රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

අලි එළවන්න වනජීවී ලොක්කාගෙන්  නැකතක්

අලි එළවන්න වනජීවී ලොක්කාගෙන්  නැකතක්

අලි මිනිස් ගැටුමේ උග්‍රතම අවස්ථාවක් ලෙස සැලකූ හඳපානාගල අලි මෙහෙයුමට පෙර බොහෝ මතවාද ඒ වෙනුවෙන් ඉදිරිපත් විණි. සුද්දන් විසින් දස දුක් දී කඳුකරයෙන් පලවා හරින ලද අලින් හඳපානාගල නතර වුණේ ඒ ජලාශය නිසාය. හඳපානාගල පැරැණි ගැමියන් හා අලින් අතර තිබූ සහ ජීවනය පැල්වත්ත සීනි කම්හල හා උක් වගාව සමඟ පැමිණි අය නිසා අලි මිනිස් ගැටුමක් බවට පරිවර්තනය විය. වසර දහයක් ඇතුළත අලින් සියයකට වඩාත්, මින්සුන් හැත්තෑ පහකට වඩාත් මිය ගියද කොළඹින් පැමිණි පිරිසක් කීවේ අලින් එතැන සිටිය යුතු බවයි. බලවතුන්ගේ සහය ලැබූ ඔවුහු එහි අලි නැරඹුම් හොටලයක් ඇති කිරීමට පවා යෝජනා ඉදිරිපත් කළේ අහිංසක සතුන්ගේ වේදනාව විකුණා මුදල් ගැරීමටය. මාධ්‍යවේදීන් බහුතරයගේත් සැබෑ පරිසරවේදීන්ගේත් දැඩි විවේචන හමුවේ තවදුරටත් ඇහැ කන පියාගෙන සිටීමට නොහැකී වූ බලධාරීන් මේ ගැටලුව විසදීමට බාර කළේ හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාටය.

“මේ වෙද්දි නේපාලයේ ටයිගර් ටොප් වගේ අලි නැරැඹුම් එලිෆන්ට් ටොප් හෝටලය හදන්න බොහොම උත්සාහයක් අර කොළඹින් ආ පිරිස් ගත්තාට ඒ සඳහා ගමේ අය දැඩි විරෝදයක් පෑවා. අනෙක් අතට ප්‍රාදේශීය සභාවෙනුත් එයට අවසරය ලැබුණේ නෑ. නමුත් මේ පිරිස උත්සාහය අත්හැරියේ නෑ. ඔවුන් ආයෙත් කරළියට ආවා අලි ඇතුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් තවත් යෝජනාවක් අරගෙන. ඒ තමයි අලින්ට මෙතඅන ඉන්න දෙන්න ඒ වගේම හිතුණු වෙලාවට යාලට යන්න අලි මංකඩක් හදන්න කියන එක. මේ යෝජනාවටත් කලින් වගේම පිරිසක් සහයෝගය දෙන්න ගත්තා. ඒත් ඒ අයට නොතේරුණු දේ තමයි අපට ඕන පාරක අලින්ට යන්න කියලා ඊතලවලින් මඟ පෙන්නලා මිනිසුන්ට වගේ උපදෙස් පිළිපදින්න කියලා අලින්ට කියන්න බෑ කියන දෙය. ඒ වගේම සාමාන්‍ය අලි මංකඩක වගේ කිලෝමීටර දෙකක් දෙකහමාරක් පමණ පළලට මංකඩකට ඉඩ අතහරින්න බෑ. දවස් ගණන් කකා බිබී යන්න තණපිටි, ලඳු කැලෑ, රූස්ස ගස්, ජල පොකුණු මේ කෘත්‍රිම මංකඩේ නෑ. අනෙක් උක් වගාවන් දෙකක් මැද්දෙන් අලිමංකඩ හැදුවාම සීනි බෝල කඳු දෙකක් මැද්දෙන් පොඩි ළමයි ටිකක් යනවා වගේ නොතිබෙයිද? මේ විසඳුමක් නැති තත්ත්වය උහුලන්න බැරි තැන ගැමියන් පාරට බැස්සා.”

මේ සිදුවීම වන විටත් වෛද්‍ය අතපත්තුට අලි මෙහෙයුම සඳහා ආරාධනා ලැබී නැත. උද්ඝෝෂණය සඳහා මූලිකත්වය දැරුවේ දේශපාලනමය නොවන සංවිධානයක් ලෙස ගොඩ නැඟුණු “පහළ ඌව අලි ඇතුන්ගෙන් විපතට පත්වූවන්ගේ සංවිධානයයි”. එහි සභාපතීත්වය හා ලේකම්ධුරය පොඩි අප්පුහාමි හා සුනිල් රත්නායක යන මහත්වරුන් විසින් දරන ලදී. අවට ගම් සියල්ලේ ජනතාව සහභාගී වූ නිසා මෙය විශාල බලවේගයක් බවට පත්විය. සංවිධානය වූ පිරිස පැල්වත්තේ මෙන්ම වැල්ලවාය, මොනරාගල ආදී නගරවල ද උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ පැවැත්වූහ. පාර්ලිමේන්තු මැරතිවරණය අතළඟ තිබූ මොහොතක පැවැත්වුණු මේ උද්ඝෝෂණ නිසා විවිධ පක්ෂ එකිනෙකට නොදෙවෙනි පොරොන්දු මේ පිරිසට දෙන්නට විය‍. කෙසේ වෙතත් අවසානයේ රජය පෙරළිණි. රත්නසිරි වික්‍රමනායක මහතා හෙබ වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවැනි වතාවට බාර විය.

“ඇමතිකම බාරගත්තා විතරයි හඳපානාගල ජනතාව බස් පිටින් ඇවිත් කොළඹ හතේ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉස්සරහ සත්‍යග්‍රහයක් ඇරැඹුවා‍. මේ වෙද්දි මගේ සහභාගීත්වයකින් තොරව වන ජීවී දෙපාර්තමේනතුව අලි පළවා හැරීම් කීපයක් කරලයි තිබුණේ. වරක් පේරාදෙණියෙන් ආ පශු වෛද්‍ය කණ්ඩායමක් අලින් දහ දෙනකු පමණ නිර්වින්දනය කර අල්ලාගෙන ගොස් යාලට දාලා තිබුණා. නමුත් ඒ අලි හැරෙන තැපෑලෙන් ආපසු ඇවිත් තිබුණා. මාධ්‍යවල වාර්තා වුණේ “ලොරියෙන් ගොස් පයින් එති”කියලයි.” වෛද්‍ය අතපත්තු කීවේ සියුම් සිනහවක් මුවේ සඟවාගෙනය.

“මෙහෙයුම් කීපයක්ම අසාර්ථක වී තිබුණු බව දැනගෙන සිටි රත්නසිරි ඇමැතිතුමා මට කතා කරලා කීවා මේ වැඩ් බාරගන්න. කැමති විදිහට කරන්න. අලිත් බේරලා මිනිස්සුත් බේරා දෙන්න කියලා. ඒ වචනෙට මම පැහැදුණා. මොකද සමහරු කියන්නේ අලින්ට මොනවා වුණත් කමක් නෑ, මිනිසුන්ව බේරන්න කියලා. ඒක සාධාරණ නෑ.”

මේ අතර ප්‍රසිද්ධ අන්තර්ජාතික සඟරාවක හඳපානාගල අලි ප්‍රශ්නය ගැන ලිපියක් පල වුණා. අලි ඇතුන් විඳින වෙදනාව ගැන කියලා පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ තමයි අලින්ගේ සුබසිද්ධිය සලසන්න එහි සඳහන් එංගලන්තයේ බැංකුවක ගිණුම් අංකයට සොච්චම් මුදලක් ලෙස ඔවුන් සැලකූ ස්ටර්ලිං පවුම් 10ක් බැගින් බැර කරන්න කියලා. හැබැයි ඒ වෙනුවෙන් දාලා තිබුණු අලින්ගේ පින්තූරයේ පෙන්නලා තිබුණේ පින්නවල අලි රංචුවක්. ඒ අවට පරිසරය පින්තූරයෙන් ඉවත් කරන්න ඒ අයට අමතක වන්න ඇති. ඒත් කමක් නෑ, මට තිබෙන ප්‍රශ්නය ඒ එකතු වූ මුදලින් ශත කීයක් හඳපානාගල වේවා වෙනත් කොහේ හරි වේවා වෙඩි කාලා පණ රැකගන්න දඟලන අලියකුට බෙහෙත් උගුරක් අරන්දෙන්න, පොල් අත්තක්, කෙහෙල් බඩයක් අරන් දෙන්න අර පිංවතා වියදම් කළාද කියන එකයි.” කලකිරිම මුසු ආවේගයකිනි වෛද්‍ය අතපත්තු කතා කළේ.

“අලින් පිළීබඳ මහා ප්‍රාඥයන් ලෙස පෙනී සිටින අය කියන ‍යෝජනා පිළිගන්නවාද? අලුතින්ම යමක් කරනවාද කියා හිතාගන්න බැරිව ම අතරමං වෙලා ප්‍රදේශයේ හැමතැනම ඇවිද්දා. ග්‍රාමසේවක ගම්වැසියන් කර්මාන්ත ශාලාවේ අය ආදී හැමදෙනා එක්කම කතා කරමින් අධ්‍යයනයක් කරලා සුදුසුම පියවර ගන්නයි මට ඕනෑ වුණේ. පැලැස්තර විසඳුමක් දෙන්න මට ඕන වුණේ නෑ.”

වෛද්‍ය අතපත්තු දැඩි අධිෂ්ඨානයකින් යුතුව කීවේය. මේ අධ්‍යයනය කිරීම්වලට මාස පහකට වඩා ගත විය. එහෙත් ‍වෛද්‍ය අතපත්තු තවමත් කටයුතු අරඹන්නේ නැත. මේ පිළිබඳ ගමේ පිරිස මෙන්ම මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් ද සිටියේ අවදියෙනි. ඇතැම් පුවත්පත් නන්දන අතපත්තු මහතාගෙන් විමසුවේ තවමත් නැකත ආවේ නැද්ද කියාය.‍

“මගේ නිරීක්ෂණ අනුව තේරුණු දෙය තමයි අලි මංකඩ කියන්නේ ඥානවන්ත ක්‍රියාවක් නොවේය යන්න. විදුලි වැට ලංකාව‍ට හඳුන්වා දුන්නේ මම වුණත් යෝජිත අලි මංකඩට එය වැඩක් නැති බවයි මගේ මතය වුණේ. මොකද ඒ වගේම නිකරුණේ අලින් එළවා දැමුවත් ආපසු එන බව තහවුරු වී තිබුණා. ඒ පාර මගෙන් ඇහුවා විකල්පය මොකක්ද? කියලා. මම කීවා අලින්ට පැල්වත්ත එපා කරමු කියලා.” උපාය දන්නෝ අපායේ නොවැටෙති කියන්නා සේ වෛද්‍ය අතපත්තු ද ඒ කතාව කීවේ සිය දැනුම හා අත්දැකීම් අවස්ථානෝචිතව ප්‍රයෝජනයට ගත් අයුරු පෙන්වා දෙමිනි.

“මම යෝජනා කළේ යාල තමයි හොඳ කියලා. ඒ කොච්චර කළත් උක් සුවඳට ඇදෙන අලි නවත්වන්න මානසික බාධකයක් හැටියට නොදියුනු ප්‍රාථමික ක්‍රමයක් හැටියට සලකන ගැඹුරු කාණු පද්ධතියක් හදන්න. ඒ වගේම ජෛව බාධක ලෙස අලින් අකමැති ගස් වර්ග, පඳුරු මායිමේ වවන්න. මේ හැම දේම සිදු වන්නේ අලින් පන්නා දැමුවාට පස්සේයි. මේ වැඩපිළිවෙළ විපතට පත් වූවන්‍‍ගේ සංවිධානය ඉහළින් ම පිළිගත්තා. රජයේ අනුමැතියත් ලැබුණා. නමුත් අර උදර පෝෂක සුළු පිරිස තදින් ම විරුද්ධ වුණා. මුලින්ම රජයට විරුද්ධව ඔවුන් විරෝධතා ව්‍යාපාර පටන් ගත්තා. දෙවැනුව ඇත් පැටවුන් අල්ලා ඇත් අතුරු සෙවණට දාලා පස්සේ ඇමැතිගේ ගෙදරට පන්නගන්න යනවා කීවා. ඒ කිසිදේකින් තීරණය වෙනස් නොවෙන බව දැනුණාම මට පහර ගහන්න ගත්තා. වෛද්‍ය අතපත්තු කීවේ සිනා මුසු මුහුනිණි.

“රටේ හතර කොනෙන්ම වන ජීවී නිලධාරීන් 70 ක් පමණ කැඳෙව්වා. වැඩේ ක්‍රියාත්මක වෙනවාමයි කියා දැනුණු ගමන් කුලප්පු වුණු විරුද්ධවාදීන් කියන්න ගත්තා මෙයින් තවත් අලි හැට හැත්තෑවක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි වන ජීවී නිලධාරීන් පහළොවක් විස්සක්වත් මිය යනවා කියලා. ඔවුන් ගේ උවමනාව වුණේ එහෙම කියලා අපේ නිලධාරීන්ගේ හිත දුර්වල කරන්න. ඒත් සිදු වුණේ වෙන දෙයක්. ඒ කතාව අහපු අපේ නිලධාරීන් තවතවත් මේ මෙහෙයුමට එන්න ඉල්ලුම් කරන්න ගත්තා. එහෙම වෙද්දි විරුද්ධවාදීන් රට පුරා සම්මන්ත්‍රණ තියන්න ගත්තා අලින් මෙතැන සිටිය යුතු වන්නේ ඇයි කියලා. උඩවලව සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ තිබූ සම්මන්ත්‍රණයට මමත් සහභාගී වුණා. එතැනදී ඒ පිරිසගේ කරුණු දැක්වීම්වලින් පස්සේ මාධ්‍යවේදීන් කීවා මගේ කරුණු දැක්වීමටත් අවස්ථාව දෙන්න කියලා. ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ තීරණය වුණා මේ විරෝධය පාන අයගේ ප්‍රධානීන්ටත් පැල්වත්තේ ඇති තත්ත්වය පෙන්වන්න එක්ක යමු කියලා. ඒ අනුව අපත් සමඟ කැලේ ඇවිදලා බැලූ ඒ පිරිසේ සමහරුන්ටත් තෙරුණා අපි කියන්නේ මොනවාද කියලා. ඒ නිසා වෙන්න ඕන ඒ කීපදෙන එතැනින් පස්සේ අපට විරුද්ධ වුණේ නෑ.”

“ගමේ මිනිස්සුන්ටත් සතුටුයි. ඒත් අපි තාම නිහඬයි. ඒ නිසා පත්තරවලින් විමසුවා තවම නැකත උදා වුණේ නැද්ද කියලා. ඇත්තම කතාව අපට අවශ්‍ය ප්‍රතිපාදනවල අනුමැතිය ලැබෙන්නත් ඕන. වියළි කාලය වන අගෝසතු මාසය එළැඹිලා අපට අවශ්‍ය පසුබිම සකසෙන්නත් ඕන. රත්නසිරි වික්‍රමනායක ඇමැති තුමා වගේම අතිරේක ලේකම් ඒ.ඩබ්ලිව්.ඒ වීරවර්ධන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සැම්සන් සිල්වා මේ වැඩේට සම්පූර්ණයෙන්ම සහය දුන්නා. තෝරා ගත් නිලධාරීන් හැත්තෑ දෙනා ඇතුළු මෙහෙයුම් කණ්ඩායම සති දෙකක් කල් තියා හඳපානාගල වැව් ඉස්මත්තේ කඳවුරු ලාගෙන පෙ‍ර හුරුවට ගියා. අතිරේක ලේකම්තුමා ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා ඔහු කීවා අලි එළවන්න නැකතක් බලන්න වෙනවා කියලා. අපට එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒත් මේ වගේ ඉතාම භයානක, ත්‍රාසජනක, ජීවිතයත් මරණයත් අතර හැත්තෑදෙනකු පමණ නිරතවන දෙයකදී යමෙකුගේ විශ්වාසයට ඉඩ නොදී සිටිය යුතු නෑ කියා මමත් හිතුවා. ඒ පාර මගේ උපන්දිනයයි වෙලාවයි අරගෙන වීරවර්ධන මහත්මයාම ගණන් වගයක් කුරුටු ගාලා වෙලාවක් දුන්නා. අගෝස්තු 02 දා පස්වරු 2.42ට අලි එළවීමට සුබයි. ඔහු සටහන් කර දුන්නා.”

(ලබන සතියේ -'හඳපානාගලට නැකත උදා වුණාද?')


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්