රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

විද්‍යුත්  මාධ්‍ය ඔස්සේ සාහිත්‍යයට වෙන්වන ඉඩ ප්‍රමාණවත් ද?

විද්‍යුත්  මාධ්‍ය ඔස්සේ සාහිත්‍යයට වෙන්වන ඉඩ ප්‍රමාණවත් ද?

පසුගිය සති කිහිපය ඔස්සේ විද්‍යුත් මාධ්‍ය තුළ සාහිත්‍යයට ලේඛනයට හිමිවන ඉඩ ප්‍රස්තාව පිළිබඳව විද්‍යුත් මාධ්‍ය එනම් රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ප්‍රධානීන්ගෙන් මෙන් ම ඒ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණත්වයට පත්වූවන්ගෙන් අපි අදහස් විමසා බැලුවෙමු. ඔවුන් පැවැසූ දේ පිළිබඳවත් සැබෑවටම මෙම මාධ්‍යයන් ඔස්සේ සාහිත්‍යයට, ලේඛනයට සාහිත්‍යකරුවනට ඉඩක් වෙන්වන්නේ ද? එලෙස ලැබෙන්නා වූ ඉඩකඩ ප්‍රමාණවත් ද? එසේ නොවන්නේ නම් එයට හේතු මොනවාද යන්න විමසුමට ලක් කිරීමට මෙම සතියේ සාහිත්‍යයේ, ලේඛනයේ යෙදෙන ප්‍රවීණයන් ගෙන් විමසා බලන්නට අපි කටයුතු කළෙමු. මේ පෙළ ගැසෙනුයේ පොදුවේ විද්‍යුත් මාධ්‍යයන් හා එකී මාධ්‍යයන් තුළ සාහිත්‍යයට වෙන්වන ඉඩකඩ පිළිබඳ ඔවුන් දැක්වූ අදහස්ය.

මහ රෑට කවුද අහන්නේ? කවුද බලන්නේ?
 

ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දී, ලේඛක- සුජීව දිසානායක

වර්තමානයේ සාහිත්‍යයට, ලේඛනයට විද්‍යුත් මාධ්‍ය තුළ කිසිසේත් ම ඉඩක් නැති තරම් කියල කිව්වොත් එය ඉතාම නිවැරැදියි. ඉඳල හිටල කාගෙ හරි බලපෑමක් කළ හැකි සම්බන්ධතාවයක් තියෙන එක්කෙනෙක් ගේ පොතක් ගැන සාකච්ඡාවක් මේ විද්‍යුත් මාධ්‍ය නාලිකා තුළ තිබෙනවා ඇරෙන්න ඒ සඳහා වෙන් වූ නිශ්චිත කාලසීමාවක් රූපවාහිනිය බලන්නට ගුවන්විදුලිය අහන්නට පුළුවන් වෙලාවක නම් විකාශනය වෙනවා අපිට පෙනෙන්නට නැහැ. මහ රෑ යාමෙට සමහර වෙලාවට ඉඳල හිටල සාහිත්‍ය වැඩසටහන් තියෙනවා. නමුත් ඒවා තියෙන්නේ මිනිස්සු බලන වෙලාවට, ළමයින් බලන වෙලාවට නෙවෙයි. ඒ සඳහා පෙලඹවීමක් ඇති කළ හැකි වෙලාවට විද්‍යුත් මාධ්‍ය තුළ මෙම වැඩසටහන් විකාශනය වෙන්නේ නැහැ.

මීට කලෙකට ඉහත ඉතා හොඳ සාහිත්‍යමය වැඩසටහන් තිබුණත් අද එයත් තනිකරම චොකාබයිලාවන් ෙවනුෙවන් වෙන්කරලා ඉවරයි.

අමූලික බොරු වපුරන, මිථ්‍යාව වපුරන පසුගාමී ටෙලිනාට්‍යවලට එහෙම නැතිනම් සුපිරි තරු කියල නටන විකාර නාඩගම්වලට තමයි අද වැඩි ඉඩක් වෙන්කරලා තිබෙන්නේ. සාහිත්‍යයට කිසිම පිටුවහලක් විද්‍යුත් මාධ්‍යයෙන් සිද්ධවෙන්නේ නැහැ කියන දේ ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙයක්. මෙලෙස වීමට හේතු වෙලා තියෙන්නේ, කාරණා 2 ක් උඩ. එයින් එකක් තමයි හුදු වාණිජමය තරගය. මේ තරගය, මඟින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකයන් පසුපස හඹායනවා.

පෞද්ගලික නාලිකාවල වැඩිහරියක් බොහෝ තැන්වල මේවා කරන්නට, මේවාට ඉඩ දෙන්නට, මේවාට අවස්ථාව ගන්නට වුවමනා කරන වැඩසටහන් නිෂ්පාදකයින්, නිවේදකයින් සහ වැඩසටහන් සම්පාදකයින් සිටිනවා. පෞද්ගලික නාලිකාවල අධිකාරීත්වය සහ පාලනය තිබෙන්නේ මුදල් අංශයේ සිටින නිලධාරීන් අතයි. ඔවුන් හැමවිටම උත්සාහය කරන්නේ හැම විනාඩියක් ම තත්පරයක් ම විකුණන්නයි. මෙහිදී බාල, ලාභ, සිල්ලර දේවල් විකුණනවා. මේ තත්ත්වය ‍රෝගයක් ලෙස අද ජාතික මට්ටමේ විද්‍යුත් මාධ්‍යවලටත් බෝවී තිබෙනවා. ඒ අය හිතන්නේත් පෞද්ගලික මාධ්‍ය තුළ දක්නට තිබෙන බාල බොළඳ හරසුන් දේවල් ඉදිරිපත් කිරීමෙන් තමයි ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න පුළුවන් කියන එක. එවැනි අන්ධ විශ්වාසයක ජාතික මාධ්‍ය පවා ඉන්න බව පෙනෙනවා.

එදා ඉටු වූ මෙහෙවර අද අඩුයි
 

ප්‍රවීණ ෙල්ඛිකා - සුමිත්‍රා රාහුබද්ධ

මම සාහිත්‍ය කලාවට පා තබන අවධියේ ඒ කියන්නේ 1970 ගණන්වල එවකට තිබූ විද්‍යුත් මාධ්‍යය වූ ගුවන්විදුලියේ සාහිත්‍යකරුවන්ට, ලේඛකයන්ට හොඳ තැනක් තිබුණා. සාහිත්‍යකරුවන් ගැන හොයාගෙන ගිහින්, ඔවුන්ට කතා කරල ඔවුන්ගේ සාහිත්‍ය කෘති, ලේඛනයන් ගුවන්විදුලිය ඔස්සේ අගය කිරීමක් කළා. ඒ දේවල් කළේ දැන හැඳුනුම්කමින් තොරවයි. එයට බලපෑවේ ලේඛකයා ගේ හෝ සාහිත්‍යකරුවාගේ දක්ෂතාවය. නමුත් එදා පැවතුණු තත්ත්වයට වඩා අද විද්‍යුත් මාධ්‍ය තුළ තත්ත්වය බොහෝ සෙයින් වෙනස්. එදා ඒ මාධ්‍ය තුළ තිබූ සාධනීය ලක්ෂණ අද දක්නට නැහැ. ඒ වගේ ම, අද මාධ්‍යයක් තුළ සාහිත්‍යකරුවෙක්ට හෝ ලේඛකයකුට තමන්ගේ කෘතියක් ලේඛනයක් පිළිබඳ කතාබහ කිරීමට අවශ්‍ය නම් එයට දැන හඳුනාගැනීමට අවශ්‍ය වෙනවා. අද විද්‍යුත් මාධ්‍ය තුළ අපේ පොතක් පළ වුණා කියලවත් යන්නේ නැහැ.

එදා ගුවන්විදුලි මාධ්‍ය තුළ හොඳ පරිණත පිරිසක් හිටියා. අද අපිට ගුවන්විදුලි හෝ රූපවාහිනී වැඩසටහනකට කතා කරන්නේ ඒ වැඩසටහනට කාටහරි කතා කරලා ආවේ නැත්නම් එම අඩුව පුරවාගන්න පමණයි කියලා මට හිතෙන්නේ. මට මතකයි මීට වසර ගණනකට ප්‍රථම ලෙස්ලි බොතේජු ජාතික රූපවාහිනියට වැඩසටහනක් කළා. ඒ සාහිත්‍ය පිළිබඳව. පැයක් පමණ කාලයක් එය විකාශය වූවා. මම හිතන්නෙ ඔහු තමයි ජාතික රූපවාහිනියේ එබඳු සාහිත්‍ය වැඩසටහනක් ඉස්සෙල්ලා ම කරපු පුද්ගලයා. මම ඒ වෙනකොට රූපවාහිනී තිරනාටක පාඨමාලාව හදාරන ශිෂ්‍යාවක්. නමුත් මගේ කෘති කියවලා ඒ කෘතිය අගය කිරීමට මට එම වැඩසටහනේ අවස්ථාව ලබා දුන්නා. ඒ කාලෙ විද්‍යුත් මාධ්‍ය තුළ අගය කළ යුත්තාව තරාතිරම නොබලා අගය කළා. සාහිත්‍යයට යම් ඉඩක් දුන්නා. අද අහන්න වෙන්නේ කොහෙද සාහිත්‍යයට ඉඩක් වෙන් කරන්නේ කියන ප්‍රශ්නයයි. මට හිතෙන්නේ විද්‍යුත් මාධ්‍ය තුළ සාහිත්‍ය නගා සිටුවීම සඳහා සංවාදයක් විචාරයක් තිබිය යුතු බවයි. වර්තමානයේ විද්‍යුත් මාධ්‍යය තුළ එය නිසි ලෙස සිදුවෙනවා ඉතාම අඩුයි.

අපි ලේඛක සංගමයෙන් මේ ගැන කීවා
 

ප්‍රවීණ ලේඛක - ටෙනිසන් පෙරේරා

සාහිත්‍යයට වගේම ‍ලේඛන කලාවටත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කොහොමත් කිසිදු ආකාරයේ ප්‍රබල ප්‍රචාරයක් නොලැබෙන බව කිව යුතුයි. මෙය කාලයක් තිස්සේ තිබෙන ගැටලුවක්. මේ ගැන ‍අපේ ලේඛක සංගමය ඉල්ලීමක් කළා විශේෂයෙන් ම විද්‍යුත් මාධ්‍යයන්ගෙන් සාහිත්‍යයට යම් තැනක් ලබා දෙන්න කියලා. නමුත් එය ලැබුණෙ නැහැ. මේ ගැන ඒ ඒ මාධ්‍යයන් හි බලධාරීන් සමඟ කතා කළ විට ඔවුන් පවසන්නේ, ඇත්ත තමයි සාහිත්‍යයට තැනක් මාධ්‍ය තුළ ලබාදිය යුතුයි කියලයි. නමුත් එය කටවචනයට පමණක් සීමාවෙලා තිබෙනවා. අද වෙනතුරු ක්‍රියාත්මක වීමක් නැහැ. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් ලෙස මම දකිනවා. සාහිත්‍ය කෘතියක්, ලේඛනයක් එළිදක්වත්දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාහිත්‍යකරුවනට වැඩි ප්‍රචාරයක් ලබා ගැනීමට පුළුවන්නම් එය ඉතාම වටිනවා.

මොකද රූපවාහිනිය වැනි මාධ්‍යයක් ඕනෑම කෙනෙකුගේ ඇහැ වැදෙන මාධ්‍යයක්. මේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාහිත්‍ය නිර්මාණ ගැන සාහිත්‍යකරුවන් ගැන කතාබහ කළේ නැත්නම් පාඨකයාට පවා සාහිත්‍යය හඳුනා ගැනීමට අවස්ථාව අහිමි වී යනවා. සාහිත්‍ය ඔස්සේ බලාපොරොත්තු වන්නේ මිනිසාගේ අාධ්‍යාත්මික ගුණ වගාව දියුණු කිරීම හා රසිකත්වය වර්ධනය කිරීමයි. නමුත් වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එයට කිසිම ආකාරයක දිරියක් ලැබෙන්නේ නැහැ. අද සාහිත්‍යය ගැන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කොහෙත් ම කතා කරන්නේ නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. උදේට හැමදාමත් රූපවාහිනී මාධ්‍යයේ දව‍සේ පුවත්පත් කියවීමේ වැඩසටහන් තිබෙනවා. මේවා ඔස්සේ සාහිත්‍ය පිටු ගැනත් කතාබහට ලක්වෙනවා නම් හොඳයි.

මේ තත්ත්වයත් මම දකින්නේ සාහිත්‍ය කලාව ජනතාව අතර සන්නිවේදනයට බාධාවීමක් ලෙසයි. මම දකින්නේ මෙය දශකයකට ආසන්න කාලයක් තිබෙන ප්‍රශ්නයක් බවයි. අපි වුණත් විද්‍යුත් මාධ්‍යයකින් අපේ පොතකට වැඩසටහනක් ඉල්ලුවාම ඔවුන් කියන‍ දෙයක් තමයි අනුග්‍රාහකයෙක් ඉන්නවා නම් අවස්ථාව ලබාදෙන්න සූදානම් කියන දෙය. සාහිත්‍යකරුවන්ට පුළුවන්ද අනුග්‍රාහකයෙක් සොයන්න. ඔවුන්ට පුළුවන් සමාජය දැනුවත් කිරීමට යම් දෙයක් සකස්කර දීම. පොතක පින්තූරයක් පෙන්වූ පලියට ඒ කෘතියට හෝ සාහිත්‍යකරුවාට ප්‍රචාරයක් ලැබෙනවායැයි කීම පිළිගැනීමට අමාරු කරුණක්.

විද්‍යුත් මාධ්‍යවල ඉන්න 10% ක්වත් කියවන්නේ නැහැ
 

මාධ්‍ය‍ෙව්දී, නවකතා රචක - මොහාන් රාජ් මඩවල

ලංකාවේ නම් විද්‍යුත් මාධ්‍ය තුළ සාහිත්‍ය පිළිබඳ කතා කිරීමක් ඇත්තෙම නැති තරම් කියන්නට පුළුවන්. අතරින් පතර සාහිත්‍ය ගැන සුළු වශයෙන් කතා වෙනවා ඇරෙන්නට සාහිත්‍ය පිළිබඳ වෙන්වූ කතිකාවක් දක්නට නැහැ. මේ විදිහට වෙන්න හේතු තිබෙනවා. ලෝකයේ භාවිතා වෙන විද්‍යුත් මාධ්‍යවල සාහිත්‍ය ගැන පුළුල් කතාබහක් වෙනවා. ලෝකයේ සෙසු රටවල විවිධ මාධ්‍ය නාලිකා ගත්විට සාහිත්‍ය ගැන ඔවුන් කතාබහට ලක් කරනවා. නමුත් ලංකාවේ එහෙම දකින්න නැහැ. එයට හේතුව හුදෙක් සම්පූර්ණ වෙ‍ළඳ වටිනාකම සඳහා පමණක් මාකට් කරගෙන මේ නාලිකා‍වල වැඩසටහන් නිර්මාණය වීම, නිෂ්පාදනය වීම සහ වැඩසටහන් හඳුනාගැනීම. ඒ අය වෙළඳ වටිනාකමක් තිබෙන දෙයට තමයි ඔවුන්ගේ නාලිකාව තුළ ඉඩකඩ ලබා දෙන්නේ. මෙය ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පැත්තෙන් ගත්තොත් ඒ අයට දොසක් කියන්න බැහැ.

මොකද අද සියල්ලම සම්පූර්ණයෙන් ම වෙළඳ වටිනාකම ඇතුළත තමයි ලංකාවේ සකස් වෙන්නේ. ඉතින් ඒ අය හිතනවා සාහිත්‍යයට වෙළෙඳ වටිනාකමක් නැහැ කියලා. ඒ නිසා පොත්පත් ලේඛනය ගැන කතා කිරීම කිසිම තේරුමක් නැති කාලය නාස්ති කිරීමක් විතරයි කියලා ඔවුන් හිතනවා. එය වැරැදි හඳුනා ගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවේ ලොකු අවුලක් තියෙනවා සමාජ ගත භාවිතාවන් විද්‍යුත් නාලිකාවල පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. මොකද මෙයට හේතුව හරියට සමාජගත භාවිතය හා කියවීම පිළිබඳ ප්‍රශ්නයක්. ඇත්තට ම ලංකාවේ කියවීමට මාර්කට් එකක් තියෙනවා. මම අභියෝග කරනවා විද්‍යුත් මාධ්‍යවල ඉන්න අයගෙන් සියයට දහයක්වත් කියවන අය නෙමේ කියලා. මම එයට අභියෝග කරනවා බය නැතුව. එම නාලිකාවල අය තමා හොයාගත්ත, ලබාගත් දැනුමක් අරගෙන ඇවිල්ලා විද්‍යුත් මාධ්‍යවල වැඩකරනවා මිසක් ඒ අයගෙන් සියයට දහයක්වත් පොත්පත් කියවන අය නෙවෙයි. මේ මිනිස්සු කියවන එකක් ගැනවත් එවැනි සංස්කෘතියක් ගැනවත් ඔවුන් දන්නේ නැහැ. මේ අය කරන්නේ එක එක තැන්වලින් තමන්ට අහුවෙන එක එක දේවල් අරගෙන විද්‍යුත් මාධ්‍යයේ වැඩසටහන් කරනවා මිසක් විද්‍යුත් මාධ්‍යය කියන එක හරියට හඳුනාගෙන වැඩසටහන් කරන්නේ නැහැ. මොකද මමත් විද්‍යුත් මාධ්‍යවල සිටි නිසා ඒ ගැන මම හොඳින් ම දන්නවා.

එතකොට වැඩේ තියෙන්නේ විවේක බුද්ධිය ඇතිව කියවීම සඳහා කාලයක් මේ අය ලබා ගන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් මේ අය කාලය මිඩංගු කිරීමකුත් ඇත්තෙ නැහැ. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පිරිහීමට ප්‍රධාන හේතුව තමයි හරි ලෝක වැටහීමක් ඇතුව සමාජය ගැන දේශපාලන ය ගැන හරි කලාව ගැන හරි අධ්‍යයනයක් නැතුව ඔහේ වෙළඳ වටිනාකම ගැන නිකන් අදහස් කරන මිනිස්සු ටිකක් තමයි විද්‍යුත් මාධ්‍ය හසුරුවන්නේ. ඉතින් මේ අය කියවන්නෙ නැති නිසා ඒ අය අනුමාන කරනවා රටේ අනෙක් මිනිස්සුත් කියවන්නේ නැති බව. විද්‍යුත් මාධ්‍යවල ඉන්න මිනිසුන්ගේ දැනුම සහ බුද්ධිය පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අය කොහෙන් හරි දැකපු දෙයක් අරගෙන එහි කොපියක් ලංකාවේ කරනවා. අහවල් රටක තිබුණු වැඩසටහනක් කෙළින්ම ලංකාවේ කරනවා. යුනික් වැඩසටහන් (තමන් ගවේෂණාත්මකව සොයා ගත් නිර්මාණාත්මක අලුත් වැඩසටහන්) කෙරෙන්නේ නැහැ. එයට හේතුව මේකෙ ඉන්න මිනිස්සුන්ට දැනුම සහ බුද්ධිය අතර ලොකු ප්‍රශ්නයක් තිබෙන නිසා. එනිසා විද්‍යුත් මාධ්‍ය ලොකු පුටුවලට යා යුතු වන්නේ, සමාජය ගැන, දේශපාලනය ගැන, කලාව ගැන අවබෝධයක් ඇති ලෝක ජනමාධ්‍ය ගැන අවබෝධයක් ඇති දැනුම, බුද්ධිය ඇති පොතපත කියවන මිනිසුන්. හොඳට කොපි කරන්න පුළුවන් මිනිස්සුන්ට යුනික් වැඩක් ගවේෂණාත්මක දෙයක් කරන්න පුළුවන්ද?

මෙය මම දකින පළමු ගැටලුවයි. දෙවන ගැටලුව තමයි ලංකාවේ සාහිත්‍ය තුළ ඇති අර්බුදය. සාහිත්‍යකරුවන් හිතාගෙන ඉන්නවා. මම පොත් ලියන්නේ විකුණගන්න නෙමෙයි. සමාජ සංශෝධනයක් සඳහා පමණයි කියලා. මෙය පත්තරවල, ජනමාධ්‍ය ඇතුළෙ තමන්ගේ ලොකුකම පෙන්වන්න, නම ගෙනිය ගන්න කරන ව්‍යාජ ආකල්පයක් විතරයි. පොත කියන්නේ වෙ‍ළඳ භාණ්ඩයක් නොවේය කියන තැන සමහරු ඉන්නවා. නමුත් ඇත්තටම පොත් ප්‍රකාශකයෝ පොතක් අච්චු ගහන්න භාර ගන්නේ ඒ පොතට වෙළඳ වටිනාකමක් තිබෙනවා නම් පමණයි. එයයි ඇත්ත තත්ත්වය. ඔහු මුදලක් වියදම් කරන්නේ යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. විද්‍යුත් මාධ්‍ය පවා. මම එහි වරදක් දකින්නේ නැහැ. අද ලෝක ස්වභාවය එයයි. අද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ වෙළඳ වටිනාකමක් නැති දෙයක් සොයාගන්න බැහැ. හරි විවෘතව අපි අතඋස්සල පිළිගන්න ඕන සාහිත්‍ය කියන්නෙත් පොතපත කියන්නෙත් මිලක් තියෙන භාණ්ඩයක් බව අපි පිළිගත යුතුයි. බොරු යල්පැන ගිය අදහස්වල ඉන්නේ නැතිව, අපේ ලේඛකයෝ හරි යල්පැන ගිය මිනිසුන් නේ. සියයට දහයට පොත් ලියන අය ලංකාවේ ගොඩක් ඉන්නේ.

මෙන්න මෙතැන තමයි ලේඛකයා කොටුවී ඉන්නේ. මේ නිසා මේ අය හිතනවා පොත් කියන්නේ ශුද්ධ වූ වස්තුවක් මිසක් වෙළෙඳ වටිනාකමක් ඇති දෙයක් නෙමේ කියලා. නමුත් පොත් ප්‍රකාශකයා දන්නවා එයට වෙළඳ වටිනාකමක් තිබෙනවා කියන දෙය. ඉස්සෙල්ලා මේ සැබෑ යථාර්ථය ලේඛකයා තේරුම් ගත යුතුයි. එතැන් සිට විවෘත ඇසකින් සමාජය දෙස බැලිය යුතුයි. හොඳ දේ සඳහා හොඳ වෙළඳ වටිනාකමක් සමාජයේ තිබෙනවා. එයට හොඳ උදාහරණ ලොව පුරා ප්‍රවීණ ලේඛකයන්ගෙන් අපිට ලැබෙනවා. මේ නිසා මේ යල්පැන ගිය ආකල්ප සංවර්ධනය විය යුතුයි. මේ දේවල් නිවැරැදි ලෙස සමාජයේ ක්‍රියාත්මක වෙනවා නම් සාහිත්‍යයට හොඳ ඉඩකඩක් ලංකාව තුළ මාධ්‍ය ඔස්සේ සැකසේවි කියා මම හිතනවා.

ආනන්දයෙන් ප්‍රඥාවට යන බවක් පෙනෙන්න නැහැ

නවකතා රචක - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

විද්‍යුත් මාධ්‍ය ගත්තම අපට බොහොම පැරණි ඉතිහාසයක් ගුවන්විදුලිය සම්බන්ධව තියෙනවා. නමුත් රූපවාහිනිය 70 දශකයේ අගභාගයේදී අපේ රටට ලැබෙන්නේ ජපන් රජයෙන් තෑග්ගක් ලෙස අධ්‍යාපනික මාධ්‍යයක් ලෙසයි. මෙය පසුකාලීනව ප්‍රවෘත්ති සහ අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කරන මාධ්‍යයක් හැටියට ව්‍යාප්ත වෙනවා. දවසේ ‍තෝරාගත් කාල සීමාවක් තුළ. පසුකාලීනව මෙය ව්‍යප්තවෙලා ටෙලිනාට්‍ය, චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නවා. විවධ වැඩසටහන් ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙන‍කොට විද්‍යුත් මාධ්‍ය වෙළඳපළ තරගයේ මට්ටමකට විශාල වශයෙන් පැමිණිලා තිබෙනවා. මේ තුළත් සාහිත්‍ය කලාවන් අමතක කරලා මාධ්‍යයක් කියන එක පවත්වාගෙන යන්න බැහැ.

ජනතාව දැනුවත් කිරීම තමයි ඒවායෙහි අවශ්‍ය අභිප්‍රාය. මෙහිදී කලාව සාහිත්‍ය කියන දේ අතිශය වැදගත් වෙනවා. සාහිත්‍යයේ ආරම්භය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වා දිව යනවා. මිසපොටේමියානු ශිෂ්ටාචාරය දක්වා දිව යනවා. මේ කාලය තුළ ඉඳලම කලාව සාහිත්‍ය කියන දේ අප තුළ පැවතෙනවා. නමුත් වර්තමානයේ තිබෙන ගැටලුව තමයි විද්‍යුත් මාධ්‍ය කියන එක තුළ සාහිත්‍ය කලාවන්ගෙන් තොරව දේශපාලනය ප්‍රවෘත්ති සහ අනෙකුත් විෂය ධාරාවනට මුල් තැන දීමක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ප්‍රවෘත්ති වගේ දෙයක් ගත්තම ගම්වල සිදුවෙන ඉතාමත් පොඩි සිදුවීම් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරල විශාල අවධානයක් යොමුවන ප්‍රවෘත්ති බවට පත් කරනවා. මෙය මේ විදියට වන්නේ වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය තරගයක් තිබෙන නිසයි. නමුත් විද්‍යුත් මාධ්‍ය මඟින් සිදුවිය යුත්තේ මෙය නොවෙයි. සිදුවිය යුත්තේ ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන්නට කලාව ඉවහල් කරගෙන ඉදිරියට යාමයි. නමුත් අද එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ. සිදුවන්නේ තමන්ගේ ගුවන් කාලය අතරතුරත් මහා තරගයක තමයි මොවුන් නියැළෙන්නේ.

මම හිතන්නේ එය අනාගතයට එතරම් සුබදායක නොමැති බවයි. ඉස්සර ගුවන්විදුලිය ගත්තම 70 ගණන්වල ඉතා විශිෂ්ට ගීත බිහිවුණු දශකයක්. කලාකරුවන් පිළිබඳව, කවිය, සාහිත්‍යය පිළිබඳ ගුවන්විදුලියේ නිරන්තරයෙන් ම සාකච්ඡා කළා. කාලයත් සමඟ අපි ඉදිරියට යා යුතුයි. එහි කිසිම ගැටලුවක් නැහැ. ඒ යන ගමන යන්නේ මොනතරම් දුරට සමාජයට ගෝචර තත්ත්වයෙන් ද ඉදිරියට යන්නේ කියන එක ගැන මාධ්‍ය ආයතනයන්ට ලොකු වගකීමක් තිබෙනවා. එය පැහැර හරින්නේ නැතිව කටයුතු කරනවා නම් එය ඉතාම හොඳ දෙයක්. මොකද අපිට පෙනෙන මතුපිට තරගය නොවෙයි.

ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාමේ පූර්ණ වගකීම මාධ්‍ය ආයතනවලට පැවරෙනවා. ඒ අභියෝගය භාරගත්ත මාධ්‍ය ආයතන නැතුව නොවෙයි. නමුත් අපිට පෙනෙන්නට තිබෙන්නේ එවැන්නක් නෙමෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්