කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»

 පිරිමියෙක් පිරිමියෙක් වගේ ඇඳලා ඉන්න කොට මට මාර සතුටුයි

පිරිමියෙක් පිරිමියෙක් වගේ ඇඳලා ඉන්න කොට මට මාර සතුටුයි
 

 ෆවුසුල් හමීඩ්

 හමීඩියා කළමනාකාර අධ්‍යක්ෂ

Men's wear...
ඔහුගේ තේමාවයි. ඒ නිසා ඔහු පිරිමි ඇඟලුම් හා බැඳුණු විලාසිතා ලොව ‘විලාසිතා සංකේතයක්’ බවට පත්වෙයි.
පිළි­වෙ­ළ­කට අඳින පල­ඳින පිරි­මින්ගේ විලා­සිතා ලෝකයට නව මානයක් ජේත්තු­කාර බවක් එක්කළ ෆවුසුල් හමීඩ් ‘හමී­ඩියා’ නම ව්‍යාපාර ලෝකයේ මුදුනේ තබයි.

• ඔබ ‘බිස්නස්මන්’ කෙනෙක්ද ‘ඩිසයිනර්’ කෙනෙක්ද...

මමම දන්නෙ නැහැ මම කවුද කියලා. හැබැයි මිනිස්සු මං ගැන හුඟක් දේ කතාකරනකොට මේ සමාජේ කොහේ හරි තැනක මං ඉන්න බව තේරෙනවා.

මම ‘ඩිසයින්’ කරන්නේ විකුණන්න. විකිණෙන්නෙ නැති ඩිසයින් කරලා මට වැඩක් නැහැ. එහෙම බලද්දි මං ඩිසයිනර් කෙනෙක් තරමටම ව්‍යාපාරිකයෙක්.

• ඔබේ ඉලක්ක අතර මුදල් ඉපැයීම, ප්‍රධානයි වගේ...

මං හම්බ කරන්නේ හොඳම දේ පාරිභෝගිකයාට දීලා. එහෙම හම්බ කරන මුදල්වලින් සෑහෙන ප්‍රමාණයක් මං වියදම් කරන්නේ අනෙක් අය වෙනුවෙන්. ඒ නිසා මට සල්ලි ඕනේ.

Men's wear සියයට 10ක් කරලා, ඉතිරි සියයට 90ම කාන්තා ඇඳුම් විකුණුවා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද...

කීයටවත් නැහැ. පිරිමියෙක්, පිරිමිකමට සහ වැදගත් පෙනුමට ඇඳලා ඉන්නවා දකිනකොට මට ‘මාර’ සතුටුයි. ගැහැනු ඇඳුම් විකිණුවොත් ලාබ වැඩියි තමයි. ඒත් මගේ සතුට ඒක නෙවෙයි.

• සියයට 90කටත් වඩා පිරිමි ඇඳුම් විලාසිතා පමණක් විකුණලා වෙළෙඳපොළේ තරගකාරිත්වයට මුහුණ දෙන්න පුළුවන්ද...

ඕනෑම ගැහැනු ඇඳුම් තියෙන සාප්පුවක පිරිමි විලාසිතාත් තිබෙනවා. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. හැමෝම කන්න බොන්න ඕනේ. ඒ නිසා තරගෙ හොඳයි.

අනෙක මට තරගෙ තියෙන්නේ මේ රට ඇතුළෙ නෙවෙයි. ‘ග්ලෝබල් මාකට්’ එකත් එක්ක. ඕස්ට්‍රේලියාවේ ෂෝරූම් එකට පස්සෙ මං ඊළඟ ෂෝ රූම් එක අරින්නේ එංගලන්තයේ. ඊට පස්සෙ යුරෝපයේ තවත් රටක.

• කළු බෙල්ට්, දුඹුරු සපත්තු, කළු කලිසම් - දුඹුරු සපත්තු ... ඔය ව‍ගේ නොගැළපෙන වර්ණ, අපිළිවෙළට අඳින පිරිමි දකිනකොට මොනවද හිතෙන්නෙ...

මට තරහා යනවා. ඇස් කන් නැද්ද කියලා හිතෙනවා. තියෙන්නේ සපත්තු කුට්ටම් දෙකද ඒක ඇඳුමේ පාටට ‘මැච්’ කරල අඳින්න පුළුවන්. බෙල්ට් - සපත්තු අනිවාර්යයෙන් එකම වර්ණයක විය යුතුයි. පිරිමියෙක් පළමුවෙන්ම ස්මාට් වෙන්නේ ඇඳුමෙන්.

• ඔබ විකුණන වැඩිම මිලක් ඇති ඇඳුමේ ගාණ කීයද...

රුපියල් ලක්ෂයයි.

• ඔබ අඳින්නෙ පලඳින්නෙත් ‘හමීඩියා’ විතරමද...

හුඟක් දුරට. හැබැයි පිටින් ගන්න වෙලාවලුත් තියෙනවා. මගේ ඇඳුම් ඩිසයින් කරන්නේ මමමයි. අඩුම තරමේ බොත්තම්වල හරි, පාට වෙනස් කරලා මොකක් හෝ ඩිසයින් එකක් කරනවා. මං අන්තිමට පිටරටින් ෂර්ට් එකක් ගත්තෙ රුපියල් 25,000කට. එච්චර ගාණක් දුන්නට දුකයි. ඒත් මං ඒ ඇඳුම්වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

ඒ ෂර්ට් එකම අපිට පුළුවන් රුපියල් 3000කට මහලා දෙන්න.

• ලෝකෙ හොඳම ෂර්ට් - කලිසම් රෙදි තියෙන රටවල් හතරක් පිළිවෙළින් කියන්න.

ඉතාලිය, ජපානය, චීනය, ඉන්දියාව

• ලෝකෙ වටිනාම ෂර්ට් රෙදි පහක් කියන්න...

ඇල්බිනි, තෝමස් මේසන්, ටෙසිටුරා මොන්ටි, රේමන්ඩ්, ලෝරො පිආනා. ඇල්බිනි මීටරයක මිල පටන්ගන්නේ රුපියල් 22,000න්. ඒක ඉතාලි රෙද්දක්.

• හොඳම රෙද්දකින් මැහුවත් ඇඳුමක් අඳින විදිය දන්නෙ නැතිනම් වැඩක් තියෙනවද...

ඇත්තටම වැඩක් නැහැ. ලෝකෙ මිල අධිකම රෙද්දෙන් මහපු ඉතාලි ෂර්ට් එකක් දහඩිය වේළන්නෙ නැතිව අල්මාරියට දැම්මොත් රෙද්දෙ හිල් හැදෙනවා. හොඳට හුළං වැදුණට පස්සෙයි අල්මාරියට දමන්න ඕනේ. ඒක නොදන්න අය ඇඳුම හිල් වුණාම කරන්නේ අපිට බණින එක. අඳින්න දන්නේ නැතිනම් මේ වගේ මිල අධික ඇඳුම් නොගෙන ඉන්න එකයි වැඩිය හොඳ.

• මොකක්ද මේ FH බ්‍රෑන්ඩ් එක

ඒක මගේ නමින් නම් කළ ෂර්ට් එකක්. එක ඩිසයින් එකකින් මහන්නේ කෑලි 20යි. ඒක විරල මෝස්තරවලින් එන ෂර්ට් එකක්.

• පිරිමි විලාසිතා ගැන කතාකළාට ඔබ වැඩි ඉඩක් දෙන්නේ යුරෝපීය ඇඳුම්වලට පමණක් බවයි හුඟදෙනෙකුගේ මතය...

ඒක ඇත්ත. මොකද මම කැමැති පිරිමියකුගෙ ඇඳුමේ වැදගත් බවට. ම‍ගේ ‘look and feel’ ලුක් ඇන්ඩ් ෆීල් වෙනස්.

එම්බ්‍රොයිඩරි මල් මෝස්තර පිරිමි ඇඳුම්වලට යෙදුවම එන ඉන්දියන් පෙනුමට මං එච්චර කැමැති නැහැ. පිරිමියකුගේ පිරිමිකම සහ වැදගත් පෙනුම එන්නේ යුරෝපීය ඇඳුමෙන්.

• ඕනෑම කෙනකුගේ ෆැෂන් ප්‍රශ්නවලට ඊමේල්වලින් පිළිතුරු දීපු වැඩේට මොකද වුණේ...

ඒක නවත්තලම නැහැ. අයිස් ගහන සමහරු වරු ගණන් නිකරුණේ මේල් කරනකොට මාර කරදරයක් වුණා. ගනුදෙනුකරුවන් අහන හැබෑ ප්‍රශ්නවලට නම් මම තාමත් ‘රිප්ලයි’ කරනවා.

* වාසනාව... සැලසුම්සහගත බව... කැපවීම මේ කාරණා තුන ඔබේ ජීවිතය ඇසුරෙන් විග්‍රහ කරන්න...මට අවුරුදු 17 විතර වෙද්දි තාත්තා අසනීප වුණා. තරුණ නංගිලා තුන්දෙනෙක් බන්දලා දෙන වගකීම තිබුණා. නිතර හිතුවෙ බිස්නස් එක වෙනස් විදියකට දියුණු කරන හැටි. ඒ වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කළා.

ළාබාල තරුණයෙක් විදියට ඕනෑවටත් වඩා ඒ වෙනුවෙන් ම කැප වුණා. ඩිසයින්ස් අතින් ඇන්ඳා. ඉංග්‍රීසි මැගසින් හොයාගෙන බැලුවා. ඉන්ටනෙට් අහලවත් නැති කාලයක් ඒක. මමම කපලා මැහුවා. ලෙහුවා. ආයේ මැහුවා. මහ රෑ වෙනකල් වැඩ කළා. ඒ තමයි කැපවීම.

ශාස්ත්‍රයයි බිස්නස් එකයි දෙකම ඉගෙන ගත්තෙ අම්මා - තාත්‍තගෙන්. වාසනාව ළඟා වුණේ මේ හැමදේම හින්දා මිස නිකන් නෙවෙයි.

ඒ කියන්නේ පවුලම ව්‍යාපාරිකයෝ...

අම්මා බිස්නස් කළේ නැහැ. ඒත් අවංක කමේ පාඩම ඉගෙන ගත්තෙ ඇගෙන්. අම්මා තමයි මගේ ජීවිතේ Role Model එක. අදත් මං අම්මට බය පුතෙක්.

• කැමැතිද කියන්න ඒ ජීවිත පාඩම...

තාත්තගෙන් බිස්නස් එක ලැබුණට පස්සෙ අයියත් මාත් ටිකක් වැඩිපුර හම්බකරන්න හිතුවා. ටැග්, ලේබල් නැති සමහර ඇඳුම් අපි විකිණුවේ ඉම්පෝටඩ් කියලා. අම්මට ආරංචිය ගියා. බිසනස් එකට බොරු කරන්න එපා කියලා එදා අම්මා හොඳටම බැන්නා. අවංක වුණොත් වරදින්නෑ කියල මං මගේ ජීවිතෙන් ම ඉගෙන ගත්තා.

• අද ඉතාලියේ. හෙට ජපානේ. අනිද්දා තවත් රටක. දැන් ඔබ ගත කරන්නේ සුපිරි ජීවිතයක්...

ඒවා සැප ගන්න යන ගමන් නෙවෙයි. මං කිව්වේ, මට තරගෙ තියෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක. එංගලන්තයේදි සුපිරි ඇඳුම් සාප්පුවකදී ඔබ Made in Sri Lanka ගහපු හමීඩියා ඇඳුමක් දැක්කොත් පුදුම වෙන්න එපා. ඉදිරියේදී යුරෝපයේ රටවල් ගණනාවකදී ඔබට එහෙම දකින්න ලැබේවි. ඊළඟට හමීඩියා ප්‍රදර්ශනාගාර දකීවි.

ඒ කතාව එහෙම වුණාට, මට හිතුණොත් රෑට කොල්ලුපිටියේ පිලාවුස් එකෙනුත් කනවා. පාර අයිනේ වාහනේ නවතලා කරත්තෙකින් කඩල ගොට්ටක් කන්න හිතුණොත් ඒකත් කරනවා. මගේ කැන්ටිමෙනුත් කනවා.

• බොහොම ආඩම්බරයෙන් කියන ඔබේ ඔය කැන්ටිම කොහේද තියෙන්නේ...

මගේ රත්මලානේ ෆැක්ටරි එකේ කැන්ටිම. හරිම රසයි. මමත් දවල්ට කන්නෙ ඒකෙන්. එළවළු තුනයි ‘චිකන්’ හෝ මාළු එක්ක බුෆේ එකක්. රුපියල් 90 ක් වැය වුණාට මං කෑම එක දෙන්නේ රුපියල් 40 ට. ඕන ආයතනයක් මාව ‘එක්සාම්පල්’ කරගෙන සේවකයන්ට මෙහෙම කන්න දෙන්න කියලා මම යෝජනා කරනවා.

• ඔබ මේ රටේ ධන කුවේරයන් අතර කෙනෙක් කියලා හිතිලා නැද්ද...

නැහැ. අපි මේ රටේ යම් මට්ටමක ඉන්න බිස්නස්කාරයෝ විතරයි. ඒත් රේගුවෙන් අපිට හරියට බාධා. මම මේ දිනවල ආණ්ඩුවට ලියුමක් ලියමින් ඉන්නේ. අපි වගේ බිස්නස්කාරයෝ ඔළුව ඉස්සුවොත් තමයි රටට හොඳ වෙන්නේ.

• ඔබ දේශපාලනඥයන් එක්ක හිතවත් නිසා ඒ ඉල්ලීම අහක යන එකක් නැහැ...

මාත් එහෙම හිතනවා. හැබැයි ඒක හිතවත්කමකට වඩා ක්ෂේත්‍රය ගැන හිතලා කාටත් ලැබිය යුතු සහයෝගයක්.

• හුඟක් දේශපාලකයන් ඔබේ ඇඳුම්වලින් හැඩ වූ අය නේද...

ඔව්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරු වගේ ම රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, නවීන් දිසානායක, ඉමිටියාස් බාකිර් මාකර් තුන් පරපුරම ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් ඉන්නවා. ගෝඨාභය මහත්තයාටත් මං ඇඳුම් මැහුවා.

මහින්ද ජනාධිපතිතුමා දැන් වැඩිපුර අඳින්නේ සුදු නිසා එතැන ඩිසයින්ස් නැහැ. නමුත් මං ඉස්සර හුඟක් ඇඳුම් මෝස්තර එතුමට නිර්මාණය කළා.

• මොනවා ගැනද ඔබ වැඩිපුර සිහින දකින්නේ...

බිස්නස්... ෆැෂන්... ගැන. මගේ ව්‍යාපාරය කලින් කලට වෙනස් මුහුණුවර ගන්නේ. ඒ ඩ්‍රීම්ස් නිසා. මේ දවස්වල මට තියෙන ලොකුම ඩ්‍රීම් එක දුප්පත් ළමයි.

• ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක මොකක්ද මේ කරන අලුත් වැඩේ...

අලුත් නැහැ. මේක අවුරුදු හතරක විතර ඉඳලා මං කරන වැඩක්. මේ වැඩේට දැන් ඇන්ජලෝ මැතිව්ස් මා එක්ක සම්බන්ධ වුණා. දුප්පත්කම නිසා පාසල් යන්න බැරි සහ ඉගෙන ගන්න දුක් විඳින දරුවන් වෙනුවෙන් අපි දෙන්නා ලොකු වැඩක් කරනවා. ඒ ප්‍රොජෙක්ට් එකේ නම ‘My friends'.

පිටුපසින් ඉඳන් මම මුල්‍ය ශක්තිය දෙනවා. ඇන්ජලෝව දැක්කම ඒ පොඩි ළමයි හරි සතුටුයි. මගේ වෙනම ටීම් එකක් ඉන්නවා. එයාලගේ ජොබ් එක, රට පුරා මේ වගේ දුප්පත් දරුවෝ පාසල් හරහා හොයන එක. ඊට පස්සෙ ඇන්ජලෝත් මමත් ඒ දරුවො හොයාගෙන යනවා.

• මෙහෙම උදව් කරන්න සල්ලි කොහෙන්ද...

My friends නමින් අපිට අරමුදලක් තියෙනවා. මගේ FH බ්‍රෑන්ඩ් එකෙත් විකිණෙන ඇඳුමක් ගාණේ මේ අරමුදලට මුදල් බැර වෙනවා. SMS ‘ෆැෂන් ටිප්ස්’ යවලා ඩයලොග් එකෙනුත් මුදලක් මේකට ලැබෙනවා.

අපේ රටේ හැම පළාතකම ඉන්න සල්ලිකාරයන්ට, මුදලාලිලාට මං යෝජනාවක් කරනවා. තමන්ගේ පළාතේ දුප්පත් දරුවො 50 දෙනකුට අඩුම තරමේ කෑම වේලක් දෙන්න. පොතක් අරන් දෙන්න... කියලා.

• ඔබට තියෙන වත්කම් දේපළ කියන්න කැමැති ද?

ගෙවල් දෙකයි. ෂෝ රූම්ස් 16 යි. ෆැක්ට්රි තුනයි.

• දේශපාලනයට ඇවිත් දවසක ඔබ වගකිව යුතු ඇමැතිවරයෙක් වුණොත් මොනව වෙයි ද...

දේශපාලනයේ ‘රොකට් සයන්ස්’ නැහැ. පාරක් හදන එක, කානු ටික හදන එක ලයිට් දෙන එක මහ දේවල් නෙවෙයි. මිනිස්සු බදු ගෙවනවා. ඒ සල්ලිවලින් යටිතල පහසුකම් හදන එක මහ දේවල් නෙවෙයි.

හැම මාසෙකම මං රටවල් දෙක තුනකට යනවා. ඒ රටවල් ලස්සනට තියෙන්නේ මිනිස්සු දියුණු වෙලා ඉන්නේ හොරකම නැති නිසා. අපේ රටේ හොරකම වැඩියි. හුඟ දෙනෙක් දේශපාලනයට එන්නේ හම්බ කරගන්න.

මං දේශපාලනයට ආවොත් හුඟක් දේ වෙනස් කරනවා. දෙහිවල - ගල්කිස්ස හරි මොරටුව හරි නගරාධිපතිකම හම්බ වුණොත් මං මේ දේවල් කරලත් පෙන්නනවා.

• ඔබ ජ්‍යොතිෂය පිළිගන්නව ද...

ඉපදෙන්නෙ වෙලාව බලල ද... මැරෙන්නෙ වෙලාව බලල ද... එහෙනම් වැඩ කරන්න විතරක් වෙලාවක් මොකට ද?

මගේ වයිෆ් වෙලාවකට මට බණිනවා, ඔයාට ඔයාගේ ළමයි ගැන බලන්න වෙලාවක් නැහැ. ඒ වුණාට රටේ ඉන්න ළමයි ගැන බලන්න වෙලාව තියෙනවා කියලා... ඒත් ඒ ළමයින්ට කරන දෙයින්, හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ මගේ දරුවන්ට කියලා මං විශ්වාස කරනවා.

• සිංහල සිංදු විඳින්න පුළුවන් ද...

ඔව්. මං කැමැතිම සිංදුව මිල්ටන්ගේ ‘එදා රෑ ගුවන් තොටුපළේ දී මා...’ ක්ලැරන්ස්ගේ හැම සිංදුවකටම ආසයි. බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං... ඒකත් මං ආසම සිංදුවක්.

• ‘මාකටින් ඩිග්‍රියක්’ කළා නම් හොඳයි කියලා කවදාවත් හිතුණෙ නැද්ද...

ඩිග්‍රි තියා මට ඒ ලෙවල්වත් නැහැ. ඒත් මං මගේ විෂයේ නිතර update වුණා. ප්‍රැක්ටිකල් වුණා. කැප වුණා. අද මං ළඟ වැඩ කරනවා, ඩිග්‍රි කාරයෝ ඕනෙ තරම්. මං ඒ අයගෙන් ඉගෙන ගන්නවා.

• දුලිප් මෙන්ඩිස්ගේ කාලෙ ඉඳන් ශ්‍රී ලංකා ටීම් එකට ඇඳුම් මැහුවේ හමීඩියා...

එක එක්කෙනාගේ ඇඟට ගැළපෙන විදියට මිමි අරගෙන ටීම් එකටම ඇඳුම් මැහුවේ අපි තමයි. අවුරුදු තුනකට කලින් ඒක ටෙන්ඩර් කළා. අපි ඉල්ලුවෙ නැහැ. වෙන කට්ටියක් කළා. නමුත් හරි ගියේ නැහැ. හැබැයි ආයෙමත් අපිටම කරන්න කියලා ඕ‍ඩරේ ලැබුණා. අඳින හැම කෙනාම වැදගත් විදියට පේන්න ඕනෙ කියන තැන ඉඳගෙනයි, මං ඔවුන්ට ඇඳුම් හදන්නේ.

• කොහොම ද රියැලිටි වැඩසටහන් සහ ‘මීඩියා’ එක්ක ඔබේ තිබෙන ගනුදෙනුව...

පළමු සුපර් ස්ටාර් අජිත් බණ්ඩාර ගෙන් පටන් ගත්තම සීසන් හතරක් විතර යනකල් මං ඇඳුම් දුන්නා. ඊට පස්සෙ හැම චැනල් එකම පටන් ගත්තා. හැමෝම ඉල්ලන්න ගත්තා. හුඟක් ඇඳුම් ඩැමේජ් වුණා. ඒ නිසා නැවැත්වූවා.

• තමන්ගේ දරු පවුලට වඩා මිල මුදල් වටිනව ද කියල කෙනකුට තර්ක කරන්න පුළුවන්...

නූහා මගේ බිරිය මට හුඟක් ආදරෙයි. එයා මගේ දරුවො තුන්දෙනත් එක්ක ඉන්නෙ පිටරටක. නජ්ජත් මගේ ලොකු දූ වයස 19 යි. හබීබ් දෙවැනි දූට 16 යි. එකම පුතා මිඛාසෙල්ට 13 යි. මේ හතර දෙනාම ලංකාවෙන් ගියේ අපට කප්පම් තර්ජන තිබූ නිසා. ඒ මීට අවුරුදු හයකට කලින්.

දැන් තුන්දෙනාම එහේ ඉගෙන ගන්නවා. ඒ නිසා මුදල් ඕනේ. මාස දෙක තුනකට සැරයක් ගිහින් බලලා එනවා. ඒ අයත් ලංකාවට එනවා - යනවා. skyp එකෙන් අපි කතා කරනවා. Text කරනවා. බැඳීම් එහෙමමයි. ආදරෙත් එහෙමමයි. නිතර ළඟ දැවටෙන්න විතරයි බැරි. ඒ නිසා ඒ තර්කයට මං එකඟ නැහැ.

මගේ බිරිය මට මුණ ගැහුණෙ එතරම් සල්ලි නොතිබුණු කාලෙනෙ. ඉස්සර එයත් ‘මොඩ්ලින්’ කළා. බැන්දට පස්සෙ එයා මොඩ්ලින් අතෑරියා. ඒ හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕනෑ නිසා.

• ඉතින්, සල්ලිකාර ව්‍යාපාරිකයකුට මේ හුදෙකලාව දරාගන්න පුළුවන් එකක් ද...

සල්ලිකාරයෙක් කෙසේ වෙතත් පියෙක්, සැමියෙක් හැටියට හුඟක් අමාරුයි.

• ඒක තමයි... එහෙනම් ප්‍රේමාරාධනාත් නොලැබෙනවා වෙන්න බැහැ...

අපොයි! මොකද නැතුව. (හිනැහෙමින්) ඒත් මං ඒවට හරි බයයි. ඊට වඩා ලැජ්ජයි. ඇත්තටම මං ඒ කාරණාවට ‘ෆෝවඩ්’ මදි.

• ඒත් ඔබේ ආගමෙන් තවත් විවාහයකට බාධාවක් නැහැ...

(හිනැහෙමින්).... මං ‘වයිෆ්’ එක්කත් එහෙම කියනවා. එයා නම් මට බණිනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්