හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඉතිහාස පත්ලෙන් මතුවන රසකතා

ඉතිහාස පත්ලෙන් මතුවන රසකතා

කපිල කුමාර කාලිංග

පසුගිය සෙනසුරාදාවක අප ගාලු ගියේ, එහි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර ශ්‍රවණාගරයේ පැවැති “චතුදිශ රුසිරු දුටුවෙමි - ගොඩපවත් පටුන් මනොරමේ” නමැති කෘතියේ දොරට වැඩීමට සහභාගි වනු පිණිසය. එහි කතුවරයා, ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන්ය. හම්බන්තොට අලුත් වරායක් ඉදිවීමෙන් ලද ආශ්වාදයෙන් පිබිදුණු සිත් ඇති විජේබණ්ඩාරයෝ, කුතුහලාත්මක අතීත චාරිකාවකට අප කැඳවාගෙන යති.

විටෙක ඔහු, මුහුදු පත්ලෙ සැඟැවුණු ඇවොන්ස්ට්‍රා වැනි නැවක් “ගොඩගෙන” අපට දක්වයි. තවත් විටෙක තිස්සමහාරාමයේ පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ ඉපැරැණි මාගම්පුරය දෙසට අත දිගු කරයි. නොඑසේ නම්, සේතු සමුදාම් නාවික ඇළ ඉදිවන්නට ගිය මුහුදු පෙදෙසේ, හුදෙකලා වැලි දූපත් පංතිය වෙත අප කැඳවාගෙන යයි.

ගවේෂණශීලී මාධ්‍යවේදියකුට ඉතිහාසය හා පුරාවිද්‍යාව යනු මහා පුස්තකාලයකි. ක්‍රිෂ්ණ ද නිරන්තරව එය පරිහරණය කරන, නිත්‍ය සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ඉතිහාසය සහ ඒ ඔස්සේ රට තුළ ගොඩනැඟුණු සංස්කෘතික කාරණා තම ග්‍රන්ථයට මූලික විෂය කරගත්ත ද, ඔහු එය අපට ඉදිරිපත් කරන්නේ, රමණීය බස් වහරක් ඇති කතන්දරකාරයකු මෙනි.

ඉතිහාසය නමැති නවකතාවේ කතුවරයා ජනතාව යැයි කියමනක් ඇත. එසේම, එච්.එල්.මෙන්කෙන්ට අනුව, ඉතිහාසඥයා යනු අසාර්ථක නවකථාකාරයෙකි(Historian : unsuccessful novelist) එල්බර්ට් හබර්ඩ් වඩාත් උපහාසාත්මක වෙමින්, ඉතිහාසය යනු මනාව පැවසූ ඕපාදූපයකැයි(History: gossip well told) කීවේය.

ඉතිහාසය ප්‍රබන්ධයක් සේ රසවත් වන්නා සේම, ඉතිහාසය පසුබිම් කරගත් රසවත් ප්‍රබන්ධයෝ ද වෙති. ඉතිහාස නවකතාකරුවන් කරන්නේ යථා සිද්ධිය මත පිහිටා, පරිකල්පනාත්මක ඉතිහාසයකට අප ගෙන යාමය. එහිදී ඔහුගේ පරිකල්පනය, ඉතිහාසයේ සැඟැවුණු තැනකට තියුණු ආලෝකධාරාවක් යොමු කරන සාහිත්‍යයික පුරාවිදු කැණීමක් වන අවස්ථා ද නැත්තේ නොවේ.

මේරි රෙනෝල්ට් නමැති ඉංග්‍රීසි ලේඛිකාව වඩාත් ප්‍රකට වූයේ, ග්‍රීක පුරාණය පසුබිම් කොටගත් ඓතිහාසික නවකතා ලිවීම සම්බන්ධයෙනි. මහා ඇලෙක්සැන්ඩර් ඇගේ ප්‍රියතම චරිතය විය. 1972 දී ඇය රචනා කළ’Persian Boy’  නමැති නවකතාවට පසුබිම් වූයේ, ඇලෙක්සැන්ඩර් හා සමීප සබඳතාවක් පැවැත්වූ බාගෝස් නමැති පර්සියානු ගැටවරයකු පිළිබඳවයි.

වංශවත් පර්සියානු පවුලක උපන් බාගෝස්, ඔහුගේ පියා සතුරු කුමන්ත්‍රණයකට ගොදුරුවීමෙන් පසු, තුන්වැනි ඩේරියස් රජුගේ වහලකු බවට පත්වෙයි. ඇලෙක්සැන්ඩර් විසින් ඩේරියස් පරාජය කරනු ලැබීමෙන් පසු, බාගෝස් ඔහු සතුවෙයි. හෙපාතියන් නමැති රූපසම්පන්න තරුණයකු ද ඇලෙක්සැන්ඩර්ට සමීපව සිටි බව ඉතිහාසයේ සඳහන්ය. ඔහුගේ අකල් මරණයෙන්, ඇලෙක්සැන්ඩර් බලවත් කම්පාවට පත්විය. මේරි රෙනෝල්ඩ් ලේඛිකාව, බාගෝස් ලෙසින් නිර්මාණය කරන්නේ හෙපාතියන්ගේ චරිතය විය හැකිය. කෙසේ වෙතත්, මහා රණ ශූරයකු, සමලිංගිකයකු බවට පෙන්වීමෙන් ‘පර්සියානු කොලුවා’ නවකතාව මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

2007 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ පෘතුගීසි ලේඛක හොසේ සරමාගෝ (Jose Saramago) ලියූ ‘අලියෙකුගේ චාරිකාව‘ (The Elephant Journey) නමැති කෘතියේ, කෝට්ටේ රාජධානිය පැවැති අවදියේ ලංකාවෙන් පෘතුගාලයට ගිය (තෑගි කළ) අලි පැටවකු හා ඌ බාරව ගිය ‘සුබ්රෝ’ (සිංහල නම වෙනස් එකක් විය හැකිය) නමැති තරුණ ඇත්ගොව්වකු පිළිබඳ අපූරු පුවතක් ද සඳහන් වෙයි. මේ දෙදෙනා මුලින්ම ලිස්බන් නුවරට ද, ඉන්පසු ඔස්ට්‍රියාවට ද යති. අලියා ‘සුලෙයිමාන්’ යනුවෙන් නම් කෙරෙන්නේ එකල යුරෝපීයන්ට හිසරදයක් වී සිටි ආක්‍රමණකාරී තුර්කි සුල්තාන්ට සමච්චලයක් වශයෙනි. දෙවසරකට පසු අලියා මියගොස් ඇත.

ඉන්පසු ඇත්ගොව්වා කොටළුවකු පිට නැඟී වියානාවෙන් පිටවෙයි. ශ්‍රී ලාංකික සුලෙයිමාන්ගේ සහ සුබ්රාගේ කතාව ඉතිහාසයේ අප්‍රකට පත්ඉරු අතරින් සොයා ගන්නට හැකි වුවහොත් එය කොතරම් අගනා සංචාරක ලේඛනයක් වනු ඇත්ද?

මෙබඳු ඉතිහාස පුවත් ගත්කතුවරුන් තුළ ඇති කරන කුතුහලය, ඔහු පර්යේෂණයෙහි ලා පොළඹවයි. එහි ප්‍රතිඵලය විශ්වාසනීය ඓතිහාසික ප්‍රබන්ධයක් බිහිවීමයි. සුනේත්‍රා රාජකරුණානායකගේ “කවිකඳුර” හා උපාලි උබයසේකරගේ “මිථ්‍යා දෘෂ්ටිකයා” මෑතකදී සිංහල සාහිත්‍යයට එක්වූ එබඳු අගනා නිර්මාණ දෙකකි.

ඉතිහාසය නම් වූ කතාසරිත් සාගරයේ කිමිදෙන ක්‍රිෂ්ණා විජේබණ්ඩාර ගොඩට ගෙන එන නැංගුරමක් හෝ බරණියක් තුළින්, පරිකල්පනාත්මක ශක්තියෙන් පොහොසත් ලේඛකයකුට බොහෝ දුර යා හැකිය. හොඳ ලේඛකයකුට ජීවිතය පමණක් නොව ඉතිහාසය ද කිමිද බැලිය හැකි ‘මාස්ටර් ඩයිවර්’ කෙනකුවීමට ඇති ඉඩකඩ පිළිබඳව ද “ගොඩපවත් මනොරමේ” අපට ඉඟි කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා