කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


නැකැත් බල බලා ඉන්න වෙලාවක් නෑ හෙටම කසාද බඳින්න ලෑස්ති වෙන්න

නැකැත් බල බලා ඉන්න වෙලාවක් නෑ හෙටම කසාද බඳින්න ලෑස්ති වෙන්න

“අප්පේ ඉස්කෝලෙ මහත්තයෙක් නේද මේ මැටි ගාගෙන ඇඟපත පුරාම...යි සුසිලා අතක් නිකටේ හොවාගනිමින් කම්පා වූවාය.

ගීත්ට උපකාර කරමින් සිටි අතුල හඬනඟා හිනැහුණේය.

“ඇඟපතේ නම් මැටි කොච්චර ගෑවුණත් කමක් නෑ සුසිලක්කේ.. මොළේ මැටි නැතුව..”

කෝසලා සිනාව මැඬගත්තේ වෑයමිනි.

“ගෝතමී නැන්ද දැං බණිනවා වෙලාවක අපිට අලුත් මනමාලයගෙන් වැඩගන්නවා කියල.”

ඇය කීවේ වාසනා දෙස බලා ඉඟිමරමිනි. එහෙත් වාසනා සිනාවක් නොපෑවාය. ඇගේ අඳුරු මුහුණ දකින්නට ඉසිඹුවක් ගීත්ට නැත්තේය. ඔහු නව ජවයකින් වැඩෙහි යෙදී සිටියි. නගරයේ විසිතුරු අලෙවි සැල් කීපයකින් ඇණවුම් ලබා ගන්නට ද අතුල සමත් වූ බැවින් තවදුරටත් තැවි තැවී හිඳින්නට වේලාවක් නැත. ඔහු දවස මුළුල්ලෙහි වැඩකරයි. අධික විඩාව හේතු කොටගෙන රාත්‍රියෙහි සුව නින්දක් ලබයි. එසේ වුව ඇතැම් රැයක ඔහු තිගැස්සී අවදිවෙයි. තාත්තාත් නදීත් තමා සමීපයෙහි සිටගෙන සිටිනවා මෙන් දැනී නොදැනී යෑමෙන් ඔහුගේ ළය දැවෙන්නට පටන්ගනියි.

“හෙටානිද්දට අපිට තව මඟුල් ගෙවල් දෙකක් තුනක්ම තියෙනවනේ”

අතුලගේ සැහැල්ලු ස්වරය ගීත්ගේ සිතෙහි බර තුනී කරයි.

“ඔය හැටි මඟුල් ගෙවල් කොහෙන්ද අප්පේ?”

සුසිලා අසන්නේ හැබෑම පුදුමයෙනි.

“ඉස්සෙල්ලම කෝසලාගෙ.. ඊට පස්සෙ ගීත්ගෙයි වාසනාගෙයි. ඊටත් පස්සෙ නදීගෙයි සුජිත්ගෙයි..”

අතුල කියාගෙන ගියේ කොලුපැටවෙකුගේ කෙළිලොල් බවිනි. ගීත් අත වූ මැටි පිඬ කළුගලක් සේ බරට දැනිණ.

“කෝ ඉතිං ළඟදි මනමාලියක් වෙන්න ඉන්න කෙනාගේ මූණෙ හිනාපොදක්වත් නෑනෙ”

අතුල හෙළූ විමසිලිමත් බැල්ම මඟහරිමින් වාසනා නිවෙස වෙත ගියාය.

“අනේ මන්දා.. ටික දවසක ඉඳන් වාසනා හරි වෙනස්” කෝසලාගේ චෝදනාත්මක බැල්ම යොමුවන්නේ ගීත් වෙතය.

“මාත් දැන් යන්න ඕන. ගෝතමී බලාගෙන ඇති නාන්න යන්නයි කී අතුල නැඟී සිටියේය.

“අපොයි එහෙනං පරක්කු නොවී යන්න. ගෝතමීට තරහ ආවොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ..යි සුසිලා අනතුරු ඇ‍ඟෙව්වාය.

අතුල පිටව ගියේ හිනැහෙමිනි.

“මොනව වෙන්නද ඉතිං.. තල් අත්තට බොරලු වැටෙන්නා වාගේ කට කමසෙයියාවක් නැතිව කියවයි”

කෝසලා බාල්දියෙහි වතුර සමන්පිච්ච මල් වැලට හැළු‍වාය.

“මං වතුර එකක් ඇරං එන්නංයි කියමින් ඇය ළිඳ වෙත ගියේ වාසනා පිළිබඳව යළි යළි සිතමිනි. නිතර සිනාමුසුව සිටි කෙල්ල මේ සා වෙනස් වූයේ කෙසේද..?

ළිඳ සමීපයෙහි පුවක් ගසකට වාරු වී ඉන්නා වාසනා දකිත්ම කෝසලා තිගැස්සුණාය.

“වාසනා?”

ඒ උච්ච ස්වරයෙන් හිස නඟා බැලූ යුවතිය අතකින් මුව වසාගත්තාය. එහෙත් ඇයට කීකරු නොවූ ඇගේ සිරුරට ඉඩ දෙමින් නැවතත් පහතට නැඹුරු වූවාය.

“ඇයි මේ? ඇයි මොකද වුණේ?”

බාල්දිය බිම තැබූ කෝසලා කඳුළු සලමින් වමනය කරන වාසනා වෙත ළංවූවාය.

“අ‍නේ අක්කේ..”

වාසනා දෑත එක් කොට සමාව අයදින බැල්මක් හෙළුවාය.

“දෙයියනේ...”

කෝසලා අප්‍රමාණ සංවේගයෙන් මුරගෑවාය.

“මං නං හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ මල්ලි මෙහෙම දෙයක් කරයි කියලා..ඇය වාසනා වත්තන් කරගෙන නිවෙස වෙත ගමන් කළාය.

“මහ ලොකු මඟුල් ගෙවල් ගන්න අපිට සල්ලි බාගේ නෑ තමා. ඒ වුණාට දුප්පත් වුණත් නම්බුකාර විදියට අහළ පහළ අයට බත්කටක් කන්න දීලා ඒ කාරණා කටයුතු කරගන්න තිබ්බනේ ලස්සනට..”

වාසනා දිගින් දිගටම හඬා වැටුණා විනා කිසිවක් නොපැවසුවාය.

“ඩිංගක් හාන්සි වෙලා ඉන්න”

ඇඳ බදා වැලඳගත් වාසනා ඉකිගැසුවාය.

කෝසලා සිය සොහොයුරා සොයා ගියේ කෝපයෙන් දැවෙමිනි.

“ආයෙ නැකත් බල බලා ඉන්න වෙලාවක් නෑ... මල්ලි ලෑස්ති වෙන්න හෙටම කසාද බඳින්න...”

තම දෙපා අබියස අකුණක් පිපිරූ කලෙක මෙන් ගීත් වෙව්ලා ගියේය.

“මොනව කරන්නද ඉතිං.. ගින්දරයි පුලුනුයි එකතු වුණොත් ගිනිගන්නව කියලා අපිට නිච්චි නිනව් නැතුව ගියානෙ..යි සුසිලා ද සුසුමක් හෙළුවාය.

වාසනා ගැබ්ගෙන සිටින බව ඇයට හෙළිදරව් කරන්නට රාත්‍රිය එළැඹෙන තුරුම බලා ඉන්නට කෝසලා අසමත් වූවාය.

වාසනා සිප වැලඳගන්නටවත් තමා පසුබෑ බව සිහිකරමින් ගීත් දෑතින් හිස කේ සින්දේය.

“මං එහෙම දෙයක් කළේ නෑ..යි කොතෙක් කියා සිටිය ද කෝසලාගෙන් බුරුලක් නොලැබිණ.

“මාත් කවදාවත් හිතුවෙ නෑ මගේ මල්ලි ඒ වගේ කැත වැඩක් කරයි කියලා.. දැන් ඉතිං කතා කරල වැඩක් නෑ.. අතුල සර්ටත් කියල කසාදෙ ලියල දානවා මිසක”

ඔහු වාසනා සොයා ගියේය. ඇය ඇ‍ඳෙහි වැතිර හඬා වැටෙන අයුරු දුටුව ද ඔහු තුළ කිසිදු අනුකම්පාවක් නොඋපන්නේය. ඇගේ කොණ්ඩා කරලින් ඇද නැඟිටුවාගත් ඔහු බිහිසුණු බැල්මක් හෙළුවේය.

“අනේ ගීත් අයියා... මට සමාවෙන්න.. මට සමාවෙන්න මගෙ දෙයියො..”

ඇය දෑත එක්කරමින් සමාව යැද්දා මිසක තමා ගැබ් ගත්තේ කා නිසා දැයි හෙළි නොකළාය.

“මං තමුසෙව ඉඹලවත් නැතිව තමුසෙට කොහොමද මං හින්ද ළමයෙක් හම්බවෙන්නෙ?යි කෑගසා අසන්නට ඇත්නම් සිත කය දවන කෝපාග්නිය යම් තරමකට හෝ තුනී වී යන බව ඔහු සිතුවේය. කතාකළ හැකි පිරිස මධ්‍යයේ කතා කළ නොහැකි තමා කොපමණ අසරණදැයි ඒත්තු ගියෙන් ඔහු තවත් නොසන්සුන් විය. තමාගේ නිර්දෝෂීභාවය ගෙනහැර දක්වන්නට නුපුළුවන් වීමට තරම් අභාග්‍යයක් තවත් තිබිය හැකිද?

“ඔය බඩේ ඉන්න ළමයා මගෙ නෙමෙයි කියල තමුසෙ හොඳටම දන්නවා වාසනා.. ඇත්ත කියනවා.. කවුද තමුසෙට ඔය අපරාදෙ කළේ?”

ඔහු තමාටම ආවේණික වූ බසින් ප්‍රශ්න කළේය. ඔහු සමඟ කල්ගත කිරීමෙන් ඇයට ද ඒ බස වටහාගන්නට පිළිවන.

“අනේ ගීත් අයියේයි ඇය ඔහුගේ දෙපා මුල ඇදවැටෙමින් කඳුළු සැලුවාය.

“මල්ලි..යි කෑගාමින් දිව ආ කෝසලා තරුණිය වෙත නැඹුරු වූවාය.

“වැරැද්ද කරල දැන් මේ කෙල්ල කන්ඩ පනින එක හරිද?”

ඇය වාසනා නැඟිටුවාලමින් ඇසුවාය.

“ඇත්ත කියනවා.. ඇත්ත කියනවා වාසනා.. මේක සෙල්ලමක් නෙමෙයි. මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම වැරැද්ද කරල කොච්චර ඇඬුවත් වැඩක් නෑ වාසනායි සංඥා කරමින් ඔහු යළිත් වාසනාගේ දෙවුරින් අල්ලා තමා වෙත හරවා ගත්තේය.

“අනේ ඔය කෙල්ලව අතෑරපං පුතේ.. බඩදරු වෙච්චි.. ඔහොම හිරිහැර කරන්ඩ හොඳද..”

සුසිලා බැගෑබර වූවාය.

“වාසනා.. මං ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ.. මේ අක්කයි ‍ලොකු අම්මයි ඉස්සරහ ඇත්ත කියන්න වාසනා.. ඇයි මෙච්චර ලොකු බොරුවක්..? මං වගේ අහිංසකයෙකුට ලෙඩෙකුට මෙහෙම කරන්න එපා වාසනා..යි ඔහු ද බැගෑබර බැල්මක් හෙළුවේය.

චංචල වූ තරුණිය ගිනිකන වැටුණු සතෙක් සිව්පාවෙක් සේ ඔහු දෙස බලාගත්වනම සිටියාය. තව මොහොතකින් ඔහු තමාට වැඳ වැටෙන්නට ඉඩ ඇතැයි සැක කළ ඇය ඔහුගේ ග්‍රහණයෙන් ගැලවී යන්නට වෑයම් කළාය. ඇගේ නිර්දය බවින් ඔහු වියරු වැටුණේය. වැරෙන් අතුල් පහරක් එල්ල කළ තරුණයා ඇය තල්ලු කර දැමුවේය.

“ගහන්ඩ එපා.. ගහන්ඩ එපායි මුරගාමින් කෝසලා පෙරට පැන්නාය. බිම ඇදවැටුණ වාසනා විලාප නැඟුවාය.

“තිරිසනෙක්.. උඹ නම් මහ තිරිසනෙක්..”

ගීත් ගල් ගැසුණේය. එකම සොයුරියගේ මුවින් පිට වූ ඒ වචන විසින් සියලු බැඳීම් සුණුවිසුණු කළ බවක් හැඟී ගියෙන් ඔහු අප්‍රාණික විය.

“මුං දරුවො නෙමේ මරුවො. අම්ම අප්ප නෑ කියල අහක නොබලා මෙච්චර උස්මහත් කෙරුවෙ මෙව්ව දකින්ඩද..? අනේ මං වගේ කරුමක්කාර ගෑනියෙක්..”

සුසිලා වැලපුණේ කිසිවෙකු මිය ගිය කලෙක මෙනි.

“උඹත් උඹේ තාත්තා වගේ තමයි.. ඒ මිනිහත් කෙරුවෙ මිනිහෙකුට ගැළපෙන දෙයක්ද.. තාත්ත කොරපු දේ නොකෙරුවොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනේ.. උඹ අද කරන්නෙත් එදා උඹේ තාත්තා කරපු දේම තමා..යි බැණ වදිමින් ‍කෝසලා ඉකිබිඳින තරුණිය නැඟී සිටුවන්නට වෑයම් කළාය.

ගීත් කාමරයෙන් පිටව ගියේ රූකඩයක් විලස දෙපා අද්දවමිනි.

“මට ගෙදර ඉන්න බයයි ගීත් අයියා.. බාප්පා හරි අමුතුයි දැං.. මා දිහා බලන්නෙ කන්න වගේ.. මට අම්මට කියන්නත් බෑ.. අ‍ෙන් අපි ඉක්මනට බඳිමුකෝ.. එතකොට මට මෙහේ ඉන්න පුළුවන්නෙ.. හවසට ගෙදර යනකොට මට දැනෙන්නෙ අපායකට යනව වගේ..”

වාසනාගේ සෝබර වදන් ඔහුගේ දෙකනේ රැව් පිළිරැව් දෙයි. ඇය විපතට ඇද හෙළුවේ ඇගේ බාප්පාද? ඒ සැකයෙන් ඔහුගේ ළය දැවී ගියේය. ඇයට පහරදීම පිළිබඳව ඔහු පසුතැවුණේය.

“දැන් ඉතිං මං කොහොමද කටක් ඇරල අතුල සර්ලට කියන්නෙ මගේ සහෝදරයාගෙ හපන්කම..”

කෝසලා නැවත නැවත ගීත් වෙත එමින් දොස් පැවරුවාය. වාසනාගේ ගැබට තමා වගකිව යුතු නැතැයි ඔහු ගොළු බසින් කියා පෑවේය.

“බොරු කියන්න එපායි ඇය අප්‍රමාණ කෝපයෙන් ගුගුළාය.

“ඒ අහිංසක කෙල්ල අමාරුවේ දාලා දැං බොරුත් කියන ලස්සන”

ඔහු ද ඇය සමඟ වාද කළේය.

“උඹ ඒ කෙල්ලව කසාද බඳින්නම ඕන”

ඇය දබරැඟිල්ල ලෙළ දෙවමින් තර්ජනය කළාය.

“නෑ මං බඳින්නෙ නෑ එයාව.. ඇත්ත කිව්ව නං අනුකම්පා කරන්න තිබ්බා.. අනුන්ගෙ ළමයෙකුට උප්පැන්නෙ දීලා මෝඩයෙක් වෙන්න මට බෑ..”

කෝසලා ඔහුට පහර දුන්නාය. පසෙකට තල්ලු කර දමා ඇගෙන් ගැලවෙන්නට හැකි වුවද ඔහු කරබාගෙන පහර කෑවේය. ඇය අතට අහුවන මැටි බඳුන්වලින් පවා ඔහුට දමා ගැසුවාය.

ලබන සතියට


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්