බැල්ල
බැල්ල
කොයි හැටි උණත් මේ කතාවේ එන මිනිසා බල්ලන්ට, පොදුවේ ගත් කල සුනඛ වර්ගයාටම බය
මනුස්සයෙක් විය. එසේම ඔවුන්ද පෙරළා එසේ බිය වෙනු ඇතැයි ඔහු ඇදහීය. මිනිසා කිසි
දිනෙක බල්ලන්ට හෝ බැල්ලියන්ට දයා කරුණාව නොදැක්වූ අතර ගෙවත්තට එබිකං කරන ඔවුන්
වෙනුවෙන් අතට අසුවන ඕනෑම දෙයකින් සුළු සංග්‍රහයක් කිරීමට අමතක නොකළේය.
ගමේ ගොඩේ හොඳම බල්ලා වුවත් ඔහුට ‘හම්බඩ බල්ලෙක්’ වීය. එනිසාත් ඔහු කිසිදාක ඇති
නොකළ, ඔහුගේ බිරියවත් දරුවන්වත් නොදුටු අතීතයට හිමි බල්ලෙකු ගැන ගුණ
වර්ණනාත් කළේය.
“එන්න ගේනවා නම් ඒ වගේ එකෙක්! සුද්දයි ගෙනාවේ රටින්... අම්මපා... කරේ පදක්කමකුත්
ගහලයි හිටියේ.”
ඒ මොනවා කීවත් කැහැටු බැල්ලියක් තමා සපා කෑමෙන් අවමානයක් සිදු කරාවි යයි ඔහු
කිසිදා සිතා තුබුණේ නැත. ඊටත් වඩා කුප්පායමක ඉන්නා රොඩී ගෑනියක් තමාට බනීවි යයි
කොහෙත්ම විශ්වාසයක් තුබුණේ නැත.
දැන් විශ්‍රාම වයසේ ඉන්න ඔහුට ගම් ගොඩේ ඕනෑම බල්ලෙකු, බැල්ලියක දුටු විට මතක් වෙන
ඒත් ඒ තරමට මතක් කරන්න හිත අකමැති කතාවක් ගෙතී ඇත.
එදා දහවලේ, මේ සිද්ධියට මුල පිරූ දහවලේ ඔහු බයිසිකලය පැද යනවිට බැල්ලිය
ගෙරෙව්වා පමණි. බයිසිකලය නවතා මිනිසා ඈ දෙස රවා බැලුවේය. වතුර කළයක් හිස තබා
ගත් රොඩී ගැහැනියක් කිසිම කතාවක් නැතිව නැවතූ බයිසිකලයට ඉදිරියෙන් පාර
හරහා ගියාය.
බැල්ලිය ගෙරෙව්වේ ඇයිද... ඔහුට දැන් මතක නැත. සමහර විට පාරේ මැද සිටියද...?
අහුවෙන්න ගියාද....? මතක නැත. ඒත් බල්ලන්ට පාර මැද ඉන්න ලයිසන් දී නැති බව ඔහු
දැන සිටියේය.
ඇත්තටම ඔහුට ඒවේලේ බියක් ඉපදුණේ නැත. කෙට්ටු බැල්ලිය විලිස්සූ දතින් යුතුව නිල්
පැහැ පුළිඟු නෙතින් බලන කල වුව ඉඟිතියක් ඇති නොවීය.
“නොදකින් රොඩියගෙ බැල්ලියගෙ සැර.”
ඔහු සෙමින් ගොරවමින් ගැහැනිය දෙසට නෙත් යොමමින් යන්ට ගියේය.
තමා මේ පටු මාවතේ නොගොස් නගරයට දිවෙන ප්‍රධාන මාර්ගයේම ගියා නම් මේ විපත සිදු
නොවන බව ඊටත් පසු කාලයේ ඔහු කල්පනා කළේය.
“මොනවද ඔය රොඩී ගං මැදින් පාර හදා ගත්තේ.”
බිරියත් ඔහුට පසුව දොස් කීය. ඒ මොනවා කීවත් දැන් එය නගරයට යන කෙටිම පාර වෙයි.
මගියෝ බොහෝ දෙනා ඒ පාරෙන් නගරයට පිවිසෙති. විරුද්ධ වන්නේ කවුද? පාර හරහා පනින
ගැහැනියකගේ නොරිස්සුම හෝ පඩත්තර බැල්ලියකගේ ගෙරවිල්ලක් හැර රොඩී ජනයා කටක්
ඉස්සුවේ නැත.
දෙවැනි දවසේද බැල්ලිය ඔහුගේ බයිසිකලය පසු පස එළවාගෙන ගියාය. ටික දුරක්
බයිසිකලය වේගයෙන් පැදවූ මිනිසා වහා තිරිංග තද කර නැවැත්වීය. වහා හැරුන බැල්ලිය
පලා ගියාය.
“ඒක හරි!” ඔහු එවිට උදාරම් ලෙස සිතීය.
ඒත් හවස ආපසු වැඩ ඇරී එන මිනිසා මේ බැල්ල විසින් කේන්ති ගැස්සීය. ඈ බුර බුරා පසු
බැස්සාය. ඔහු නැවතී ගෙදර දෙස හෝදිසියෙන් බැලීය.
“ඒයි මිනිහෝ.” හේ කාටද කතා කළේය. ඔහුගේ ප්‍රතාපවත් හඬ කාටවත් නෑසුණා විය යුතුය.
එවර සීනුව නාද කළේය.
එළියට ආවේ දරුවෙකි.
“කාගෙද බොල මේ බැල්ලී?” උත්තරයක් බලාපොරොත්තු නොවූ මිනිසා නැවත කෑගැසුවේය.
එවිට ගැහැනියක් එබිකං කර බැලුවාය.
“පරිස්සං කරගනින් මේ බැල්ලී... තොපේ වාහෙට කියාපං තොපේ බල්ලෝ හදාගන්ඩ කියලා.”
බිය වූ දරුවා මවට තුරුලු වූවාය. “දරුවාට බැනලා හරිද.” කාන්තාව දරුවා ගෙතුළට
ගනිමින් පිටුපා යන මිනිසා දෙස බැලුවාය. කර කියාගත හැකි කිසිත් නැති ඇගේ වත
රත්පැහැ විය. මිදුල් මැදින් නොගියනං ඉවරයිනේ... පැටව් දාපු බැල්ලියෝ කවදත්
සැරයි.”
“බැල්ලි පැටව් දාලා ඉන්න බව දැනගත්තා නම් ප්‍රවේශම් වෙන්ඩ තිබ්බා.” බොහෝ කලකට
පසුව තුවාලය සනීප වූවාටත් ඔහු කැළැල් අතගාමින් බිරියට කීවේය.
“ඒත් ඔයා දැනගෙන හිටියා ඒකි පැටව් දාලා පැටවුන්ට ආදරේ බැල්ලියක් බව.”
“ඇත්තටම... මට මතක නෑ.”
ඒ දිනවල සවසක ඔහු බිරියට මේ සිද්ධිය කීවා ඔහුට මතකය.
“රොඩියෙකුගේ බැල්ලියක් බුරා පැන්නා.”
බිරිය බියපත් වූ සේ ඔහු දෙස බැලුවාය.
“උන් එහෙමද බල්ලො හදලා තියෙන්නේ.”
“ඒකනේ. දැන් දවස් දෙකක්ම.”
එවර මිනිසාට මානයක් ඉපදිණ. බැල්ලිය තමාට අගෞරව කළේ යැයි බඳු හැඟීමක් ඔහුට ඇති
විය. එයින් ඔහු කෝප විය. ඉක්බිති හෙතෙම කුඩය අතට ගත්තේය. එය පරණ කුඩයකි. අණ්ඩයක්
ඇල්ලූ රෙද්ද දුර්වර්ණය. හොඳින් ඔතා තුබුණු එය කාර්යාලේ මලු බඳින නූලකින් ගැටගසා
තිබිණ. කුඩයේ මිට දෙස බල්නෙකුට එහි රැජිනකගේ මූණ කැටයම් කර තිබෙනු දක්නට ලැබේ.
වඩා වුවමනාවෙන් බලන්නෙකුට ඔහු එහි වංශ කතාව කියන්ඩ සැරසේ.
“මේක රට කුඩයක්, ඒ දවස්වල අපේ පප්පා සුද්දා ගාව වැඩ කරනකොට...” කොහොම උණත් මේ
කැසටු දිරාපත් වූ කුඩය දකින ශ්‍රාවකයා ඉන් එහාට ඒ කතාව නාසයි. එදා මේ කුඩය ඔහුට
දැනුණේ යෂ්ටියක් මුගුරක් සේය. ඔහු කුඩය දැඩිව මිටින් අල්ලා නැවත තබනු ඔහුට මතක
තිබිණ.
පසුදා අතරමගදී ඔහුට ගෙහිමියා මුණ ගැසිණ. රෙදි කඩක් ඇඳ සිටි ඔහු ගරු සරු ඇතිව
අපේ මිනිසාට මොනවාදෝ කීය. තමා ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් කරන බව ඔහු දැන
සිටින්නට ඇතැයි බයිසිකල්කරු සිතීය. ඇත්තම කීවොත් ඔහු පියුං කෙනෙක් බව රොඩී
මිනිසා දැන සිටියේය.
“නෑ මහත්තයා ඒකි පැටව් වදලා.”
“ඒක හරි. මං හිතුවේ උඹලා බල්ලන්ට උගන්නලා කියලා.”
“අපෝ නෑ දෙයියා.”
එවර ලිපිකරුවා ආඩම්බර වූයේ කුඩා හිස කෙළින් කර තොප්පිය සරිකර ගත්තේය.
අවාසනාව එබී බැලුවේය. සවස ආපසු එනවිට ද බැල්ලිය ගෙරෙව්වාය.
කේන්තිය පැමිණ ඔහු බයිසිකලය නවතා බැල්ලියට කුඩය ඔසවා තර්ජනය කළේය. බැල්ලිය
බුරාගෙන පැන්නාය.
එවර ඔහු කුඩය අවිය කොටගත්තේ එය බැල්ලියට උලුක් කළේය. වඩා රෞද්‍ර වූ ඈ ඔහු දෙසට
පැන්නාය. බයිසිකලය අතහැර මිනිසා බැල්ලියට පහර දුන්නේය. බැල්ලිය ඇගේ දතින්
කුඩයේ රෙද්ද සපා කෑවාය. මිනිසාගේ කෝපය භීතියකට පත් විය. ඉක්බිති මිනිසා දුවන්නට
තැත් කළේය.
පෙරළුණ බයිසිකලයේ රෝදයක් කරකැවිණ. පය පටලාගත් මිනිසා බයිසිකලය මත
වැටිණ. බැල්ල ඔහුගේ කකුල සැපුවාය. නැවත සැපුවාය.
“අම්මා... අර එදා බැන්න මිනිහා හපන්න යනවා... අපේ බැල්ලි...” කුඩා දරුවා මවට
කෑගෑවාය. කලබලව දුව පැමිණ ඈ නොසිටින්න බැල්ලිය ඔහුව තවත් සපාකන්ඩ ඉඩ තිබිණ.
විලම්බීත වූ බැල්ලිය ස්වාමි දුවගෙන් පහර කා ඈ දෙස විමතියෙන් බලා පලා ගියාය.
“හපලා මදි... තමන්ගේ පාඩුවේ ගියා නම් ඉවරයිනේ... ළමයින්ට බනින්ඩයි... කුඩ උළුක්
කරන්ඩයි...” කිරි දරුවෙකු කිහිල්ලේ ගසා ගත් ගැහැනිය ගෙරෙව්වාය. දෙවන වරට
බැල්ලිය සිය හදවත සපා කෑවා සේ එවිට මිනිසාට හිතුණි.
“රොඩී ගුබ්බෑයම්වල පරට්ටියන්ගෙනුත් බැනුම් අහන්ඩ උණා. බල්ලෝ කෑවා මදිවට.”
මඩ ගෑවුණ හිස්වැස්ම වැතිර නිසොල්මන් වී තිබිණ. වංශ ප්‍රවෘත්තියක් සැමරූ කෘශ කුඩය
ඉරී බිම දිගා වී මඳ සුළඟින් සට සට ගෑවේය.
*********
“දොස්තර මහත්තයෝ ඌ රොඩියගේ බැල්ලී. ඌට පුළුන්ද වැදගත් මනුස්සයෙක් හපන්ඩ?”
මිනිසා කෑ ගෑය. “ඒකත් හරි. ඒක සනිප කරන්ඩ පුළුවන්. අර රොඩී ගෑනිත් මාව හපා කෑවා.
මේ අවමානේ සනීප කරන්නේ කොහොමද?”
තුෂ්නිම්භූත වූ දොස්තර බලා සිටියේය.
“මේ උන්නැහේ, බැල්ලිට තේරෙනවද ඒකි සිංහලද දෙමළද, රොඩීද කියලා.” හේ තුවාලය
පිරික්සීය.
“ඌට තේරෙන්න ඕනෑ.” මිනිසා මඳ වේලාවකට පසු පසුබාමින් කීය.
“පිස්සු හැදෙන්න පුළුවන්!” දොස්තර ඔහුට එන්නත් කළේය.
“දවස් ගාණක් ඉස්පිරිතාලේ ඉන්ඩ වෙයි!!”
රාත්‍රියේ ඔහුට උණ වැලඳී තිබිණ. හේ උණ විකාරයෙන් දෙඩෙව්වේය.
“ඌ රොඩියගෙ බැල්ලී, ඌ ඉන්ඩ ඕන යටහත් පහත්ව.” හේ කෑගසන්නට විය. එවර අලුත්
බෙහෙතක් දීමට කංකානම ඉදිරිපත් විය.
“මේ උන්නැහේ... කෑ නොගහ ඉන්නවා.” රෝහලේ කංකානම කීවේය. “සමහර වෙලාවට ඒ බැල්ලී ඒ
ජාතියෙ නෙවෙයිද කවුද දන්නෙ?”
එවර උණ විකාර වුවත් නෙත් මහත්ව විස්මය පිටකර නළල රැළිකර ගත්තේය. බෙහෙත හරියන
පාටක් කංකානමට පෙනිණි.
“දොස්තර මහත්තයා හොයල බලල තියෙනවා.” කංකානම සෙමින් රහසක් කියන්නා සේ කතා කළේය.
“ඒ ගෑනු උන්දෑ රොඩී නෙමෙයි! ගොයිගම.”
සවන් දුන් ලෙඩා නිශ්ශබ්ද විය. ඉන් පසු නිදා ගත්තේය.
පසුදා ලෙඩා මඳ උණ සහිත තෝන්තුවාවෙන් කතා කළේය.
“ගෑනි ගොයිගම නං ඒ බැල්ලිත් එනකොට ගේන්ඩ ඇති!”
“ඇත්තට ඌ හොඳ ජාතියෙ එකෙක් වෙන්ඩ ඕනා.” රෝගියා කංකානමට කීවේය.
“සුදු බැල්ලි. මයිල් හේම ගොඩයි!! හොඳ ජාතියෙ තමයි!! මුං ගෙනල්ලා හැදුවට.” කියන විට
ඔහුට තාම උණ දැයි කංකානම කල්පනා කළේය. හිස සෙලෙව්වේය. කපටි ලෙස සිනාසුණේය.
ඉක්බිති වෙළුම පටිය අතගෑ රෝගියා මෙසේ කීය.
“ඒ උනාට ඒකිට වටින්නේ නෑ හපන්ඩ. මං අහිංසක මිනිහා. දුප්පතා. මෙහෙම හිටියට කී
දවසක් පාඩුද...! කුඩෙත් ඉරා දැම්මා.... තොප්පියේ මඩ ගෑවා.” ඔහුගේ කට හඬ දුර්වල
විය.
“ඒකි හොඳ ජාතියේ වෙලත් තේරුණේ නෑ... මං මං... දුප්පත් මිනිහා... මං දුප්පතා...” හේ
සුසුම් ලෑවේය.
නිශ්ශංක විජේමාන්න
|