රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

එක කාලයක් අධික සතුටින් තව කාලයක් අධික දුකකින් මොකක්ද මේ ලෙඩේ

එක කාලයක් අධික සතුටින් තව කාලයක් අධික දුකකින් මොකක්ද මේ ලෙඩේ

 විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ. ගමගේ


ඇය මවුපියන්ට කීකරු, උත්සාහවන්ත තරුණියකි. විභාගය ඉහළින්ම සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් ඉතා උනන්දුවෙන් පාඩම් වැඩ කළත්, එය ඉටුකරගත නොහැකි විය. එහෙත් ඇයගේ හොඳම මිතුරියට ඒ අවස්ථාව උදාවිය. තමන්ගේ පරාජය දරාගත නොහැකි වූ ඇය කිසිවෙකු සමඟ කතාබහ ප්‍රතික්ෂේප කළාය. කෑම බීම පවා මඟහැරියාය.

එහෙත් ටික දිනකින් ක්‍රියාශීලී වූ ඇය දෙඩවීමට පටන්ගත් අතර නිකරුණේ අන් අය සමඟ රණ්ඩුවට පැටලුණාය. කරදරකාරී, කලහකාරී විය. මෙය ද්විධ්‍රැව මනෝභාව රෝගය ද? වරෙක අධික සතුටත්, වරෙක අධික දුකත් ඇතිකරවන ද්විධ්‍රැව මනෝභාව රෝගය යනු කුමක්ද? අද ඔබ දැනුම්වත් කරන්නේ මේ පිළිබඳවයි.

* මෙම රෝගය පිළිබඳව සරල හැඳින්වීමක් කළ හැකිද?

සාමාන්‍යයෙන් කෙනෙක් එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන විවිධාකාරී අවස්ථාවන්ට අනුව සතුටට වගේම දුකට ද පත්වීම ස්වාභාවිකයි. එහෙත්, යම් කෙනෙකු ගේ එම ‍මනෝභාවය ටික කාලයක් සාමාන්‍ය මට්ටමට වඩා ඉහළට ගොස් උන්මාද (Mania) තත්ත්වයකටත්, ඉන්පසුව තවත් ටික කාලයක් මනෝභාවය පහළට ගොස් විශාදය (Depression) තත්ත්වයටත් පත් වෙනවා නම් එය අස්වාභාවික රෝගී තත්ත්වයක්.

මනෝභාවයේ එක් ධ්‍රැවයක සිට අනෙක් ධ්‍රැවයට කලින් කලට මාරුවෙන නිසා, එම මානසික රෝගී තත්ත්වය ද්විධ්‍රැව මනෝභාව රෝගය ලෙස හැඳින්වේ. එම රෝගී තත්ත්වය Manic Depressive Psychoses ලෙස ද හැඳින්වේ.

* රෝගය ඇතිවීමේ අවදානම වැඩි කාටද?

සාමාන්‍යයෙන් ජනගහනයෙන් සියයෙන් එකකට පමණ මෙම මානසික රෝගය වැලඳිය හැකිය. විශේෂයෙන් නව යොවුන් වියේදී එහි වැඩි ප්‍රවණතාවක් දැකගත හැකියි. එසේ වුවද ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද රෝගය වැලඳීමට ඉඩ තිබේ. ඒ වගේම රෝගයේ උන්මාදය සහ විශාදය අතරතුර කාලයේ දී එනම් සති කිහිපයක්, මාස කිහිපයක් හෝ වසර කිහිපයක් සාමාන්‍ය ජීවිතයක් ගත කරන මෙම රෝගීන්ගේ රෝගයේ ස්වභාවය ඔහු හෝ ඇය ජීවත්වන පරිසරය සහ මුහුණපාන ප්‍රශ්න අනුව ද වෙනස් විය හැකියි.

* ද්විධ්‍රැව මනෝභාවය රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුමද?

ඔව්. උන්මාදය සහ විශාදය අතර සාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන කාල‍යක් ද එන නිසා ඒ කාලයේ දී රෝගය සුව වූයේ යැයි කෙනෙක් සිතිය හැකියි. එහෙත් රෝගය හඳුනා‍ෙගන නිසි ප්‍රතිකාර නොකළහොත් නැවත ස්ථිරවම රෝගය මතුවේ. එමනිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම නුවණට හුරුය.

ඒ වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය, සහ ඇදුම යනු සිරුරට වැල‍ඳෙන නිදන්ගත රෝගයන්. එමෙන් ද්විධ්‍රැව මනෝභාව රෝගය ද මනසට වැල‍ඳෙන නිදන්ගත රෝගයක් ලෙස සැලකිය හැකියි. එය නිට්ටාවටම සුවකළ නොහැකි වුවද නවීන විද්‍යාත්මක ප්‍රතිකාර මඟින් මනාසේ පාලනය කර ගත හැකි වේ.

* මෙම රෝගයට ප්‍රතිකාර ලබන්නේ ලබන වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවකු නම්, ඔහුට හෝ ඇයට විභාගය උසස් ලෙස සමත්වීමට හැකියාව ලැබේද?

එවැනි දරුවකුට වුවද උත්සාහවන්ත වනවා නම් විභාගය සමත්වීමට හැකිවනු ඇත. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව එක දිගට ප්‍රතිකාර ගැනීමට ද සිදුවනු ඇත. සැබැවින්ම මෙම රෝගයේ දී සිදුවන්නේ මනෝභාවය වෙනස්වීම මිස බුද්ධි මට්ටමේ වෙනස්වීමක් නොවේ. එමනිසා කාලසටහනකට අනුව හොඳින් පාඩම් කළේ නම් විභාගය ජයගන්නට හැකිවනු ඇත. එවැනි කෙනෙක් විශ්වවිද්‍යාලයට ගිය ද දිගටම ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇත. මෙම රෝගයට නිසි ප්‍රතිකාර ලබමින් ජීවිතය උසස් තත්ත්වයට පත්කර ගත් විද්‍යාඥයන්, සංගීතඥයන් වගේම දේශපාලන නායකයින් ද ලෝකයේ සිටිනවා.

* ද්විධ්‍රැව මනෝභාවය හටගැනීමට හේතුව කුමක්ද?

මෙම රෝගය ඇතිවීමට එක් හේතුවක් නොව හේතු කිහිපයක් බලපෑ හැකියි. ජානමය සම්බන්ධතාව ඉන් එක් හේතුවක්. පවුලේ අයට මෙම රෝගී තත්ත්වය තිබේ නම් එසේ නොමැති පවුල්වල අයට වඩා දස ගුණයකින් රෝගය හටගැනීමේ ප්‍රවණතාවක් තිබේ. එමෙන්ම පරිසර සාධක ද බලපෑ හැකියි. ඒ වගේම බලාපොරොත්තු සුන්වීම වැනි හේතු නිසා වන මානසික පීඩනය ද බලපාන්නට පුළුවන්.

විද්‍යාත්මක නිගමනයන්ට අනුව පැහැදිලි වන්නේ මොළයේ විවිධ රසායනික ද්‍රව්‍යයන්ගේ ඇතිවන වෙනස්වීම් මෙම රෝගයට හේතුවන බවයි. PET සහ MRI වැනි ස්කෑන් පරීක්ෂණ කළ විට රෝගී අයගේ මොළයෙහි නිරෝගී අයගේ මොළයට වඩා වෙනස්කම් ඇති බව පෙනී ගොස් තිබේ. පරිසර සාධක ලෙස විභාගාදිය අසමත්වීම පමණක් නොව අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොයෑම, මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, පවුලේ අයකු ගේ විවාහය, මරණය, දික්කසාදය, රැකියාව අහිමි වීම වැනි දේත් මනසට බලපෑම නිසා ද්විධ්‍රැව මනෝභාව රෝගය මතුවීමට ඉඩ තිබේ.

* මෙම රෝගයේ දී උන්මාද තත්ත්වය හා විශාදය යන අවදීන් ඇති බව ඔබ සඳහන් කළා. උන්මාද තත්ත්වයේ දී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මේ කාලයේ දී රෝගියාගේ මානසික මෙන්ම කායික ක්‍රියාකාරිත්වය ද අසාමාන්‍ය ලෙස ඉහළ යයි. සිතට මෙන්ම ගතට ද විශාල ශක්තිමත් බවක් දැනේ. අසාමාන්‍ය සතුටත්, අධික කෝපයත්, ඉතා වේගයෙන් කතා කිරීමත් නිසා කලහකාරී සහ ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්විය හැකිය. අධික වේගයෙන් සිතිවිලි ගලාගෙන එන නිසා එක මාතෘකාවකින් තවත් මාතෘකාවකට මාරු වීම ද වේගයෙන් සිදුවීමට පුළුවන්.

නින්ද නොයෑම, තම හැකියාව පිළිබඳ අධි තක්සේරුව, අධික ලෙස මුදල් වියදම් කිරීම, බොරු සෝබනය, අධික ලිංගික ආශාව සහ ඒ ආශ්‍රිත හැසිරීම්, මත්ද්‍රව්‍යයන්ට නැඹුරුවීම ආදී දේ උන්මාද තත්ත්වයේ දී වැඩිවීමට පුළුවන්. මේ ලක්ෂණ තුනක් හෝ ඊට වැඩි ගණනක් සතියකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම් එය උන්මාදයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

* විශාදය තත්ත්වයේ දී දැකගත හැකි රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී කල් පවතින දුක්මුසු බව, සිතට කිසිදු සතුටක් නොදැනීම, කලකිරීම, සර්ව අසුබවාදී වීම, යම් දෙයක් කෙරෙහි වෙනදා මෙන් අවධානය යොමු කිරීමේ හැකියාව නැතිවීම, තමන් කිසිදු වටිනාකමක් නැති පුද්ගලයකු ලෙස සිතීම හා අසරණ බවක් දැනීම, අපේක්ෂාභංගත්වය, වෙනදා විනෝදයක් ලැබූ දෙයින් විනෝදයක් නොලැබීම, පැහැදිලි හේතුවක් නැතිව සිරුරේ කැක්කුම් හා වේදනා‍වන් ඇතිවීම, ඇඟට තෙහෙට්ටු බවක් දැනීම, සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි පහළවීම ආදිය විශාදයේ ලක්ෂණ ලෙස සඳහන් කළ හැකියි. මෙම රෝග ලක්ෂණවලින් ද පහක් හෝ ඊට වැඩි ගණනක් සති දෙකකට වඩා පවතී නම් එය විශාදය ලෙස සැක කළ හැකියි.

‍* මෙම රෝගීන් විසින් මඟහැරිය යුතු දේ තිබෙනවාද?

ඔව්. එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. මෙවැනි රෝගීන් විශේෂයෙන් දිනකදී තමන්ට කළ හැකි වැඩ ප්‍රමාණය පිළිබඳව අවබෝධයකින් කටයුතු කළ යුතුයි. කාර්යබහුල බවින් මිදිය යුතුයි. සේවා ස්ථානයක නම් ආතතිය ඇතිකරන කරුණු මඟහැරිය යුතුයි. රෝගී වීගෙන එන බව දැනෙන්නේ නම් නිවාඩු ලබාගැනීම වැදගත්. ඒ වගේම අධික ‍ශබ්දය, ආර්ථික දුෂ්කරතා, අවම කර ගැනීමට ද උත්සාහ කළ යුතුයි.

ඒ වගේම නිවසේ දී ද ආතතිය ඇති කරවන අවස්ථා මඟහැරිය යුතු අතර වඩා සතුටුදායක කටයුතුවල නිරතවීමට වගබලාගත යුතුයි. කාලසටහනකට අනුව එදිනෙදා වැඩ සැලසුම් කිරීම ද වැදගත්. අනවශ්‍ය කටයුතු අත්හැරීම කළ යුතු අතර අනවශ්‍ය පොරොන්දු දීමෙන් වැළකිය යුතුයි. සෑම දිනකම එකම වේලාවක නින්දට යාමත්, පැය හතක් අටක් දක්වා කාලයක නින්දක් ලැබීමත් වැදගත්වේ. මෙවැනි රෝගීන්ට දිනපතා ඉහිල් වීමේ ව්‍යායාම හා ඒ සඳහා සංගීත ශ්‍රවණය, ඇවිදීම, චිත්‍ර ඇඳීම හෝ භාවනා කිරීම යොදාගත හැකිවේ. ‍මත්වතුර භාවිතය අත්හැරීම ද ඉතා වැදගත්.

* ද්විධ්‍රැව මනෝභාව රෝගය සඳහා ලබාදෙන ප්‍රතිකාර කෙබඳුද?

මෙහිදී රෝගියා ගේ මනෝභාවය වැඩි වීමට හෝ අඩුවීමට ඉඩ නොදී සමතුලිත මට්ටමක පවත්වාගෙන යාම සඳහා උපකරණ ඖෂධ ලබා දේ. ඒවා දීර්ඝ කාලයක් ගත යුතු ප්‍රතිකාර වන අතර එකවර නවතා දැමුවේ නම් රෝගය නැවත මතුවීමට ඉඩ තිබේ. මේ නිසා සායනවලට නිසියාකාරව සහභාගී වෙමින් වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් ඖෂධ මාත්‍රාව සකස් කර ගැනීම වැදගත් වේ.

ලිතියම් කාබනෙට් ද්විධ්‍රැව මනෝභාව සඳහා වැඩිපුර භාවිත කරන ඖෂධයයි. එය ශරීරය තුළ නිසි මට්ටමින් පවතිනවාද යන්න දැනගැනීමට රුධිරය පරීක්ෂා කර ගැනීම ද වැදගත් වේ. ඒ වගේම ගර්භණී වීමට පෙර හා මවුකිරි දෙන කාලයේ දී මෙම ඖෂධ ගැනීම නැවැත්විය යුතු වන්නේ එය දරුවාට හානිකර විය හැකි බැවින් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමේ දී, ශල්‍යකර්මයකට ලක්වීමට පෙර ද තමන් ගන්නා මෙම ප්‍රතිකාර ගැන වෛද්‍යවරයා දැනුම්වත් කිරීම වැදගත් වේ.

* ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ලබා දෙන වෙනත් ප්‍රතිකාර මොනවාද?

ඖෂධ ප්‍රතිකාරවලට අමතරව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සහ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දේ. මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවල දී මනෝ චර්යා ප්‍රතිකාර, පවුල් සාකච්ඡා, මනෝ උපදේශනය ආදිය ලබා දේ.

විදත් කම්පන ප්‍රතිකාර ක්‍රමයේ දී මොළයට විදත් ප්‍රතිකාර ගැන සමාජයේ පවතින වැරැදි මතය නිසා බොහෝ දෙනා ඊට බියජනක බවක් දක්වනවා. එහෙත් එය බිය විය යුතු ප්‍රතිකාරයක් නොවේ. රෝගියාට වේදනාවක් ද නොදැනේ.

* රෝගය වැලඳී සුවපත් වූ කෙනෙකුට නැවත රෝගය මතුවන බව කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයක් තිබෙනවාද?

අදාළ රෝගියාටම බොහෝ විට එම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ වගේම රෝගියා ගේ ඥාතීන් ද ළඟින් ඇසුරු කරන අයද රෝගියා පිළිබඳ විමසිලිමත් විය යුතුයි. ඔවුන් රෝගියා තුළ මෙවැනි ලක්ෂණ තිබේදැයි සැලකිල්ලෙන් සිටිය යුතුයි. එනම් නින්ද පිළිබඳ උනන්දු නොවීම, සමාජශීලී බව වැඩිවීම, කෝපවන ගතිය, ඇඬීම, වැඩි වැඩියෙන් විවිධ කාර්යයන් කිරීමට උනන්දු වීම, අධිකව මුදල් වියදම් කිරීම ආදී ලක්ෂණයක් වේ නම් රෝගියා වෛද්‍යවරයකු වෙත යොමු කිරීම වැදගත් වේ.

ඒ වගේම තමන් ‍ෙග් සිතිවිලි ගැන දිනපතා සටහන් කර තැබීම මඟින් ද රෝග තත්ත්වය මතුවීම කල්තියා හඳුනාගන්නට පුළුවන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්