කව් සිළුමිණ

සංස්කරණය - රත්න ශ්‍රී
විජේසිංහ
මහ ජල නළය ළඟ වැඩෙන ගසේ කවිය
සටහන: නගරයට ජලය ගෙන යන මහ ජල නළයක්
අසල වැඩෙන ගසක් දිය සොයා ගන්නට මහත් වෙහෙසක්
ගනී. අත ළඟ ඇත ද, ශාක විසින් ජලය සුරක්ෂිත කළ
ද ඔවුන්ට ජලය අහිමි ය. අලංකාරවලින් තොර
වුව, අරුතෙහි අපූර්ව ගුණ නිසා ම මේ කව සිත්
ගනී. සැබැවින් ම ජලය මතු නොව, නගරය භුක්ති
විඳින සියල්ල ගමෙන් සැපයෙන දේය. එහෙත් ගම,
ගමේ ගහවැල තවමත් දිළිඳු ය.
නුඹ
අපට නොදෙනා දිය
ගෙන ගොස් අතහරියි
කිළිටි නගරය වෙත
නාන්නට
කන්ට බොන්නට
සෝදා පිරිසිදු ව ඉන්නට
නාස්ති ද කරන්නට
මලක් පුබුදනු නැත
ඵලයක් දෙනු ද නැත
අපි
පණ නල ගැටගසා ගන්නට
දිය සොයා
සතර අත සැරි සරමු
මල් ඵල ලෝකයට දෙන්නට
තන්තුමය පුංචි මුල්
පොළව පතුළට කිඳා බැස
දිය සොයා වෙහෙසෙන
අනවරත මෙහෙයුමක නිරත වෙයි
ඒත් ඒ නොදුටු සේ
නුඹ දිය රැගෙන ගොස්
නගරයට අතහරියි
නුඹේ ගත
දිය පිරි උතුරනා බව දනිමු
ජලය ගලනා හඬ
නිබඳවම මට ඇසෙයි
ඒත් බිඳුවක් ගන්ට
අපට ඉඩ නැත
මතු දිනෙක
ලෝ පතුළ පෙරළා
දිය සොයාගෙන
මේ මුල්
ලොකු මහත් කොට
තෙරපා
පුපුරුවා දමමි නුඹ!
දිය බොන්ට
හිතේ හැටියට
අපේ මුළු පරපුරට!
අජිත් කල්යාණ අමරසිංහ
වසත් කල... මග හැර
සතුට - සැනසුම සමඟ
කිසිම ගනු දෙනුවක් නොකළ
ප්‍රථම සෙනෙහෙන් නෙළුවෙ
කඳුළු අස්වැන්නයි
මතු ද, දිව ගිය කාලයයි
හිරු - සඳු - තරු අතර
ලදුයෙ නිතරග ජය
ආයාසයෙන් තොරව
වසන්තය ගෙවුණු බව
පසක් වූයේ මට
හේමන්තේ අගයි
වසත් කල පැමිණියේ
පමා වී යැයි කියා
මුසා බස් පැවසුම
දියදමට කරනා
අසාධාරණයක් වේ
වරද මා අතමය
එය ද බැර වේවා!
මගේ දිවි ගිණුමට
හේ. අබේසිංහ
සූරා කෑම
රබර ගස්
කේඩෑරි වී
තේ ගස්
ඉපල් වී
පොල් ගස්
කණාටු වී
කම්කරුවො
හේබාවී
ධනපතියො
තරබාරු වී
රත්නසිරි අලුත්ගේ
විදුලි එළිය
ඉවුරු කඩා මල් පිපි බිම් යට කරන
අඳුර ගෙනෙන මහ වැස්සකි ඔබ නිතින
එළිය ගෙනෙන සඳ කැන් අහසින් මකන
වලාකුළෙකි ඔබ ගුවන ද කළු කරන
දුඹුරු දියෙන් ඔබ ආ ගිය මඟ මැකිණ
නමුදු මසිත එ දියෙන් වුව ෙතත් නොවිණ
අකුණු පතිත තුරු කැන් සැනෙකින් සිඳිණ
විදුලි එළිය ලෙස ම සිතින් ඔබ පෙනිණ
සුනිල් ලීවානගේ
පිය සමර
කුමරතුඟු
සැත්තෑවන සමරු දින අදයි
කුමර ගී ගැයුණේ කුමරුන් තුඬින්
කුමර මුව රන්කිරි කට ගෑ ලෙසින්
පවර වූ දිවියේ වූ සොඳුරු තැන්
කුමරතුඟු පියතුමන් පෙන්වූ හෙයින්
ගස වතුසුදුයි ඒ සිල්ගත් බඳුයි
කිණිහිරි පුතුන් රුවයි - නැණගුණ නොවෙයි
මල් මතෙහි වූ මලක් ඉගිල්ලී යෙයි
එදුටු ඇතැමුනට ඒ ‘හයිකුවක්’ වෙයි
ගොඩ ඉතා බලවතා වුව ඒ සතා
මඳ සරෙහි හෙණ්ඩුවෙන් හීලෑව සෙයි
ඔබ මැවු ඒ සතුන් නොමැරෙයි - වෙසෙයි
සත් පණක් ලබා යළි දිවමන් ව යෙයි
උණු වැඩි හෙයින් පුතුට හිරු රැස් දිවා
සිඳු කුස් වැදේ සැඳෑ කළුවර මවා
තනමින් ‘උපේ ලකර’ නිදසුන් කියා
තවමත් සැදෑ සෙමෙහි සිඳු කුසවදී
විඳගත් නිසොල්මන්ව හඹලේ රිදුම්
ගංගා දියත් තවම නොනඟයි රැළී
දෙන් දෝ පහර දියට ‘නොනැගෙන්!’ කියා
නෙක් බලවතුන් සිතුම් මඬනා ලෙසින්
හෝරා යතුරු තවම නොවැලප හිඳියි
හෝරාව දක්වාවි විදුලිය සෙරෙන්
නැළවිල්ල කෙතරම් බලැතිද කියන්
පරපුර ම තවමත් නිදිගත් වතින්
ඇවිදින් බිලිඳු ලොවට රෑ සිහිනයෙන්
ඔබ එවූ දෙවියන් ද හා දෙවසරක්
ඔබ ලියූ කුමරගී කොඳුරා සෙමින්
යළි නොඑන බව කියා යන්නට ගිහින්
රත්න ශ්‍රී
නොපායාපන් ඉර...
ඉරත් හරියට
අපෙන් අහනව බැණුම්
ඇස් අරින එකත් වියදම්වන මෙකලට
කළුවර හොඳයි නුඹ -
නොපායා ඉනු යෙහෙක
මෙතරම් සැණින්
දියවී යන කාසි මිට
විෂකටු ඇනී කැක්කුම් දෙයි ජීවිතය
උදාසනක් ගෙන ඇවිදින් නුඹ ළඟට
කෙසේ පතනව ද සුබ උදයක් අපට
කරෙහි බැදුණු
වියගස සේම බරැතිය
පයෙහි බැදුණු
යදමක් සේ ම වෙහෙසය
හිතෙහි බරට ඇස ළඟ කඳුළු එමට ය
හෙටක් නොව අදත් මලවදයකි අපට...
කිත්සිරි කොතලාවල
පීත දස්සන
පාවාඩ මතින්
මුතු කුඩය යටින්
වඩින විට මා
ඔබේ නිවහනට
ඇසුණා සාධුකාර!
මඟ දෙපසින්...
සිතුවා දැයි නොදනිමි
කිසිවෙක් ඒ අතර
“හ්ම්... ඔය එන්නෙ...
සිවුරක් පොරවාගෙන...”
සුසුමක උණුසුමක්
හදවතක කෙඳිරියක්
නොදැනුණා නොවේ මට
වඳින විට ඔබ
මගෙ දෙපා...
පා සෝදා
ගෙට වන් කල
දිස්විය
ධර්මාසනය
උසට උසේ...!
විජිනි පත
මුවා කළා
ඔබ රුව
දැන් ඔබ මගේ
නැගණිය...
ගොංගිතොට සරත්

නොවී
නම් ඇය...
තිඹිරි ගෙයිදීම අපේ ඇස්ගෙඩි
නොසේදුවේ නම් මවු කිරෙන් ඇය
මිහිතලේ හිස් හැරී ගිය අත
සරනු නියතය - අඳ නෙතින් අප
ඇගේ උණුසුම් සිප ගැනුම්
නොලැබුවේ නම් බාල වියදීම
ආදරය - සෙනෙහස නොදත්
වියළි මිනිසුන් පමණි අප සැම
සිතින් සිත යා කරන මුදු බස
නොලැබුවේ නම් ඈ වෙතින් සොඳ
උ'නුන් හා දොඩන්නට බැරි
ගොළු රැළක් නොවන්නෙද අප...?
ගිනිසිලක් වී පුලුස්සා අප
නොතැනුවේ නම් මනා පදමට
අමු වළං සේ බිඳී නොයමුද
උපන් පළියට කොහේ හෝ හිඳ...?
ටැජිකිස්තානයේ
මීයෝ ටයුන්සෝධා (1911 - 1977)
දේශපාලන පන්නරයකින් යුතුව කවි ලියූ
මෙම කවියා ටැජිකිස්තානු ජාතික විරු ලේඛනයේ
ද නම් දරා සිටින්නෙකි. සොමොනි නමින්
හැඳින්වෙන ටැජිකිස්තානු මුදල් නෝට්ටුවක ද
මොහුගේ මුහුණ සටහන් කොට තිබේ. ඔහු ජීවත් වූ
නගරයට ටයුන්සෝධා නම ලබාදී ඇත්තේ ඔහුගේ
කවිත්වයට ගෞරවයක් වශයෙනි. ටයුන්සෝධා
ස්ටාලින් සම්මානයෙන් ද පුද ලද කවියෙකි.
අනුවර්තනය - කමල් පෙරේරා
‘ක්ලාක්ගේ කක්ෂයට’ කවියක්
යකාගල අසල
බිඳුණු සිහ නිය පඳුරු පාමුල
වියැළුණ දූලි මත
කඳුළු පැල්ලමක් ඇත
ශ්‍රී කඳු තුඩේ
නෙල්ලු තුරු ලැහැබක
සත් අගක දිලිසෙන
පිනි බිදිති ලෙස කඳුළු ඇත
ඒ ඔබ හෙලූ කඳුළක් ද ක්ලාක්...?
සුර දූතයකු වී
මෘදු පියාපත් සලා
ඉඳහිටක ඔබ එනවැ'ති
ඔබේ නම දුන් කක්ෂයට
ඔබ විජය දද බැඳි
අජටාකාශ ජය බිමට
චන්ද්‍රිකා පියාපත් අතරින්
නීල ග්‍රහ ලෝකයේ
නිරක්ෂය අසල
කඳුළු හැඩ දුවට
ඔබේ නොවූ ඔබේ මවු භූමියට
ඔබ හෙළූ කඳුළක් ද ඒ ක්ලාක්...?
බාල බිලිඳු රජ පුතුනගේ
කිරි හීනයක් පමණි
අපට කියා පායන
එකමෙ'ක කෘත්‍රිම තරුවක්
අපටය කියා
බිඳුණු සරුංගලයක් නැති
නිල් අහසට
අපේ නමින් පායන
එක තරුවක්...
මවු බිමේ හදවතට මුල් බැස
පෙති දෙපෙති වී වැඩුණු
දුර්ලභම තුරු ලිය
උපදවයි මල් පලාපල සොඳුරු
සාර විදු බිම් අතර
පෘථිවියේ බටහිර
තැනින් තැන...
එමල් පලඳනු බැරිව
නග්න ගෙල පා හඬන
දුගී මවු කෙනෙකුන් ය
මවු බිම...
උගත් මනා ශිල්පය නැත
රට නගනට
කඩුලු පැන දුවද්දී ලෝකය...
යකා ගල වාගේ ම නොවෙනස්ව
අපි තවම එතැනමයි... ක්ලාක්...!
චිරන්ත ජයසේන

චේ සහ ඇපල්
කර්තෘ - කුමාර ලියනගේ
ප්රකාශනය - කර්තෘ
ප්රකාශනයකි.
පිටු
196 කින් පරිමිත වූ ‘චේ සහ ඇපල්’ කෘතියේ පිටු
122 ක් ම වැයවී ඇත්තේ කුමාර ලියනගේ සිය කවිය
පිහිටුවන්නට තැත් කරන පසුබිම විවරණය කරන
දීර්ඝ පෙර වදන වෙනුවෙනි. සැබැවින් ම එය කවිය
පිළිබඳව කෙරෙන විස්තර කථනයක් නොව, කවිය
ඇතුළු සෙසු සියලු කලාවන් ද, මානව චින්තනය හා
චර්යාවන් ද හසුරුවන දැවැන්ත ජාත්‍යන්තර
වෙළෙඳ ජාලය පිළිබඳ කදිම විවරණයකි. ගෝලීය
කරණය, ලිබරල් ආර්ථිකය හා ප්‍රචාරණය
ප්‍රමුඛ නව යටත් විජිතවාදයේ බොහෝ
අංගෝපාංග, කලාවන් ඊනියා ජාත්‍යන්තර
මිනිසාත් හසුරුවන්නේ කවර අයුරින් දැයි
සිදුකළ සන්දර්ශන රූපාවලියකින් ද යුක්ත
මේ දිගු ලිපිය කුමාර ලියනගේ සතු
පර්යේෂණශීලී විද්වත්භාවය විශද කරන්නකි.
‘චේ සහ ඇපල්’ කුමාරගේ තෙවන කාව්‍ය
සංග්‍රහයයි. ‘චේ ගෙවාරා’ නම්
ජාත්‍යන්තරවාදී මිනිසා අතිශයින් ම
ලඝුකොට, සිල්ලරට විකුණන සමාජය මේ කෘතියේ
මුඛ්‍යාර්ථය වැනි ය.
දවසක නළුවෙක් වාගේ
දවසක සගයෙක් වාගේ
දවසක තරුවක් වාගේ
දවසක වැදගත් වාගේ
මොනා ලිසා රූපෙ වගේ
බැලුවම එක එක වාගේ
ලාභ කළා චේ
සේල් කළා චේ
හරසුන්, විලාසවාදී සමාජය, අලෙවි
කරමින් ම අලෙවි වන්නකි. උත්ප්රාසය වන්නේ
එයයි. සාම්ප්රයික ඇගැයීම් හා හර පද්ධති,
දූෂිතව, විරූපව, ප්රතිභවනය වී ඇති අයුරු
කුමාරගේ මේ බොහෝ කවිවලට වස්තු වී තිබේ.
‘හත්පත්තිනි’ මෙබඳු ය.
අඹ වික්කා
දඹ වික්කා
තේ වික්කා
මැරි මැරි ඉපදුණු පත්තිනි
කිරි කැටි දරුවන් වික්කා
පොලිසියට කටඋත්තර
දෙන්න ගිහිං මිනිහ මළා
උසාවියේ කටඋත්තර
පත්තර - එෆ්.එම්.ටී.වී
හත් පොළේම ගා ගත්තා
අන්තිමේදි
ටවුමෙ උන්ට ඇඟ වික්කා
කිව්ව උන්ට ගේ වික්කා
අභිනව ගුප්ත
|