කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»


ගුල්සාරි

ගුල්සාරි

හිම පතනයට ආසන්න කුණාටු සහිත ඇඳිරි හැන්දෑවේ මහලු ගුල්සාරි අශ්වයා තනබායි සීයාගේ කරත්තය හෙමිහිට ඇදගෙන යමින් සිටියේය. ඇලෙක්සැන්ඩ්‍රියා කඳු අතරින් වැටුණු පාර දුෂ්කර ය. එහි අවසානය වූයේ සමූහ ගොවිපළක් හා එයට යාව පිහිටි ගම්බද ප්‍රදේශයකිනි.

තනබායි අශ්වයාට කරදර නො කළේය. කාකි විශාල කලිසමක් සහ පරණ කබායක් ඇඳ සිටි ඔහු ගේ තට්ට හිසේ පිදුරු තොප්පියකි. දුඹුරු පැහැති සපත්තු දෙක හොඳටම ගෙවිලාය. තට්ට හිසක් සහ සුදු පැහැති රැවුළකින් යුතු ඔහු ගේ මුහුණ ළප කැළල් සහිත මුහුණ බොහෝ රත් පැහැයෙන් යුතුය. දුඹුරු රත් පැහැයෙන් යුතු ඔහුගේ දෙනෙතේ තිබුණේ නො ඉවසුම් සහගත කෝපයකි. සීතල නිසා ඔහු කරත්තයේ සිටියේ උණ්ඩියක් සේ වාඩි වෙලාය.

සැර දුම්කොළ සහිත සුරුට්ටුවක් ඔතා ගැනීමට වෑයම් කළ ඔහුගේ දෙඅත් වෙවුලන්නට විය. ඒ හැම දෙයක් ම ලේළිය ඉරීනා නිසාය. ඉසිලිය නොහැකි තරම් වූ දෙපියයුරුවලින් ද විශාල පශ්චාත් බාගයෙක් ද යුතු ඇය ඔහුගේ එකම පුතාගේ බිරිය යි.

“ඒකි අමු යක්සනියක්. පුළුවන්නං මගෙ රීරී මාංසෙත් උරාබොයි. ගෑනු දැකල තියෙනව. ඒත් මේ වගේ අළුගුත්තේරු බැල්ලියක් මං ජීවිතේට ම දැකල නෑ. මාමා කම පැත්තක දැම්මත් ඒකිට හිතන්න තිබුණ මං සමූහ ගොවිපළේ හිටපු නිල අශ්ව කරත්ත රියැදුරා කියල.”

බිරිය මිය ගිය පසු තනබායි තම එකම පුතා හදාවඩා ගත්තේය. ඌ දෙවෙනි සමූහ ගොවි පළේ ට්‍රැක්ටර් රියැදුරෙකු වී ඉරීනා ගේ ගෙදරම බින්න බැස්සේ ය. විශ්‍රාම ගොස් සිටි තනබායි පුතා ගේ අහ ගියේ මාසයක්වත් විවේකීයව ඉන්නටය.

ඒත් පුතා සගේට ගන්නා විටත් නිශ්ශබ්ද බෝම්බයක් වූ ඉරීනාට තනබායි ඇඟ හෙල්ලුවත් වැරදියි. හීන් වොඩ්කා අඩියක් ගැහුවත් ඇය මැරෙන්න හදයි. සුරුට්ටු දුමට ඒකිට කැස්සය. මිදුළේ කෙළ ගැසීම පාහර කමකි. පුතා ඒකි ඉස්සරහ පඟරනැටි හිකනල්ලෙකි.

ඉරීනා ගේ පියා මිය ගොසින් ය. අම්මා වේලිච්චි කුරුම්මා ඇට්ටියක් වගේ ය. ඇය නිතරම කියන්නේ පුතා ඉරීනව නො බැන්දේ නම් ගොවිපළේ වැඩ පරීක්ෂකයෙකුට පංගනාතු කරන්නට තිබූ බවයි. එහෙත් එහෙම වැඩ පරීක්ෂකයකු මේ සී තුන් තලයේම නැති බව තනබායි දනී.

පහත් මිටියාවතේ නිමක් නැති ස්ටෙප්ස් තණ බිමේ ඉහළ අහස දැඩි අඳුරෙන් යුතුය. වසන්ත කාලයේ හැන්දෑවක ඇති දිළිහෙන රත් පැහැය දැන් එහි නැත. පොප්ලර් ගස් අඳුරට බිය වී කුණාටු සුළඟින් කෙඳිරිලි හඬින් වැලපෙයි.

හදිසියේ ම කරත්තය පැද්දෙමින් පාර අයිනට ගමන් කරන්නට විය. තමා ගේ මළ ගමටවත් නො එන්න යැයි කියමින් පුතා ගේ ගෙදරින් පිට වූ ආකාරය පිළිබඳව අතිමහත් අභිමානයෙන් සිහිපත් කරමින් සිටි තනබායි තිගැස්සී ප්‍රකෘතිය අවබෝධ කර ගත්තේය. කටින් පෙණ වගුරවමින් ගුල්සාරි දණ ගසන විට තනබායි කරත්තයෙන් පිටතට රීටුවේය.

“මළහත්තිලව්වයි. ඒකත් එහෙම වුණා.”

තනබායි බොහෝ කඩිසර විය. කරත්තයෙන් අශ්වයා මුදවාලීම ඔහුගේ ප්‍රථම කාරිය වූයේ ය. ඉක්මනින් වියළි දරකෝටු රැස් කළ තනබායි ගුල්සාරි සමීපයේ ගිනි මැලයක් ගසා එතැනට තප්පලම් ගැසුවේය.

“ගුල්සාරි. උඹට දුක හිතුණද මගේ ජීවිතේ ගැන. දාපන් මල්ලට ඒ සේරම. නැගිටල මාව ගෙදර එක්ක පලයං. දෙවියම්ප මං පොරොන්දු වෙනව උඹ ආයෙ කරත්තෙ බඳින්නෙ නෑ කියල.”

සිහින් හිම පියලි ගුල්සාරි ගේ මුහුණ මත වැටුණි. ඌ ඇසපිය සලමින් තම ස්වාමියා දෙස බලා සිටියේය. ගුල්සාරි යළි නැගිටීමේ අදහස සදහටම අත්හැර දමා තිබුණි. තනබායි එකී ඉරණම අකැමැත්තෙන් වුව වටහා ගනිමින් සිටියේය. තම ලේළිය පදනම් කරගත් කෝපය අතුරුදහං වෙමින් තිබුණි. ඒ සමඟම ඔහුට හැඟුණේ මෙතෙක් සමීපව ආශ්‍රය කළ හිතවතා ද සමුගෙන යෑමට සූදානම් වන බවයි. එය වසර ගණනක දිගු අතීතයක් සමඟ තමා පමණක් හුදකලා වීමකි.

තනබායිට හදිසියේ ම සිහිපත් වූයේ තම මියගිය බිරිය මාරියා පෙට්රොව්නා ය. ඇය කල්තබාම නික්ම ගොස් සිටීම මහා අඩු පාඩුවකි. මන්දයත් ගුල්සාරි සමඟ ඇය ගේ අතීත බැඳීමක් ඇති හෙයිනි. සමීප වූවෙකු අවසාන මොහොතේ නැතිවීම නික්ම යන්නාට තනිකමකි. දැන් ගුල්සාරි පිළිබඳව අතීතය සිහිපත් කළ යුත්තේත් ඌට තනි රැකිය යුත්තේත් තමා විසින් තනි පංගලමේ ය. එහෙත් එය තම පරම යුතුකම සේ තනාබායිට හැඟුණි. වෙන් වීමක් සමීප වූ විට අතීත මතකයන් දරා ගැනීම අසීරුය.

“උඹට තනියෙං යන්න බෑ. බාගදා මාරියා උඹ එනකං බලාගෙන ඇති.”

තනබායි තරුණ කාලයේ මාරියා බැලීමටත් මුලිච්චිවීමටත් ගියේ ගුල්සාරි සමඟය. පියා ඌ මිලදී ගෙන තිබුණේ කිරිගිස්ථානයේ අහිගුණ්ඨිකයකුගෙන් ය. තනබායි තරුණ වියට පිවිසියේ ගුල්සාරි සමඟය. සැබවින්ම මාරියා තමාට වඩා ආදරය කළේ ගුල්සාරිටය.

ගුල්සාරි තම බිරියටත් වඩා වැඩි කාලයක් තමා සමඟ ගතකර ඇති බව තනබායි සිහි කළේය. දෙදෙනා පමණක් කොහේ හෝ යන විට තනබායිට ගුල්සාරි අශ්වයකු බව අමතක විය. එහෙයින් ඔහු තමාගේ හැම හැඟීමක්ම ගුල්සාරිට කීවේය.

“කුලාකයන්ගෙ පාහරයො ටික සමූහ ගොවිපළට ගහන්න එනවලු. එහෙම උනොත් අපි මදි නොකියන්න උන්ට දෙමු බැටේ. හොඳද ගුල්සාරි.”

ගුල්සාරි යමිං ගමන සීනු හඬ ඇහෙන සේ හිස වනයි.

පුතා සහ බිරිය සමඟ තනබායි ගිය හැම ගමනක් ම ගියේ ගුල්සාරි ඇදගෙන ගිය කරත්තයෙනි. සහෝදරයකු සහ මිතුරෙකු වූ ගුල්සාරි දැන් තමන් සින්නක්කරේට ම අමතක කර තනියෙන් දමා පිටත් වීමට සූදානම්ය.

හඬ නගමින් ට්‍රක් රථයක් කඳු මුදුන නගියි. ඒ සමූහ ගොවිපළේ ට්‍රක් රථයයි. තනබායි දුටු රියැදුරා ට්‍රක් රථය නැවැත්වීය.

“තනබායි සීයෙ! මේ අහවල් වින්නැහියක්ද?”

රියෙන් බැස සීතලෙන් වෙවුලමින් ආ තරුණ රියැදුරා ගුල්සාරි දෙස බලා ගිනි මැලයට දෙඅත් අල්වා උණුසුම්කර ගත්තේය.

“තීන්දු ගමන් යන්නද?” රියැදුරා යළි ඇසුවේය.

“ඔව් ප‍ුතේ!”

“සීයෙ. දැන් මාත්තෙක්ක යමු. හෙට උදේ ඇවිත් අශ්වයා වළදාමු. හිම කුණාටුවක් අත ළඟ.”

සමූහ ගොවිපළේ විශ්‍රාම ලත් අශ්ව කරත්ත රියැදුරා තනබායි එහි හැම කෙනෙක් ම හඳුනයි. තරුණයා තමා කැටුව යන්නට සූදානම් වන්නේ හිත හොඳ කමටයි. එහෙත් මෙතරම් කලක් තමා සමඟ එකට සිටි ගුල්සාරි තනි කරන්නේ කෙසේද? තමා සහ ගුල්සාරි අතර ඇති බැඳීම තරුණයා නොහඳුනයි. බාගදා අලුත් පරපුරට ඒ කිසිවක්ම හිතන්න බැරිය. උන් කල දවස ගෙවන්නේ ඛණිජ තෙල් සුවඳ හමන යන්ත්‍ර සූත්‍ර සමඟ පමණයි.

“මට දුංකළ ටිකක් දීල පලයං පුතේ!”

ට්‍රක් රථය ගිය පසු තනබායි තවත් වියළි දර එකතු කර ගිනි මැළය අලුත් කළේය. ඉන්පසු යළිත් ගුල්සාරි සමීපයේ ම වාඩි විය.

තනබායි එතැන් සිට ගුල්සාරි සමඟ ගත කළ කාලයේ සිදු වූ හැම දෙයක් ම මතක් කර දුන්නේය. ඒ මතකයේ බො‍හෝ දේවල් තිබුණි. දෙදෙනාම තරුණ කාලයේ කොමියුනයේ පැවැති හැම අශ්ව ධාවන තරගයක් ම ජයග්‍රහණය කර තිබුණි. කුලාකයන් සමඟ සටන් කරද්දී සතුරු වෙඩි පහරවලින් තනබායි රැක ගනිමින් හතර දිග් බාගයේ වෙඩි තබමින් තම මිතුරු ස්වාමියාට ගුල්සාරි ඉඩ හසර සලසා දුන්නේය.

ගුල්සාරි තම ස්වාමියා කියන හැම දෙයක් ම අසා සිටියේය. අසාධ්‍යව සිටියත් ඌ දෙනෙත් පියා නොගත්තේය. තනබායි කියන කතාවල ඇතැම් තැන් වෙනස් විය යුතු බව ගුල්සාරි දැන සිටියත් ඌ නිහඬවම සිටියේය.

අරුණෝදය වන විට කුණාටුව තුරන් විය. ඉහළ අහසේ රන් පැහැය නැගුණි. කල්තබාම රාජාලියෝ පියාඹන්නට වූහ.

ගුල්සාරි දැන් හුස්ම ගන්නේ දිගු නැවතීම් සහිතවය. ඌ දකින්නේ රැය පුරා සීතලෙන් නිදිවරමින් සිටි තම මහලු ස්වාමියාය. දෙනෙත් වැඩි වේලාවක් පියා ගනිමින් සිට ගුල්සාරි අතට දිව දිගුකර හොම්බ පිසදා ගැනීමට උපන් ආසාව මැඩ ගත්තේය. නැතහොත් එම තීරණය අත්හැර දැම්මේය.

ගුල්සාරිගේ බොර පැහැති ඇස්වල කඳුළු පිරුණි. දෙනෙත් පියා ගත් විට ඒ කඳුළු පහතට ගලා ගියේය.

“එහෙම හිතන්නෙපා ගුල්සාරි” තනබායි කීවේය.

තදින් දෙනෙත් පියාගත් ගුල්සාරි ගේ සිරුර ගණැති සිහිලක් වෙත හෙමිහිට ගමන් කරමින් තිබුණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්