‘‘කතිය දේවිය''- නවාගලින් හමුවූ දුටුගැමුණු රජුගේ අගමෙහෙසිය
‘‘කතිය දේවිය''- නවාගලින් හමුවූ දුටුගැමුණු
රජුගේ අගමෙහෙසිය
පසුගිය වසර තිහ තුළ ශ්‍රී ලංකාවේ පැවැති යුද අරගල මැඬපවත්වා රට නැවත
එක්සේසත් කිරීමත් සමඟ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අසමසම නරපතියෙක් වශයෙන්
සැලකෙන දුටුගැමුණු රජතුමාගේ චරිතය ද වඩාත් උද්දීප්තිමත්ව තිබේ. ඒ අනුව
මෙතෙක් අප්‍රකටව පැවැති දුටුගැමුණු රජතුමාගේ අගමෙහෙසිය හා සම්බන්ධ බවට
සැලකෙන පුරා විද්‍යා ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් ද විශේෂ ජන අවධානයක්
යොමු වීම අතිශය ස්වභාවික ය.
 |
නවාගල චෛත්‍ය කැණීම්වලට පෙර |
සාමාන්‍ය ජනතාවට එසේ වුවද පුරා විද්‍යාඥයන්ට ඊටත් වඩා අමිල වටිනාකමකින්
යුතු පුරාවිද්‍යාත්මක සාධක රැසක් හමුවන එවන් සුවිශේෂ ස්ථානයක් එප්පාවල
ප්‍රදේශයේ තිබේ. ඒ කටියාව ගොවි ජනපදයේ පිහිටි නවාගල පුරාණ විහාරයයි. නමුදු
මෙය අද වන තෙක් විශේෂ ජන අවධානයකට ලක්ව නැත.
ලක් ඉතිහාසයේ කටියාව සම්බන්ධව මුල්ම ලේඛනගත සාධක විමසීමේ දී මහා බෝධි වංශයේ
තොරතුරු වැදගත් වේ. එහි සඳහන් ආකාරයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගත්
දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් මෙම කටියාව ප්‍රදේශයේ රෝපණය කර ඇත. එලෙස රෝපණය
කළා යැයි ප්‍රචලිත ස්ථානය අද ‘මාළිගා කැළය’ නමින් හැඳින්වේ. එය පුරාණ ස්මාරක සහිත
ස්ථානයකි. මුලින්ම සාහිත්‍ය මූලාශ්‍රයක කටියාව ජනපදය පිළිබඳ සඳහන් වන්නේ ද
මෙම සුවිශේෂ සිදුවීම සමඟ ය. එය මෙම ජනපදයේ ඓතිහාසික වැදගත්කම තහවුරු
කෙරෙන්නකි. සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු හැරුණු කොට කටියාව පුරාවිද්‍යාත්මක
ද ඉතා වැදගත්ය. මරදන්කඩවල කොස්සෝකන්ද ශිලා ලිපිය ඒ බව තහවුරු කරයි. එම ශිලා
ලේඛනයේ මෙසේ සඳහන්ය.
මහා රඣහ ගමිණි - අබයහ දෙවන පිය
රමණී බරියේ මිලක තිස - විහාරේ කාරිතේ කතිය
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් එය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ
‘දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අභය රජුගේ බිසව වූ කතිය විසින් විහාරයක් කරවා
මිලංචතිස්ස හිමියන්ට පූජා කරන ලදී’ වශයෙනි.
ඔහුගේ අදහස මෙම ‘කතිය කුමරිය’ දුටුගැමුණු රජුගේ අග බිසව විය හැකි බවයි. ඒ අනුව
කතිය කුමරිය වාසය කළ ප්‍රදේශය කටියාව වූවා විය හැක. කතිය විසූ පෙදෙස කතියාව වී
පසුව එය කටියාව ලෙස හැඳින්වෙන්නට ඇත. දුටුගැමුණු රජුගේ අගබිසවක පිළිබඳව
මහා වංශයේ හෝ එහි ටීකාව වන වංසත්ථපකාසිනියේ සෘජු ලෙසම කරුණු ඉදිරිපත් නොවේ.
ඒ අනුව බලන විට එතුමන් ගේ අග බිසවක ලෙස මෙම කතිය කුමරිය මෙලෙස හෝ හඳුනාගත
හැකිවීම විශේෂත්වයකි. ලේඛනගත මූලාශ්‍රවලට අනුව තොරතුරු එසේ ඉදිරිපත්
වුවද ජනප්‍රවාදගත තොරතුරු මෙයට වෙනස් ස්වරූපයක් ගනී. ඒ අතරින් මූලික
ප්‍රවාදය වනුයේ මෙම නවාගල පුරාණ විහාරය විහාර මහා දේවිය විසින් ඉදිකළ විහාර
අතරින් එකක් බව ය.
 |
කැණීම්වලට පසු |
කෙසේ වුවද දැනට සිදු කෙරීගෙන යන පුරාවිද්‍යා කැණීම්වල
පර්යේෂණ වාර්තාවන් නිකුත් වූ පසු මෙම විහාරය නිශ්චිතවම කිනම් කාල
වකවානුවකට අයත් වූවක් ද යන්න හඳුනා ගත හැකි වනු ඇත. කෙසේ වුවද කටියාව ඉතා
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයකි. එහි තැන තැන විසිරී පැතිරී
පවත්නා පුරාවිද්‍යා ස්ථාන, ස්මාරක, වාරි කර්මාන්ත ආදියෙන් ඒ බව පැහැදිලි වේ.
‘මාළිගා කැළේ’ පුරාවිද්‍යා ස්ථානය, මැඬියාව පුරාණ විහාරය, උත්තර විහාරය,
වෙහෙරගල රජමහා විහාරය, මහඉලුප්පල්ලම පුරාණ විහාරය ආදිය මේ අතරින්
සුවිශේෂී ස්ථාන කිහිපයකි. මෙම සියලු ස්ථාන අනුරපුර මුල් යුගයට අයත් බව මේ වන
විට ද හඳුනාගෙන ඇත. ඒ අනුව ලක්දිව මුල්ම රාජධානි සමයේම විහාරාරාම ඉදිව
සංවර්ධනය වූ ප්‍රදේශයක් බවට මෙම කටියාව ප්‍රදේශය නම් කළ හැක.
නවාගල පුරාණ විහාරයට මෙම නාමය ලැබුණු ආකාරය පිළිබඳව ද ලිඛිත සාධක කිසිවක්
මෙතෙක් අනාවරණය වී නැත. නමුදු ඒ සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාද දෙකක් පවතී. එනම්
විහාරමහා දේවිය, දුටු ගැමුණු කුමරු ඇතුළු යුද සේනාව නෑව ගල (ස්නානය කළ) නවාගල වූ
බවයි. තව ද දුටුගැමුණු රජු විසින් මෙහෙය වූ යුද්ධයට නොපැමිණි හෙවත් ‘නාව’
පුද්ගලයන්ගේ ශ්‍රමය කැප කර ඉදිකළ විහාරස්ථානය නාවගල වී පසුව නවාගල වූ බවට ද
කියැවේ.
උතුරු දිග තැනිතලාවේ එනම් ලක්දිව පළමු රාජධානියේ විශාලතම ස්තූප නිර්මාණයන්
සියල්ලම පාහේ අනුරාධපුර ඇතුළු නගරයට සීමා වී තිබේ. නමුදු දැනට සිදු කෙරී ඇති
පුරාවිද්‍යා පර්යේෂණයන්ට අනුව ඇතුළු නුවරට ප්‍රත්‍යන්ත ප්‍රදේශයකින් හමුව
ඇති විශාලතම ස්තූපය මෙම නවාගල දාගැබ ය. එහි මුල් පිහිටීම අනුව වට ප්‍රමාණය අඩි
2775 ක් වන අතර ලම්භක උස අඩි 60 ක් පමණ වෙයි. පසුකාලීනව මෙම චෛත්‍යය මුලින්ම
මානා පඳුරුවලින් ගැවසී ගත් විශාල පස් ගොඩැල්ලක් වශයෙන් දෘශ්‍යමාන වී තිබේ.
2013 වසරේ මාර්තු මස 06 වැනි දින මෙම ස්මාරකය සංරක්ෂණය සඳහා අවශ්‍ය මූලික සාධක
අනාවරණය කර ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලදී.
පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනීමක් ඇත්තවුන්ගේ අනුමානයට මෙය ශ්‍රී
ලංකාවේ ආරාමික නටබුන් රැසක් ඉස්මතු කර ගත හැකි කැණීමක් වනු ඇත.
සංරක්ෂණ සැලැස්ම සඳහා අවශ්‍ය සාධක මතු කර ගැනීමේ අරමුණින් සිදු වන මෙම දාගැබේ
පුරාවිද්‍යා කැණීමේ දී මේ වන විට විශාල වශයෙන් ‘අමිල’ පුරාවස්තු රැසක්
අනාවරණය වී ඇත. පුරාවිද්‍යාඥයන් පුරාවස්තුවක් ‘අමිල’ යැයි හඳුන්වනුයේ
එහි භෞතික වටිනාකම අනුව නොවේ. එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම අනුවය.
නමුත් පුරා විද්‍යාඥයන්ගේ මුවින් පිටවන මෙම ‘වටිනා’ යන වදන මාධ්‍ය මඟින් වැරැදි
අර්ථ කථන ද සහිතව ජනතාව හමුවට ගෙන ඒම නිසා සුවිසල් ජාතික ඛේදවාචකයට මුල
පිරී ඇත.
එහිදී හමු වූ පුරාවස්තු අතර ගල් කරඬු 07 ක්, වීදුරු කරඬු 02 ක්, මැටි කරඬු 05 ක්,
පළිඟු කරඬු 10 ක් හා තඹ මිශ්‍රිත රන් කරඬු 05 ක් ලැබී ඇත. එක් ශිලා මංජුසාවක
තැන්පත් කර තිබූ අඟල් 3.5 ක් පමණ වූ තඹ මිශ්‍රිත රන් කරඬුව මෙම ස්ථානයෙන් ලැබුණු
අග්‍රගණ්‍යම පුරාවස්තුව ලෙස හඳුන්වන්නට පුළුවන. මේ හා සමාන කරඬුවක් මෙතෙක්
සොයාගෙන ඇත්තේ අනුරාධපුර රුවන්වැලි ස්තූපයෙන් පමණි. එය ද විශේෂ පුරාවිද්‍යා
අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයට ලක් වූ මෙය
මෙතෙක් හමු වූ අද්විතීය පුරාවස්තුවක් වන බව තහවුරු කරන ලදී. ඒ අනුව එය කොළඹ
ජාතික කෞතුකාගාරයේ සමස්ත ලෝවාසීන්ටම දැක ගැනීම සඳහා තැන්පත් කළ යුතු බව ඔහුගේ
යෝජනාව ය. නිල් පැහැති වීදුරු කරඬු ද තවත් සුවිශේෂී වැදගත්කමක් සහිත මෙම
ස්ථානයෙන් සොයාගන්නා ලද පුරාවස්තූන් ය. ස්තූපයක ආකෘතියට නිමවා ඇති මෙම කරඬු
පේසාව, ගර්භය, හතරැස් කොටුව, කොත වෙන් වෙන් ව නිමවා අවසන එම කොටස් එකතු කර කරඬුව
නිමවා ඇත.
 |
කැණීම්වලදී සොයා ගත් කෞතුක භාණ්ඩ |
ආනයනික වීදුරු විශේෂයක් වන මෙමඟින් එකල තිබූ විදේශීය සබඳතා
පිළිබඳව ද තොරතුරු සපයයි. මේ ආකාරයටම කොත් කැරැල්ල සහිත මැටියෙන් තැනූ
තරමක් විශාල කරඬු ද මෙහිදී සොයාගෙන ඇත. ස්තූප නිර්මාණයේ විකාශනය ගැන කියැවෙන
විට කොත් කැරැල්ල පසු කාලීනව ස්තූපයට එක් වූ අංගයක් බව කියැවෙතත් මෙම හමුවන
පුරාවිද්‍යා සාධකත් සමඟ මෙම අදහස පිළිබඳ යළි සාකච්ඡාවට බඳුන් විය යුතු කාලය
එළඹ ඇත. එනම්, මෙම ස්ථානයෙන් හමුවන සියලුම කරඬුවල ස්තූපයක දැකිය හැකි සියලුම
අංගයන් ඇතුළත් වන බැවිනි. විශේෂත්වය වන්නේ පූජා කරඬුවල කොත් කැරැල්ල සහිත
වුවද මෙම ප්‍රධාන චෛත්‍ය යූප ගල හා ඡත්‍රාවලිය සහිතව ඉදිව තිබූ බවට සාධක
ලැබීමය.
එනම් අටපට්ටම් හැඩැති විශාල යූප ගලක කොටස් මේ වන විට මතු වෙමින්
පැවැතීමය. ඒ අනුව මෙම චෛත්‍ය කොත් කැරැල්ල රහිත අටපට්ටම් හැඩැති යූප ගල වහා
ඡත්‍රාලිය සහිත ස්තූපයක් ද යන්න විමසීමට ලක්වෙමින් පවතී. විශේෂත්වය වන්නේ මේ
වන විට මෙම සාධක වලින් ප්‍රතිසංස්කරණ අවධි පහක් පමණ හඳුනාගත හැකි වීමය.
එබැවින් මෙම චෛත්‍යයේ හැඩය ද තවමත් නිශ්චිතව හඳුනාගත නොහැකි මට්ටමක ඇත. නමුත්
අනාවරණය වී ඇති සාධක අනුව මෙය පද්මාකාර හැඩැති චෛත්‍යයක් වීමට ඉඩ ඇති අතර එසේ
වුවහොත් ලක්දිව මෙතෙක් හමු වූ ඒ හැඩයේ පළමු චෛත්‍යය ද මෙය වනු ඇත.
හමුවන අනෙකුත් පුරාවස්තු අතර අර්ධ මැණික් වලින් නිර්මිත පබළු, සෙරමික් බඳුන්
කැබලි ඔප දැමූ හා පින්තාරු කළ මැටි බඳුන් කැබලි ආදිය අමිල පුරාවිද්‍යාත්මක
වැදගත්කමකින් යුක්ත ය. මෙම පුරා සාධක වල අග්‍රගණ්‍යම ඵලය වනුයේ එමඟින් අතීත
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීත සමාජය ඉතාම නිවැරැදි අයුරින් යළි
ප්‍රතිනිර්මාණය කිරීමට ලැබෙන හැකියාවය. සියුම් නිමාවන් සහිත රන් හා තඹ
මිශ්‍රිත ලෝහවලින් සෑදු කරඬු එකල වැසියන්ගේ ලෝහ තාක්ෂණයේ තිබූ අද්විතීය
කෞශල්‍ය මැනවින් ප්‍රකට කරයි. මැටි උපයෝගී කර ගනිමින් සකස් කර ඇති අති විශාල
ගඩොල් කැටයේ සිට කරඬුව දක්වා වූ සාධක අතීත කුඹල් කර්මාන්තයේ විවිධ තාක්ෂණික
අදියර සනිටුහන් කරයි.
මැටි රූප ඇඹීම, මැටි ඵලක නිර්මාණය අපගේ අතීත කුඹල්
කර්මාන්තයේ දියුණුම තාක්ෂණික ශිල්පීය ක්‍රම හඳුනා ගැනීමට කදිම සාධකයන් ය. රළු
කළු ගල් කුට්ටියක් ගෙන එයින් සියුම් වූ කරඬුවක් නිර්මාණය කර ඇති අයුරු
විස්මිතය. මතුපිට සියුම් ගල්කටු සලකුණු සහිත මෙම පුරාවිද්‍යා සාධක අතීත ශිලා
තාක්ෂණය අධ්‍යයනයේදී මහඟු පිටුවහලක් ලබා දේ. මේ සා විශාල පූජා වස්තූන්
තැන්පත් කිරීමට හා මෙවැනි අලංකාර චෛත්‍යයක් ගොඩනැංවීමට සාමාන්‍ය ජනයාගේ
දායකත්වය මෙන්ම විශාල රාජ අනුග්‍රහයක් ලැබිය යුතුම ය. ඒ අනුව මෙවැනි
ප්‍රාදේශීයව පවරන විහාරස්ථාන කෙරෙහි ද පාලකයන්ගේ සැලකිය යුතු අවධානයක්
ලැබී තිබූ බව පැහැදිලි ය. එමෙන්ම මෙවැනි කලා කෘතියක් නිර්මාණය කිරීමට නම්
ජනයාගේ මනැස ගැටලුවලින් තොර විය යුතුය. එසේ වෙන්නට යහපත් ආර්ථිකයක් ද තිබිය
යුතුමය. මේ අනුව මෙම ප්‍රදේශවල ග්‍රාමීය වශයෙන් ස්වයංපෝෂිත ආර්ථික රටාවක්
තිබෙන්නට ඇති බව අවබෝධ කරගත හැක.
මෙම නවාගලින් ලැබී ඇති අමිල වූ පුරාවස්තු හා ද්වීතියික සැරසිලි අංග සියල්ල
විමසීමේදී මෙම නටබුන් කාලයේ වැලි තලාවෙන් යට වූ මහා කලාගාරයක් වශයෙන්
හැඳින්වීමේ ද වරදක් නැත. එලෙසම මෙම අග්‍රගණ්‍ය ස්මාරකය උපනූපන් මතු පරපුර
උදෙසා ආරක්ෂා කිරීමේ උදාර වගකීමේ අප සතු ය.
නිරූපා ප්‍රියදර්ශනී

|