ඇද ඇරිය යුතු වවුචර් ව්‍යාපෘතිය
ඇද ඇරිය යුතු වවුචර්
ව්‍යාපෘතිය
සිසුන්,
මවුපියන්,
විදුහල්පතිවරුන්,ගුරු භවතුන්,
රෙදි කඩ හිමියන් හැමගෙන් මැසිවිලි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා රටක් කලඹන අපූරු තීන්දු තීරණයනට
පැමිණියේය. ඒ වෙනකක් නොව පාසල් සිසුන්ට නිල ඇදුම් රෙදි වෙනුවට මුදල් වවුචර්
පත් ලබා දීම ය. අපට මතක ඇති කාලයක පටන් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලැබුනේ ය.
නමුත් කවුරුත් එසේ ලැබුණු රෙදි කෑල්ල ගත්තා විනා ආඩපාලිකීවේ නැත.
සමහරුන්ට
ලැබුණු රෙදි කෑල්ල ඇඳුමක් මසා ගන්නට මදි විය. තවත් සමහරුන්ට රෙදි කැල්ල ලැබුණේ
ඇඳුම මසා ගත්තාට පසුවය. තවත් සමහරුන්ට ලැබුණු කලිසම් රෙද්දේ පාට වෙනස් ය. මේ
හැමෝටම වඩා බලවත් වූයේ ලැබුණු රෙද්ද බාල වර්ගයේ වීම ය. නමුත් කවුරුත් හා හූවක්
නැගුවේ නැත. නව අධ්‍යාපන අමාත්‍යවරයාට මේ වෙනස දැනුණු නිසාදෝ ඔහු සිය ධූරයේ
වැඩ බාරගත් පසු මුල් ම වෙනසකට මුල පිරුවේ නිලඇඳුම් රෙදි දීම නවතා ඒ වෙනුවට
මුදල් වවුචර පත් ලබා දීම ය. අලුත් කලබැගෑනියකට මුල පිරුණේ එතැන් සිටය.
පාසල් නිවාඩුවට පෙර නිලඇඳුම් රෙදි බෙදා දිය යුතු වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය
මේ තීරණයට පැමිණියේ දෙසැම්බර් නිවාඩුවට ඔන්න මෙන්න කියා තිබිය දී ය. කාලයත්
සමඟ පොර බැඳිමට සිදුවීම නිසා ක්‍රියාවට නැඟීම හදිසියේ සිදුවිය. පාසල්
නිවාඩුවට කලින් මේ වවුචර් පත් බෙදා දෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි වුවද
බොහෝ අඩුපාඩුකම් දිස්වූයේ නොසිතු පරිදී ය. තියෙන දෙයක් ක්‍රියාත්මක කීරිමට වඩා
අලුතින් දෙයක් හඳුන්වා දීම අසීරු ය. අලුතින් දෙයක් හඳුන්වා දීමේදි කලබැගෑනි
ඇතිවීම ස්වභාවිකය.
ලක්ෂ 43 ක් වන රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන්ට, අනුමත පිරිවෙන් වල ඉගෙනුම
ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට, අනුමත පෞද්ගලික පාසල් වල සිසුවියන්ට නිල ඇඳුම්
රෙදි වෙනුවට වවුචර පත් බෙදා දෙන්නට රජයටද හේතු කාරණා තිබිණි. හොඳම දේ පාසල්
දරුවන්ට ලබා දිම රජයේ වගකීමකි. නිල ඇඳුම් රෙදි වෙනුවට ඒ රෙදි ගන්නට මුදල් ලබා
දුන්නොත් දෙමව්පියන්ට හොඳම රෙදි තෝරා බේරා අරගෙන දෙන්නට හැකියාව පවතින බව රජය
සිතන්නට ඇත. තාක්ෂණය දියුණු වකවානුවක ගත හැකි හොඳම ක්‍රියාමාර්ග තිබියදී ඒ
විසදුම කොළ කැබැල්ලකට සීමා අධ්‍යාපන අමාත්‍යාංශයට වැරදුණ තැනය.
එදා හැමෝටම රෙදි කැබැල්ලක් ලැබුනත් මුදල් වවුචර් පත හරහා මෙදා ගොඩ නැගුණු
විෂමතා බොහෝ ය. සමහරුන්ට මදි නොකියන්නට වවුචර් පතින් රෙදි ගන්නට මුදල් ලැබුනේ
ය. තවත් සමහරුනට ලැබුණු වවුචර් පතින් ඇඳුමේ භාගයකටවත් අවශ්‍ය රෙදි ගන්නට
මදිය. මේ දෙමව්පියන්ගේ චෝදනාය. සිසුවාට අවශ්‍ය රෙදි මිම්ම ගැනුණේ සිසුවාගේ
ඇඟපත මිම්ම අනුව නොව ඔහු ඉගෙන ගන්නා පන්තිය අනුවය. මේ දෙමව්පියන්ගේ තවත්
චෝදනාවකි.
1 සිට 5 දක්වා පන්තියේ ඉගෙනුම ලබන පුතාට හිමි වන්නේ රුපියල් 200 හා
250 මුදලකි. ඒ රුපියල් 200 න් මැසූ කම්සයක් හෝ කමිස රෙද්දක් මිලදී ගන්නටත්,
රුපියල් 250 න් මැසූ කලිසමක් හෝ එම රෙද්දක් මිලදි ගන්නටත්ය. අද වෙළෙඳ පොළ මිල
ගණන් අනුව හොඳ සුදු රෙදි මීටරයක්ම රුපියල් 300 කට වැඩි ය. 1සිට 5 දක්වා වුවද
සමහරුන්ට කමිසය මසා ගන්නට රෙදි මීටරය ප්‍රමානවත් නැත. කලිසම් රෙද්දටද ඒ
සන්තෑසියමය. වයස 1 සිට 5 දක්වා ගැහැනු දරුවන්ට සුදු ගවුමක් මසා ගන්නට දී ඇත්තේ
රුපියල් 400 කි. ඇඟපත හැදුණු වැඩුණු දරුවෙකුට හැර බොහෝමයක් අයට සුදු ගවුමක්
මසා ගන්නට නම් අවම වශයෙන් රෙදි මීටර දෙකක් නම් නැතුවම බැරි ය. ඒ සඳහා අවම වශයෙන්
රුපියල් 600 ක්වත් අවශ්‍යයය. මේ වවුචර් පත් ලබා දීම හරහා සිදුවූයේ රෙදි
කප්පාදුවකි.
1 සිට 5 දක්වා මුස්ලිම් පාසල් වල ඉගෙන ගන්නා මුස්ලිම් දරුවන්ට රුපියල් 600 ක්
හිමිවූයේ ෆර්දාවටත් සමඟය . මෙයද බොහෝ දෙනාගේ දැඩි විවේචනයට බඳුන් වූවකි. ඒ
මුස්ලිම් සිසුන්ට වැඩි මුදලකුත් සිංහල සිසුන්ට අඩු මුදලකුත් දීමය.
එසේ නම්
සිංහල සිසුන්ටත් ළමා සාරිය හා ආර්ය සිංහල ඇඳම අන්දවන්නට බැරි ඇයිදැයි ඔවුහු
තර්ක විතර්ක නඟති. 10 සිට 13 දක්වා පන්තියක ඉගෙන ගන්නා පිරිමි ළමයෙකුට රුපියල්
750 ක්ද එම වයසේම ගැහැනු ළමයෙකුට රුපියල් 600 ක්ද එම වයසේම සාය හැට්ට අඳින
ගැහැනු ළමයෙකුට රුපියල්1000 ක්ද ෆර්දාව අඳින ළමයෙකුට රුපියල් 800 ක් ද සහිත
මුදල් වවුචර් පතක් හිමිවිය. මේ වවුචර් පත හරහා ජාතිවාදි හැඟීම් මතු කිරීම
විහිළුවට බඳුන් කළ යුතු කරුණක් වුවත් මෙලෙස තීන්දු තීරණයකට පැමිණි මුදල්
බෙදීමේ ක්‍රමය නම් ලබන වසරේදි සංශෝධනය විය යුතුමය.
මේ වවුචර් පත් හරහා රෙදි මිලදී ගත හැකි රෙදි සාප්පු මොනවාද යන්න දෙමව්පියන්ට
තවමත් ගැටලුවකි. ගුරුවරු දෙමව්පියන්ට පවසා ඇත්තේ ඕනෑම රෙදි කඩයකික් මෙය
මිලදී ගත හැක් බවයි. තවත් අය පවසන්නේ එම රෙදි සාප්පු පළාත් අධ්‍යාපන කාර්යාල වල
ලියාපදිංචි විය යුතු බවයි.
අධ්‍යපන අමාත්‍යාංශය පවසන්නේ පෙබරවාරි මස 28
වැනිදාට පෙර රටපුරා පිහිටි 300 කට වඩා ඇති ස.තො.ස වෙළෙඳසැල් වලින් මිලදි ගත
යුතු බවයි. අද රෙදිත් විකුණන ස.තො.ස වෙළෙඳ සලක් සෙවීම කළුනික සෙවීමටත් වඩා
අමාරු ය. වෙනදාට අතට ලැබුණු රෙදි කැබැල්ලේන් සුදු ඇඳුමක් මසා ගත් දෙමව්පියන්ට
අද සිදුවී ඇත්තේ ලබා දී ඇති මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරමින් රෙදි සාප්පු
සොයා යන්නටය. වවුචරය නොගෙන අතේ ඇති මුදලින් ළඟම කඩයකට ගොස් රෙදි කැබැල්ලක්
ගෙන ඇඳුමක් මසා ගත්තත් දෙමව්පියන්ට ඊට වඩා ලාබ ය.
මෙම වවුචර දෙමව්පියන්ට ලබා
දී ඇත්තේ පාසල් නිවාඩුවට පෙර දින දෙමව්පිය රැස්වීමේදී ය. බොහෝමයක් පාසල් වල ,
විශේෂයෙන් බස්නාහිර පළාත් කාන්තා පාසල් වල දෙමව්පියන්ට වවුචර් පත ගන්නට දින
දෙක තුන රස්තියාදු වීමට සිදුවිය. ආරංචි වූ අන්දමට හේතුව බව කියන්නේ නම් බෙදා
හැරීමේදි වවුචරකිහිපයක් අස්ථානගත වීමය. අවසානයේ දෙමව්පියන්ට සිදුවූයේ
ලැබෙන මුදලට වඩා ඇති පදමට රස්තියාදු වන්නටය. සමහරක් වවුචර් එපා කියමින්
හැරී යන්නට විය.
වසර අවසානයේ ගුරුවරුන්ට ඇති වැඩ කන්දරාව මදිවට වවුචර් බෙදා දීමට සිදුවීම
බොහෝමයක් ගුරු විදුහල්පතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ඒ තිබෙන වැඩ
මදිවට අමතර රාජකාරියක් පැවරීම හා විශාල වගකීමක් ඔවුන් මත පැටවීමය. මේ
ක්‍රමය හරහා ලක්ෂ ගණනක් වූ මුදල් වවුචර් පත් බෙදා දීමේදි නොදැනුවත්වම යම්
ප්‍රමාද දෝෂයක් සිදුවුවහොත් ඊට වන්දි ගෙවන්නට සිදුවන්නේ ගුරු
විදුහල්පතිවරුන්ට මය. මන්ද මේ සියලු මුදල් යැවෙන්නේ ගුරු වැටුප් වලටය. මේ
හේතුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ඒකමතිකව හඬක් නැගූයේ මෙය
ප්‍රාෙයා්ගික නොවන ක්‍රියාවක් හෙයින් ලබන වසරේදි මෙය ක්‍රියාත්මක කළොත් සියලු
දෙනාම එකතු වී මෙය අඬපණ කරන බවයි.
මෙය ඉතා අසාර්ථක ක්‍රමයක් බව පෙන්වා දෙන ජෝෂප්
ස්ටාලිං ප්‍රමුඛ වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ එක්තරා පාසලක විදුහල්පති
වරයෙක් දෙමවුපියන්ගෙන් අත්සන් අරගෙන සියලු වවුචර වලට රෙදි ඔහු විසින් ගත්
බවයි. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මෙය රාජකාරියක් හෙයින් එසේ
නොකරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
නිලඇඳුම් රෙදි බෙදාදීම හරහා තවත් හිංසනයට පත්වු පිරිසක් වන්නේ රෙදි කඩසාප්පු
හිමියන්ය. නත්තල් සමයේ කඩසාප්පු වල ඇති තදබදය හමුවේ මේ අමතර කරදර බාර ගන්නට
ඔව්හු අකමැතිය. නිළ ඇදුම් වවුචර් පත නිවැරදිද නැද්ද යන්න බැලීමට එහි ඇති
අංකයට රෙදි සාප්පු හිමියන් එස්.එම්.එස් කළ යුතුය. එවිට වවුචරයේ සත්‍ය
අසත්‍යතාව එස්.එම්.එස් පණිවිඩයක් මඟින් වෙළෙඳසැල් හිමියාගේ ජංගම
දුරකතනයට ලැබේ. එස්.එම්.එස් කළ හැක්කේ එක්වරකි.
යම් හෙයකින් කොලු ගැටයෙක්
කොලු කමට මේ එස්.එම්.එස් එක යැව්වොත් වෙළෙඳසැල් හිමියාට එහි නිරවද්‍යතාව
පිරික්සිය නොහැක. අවශ්‍ය රෙදිපිළි නිකුත් කළ පසු රෙදි සාප්පු හිමියාට තවත්
රාජකාරියක් පවතියි.රෙදි නිකුත් කළ පසු වවුචර පත් අංකය, සිසුවාගේ නම, නිළ ඇදුම
පිළිබඳ විස්තර ඇතුළත් විධිමත් රිසිට් පතක් නිකුත් කළ යුතුය. උත්සව සමයේ තදබදයේ
මේ අනවශ්‍ය වෙහෙසට ඔවුහු මැලිවන නිසාදෝ බොහෝමයක් රෙදි සාප්පු වල මේ වවුචර
පිළිගන්නේ නැත. තිබෙන කඩ සාප්පු ඉදිරියේ දිගු වවුචර පත් පෝලිම්ය. මේ සියල්ල මේ
වන විට දෙමව්පියන් ලද අත්දැකීම්ය.
වවුචර පත් වලට රෙදි මිලදී ගැනීමේදි අදාල මිල නොඉක්මවිය යුතුය. එය රුපියල් 600
නම් ඉදිරිපත් කළ යුත්තේ රුපියල් 600ක බිලකි. යම් හෙයකින් මුදල් ඉතිරි වුවහොත්
එම මුදල සම්පූර්ණ වන තෙක් යට ඇදුමක් හෝ මේස් කුට්ටමක් හෝ මැහුම් කුළිය හෝ ගෙවිය
හැකිය.
යම් හෙයකින් සරුවා අතින් බිල්පත නැතිවූයේ නම් වන්දි ගෙවන්නට සිදුවූයේ
ගුරුවරුනුට බව ආරංචිය. මේ වන විට ලැබී ඇති බලවත් චෝදනාව වන්නේ බොහෝමයක්
පාසල් සිසුන්ට වවුචර වත් නොලැබී යාමය. සමහරුන්ට ලැබී ඇත්තේ කෑලි දෙකින් එක
කෑල්ලකි. මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් සෘජුවම චෝදනා කළේ ඒ ඒ පාසල් වල
විදුහල්පතිවරුන්ටය. සමහර විදුහල්පතිවරු මෙය බලහත්කාරයෙන්
කඩාකප්පල් කළ බවද, සමහරු හිතාමතා මෙය ප්‍රමාද කළ බවද මේ චෝදනා අතර විය.
අධ්‍යාපන අමාත්‍යාංශය වවුචර පත් බෙදා දෙන්නට තීරණය කළේ හොඳ හිතකින් බව
ඇත්තකි. නමුදු තාක්ෂණය දියුණු වකවානුවක මේ ක්‍රමය මීට වඩා විධිමත්ව කරන්නට
අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාවක් තිබුණි. තවම වවුචර පත් ගැටලු හරිහැටි
මතුවූයේ නැත. මේ හැම දේම අධ්‍යාපන අමාත්‍යාංශයට හොඳ පාඩම්ය. ලබන වසරේ මේ
ක්‍රමය මීට වඩා හොඳින් ක්‍රියාත්මක කරන්නට මේ පාඩම් හොඳහැටි ප්‍රමානවත් ය.
සුභාෂිණී ජයරත්න
|