ඒ කාලෙ බයයි දැං කාලෙ දුකයි
ඒ කාලෙ බයයි දැං කාලෙ දුකයි
අබිලිංගෙ කඩේට බඩු ගන්ඩ ආපු උදවිය තමුං ආවෙ මොකට ද ආපහු යන්නෙ කොයි වෙලාවෙ ද
කොහාට ද කියලා හිතා ගන්ඩ බැරිව අන්ද මන්ද වෙලා.
“අපට කොහෙන් ද ඉතිං පඩි දෙකක්! යකඩ මරං කීවා.
“පඩි දෙකක් තියා එක පඩියක්වත් තියෙනව ද උඹට. කොල්ලටවත් උගන්න හං. එතුමා දැං
හත් කෝරලේ ඉන්න එකේ අර බළකා මේ බළකා නැති වුණත් රස්සාවක් ඉල්ල ගන්ඩ බැරියැ.”
අබිලිං එහෙම කියද්දි මිදුලෙ බුදියං හිටපු බල්ලා කංපොට ගැහුවා. අබිලිංගෙ මායියා ඌට
ගහන්ඩ ගල් කැටයක් හෙව්වා.
ඔය අව් අස්සෙ යකඩ මරංට මහ හයියෙං ඈනුමක් ගියා. ඒ සද්දෙට මිදුලෙ හිටපු බල්ලා බුරන්ඩ
පටං ගත්තා. ඒකෙං ඇවිස්සුණු ගමේ බල්ලොත් වැඩේ පටං ගත්තා.
“ගොං හරකා උඹේ සද්දෙ විලාකටුපොත උසාවියට ඇහුණොත් අට මාසක් හිරේ.” නිමලෙ කීවා.
“උසාවිය තියෙන්නෙ හැතැප්ම හත අටකට එහා. ඉතිං කොහොම ද ඇහෙන්නෙ? නිමලෙයි යකඩ
මරනුයි අතරෙ කතා බහ දිග් ගැහුණා.
“බල්ල බිරුවෙ උඹේ ඈනුමට. අල්ලපු ගෙදර බල්ල බිරුවෙ මෙතන බල්‍ලගෙ බිරිල්ලට. ඔය
විදියට බල්ලගෙන් බල්ලට බිරිල්ල ගෙහුං විලාකටුපොත උසාවිය මිදුලෙ බල්ලා
බුරපුවම නඩුකාර හාන්දුරුවෝ තෝල්ක මුදලිගෙං අහනවා ඒ බල්ල බුරන්නෙ ඇයි කියලා.”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ ඒ බල්ල බුරන්නෙ අල්ලපු වැටේ බල්ල බුරන හින්ද කියලා හොයා ගන්නවා.”
“ඊට පස්සෙ?”
“ඔය විදියට හොයා ගෙන ඇවිත් අන්තිමේදි කඩේ මිදුලෙ බල්ලා බිරුවෙ යකඩ මරංගෙ ඈනුම
හින්දා කියලා හොයා ගන්නවා. ඊට පස්සෙ උඹ උසාවියට කැඳවලා අට මාසෙකට යවනවා.”
“ඒක යකාගෙ නීතියක්නෙ. බුරාපු බල්ලො පැත්තක. අපට දඬුවං.”
ඔය කතා බතා යන අස්සෙ අබිලිංගෙ කොලුවා විලාකටුපොත ටියුෂන් එකට ජැන්ඩියට ඇඳගෙන
ඉසකෙන් ඉත්තෑකූරු වාගෙ කෙළින් කොරගෙන මිදුලට බැස්සා. එතකොට ම සැල්ෆෝන් එක
සද්දෙ දාන්ඩ පටන් ගත්තා. කොලුවා ඒක කන තියාගනිද්දි අබිලිං මෙහෙම කීවා.
“උසාවිය ළඟිං යද්දිං ඕක ඕෆ් කොරගනිං. ඒක අහලා නිමලෙගෙ කට ඇදවුණා.
“අත්වැරදීමකිං කෝල් එකක් ආපු පලියට දඬුවං දෙන්ඩ තරං උසාවිය අකාරුණික නෑ.”
නිමලෙ කීවා.
“යකඩො ඈනුං හිතලා අරින්ඩ පුලුවන් ද? ඒකත් අත්වැරදීමක් තමා.” යකඩ මරං කීවා.
“දෙක ම හරි කියමුකො. උඹ වාගෙ ගොං තකයකුට ඈනුමක් ගෙහුං හිරේ දැම්මා කියලා රටට
පාඩුවක් නැ. ගෙදර එවුංටත් කනක් ඇහිලා ඉන්ඩ පුලුවං. ඒ වගේ ද අබ්බකාත්
මහත්තයෙක්. ඒ වගෙ උත්තමයකුට වැරදීමකිං කෝල් එකක් ආපු පලියට අට මාසෙකට
ඇරියොත් නඩු කීයකට පෙනී හිටින්ඩ බැරි වෙයි ද? එතකොට මේ සිරිලංකාදීපෙ
කුඩුකාරයො, රග්බි ක්‍රීඩකයන්ගෙ දණිස් කඩලා මරාපු මිනීමරුවා, ආයු ද විකුණලා
මෝරුන් හුරතල් කොරපු එවුං, ආණ්ඩුවෙ සල්ලි ඔලිං අම්මගෙ අප්පගෙ පිළිම හදපු එවුං,
ආණ්ඩුවෙ සල්ලි ඔලිං අම්මගෙ, අප්පගෙ පිළිම හදපු එවුං, දිවි නැගුමෙ සල්ලි ඔලිං බඩු
බෙදපු එවුං පරණ සෙල්ලං ආයෙ පටං ගනී. රටේ නීතිය බල්ලට යයි. ඒක ගැන හිතලා තමයි
යුක්තියේ දෙවඟන ඈනුමයි සැල්පෝන් එකයි තරාදියට දාලා බලලා එක පැත්තක් බර වැඩි බව
තීන්දු කෙරුවෙ.”
නිමලෙගෙයි යකඩ මරංගෙයි වාග් සංගරාමෙ අහලා හිනායන්ඩ ආවත් ඒකත් ගිල ගත්තා.
“මොකෝ බණ්ඩයියෙ කෙළ ගිලින්නෙ?” අබිලිං ඇහුවා.
“නෑ මේ නිකං.”
“නිකං වෙන්ඩ බෑ. කියපංකො අපටත් දැන ගන්ඩ.”
“හයියෙං හිනායන එකත් ඈනුම් යනවා වගේ ම වැඩක්.”
“ඉතිං?”
“මන්නං දැං හිනා යනවටත් බයයි.”
“ඕහ් හෝ - මට තේරුණා. බණ්ඩයියට ඒ කාලෙයි මේ කාලෙයි ගැන දැං මොක ද හිතෙන්නෙ?”
“ඒ කාලෙ හිනා ගියෙ නැත්තෙ බයට.”
“දැං කාලෙ?”
“දැං කාලෙ හිනා යන්නැත‍්තෙ දුකට” මං එහෙම කියලා වට පිට බැලුවා. කඩේට ආපු කාගෙවත්
මූණේ හිනා කඳුළක් නෑ ආයිබොවන්ඩ.
|