කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»

උක් දණ්ඩේ විප්ලවයෙන් අලි සංඛ්‍යාව අඩකට බසී

උක් දණ්ඩේ විප්ලවයෙන් අලි සංඛ්‍යාව අඩකට බසී

ජන මාධ්‍යවේදීන් විසින් කරන ලද හෙළිදරවි නිසා රජයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නෑසූ කන් ඇතිව සිටින්නට නොහැකි විය. උක් වගාවටත් කර්මාන්ත ශාලාව පිහිටුවීමටත් බිම සකසද්දී පැරැණි නටබුන් පවා බිමට සමතලා විය. සාම්ප්‍රදායික ගොවීන් ළතැවෙද්දී උක් දණ්ඩේ විප්ලවයෙන් පාරම්පරික ගොවිතැන් රටාව වෙනස් වී ගිය අතර අලුතෙන් පැමිණි පිරිස් එකවර විශාල මුදලක් පහසුවෙන් ඉපැයූහ. මේ අතර වනජීවී නිලධාරීන්ට මෙන්ම තවත් රජයේ නිලධාරීන්ට මේ පෙදෙස නිරීක්ෂණයට යන්නට සිදු විය.

“බෝ ගසයි නුග ගසයි ඇරුණාම සියලු ‍‍ඓතිහාසික දේ සීනි කම්හලට බිම සකසද්දී විනාශ වුණා.” වෛද්‍ය අතපත්තු සිය මතකය අවදි කළේය.

“බහු ජාතික සමාගම වෙනුවෙන් වුණත් වැඩ කළේ අපේ මිනිස්සු නිසා වෙන්න ඇති අක්කර දහස් ගණනක උක් වගාවේ සෙවණකට හරි මේවාවත් ඉතුරු වුණේ. මේ අතරේ වන සංරක්ෂණයෙන් වැව් රක්ෂිතයේ නඩත්තු වන වගා හැටියට ටර්පන්ටයින්, යුකැලිප්ටස්, තේක්ක වවන්න ගත්තා. එතකොට උක් වගාවේ සිට වැව දක්වා හොඳ වන වගාවකුත් සරුවට පිහිටි තණ බිමක් සහිත වැව් පිටියකුත් තිබෙනවා. ඒ වගේම වැව් රක්ෂිතයේ නඩත්තු වන වගා කරන්න බැරි හරියේ වා, වරා, මයිල වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ගස් වැව්වා. මෙය බැලූ බැල්මට අලින්ට කියාපු ප්‍රදේශයක්. නමුත් මේ එක ගහක් වත් අලි කන්නේ නෑ. තේක්ක ගහේ මුල විතරයි අලින් කෑම‍ට ගන්නේ.

අනෙක අවට ගම් ගණනාවක මී, එළ හරක් තණකොළ කන්න දැක්කුවේ මේ වැව් පිටිය‍ට. උන්ගේ රළු දිවෙන් කාප‍ට් එකක් වගේ වෙන්න තණ පි‍ටිය උලා කෑවාට පස්සේ අලින්ට කන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මොකද අලියාට උලා කන්නත් බෑ. ඉතුරු වන තණකොළ මුල්වල කිසිම පෝෂ්‍යදායී දේකුත් නෑ, කකුලෙන් නඟුල් ගාලා හොඬෙන් අරන් වැලි ගසලා තමයි අලින් තණකොළ කන්නේ. ඒත් හරක් කෑවාම එහෙම කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නෑ. තමන් නිදහසේ කාකා, බිබී ගිය කැලේත් විනාශ කරලා ඉතිරි ටිකටත් ඔහොම වෙද්දි මොකද්ද අලින්ට තියෙන විකල්පේ?” වෛද්‍ය අතපත්තු ඇසුවේ අපි කාටත් පොදු ප්‍රශ්නයකි.

“විදුලි වැට නිසා උක් වගාව පැත්තට යන්නත් බෑ. අලි ගමට පැන්නා. ඒ වෙද්දි අලුත් ගම්වාසීන්ට විතරක් නෙවෙයි පැරැණි අයටත් කරන්න දෙයක් තිබුණේ නෑ. මුලින් මුලින් මිනිස් කටහඬට , හූවකට, කෑගැහිල්ලකට බයේ ගිය අලි පන්නන්න දෙවැනුව බෙර, රතිඤ්ඤා, අහස් ගුණ්ඩු පත්තු කරන්න සිද්ද වුණා. ඒකටත් අලි හුරු වුණාම වෙඩි පත්තු කරන්න වුණා. ඔහොම වෙලා අන්තිමට ගැමියන් කෲර විදිහට අලි මරා දාන්න ගත්තා. බඳින කඳන්, බලපත්‍ර රහිත තුවක්කු අලින්ගේ ජීවිත එක් පැත්තකින් බිලි ගද්දී පත්තක්කා, වට්ටක්කා ඇතුළේ දැමූ කෘමි නාශක කැවුණු අලි විඳවලා මැරුණා. යූරියා මල්ලට උඩින් ලුණු පුරවලා තිබ්බාම ඒ රහට ඔක්කොම කන අලි බඩ එළිය ගිහින්ම මැරුණා. පරාල ඇණ ලෑලිවලට ගහලා අලි එන මඟේ තිබ්බම ඒවා කකුලේ ඇණිලා උඩු දුවලා කොටසක් මැරුණා. ඒ මදිවට විදුලි බලය පැත්තකවත් නැති පලාතේ මඟුල් ගේකට ගේන ජෙනරේටරවලින් කම්බි ඇදලා අලි මරලා තිබුණා. ඒ මුකුත්ම බැරි නම් ඇසිඩ් ගහලා හරි අලි මරන්න ඒ මිනිස්සු කටයුතු කළා. ”

අලි මරණ ගැන කියන විට වෛද්‍ය අතපත්තුගේ සි‍යොලඟ සලිත වී යන ආකාරයෙන් මේවා කෙතරම් දරුණු අත්දැකීම් වන්නට ඇත් ද යන්න වටහා ගත හැකි විය.

“හඳපානාගල අලි විතරක් නෙවෙයි, ඒ පැත්තේ තිබුණු සභ්‍යත්වය, සාර ධර්ම, සංස්කෘතියත් මේ් එක්කම මැරිලා යන්න ගත්තා. උක් ගොවියට තමන්ගේ අස්වැන්න විකුණාගන්න ප්‍රශ්නයක් ආවේ නෑ. පැල්වත්ත සීනි සමාගම ඒ හැම උක් ගහක්ම සල්ලිවලට ගත්තා. නමුත් හේන් ගොවියන් දහදුක් විඳලා ගන්න අස්වැන්න විකුණාගන්න පොළේ ගිහින් කෑ ගගහ, මග යන ට්‍රැක්ටර් නවත්වාගෙන මහ දුකක් වින්දා විතරක් නෙවෙයි ලැබුණෙත් සොච්චම් මුදලයි. මේ නිසා ඒ ගොවීන් පවා අන්තිමේ තමන්ගේ හෙන් කුඹුරු පවා කම්හලට දීලා උක් වවන්න ගත්තා. සල්ලි අතපත ගෑවෙද්දී මනුස්සකම් ක්‍රමයෙන් වැළලෙන්න ගත්තා. හැමෝම වගේ නාගරීකරණය වුණා. අලි මිනිස් ගැටුම තවත් වැඩි වුණා. හිටපු අලි සංඛ්‍යාව බාගෙට අඩු වුණා. මොකද නිදහසේ ඔබමොබ ගිය අලින් කුඩා වන රොදකට කොටු වුණාට පස්සේ දිවා කා‍ලයේ එහි සැඟවී සි‍ටියත් රාත්‍රියට ආහාර අහේනිය උග්‍ර වුණාම අලින් කළේ උන්නත් දාහයි මළත් දාහයි කියලා පැල්වත්ත උක් වගාවට හැරෙන එක. පැල්වත්ත බලධාරින් විශාල වියදමක් කරලා තමන්ගේ උක් වගාව බේරගන්න විදුලි වැටක් ගැහුවාම මේ අලි ගම් වැදුණා.

පැය විසි හතරේම කකා ඇවිදන මේ සත්තුන්ට ලැබුණු වන රොද ඉඩ මදි නිසා.”

“අලි මිනිස් ගැටුම අති උග්‍ර තත්ත්වයට පත් වෙද්දී මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් මේ ප්‍රදේශයට ලැබුණා. මෙය සමහරුන් තමන්ට ලැබුණු ආශිර්වාදයක් හැටියටයි පිළිගත්තේ. මොකද විශාල වියදමක් දරලා දින දෙක තුනක් වැය කරලා බලපත්‍ර සහිතව යාල වනෝද්‍යානයට ගිහින් බොහොම ඈත ඉඳන් අලියෙක් දෙන්නෙක් බලනවාට වඩා, මෙතැනදි අලි සියයක පමණ රෑනක් නිදහසේ බලා ගන්න මිනිසුන් එන්න ගත්තා. අලි රංචුවල වීඩියෝ, ඡායාරූප කිසි බාධාවකින් තොරව ගන්න පුළුවන් වීම ලොකු විනෝදාංශයක් ව‍ගේම ආදායම් මාර්ගයක් කර ගන්න සමහර කොළඹ මහත්වරු සමත් වුණා. තමන්ගේ ගම්බිම් නැතිවෙලා උන්හිටි තැන් අහිමි වෙලා අසරණ වෙච්ච අලින්ගේ දුක වේදනාව මේ අය විනෝදයටයි ගත්තේ. සමහර පින්තූර නෑදෑයන්ට සමරු සටහන් වුණා වගේම පිටරට සඟරාවලට විකුණූ විට ඩොලර් දහස් ගණන් ගේන සල්ලි උල්පත් බවට පත් වුණා. ඒ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ට. ඒ අය මිනිසුන්ගෙන් බැට කෑ අලින්ගේත්, අලින්ගෙන් බැට කෑ මිනිසුන්ගේත් විලාපය විකුණාගෙන කෑවා.”

වෛද්‍ය අතපත්තුට පමණක් නොව මට ද ඒ පිළිබඳ ඇති වූයේ ඉහිලුම් නැති අපුලකි. ප්‍රශ්නයට මුහුණ දෙන දෙපිරිසට කිසදු සරණක් නොවී කොළඹ සුර සැප විඳිමින් ගමේ අපූරුව ලෝකයට කියා බඩ වඩා ගන්නා මෙවැන්නන් සැබෑ මිනිසුන් දැයි විටෙක සිතිණි.

“මේ පිරිසට ආවැඩූ ගමේ සුළුතරයකුත් හිටියා. විශේෂයෙන් වැව ආශ්‍රිත මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අය ඔරුවෙන් සංචාරකයන් වැව් පිටිය අසලට ගෙන ගොස් අලි රංචු පෙන්වීමෙන් වැඩි මුදලක් උපයන්න ගත්තා. ඒ නිල නොලත් මාර්ගෝපදේශකයන්ගෙන් තවත් පිරිසත් මේ අලි ලෝලීන් වැව් පිටි‍යටම ගෙන ගොස් අලින්ට කෑ ගසා, වෙඩි පත්තු කර කුලප්පු කරද්දී පැටවුන් රැක ගැනීමට දුවන විට දුර්ලභ ගනයේ ඡායාරූප ගැනීමේ අවස්ථාව උදාකර දුන්නා. ඒ වැඩි මුදලකට.

මේ විදිහට අලින්ගේ හා මිනිසුන්ගේ ඇතුළාන්තයේ අඳෝනාව ගැන තැකීමක් නොකළ ඇතැම් දේශපාලනඥයන්ගේ ඥාති මිත්‍රාදීන්, වෘත්තීය ඡායාරූප ශිල්පීන්, බලපුළුවන් කාරයින් වැනි කොළඹ මහත්වරුන් හා ඔවුන්ගේ අතකොළු බවට පත් වූ කීප දෙනකු අලින් මේ ප්‍රදේශයේ ගැවසීම ප්‍රිය කළත් බහුතරය මේ අලින් වගේම මිනිසුන් විනාශ වන තත්ත්වයට කැමති වුණේ නෑ. සමස්තයක් හැටියට මාධ්‍යවේදීන් මේ තත්ත්වය හෙළා දැක්කත් අර බඩගෝස්තර වා‍දීන්ගේ සාක්කුවලට වැටුණු මාධ්‍යවේදීන් දෙතුන්දෙනෙකුත් හි‍ටියා. ඔවුන් වාර්තා කළේත් මේ අලින් මෙහි සිටීමෙන් ඇතිවන හයපත ගැන මිස අලි මිනිස්සු දෙපිරිස විඳින දුක ගැන නෙවෙයි.”

පිරිසකගේ දුක තවත් පිරිසක් මොනයම් හෝ ක්‍රමයකින් වාසියට නඟා ගැනීම මේ ලෝකයේ එක්තරා න්‍යායකි. හඳපානාගල අලින්ගේ සහ මිනිසුන්ගේ දුක පමණක් ඒ දහමට පිටින් දැක්විය හැකිද?

“මේ කාලේ හිටිය ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයෙක් මේ පැනයට අපූරු ආකාරයේ “වටිනා” යෝජනාවක් ගෙනාවා.‍ නේපාලයේ කොටින් බලන්නට ටයිගර් ටොප් නමින් තනා ඇති හෝටලය වගේ අපේ හඳපානාගල අලි ටික නරඹන්න නෙළුගල වඩිනා හෙළ කියන මුදුනේ හෙලිකොප්ටර් බාන අංගනයක් සහිත එලිෆන්ට් ටොප් හෝටලයක් ඉදි කරන්න කියලයි ඒ අපූරු යෝජනාවේ තිබුණේ.”

වෛද්‍ය අතපත්තු කීවේ මුවඟට උපහාසය පිරිගිය සිනහවක් ද නංවාගෙනය.

(හඳපානාගල අලි මෙහෙයුමේ තවත් ඇත්තක් ලබන සතියේ)


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්