දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»

2020 ශ්‍රී.ල.නි.ප. රජයක් හදන කතාව රැවටීමක්

2020 ශ්‍රී.ල.නි.ප. රජයක් හදන කතාව රැවටීමක්

එ. ජ. නි. ස. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන

ඔබලා ජනසටන නමින් රැලියක් පැවැත්වුයේ ඇයි ?

පසුගිය මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදනවා කියලා. ඒ හැර අපි කිසිම අවස්ථාවක මහා මැතිවරණ වේදිකාවක කිව්වේ නෑ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් හදනවා කියලා.

මා 2010 මහා මැතිවණයේදී අනුරාධපුර දිසාව නියෝජනය කරමින් ඡන්ද 112000කට වැඩි මනාප ප්‍රමාණයක් ගත්තා. මම දිස්ත්‍රික්කයේ පළමු වැනියා. හැබැයි 2015 මහා මැතිවරණය වෙන කොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වෙලා එ.ජා.ප ය ආණ්ඩුවකුත් හදලා තිබුණේ. එක් අතකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට උදව් කරන තැනක හිටියා. ඒ වගේම රනිල්ගේ කැබිනට් එක තනතුරු තියාගෙනයි 2015 මහා මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ අවස්ථාවේදීත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට එ.ජ.නි.සය ජයග්‍රහණය කරවන්ඩ මට හැකි වුණා.

ඒ ව්‍යාකූල තත්ත්වය යටතේ මට මනාප ඡන්ද 118000 ලැබුණා. ඒ වෙලාවේ මට ඒ ඡන්ද ප්‍රමාණය ලැබුණේ එ.ජා.ප ය සමඟ එක්ව ආණ්ඩුවක් හදන්න නෙමෙයි. මා ඒ මොහොතේ එ.ජා.පය සමඟ ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා නම් ස්ථීර වශයෙන්ම මා පරාජයට පත් වෙනවා. අපට මන්ත්‍රීධුර 113ක් ලබාගෙන ආණ්ඩුවක් හදන්න බැරි වුණා නම් අපි විපක්ෂය නියෝජනය කළ යුතුයි.

ශ්‍රී.ල.නි.ප ය ජාතික ආණ්ඩුවක් හැදීමට එක්වීම වැරැදිද ?

රටේ ඉතිහාසය දෙස බැලුවාම ආණ්ඩුව එක් පක්ෂයක් නියෝජනය කරන විට අනෙක් දේශපාලන පක්ෂය විපක්ෂයේ කාර්යභාරය ඉටු කර තිබෙනවා. 1977 කේවල ඡන්ද ක්‍රමය යටතේ හයෙන් පහක බලයක් එ.ජා.පය ලබා ගනිද්දී ශ්‍රී.ල.නි.ප ය මන්ත්‍රීධුර 8යි ගත්තේ. හැබැයි ඒ මොහොතේදීත් ශ්‍රී.ල.නි.පයට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. හැබැයි එදා පත් වු ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් 8 දෙනා විපක්ෂයේ කාර්යභාරය හරියටම ඉටු කළා. 1989 මහා මැතිවරණයේදීත් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 52ක් පත් වුණා. ඒ පිරිසත් එදා ඉතා විශීෂ්ට කාර්යභාරයක් විපක්ෂය වෙනුවෙන් සිදු කළා. ඒ නිසා තමයි 1994 වෙන කොට ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වුණේ.

2015 මහා මැතිවරණ ප්‍රතිඵල අනුව අපට ආණ්ඩුවක් හදාගන්න බැරි වුණා. ඒ අනුව අද අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ යුතුයි. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් හැටියට වමේ අනෙක් පක්ෂ සමඟ එකතු වෙලා විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. අපි වැරැද්දක් කරන්නේ නෑ. හැබැයි දැන් අපේ පක්ෂයේ සමහරුන් කියනවා අපි විනය විරෝධී වැඩක් කරනවා කියලා. අපි කරන්නේ නීත්‍යනුකූල සහ විනයානුකූල වැඩක්.

ජනසටනේ සාර්ථකත්වය මොන වගේද?

රටේ කවුරුත් පිළිගන්නා දෙයක් තමයි මෙතෙක් හයිඩ් පිටියට පැමිණි විශාලම ජන ගංගාව ජනසටනට පැමිණියා කියලා. ශ්‍රී.ල.නි.ප සාමාජිකයන්ගේ විශාල උනන්දුවක් තිබුණා ජන සටන විරෝධතා රැලියට සම්බන්ධ වෙන්න. ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කපා දමලා, වී මිල රුපියල් 18ට බැහැලා, පාසල් නිල ඇදුම කප්පාදු කරලා. ඒ වගේම පෞද්ගලික වෙළෙඳුන් ගොවියාගේ වී තුට්ටු දෙකට ගන්නවා. ඒ වගේම යහපාලන මැතිවරණ ප්‍රකාශයට අනුව රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුපට රුපියල් 10,000 එකතු කරනවා කිව්වාට රුපියල් 2500 බොහෝම අමාරුවෙන් එකතු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති නැවතිලා. ඒ නිසා ඉදිකිරීම් අංශයේ රැකියා ලක්ෂ ගණනක් නැති වෙලා. මහා සංඝයා වහන්සේ සුළු සුළු කාරණයන්ට සිර කරනවා. රටේ පංච මහා බලවේගයම ජනසටනට එක් වෙලා සිටිනවා.

ඔබලා ශ්‍රී.ල.නි.ප නායකත්වයට විරුද්ධව කැරැල්ලක් ගහලාද තිබෙන්නේ?

අපි ඉතාම අහිංසාවාදීව ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක නිරතව සිටිනවා. ශ්‍රී.ල.නි.ප නායකයන් සහ ආණ්ඩුවට එක් වෙලා ඉන්න අය ජනසටනට යන අය පක්ෂයෙන් ඉවත් කරනවා කියා වහසිබස් දොඩන්නේ නැතිව ගැඹුරින් සිතා කටයුතු කළහොත් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබෙනවා. පක්ෂයේ නායකයන් බුද්ධිමත්ව සහ පරිණත ලෙස කටයුතු නොකළහොත් ඉතාම බැරෑරුම් තත්ත්වයක් ඇති විය හැකියි.

විමල්, ගම්මන්පිල සහ දිනේෂ්ගේ උවමනාව අනුව ශ්‍රී.ල.නි.ප ය කැඩීමේ කොන්ත්‍රාත්තුවක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් සිදු කරන බවට චෝදනාවක් නැඟෙනවා?

ඒක සම්පුර්ණයෙන්ම වැරැදි චෝදනාවක්. අපේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට සමසමාජ, කොමියුනිස්ට් , නව සමසමාජ , මහජන එක්සත් පෙරමුණ කියන දේශපාලන පක්ෂ ශ්‍රී.ල.නි.ප ය මවු පක්ෂය විදියට තබාගෙන සභාග ආණ්ඩු පිහිටුවාගත්තා. ඒ වගේම පසුගිය කාලයේදී තිස්ස විතාරණ , ඩියු ගුණසේකර , විමල් වීරවංශ , උදය ගම්මන්පිල , දිනේෂ් ගුණවර්ධන එ.ජ.නි.ස යටතේ ආණ්ඩු හැදුවා. ඒ නිසා ඒ විමල් , තිස්ස , දිනේෂ් , ගම්මන්පිල කිසිම අවස්ථාවක ශ්‍රී.ල.නි.ප ය විනාශ කරන්න කටයුතු කරන්නේ නෑ. ඔවුන් සෑම අවස්ථාවකම ශ්‍රී.ල.නි.පය මුල් කර ගෙන ආණ්ඩු හදන්න කටයුතු කරලා තිබෙනවා.

නමුත් වමේ බලවේගවලට යම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා ශ්‍රී.ල.නි.ප යේ පිරිසක් එ.ජා.පය සමඟ හවුල් ආණ්ඩුවකට යෑම. ඒ ඇරෙන්න විමල් , ගම්මන්පිල , දිනේෂ්ලාට ශ්‍රී.ල.නි.ප ය කඩන්න කිසිම උවමනාවක් නෑ. ඔවුන්ගේ මතය ඉදිරියේදී ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී.ල.නි.ප ය ශක්තිමත්ව තිබිය යුතුයි කියන දෙයයි.

ආණ්ඩුවේ ඇමැතිධුර ලබාගත් ශ්‍රී.ල.නි.ප නායකයන් කියනවා 2020 ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හැදීමේ ඉලක්කය ඔබලා විසින් නැති කරමින් සිටිනවා කියලා?

ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න තිබුණු අවස්ථාව නැති කළේ අපේ කණ්ඩායම නොවෙයි. ඔය චෝදනාව අපිට කරන අයම තමයි ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හැදීමේ අවස්ථාව නැති කළේ. මේ එ.ජා.ප ආණ්ඩුව 2020 දක්වා සුරක්ෂිත කරන්න තමයි මේ අය එවැනි කථා කියන්නේ. ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් 96 දෙනා එකට වැඩ කළොත් 2020 කලින් ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න පුළුවන්. අපට චෝදනා කරන අයගේ ඉලක්ක සහ ප්‍රතිපත්තිවලට වඩා අපේ ප්‍රතිපත්ති සහ ඉලක්ක වෙනස්. එයාලා 2020 දක්වා ඇමැතිධුර තියාගෙන ඊළග මැතිවරණයට ගිය ගමන් ජනතාව දෙන දඩුවම බලාගන්න පුළුවන්.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් සහ එ.ජ.නි.ස මහ ලේකම් කියනවා 2020 ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් ගැනීම ඔවුන්ගේ අරමුණ කියලා. පාක්ෂිකයන් කැමැති 2020 ආණ්ඩුවක් ගන්නද ඊට පෙර ආණ්ඩුවක් ගන්නද?

පාක්ෂිකයන් බලාගෙන ඉන්නේ හෙට අපේ ආණ්ඩුවක් ගන්න. ඒක අපේ පක්ෂයේ මහ පුටුවල ඉන්න අය අවබෝධ කරගත යුතුයි. එ.ජා.පය සමඟ 2020 වන තුරු ඉදලා වෙනම ආණ්ඩුවක් හදනවා කියන කතාව ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයා විහිළුවක් විදියටයි සලකන්නේ.

2020 ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන වැඩේ ඒකාබද්ධ විපක්ෂය විසින් කඩාකප්පල් කරමින් සිටිනවා කියා චන්ද්‍රිකා හිටපු ජනපතිනිය චෝදනා කරනවා?

එතුමිය තමයි ශ්‍රී.ල.නි.ප යට ජනාධිපතිවරණය දිනන්න තිබුණ අවස්ථාව කුමන්ත්‍රණයක් කරලා නැති කරලා දැම්මේ. ඒ නිසා එතුමියට ශ්‍රී.ල.නි.ප ජයග්‍රහණයක් ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ. එතුමිය තමයි ශ්‍රී.ල.නි.ප ය විනාශ කරන්න කටයුතු කරපු ප්‍රධානම චරිතය. එතුමිය යන සමහර රැස්වීම්වලදී ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් හු කියනවා. ඒ විතරක් නොවෙයි මහා මැතිවරණය ශ්‍රී.ල.නි.පයට දිනන්න තිබුණු අවස්ථාව නැති කළේත් එතුමියගේ කුමන්ත්‍රණයක් නිසා. ඇය මහා මැතිවරණයේදී වේදිකාවල කිව්වා සතෙකුට ඡන්දය දෙන්න කියලා. සතෙක් කිව්වේ අලියට, එතුමිය කිව්වේ එ.ජා.පයට ඡන්දය දෙන්න කියන එකයි. ශ්‍රී.ල.නි.ප අනුශාසකවරිය 2015 මහා මැතිවරණයේදී එ.ජා.ප ය දිනවන්න වැඩ කලා.

ජනසටන වේදිකාවට ගොඩ වුණොත් මන්ත්‍රී ධුරය නැති වේවි කියලා ඔබේ පක්ෂයේ මහ ලේකම් සහ ඇමැති එස්. බී කිව්වා. නමුත් ඔබලා ඒ අවවාද තුට්ටුවකට මායිම් කළේ නෑ ?

පාක්ෂිකයා අපට බාර දීලා තිබෙන වගකීමයි අපි ඉටු කළේ. අපිට ආණ්ඩුවක් හදාගන්න බැරි නම් අපි විපක්ෂයේ කාර්යභාරය කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිතට එකගව කටයුතු කළ යුතුයි. එතකොට ජනසටන් කරන්න , උද්ඝෝෂණ කරන්න , එෆ්.සී.අයි.ඩී යන්න, හිරේ යන්න සිදු වෙනවා. අපි අපේ යුතුකම පක්ෂය සහ පාක්ෂිකයන් වෙනුවෙන් ඉටු කරනවා.

පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිවරයා දෙන උපදෙස් පිළිපැදීම ඔබලාගේ යුතුකමක් නේද?

ශ්‍රී.ල.නි.ප ය විනාශ කිරීමේ ලොකුම වැරැද්ද කරලා ශ්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා පරාජයට පත් කරලා දැන් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ නිවැරැදිකාරයන්ට දඩුවම් දෙන්න ගියාම පාක්ෂිකයන් ඔවුන්ව ගණන් ගන්නේ නෑ. එහෙම දඩුවම් දෙන්න යන එක ලේසි වෙන්නේ නෑ. මම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප 118000ක් ගත්ත මිනිහෙක්. එහෙව් මගේ මන්ත්‍රීකම විනයානුකූලව ඔවුන් ඉවත් කළොත් අනුරාධපුරයේ මට ඡන්දය දුන් ලක්ෂයකට වැඩි ජනතාවට කරන අසාධාරණයක්. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් බහුතරය එක් එක් දිස්ත්‍රික්කයන්හි පළමු වැනි හෝ දෙවැනි මනාප ගත් අය නැතිනම් මනාප ලක්ෂයට වඩා ගත් උදවිය. ඒ අය ජනප්‍රියම පුද්ගලයෝ. ඒ නිසා ජනතා විශ්වාසය දිනාගත් අයගේ මන්ත්‍රීධුර පක්ෂ ව්‍යවස්ථාවට මුවා වෙලා නැති කිරීමට යනවා නම් ඒක මේ රටේ ජනතාවට කරන අසාධාරණයක්.

ශ්‍රී.ල.නි.ප යේ යුතුකම විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීම නම් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ජනසටනට යන්න එපා කියලා නියෝග කරන්නේ ඇයි?

මම මධ්‍යම කාරක සභාවේ හිටපු කෙනෙක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කාරක සභාවේත් හිටියා. ඊට අමතරව ශ්‍රී.ල.නි.ප අනුරාධපුර දිස්ත්‍රික් නායකයා. හැබැයි පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල මහත්තයා ජයගත්තාට පසුව මා වගේම තවත් ශ්‍රී.ල.නි.ප නායකයන් එක පෑන් පාරෙන් මාධ්‍යම කාරක සභාවෙන් එළියට දාලා අලුත්ම මධ්‍යම කාරක සභාවක් පත් කර ගත්තා. ඒ මධ්‍යම කාරක සභාවේ එ.ජා.ප යේ ඉදලා ඒ පක්ෂයත් විනාශ කරලා ආපු අය අද ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවේ ඉන්නවා. ඒ අයගේ තීන්දු අනුව තමයි අපිව විනාශ කරන්න හදන්නේ. ඒක ටිකක් අමාරු කාර්යයක්.

ඔබේ දිස්ත්‍රික් නායකත්වය , මධ්‍යම කාරක සභික ධුරය මේ සියල්ල එක රැයින් නැති වෙනවා. පක්ෂයට වැඩ කරපු ඔබ සමඟ පක්ෂ නායකයන්ගේ තිබෙන ගැටුම මොකක්ද?

මං ආසනයක් නැතිව 2015 මහා මැතිවරණයට තරග කළේ. මගේ තනතුරු හතරක් අහෝසි වෙලා තියෙන්දී මං ඡන්දයට ගියේ. අපි හිතට එකගව පක්ෂ ප්‍රතිපත්ති රැකීම තමයි ඒ අයගේ උදහසට ලක් වෙලා තියෙන්නේ. අපි නිවැරැදි තැන සිටිමින් ශ්‍රී.ල.නි.ප ය ආරක්ෂා කිරීම තමයි අපි දඩුවම් ලැබීමට හේතු වෙලා තිබෙන්නේ.

ආණ්ඩුව කරන්න බැරි නම් රට මට බාර දෙන්න කියලා මහින්ද හිටපු ජනාධිපති කියපු කතාවට දැඩි විවේචන එල්ල වෙනවා?

මහින්ද රාජපක්ෂ අද අභියෝග කරන්නේ එ.ජා.ප ආණ්ඩුවට. ඒකට පිළිතුරු දෙන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉදිරිපත් වීම සුදුසු නෑ.

ජනසටනේදී පපුවට ගහගත් අය කසිප්පු කාරයෝ විදියට ආණ්ඩුවේ නායකයන් හදුන්වනවා නේද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට සාමය දිනා දුන් නායකයා. එතුමා එඩිතර නායකයෙක්. එතුමාට එදා සියලු දෙනා ප්‍රශංසා කළා. අද එතුමා කසිප්පුකාරයකුට සමාන කිරීමෙන් වෙන්නේ එතුමාට තිබෙන අනුකම්පාව තව තවත් වැඩි වීම පමණයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්