දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»

හයිඩ් පිටියේ රැලිය ගැන මෛත්‍රී පිල මත දෙකක

හයිඩ් පිටියේ රැලිය ගැන මෛත්‍රී පිල මත දෙකක

ජනපති මහ ඇමැතිවරු සමග හික්කඩුවේදී....

දින කිහිපයකට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේ පැවැති රැස්වීම පිළිබඳ විවිධ කියවීම්, ඇතිමුත්, එයින් එක් දෙයක් නම් සුපැහැදිලිය. ඒ එය, ශ්‍රීලනිපයේ අභ්‍යන්තර මත ගැටුම තීව්‍ර කළ බවය. වත්මන් පාලනය විවේචනය කරමින් හිටපු ජනාධිපතිවරයා හයිඩ් පිටියේ දී කළ කථාවට “හැරෙන තැපෑලෙන්” පිළිතුරක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා දුන්නේ, අම්පාරේ දීය. අක්කරේපත්තුව, පහළමුනේ මින්හාෆ් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ, “යහපාලන රජය ගඟක් මෙන් ඉදිරියට යනවා මිසක ආපසු හැරවිය නොහැකි බවය. “මොන තාලේ විරෝධතා පෙළපාළි ගියත් මේ ආණ්ඩුව වෙනස් කරන්න හීන දකින්න එපා. මේ වසර පහ අවසානයේ රට සංවර්ධනය වුණහම ජනතාවට එපා වුණ බලවේග ඉතිහාසයේ කුණු කූඩේට වැටේවි” යනුවෙන්, ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාගේ එම “සැර” ප්‍රතිචාරයෙන් පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයට මුහුණ දීමට ඔහුගේ ඇති සූදානම මිසක අන් යමක් නොවේ.

එසේ වෙතත් ශ්‍රීලනිප මහා ලේකම්වරයාගේ නියෝගය නොතකමින් හයිඩ් පිටියේ පැවැති රැලියට සම්බන්ධ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තවමත් ශ්‍රීලනිපය තුළ පැහැදිලි එකඟතාවක් ඇති බවක් නම් නොපෙනේ. පක්ෂයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධාන බල ව්‍යුහය වන මධ්‍යම කාරක සභාව තුළ මේ වන විට ජනාධිපතිවරයා තම ශක්තිය තහවුරු කරගෙන සිටිනමුත්, හයිඩ් පිටියේ රැලියට සම්බන්ධ වූවන් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් කණ්ඩායම තුළ පවා ඒකමතිකත්වයක් නොමැති බව වාර්තා වේ. එම මන්ත්‍රීවරුන්ට එරෙහිව තද පියවරක් ගත යුතු බව පිරිසක් කියද්දී තවත් කණ්ඩායමක මතය වී ඇත්තේ ඉක්මන් එවැනි පියවරක් නොගත යුතු බවය. එය පක්ෂයේ දේශපාලන අනාගතයට මරු පහරක් විය හැකි බව ඔවුනගේ තක්සේරුවයි. යහපාලන වෙනස තහවුරු වීමෙන් පසු යළි ශ්‍රීලනිප දේශපාලනය තුළ ප්‍රධාන චරිතයක් වී ඇති හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය නම් සිටිනුයේ පක්ෂ මහා ලේකම්වරයාගේ නියෝගය නොතකමින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කළ යුතු බවය. මේ තත්ත්වය තුළ ශ්‍රීලනිපයේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම අතිශය තීරණාත්මක එකක් විය හැකිමුත්, එය පැවැත්වෙන දිනය තවම ප්‍රකාශයට පත්ව නොමැත.

චම්පික-ඉසුර හැප්පෙති

සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව බදාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර කැබිනට් රැස්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරු ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. මීට පෙර ද වරින්වර මහ ඇමැතිවරු, කැබිනට් රැස්වීමට සහභාගි වී ඇතිමුත් බොහෝ විට එසේ ඔවුන්ව කැඳවූයේ පළාත් සභා විෂයයනට අදාළ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරන අවස්ථාවක හෝ කිසියම් පළාතක් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත අවස්ථාවක පමණි. නමුත් වත්මන් රජය පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවිය හැකි ගැටුම් අවම කිරීමේ අරමුණින් ඊට වඩා වැඩි නියෝජනයක් ප්‍රධාන අමාත්‍යවරුනට ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

“මහා ඇමැතිවරුන්ට ඇති ප්‍රශ්න කථා කිරීමට මේක අවස්ථාවක් කරගන්න” ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් අනතුරුව මහ ඇමැතිවරු කිහිප දෙනෙකුම අදහස් දක්වන්නට විය. විශේෂයෙන් ම පළාත් සභාහි මූල්‍ය කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයට පැවරීම තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මහඇමැතිවරුන් තුළ වූයේ අප්‍රසාදයකි. ජනාධිපතිවරයා පමණක් නොව අග්‍රාමාත්‍යවරයා ද එය පිළිගත්තේය. “මෙහෙම නැතිව, කලින් තිබුණ විදිහටම බලතල දෙන එක හොඳයි. නැත්නම් බලය බෙදනවා කියමින් දීපු බලය ආපහු ගන්න හදනවා කියලා චෝදනාවක් එන්න බැරි නැහැ” අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

“අද මෙතැන නැති වුණත් විග්නේශ්වරන් මහඇමැතිතුමා වුණත් ඒ යෝජනාවට කැමැති වේවි” ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව මුදල් ප්‍රතිපාදන ඍජුවම පළාත් සභා වෙත ලබාදීමටත් ඊට අදාළ බලතල, පළාත් සභා ලේකම්වරයාට පැවරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි විණි. සෑහෙන සන්සුන්ව ගලා ගිය අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ “රිද්මය” වෙනස් කිරීමට බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය මතු කළ කාරණයක් සමත් විය. “අපි කුණු ප්‍රශ්නය, විසඳන්න මැදිහත් වී සිටිනවා. ඒ නිසා ඒකට අදාළ වගකීම් අපිට අවශ්‍යයි” ඉසුර එසේ කියද්දී චම්පික රණවක අමාත්‍යවරයා ඊට තම විරෝධය පළ කළේය. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාව පළාත් ඇමැති ධුරයෙන් ඉවත් කළ පසු, ඉසුර හා හෙළ උරුමයේ නායකයන් අතර ඇත්තේ එතරම් යහපත් වූ සම්බන්ධයක් නොවේ. “අපේ අමාත්‍යාංශයෙන් මේකට සැලසුමක් හදලා තියෙනවා. අපි ඒක ක්‍රියාත්මක කරන්න ලැහැස්තියි” යනුවෙන් චම්පික පවසද්දී ඔහු හා ඉසුර අතර තරමක උණුසුම් කථාබහක් ඇතිවුව ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තුළ එය එතරම් දුරක් ගමන් කළේ නැත. “හැම දෙනාම එකතු වී කථා කරලා ඔය ප්‍රශ්නය විසඳගන්න” ජනාධිපතිවරයා පැවසුවේය.

අනතුරුව අදහස් දැක්වූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා තම අදහස් දැක්වීම සිදුකළේ පසුගිය දිනෙක මාධ්‍යයන්හි පළව තිබූ පුවතක් පාදක කරගනිමිනි. “මැති ඇමැතිවරුන්ට අයිති අරක්කු තැබැරුම් 100ක් රටේ තියෙනවා ය කියලා පහුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වුණා. මේක සුළුපටු චෝදනාවක් නෙමෙයි. මේ ගැන සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා. ඇත්තටම මේක මේ ආණ්ඩුව කාලේ වුණ දෙයක් ද?” මහින්ද එසේ අසද්දී ජනාධිපතිවරයා පැවසුවේ “මේක අපේ කාලේ වුණ දෙයක් නෙවෙයි” කියාය. මුදල් ඇමැති රවි කරුණානායක ද එය අනුමත කළේය. ඉන් නොනැවති අරක්කු තැබැරුම් හිමි මැති ඇමැතිවරු පිළිබඳ විස්තරයක් ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද මුදල් ඇමැතිවරයා පොරොන්දු විය.

අලුත් ජෝඩුව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වැනි ජන්ම දිනය බ්‍රහස්පතින්දා යෙදී තිබූ අතර, එදින උදෑසන සිටම නොනවත්වා උපන් දින සුබ පැතුම් ඔහුට ගලා එන්නට විය. අග්‍රාමාත්‍යවරයාට එසේ සුබ පැතුවන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විය. අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ චාම් උත්සවයක් අරලියගහ මන්දිරයේ දි පැවැති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඒ අවස්ථාවට එක් විය. “සුබ උපන් දිනයක් වේවා” යැයි කියමින් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතු ජනාධිපතිවරයා “සුබ පතලා විතරක් මදි මට කේක් කවන්නත් ඕනැ” යැයි කියමින් අග්‍රාමාත්‍යවරයාට කේක් කෑල්ලක් ද කැව්වේය. “දැන් ඔබතුමත්, මට කේක් කවන්න ඕනෑ” යැයි අනතුරුව ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර අග්‍රාමාත්‍යවරයා ඒ ඉල්ලීම ඉටු කළේය.

මෙය අසල සිටි මැති ඇමැතිවරුනට රසවත් අත්දැකීමක් වූ අතර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා තම සතුට පළ කළේ “මෙන්න අලුත් ජෝඩුවක්” යැයි කියමිනි. ජනාධිපතිවරයා පිටව ගිය පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පිරිනැමීමට අරලියගහ මන්දිරයට පැමිණියාය. මේ අතර බ්‍රහස්පතින්දාට යෙදුණු ජන්ම දිනය නිමිත්තෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබිණි. “කිරිබත සෞභාග්‍යයේ සංකේතයයි. සෞභාග්‍යය, පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් උදාකළ හැක්කක් නොවේ. එය රටක්, ජාතියක් ලෙස එකට බැඳී සාක්ෂාත් කරගත යුත්තකි. එවන් සෞභාග්‍යයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබාදීම මගේ උපන් දින අධිෂ්ඨානයයි.”

පළාත් මහා ඇමැතිවරුන්ගේ වාර්ෂික සමුළුව, පසුගිය විසිඑක් වැනිදා හික්කඩුවේ දී පැවැත්විණි. සමුළුව සඳුදා පැවැතිය ද ඊට පෙර දිනයේ පළාත් මහා ඇමැතිවරු සිය ඥාති හිතමිත්‍රාදීන් හා නිලධාරීන් ද කැටුව එහි පැමිණ සිටියහ. එසේ පැමිණ “පිටස්තරයන්” වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් දකුණු පළාත් මහා ඇමැති ශාන් විජයලාල් ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. කෑමෙන් බීමෙන් අඩුවක් නොතිබූ එම රාත්‍රිය වර්ණවත් කළ ගායකයන් අතර, උතුරුමැද මහ ඇමැති පේෂල ජයරත්න ද විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා වූ පසු දින සමුළුවට පළාත් අටක් නියෝජනය කරමින් මහ ඇමැතිවරු එක්ව සිටියහ. උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා පමණක් ඊට එක්වූයේ නැත.

මහින්ද - රන්ජිත් හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පසුගිය විසි දෙවැනිදා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් රැසකට සම්බන්ධ විය. ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු මහා දේවාල භූමියේ පිහිටි අෂ්ටඵල බෝධියට පැමිණි ජනාධිපතිවරයා බෝධි පූජා පිංකමකට එක් විය. ඒ වන විට වේලාව රාත්‍රී අට පමණ වී තිබිණි. රාජ්‍ය පරිපාලන ඇමැති, රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද ඒ අවස්ථාවේ අෂ්ටඵල බෝධිය වන්දනාමාන කරමින් සිටි අතර පසුව ඔහු ද හිටපු ජනාධිපතිවරයා හා එක්ව ආගමික වතාවත්හි නිරත විය. ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනෙකු එකට සිටිනු දුටු, දේවාල භූමියේ සිටි බැතිමතුන් සිය ජංගම දුරකථන ඔස්සේ එය හසුකර ගැනීමට කටයුතු කළේය. “මාධ්‍යවේදියොත් ඉන්න නිසා අපි හම්බ වුණ එක ඇමැතිතුමාට ප්‍රශ්නයක් වෙයි ද දන්නේ නැහැ” හිටපු ජනාධිපතිවරයා පැවසුමුත් රංජිත් සැහැල්ලුවෙන් පැවසුවේ, එවැනි අවදානමක් නොමැති බවය. “මේක පොදු තැනක් නේ” අමාත්‍යවරයා පැවැසීය.

එල් ටී ටී ඊයේ දේශපාලන අංශයේ නායිකාව වූ තමලිනි මියයෑමට පෙර, රචනා කරන ලද කෘති දෙකක් එළිදැක්වීම පසුගිය දා කිලිනොච්චියේ දී සිදුවිණි. ඇගේ සැමියා වූ එස්. ජෙයකුමාර් විසින් ප්‍රකාශයට පත්කළ මෙම කෘති නම් කර ඇත්තේ “ඔරු කුර්වාලීන් නිලලීල්” (තියුණු අසිපතක සෙවණැල්ලේ සිට) හා පෝර්ක් කාලම් (යුද සමය) නමිනි. දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන අතරතුර තම කෘති මඟින් සාම ක්‍රියාවලිය අසාර්ථක එකක් බවට පත්කිරීමට ප්‍රභාකරන් ඉටුකළ කාර්යභාරය තමලිනි දැඩිව විවේචනය කර තිබේ. ඒ තත්ත්වය තුළ විශේෂයෙන්ම දෙමළ සමාජය තුළ මෙම කෘති ද්විත්වය සෑහෙන ආන්දෝලනයකට ලක්විය හැකිය. අමාත්‍ය මනෝ ගනේෂන්ගේ මැදිහත් වීම තුළ මේ වන විට මෙම කෘති සිංහල භාෂාවට පරිවර්තනය වෙමින් ඇති අතර ඊට උර දී සිටිනුයේ යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල්ය. මනෝගේ එම මැදිහත් වීම සම්බන්ධයෙන් පවා එල් ටී ටී ඊ හිතවාදීහු සාහසිකව ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරය සයිබර් අවකාශය පරිශීලනය කරන්නෙකුට මේ දිනවල දැකගත හැකිය.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයක් දිනාගැනීමේ සටනට මුල පිරුවේය. මේ සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ ද පුළුල් ආකාරයෙන් සාකච්ඡාවට භාජනය වූ අතර පක්ෂ නායක අනුර දිසානායක පසුගිය දා කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා පක්ෂයේ ස්ථාවරය කියා සිටියේය. “ආණ්ඩුවට මැතිවරණය කල් දාන්න අයිතියක් නැහැ. මේ ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුව වගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්කත් ජනතාවගේ අයිතිවාසිකම් එක්කත් සෙල්ලම් කරන්න පටන් අරගෙන. ඒකට අපි ඉඩ තියන්නෙ නැහැ. මැතිවරණයක් දිනා ගැනීමට අපි ජනතාවත් එක්ක පාරට බහිනවා” ඔහු එහිදී පැවැසීය.

මැතිවරණය කල් දැමීමත් පළාත් පාලන නව පනත පිළිබඳවත් ජවිපෙ නායකයින් අතර වූ දීර්ඝ සාකච්ඡාව ඇරඹුවේ පක්ෂ මහාලේකම්වරයාය. “අලුත් පළාත් පාලන පනතට අනුව ඡන්දය පැවැත්වූවොත් කුඩා පක්ෂවලට විශාල පාඩුවක් වෙනවා. ආණ්ඩුව මේ හදන්නේ අනෙක් පක්ෂ අතුගාලා දාන්න. ඒකට ඉඩ දෙන්න බැහැ.” ටිල්වින් කියා සිටියේය. “ඔව්, ප්‍රධාන පක්ෂ දෙකේ වාසියට දැන් එකතු වෙලා තීරණ ගන්නවා. මේ පනතේ අඩුපාඩු හදන්න ආණ්ඩුව පොරොන්දු වුණා. දැන් ඒවා ගැන කිසි කතාවක් නැහැ. අපි මේ මාතෘකාව උඩට ගන්න ඕනෑ. මේ ජනතාවට ඍජුවම දැනෙන ප්‍රශ්නයක්. මොකද ජනතාවගේ දෛනික කටයුතුවලට මැදිහත් වෙන්නේ පළාත් පාලන ආයතනයි.” අනුර දිසානායක යෝජනා කළේය.

“අපි මේ ගැන නිශ්චිතවම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ස්ථාවරය දැනගන්න ඕනෑ. ඒ නිසා අපි සාකච්ඡාවක් ඉල්ලමු.” බිමල් රත්නායක කීවේය. “ජනාධිපතිවරයා වෙනමත් අගමැතිවරයා වෙනමත් හමුවෙන්න වෙලාවක් ඉල්ලමු. මොකද ඒ සාකච්ඡාව වැදගත් ඉදිරි ක්‍රියාමාර්ගවලට.” හිටපු මන්ත්‍රි ලාල්කාන්ත ද එය අනුමත කළේය. “ඒ විතරක් නෙවෙයි, අනෙක් දේශපාලන පක්ෂ සමගත් මේ සාකච්ඡාවක් කරන්න ඕනෑ. ඒ වගේම සිවිල් සංවිධාන එක්කත් මේ ගැන සාකච්ඡාවක් කරලා ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියලත් දැනගන්න ඕනෑ.” විජිත හේරත් කතාබහට එක්වූයේ ඒ ආකාරයටය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, අනෙකුත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන හමුවීමට දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට තීරණය විය.

මිරිස් ඇඹරිල්ල පාරා වළල්ලක් වෙයි ද?

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නට එරෙහිව ඌව පළාත් සභා මහ ඇමැතිවරයා සීනිගම දේවාලයේදී මිරිස් ඇඹරීමට පසුගිය දා කටයුතු කළේය. ඒ, සමන්ත විද්‍යාරත්න තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළ බව ප්‍රකාශ කරමිනි. සමන්තගේ චෝදනාව වූයේ, ඌව පළාත් සභාවට අයත් ස්ථාවර මුදල් තැන්පතු කිහිපයක් කල් පිරීමට ප්‍රථම ඉවත් කර ගැනීම නිසා පළාත් සභාවට ලක්ෂ සියයකට අධික ලාභයක් සිදුව ඇති බවය. එපමණක් නොව පළාත් සභාවට අයවිය යුතු ප්‍රදානයක් මහ ඇමැතිවරයාගේ ගිණුමකට බැර කරගත් බවට ද සමන්ත විද්‍යාරත්න චෝදනා කරයි. මහ ඇමැතිවරයා දේවාලයේ මිරිස් අඹරනවා දුටු පුද්ගලයෙක් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිවරයාට අපූරු පණිවිඩයක් දුරකතන මාර්ගයෙන් ලබා දුන්නේය. “මන්ත්‍රීතුමා ඌවේ මහ ඇමැති ඔබතුමාට විරුද්ධව මිරිස් අඹරනවා. මාධ්‍යයත් ඇවිත් තියෙන්නේ. ඔබතුමාට බලාගන්නත් පුළුවන් වෙයි. ඒත් මහ ඇමැතිතුමා ආපස්සටත් මිරිස් ඇඹරුවා. ඒ නිසා ඔබතුමා බයවෙන්න එපා. එතුමටම ඒකේ විපාක ලැබෙයි.” දේවාලයේ සිට දුරකතනයෙන් ඇමතු පුද්ගලයා කීවේය.

මේ වන විට විද්‍යාරත්න මේ පිළිබඳව කෝප් කමිටුවට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ අතර පසුගිය දා මහ ඇමැති චාමර සම්පත් දසනායක රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ද වේදිකාවේදී සිටියදී අභියෝගයක් කළේය. “සමන්ත කියනවා මම හොරකම් කළා, අයථා ගනුදෙනු කළා කියලා. මම සමන්ත මන්ත්‍රීතුමාට කියනවා ඒ බව ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා කියලා. ඒ වගේම ඔප්පු කරන්න බැරි වුණොත් එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ” ඇමැතිවරයා කීවේය. මේ අභියෝගය භාරගත් සමන්ත විද්‍යාරත්න ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්නත් ඔහු සතුව ඇති ලිඛිත තොරතුරු හෙළිදරව් කරන්නත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළේය.

ලුසාකාහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ මෙහෙයුමක්

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක විසින් වී වගා කරන බිම් ප්‍රමාණය අඩු කිරීමට කරන ලද ඉල්ලීම පිළිබඳව ගොවීන්ගේ විරෝධයක් මතුව තිබේ. මේ දිනවල පොහොර අර්බුදය සම්බන්ධයෙන් විශාල අරගලයක් මතුවී තිබියදී ඇමැතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ කිරීම ගොවි විරෝධයට හේතු වී තිබේ. මේ සම්බන්ධයෙන් ගොවියන් පිරිසක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගෙන් ද විමසුවේ දැන් පැවැත්වෙන කමත් සභාවකදීය. “නාමල් මහත්තයෝ දැන් අපිට පොහොර ටික නැතුව අමාරුවේ වැටිලා ඉන්නවා. ඒ තියෙද්දී දුමින්ද ඇමැතිතුමා කියනවා වී වගාව අඩු කරන්න කියලා. මේක හතර බිහිරි කතාවක්.” ගොවි සමිතියක නායකයෙක් විමසා සිටියේය.

“මේ ආණ්ඩුවට ඕනෑම දෙයකට කියන්න දෙයක් තියෙනවා. කිතුල් ගහේ නැඟපු මිනිහා වගේ. වගාව නවත්වන්න කියන්න ඇමැතිවරයෙක් රටකට ඕන නැහැ. වී වගාව වැඩි කරලා ආනයනය අඩුකරන්න කටයුතු කරන්නෙ නැතිව හාල් ආනයනය කරමින් රටේ වගාව අඩු කරන්න යනවා. බත් කන ඇමැතිවරු මේ කතාව කියන්නෙ නැහැ” නාමල් කරුණාරත්න කීවේය. “ඇමැතිතුමා කියන්නේ වී මිල වැඩි කරන්න තමයි අස්වැන්න අඩුකරන්න ඕනෑ කියලා. ඇමැතිතුමා පැහැදිලි කරන්න ඕනෑ වගා කරන ප්‍රමාණය අඩු කරලා වී මිල වැඩි කරන එක රටට උත්තරයක් වෙන්නෙ කොහොම ද කියලා.” තවත් ගොවියෙක් කීවේය.

ගෙවී ගිය සතියේ රටවල් 134ක කථානායකවරුන් සහ පාර්ලිමේන්තු නියෝජිතයින් 2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ සමුළුව සඳහා සැම්බියාවේ ලුසාකා නුවර බලා පිටත්ව ගිය කථානායකවරයා ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස එහිදී මෙරට කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු කරවා ගැනීමට සමත් වූහ. ලුසාකාහි මුළුන්ගෂ් සම්මන්ත්‍රණ ශාලාවේ දී සැම්බියානු ජනාධිපති එඩ්ගාර් චග්වා මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු සමුළුවේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සුපැහැදිලි, සුබවාදී චිත්‍රයක් ගොඩනැඟීමට කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිසට හැකිවූ බව දෙස් විදෙස් මාධ්‍ය සවිස්තරාත්මකව වාර්තා කර තිබිණි.

නව පාර්ලිමේන්තුව කිසිදු ආකාරයක මානව හිමිකම් උල්ලංඝනයක් සඳහා ඉඩ නොතබන බව කමිටුව හමුවේ සපථ කළ කථානායකවරයා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය හා පරමාදර්ශීභාවය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර ද එකින් එක පැහැදිලි කළේය.

අන්තර් පාර්ලිමේන්තු සමුළුවේ සමාප්තිය නියමිතව තිබුණේ 23 වන බදාදා සන්ධ්‍යාවේය. නමුත් එම දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද තමාගෙන් ඉටුවිය යුතු විශේෂ කටයුතු කිහිපයක් ඇති බව දැන සිටි කථානායකවරයා සමාප්ත උලෙළට සෙසු නියෝජිතයින්ව නතර කර ශ්‍රී ලංකාව බලා පිටත් විය.

මේ අතර බදාදා පස්වරුවේ කථානායක නිල මැදිරියේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවූ කථානායකවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සංශෝධනයට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව කළ යෝජනා පිළිබඳ යළි සලකා බැලීම සුදුසු බවය.

“අවුරුදු 09කින් මන්ත්‍රිවරුන්ගේ දීමනා වැඩි වෙලා නැහැ. සමහර මන්ත්‍රීවරුන්ගේ ජීවන තත්ත්වය තුළ මහජන සේවයේ යෙදෙද්දී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් තිබෙන බව ඇත්ත. නමුත් අපි සියලු දෙනාම මහජන නියෝජිතයන් ලෙස මහජන අදහස්වලටත් කන් දීම කළ යුතුයි. මේ ගැන යළි සලකා බැලීම සුදුසුයි කියලා මම ඔබතුමාලාට යෝජනා කරන්න කැමැතියි.”

අනතුරුව සියලු පක්ෂ නායකයින් සෑහෙන වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකමතිකව එකඟත්වයකට පැමිණියේ දීමනා සංශෝධනයට ඉදිරිපත් කළ යෝජනාව අත්හිටුවීමටය.

කරුගෙන් යෂ්ටිය අතට ගත් ගයන්ත

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත පිළිබඳ සංවාදය දශකයකටත් වඩා පැරැණි එකකි. විටින් විට උඩ යට යමින් තිබුණු මේ කාර්ය යහපාලන රජය බලයට පත්වීමත් සමඟ ඉටුකර ගත හැකි වනු ඇතැයි බොහෝ සමාජ බලවේගවල අපේක්ෂාව විය. පළමුව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත එවකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කරු ජයසූරිය මහතාය. පසුව රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙසත්, මේ පිළිබඳව ඉදිරි පියවර කිහිපයක් තැබීමට ජයසූරිය මහතා සමත් විය.

අනතුරුව මෙම වගකීම උර මතට ගත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බ්‍රහස්පතින්දා පෙ.ව. 10.15 ට පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක් විය. එහිදී පනත ඉදිරිපත් කරමින් කතා කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කීවේ,

“ගරු කථානායකතුමනි... ඔබතුමා දිගු කාලයක් සිට උත්සාහ කළ ඔබතුමාගේ ද සිහිනයක් බවට එදා පත්ව තිබුණු යහපාලනයේ ප්‍රධානතම කොටසක් වුණ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත, ඓතිහාසික පනත් කෙටුම්පතක් ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රේෂ්ඨ අංගයක් ලෙසත්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දවසේ මා ඉතා සතුටින් යුතුව ඉදිරිපත් කරමි.” කියාය.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 440 වැනි පොලිස් ස්ථානය පසුගිය දා විවෘත වුණේ වීරවිල නගරයේදීය. ප්‍රධාන ආරාධිතයා ලෙස සාගල රත්නායක ඇමැතිවරයා සහභාගි වූ මෙම උත්සවයේ පොලිස්පතිවරයාගේ කථාවේදී සඳහන් වුණේ මීට මාස 10කට පෙර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අතින් මුල්ගල් තැබුණු මෙම පොලිස් ස්ථානය ඉතා කෙටි කලකින් ඉදිකර වාර්තාවක් තබා ඇති බවයි. ඔහු එසේ කියද්දී චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සජිත්ගේ කනට ළංවී කීවේ, “ඔයා මුල්ගල තිබ්බට මම ළඟින් හිටපු නිසයි වැඩේ ඉක්මනින් කෙරුණේ” කියාය.

සජිත්, චමල්ට කළ යෝජනාව

සජිත් ඊට පිළිතුරු දුන්නේ සිය කතාවේදීය. සජිත් චමල්ට කීවේ, “මං බොහොම ආදරයෙන් ආරාධනා කරනවා ඔබතුමාට, වෙනත් වේදිකාවලට නඟින්න යන්නෙ නැතිව මං ළඟින් සදාකාලිකවම ඉන්න කියලා. එතකොට මුළු තිස්සමහාරාමයට, ගිරුවාපත්තුවටම, මාගම් පුරවරයටම යහපතක් වෙයි කියලා මං විශ්වාස කරනවා” කියාය. සජිත් එහිදී සිහිපත් කළේ අද පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණයෙන් මුදා ගත හැකි වීම නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පුටුවල හිඳගෙන නියෝග දීමට දේශපාලනයන්ට ඉඩක් නැති බවය. “දැන් පොලීසිය ලවා මන්ත්‍රීවරුන්ගේ රැස්වීම් සංවිධානය කරන්නත් බෑ. අද නීතිය ඉදිරියේ හැම පුරවැසියාම එක හා සමානයි” ඔහු කීවේය.

මේ අතර සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුරාධපුර “ගම් උදාව” සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ අතර අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති කමිටුවෙන් ද ඒ වන විටත් ඊට අනුමැතිය හිමිව තිබිණි. මෙවර “ගම් උදාව” වැඩසටහන නිමිත්තෙන් රට පුරා නව උදා ගම්මාන 200ක් ඉදිකිරීමටත් ඉන් ගම්මාන 44ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, 22ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, නිකවැරටිය හා යාපහුව මැතිවරණ කොට්ඨාස අයත් වන්නි හත්පත්තුවේත් ඉදිකිරීමට නියමිතය. විශේෂත්වය වනුයේ ‘ගම් උදාව’ යටතේ රජයේ මුදල් සෑම රුපියලක්ම වැය කරනුයේ නිවාස තැනීම සඳහා පමණක් වීමය. ‘ගම් උදාව’ වැඩසටහනේ සෙසු සියලු ක්‍රියාකාරකම් සඳහා මුදල් යොදවනු ඇත්තේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් විසිනි. මේ සියල්ල වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරද්දී සජිත් බෙහෙවින්ම හැඟුම්බරව සිටියේය.

ගෙවුණු සතිය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අවිවේකී සතියක් විය. ඒ උත්සව ගණනාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබු බැවිනි. 19 වනදා එක්සත් ජාතික පක්ෂ බිබිල ආසන බල මණ්ඩල රැස්වීම ප්‍රධාන සංවිධායක හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා මහතා සංවිධානය කර තිබු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ මද්දුම බණ්ඩාර මහතාය. මෙම හමුව සඳහා පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර පක්ෂයේ ලෙස ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳ පක්ෂ ක්‍රියාකාරින්ව එහිදී දැනුවත් කරන ලදී. මොනරාගල දිස්ත්‍රික්කයට බලපාන ප්‍රශ්න ගණනාවක් පිළිබඳ මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කළ අමාත්‍යවරයා සමෘද්ධි අමාත්‍ය එස්. බී. දිසානායක අමාත්‍යවරයාට පුංචි නෝක්කාඩුවක් ද කීය. “මේ ජනාධිපතිතුමාව හංසයාගෙන් බලයට ගෙන ඒමේදී මහා කැපකිරීමක් කළේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්. එහෙම බලයට ගෙනාපු නිසයි රටේ මේ වෙනස ඇතිකරන්න පුළුවන් වුණේ. හැබැයි තාම මේ ප්‍රදේශවල සමෘද්ධි නිලධාරීන් තවම පරණ පීල්ලෙමයි යන්න උත්සාහ කරන්නේ. එස්. බී. ඇමැතිතුමත් දැනගන්න ඕන එතුමා අද ඇමැතිකම දරන්නේ අපේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරපු නිසා කියලා. ඉදිරියේදීවත් සමෘද්ධි සහන දෙනකොට අප පක්ෂයට සම්බන්ධ දිළිඳු ජනතාවටත් මේ සහනය ලබා දෙන්න කටයුතු කරයි කියල අපි විශ්වාස කරනවා” අමාත්‍යවරයා පැවැසීය.

21 වැනිදා පෙරවරුවේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමාත්‍යවරයා ගියේ පවුල් 90කට නිවාසාධාර බෙදා දීම සඳහා වූ උත්සවයකට සහභාගි වීම සඳහාය. එහිදී මොනරාගල දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ එම ආයතනයේ කාර්යභාරය පිළිබඳ හෙළිදරව් කිරීමක් අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. “පහුගිය කාලේ මේ කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙක් හිටියා. ඔහුගේ කාර්ය වුණේ නිවාස සංවර්ධන කාර්ය කිරිම එහෙම නොවෙයි. ඔහු කළේ මළගෙවල්වලට මල් වඩම් ගෙන යන එකයි. තමන්ගේ වාහනයට අධිකාරියේ මුදල්වලින් ඉන්ධන ගහගන්න එකයි. මේ දිස්ත්‍රික්කයේ අර්ධ නිවාස 45000, පැල්පත් 8000, නි‍ෙවසක් නොමැති පවුල් 9100 ජීවත් වෙනවා. නිවාස ඇමැතිතුමාවත් එකතු කරගෙන මේ ජනතාව නඟා සිටුවීමට පියවරක් ගන්න අපි සූදානම්.” මෙහිදී රට පුරා ඇතිවෙමින් තිබෙන ගොවි උද්ඝෝෂණ පිළිබඳව අමාත්‍යවරයා අදහස දැක්වූයේය. “පොහොර සහනාධාරය පිළිබඳව මේ දවස්වල ලොකු උද්ඝෝෂණයක් ඇතිවෙලා තියෙනවා. කොහොම වුණත් ලබන මාසේ 4 වැනිදායින් පස්සේ ගොවින්ගේ ගිණුම්වලට මුදල් ටික වැටෙනකොට ඔය උද්ඝෝෂණ ඉබේම නතර වෙයි. පහුගිය කාලේ ගොවි සහන සඳහා වෙන් කළේ කෝටි 3500ක මුදලක්, නමුත් අපේ රජය කෝටි 3800ක් වෙන්කරලා තියෙනවා. මේ සහන ගොවින් අතට එනකොට මේ අයටම තේරෙයි ඒ අයට ඇත්තටම ආදරේ අපි ද එහෙම නැතිනම් මේ අයව පාර බස්සන අය ද කියලා.”

එදිනම හවස බඩල්කුඹුර, මඩුකොටන්ආර සංවිධානය කර තිබූ විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමට අමාත්‍යවරයා පිටත්ව ගිය අතර එය ඇරැඹීමට නියමිතව තිබුණේ සවස 2ටය. කෙසේ වෙතත් දිනය පුරා විවිධ කාර්යයන්වල නිරත වූ මද්දුම බණ්ඩාර මහතා එම ස්ථානයට ‍යන විට තරමක් ප්‍රමාද වී තිබිණ. අමාත්‍යවරයා එම ස්ථානයට යන විට එහි ඉතා අවාසනාවන්ත සිද්ධියක් සිදුව තිබිණි. මෙම උත්සවයට ආරාධනා ලැබ එහි පැමිණ සිටි සුමේධා ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියට තැඹිලි ගෙඩියක් කඩා දීමට ගිය ගම්වැසියකු ගසෙන් වැටි ඊට සුළු මොහොතකට පෙර මිය ගොස් තිබිණි. මේ සියල්ල අවසානයේ සවස 2.45 ට පමණ උත්සවය ඇරැඹි අතර මෙම උත්සවයට පැමිණ සිටි බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පිළිබඳ යම් කථාවක් ඇතිවිණි. එහිදී ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරයෙකු සුමේධා අමාත්‍යවරියට පවසා සිටියේ, “ඇමැතිතුමිය හිටියට වැඩක් නෑ. සභාපතිතුමාට මනමාලියෙක් හොයල දෙන්න තවම බැරි වුණානේ” කියද්දී මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින්, “ඒ ගැන ඇමැතිතුමිය කලබල වෙන්න එපා. මෙයාට හොඳ මනමාලියෙක් හොයල කසාද බන්දල අපේ පක්ෂෙට මම ගන්නම්” කියාය. “අද මොනරාගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රධාන සංවිධායක සුමේධා නෝනා බිබිල ප්‍රධාන සංවිධායක සොයිසා මහත්තයා, වැල්ලවායේ ප්‍රධාන සංවිධායක පුෂ්පකුමාර මහත්තයා ඔක්කොම අපේ පැත්තේ. අද මොනරාගලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක කෙනෙක් නැතිවෙලා. ඔක්කොම ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක එකට රට ගොඩනැඟීමේ කාර්යයට එකතු වෙලා” උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්