දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


සොළොස්මාන සිනමා කුණ්ඩලිය

මුදු දිය දහරක්.... 14

සොළොස්මාන සිනමා කුණ්ඩලිය ‘Sixteen milimetre Cine Club’

ආනන්දයේ ගත කළ කාලයේ දී මට මුණගැසුණු අතිශය ක්‍රියාශීලී ශිෂ්‍යයකු ලෙස මා දුටුවේ ඩී.බී.නිහාල්සිංහයන්ය. ඔහු පාසලේ කෙඩෙට් භටයකු ලෙස ද කලක් පෙනී සිටියේය. ආධුනික සිනමාවේදියකු ලෙස ද පෙනී සිටියේය. ඔහු හා සමඟ ඇතැම් නිර්මාණ කාර්යයන්හි නියැළුණු මට ඔහුගේ පියාණන් වන ඩී.බී.ධනපාල මහතා මුණගැසීමේ වරප්‍රසාදය හිමි විය. ඔවුන් වාසය කළ විශාල මන්දිරයක් බඳු නිවස පිහිටියේ බම්බලපිටි‍ෙය් ද ෆොන්සේකා පා‍රේ ය. එක් වතාවක් නිහාල් සමඟ කිසියම් තිර නාටකයක් ලිවීම සඳහා මට ද ඒ නිවහනේ නතර වීමට සිදුවිය. එය නිහාල්ගේ ප්‍රථම වෘත්තාන්ත ප්‍රයත්නය ලෙස සැළකිය හැකි ‘තරුණ විය’ විය යුතුය. ඒ කෘතියට කුමක් සිදුවී දැයි මට කිව නොහැකිය. ඒ කෘතිය පිළිබඳ කෙටි සටහනක් පසු කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ලියුවේය. එය පළවූයේ ‘චිත්‍රපටය’ නමැති උන්වහන්සේගේ පොතේය. මේ සන්ධිස්ථානයේ දී මගේ මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් එක් ජවනිකාවක් මගේ සිහියට නැඟී එයි.

එනම් මෙකියන කාලයේ දී මා කියවූ ‘මිහිර’ සඟරාවය. එය මාසිකව හෝ දෙමාසිකව හෝ මීගමුවෙන් නිකුත් වුණේ දෙටු පුවත්පත් කලාවේදියකු වශයෙන් අප අතර අද වෙසෙන ඩී.එෆ්.කාරියකරවන මහතාගේ සංස්කාරකත්වයෙනි. කාරියකරවන මහතා අපේ සුදුමාමාගේ මිතුරකු වී සිටියේය. මගේ මාමා ද ඉඳහිට මේ සඟරාවට ලිපියක් දෙකක් සැපයුවේය. වතාවක් මගේ මාමා ‘මිහිර’ සඟරාවට මහා කවි රබින්ද්‍රනාත් තාගෝර් පිළිබඳ ලිපියක් ලියුවේය. තාගෝර් කවියා පිළිබඳ මා තුළ ද පසු කාලයේ දී දැඩි ඇල්මක් ඇති කිරීමට මේ ලේඛනය සමත් විය. ඒ හා සමඟ අපට අපූරු ලිපි ලේඛන සමුදායක් ‘මිහිර’ මඟින් අත්පත් විණි.

පසු කළ වෛද්‍ය විලියම් අල්විස් සූරින් විසින් පරිවර්තනය කරන ලද තාගෝර් කිවිඳුන් ගේ ‘අඩසඳ’ (The Crescent Moon) කොටස් වශයෙන් පළවූයේ ‘මිහිර’ සඟරාවේය. මීට අමතරව පසුකළ සුප්‍රකට ලේඛකයන් වූ ‍ෙබාහෝ දෙනකුගේ නිර්මාණ පළවූයේ ද මිහිර සඟරාවේය. ඔවුන් අතරින් කැපී පෙනුණ කීප දෙනකු වූයේ, ඇලන්සන් පියදාස, ඔස්වින් ද අල්විස්, අශෝක පීරිස් යන නිර්මාණශිල්පීන්ය. සුනිල් සාන්තයන් විසින් ගයන ලද හියුබත් දිසානායකයන්ගේ ගේය පද රැසක් ද මෙහි පළවිණි. ‘මිහිර’ සඟරාව මා කියවීමට පටන්ගත්තේ සුදුමාමා මඟිනි. සුදු මාමා විසින් බැඳ තබන ලද ඒ සඟරා ගොන්න මවෙත ලැබුණු නමුත් දැන් ඉන් එකකුදු මා සමීපයේ නැත.

පසුකාලයේදී සුදුමාමාගේ පොත් අල්මාරියේ තිබූ පොත් කෙමෙන් අතුරුදහන් වන්නට පටන්ගති. පොත පත කියවීමෙන් ද පොත්පත් එකතු කිරීමෙන් ද ලිවීමට කාලය ගත කිරීමෙන් ද නොදැනීම මගේ කාලය ගෙවෙන්නට විය. සම්මත ඇසුරේ අධ්‍යාපනයක් ලබාගැනීමට ඒ චර්යාපථය නිසැකයෙන්ම බාධාවක් වන්නට ඇතැයි මට සිතේ. එහෙත් කවදා හෝ දවසක මා සමත් විය යුත්තේ විද්‍යා විෂයයන්වලින් නොව, කලා විෂයයන්ගෙන් බවට කිසියම් ඉඟියක් මට ලැබුණේ මගේ පාසල් ගුරුවරයා හා පසුකළ විශ්වවිද්‍යාල ගුරුවරයා වූ මහාචාර්ය තිලක් රත්නකාර මහතා මඟිනි. ඉංග්‍රිසි සාහිත්‍ය මෙන්ම සිංහල සාහිත්‍යය ද ගැඹුරින් හැදෑරී‍ෙ‍ම් වරප්‍රසාදය රත්නකාර ගුරුතුමා මට ව්‍යවහාරික වශයෙන් පෙන්නුම් කර දුන්නේය.

මේ අතරවාරයේ මා පාලි කෘතිත්, කියවා වටහාගත යුතුය යන්න පෙන්නුම් කර දුන්නේ මහාචාර්ය එස්.එල්.කැකුලාවල ගුරුතුමාය. පළමුව ජාතික ඇඳුම අඳිමින් සිට පසුව කලිසමට බට සංස්කෘත හා පාලි උගතකු වූ මහාචාර්ය එස්.එල්.කැකුලාවල මහතා ඇසුරු කිරීම නිසා පාලි පොත් කියවීමේ ඇල්මක් මා තුළ ඇති වුවත් ඉන් නිසි පලක් ගැනීමට මගේ අනිත් විෂයයන් සරසක් විය. එහෙත් මම ‘ධම්මපදට්ඨ කථා’ කියවීමට පටන් ගත්තෙමි. එහි සිංහලාර්ථයන් ද හඳුනා ගැනීමට වෑයම් කළෙමි. එක් විද්‍යා විෂයයක් අත්හැර ඒ වෙනුවට පාලි විෂයයක් වශයෙන් තෝරාගත යුතු යයි මම තීරණය කළෙමි. මේ සන්ධිස්ථානයේ දී මට දහම් පාසලේ බුද්ධ ධර්මය ඉගැන්වූ පූජ්‍ය කොටගම වාචිස්සර හිමියන්‍ බැහැ දැකීමට අවස්ථාව ලැබිණ.

“විද්‍යා විෂයයන් අත්හරින්නට කල්පනා කරනවා කියල ආරංචියි” ය වාචිස්සර හාමුදුරුවෝ ඇසූහ.

“එහෙමයි හාමුදුරුවනේ”

“මම හිතුවේ මුල ඉඳලම කලා විෂයයන් කරන ළමයෙක් කියලයි?” හාමුදුරුවෝ ඇසූහ.

“නෑ හාමුදුරුවනේ පොට වැරදුණා”

“කොතැනින් හරි අලුතින් පටන්ගන්නත් එපායැ”

“එහෙමයි හාමුදුරුවනේ”

“මොනවද කරන්න හදන කලා විෂයයන්?”

“ඉංග්‍රිසියි, සිංහලයි, පාලියි තව මොකක් හරි විෂයයකුයි තමයි කරන්න හිතල තියෙන්නේ”

මට දැකගත හැකි වූයේ වාචිස්සර හිමියන්ගේ මුහුණේ සිනාරැල්ලක් මතුවන අයුරුයි. “මේ අසරණයාට දෙවියන්ගේ පිහිටයි. බුදුන්ගේ සරණයි’ වැනි හැඟීමක් ඒ සිනාරැල්ලේ තැන්පත්වී තිබිණැයි මට සිතේ.

අපේ තාත්තා පාගොඩ පාරේ නිවසින්, නාවල පාරේ නිවසට මාරුවීමත් සමඟම මගේ ද ඇතැම් ග්‍රහයන් මාරු වන්නට ඇතැයි මට සිතේ. එහෙත් ‘ග්‍රහ මාරු’ ගැන මගේ විශ්වාසයක් නොතිබිණ. මා ලද අධ්‍යාපනය හා මා ඇසුරු කළ පුද්ගලයින්ගේ චර්යාවන්ට අනුව මට කිසිලෙසකින් භෞතික ‍ලෝකයක් ඔබ්බේ ඇතැයි සිතන ‍ලෝකයක් පිළිබඳ කල්පනා කළ නොහැකි විය. මා කියවූ පොත පත හා මා ඇසුරු කළ ගුරුවරුන් මඟින් මට කිසිදා මිථ්‍යා මත හා දේව සංකල්පනා කෙරෙහි සිත යොමු කිරීමට නොහැකි විය. එහෙත් මම කොතෙකුත් කල්පිත කථා (fiction) කියවන්නට ඇත. ග්‍රීක පුරාණෝක්ති හා ඉංග්‍රිසි සුරංගනා කථා කියවන්නට ඇත. සිංහලෙන් එකල ලියැවී තිබූ ජනකතන්දර කොතෙකුත් කියවන්නට ඇත.

එහෙත් ඒවායින් මගේ සිත අද්භූත විශ්වාස කෙරෙහි නතුවිණැයි ‍‍නොසිතේ. අපේ තාත්තා නිතරම “අත්තාහි අත්තනො නාථෝ” (තමන්ගේ දෙවියා තමන්මය) තවද “පුත්තා මත්ථි ධනං මත්ථි - ඉතිබාලෝ විහඤ්ඤති - අත්තාහි අත්තනො නත්ථි, කුතො පුත්තා කුතෝ ධනං” යි ද කීය. (තමන්ට දූ පුතුන් ඇත. තමන්ට ධනය ඇත, යනුවෙන් සිතා මෝඩයා කල්පනා කරමින් සිටියි. එහෙත් තමන්ට තමන්වත් නැති කළ කුමන පුතෙක්ද? කුමන ධනයක්ද?)

තාත්තා මෙසේ පවසමින් කල් ගෙවන්නේ තමන්ගේම ජීවිතයෙන් අපට පලක් ගැනීමට යයි ඇරයුම් කරන්නා සේය. සැබැවින්ම අපේ තාත්තා තරම් වෙහෙස මහන්සියෙන් අප ලොකු මහත් කොට යැපෙන ප්‍රමාණයට වත්කමක් ඉතිරි කොට මිය පරලොව ගිය කෙනෙක් ඇත්දැයි සැක සහිතය. තාත්තා අපට දේපොළ මෙන්ම ඥාන ධනය ද ඉතිරි කොට මිය පරලොව ගිය බව සිහිකරත්ම අපට අත්වන්නේ පුදුමාකාර සැනසිල්ලකි.

මම පාලි භාෂාවේ මුල් පාඩම් කීපය මහාචාර්ය එස්.එල්.කැකුලාවල මහතාගේ පන්තිවලදී උගත්තෙමි. ඒ සඳහා අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ ‘පාලිභාෂාවතරණය’ කාණ්ඩ කීපය හැදෑරීමට සිදුවිය. සැබැවින්ම එය ඉමහත් දුකක් වූ බව සැබෑය. කාලය ද කෙමෙන් ගතවී යන අතර මම එහි අතරමං වන බවක් දැනිණ. එහෙත් මට ධම්මපදට්ඨ කථා පොත ඉමහත් සොම්නසකින් යුතුව හැදෑරුවෙමි. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ එහි සරල සිංහලානුවාදය වූ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය කෙරෙහි මා දැක්වූ ආශක්තභාවය යයි කිව යුතුය. මේ කෘතිය පසුකලදී මගේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා බෙහෙවින් පලදායක වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි. එහි ගරුත්වය යා යුත්තේ මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි මහතාටය.

සුහද සාකච්ඡාවට මෙන්ම ‍ෙල්ඛන කටයුතුවල ප්‍රගමනය සඳහා නිසි ආභාසය ලබා ගැනුමට අතිශයින් සුදුසු වූ තෝතැන්න මට සැකසුණේ රත්නකාර ගුරුතුමාගේ පිටකෝට්ටේ නිවහනේදීය. රත්නකාර ගුරුතුමා හමුවීමට උගත්තු පැමිණියේය. එසේ නිතර පැමිණි ‍දෙදෙනෙක් නම් පෙරළිකාර දේශපාලකයකු වූ කේ.එම්.පී.රාජරත්න මහතා සහ මහාචාර්ය ඩබ්ලිව්.එෆ්.ජයසූරිය ය. මගේ ද ආචාර්යවරයකු වූ ආචාර්ය ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා ද පැමිණියේය. ඔවුන්ගේ කතාබහ මට මහඟු නිර්මාණ ආභාසයක් බවට පත්විය. එක් වතාවක් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ද හැන්දෑවරුවේ රත්නකාර ගුරුතුමාගේ නිවසට පැමිණ සකු ශ්ලෝක මෙන්ම සිංහල කවි ද ගායනා කරමින් කාලය ගෙවූ අයුරු මට සිහිපත් වේ. වතාවක් මගේ මිත්‍ර නිහාල්සිංහ තම ප්‍රධානත්වයෙන් මිලිමීටර් දහසයේ සිනමා සංගමයක් පිහිටූ විට, ඊට ගැළපෙන සිංහල යෙදුම සකසා දුන්නේ මානවසිංහයන්ය. ඉංග්‍රිසියෙන් ‘Sixteen milimetre Cine Club’ යන්නට ගැළපෙන සිංහල යෙදුමක් සොයමින් සිටියේය.

“ඕකට හොඳටම ගැළපෙන්නේ ‘සොළොස්මාන සිනමා කුණ්ඩලිය’ යනුවෙන් ප්‍රකාශ කළේ මානවසිංහයන්ය. එතැන සිටි කවුරුත් එබස අනුමත කළහ. ඉන්පසුව ‘සොළොස්මාන සිනමා කුණ්ඩලිය’ යන්න තහවුරු විය. ගරුත්වය යා යුත්තේ මානවසිංහයන්ටය. ඔහු ගීත ලිවීමෙන් පමණක් නොව වෙනත් විචිත්‍ර ලේඛන රචනා කිරීමෙන් මහඟු මෙහෙවරක් කළ බව අමුතුවෙන් කිව යුතු ද? මානවසිංහ මහතා සමඟ ‍ෙබාහෝ වේලා කතාබහ කිරීමේ වරප්‍රසාදය මට දෙතුන් වතාවක්ම අත්පත් විය. එකල මානවසිංහ මහතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් වඩාත් ප්‍රචලිත වුයේ ‘වගතුග’ තීරුව ලිවීමෙනි. අපි වගතුග තීරුව ඉමහත් ‍ලොල් බවකින් යුතුව කියවීමු.

ඒ ගැන බෙහෙවින් කතාබහ කළෙමු. ‘වගතුග’ තීරුව ලිවීමට අතිරේකව මානවසිංහ මහතා ලංකාදීප පුවත්පත් කාර්යාලය ආරම්භ කළ ‘රසවාහිනී” සඟරාවේ ද සේවය කළේය. ඔහු හා සමඟ බොහෝ ‍ෙව්ලාවක් කතාබහ කිරීමට මට අවස්ථාව ලැබුණේ ‘රසවාහිනී’ කාමරයේදීය. රත්නකාර ගුරුතුමාගේ නිවසේදී ගොඩනඟාගත් සම්බන්ධය අනුව මම මගේ එක්තරා ලේඛනයක් මානවසිංහ මහතාට යොමු කළෙමි. මගේ ලේඛනයේ උඩ සිට පහළටත් පහළ සිට උඩටත් පරීක්ෂා කළ මානවසිංහ මහතා එහි බොහෝ සාවද්‍යතාවන් දුරු කළේය.

මම, ඒ ලිපිය ආපසු ලියූවෙමි. මානවසිංහ මහතා තම අත් අකුරින් සංශෝධනය කළ ලිපිය මම ලිපි ගොනුවක තැන්පත් කළෙමි. එහෙත් මට ඒ ලේඛනය පසු කළ සොයාගත නොහැකි විය. මානවසිංහ මහතාගේ අත්අකුරුවල අපූරු හැඩයට මම ඇලුම් කළෙමි. මගේ සීයා ඉතිරි කොට ගිය ඇතැම් වෙද පොත්පත් ලියා තබන ලද අත් පිටපත් මට සිහිපත් විය. පසුකාල‍යේදී අපේ සීයාගේ බොහෝ වෙද පොත් නැති නාස්තිවී ගොස් මහගෙදර කෙහෙල්පඳුරුවලට පෝර බවට පත්විය. එහෙත් එක් කෙහෙල් පඳුරක් ළඟට ගිය මම කෙහෙල්ගහක මුලින් ඒ මොනිටර් ඇක්සයිස් පොත අතට ගෙන පෙරළා බැලුවෙමි. එහි අන්තර්ගතය සකු ශ්ලෝක, පාලි ගාථා හා සිංහල කවිවලින් පිරී ඉතිරී ඇති බව මට පෙනිණ. ශාස්ත්‍රීය දායාදය භූමියටම අයත් වෙන හැටි!

සීයාගේ වෙද පොත් සුරැකිව තබන ද මහා අල්මාරිය පිටුපස තුඹසක් ගොඩනැගී ඇති බව මට දැනගැනීමට ලැබුණේ එකල විවාහව සිටියදී ඉඳහිට ආච්චි බැලීමට එන බාල පුංචි අම්මාගෙනි. “ඕකේ ඇතුළේ නාගයකුත් ඉන්නවා කියල තමයි කියන්නේÓයි පුංචි අම්මා කියන්නී මගේ කුහුල තව තවත් වඩවමිනි. සීයා, තම ජීවමාන කාලයේදී වෙදකම් කළ මුත්, ආරච්චි තනතුරේ වැඩ කටයුතු කළ මුත් දැන් මෙසේ වේ තුඹසක් ගොඩනැඟී ඒ ඇතුළට නාගයකුව වාසය කිරීමට ආ වග දැනගත් විට මගේ කුහුල තවත් වැඩි විය. නාගයකුගෙන් මහා විපත්තියක් ඇතිවේ යයි මා තුළ බියක් ඇති විය. විශාල මහා ගෙයක් තුළ එකල වැඩි වශයෙන් කාලය ගත කළේ අපේ ආච්චි හා පුංචි මාමාය.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්