හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

දැන් ඉතින් මගෙ මුළු ජීවිතේම ඔයාට බාරයි

 දැන් ඉතින් මගෙ මුළු ජීවිතේම ඔයාට බාරයි

ලියන්නේ නිව්ටන් ගුණසේකර

අඳින්නේ හර්ෂ ගුණවර්ධන

ඔහුගේ ඒ වචන යට සැඟවුණ කිසියම් සරාගී අරුතක් ඇතැයි අපර්ණාට සිතුණාය.

සුරේෂ්ගේ එම දයාබර ඉල්ලීම පැහැර හරින්නට ඇයට හිත දුන්නේ නැත. කවදා හෝ ඔහු තමාගේ දයාබර සැමියා වන බව ඇයට සහසුද්දෙන්ම විශ්වාසය. එසේනම් ඔහු හා කොහේ ගියත් කොහේ හිටියත් ඇති වරද කුමක්ද? අපර්ණා නිහඬව සිටිනු දුටු සුරේෂ් නැවත කටහඬ අවදි කළේය.

”මොකද කෙල්ලෙ එකපාරටම ගොළුවුණේ? ඇයි මාත් එක්ක එන්න බයද?”

”මොකටද බය වෙන්නෙ..? ඔයා මාව ගිලින්නෙ නැහැනෙ?”

”මම රාක්ෂයෙක් නොවන විත්තිය ඔයා දන්නවනෙ රත්තරන්”

”හරි.. මං අම්මට මොකක් හරි බොරුවක් කියල එන්න බලන්නම් සුරේෂ්”

ඊට දින දෙකකට පමණ පසු ඔවුන් දෙදෙනා .. රමණීය පරිසරයක පිහිටි සුන්දර නිවාඩු නිකේතනයක් බලා පිටත්ව ගියහ. එය කොළඹින් තරමක් දුර බැහැර පියකරු දිය ඇල්ලක් අද්දර පිහිටා තිබූ නිසංසල ගිමන් හළක් විය. එදා එහි ගත කළ මිහිරි රාත්‍රිය තම ජීවිතයේ අවාසනාවන්තම අඳුරු මූසිල රාත්‍රිය වෙනු ඇතැයි අපර්ණාට එදා තුන් සිතකින්වත් සිතුණේ නැත. සුරේෂ් කෙරෙහි පරම විශ්වාසය තබා සිටි ඇයට ඒ වැසි වැටුණ රාත්‍රියේ එම “විපත” සිදුවිය.

”ඇයි මේ ලස්සන ඇස්වල කඳුළු..?” ඇගේ කරවටා සුරත යවමින් සුරේෂ් කපටියකු සේ සිනාසුණේය.

”දැන් ඉතිං මගෙ මුළු ජීවිතේම ඔයාට බාරයි රත්තරන්..”

”අපි ඉක්මනටම මැරි කරමු කෙල්ලෙ? මාව අවිශ්වාස කරන්න එපා”

”ඔය ඇත්තමද?”

”සත්තකින්ම.. ෆිල්ම් එක රිලීස් වුණ ගමන්ම අපි මැරි කරමු වස්තුවේ..”

අපර්ණා ඔහුගේ එම චාටු බස් සහමුලින්ම විශ්වාස කළාය. තමාව කිසි දිනක අතරමං නොකරනු ඇතැයි යන හැඟීමෙන් යුතුව ඇය තවත් ටික වේලාවක් ඔහුගේ උණුසුමට තුරුළුව සිටියාය.

පසුදින හවස ගෙදර ආ පසුව ද අපර්ණා මුළු කාලයම ගතකළේ කාමරයේ ඇඳ මතය. ඇයට මවගේ මුහුණ දෙස කෙළින් බැලීමට තරම් ශක්තියක් නොවීය. තමා මේ ගිය ගමන ගැන ඇය දනී නම් ඇයට කුමක් සිතෙනු ඇද්ද? සුරේෂ් තමාව මෙසේ සොඳුරු ඉසව්වකට රැගෙන ගියේ තම මුළු ආත්මයම ගිලගන්නටද? එම සිතුවිල්ල හද පතුලෙන් උඩට මතුවෙත්ම ඇගේ මුළු සියොළඟම තදින් වෙව්ලා ගියේය.

”මොකද දුවේ මේ ඇඳටම වෙලා? ඔයාට අසනීපයක්වත්ද? නිදන කාමරයට එබුණ මාකොළ හාමිනේ නළල රැලි ගන්නමින් අපර්ණා දෙස බැලුවාය.

”ඇඟට ටිකක් මහන්සියි අම්මෙ?” මවගේ මුහුණ දෙස නොබලාම අපර්ණා හෙමින් මිමිණුවාය.

”ඒක නෙවෙයි ඔය සුරේෂ් කියන ළමයා ඔයාව කසාද බඳියි කියලා ඔයාට හොඳටම විශ්වාසද දුවේ?”

”මගේ ඔලුවෙ අතගහලා දිවුරලයි තියෙන්නෙ අම්මෙ. එයා කවදාවත් බොරු කරන කෙනෙක් නෙවෙයි. මට සුරේෂ්ව විශ්වාසයි අම්මෙ.”

”මං ඔය ගැන තාත්තත් එක්ක කතා කරලා බලන්නද?”

”දැන්ම එපා අම්මෙ.. වෙලාව ආපුවාම මං කියන්නම්කො..”

මාකොළ හාමිනේ ඊට එහා ඒ ගැන කට හොල්ලන්නට ගියේ නැත. දියණියගේ කතාව ඇය සහමුලින්ම විශ්වාස කළාය. මුළු රටම දන්න ධනවත් කඩවසම් තරුණ නළුවකුට සිය දියණිය විවාහ කරදීමට හැකි වෙතොත් එය කෙතරම් වාසනාවක් දැයි ඇය කල්පනා කළාය.

එහෙත් සැමියා කිසිදිනෙක ඇයව චිත්‍රපට නළුවකුට විවාහ කර දීමට කිසිසේත්ම කැමැති නොවන වග ද මාකොළ හාමිනේ හොඳින් අවබෝධකොටගෙන සිටියාය. ඇය දියණියගේ කාමරය වෙතින් මෑත් වී එළියට එනවිට - සැමියා... ඉස්තෝප්පුවට වී පත්තරය කියවමින් සිටියේය. ඔහු පත්තරය දෙසටම ඇස ගසාගෙන සිටියා මිස හිස ඔසවා බිරිඳ දෙස බැලුවේ නැත.

”දැන් දුව ගැනත් අපි හිතන්න පතන්න ඕනැ කාලෙ ඇවිත් නේද අපේ මහත්තයා? දැන් ඒ දරුවට අවුරුදු විසිතුනකුත් ගෙවුණා..” මාකොළ හාමිනේ වටින් ගොඩින් කාරණාවට බැස්සේ සැමියාගේ හැඟීම් දැනගන්නා අටියෙනි. සෙනරත් ඇය කී දෙය නෑසුනාක් මෙන් පත්තරයටම ඇලී සිටියේය.

”උදේ හවා පත්තරයටම ඇලිලා හිටියට හරියන්නෙ නැහැ. අපි මේවා ගැනත් හිතලා බලන්න ඕනෑ. ඒක දෙමව්පියන්ගෙ යුතුකම”

එවර සෙනරත් හිස හරවා මාකොළ හාමිනේ දෙස බැලුවේ නුරුස්නා බැල්මෙනි.

”ඒ වැඩෙත් ඔහෙම කරලා දෙන එකයි ඇත්තෙ? මාව ඕවට ඈඳාගන්න එපා. ඔය ඕනෑතරම් බයිස්කෝප් කාරයො මේ රටේ ඉන්නෙ.” සෙනරත් කලකිරුණ හඬින් කියාගෙන ගියේය.

”අපේ මහත්තයා නුහුරටමනෙ කතාකරන්නෙ”

”ඔය නැට්ටුක්කාරිව මං දැන් හිතින් අහක්කරලයි තියෙන්නෙ? අම්මයි ..දෝණියන්දැයි ඕනැ නාඩගමක් නටාගන්න එකයි ඇත්තෙ” පත්තරය පසෙක දැමූ සෙනරත් හෙමිහිට මිදුලට බැස්සේය.

මාකොල හාමිනේ බෙරිකරගත් මුහුණින් යුතුව හෙමින් සීරුවේ පාර දෙසට පියනඟන තම සැමියා දෙස බලා සිටියාය.

සති දෙකක පමණ කාලයක් විවේක සුවයෙන් නිවෙසේ රැඳී සිටි ඩග්ලස් දැරණියගල තුන්වැනි සතියේ කඩියකු ලෙස වැඩට බැස්සේය. ඒ වන විට ‘ගිනිසිළුව‘ චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අවසන් කොට තිබූ අතර මහජන ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාගන්නට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙතද ඉදිරිපත් කොට තිබිණ. ඩග්ලස්ට අවශ්‍යව තිබුණේ තම කුළුඳුල් සිනමා කෘතිය පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙසට අනුමත කරවා ගැනීමටය. එහෙත් එසේ සිදුවූයේ නැත. රැඟුම්පාලක මණ්ඩලය විසින් ‘ගිනිසිළුව‘ චිත්‍රපටය අනුමත කළේ ‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය යටතේය. මේ තින්දුව වෙනස් කරගන්නට ඩග්ලස් වෙඩි කෑ ඌරකු මෙන් හැම අතේ දිව ගියේය. බැරිම තැන බතලගොඩ ඇමැතිතුමා ලවා චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂවරයාට ද බලපෑම් කළේය. එහෙත් ඒ කිසිදු ක්‍රියාමාර්ගයකින් කිසිදු සහනයක් ලැබුණේ නැත. ඩග්ලස් මේ ගැන චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ලෙස ක්‍රියා කළ මාරසිංහ සමඟ කතාකළේ කෝපයෙනි.

”මේ සේරටම වගකියන්න ඕනැ උඹයි මාරෙ? .. උඹේ වචනෙ විශ්වාස කරලයි මං මේ ෆිල්ම් එක අර වංශනාථ කියන අලුත් ඩිරෙක්ටර්ට බාර දුන්නෙ? ඒකා මාව විනාශ කළා..” ඩග්ලස් විස්කි වීදුරුවත් අතේ තියාගෙන කෝපයෙන් දත්මිටි කෑවේය.

”එහෙම කියන එක අසාධාරණයි.. වංශනාථ ෆිල්ම් එක හොඳට කරල තියෙනවා... අද ‘සෙක්ස්’ නැතුව චිත්‍රපටයක් දුවන්නෙ නැහැ ඩගී..? මිනිහා ඒ වගේ සීන්ස් ටිකක් දාලා තියෙන්නෙ ඒ ගැන හිතලයි..අපි ඕකට කෑගහලා වැඩක් නැහැ..” මධුවිතෙන් බිඳක් උගුරට හලා ගනිමින් මාරසිංහ පිළිතුරු බැන්දේය.

”කොහොමහරි මං යටකරපු සල්ලි ටිකවත් ලැබුණොත් ඒ ඇති”

”බලන්නකො ෆිල්ම් එක පැල්බැඳගෙන දුවන්නෙ නැද්ද කියලා ඩගී?”

”උඹට හොඳටම විශ්වාසද?”

”මට සියයට සීයක් ෂුවර් ඩගී. මං චිත්‍රපට ෆීල්ඩ් එකේ අවුරුදු තිහක එක්ස්පීරියන්ස් තියෙන බඩුවක්. තේරුණාද? තරමකට පදම් වී සිටි මාරසිංහ බැදපු ඉස්සෙක් කටේ රුවාගනිමින් කොක්හඬලා සිනාසුණේය.

”පබ්ලිසිටිවලටත් සෑහෙන ගාණක් යටකරන්න වෙයි?”

”ඔව්.. ඔව්.. නැතුව බැහැ. අපි ප්‍රිමියර් ෂෝ එකත් “ග්‍රෑන්ඩ්” එකට ගන්න බලමු. මං ඒකත් ලස්සනට ඕගනයිස් කරන්නම් ඩගී.”

”කොහොම හරි කරලා මාව ගොඩදාලා දීපන් මාරෙ.. නැත්නම් සේරා මගෙ ඔලුවත් කයි... කුසුම්රානි ගැනත් එයා නයිවෛරෙන් ඉන්නෙ”

”ඔය කතාවත් දැන් ෆීල්ඩ් එකේ හැමතැනම යනවා ඩගී. .. අනිත් එක කුසුම්රානි කියන්නෙ මහ කපටි අම්මන්ඩි කෙනෙක්... කරන කියන දෙයක් බොහොම ප්‍රවේශමින්”

මාරසිංහගේ ඒ වචන ටික ඉතා තදින් ඩග්ලස්ගේ හිතට වැදුණේය. ඔහු එසේ කීවේ අහිතකින් නොවිය යුතුය. බොහොම කාලයක සිට දන්නා හඳුනන මාරසිංහට තම සිත කුසුම්රානි කෙරෙහි බිඳවන්නට අවශ්‍යතාවක් නැත. අනිත් එක ඇයව තමාට හඳුන්වා දෙන්නට ක්‍රියාකළේ ද ඔහුමය.

”මට නම් කුසුම්රානිගෙ ඒ හැටි කපටිකමක් පේන්නෙ නැහැ ඩගී..” හිස් වීදුරුවට තවත් විස්කි බිඳක් දමා ගනිමින් ඩග්ලස් නළල රැලිකොට මාරසිංහ දෙස බැලුවේය.

”ඒ ගෑනිගෙ හිත හරි හොඳයි”

”හිත හොඳ ගෑනි හැමදාමත් ... කියන කතාව අහලා නැද්ද ඩගී?”

මාරසිංහ එවර සිනාසුණේ හැක.. හැක.. ගා උස්හඩිනි.

”මං එයාව දවසක් බතලගොඩ ඇමැතිතුමා ළඟටත් එක්කගෙන ගියා.”

”අන්න ඩගී වරද්ද ගත්තු තැන. බතලගොඩ කියන්නෙ මහ ගෑනු පෙරේතයෙක්නෙ? අන්තිමේ මිනිහා උඹට කොකා පෙන්නයි.”

මාරසිංහගේ වචනවලට ඩග්ලස්ගේ හිත එකවරම ගැස්සී ගියත් ඔහු ඒ බවක් හැඟවූයේ නැත.

”හ්ම්.. එහෙනම් මං ගිහින් එන්නම් ඩගී..” ආපසු යාමට සැරසෙමින් මාරසිංහ පුටුවෙන් නැගිට්ටේය.

”ඩ්‍රයිව් කරන්නෙ ප්‍රවේශමින් තේරුනාද? ඔහුගේ පිටට සෙමින් තට්ටු කළ ඩග්ලස් සිය මිතුරාට පිටව යාමට සමුදුන්නේය.

ලබන සතියට...


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා