද්ධිය දේශපාලන පොරයක් බවට පත්ව තිබෙන්නේ මෙලෙසය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්