මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»

බිම වැටුණු අල්පෙනිත්තක් අරන් තියන එක මදිකමක් නොවේ

බිම වැටුණු අල්පෙනිත්තක් අරන් තියන එක මදිකමක් නොවේ

රජිව් හේවාවිතාරණ
සභාපති සම කළමනාකාර අධ්‍යක්ෂ දොන් කරෝලිස්

• දොන් කරෝලිස් සභාපතිවරයා හෙවත් රජිව් හේවාවිතාරණ... ඔබේ පැටිකිරිය දැනගන්න කැමැතියි...

සුද්දට ලී බඩු හැදු දොන් කරෝලිස් මුදලි තුමාගේ තුන්වැනි දරුවා එඩ්මන් හේවාවිතාරණ. එඩ්මන්ගෙ පුතා රාජා. රාජාගෙ පුතා ලලිත්. ලලිත්ගෙ පුතා මං. එහෙම බලද්දි මං අයිති වෙන්නෙ පස්වැනි පරම්පරාවට.

• පරම්පරාවෙන් ආව පෝසත්කම ගැන හුඟක් ආඩම්බර ඇති...

එහෙම හැඟීමක් මට කවදාවත් දැනිලා නැහැ. බෞද්ධ දර්ශනයම පදනම් කරගත් සරල චාම් ජීවිතයක් ගත කරන කෙනෙක් මං. ඒ වගේම මාත් මේ සමාගමේ සේවකයෙක්.

•සභාපතිවරුන් ඔය විදියට සරල චාම්වෙලා සමාගමක් දුවන්න පුළුවන් ද...

බුද්ධ දර්ශනයට අනුව ව්‍යාපාරයක් සියයට 90 ක්ම සාර්ථකව කරන්න පුළුවන්. අද මං බුද්ධ දර්ශනය ජීවිතය කරගත් කෙනෙක්.

• ඔබ මේ අනුගමනය කරන්නෙ ඔබේ මුත්තා අනගාරික ධර්මපාල තුමාව ද...

ඔව්. එතුමා තමයි මගේ ජීවිතේ ‘රෝල් මොඩල්'. අදත් මං ඉන්දියාවට ගියාම හිතනවා, 1830 ගණන්වල බුද්ධගයාව වගේ තැනෙක කොහොම ගත කළා ද කියලා. මං උත්සාහ කරන්නේ එතුමා වගේම භාවනාවෙන් එන නිරෝගීකම, සිසිල, සැපය, සුවය ප්‍රායෝගිකවම අත්විඳින්න. ඒ නිසා ඕනෑම ව්‍යාපාරික ප්‍රශ්නයකදී වුණත් බොහොම සැහැල්ලුවෙන් මට මුහුණ දෙන්න පුළුවන්.

• දක්ෂ සභාපතිවරයකුට කාමරය ඇතුළට වෙලා සියල්ල පාලනය කරන්න පුළුවන් ය කියන කතාවට ඔබ එකඟ ද...

නැහැ. ඒක තමයි මං අකැමැතිම දේ. මට පුටුවකට වෙලා ඉඳලා පුරුදු නැහැ. ප්‍රධානම දේ තමයි, මේක මගේ ආයතනය වන්නා සේම මගේම ආයතනය නොවන නිසා මගේ මුතුන් මිත්තො කරගෙන ආපු ව්‍යාපාරයේ අද තාවකාලික බාරකරුවා මං. ඒකට වැඩ කරන අයත් එක්ක මමත් ඉන්න ඕනේ. ඒ අය එක්ක ඉන්නකොට කාර්යක්ෂමතාව වැඩියි. ඒ අයගේ අදහස් හුඟක් මුසු කරගන්න මං නිතර උත්සාහ කරනවා. ඒක ශීත කාමරයකට වෙලා කරන්න බැහැ.

• ඒත් ඔය හැම අහුමුල්ලකම කරක් ගහන එක සභාපතිවරයකුට තරම් වෙනව ද...

මොකක්ද ඒකෙ මදි පුංචිකම. මං ලී මනින්න දන්නවානම්, සීලර් - ලැකර් - ස්ටේන් කලවම් වෙන හොඳම විදිය දන්නවානම්, ඇයි මට වැඩ කරන්න බැරි. ජීවිතයත් අපි තාවකාලිකව ණයට ගත්තු එකේ මේ තාවකාලික බලා ගැනීම් ගැන ඔහොම හිතන්න හොඳ නැහැ.

• අභියෝග ජීවිතයට එන තරමට හොඳයි කියලා ඔබ හිතන්නෙ ඇයි...

එතකොට තමයි ජීවිතයට ප්‍රබෝධයක් දැනෙන්නෙ. ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවියෙන් මූල්‍යකරණ උපාධිය හදාරලා මට එන්න වුණේ තාත්තගේ මරණයට. ඒ එනකොට සමාගම අන්තිම අඩියට පිරිහිලා. සමාගම් හත අටක් තිබුණු අපිට ඉතිරි වෙලා තිබුණෙ අලියා ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවයි, ලී බඩු කර්මාන්තයයි විතරයි.

පවුලේ කාටත් අහිමි වෙන්න ගිය දොන් කරෝලිස් සමාගම ආපහු නැගිටුවන්න මං මගේ ජීවිතේ වැඩි කාලයක් ගත කළා. සමහර වෙලාවට ගත්තු තීරණ දැඩියි. රළුයි. එහෙම නොකර බැරි වුණා.

• එදා දොන් කරෝලිස් සමාගමේ තිබුණු දෙයින් බාගයක්වත් අද තියෙනව ද...

1907 කේසර් වීදියේ ඇරපු ෂෝ රූම් එක අක්කර තුනක්, එදා ඒකේ පර්ජෝ කාර් පවා තිබුණා. ජපන් බඩුවලට වෙනම අංශයක් තිබුණා. අද වපසරිය වෙනස්. එදාට වඩා විහිදුණු ජාලයක් අද තියෙනවා.

එදා හැමිල්ටන් ඇළෙන් - බේරේ වැව දිගේ ඇවිත් කොම්පඤ්ඤවීදියේදී අලි ඇතුන් ලවා ලී බාපු තැනමයි අද මේ සුවිසල් ප්‍රදර්ශනාගාරය තියෙන්නේ. මෙතැන ඓතිහාසික බිමක් වෙන්නෙ ඒ නිසා.

• එහෙනම් මේ ගෙවී යන්නෙ දොන් කරෝලිස් සමාගමේ ස්වර්ණමය යුගය ද...

මේ යුගයේ අපිට ඕනෑවටත් වඩා වැඩ තිබෙන බව ඇත්ත. ලංකාවේ ඉදිවන බහුතර සුපිරි හෝටල්, ඉන්දියාවේ හෝටල්, ලංකාවේ දැනට තිබෙන තරු පහේ හෝටල් බහුතරයක් ලී බඩුවලින් සරසන්නේ අපි. ඒ ඕඩර්ස් එන්නේ අපේ කීර්තිනාමයට.

• මොන තරම් දේශීය සමාගමක් වුණත් දොන් කරෝලිස් ලී බඩු සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න පුළුවන් ඒවා නෙවෙයි...

ඒක වැරැදි කතාවක්. මධ්‍යම පාන්තික සහ ඉහළ මධ්‍යම පාන්තික පවුල්වලටත් ගැළපෙන ගෘහභාණ්ඩ අපි නිපදවනවා. එදා පටන් සුද්දගෙ තත්ත්වයටම වැඩ කරපු නිසා අපි මේන් ටේන් කරන කොලිටියක් තිබෙනවා. ප්‍රමිතියක් තිබෙනවා. ‘යුරෝපියන් ෆිටින්ස්’, ඉටැලියන් ෆිනිෂස්... මේ හොඳම දේ සඳහා වැය වන මුදල වැඩියි. නමුත් අපි බලන්නෙ පැවැත්ම.

සමාගමට එක්වෙද්දි වයස 23 යි. ලී බඩු ගැන මොනව ද ඔබ දැනගෙන හිටියෙ...

මං ‍මැනේජර් කෙනෙක් විදියට ආයතනයට බැඳුණා. පළමු තුන් හාර මාසෙම මං කළේ මොරටුව ෆැක්ටරියෙ ලී කඳන් මැනපු එක. ඒක මං කැමැත්තෙන්ම කළා. මේ කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලී. ලී ගැන නොදැන මුකුත්ම කරන්න බැහැ. • නොකඩවා ලී අවශ්‍ය වන ආයතනයක් නිසා පිටරටින් ලී ගෙන්වනව ද...

හුඟක් වතු හිමියන් දැන් පාඩු ලබලා වාණිජ වන වගාවට පෙලැඹිලා. ඒ නිසා තේක්ක, මැහෝගනී ඕනෙ තරම් මේ රටේ තියෙනවා.

• ලී බඩුවලට ගැළපෙන ලීය මොකක්ද...

ලෝකෙම හොඳම ලීය බුරුම තේක්ක. කාලගුණයට - දේශගුණයට ‍ඔරොත්තු දෙන හොඳම ලීයක් ඒක.

• එතකොට ලංකාවෙ මිල වැඩිම ලීය...

කළුවර. ඒක කල් පවතින ලීයක්. ඒක අතින්ම මිස මැෂින්වලින් වැඩ කරන්න පුළුවන් ලීයක් නෙවෙයි. හොඳින් පදම් කෙරුවොත් කල් පවතින මේ රටේ හොඳම ලීය මැහෝගනී. නැදුන්, හුළං හික්, බුරුත කියන්නෙත් ඒ වගේම වටිනා ලී. මැහෝගනී සහ තේක්ක කියන්නෙත් සුද්දා මෙහෙ හිටවපු ගස්.

පෘතුගීසි සහ ලන්දේසි මේ රටේ හදාපු තරමක් ගොඩනැඟිලි සහ ලී බඩු හැදුවේ කොස්, බුරුත, කළුවර ලීවලින්. මේ රටේ වටිනා ලී ගැන ඔවුන් දැනගෙන හිටියා. හැබැයි ඉංග්‍රිසින් ආපු ගමන් බුරුමෙන් තේක්ක ගෙන්නුවා.

• ඔබ දුටුව මේ රටේ හොඳම ඇන්ටික් එකතුව මොකක්ද...

ඒක දැන් අතුරුදන් වෙලා. කටුගේ ඉස්සරහා ගෙදර හිටපු කාලේ අපේ සෙල්ලම් පිට්ටනිය වුණේ කටුගේ වත්තයි, කටුගේයි. ඒ නිසා කටුගෙයි හැම අහුමුල්ලම අපි හඳුනනවා. ඒකෙ තිබුණ ඔරිජිනල් ඩච් ඇන්ටික් එකතුවක්. ඒක ව්‍යාපාරිකයෙක් එක්ස්පෝ ප්‍රදර්ශනයකට පිටරට අරන් ගියා. ගියා ගියාමයි ඒවා ආපහු ආවෙ නැහැ. අද ඒ ඩච් සෙක්ෂන් එකත් වහලා.

• ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවේදී වගේම ලී බඩුවලට මිනිස්සු රැවටෙන්නෙත් මොරටුවේදී...

මොරටුවෙන් නෙවෙයි කොහෙන් ලී බඩු ගත්තත් තරමක් හෝ ලී ගැන දැනගෙන යා යුතුයි.

• කොහොම ද හොඳම ලී බව හඳුනාගන්නේ...

හොඳ මෝරපු කඳන්වල ස්වභාවිකවම පිහිටා තිබෙන වෛරම. මේ වෛරමට බොරු කරන්න බැහැ. අරටුව හොඳින් මෝරලා නම් වෛරම හරි හැඩයි. කෘත්‍රීමව ඒක ඇන්දොත් හොඳින්ම පේනවා.

• පණ නැති ලීයකින් මැවෙන කලාව තුළ ඔ‍ෙබ් වර්ණ භාවිතාවට ඉඩක් තියෙනවද...

මට නම් ලී කියන්නෙ පණ ඇති දෙයක්. ඒවා නිසා තැනේ හැටියට වර්ණ වෙනස් වෙන හැටි දකින්න මං ආසයි. ගෘහ භාණ්ඩ තියලා ලස්සන කරන පරිසරය තවත් විඳින්න පුළුවන් වෙන්නේ ඒ තැනට ඔබින වර්ණ යෙදුවොත් පමණයි.

• ඉවතලන ලී කුඩුවලටත් ඔබ වටිනාකමක් ගෙනාවා...

ඔව්. මුළු මොරටුවෙන් ම ගඟටයි මුහුදටයි දමපු ගමටම කරදරයක් වෙලා තිබුණු ලී කුඩු වලින් බ්‍රිකට් නම් දර කුට්ටි විශේෂයක් නිපදවනවා. දරවලට වඩා තුන් ගුණයක් රස්නය ඇති මේ බ්‍රිකට්වලින් තමයි, උඩරට තේ කර්මාන්තශාලාවල බොයිලේරු දුවන්නේ.

ශීත පළාත්වල බංගලා මැද ඇති පෝරණුවලට ශීත තපින්න ගන්නෙත් මේ බ්‍රිකට්. තව කොටසක් අපි රට යවනවා.

• අද ණය පොලී අනුපාත හුඟක් අඩුවෙලා. මේක ව්‍යාපාරිකයන්ට හොඳම කාලයක් කියලා හිතෙන්නෙ නැද්ද...

කාටද ණය ඕනෙ... හැදෙන ආයතන වලට ණය ඕනෙ වෙයි. ඒත් දොන් කරෝලිස් සමාගමට බැංකු ණය එපා. අපි කාටවත් ණය නැති අභිමානවත් දේශීය සමාගමක්.

මේ තැනට ආවේ අරපිරිමැස්මෙන් කටයුතු කරපු නිසා. වැටුණු ක්ලිප් එකක් ඇල්පෙන්තියක් අරන් තියන එක, කොළ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක සේවකයකුට මදිකමක් නෙවෙයි.

• ඔය වගේ දේ නීති මඟින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද...

අපේ ජාතියේ පිරිහිමී තමයි, අපේ ම දෙයක් නෙවෙයි නම් අපේ කමක් නැති විදියට සලකන එක. රටට, ආදරයක් නැති තමා ගැන විතරක් හිතන ජාතියක් අපි. මේක කිව්වේ අනගාරික ධර්මපාල තුමා. අද මේ රටේ කාර්යාලවල කී දෙනෙක් හිතලා ලයිට් එකක් ෆෑන් එකක් නිවලා යනවද... මගේ නෙවෙයි නම් ඕනෙ දෙයක්... තමන් සහ තමන්ගෙ දරුමල්ලො ජීවත්වන රස්සාවට ගරුත්වයක් තිබිය යුතුයි.

• ‘මේ රටේ කම්කරු නීති වෙනස් වෙන්න ඕනේ...’ ඇයි ඔබ මෙහෙම කියන්නෙ...

අපේ රටේ පවතින කම්කරු නීති නිෂ්පාදන ක්‍රියාවලියට සම්පූර්ණයෙන් ම පටහැණිය. ඒ නීති අනුව කෙනෙක් හොරකම් කළත් අයින් කරන්න බැහැ. ඒ නිසා හුඟක් මිනිස්සුන්ට තමන්ගෙ රැකියාවේ වටිනාකම දැනෙන්නෙ නැහැ.

ආකල්පවලින් වෙනස් වෙන්න බැරි නම් මේ වගේ අය පාලනය කරන්න හොඳ කම්කරු නීති ඕනේ. ලෝකෙ දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නෙ සේවකයන්ටත් අසාධාරණයක් නොවන, රැකියාවක වටිනාකමක් දැනෙන විදියට හදපු හොඳ ලේබර් රූල්ස්. අපේ රටෙත් ඒ වෙනස ඇති කළ යුතුය.

• දේශපාලනය ඔබේ පවුල් ඉතිහාසයේ තිබුණු දෙයක්. උනන්දුවක් නැද්ද දේශපාලනයට එන්න...

කිසි සේත් නැහැ. දොන් කරෝලිස් මුදලි තුමාගේ පළමු දරුවා අනගාරික ධර්මපාලතුමා. දෙවැනියා දුව එංගල්තිනා. තුන්වැනියා එඩ්මන්. එයා තමයි එයාගේ තාත්තගෙන් පස්සේ ව්‍යාපාරය බාර ගත්තෙ. එඩ්මන්ගෙ පුතා රාජා, ඩී.එස්. සේනානායකගේ පළවෙනි කැබිනට් එකේ සාමාජිකයෙක්. රාජා සීයලා දේශපාලනය කළේ ඩී.එස්ලා ඩඩ්ලිලා වගේම තියෙන බූදලේ නැති කරගෙන.

• මේ රට දියුණු කරන්න ඔබෙන් යෝජනා ඉල්ලුවොත්...

අපි කියන දේ අහන්නැති තැන්වලට ගිහින් කාලෙ නාස්ති කරගන්න මං කැමති නැහැ.

• තමන්ගෙ කර්මාන්තය වෙනුවෙන් මේ තරමට දුව පැන ඇවිදින කෙනකුට ජීවිතය විඳින්න වෙලාවක් තියෙනවද...

මට විශාල යාළු මිත්‍ර සමාගමක් තියෙනවා. හැබැයි ඒ හැමෝම ම‍ෙග් පාසල් මිත්‍රයෝ. ව්‍යාපාරික මිත්‍රයො බොහොම අතළොස්සයි.

ඒ භෞතික ජීවිතය. හැබැයි අධ්‍යාත්මික ජීවිතයෙන් මං ඊට වඩා සුවයක් සැපයක් ලබනවා. මං සින්දු අහන්නේ නෑ. අහන්නේ පිරිත් විතරයි. මගේ කාර් එකේ යනකොට පවා අහන්නෙ පිරිත්. මට ‘ක්ලබ් ලයිෆ්’ එකක් නැහැ. දේශපාලනයක් නැහැ. මේ දේවල්වලින් මිදුණම හිත හරි සැහැල්ලුයි. කොට්ටෙට ඔළුව තිබ්බ ගමන් මට නින්ද යනවා.

• සමාග‍මේ ඉහළම තනතුරු දෙක හොබවන ඔබ ඇයි ‘ටයි’ එකක්වත් නොපලඳින්නේ...

ලී ඉරන කැපෙන, හැදෙන තැනෙක ගැ‍වසෙන්න පුළුවන්ද ඔය ටයි දාගෙන.

• ඔබ මිල අධික වාහන පාවිච්චි කරන කෙනෙක්ද...

කැලෑවේ යන්න ජීප් එකක් තියෙනවා. ඔෆිස් යන්න කාර් එකක් තියෙනවා. රෝද හතර කර කැවෙනවා නම් එච්චරයි.

• නිවාඩුවක් ලැබුණොත් ඇයි කැලෑවට යන්නම හිතන්නෙ...

නැවුම් ජීවිතේ හොයාගෙන. ඒ නිහඬ බව, සිසිල, පිරිසුදු වාතය, කුරුලු කූජනය, ඉඳහිට ඇහෙන සතෙකුගේ හඬ, ගහ කොළ මල් මට මහා සතුටක් ගේනවා. මනුෂ්‍ය කටහඬක් පවා නැති ඒ කැලෑ බිමක මට සති දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්.

• යන්න කැමැතිම කැලෑව මොකක්ද...

ඉස්සර නම් යාලට. දැන් නම් යාල විනාශ කරලා නිසා කැමැති නැහැ. අප්‍රිකාවේ වනාන්තරවලට තමයි දැන් වැඩිපුර යන්නෙ.

• ඔය තරම් මිල මුදල් තිබියදී ඇයි ජිම් එකකට නොගිහින් විහාර මහා දේවි උද්‍යානයේ දුවන්නේ...

හතරහමාරට නැගිටලා සූත්‍ර පිටකය කියවලා 6.30 වෙනකල් භාවනා කරනවා. මං මෙනෙහි කරන්නෙ අනිත්‍ය. ඊට පස්සෙයි, මං විහාර මහා දේවි උද්‍යානයට ගිහින් ඇවිදින්නේ. කාටවත් බැහැ මගේ වේගයෙන් ඇවිදින්න. හුළඟ වදින පරිසරය ඇරෙන්න මං කැමැති නැහැ කූඩුවෙලා ව්‍යායාම් කරන්න.

• ධනවත් ව්‍යාපාරිකයකුට ඇතිවෙන්නත් නැතිවෙන්නත් බලපාන කාන්තා ආකර්ෂණය ගැන ඔබ මොනවද හිතන්නේ...

දකින දේ දැක්මක් පමණක් බවට පත් කරගෙන ආසාවන් පස්සෙ පන්නන්නෙ නැතිනම් ජීවිතයත් දිනුම් ව්‍යාපාරයත් දිනුම්.

• ඔබ ළමා කාලයේ දඟයෙක් ද...

ඔව්. මං පෙරළි කාරයෙක්. මට ඉන්නෙ එක මල්ලියි. එයා මට වඩා අවුරුදු පහක් බාලයි. මා එක්ක සෙල්ලමට එනවා. හැබැයි පොඩ්ඩට අඬාගෙන යනවා. ඒක මට දැනුණෙ කරදරයක් විදියට. මට එයාව පෙනුණෙම පොඩි ළමයෙක් විදියට. ඒ නිසා හුඟක් වෙලාවට මට එයාට හොඳ අයියෙක් වෙන්න බැරි වුණා. ආදරේ වුණාට පෙන්වන්න බැරි වුණා. තාත්තා මාව පාලනය කළේ බොහොම සීරු මාරුවට. සමහර වෙලාවට මල්ලිට ඒක දැනුණෙ මට විශේෂත්වයක් දක්වනවා වගේ.

• කොළඹ රාජකීයෙදි ඔබ කැපී පෙනුණු ශිෂ්‍යයෙක් ද...

හැමදාම පන්තියෙ පහ හය අතර හිටියා. මල්ලිත් ඉගෙනුමට දක්ෂයි. මගේ පන්තියේ තමයි ජේ.ආර්. ගේ මුනුපුරා හිටියේ. අම්රිත් ජයවර්ධන ඇතුළු සල්ලිකාරයන්ගෙ ළමයි වැඩිපුර හිටියෙ. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ආපු ගම්වල සාමාන්‍ය ළමයි එක්ක අපේ කල්ලියත් එකටමයි හිටියෙ.

• තාත්තා කී පාරක් පොලිසියට ආවද ඔබවයි යාළුවන්වයි බේරගන්න...

බිග් මැච් කාලෙට ඕක හැමදාම සිද්ධ වුණා. සද්දෙ දාගෙන පපර බෑන්ඩ් ගහගෙන යනකොට පොලිසිය කොහොමත් කුදලගෙන යනවා. දවසක් කුරුඳුවත්ත පොලිසියට අපිව අරගෙන ගියා. එතකොටම ජේ.ආර්. ගේ ස්කොඩ් එක යනවා. අපි “රෝ - ය - ල්” කියලා කෑගැහුවා. ජේ.ආර්. ගේ මුනුපුරත් අපි එක්ක. ස්කොඩ් එක හරවාගෙන ඇවිත් අපිට යන්න දෙන්න කිව්වා. මුනුපුරා ඉන්න බව ජේ.ආර්. දැක්කෙ පස්සේ.

• ඕන දෙයක් කරන්න පුළුවන් තරමට සල්ලි එදත් ඔබට තිබුණා...

ඉස්කෝලෙ යද්දි ‘පොකට් මනි’ හම්බවුණේ සතියටම රුපියල් දෙකයි. ඒකෙන් මොනවා කරන්නද. අනෙක් යාළුවොත් සල්ලිකාර පුත්තු වුණාට තාත්තලා සල්ලි දුන්නෙ නැහැ. අපි ඉතින් අර ශිෂ්‍යත්වෙන් ආපු ළමයින්ගෙ කෑමත් කනවා. ඒ අයටවත් අපිටවත් මේ ඇති නැති කම්වල වෙනසක් තිබුණෙ නැහැ.

• විශ්‍රාම ගිය දවසක ඔබ මොනවා කරයිද...

මං කරන අධ්‍යාත්මික කටයුතු හුඟක් තියෙනවා. කෙටියෙන් කියන්නම් සමහර විට මං දවසක සිවුරු නොඇඳ අනගාරික ජීවිතයකට ඇතුළු වෙයි.

• එතකොට ඔබ ආදරය කරන බිරිය... පවුල...

ඒ අය තේරුම් ගනීවී. ආදරය පිරිලා තිබුණත් දවසක බැඳීම්වලින් අපි ඈත් වෙන්න ඕනේ.

• එතකොට මෙච්චර වෙර වීර්යෙන් ගොඩනඟපු රැක බලාගත්තු ව්‍යාපාරය...

ඒවා ඊළඟට එන අය බලා ගනීවි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්