රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

1970 දී ශ්‍රී ලංකාවට වැඩම කළ මුල්ම පාප් වහන්සේ

1970 දී ශ්‍රී ලංකාවට වැඩම කළ මුල්ම පාප් වහන්සේ

වතිකානුවෙන් පිටතට ගිය මුල්ම පාප් වහන්සේත් එතුමායි

අතීතයේ සමහරුන් පාප් වහන්සේ හැඳින්වූයේ “වතිකානයේ රාජකීය සිරකරුවා” යනුවෙනි. එයට හේතු වූයේ, ලෝක කතෝලික සභාවට එතෙක් සිටි පාප් වහන්සේලා දෙසිය හැටතුන් දෙනා අතරින් කිසිම පාප් වහන්සේ කෙනෙකු රෝමයෙන් බැහැරට ගියේ නැති නිසාය. නමුත් කතෝලික සභාවේ දෙසිය හැටහත් වන පාප් වහන්සේ වසර දෙදහකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැති එම සම්ප්‍රදාය වෙනස් කළේය.

මුල් කාලයේ පාප් වහන්සේ කෙනකුගේ අත සිපාචාර කිරීමට අවසර ලැබුණේ කාදිනල්වරුන් අතරිනුත් කිහිප දෙනකුට පමණි. රෝමයට යන අනිකුත් සියලුම දෙනා උන්වහන්සේලාට ආචාර පිරිනැමුවේ උන්වහන්සේලාගේ පාද සිපාචාර කිරීමෙනි.

නමුත් හයවන පාවුළු පාප් වහන්සේ ජනතාව රෝමය වෙත පැමිණ තමන් වහන්සේ බැහැදකිනු වෙනුවට; තමන් වහන්සේම ජනතාව වෙත ගමන් කිරීමේ සම්ප්‍රදාය ඇතිකළෝය. ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණි පාප් වහන්සේ ද වන්නේ උන්වහන්සේය.

1897 සැප්තැම්බර් මස 26 දින උතුරු ඉතාලියේ කොන්චෙස්සියෝ නම් ග්‍රාමයේ උපන් සයවන පාවුළු පාප් තුමන්ගේ මුල් නම පියෝවානි බැටිස්ටා එන්රිකෝ ඇන්ටෝනියෝ මරිය මොන්ටිනී ය. එතුමාගේ පියා පියෝරියෝ මොන්ටීනි ය. මව මාරියා පියුස්ටිවා ය.

ජේසු නිකායේ පියතුමන්ලා මෙහෙයවූ “චෙසාරේ අරිච්” නම් පාසලේ ඉගෙනුම ලැබු එතුමා 1920 මැයි මස 19 දින පුජාත්වරය ලැබීය. පූජකවරය ලැබීමෙන් පසු උන්වහන්සේ මිලාන් නගරයට ගොස් කතෝලික සභා විනය නීතිය ගැන ඉගෙනීමේ කටයුතුවල නිරත විය. පසුව එතුමා වතිකාන රාජ්‍ය ලේකම් කාර්යාලයේ සහ වතිකාන තානාපති සේවයේ නිරත විය. එම සේවයේ නිරත වන අතරම එතුමා ඉතාලි කතෝලික සරසවි සිසුන්ගේ බල මණ්ඩලයේ ආත්මික අධ්‍යක්ෂවරයා සහ මඟ පෙන්වන්නා වශයෙන් කටයුතු කළහ.

23 වන ජුවාන් පාප් වහන්සේ

23 වන ජුවාන් පාප් වහන්සේ විසින් ජියොවානි මොන්ටිනි පියතුමාව වැනිසියේ රදගුරු තුමා වශයෙන් පත් කරන ලදී. පසුව 1954 දී එතුමා මිලාන් නගරයේ අගරදගුරු තුමා වශයෙන් පත්වූ අතර 1958 දී කාදිනල් ධූරයට පත්වන ලදි. එක්දහස් නමසිය හැටතුනේ දී 23 වන ජුවාම් පාප්තුමන් ස්වර්ගස්ථ වූ අතර ජියොවානි මොන්ටිනි කාදිනල් තුමා; හයවන පාවුළු යනුවෙන් පාප් ධූරයට පත් වූහ.

1967 අප්‍රියෙල් හත්වන දින සයවන පාවුළු පාප්තුමන් පෝපුලෝරුම් ප්‍රෝග්‍රෙසියෝ යනුවෙන් නිකුත් කළ “ජනතා ප්‍රගතිය” යනුවෙන් හඳුන්වන විශ්ව චක්‍ර ලේඛනය, කතෝලික සභාවේ ගමන් මඟ අජඨාවකාශ යුගයකට ඔබින ලෙස හැඩගැස්වීමට මාර්ගය කියාදෙන ලියවිල්ලක් වශයෙන් හඳුන්වනු ලැබේ.

සයවන පාවුළු පාප්තුමන් වසර තිහක්ම වතිකානයේ රාජ්‍ය සේවයේ නිරතව සිටියහ. 1944 ලෝක යුද සමයේ එතුමා මිත්‍ර ජාතීන් අතර සටන් කළ යුද හමුදා භටයින්ට ද, ජර්මන් සෙබළුන් අතර සටන් කළ යුද භටයින්ට ද යුද ගිනි මැද්දේ ලියුම් හුවමාරු කර ගැනීමට බාධාවීම නිසා යුද භටයින් සහ තම පවුල් අතර ලියුම් කියුම් පණිවුඩ හුවමාරු කරගැනීමේ ක්‍රමයක් රෝමයේ ආරම්භ කළෝය.

මෙවැනි හේතූන් නිසාම සයවන පාවුළු පාප් වහන්සේ බොහෝ දෙනකු හැඳින්වූයේ මිනිසාගේ දුක - සැප තේරුම් ගෙන සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට පුළුවන් පමණින් ඇතුළු වී, වැලපෙන්නන් සහ වැලපීමට, දුක්වෙන්නන් හා දුක්වීමටත්; එලෙසින්ම ජනතාවගේ දුක දුරු කරලීමටත් දැඩි ඇල්මක් දැක්වූ උතුමාණන් කෙනෙකු ලෙසය.

එසේම එතුමා අගය කළ තවත් ප්‍රතිපත්තියක් වූයේ සභාවේ හෝ ලෝකයේ ද, මිනිසුන්ගේ ද ප්‍රශ්න ගැටලු දුෂ්කරතා හැකිතරම් ප්‍රමාණයෙන් තමන් වහන්සේම දැන ගැනීමය. සියැසින්ම දැක බලා ගැනීමය. එයට හොඳම ක්‍රමය වූයේ රටින් රට ජනතාව අතරට පියනැඟීමටය.

පාප් ධූරයට රෝමයෙන් බැහැරව යාමේ අලුත් සම්ප්‍රදායක් ඇති කරමින් පාප් වහන්සේ ප්‍රථම වරට 1964 ජනවාරි මාසයේ ශුද්ධ වූ දේශයට වැඩිය සේක. 1964 දෙසැම්බර් මාසයේ ඉන්දියාවට පැමිණියහ. 1965 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයකට වැඩම කළහ. 1

967 මැයි මාසයේ දේව මෑණියන් දර්ශනය වූ පෘතුගාලයේ පාතිමා නගරයට පැමිණියහ. සයවන පාවුළු පාප් වහන්සේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයට වැඩම කළේ 1967 ජූලි මාසයේය. එක්දහස් නමසිය හැටඅටේ අගෝස්තු මාසයේ කොළොම්බියාවේ බොගාට් නගරයට පැමිණියහ. 1969 ජූනි මාසයේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික කම්කරු සම්මේලනයට පැමිණියහ. 1969 ජූලි මාසයේ උගන්ඩාවේ කට්ගාලා නගරයට පැමිණියහ.

එක්දහස් නමසිය හැත්තෑවේ මැයි 27 දින සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පත්වූ සමඟි පෙරමුණ රජය; සයවන පාවුළු පාප් වහන්සේ රාජකීය අමුත්තෙකු වශයෙන් පිළිගැනීමට සතුටු බව දන්වා නිල ඇරයුමක් වතිකාන රජයට සහ රෝමයට යවන ලදි. එය අති සුවිශේෂ ඇරයුමක් විය. බෞද්ධ රටක් වූද, බහුතර බෞද්ධයන් සහිත රජයක් කතෝලික සභාවේ දෘශ්‍යමාන නායකයාණන් වූ පාප් වහන්සේට තම රටට පැමිණීමට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව එය විය.

මේ වන විට සයවන පාවුළු පාප් වහන්සේගේ දෙවන ආසියානු සංචාරය 1970 නොවැම්බර් මස පිලිපීනයට සහ ඕස්ට්‍රේලියාවට යන ගමන සංවිධානය වෙමින් තිබුණි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සමඟි පෙරමුණු රජය එසේ හයවන පාවුළු පාප් තුමන්ට ආරාධනා කරද්දී, කාදිනල් ධූරයක් ලැබූ ප්‍රථම සිංහලයා වූ තෝමස් කුරේ අගරදගුරු තුමාගේ ප්‍රධානත්වයෙන් වූ රදගුරු මණ්ඩලය ද සයවන පාවුළු පාප් තුමන්ට ශ්‍රී ලංකාවට සැපත් වන ලෙස ගෞරවයෙන් ආරාධනා කළේය. පාප් තුමන්ගේ දෙවන ආසියාතික ගමනේදී අඩු වශයෙන් කටුනායකින් ලංකා පොළවට පා තබා හෝ යන්නැයි ඉල්ලා සිටියහ.

සයවනි පාවුළු පාප් වහන්සේ පිලිපීන සංචාරයෙන් පසුව ආපසු රෝමයට යන අතරතුර කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකා පොළවට පා තැබීමට තීරණය කරන්නේ එම ඇරයුම්වලින් පසුවය.

ඒ අනුස්මරණීය දිනය යෙදුණේ 1970 දෙසැම්බර් මස හතරවන දිනය. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ තැන ගත් ක්‍රිස්තුස්ථානීන් වහන්සේ හෙවත් පාප් වහන්සේ කෙනෙකු සිරිලකට වැඩම කරන ප්‍රථම අවස්ථාව එය විය.

උඳුවප් සඳ, සිය රැස් දහරින් කටුනායක අවට ආලෝකවත් කර තිබියේදී, පෙරදිග අහසේ එක් කෙළවරකින් රිදී දිය දහරක් ගලා එන්නට විය. එම රිදී දිය දහරත් සමඟින් ඉතාලි ගුවන් සේවයට අයත් “අලිටාලියා” ගුවන් යානය සෙමින් සෙමින් සිරිලක් පොළව මත නතර වන්නට විය. කහ සහ සුදු පැහැ පසුබිමක් මත, යතුරු දෙකක් එකට ගැට ගසා ඒ මත ඔටුන්නක ලාංඡනය සහිත පාප් ධජය ද, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වූ සිංහ කොඩිය ද ගුවන් යානයේ ලෙළදෙමින් තිබෙනු දක්නට ලැබුණි. ගුවන් යානය නතර කරත්ම කන් බිහිරි කරවන තරම් අත්පොළසන් නාදයක් කටුනායක සිසාරා පැතිර යන්නට විය.

ආචාරය සහ ආසිරි

ගුවන් යානය නතර වී මොහොතකින් එහි දොරටුව විවෘත විය. ඒ සමඟම සුදෝ සුදු ලෝගුවකින් සහ රත් පැහැගත් වන්දනාකරුවකුගේ සළුවක් පැලඳ පාප් හිස් වැස්මෙන් සැරසුණු හයවනි පාවුළු පාප්තුමන් ගුවන් තොටුපළ පුරා විසිරි සිටි ශ්‍රී ලාංකිකයන්ට තමන් වහන්සේගේ සාම්ප්‍රදායානුකූල ආචාරය සහ ආසිරි පිදූහ.

ඒ සමඟම කටුනායක ගුවන් තොටුපළ සිසාරා මඟුල් බෙර හා ජයසක් හඬ පැතිර යන්නට විය. නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායමේ ආචාර තූර්ය වාදන හඬ ගුවන් සිසාරා පැතිර යන්නට විය.

ඒ සමඟම අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්, වතිකාන නියෝජිත එල්. ස්ටොරෙරෝ රදගුරු තුමන්, අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා අලිටාලියා ගුවන් යානයේ පාමුල ළඟදී අති උතුම් හයවනි පාවුළු පාප් වහන්සේට ආචාර දැක්වූහ.

එතුමාණන් වහන්සේට ප්‍රථමයෙන්ම ආචාර කළේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාය. පසුව අග්‍රාණ්ඩුකාරයා විසින් පාප් තුමන්ට, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් සහ වතිකාන නියෝජිත එල්. ස්ටොරෙරෝ රදගුරු හිමිපාණන් ද හඳුන්වා දෙන ලදී.

විලියම් ගොපල්ලව මහතා විසින් ඊළඟට ශුද්ධෝතම පියතුමන්ට හඳුන්වා දෙන ලද්දේ, එතුමන්ගේ පරිවාර ඇමතිවරුන් වශයෙන් කටයුතු කළ රාජ්‍ය පරිපාලන සහ විදේශ කටයුතු ඇමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක; ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන මහතුන්වය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකායන් නියෝජනය කරන අති පූජනීය ස්වාමීන් වහන්සේලා ද, හින්දු, මුස්ලිම් සහ කතෝලික නොවන සියලුම ක්‍රිස්තියානි නිකායන් නියෝජනය කරන පැවිදි නියෝජිතයින් ද කටුනායක අන්තර්ජාතික තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විශේෂ ශාලාවක රැස්ව සිටියහ.

හයවනි පාවුළු පාප් වහන්සේ එහි වැඩම කර සිටි මල්වතු පාර්ශ්වයේ අනුනායක රඹුක්වැල්ලේ ශ්‍රී සෝරත, අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් වැඩම කර සිටි කැප්පිටිවලානේ ශ්‍රී සුමංගල සහ රාමඤ්ඤ නිකාය වෙනුවෙන් වැඩම කර සිටි හපුවලානේ ඥානානන්ද හිමියන් ප්‍රමුඛ ගරු ස්වාමින් වහන්සේලා හයවනි පාවුළු පාප් වහන්සේට සෙත් පිරිත් සජ්ඣායනා කළහ. හයවනි පාවුළු පාප් වහන්සේ පසුව ඒ සෑම උතුමකුටම පාප් වහන්සේගේ රූපය සහ එතුමාගේ ආසියාතික ගමන සිහිගන්වන සටහන් සහිත රන් පදක්කම බැගින් පිරිනමන ලදී.

අති උතුම් සයවනි පාවුළු පාප් වහන්සේ විශේෂ පීඨිකාවක් මත සිටියදී ජාතික ගීතය සහ ශුද්ධාසන ගීතය වාදනය විය. එයින් පසුව අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් පිළිගැනීමේ කතාව ද, පාප් වහන්සේ විසින් ස්තුති කථාව ද කරන ලදී.

“රෝමය බලා යන ආපසු ගමනේදී ඉන්දීය සාගරයේ මුතු ඇටය යයි විරුදාවලිය ලත් මෙම දිවයිනට පැමිණීමට අපට කරන ලද සුහද ඇරයුම පිළිගැනීමෙන්, ඊට කෘතඥතාව දැක්වීමට අවස්ථාව සැලසීම අපට මහත් ප්‍රීතිය ගෙන දෙන්නකි.

ප්‍රථමයෙන්ම අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව තුමාණන්ට ද, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මැති ඇමැතිවරුන්ට ද අප පිළිගැනීමට මෙම ස්ථානයට පැමිණ සිටින අනිකුත් ජාතික හා පාලන නිලධාරීන්ට ද අපි සුහද පැතුම් පිරිනමමු.”

සහෝදරාත්මක සුබ පැතුම්

“ඔබ රටේ සියල්ලන්ට සැපවත් යහපත් ප්‍රීතිදායක ජීවිත ගතකිරීමේ මාර්ග සැලසීම අරමුණු කරගත් සාමාජයීය හා දේශපාලන ප්‍රතිපත්ති ගැන අපි දනිමු. දෙවිඳුන්ගේ වරප්‍රසාදයෙන් ද අප මෙහි පැමිණීමෙන් හා දිරිගැන්වීමෙන් සියල්ලන් තුළ එක්සත්කම ඇති වේවා.

විශේෂයෙන්ම අප කතෝලික සහෝදරයන් තුළ එම වගකීම පිළිබඳ හැඟීම හා සාමාජික අවබෝධයත් වැඩි වර්ධනය වේවා යයි අපි පතමු. ගරු තෝමස් කාදිනල් කුරේ තුමාණන්ට ද, දිවයිනේ සියලුම රදගුරු හිමිවරුන්ට හා සියලුම කතෝලික ජනතාවට ද අපේ සහෝදරාත්මක සුබ පැතුම් පිළිගන්වමු.”

“දේව දයාව සහ සහෝදර ප්‍රේමය තුළ ඔබ සේවාවට දිරි ගැන්වීම සඳහා මේ හමුවීමට අවස්ථාව ලබාදීම ගැන අපි ඔබ සමඟ දෙවිඳුන්ට පින් දෙමු.”

“දේව ප්‍රේමය හා සහෝදර දයාව කෙතරම් එකටෙක සම්බන්ධව පවතී ද කියතොත් දේව ප්‍රේමයෙන් තොරව සහෝදර දයාව දැක්වීමටත්, සහෝදර දයාවෙන් තොරව, දේව ප්‍රේමය පෑමටත් නොහැකිය. සහෝදරත්වයට සැබැවින්ම සාක්ෂි දැරිය හැක්කේ දේව විශ්වාසය තුළ පමණක් වන හෙයිනි.”

“ඔබ ගෞරවය හා ඉමහත් ළැදියාව දක්වනු සඳහා දස දහස් මෙහි පැමිණ සිටින ලාංකික ජනතාව වන ඔබ සැමට අපගේ අවංක සුබ පැතුම් දිගු කරමු. ඔබ සැමට හද පත්ලෙන් නැඟ එන ස්තූතිය පිරිනමන අතර, ඔබ කෙරෙහි අප හද තුළ ඇති මහත් ආදරය ප්‍රකාශ කරමු.”

“මෙම ශ්‍රී ලංකාද්වීපයට දෙවියන් වහන්සේ ආශිර්වාද කර, එහි මුළු මහත් ජනතාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරන සේක්වා.”

කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ ඉඳිකර තිබූ විශේෂ පීඨිකාවක සිට පාප් වහන්සේ සිදුකළ එම සුභාශිංසන දේශනයෙන් පසුව ලක්ෂ සංඛ්‍යාත ජනතාව රැස්ව සිටි, පැරැණි ගුවන් තොටුපළ භූමියේ උන්වහන්සේ දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා ඉඳිකර තිබූ චිත්තාකර්ෂණීය පීඨිකාව වෙත යෑමට නියමිතව තිබුණි.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විදුලි බුබුළුවලින් ආලෝකවත් කළ, විවෘත විශේෂ ජීප් රථයක් පිළියෙල කර තිබුණි. එම ජීප් රථයෙහි ශුද්ධෝත්තම පියතුමා සමඟ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්, පාප් තුමන්ගේ ලේකම් සහ පාප් සංචාර කටයුතු භාර මාර්සින්කස් හිමිපාණන් ද ගමන් කළහ. මහජනයා රැස්ව සිටි කොටු අතරින් පතර වූ පාරවල් ඔස්සේ විවෘත ජීප් රථය ගමන් කළ අතර, මෙනිසා රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පාප් තුමන් පහසුවෙන් දර්ශනය කිරීමේ භාග්‍යය හිමි විය.

අඩි දහයක් උසින්

පොළොව මට්ටමේ සිට අඩි දහයක් උසින් වූ වේදිකාවක් මත, උස අඩි හැටක් වූ දිගින් පළලින් අඩි හතළිස් පහක් වූ; පත්තිරිප්පුවේ හැඩය ගත් මණ්ඩපයක් ශුද්ධෝත්තම පියතුමන්ගේ දිව්‍ය පූජාව තැබීම සඳහා ඉදිකර තිබුණි.

පාප් වහන්සේ ද සිත් ඇඳ බැඳ ගත් මේ මණ්ඩපය ඉඳිකරන ලද්දේ පාප් වහන්සේ පිළිගැනීමට රජය පත්කළ සංවිධායක කමිටුවට සහාය වූ කතෝලික පූජා ප්‍රසාදිවරුන් සතර නමකගෙන් ලත් කමිටුවකිනි. අර්නස්ට් පෝරුතොට පියතුමා එහි ප්‍රධාන සංවිධායක විය.

ටියුඩර් වනිගසේකර පියතුමා, බෙනඩික්ට් ජයතිලක පියතුමා ඇන්සලම් ද කෲස් පියතුමා ඉතිරි කමිටු සාමාජිකයින් තිදෙනා විය. සංස්කෘතික අමාත්‍යාංශය ද, ජාතික කලා පෙරමුණේ ගරු මාපලගම විපුලසාර හිමියෝ ද නොමසුරුව මෙම කමිටුවට සහාය වූහ.

මණ්ඩපයේ විශේෂ සැරසිල්ල වූයේ උඩරට රජ කාලයේ මඟුල් මඩුවේ ද, දළදා මාලිගාවේ ද ප්‍රධාන සැරසිල්ල වන රැළි පාළම් ය. සුදු, කහ, රතු, නිල් පාට රෙදි යාර හයදාහක් යොදා රැළි පාලම් ඉදිකරන ලදී.

වේදිකාවේ හතර පැත්තේ ලංකාවේ රදගුරු පදවි හය සංකේතවත් කිරීමට අඩි අටක් විශාල ගොක් ගෙඩි හයක් ද; අඩි නවයක් උස වේදිකාවේ බිත්තියේ පාලු ගතිය මැකීමට පිත්තල තැටි ද භාවිත කර තිබුණි. වේදිකාවට ගොඩවන පඩි දෙපෙළ දෙපස පුන්කලස් හතරක්, මුල්ගල් හතරක් සහ සඳකඩ පහන් දෙකක් ඉඳිකර තිබුණි.

විශේෂ පූජා මෙහෙය

රැස්ව සිටි ජනතාවට ආශිර්වාද කර, පාප් තුමන් විශේෂ පූජාසන වේදිකාව වෙත පැමිණ පූජා ඇඳුම් අඳින විට ආරම්භක දිව්‍ය පූජාවේ ගීය ගායනා කරනු ලැබීය. සංදේශය කියවීම සිංහල භාෂාවෙන් සිදුවූ අතර අනිකුත් යාච්ඤා සිංහල සහ දෙමළ භාෂාවලින් සිදුවිය.

සයවනි පාවුළු පාප් වහන්සේ කටුනායක සිදුකළ දිව්‍ය පූජා මෙහෙයේ උන්වහන්සේ අතින් සත්ප්‍රසාද ලැබීමට ශ්‍රී ලංකාවේ රදගුරු වසම් හයෙන් පිරිමින් හයක් සහ කාන්තාවන් හයක් ද, සහෝදර තුමෙක්, සහෝදර තුමියක් සිරකරුවන් පස් දෙනෙක් සහ මහලු නිවාසවලින් තිදෙනෙක් තෝරාගෙන තිබුණි.

එම විශේෂ පූජා මෙහෙයේදී පඬුරු වශයෙන් පුදන ලද්දේ ලංකාවේ ජාතික වැවිලි වන තේ, රබර්, කොප්පරා සහ අන්නාසි, දිවුල් ආදි මෙරට වැවෙන පලතුරු වර්ගය. මෙම පඬුරු පූජාසනය වෙත ගෙන යන ලද්දේ රදගුරු වසම් හය වෙනුවෙන් තෝරාගත් හය දෙනෙකු විසිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සයවනි පාවුළු පාප් තුමන්ට උඩරට කැටයම් අනුව අතින්ම නිම කරන ලද රිදී කතිසල් යුගලක් ද; එතුමාගේ පෞද්ගලික භාවිතය සඳහා උඩරට කැටයම් කලාව අනුව කරන ලද රිදී තැටියක් ද ප්‍රදානය කරන ලදී.

ශුද්ධෝත්තම පියතුමා කටුනායක ගුවන් තොටුපළේදී පැවැත්වූ දිව්‍ය පූජාවේදී භාවිත කළ පූජා ඇඳුම්, කාලිස් පාත්‍රය, සත්ප්‍රසාද තැටිය සිබෝරියම, රදගුරු කිරුළ සහ රදගුරු, සැරයටිය, කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේ දී භාවිත කිරීම සඳහා තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ට පිරිනමන ලදි. එයට අමතරව තේවත්ත අප ස්වාමි දූගේ ප්‍රතිමාව සඳහා අලංකාර ජප මාලයක් එතුමා පරිත්‍යාග කළෝය.

දීර්ඝ චාරිකාවකින් පසු

එක්දහස් නමසිය හැත්තෑවේ දෙසැම්බර් හතරවන දින රාත්‍රී 7.55 ට මෙරටට සැපත් වූ හයවනි පාවුළු ශුද්ධෝත්තම පියතුමා පැය 3 යි විනාඩි 10 ක කාලයක් ගතකර එදින රාත්‍රී 11.05 ට මෙරටින් බැහැරට වැඩම කළහ. මෙරටින් සමු ගැනීමට ප්‍රථම උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

“දීර්ඝ චාරිකාවකින් පසු අප දැන් පෙරළා රෝමය බලා පිටත්වීමට සූදානම්ව සිටිමු. ආදරණීය ලක් ජනතාව වන ඔබ සැම හමුවීමෙන් ඉක්බිතිව අවසන් වන මේ ගමන අමතක කළ නොහැකි සිද්ධියකි. ආසියා, ඔස්ට්‍රේලියා මහාද්වීපවල කිතුනු සැදැහැවතුන් හමුවීම සඳහා අප යෙදුණු මෙම චාරිකාව ඔබ හමුවේ නිමාවට පත්කිරීමට අවකාශ ලැබීම ගැන; මහඟු කෘතඥතාව ප්‍රකාශ නොකර ඔබ සැම වෙතින් සමු ගනු බැරිය.

“ශ්‍රද්ධාවේ සහෝදරත්වයෙන් අප හා බැඳී සිටින සියල්ලන්ගේ විවිධ ව්‍යායාමයන් හා කරදරයන්හි අප ද පංගුකාරයන් බව දක්වාලීම මෙම ගමනේ පළමු අරමුණය. එකි දේවාභිප්‍රාය පරිදි ආසියාකරයේ සම්භාවනීය සංස්කෘතික හා පාරම්පරික දායාදයන්ට ගැළපෙන අයුරින් කතෝලික සභාවේ දූත මෙහෙවර සපුරාලනු දැකීමේ අප නොවක් පැතුම මෙසේ පැහැදිළි කිරීම අපගේ බලාපොරොත්තුව විය.”

“අප සාදරයෙන් පිළිගැනීම ගැන ඔබ සැමට නැවතත් තුති පුදමු. දෙවිඳුන්ගේ සියලු යස ඉසුරු සම්පත් පතා ඔබ සැමට අපගේ පීතෘතා ආශිර්වාදය දානය කරමු.”

සමුගැනීමේ කථාව අවසානයේ උන්වහන්සේ සිංහලෙන් මෙසේ පැවසූහ.

“ඔබ සැමට ආයුබෝවන්!”

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්