කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


නෙළුම්විල

දරු උණුහුම

පාසලේ සිසු නායිකාවන් ගේ චාරිකාව ඇරඹීමට නියමිතව තිබුණේ අලුයමිනි.

එහෙයින් අපිදු අලුයම 4.45 පමණ වන විට දියණිය එහි කැඳවාගෙන ගියෙමු.

‘ගුඩ් මෝනිං’ විදුහල්පති කන්‍යා සොයුරිය අප උණුසුම්ව පිළිගත්තා ය.

සෙසු මාපියෝ ද තම දූවරුන් කැඳවා ගෙන එමින් සිටියහ.

‘ගුඩ් මෝනිං’ විදුහල්පති කන්‍යා සොයුරිය ගේ ආශිර්වාදාත්මක හඬ දිගින් දිගට ම ඇසෙන්නට වූයේ ය.

පාසලේ සිසු නායිකාවන් හතළිහක් පමණ සිටිය ද මේ දෙදින චාරිකාවට සම්බන්ධ වූයේ විසි ගණනක් පමණි.

ඉක්බිති, විදුහල්පති කන්‍යා සොයුරියගේ උපදෙස් පරිදි සිසුවියන් ආගම් අනුව බෙදා සිය ආගම සිහි කරනු පිණිස යොමු කැරිණි.

වැඩි දෙනා බෞද්ධ ය. කතෝලික හය දෙනෙකි. එක් ඉස්ලාම් අයෙකි.

සිසුවියන් ආගම සිහි කරන අතර මාපිය අපි චාරිකාවට ඇවැසි අඩුම-කුඩුම බසය කරා ඇද්දෙමු.

‘ගෑස් සිලින්‍ඩරේ මෙතන තියන්ඩ! වතුර බූලි ටික සීට් යටින් තියන්ඩ! ඕක මෙතන තියන්ඩ! අරක අතන තියන්ඩ!’

රියදුරු ඒ ඒ බඩු තැබිය යුතු තැන් ගැන අපට උපදෙස් දුන්නේ ය. අපි ඔහුට සහයෝගය දුනිමු.

‘චිරංජා මිසුයි දොළහෙ ළමයි ටිකයි එකතුවෙලා උයයි නේද?’

‘ඔව්. එහෙම වෙයි.’

‘උයන්ඩ කවුරුත් එක්කගෙන යන පාටකුත් පේන්නෙ නෑනෙ. එහෙම කරයි තමයි.’

මාපියෝ කසු-කුසු ගාන්නට වූහ.

අනතුරුව පිරිස බසයට නැඟ අසුන් ගත්හ. අලුයම 5.10 ට පමණ බසය පණ ගැන්විණ.

දියණියෝත්, ගුරු මෑණිවරුත් අපට අත් වැනූහ. අපිදු අත් වනා සම දුනිමු.

අගෝස්තු හත්වැනිදා රෑ 10 ට පමණ අපි දියණිවරුන් බාර ගනු පිණිස පාසල අසලට ගියෙමු.

බසය ආවේ ය.

අපි දඩි බිඩි ගා බඩු භාණ්ඩ බෑවෙමු.

ඉන්පසු අපට දරුවන් බාර දෙන ලදි.

අපි ගුරු මෑණිවරුනට ස්තුති කර දරුවන් බාර ගතිමු.

ගමනේ තොරතුරු විමසීමට ඉස්පාසුවක් ලැබුණේ කෑම මේසයේ දී ය.

බිරියත්, නැන්දාත් ‍තොරතුරු අසන්නට වූයේ කුහුලිනි. දියණිය ආසාවෙන් පිළිතුරු බැන්දා ය.

ඉඩක් බලා මම ද පොඩි ප්‍රශ්නයක් ඇසුවෙමි.

‘පු‍‍ෙත් ඉතිං ඔයගොල්ලො රෑට ඉව්වද?’

‘ඔව් තාත්තෙ.’

‘කවුද ඉව්වෙ? චිරංජා ටීචරුයි දොළහෙ අක්කලයි ද?’

‘නෑ තාත්තෙ, ඉව්වෙ චිරංජ ටීචරුයි සිස්ටර්ස්ල දෙන්නයි. ඊයෙ රෑටත් ඉව්ව. අද පාන්දරත් නැගිටල ඉව්ව. ඒව තමයි අපි උදේටයි, දවල්ටයි කෑවෙ.’

‘එතකොට ඔයාල ‍මොකුත් කෙරුවෙ නැද්ද?’

‘අපි ඉතිං ඔහේ නිදහසේ හිටිය.’

අපේ කතා බහ ආසාවෙන් අසා සිටි බිරිය සොඳුරු නිගමනයකට ආවා ය.

‘කිකිළි අම්ම පැටව් ටික රකිනව වාගෙ සිස්ටර් ළමයි ටික බලාගන්ඩත් ඇති.’

බළන්ගොඩ, ඉඹුල්පේ, අමුපිටියේ ‘සඳමල්’ හි චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

සරසවි සිසුවා

ජීවත්වීම තරම් අපහසු වෙනත් දෙයක් ඇත්දැයි මම නොදනිමි.

ජීවත්වීම මේ සා කුරිරු වී ඇති බව හොඳින් ම වැටහුණේ මා සරසවි වරම් ලැබුවාට පසු ය.

කුඩා කල අපගේ ඕනෑ එපාකම් සොයා බැලීමට මාපියෝ සිටිති. එය පෙර පිනකි. නමුත් ඔවුන් අසරණ වෙන කාලයක් ද එයි. එවැනි අවස්ථාවක ඔවුනට සරණක් වීමට අපට හැකියාවක් නොවීම කෙතරම් ඛේදජනක ද?

මට සහෝදරයෙක් ද, සහෝදරියක් ද සිටිති. සහෝදරයා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ‍යක ඉගෙනුම ලැබීමට සුදුසුකම් ලබා සිටියි. එය අපට විශේෂ පුවතකි.

සහෝදරියගේ තත්ත්වය අතිශයින් ම කනගාටුදායක ය. ඇය අධ්‍යාපනයේ දැඩි තරගකාරී හා ප්‍රවේගකාරී තත්ත්වය හේතුකොටගෙන මානසික රෝගියකු වී හමාරය. ඇය අතට අසුවන ඕනෑ ම දෙයකින් අපට දමා ගසයි. ඒ හා බැඳුණු පීඩාව දරුණු ය. වෛද්‍යවරුන් ඇයට මානසික රෝගයකට අදාළ බෙහෙත් නියම කර ඇත. ඇය ඒවා බීම ප්‍රතික්ෂේප කරන්නේ ජීවත්වීමට ආශාවක් ඉතිරිව නැති නිසා ද?

මා උසස් පෙළට මුහුණ දුන්නේ මෙවැනි පසුබිමක ය. අමතර පන්ති යෑමට මුදල් නොවී ය. කෙසේ වුවද අදාළ විෂයයන් තුනටම විශිෂ්ට සාමාර්ථ ලබා අදිටන් කර ගත් අයුරින් ම විභාගය සමත් වීමට මට හැකි විය.

දැන් මම විශ්ව විද්‍යාලයයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලබමි.

එසේ වුවද දැනට මාස දෙකක පමණ කාලයක සිට ගෙදරට වී සිටිමි. සරසවි යෑමට මුදල් නැත. අපට කිසිවකු ගේ පිහිටක් නැත.

මාගේ ඉදිරි අධ්‍යාපනයට කිසියම් වියදමක් අවශ්‍ය ය.

එය අවමයෙන් හෝ සපුරා දීමට කැමති කෙනෙක් වෙත් ද?

හැකිනම් මට පිහිට වෙන්න.
 

අනන්‍යතාව සඟවා සිටීමට කැමති අඹගමුව පෙදෙසෙහි සරසවි සිසුවකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. අදාළ තොරතුරුවල සත්‍යාසත්‍යතාව විමසා බැලිය හැකි වගකිවයුතු ලිපින කිහිපයක් ද එවා. ඇත. උදව් කිරීමට කැමති අයට ඒවා නෙළුම්විලෙන් (0112429265) ලබාගත හැකිය. ඊට අමතරව ශිෂ්‍යයාගේ 071 - 4668572 දරන දුරකථන අංකය ද දක්වා තිබේ.
 

බාරයක බර

පාර අයිනේ දණ ගසාගෙන සිටි ඔහු මගේ නෙතු පැහැර ගත්තේ ය.

ඔහු හැඳ සිටියේ පරණ කබායක් සහ සරමකි.

ඔහු නමස්කාර කරමින් සිටියේ රෝමානු ශාන්තුවරයකු ගේ රුවකට ය.

ඒ වූ කලි මීගමුවේ හලාවත පාරේ ලේඛන කලාවට අධිපති ශාන්තුවරයකු ගේ පල්ලිය ඉදිරිපිට තැනකි.

නමස්කාරය අවසන් කළ ආගන්තුක තෙමේ යාබද ගල් ගෙඩියක් උඩ වාඩි වී කඩල මුලක් දිග හැරියේ ය. එය ඔහු ගේ උදා අහර ය.

ඔහු ගේ පන් මල්ලෙහි ඉරිදා ඉංගිරිසි පත්තරයක් තිබිණ.

ටිකකින් ඔහු කඩල ටික කා නිම කළේ ය.

මම ඔහු සමඟ කතාවට වැටුණෙමි.

ඔහු පැමිණ සිටියේ රාජගිරියේ සිට ය. ඒ පා ගමනිනි. ආපසු යනු ඇත්තේ ද පා ගමනිනි.

‘මහත්තයො, අපි බාර වෙන්නෙ නැති බැරිකම හින්දනේ. ඒ නිසා බාරෙ ඔප්පු කරල නිදහස් වෙන්ඩ ඕනැ. මේ විදියට තමයි ඒක කරන්ඩ ඕනැ’ ඔහු කීවේ ය.

‘එතකොට යන්නෙ එන්නෙ දෙක ම පයින්මයි?’

‘ඔව්, ඒක එහෙම වෙන්ඩ ඕනැ.’

‘එතකොට ආහාර පාන?’

‘අනුන්ට අත පාල ඉල්ල ගන්නව මහත්තයො, මං අඳුනන කඩේකට ගිහිල්ල ඉල්ලුවා පිනට. කඩේ හාමිනෙ මට සීනි බනිස් ගෙඩියක් දුන්න. ඒත් ඇඳින්නෙ නෑ නොවැ.’ ඔහු කීවේ ය.

මේ මහතා රටේ ප්‍රසිද්ධ තැනක ඉහළ වැටුපකට රැකියාවක් කරමින් සිටි අයෙකි. ඔහු අතීතයේ දිනක බාර වූ ලෙස ම සිය දියණිය වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූවා ය. ඔහු මේ පැමිණ සිටින්නේ ඒ බාරය ඔප්පු කරනු සඳහා ය.

බාරයක් වීමේ හා එය ඔප්පු කිරීමේ ගැඹුර මා උගත්තේ ඔහුගෙනි.

‘සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දේය. මක්නිසාද ස්වර්ගය ඔවුනට ය.’ මට ඒ කියමන සිහිපත් විය.
 

රඹුක්කන, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ, සරත් විජයානන්ද මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල, සිළුමිණ,

ලේක්හවුස්, කොළඹ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්