රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මීරියබැද්ද ජනතාවට සුදුසු නැහැ වන වගාව පුළුවන්

මීරියබැද්ද ජනතාවට සුදුසු නැහැ
වන වගාව පුළුවන්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පර්යේෂණ සහ අවදානම්

කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ

ආර්.එම්.එස්. බණ්ඩාර

සතියකුත් ඉක්ම ගියද මීරියබැද්දේ නාය යාමට හසු වූ බොහෝ දෙනා තවමත් පස් යට ය. අවතැන් ජනතාවගේ ලොකුම ඉල්ලීම වන්නේ තමන්ට යළි ජීවිත ඇරඹීමට නිවාස සහ අනෙකුත් පහසුකම් සලසා ලෙස ලෙසයි. මිරීයබැද්ද යළි පෙර පැවති තත්ත්වයට ගෙන එන්නේ කෙසේද? ඒ කවදාද? අද මෙය ව්‍යසනයෙන් දිවි ගලවාගත්තවුන්ගේ පමණක් නොව සෙසු බොහෝ දෙනාගේද පොදු පැනයක්ව පවතින්නේ ය.

සුන්දර කඳුවැටිවලින් හෙබියාවු ද වරින් වර අසුන්දර නාය යාම්වලට ලක්වන්නාවූද අපේ රටේ මධ්‍ය කඳුකරයේ ජන ජීවිත හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අතර පවතින්නේ සමීප සබැඳියාවකි.

නාය යාම්වලට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මෙන්ම නාය ගිය පසු අදාළ ප්‍රදේශ යළි ස්ථාපිත කිරීමද කඳු බෑවුම්වල ජනාවාස පවත්වා ගැනීම ගැන උපදෙස් ලබා දීමද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්ය භාරයෙන් කොටසක් පමණි.

අතීතයේ නාය ගිය ප්‍රදේශ යළි ස්ථාවර කිරීම ගැන උදාහරණ රාශියක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුය. එසේ නම් නාය යාමට ලක් වූ කොස්ලන්ද මීරියබැද්ද ගම්මානය සම්බන්ධව ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ යෝජනා කෙසේ වේද? කඳුලු ගඟක් වූ මිරියබැද්ද ගම්මානය යළි සුන් බුන් වූ නිවාස මතින් යළි නැගී සිටිනු ඇත්තේ කවදාද? ඒ සම්බන්ධව අප සමග අදහස් දැක්වූ එම සංවිධානයේ නායයාම් පර්යේෂණ සහ අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් බණ්ඩාර මහතා පවසා සිටියේ යළි මීරියැබද්ද ප්‍රදේශය ජනාවාස කිරීම කිසිසේත් නොකළ යුතු බවකි.

' මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවුණේ විශාල වශයෙන් විහිදී ගිය නායයාමක්. මේ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීම එතරම් සුදුසු දෙයක් ලෙස මා දකින්නේ නැහැ. මෙම ප්‍රදේශය නිර්දේශ කළ හැක්කේ වන වගාවට පමණයි. නාය ගිය ප්‍රදේශයට ඉහළින් තවමත් එල්ලී තිබෙන ගල් සහ පස් දකින්න පුළුවන්.

ඒ වගේම නායට ඉහළින් වතුර පිරුණු විශාල වළවල් තිබෙනවා. ඒකට හේතුව මෙතෙක් කල් ජලය ගලා ගිය ක්‍රමවේද නාය යාමත් සමග අවිධිමත් වීමයි. මේ අන්දමින් ජලාශ පැවතීම හොඳ දෙයක් නෙමෙයි. ඒවා පහළට ගලා යන්නට සලස්වන්ට අවශ්‍යයි. ඉන් පසු ප්‍රදේශයේ වන වගාව කළ යුතුයි. ඒ අන්දමට තවත් අවුරුදු සීයක් දෙසීයක් පමණ මේ ප්‍රදේශ ස්ථාවර වූවාට පසු තමයි ජනාවාසයක් ඇති කරනවා නම් කළ යුත්තේ. '

මීරියබැද්දේ යළි නිවාස ඉඳි නොකළ යුතු බව බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඒ අන්දමිනි. එහෙත් නවීන තාක්ෂණය යොදා ගනිමින් නාය ගිය ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කර ජනාවාස සඳහා යෝග්‍ය පසුබිම් ඇති කර තිබෙන අන්දමට උදාහරණද මධ්‍ය කඳුකරය ආශ්‍රිතව හිඟ නැත. එසේ නම් මීරියබැද්දට එවන් ප්‍රතිකර්මයක් කළ නොහැකි ද?

' නවීන තාක්ෂණයෙන් නාය යාම් වළක්වන්න කටයුතු කරන්න පුළුවන්. අප සංවිධානය නාය යම් යළි ඇති නොවීමටත් ජනාවාසවලට හිතකර වාතාවරණයක් ඇති කිරීමටත් එළෙස තාක්ෂණය භාවිතයෙන් පිළියම් යෙදූ ප්‍රදේශ කීපයක්ම තිබෙනවා. පේරාදෙණිය, පදියපැලැල්ල වැනි නගර ඒ සඳහා හොඳ උදාහරණ.

පේරාදෙණිය නගරයේ නාය යාම් සිදු වූ විට එයට පිළියම ලෙස නගරය එතනින් ඉවත් කළ යුතු බවට යෝජනා වූවා. ඒත් අපි නගරය එලෙසම තිබිය හැකි වන ලෙස නවීන තාක්ෂණය භාවිතයෙන් නාය ගිය ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කළා. පදියපැලැල්ලත් එසේමයි. නවීන තාක්ෂණය භාවිතයෙන් නාය ගිය ප්‍රදේශයක් පිළිසකර කිරීමට අති විශාල මුදලක් වැය වෙනවා.

මේ නගර ආශ්‍රීතව ප්‍රතිසංස්කරණ සඳහා නවීන තාක්ෂණය භාවිත කළේ මේ නගර ආශ්‍රිතව වටිනාකමක් පවතින නිසයි. මේ ප්‍රතිසංස්කරණ හේතුවෙන් නගර එතනින් ඉවත් කිරීමේ විශාල කර්තව්‍ය කළ යුතු වූයේ නැහැ. ඒත් මීරියබැද්දේ එවන් නාගරික වටිනාකමක් නැහැ. පවතින්නේ නිවාස කීපයක් පමණයි.

ඒ නිසා විශාල මුදලක් වැය කරමින් නවීන තාක්ෂණය භාවිතයෙන් ජනාවාස සඳහා හිතකර පරිසරයක් ඇති කිරීමට අවශ්‍යතාවක් නැහැ. එහෙත් එක් දෙයක් කිව යුතුයි. අපට කළ හැක්කේ කිරීමට වඩාත් යෝග්‍ය දේ සම්බන්ධව නිර්දේශ නිකුත් කිරීම පමණයි. ඒ නිර්දේශ මත කළ යුතු දේ තීරණය කරන්නේ අදාළ බලධාරීන් '

බණ්ඩාර මහතා තම පිළිතුර අවධාරණය කරන්නේ ය. ඉතිහාසය පුරා සුන්දර ගම්මානයක්ව පැවති මීරියබැද්ද මෙවන් ඉරණමකට ගොදුරු වීමට හේතුව කුමක් දැයි අප දන්නේ නැත. එය ග්‍රහ මාරුවක් හෝ දේව කෝපයක් දැයි ඇතැම් දෙනා මත පළ කරන්නේ ය. එහෙත් බණ්ඩාර මහතා පවසන්නේ කොස්ලන්ද ප්‍රදේශයේ මෙවන් නාය යාම් අරුමයක් නොවන බවයි.

' බෙරගලින් පටන්ගෙන වැල්ලවාය පාර දියේ යනකොට දිගටම අපට හමුවන්නේ මොහොර බෑවුමක පහළ කොටස. මොහොර බෑවුමක් කියන්නේ මව් පාෂාණයේ සාමාන්‍ය ආනතිය පවතින පැත්තට විරුද්ධ පැත්තට. වැල්ලවාය පාරේ වම් පැත්තේ දිගටම තියෙන්නේ ගල් ඇඳි. මේ ගල් මව් පාෂාණයෙන් ගැලවී ඇවිත් දීර්ඝ කාලයක් තිස්සේ තැන්පත් වෙලා තිබෙනවා. මේ පාෂාණවලට කියන්නේ සුන් පහන් පස් (colluvium soil) කියලා. මෙතන තියෙන්නේ ගල් සහ පස්වල මිශ්‍රණයක්. මේ මිශ්‍රණය ස්ථාවර පස් තට්ටු මෙන් එකට තදින් බැඳිලා නැහැ. මේ මිශ්‍රණය ඇතුළට ඕනෑම මොහොතක වතුර ගලා යාමේ ප්‍රවණතාවක් තිබෙනවා.

වතුර උරා ගැනීමේ හැකියාව වැඩියි. ඒ වගේම බෑවුමත් වැඩියි. වර්ෂාව ලැබුණාම වතුර උරාගෙන බර වැඩිවෙලා පස් පහළට රූටලා යනවා. මේ ප්‍රදේශයට මේ තත්ත්වය ආවේනිකයි. කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාම් බහුලව සිදු වන්නේ ඒකයි.

1997 දීත් කොස්ලන්ද නා කැටිය ප්‍රදේශයේ අති විශාල නාය යාමක් සිදු වුණා. ඒක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වුණු විශාලතම නාය යාම. එතනදී කිලෝමීටර් තුනක පමණ ප්‍රදේශයක් විනාශ වුණා. නා කැටිය පිහිටා තිබෙන්නේ මීරියබැද්දේ ඉඳන් කිලෝමීටරයක් දුරින්.

වඩාත්ම හොඳ දේ තමයි මෙතරම් විශාල නාය යාමක් සිදු වෙලත් එකම ජීවිතයක් හෝ අනතුරට පත් නොවීම. මේ ප්‍රදේශයේ නිවාස 14ක් පමණ තිබුණා. 1995දී මේ ප්‍රදේශය ආශ්‍රිතව අප කළ සිතියම් ගත කිරීමක දී ප්‍රදේශය නාය යාමේ ඉඩක් පවතින බවත් එසේ වන්නේ නම් දක්නට ලැබෙන ලකුණු සම්බන්ධවත් ජනතාව දැනුම්වත් කළා.

නාය නාමට පෙර මේ ප්‍රදේශයේ එක්වරම මඩ දිය උල්පත් ඇති වෙලා ජලය ගලා යන්නට වෙලා තිබුණා. ප්‍රදේශයේ මිනිසුන් මේ ලකුණු දුටු වහාම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබුණා. ඒ අන්දමින් අපේ අනතුරු ඇඟවීම් නිසා ජීවිත බේරීම ගැන අපට දැනුණේ විශාල සතුටක්. මීරියබැද්ද ප්‍රදේශයටත් අපි අනතුරු ඇඟවීම් කරලා තිබුණා. ඔවුන් ඒ අනතුරු ඇඟවීම් පිළිපැද්දේ නැත්තේ ඇයි කියන්න අපි දන්නේ නැහැ.'

බණ්ඩාර මහතා පවසන අන්දමට මීරියබැද්ද ප්‍රදේශය නාය යාමකට ලක් වීමට ඉඩ ඇති බව ඔවුන් ප්‍රථමවරට ප්‍රකාශ කර ඇත්තේ 2005 දී ය. 2011 වසරේ නොවැම්බර් මාසයේ දී ද මේ ස්ථානය කිසියම් නාය යාමකට ලක් වී තිබේ. මේ ප්‍රදේශයේ තිබූ කෝවිලට ඉහළින් ගල් සහ පස් පෙරළී පැමිණ තිබේ.

එවිට ‍ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ ප්‍රදේශයේ පැවති නිවාස 63ක ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වීම සුදුසු බව නිර්දේශ කර තිබේ. බණ්ඩා‍ර මහතා පවසන්නේ රට පුරා දිස්ත්‍රික් දහයක මෙවන් අනතුරු දායක ස්ථාන සම්බන්ධව තමන් නිරන්තර අවධානයෙන් පසු වෙමින් අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි. ‍

එමෙන්ම භූමියේ හදිසි පැලීම් වැනි නාය යාමේ පූර්ව ලක්ෂණ දුටු වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුම්වත් කරන ලෙසත් එමගින් හැකිතාක් ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් බණ්ඩාර මහතා නාය යාම් අවදානම් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

මීරියබැද්දේ නාය යාමෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව සම්බන්ධව පවතින තොරතුරු තවමත් නිශ්චිත නැත. එහෙත් වාසනාවකට මෙන් එය ප්‍රථමයෙන්ම වාර්තා වූ අන්දමට සිය ගණනින් වන්නේ ද නැත. විනාශ වූ ජීවිත සංඛ්‍යාව විශාලය. එහෙත් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඉතිහාසයේ වැඩිම ජීවිත සංඛ්‍යාවක් හානි වූ නාය යාම මෙය නොවන බවයි.

' දැනට වැඩිම ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ නායයාම වාර්තා වන්නේ රත්නපුර ඇලපාත ප්‍රදේශයෙන්. නාය යාම නිසා ඒ ප්‍රදේශයේ ගමක් මුළුමනින්ම විනාශ වුණා. නැතිවූ ජීවිත සංඛ්‍යාව 75ක්. අවාසනාවන්ත කරුණ වන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිදුවීමට කලින් භූමියේ විශාල පැලීම් වැනි පූර්ව නායයාම් ලක්ෂණ දැක තිබෙනවා.

ඒත් ඔවුන් ඒවා තැකීමකට ලක් කරලා නැහැ. ජීවිත බේරා ගත් මිනිසුන් පවසා තිබුණේ කඳුකර ප්‍රදේශයේ ‍වළවල් හෑරීම තරමක් දුශ්කර කටයුත්තක් ද වන නිසා ඔවුන් මේ පැලීම් තම නිවාසවල ජලය ගලා යාමට සැලැස්වීම, වැසිකිළි වළවල් ලෙස භාවිතා කිරීම වැනි දේට යොදා ගත් බවයි.

එහෙත් නාය යාම සිදුවීමට සුළු මොහොතකට පෙර ඇතිවූ පුර්ව ලක්ෂණ හඳුනා ගත් කිහිප දෙනෙක් දිවි බේරාගෙන තිබුණා. ඇලපාත ප්‍රදේශයත් නැවත පදිංචි කිරීමට අප නිර්දේශ කළේ නැහැ. එහි තවමත් කන්දේ එල්ලුණු පස් කුට්ටියක් තිබෙනවා. කවදා හෝ එයත් කඩාගෙන යන්න පුළුවන්. අද එතන කිසි කෙනෙක් පදිංචි නැහැ. වන වගාව පමණයි තිබෙන්නේ. එතනින් පහළ අලුත් ගම්මානයක් ඉඳිවී තිබෙනවා. අපි මීරියබැද්දටත් යෝජනා කරන්නේ එවන් විසඳුමක්. '

තම වෘත්තීය දිවියේ අත්දැකීම් බහුල ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නාය ගිය ප්‍රදේශයක් මතුපිටින් තණකොළ වැවී ස්ථාවර ලෙස පෙනී ගියද එහි අභ්‍යන්තරය සක්‍රීයව පවතින බවයි.

එබැවින් නාය යාම් අනතුරු සහිත ප්‍රදේශවල මෙන්ම පොදුවේ කඳුකර බෑවුම්වල ද ඉඳිකිරීම් නොකළ යුතු බවත් එසේ කරන්නේ නම් තම සංවිධානය මගින් සපයන නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පවසන්නේ ය. ඒ නිර්දේශ අනුව නිවාස ඉඳි කිරීමේ දී බෑවුම්, කණ්ඩි නිර්මාණය ‍නොවීමට වග බලා ගත යුතුය.

ජලවහන රටාවේ වෙනස්කම් සිදු නොකිරීමට වග බලා ගත යුතුය. ජලවහන රටාවට අවහිර කිරීම්, හානි කිරීම් නොකළ යුතුය. ශාක ආවරණ කිසිසේත් ඉවත් නොකළ යුතුය. බණ්ඩාර මහතා පවසන්නේ මේ අන්දමින් කටයුතු කළ හොත් කඳු බෑවුම් ප්‍රදේශවලද ජනතාවට බියක් නොමැතිව ජීවත් විය හැකි බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්