එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


නෙළුම්විල

සංවේදී සංවාදය

මට ඔහු මුණ ගැසෙන්නේ දුම්රියේ දී ය. මහනුවර සිට කොළොඹ කොටුව බලා එන එය ශීඝ්‍රගාමී එකකි. ඔහු එහි නැඟී එයි. මම මඟදී ඊට ගොඩවෙමි. මම රාජකාරියට යමි. ඔහු ව්‍යාපාර කටයුතු වලට යයි. පුරුද්දට මෙන් අප නගින්නේ එකම පෙට්ටියට ය.

මුහුණ පුරා රැවුල වවා ඇති ඔහු මුස්ලිම් ජාතිකයෙකි. වසර ගණනාවක සිට මා ඔහු දැක තිබේ. එහෙත් කිට්ටු ඇසුරට වැටුණේ ළඟදී ය.

දිනක් අපේ සුපුරුදු දුම්රිය පමා විය. මගේ මිතුරෝ විකල්ප ප්‍රවාහන මාර්ග සොයා ගත්හ. එහෙත් මම පමා වී හෝ සුපුරුදු දුම්රිය එන තුරු රැඳී සිටියෙමි.

දුම්රිය ආවේ ය. පුරුදු පෙට්ටියට මම නැඟුණෙමි. ඔහු හිඳ සිටියේ ය. ඔහුගේ මිතුරන් ගේ අඩුවක් තිබිණ.

“කෝ යාළුවො?” මම ඇසීමි.

“ඒ ගොල්ලො බස්වල ගියා. අපි දෙන්න තුන් දෙනා තමයි ඉතුරු වුණේ. කොහොමත් අපි ප්‍රතිපත්තිය වෙනස් කරන්නෙ නෑනේ ඔහු සිනාසුණේ ය.

දුම්රිය පමා ව‍ූ හෙයින් එහි මඟීන් ගේ අඩුවක් තිබිණ. ඔහු ඉදිරියේ වූ හිස් අසුනේ මම හිඳ ගතිමි.

ඉස්සර නම් ඔහුගේ රළු මුහුණෙහි කෙරෙහි මට ඇල්මක් තිබුණේ නැත. එහෙත් ඔහු මිතුරු වූ පසු ‍එසේ නොවේ. එහි හිතවත්කමේ තෙතමනය ඇතැයි මට සිතේ.

“ළඟදී කොහෙවත් ගියේ නැද්ද?” මම ඇසීමි.

“අපොයි ගියා” ඔහු හිනැහුණේ ය.

“කොහෙද?”

“මැලේසියාවෙ”

“තනියම?”

“න‍ෑ. යාළුවොත් එක්ක”

“බිස්නස්වලටද?”

“බිස්නස්වලට කියලමත් නෙමේ. බඩු ටිකකුත් ගෙනාව. හැබැයි ගියේ ඇවිදින්ඩ”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ මේකයි. යන්නෙ ඇවිදින්ඩ. රට තොට බලාගන්ඩ. වියදම පියව ගන්ඩ තමයි බඩු ටිකක් ගේන්නෙ. ඒකෙන් ලොකු ලාබ තියා ගන්නෙ නෑ. පොඩි ගාණක් අල්ලල දීල දාල වියදම බේර ගන්නව.”

“මොනවද ගෙනාවෙ?”

‍Óමේ තියෙන්නෙ” ඔහු තම බෑගයේ වූ යමක් ගෙන මා ඉදිරියේ දිග හැරියේ ය.

එය නවීන කැමරාවකි.

“මේක කීයක් වුණා ද?”

“එහෙ දො‍ළොස් දාහයි. මෙහෙ විස්සක් විතර වෙනව. මට මේකට රුපියල් දෙතුන් දාහක් තියා ගත්තම ඇති වියදම පියවෙනවා.”

“රට රටවල ඇවිදින්ඩ හුඟක් සල්ලි ඕන ද?”

“එච්චර ඕන නෑ. වියදම තිබිච්චම ඇති.”

“දැන් ඔයා රටවල් කීයකට විතර ගිහින් තියෙනවද?

“හතළිහකට විතර”

“කෝකද හොඳම රට?”

“එහෙම කියන්ඩ බෑ. කෝකත් හොඳයි. අපිට ඒකෙ හොඳ නරක කියන්ඩ බෑ. අපි යන්නෙ එහෙ ජීවත් වෙන්ඩ නෙමේනෙ. රට තොට බලාගන්ඩනෙ”

“රට තොට බලා ගැනිල්ලෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද?”

“ඒ ඒ ‍රටවල මිනිස්සු ජිවත්වෙන හැටි, යන එන කතා බහ කරන හැටි, ඇඳුම් අඳින හැටි, යාන වාහන, සල්ලි, ගොඩනැඟිලි වගේ හුඟක් දේවල් ඇස් දෙකෙන් දැක ගන්ඩ මං පුංචි කාලෙ ඉඳල ආසයි.”

“දරුවොත් එක්ක ද ඔය ගමන් යන්නෙ?”

“නෑ යාළුවොත් එක්ක”

“ඇයි දරුවො එක්ක නොයන්නෙ?”

“එච්චර සල්ලි නෑ මහත්තයො. යාළුවො ටිකක් බිස්නස් කාරයොනෙ. අපි ගිහිල්ල ඇවිදල බඩු ටිකක් අරගෙනඒව බෙදා ගෙන ටැක්ස් එකෙන් බේරිල එනව. ඇවිත් දරුවන්ට ඒ ඒ රටවල් ගැන විස්තර කියල දෙනව, මේ අපේ ගමනින් කාටත් හොඳක්නේ වෙන්නෙ. ඒ රටෙත් බඩු විකිණෙනව. මේ රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට අපි ඒව විකුණනව. අපේ වියදමත් පියවෙනව. අපි රට තොටත් බලා ගන්නව.”

මේ අපූරු මිනිසා දෙස මම නොසෙල්වී බලා සිටියෙමි. ඔහු ද සිනාවෙන් යුතුව මදෙස බලා සිටියේ ය.

“ඉන්ඩකො මං ඔයාට හොඳ බඩුවක් පෙන්නන්ඩ” යි කියූ ඔහු මගේ අතට යමක් දුන්නේ ය.

ඒ විදේශීය මුදල් නෝට්ටුවකි.

“මේක මැලේසියාව. මේක සිංගප්පූරුවෙ...” ඔහු තවත් නෝට්ටු වගයක් මට පෙන්වීය.

“බලන්ඩ මේවයෙ තියන කොලිටිය! පොඩි වෙන්නෑ. ඉරෙන්නෑ.‍්‍හරි ලස්සනයි.”

ඔහු කී බස සැබෑවකි. ඒවායේ මුද්‍රණය සිත් බඳනාසුලු ය. නෝට්ටු කොළ සවිමත් ය. එහෙත් නැවෙන සුලු ය. නෝට්ටු කොළ මැද්දේ පොලිතින් කොළයක පැහැය ගත් සලකුණක් තිබේ. ඒ මොකක්දැයි මම ඇසීමි.

“ඒ රටේ බස් එකට නගිද්දී මේ නෝට්ටුව මැෂින් එකට දාපුහම ටිකට් එක එනව. එහෙ කොන්දොස්තරල නෑ.” ඔහු කීවේ මා තුළ තරමක විස්මයක් මවමිනි.

මේ බලන්ඩ අපේ රටේ නෝට්ටු දිහෑ” ඔහු සාක්කුවෙන් පොඩි වූ රුපියල් විස්සේ කොළයක් ගෙන ප්‍රදර්ශනය කළේ ය.

“මේකෙ ගන්ඩ දෙයක් නෑනෙ. පොඩිවෙලා! ඉරිල! විෂබීජ පිරිල! අපි කොහොමද මේව පිටරට මිනිහෙකුට පෙන්නන්නෙ?

මට ලැජ්ජාවක් දැනිණ, මම ගොළුවීමි.

ඇයි අපිට බැරි මේ තත්ත්වෙට එන්ඩ! සිංගප්පූරුවට පුළුවං වුණා නං, මැලේසියාවට පුළුවං වුණා නං අපිට බැරි වෙන්ඩ හේතුවක් නැහැ. මොකද එහෙ ඉන්නෙ මිනිස්සු. මෙහෙත් ඉන්නෙ මිනිස්සු” ඔහු කීවේ ය.

මේ කතාව අසා සිටි අමුත්තෙක් එකවරම අපේ කතාවට හොට දැම්මේ ය.

“ඒ රටවල්වලට හොඳ හොඳ සල්ලි කොළ අච්චු ගහගන්ඩ බැරියැ. ඒ ගොල්ලො පෝසත් රටවලනෙ. අපිට ඒව කරන්ඩ බෑනෙ. අපේ රටේ හැටියට තමයි අපිට වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ. අනුන්ගෙ දේවල් ලොකු කර කර තමුංගෙ ර‍ටේ දේවල් හෑල්ලු කරන්ඩ එපා! ඒකයි මං කියන්නෙ” අමුත්තා කතා කළේ තරමක කේන්තියෙනි.

“අපි අපේ කතාවක්නෙ කෙරුවෙ. අපි ඔයාට බුලත් දුන්නෙ න‍ෑනෙ.” මගේ මිතුරා කීවේ ය.

“බුලත් දෙන්ඩ ඕනෑ නෑ. හරිය වැරැද්ද අපිට තේරෙනව. හිතන්ඩ එපා කටවහගෙන ඉඳියි කියල. පරදේසක්කාරයන්ට වැඩිය අපිට අපේ රට ගැන කැක්කුමක් තියෙනව.” අමුත්තා වට පිට බැලුවේ සෙස්සන් ද කතාවට ඇද ගැනීමට විය යුතු ය.

“අන්න වැරදි කතාවක්. ඔහේ හිතන්නෙ මම මුස්ලිම් හින්ද මං පරදේසක්කාරයෙක් කියල. ඒ කතාව වැරදියි. මං ඉපදුණේ මේ රටේ‍. මගෙ අම්ම තාත්තත් ඉපදුණේ මේ රටේ. මගෙ ආච්චි සීයත් මේ රටේ මිනිස්සු. ඉතිං කොහොමද මං පරදේසක්කාරයෙක් වුණේ?” ඔයා හිතල මතල ද සිංහල පවුලක උත්පත්තිය ලැබුවෙ?” වැරදිලාවත් ඔයා මං වගේ මුස්ලිම් පවුලක ඉපදුණා නම් කොහොම හිටී ද? ඒ හින්ද මේ ජාති ජම්ම අදින්ඩ එපා. අපි එකම රටේ එකම දරුවො වාගෙ ජීවත් වෙමු. මේ ලෝකෙ අනික් රටවල මිනිස්සු පිළිවෙළකට වැඩ කරල දියුණු වෙනව. අපි ගහ මරාගෙන හැමදාම වළේ වැටෙනව. ළිං මැඩියො වාගෙ ජීවත් වෙන්නෙ නැතුව අවට රටක දෙකක ඇවිදල ලෝකෙ තේරුං ගන්ඩ බලන්ඩ...”

මම දෙන්නා දෙපසට කර අනවශ්‍ය ලෙස දිග් ගැස්සෙන්නට ආ වාදය සමතයකට පත් කළෙමි.

එහෙත් මම හිතට යම් අදහසක් ගතිමි. යම් යම් අය සංවේදී විය හැකි සමාජ සංස්කෘතික කාරණා පොදු ස්ථානවල ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් පරිස්සම් විය යුතු ය යන්නයි; ඒ.

අනන්‍යතාව සඟවා සිටීමට ‍කැමැති ‍පොල්ගහවල ‘සිළුමිණ’ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


හද ඇඳි රුව දීපිකා

මම පරිගණක ක්ෂේත්‍රයේ රැකියාව කරන්නෙක්මි.

මේ ලියන්නේ මා අසල පරිගණකයේ වැඩ කරන මගේ මිතුරා ගැනය. ඔහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි.

ඔහු මට සුවිශේෂ වූවෙකි. ඔහු කරුණාවන්තය. කඩවසම් ය. විහිළුවට බරය. පිරිසිදු සිත් ඇත්තෙකි. ඒ නිසා ම අනුන්ට උදව් කිරීමට පෙලඹෙන්නේ ද හංසයකු දියට බසින්නාක් මෙන් කැමැත්තෙනි.

වයස තිස් ගණන්වල මුල් භාගයේ වෙසෙන ඔහු දෙස යුවතියෝ බලති. එහෙත් ඔහු නිහඬ ය.

කාරණය මෙසේ ය.‍

දිනක් ඔහු තම නිවෙස බලා යනු පිණිස මාතර බස් රියකට නැඟුණේ ය. ඒ සෙනසුරාදාවකි. දෙහිවල දී සොඳුරු යුවතියක් නැඟ ඔහු ළඟ අසුන් ගත්තා ය.

ඒ ඔහු පැතූ රුව ය. ඔහු ගේ සිත සැලෙන්නට විය.

විටින් විට ඔවුන්ගේ නෙතු ගැටිණ.

ඇය ඉවත බැලුවා ය. ඔහු ඉවත බලන විට ම ඇය ආපසු ඔහු දෙස බැලුවා ය‍.

ඇය කතා නොකළා ය. ඔහු ද කතා නොකළේ ය.

ඇය ගාල්ලෙන් බැසීමට සූදානම් වූවා ය. ඇය නැඟිට ඈතට ගියා ය. එහෙත් ඈත සිට ඔහු දෙස බලා සිටියා ය. බසය නැවතිණ. ඇය සිනාසී බැස ගියා ය. ඔහු සසල සිතින් බලා සිටියේ ය. ඇය නොපෙනී ගියා ය.

මේ සිද්ධියට දැන් වසරක් පමණ ගෙවී ගොසිනි. ඔහු ඇය සොයයි. තවම හමුවී නැත.

ඔහුගේ සොහොයුරියන්ට ඔහුගේ ළතැවුල වේදනාකාරය.

ඇය ඇමතුවා ය. මා ලවා නොයෙක් විවාහ යෝජනාවලට ඔහුගේ කැමැත්ත විමසුවා ය. ඒත් ඔහු නිහඬ ය.

ඔහු කදිම තරුණයෙකි. ඔහු ලබන යුවතිය බෙහෙවින් වාසනාවන්ත යැයි මට සිතේ. ඔහුගේ ළතැවුල අපට ද දුකකි.

ඔහු දුටු ඒ යුවතිය විටක සරසවියේ පළමු වසර යුවතියක හෝ පාසලක ඉහළ පන්තියක කෙනකු විය යුතු ය.

එදා ‍ජංගම දුරකථනයේ ඇය ලියා තිබූ නම ඔහුට දහස්වර මැවී පෙනෙයි. ‘දීපිකා'.

මේ ලිපිය මා නෙළුම්විලට ලීවේ ඉවසිය නොහැකි තැන ය. මා මගේ මිතුරාට සැනසුම සොයා දිය යුතු ය.

දීපිකා! කරුණාකර නෙළුම්විලට ලිපියක් එවන්න. එවිට නෙළුම්විලෙන් එය අපට ලැබේවි.

ඔබට යහපත සැලසේවා”

මහරගම නුවන් අශිත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


පිය පුතු සෙනෙහස

එදින පන්නල සමථ ම‍ූල මණ්ඩලය පැවැත්වෙමින් තිබිණ. එක් මණ්ඩලයක් ඉදිරියට කැඳවා තිබුණේ පිය පුතු දෙපළකි. ඉඩමේ මායිම් ආරවුලක් සම්බන්ධයෙන් පියා පුතාට එරෙහිවද පුතා පියාට එරෙහිව ද දිගු පාපොච්චාරණයක් කළෝ ය. සියල්ල නිහඬව අසාගෙන සිටි ප්‍රධාන සමථකාරවරයා පීතෘ සෙනෙහස පිළිබඳව උදාහරණ ගෙනහැර දක්වමින් දීර්ඝ විස්තරයක් කළේ ය.‍

පුතාගේ දෙනෙතින් කඳුළු බිඳු රූරා හැළෙන්නට විය. මොහොතකින් පුතා පියාගේ දෙපා ළඟ වැඳ වැටුණේ ය.

පියා ඉකිගසා හඬමින් පුතු නැඟිටුවා පුතුගේ දෙකොපුල් කීප විටක් ම සිප ගත්තේ ය.

එසැණින් දිගු කලක් පැවති පිය පුතු දෙපළගේ මායිම් ආරවුල සමථයකට පත්වීය. දෙදෙනා ම සමථකාර මහත්වරුන්ට ආචාර කොට සමථ මණ්ඩල භුමියෙන් මහ මගට බටහ.

“තාත්තෙ තේ එකක් බීල යමු නේද?” පුතා යෝජනා කළේ ය.

‍Óබොමු!” පියා ද එකඟ විය.

දෙදෙනා යාබද හෝටලයට යනු දක්නට ලැබිණ.

ලිපිනයක් සඳහන් නැති පරගම්මන නන්ද නමැති පාඨකයා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල, සිළුමිණ ලේක්හවුස්, කොළඹ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්