කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»

සැකයක් නම් රුධිර පරීක්ෂාවක් කරගන්නවා මිසක් තැවි තැවී ඉන්න එපා

සැකයක් නම් රුධිර පරීක්ෂාවක් කරගන්නවා මිසක් තැවි තැවී ඉන්න එපා

 විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ. ගමගේ

ඒඩ්ස් රෝගය පිළිබඳව මුලින් ම වාර්තා වූයේ 1981 වසරේ දී ය. ඉන් සිවු වසරකට පසු රෝගයට ලක්වූවන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණයක් සොයා ගැනිණි. රෝගය සුව කිරීමට නම් ඒඩ්ස් වෛරසය විනාශ කළ යුතු ය. එහෙත් ඒ සඳහා සුදුසු ඖෂධයක් තවම සොයා ගෙන නැත. දැන් ලොව පුරා වසංගතයක් ලෙසින් ඒඩ්ස් රෝගය ද ව්‍යාප්ත වේ. එය යම් කෙනෙකුගේ සිරුරට ඇතුළු වන්නේ මරණයත් උරුම කරගෙන ය. ‍රෝගය සුව කිරීමට වඩා වැළැක්වීම ඉතා පහසු ය. අවශ්‍ය වන්නේ චර්යා වෙනස පමණි. එය කළ හැකිවන්නේ ද ඔබට ය. අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒඩ්ස් රෝගය පිළිබඳව ය.

* එච්.අයි.වී. ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?

ඒඩ්ස් රෝගය ඇති කරන වෛරසය නම් කර ඇත්තේ HIV යන නමින්. ‘Human Immuno deficiency’ Virus යන ඉංග්‍රීසි බසින් හැඳින්වෙන එම වෛරසය ‘මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය’ ලෙස සිංහල බසින් අර්ථ දැක්වෙනවා. රෙ‍ට්රෝ වෛරස ගණයට අයත් ඉතා කුඩා වෛරසයක් වන අතර දැක බලාගත හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මඟින් පමණයි.

‍ෙවෙරසය බෝවීම සඳහා මිනිස් ජීව සෛල තුළට ඇතුළුවීම අත්‍යවශ්‍ය වේ. එය සොයාගනු ලැබුවේ 1983 වර්ෂයේදී ප්‍රංශයේ ලුවී පාස්චර් ඇකඩමියේ විද්‍යාඥයකු වන ලූක් මොන්ට්ග්නර් සහ ඇමෙරිකානු විද්‍යාඥයකු වන රොබට් ගැලෝ විසිනි.

* එච්.අයි.වී. වෛරසයේ ස්වභාවය කෙබඳු ද?

යම් විෂ බීජයක් ශරීරගත වූ විට එම විෂ බීජයට එරෙහිව සටන් කිරීමට ස්වභාවයෙන් ම උරුම වූ ආරක්ෂක ක්‍රියා පිළිවෙතක් සාමාන්‍යයෙන් ඕනෑම කෙනකු ගේ ශරීරයෙහි ක්‍රියාත්මක වේ. එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොනයම් හෝ ක්‍රමයකින් එච්.අයි.වී. වෛරසය ඇතුළු වූයේ නම් පෙර ලෙස එයින් ඉටු වූ ආරක්ෂක ක්‍රියාවලිය සිදු නොවන අතර එය සම්පූර්ණයෙන් ම ඇන හිටී.

* සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

එච්.අයි.වී. ආසාදනය පිළිබඳ කතා කිරීමේ දි අප සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරනු ලබන පද්ධතිය පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත්. අප සිරුරට රෝග කාරක විෂ බීජයක් හෙවත් වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇතුළුවූ විට සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී වහාම එය විනාශ කරන බව මුලින් සඳහන් කළා.

වසා ගැටිති හා වසා වාහිනී පද්ධතිය සහ රුධිර වාහිනී පද්ධතිය ආශ්‍රිතව ඇති ප්‍රතිශක්තිජනක සෛල කෝටි ප්‍රකෝටි ගණනක් එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් වෙනවා. මහාභක්ෂක සෛල එසේ ක්‍රියාත්මක වන එක් සෛල වර්ගයක්. ඒවා රුධිරයේ විෂබීජ ගැවසෙන පටක තුළ දක්නට ලැබෙනවා. සිරුරට ඇතුළු වූ විෂබීජ මහාභක්ෂක සෛල මඟින් ගිල දමනු ලබනවා.

එයින් නොනැවතී සිරුරට රෝග කාරක විෂබීජයක් ඇතුළු වී ඇති බව වෙනත් ප්‍රතිශක්තිකාරක සෛල වෙත දැනුම් දෙනවා. එම පණිවුඩ ලබා ගන්නේ සහායක ටී සෛල මඟින්. එමඟින් ප්‍රතිදේහ නිපදවන අතර ඒවා විෂබීජ විනාශ කර රෝග මර්දනය කරයි.

එච්.අයි.වී. වෛරසයට විරුද්ධව මුල් අවදියේ දී සමහර සහායක ටී සෛල මඟින් ප්‍රතිදේහ නිෂ්පාදනය කළත් ක්‍රමයෙන් එම සෛල විනාශ වි ගොස් රෝග කාරක විෂබීජවලට ප්‍රතිදේහ තැනීමේ හැකියාව සිරුරෙන් සම්පූර්ණයෙන් ම ඉවත්වෙයි. එවැනි අවස්ථාවකදී ඕනෑම විෂ බීජයකට සිරුරට ඇතුළු වී රෝග ඇති කළ හැකියි. මේ අවස්ථාවේ දී අදාළ රෝගියා ඒඩ්ස් රෝගයෙන් පෙළෙන්නේ යැයි හඳුන්වනවා.

* ඒඩ්ස් රෝගය ඇතිවන්නේ කෙසේද?

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. වෛරසය මඟින් එම භයානක ‍රෝගය ඇති කරන බව මුලින් ම ඔබ දැනුම්වත් කළා. එම වෛරසය රෝගියකු ගේ සිරුරේ සිට නිරෝගී සිරුරකට මාරු වන්නේ ලිංගික ඇසුරකදී යි. එවැනි අවස්ථාවක ඇසට නො‍ෙපනෙන තරම් වූ සියුම් පටකවලට හානි සිදුවීම වෛරසය ශරීර ගතවීමට හේතු වෙනවා. විශේෂයෙන් අදාළ පුද්ගලයා හර්පීස් වැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඔවුන්ගේ සම දැනටමත් තුවාල වී තිබෙන නිසා එච්.අයි.වී. වෛරසය පහසුවෙන් ම අසාදනය විය හැකියි.

මීට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ එච්.අයි.වී. ආසාදිතයන් භාවිතා කරන එන්නත් කටු මඟින් තම සිරුරට මත්ද්‍රව්‍ය විද ගැනීමෙන් හෝ වෙනත් ‍ඖෂධ නික්ෂේපණය කිරීමෙන් බෝවිය හැකි ය. එච්.අයි.වී‍. ආසාදිත මවගෙන් තම කුස තුළ සිටින දරුවාට ද ආසාදනය විය හැකියි. එමෙන් ම එක් අයකුගේ රුධිරය අනෙක් පුද්ගලයාගේ රුධිරයට එක්විය හැකි ඕනෑම ආකාරයක ලිංගික හෝ එසේ නොවන හැසිරීමක් මඟින් එච්.අයි.වී. ආසාදනය බෝ වීමට පුළුවන.

මීට අමතරව ආසාදිතයකු භාවිත කළ රේසර්, බ්ලේඩ් හා දත් බුරුසු මගින් ද රෝගය බෝ වීමට ඉඩ තිබේ.

* එච්.අයි.වී. වෛරසය ශරීරගත වීමෙන් පසු හට ගන්නා රෝග ලක්ෂණ කෙබඳු ද?

එච්.අයි.වී. වෛරසය ශරීර ගත වී සති දෙකත් පහත් අතර කාලයක් ගත වූ පසු සියයට විසි පහකට පමණ යම් යම් රෝග ලක්ෂණ ඇතිවිය හැකි ය. ඇඟ පතේ වේදනාව , උගුර වණවීම නිසා හටගන්නා වේදනාව, ඇඟ සීතල කරමින් හටගන්නා උණ, සිරුර පුරා පැතිරුණු ලප, මුඛ්‍ය සහ ලිංගික ප්‍රදේශවල ඇතිවන වණ වීම් සහ වසා ගැටිති ඉදිමීම සිදුවිය හැකියි.

එහෙත් මෙහිදී මතකයේ තබා ගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ මෙම රෝග ලක්ෂණ එච්.අයි.වී. වෛරස් ආසාදන සඳහා ම සුවිශේෂී වූ රෝග ලක්ෂණ නොවන බවයි. වෙනත් වෛරස් රෝග නිසා ද එවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවයි. මෙම රෝග ලක්ෂණ ඒඩ්ස් රෝගයේ පළමු අදියර හෙවත් ආරම්භක ආසාදන සමය යටතට ගැනෙනවා.

* එච්.අයි.වී. ආසාදනයේ වෙනත් අදියර මොනවාද?

එය අදියර හතරක් යටතේ වර්ග කළ හැකියි. දෙවැනි අදියර ලෙස සැලකෙන්නේ රෝග ලක්ෂණ රහිත සමයයි. එම කාලය වසර 10 ක් ඉක්මවා යාමට ද පුළුවන්.‍ මෙම කාලයේදී එච්.අයි‍.වී. ආසාදිත පුද්ගලයා හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් පෙන්විය හැකියි. එසේ වුව ද සමහර ආසාදිතයන් ගේ බෙල්ලේ, කිහිල්ලේ සහ ඉකිලිවල වසා ගැටිති විශාල වී තිබෙනු දැකගත හැකිවේ. භයානක වන්නේ මෙම කාලයේදී එම ආසාදිතයාට තවත් කෙනෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව තිබීමයි.

* තෙවන අදියරේ ස්වභාවය කෙබඳු ද?

එච්.අයි.වී. වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය හීන කළ විට සිරුරට ඇතුළු වන විෂබීජ මඟින් ලෙහෙසියෙන් ම රෝග ඇති කළ හැකි ය. මෙහිදී බොහෝ විට මුලින් ම ඇතිවන්නේ දිලීර ආසාදනයන්. කුඩා දරුවන් ගේ මුඛයේ හට ගන්නා කිරි මැලියම් හෙවත් උල්ලෝගම් ඇති කරනු ලබන දිලීරය මඟින් මුඛයේ සහ කාන්තාවන් ගේ යෝනි මාර්ගයේ ආසාදන ඇති කරයි. මෙහිදී කාන්තාවන්ට කිරිවන් සුද යාම ඇතිවිය හැකි ය.

මීට අමතරව වෙනත් චර්ම රෝග, සිරුර කෙට්ටුවීම හෙවත් බර අඩු වීම, පාචනය, වරින් වර දහඩිය දැමීම දැකගත හැකිවේ. එමෙන් ම ඉතා ඉක්මනින් මහන්සි වන ගතියක් ද දැනේ. මෙම කාල සීමාවේ දී ද රෝග ආසාදිතයන් තමන් එච්.‍අයි.වී. ආසාදනයෙන් පෙළෙන බව නොදැන කල් ගත කිරීමට පුළුවන‍.

* රෝගයේ අවසන් අදියර පිළිබඳව විස්තර කළොත්

ඔව්. එච්.අයි.වී. ආසාදනයේ අවසන් අදියර ඒඩ්ස් රෝගී තත්ත්වයයි. මෙහිදී තෙවන අදියරේ දී පෙන්වූ රෝග ලක්ෂණ තවදුරටත් වැඩි වේ. සිරුර කෙට්ටුවීම, උණ හට ගැනීම, රාත්‍රි කාලයේ දී අධික ලෙස දහදිය දැමීම බොහෝවිට දකින්නට ලැබේ. එමෙන් ම නියුමොසිස්ට්ස් කැරීනි නියුමෝනියාව, හර්පීස් රෝගය හෝ මොළයේ ආසාදනය මෙම කාලයේදී ඇති වේ. මේ වනවිට සිරුර තුළ රෝගවලින් ආරක්ෂා වීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ම හීන වී ගොස් ඇති නිසා ආසාදිතයා එම රෝගයෙන් ම වසර පහක් පමණ කාලයක් ඇතුළත මිය යයි.

* එච්.අයි.වී. ආසාදිත වී තිබේ දැයි හඳුනා ගන්නේ කෙසේ ද?

ඒඩ්ස් රෝගය වැලඳී නැතත් එය වැලඳී තිබේ දැයි යන සැකයෙන් පීඩාවට පත්වී සිටින අය කොතෙකුත් හමුවී තිබේ. එම නිසා ම කාන්සාවෙන් පෙළෙමින් මානසික පීඩාවටත්, මානසික රෝගී තත්ත්වයටත් පත්වූ අය ද වෙති. සමහර අය සිය දිවි නසා ගැනීමට පවා පෙ‍ලඹෙති. එහෙත් අවසානයේ දී ඔවුන් ගේ රුධිරය පරීක්ෂා කළ විට පෙනී ගියේ බොහෝ දෙනකුට එච්.අයි.වී. ආසාදනය වී නොතිබුණු බවයි.

බොහෝ විට මෙම තත්ත්වය ඇතිවන්නේ HIV ආසාදිතයන් ඇසුරු කිරීම සඳහා වැඩි සම්භාවිතාවයක් ඇති සෞඛ්‍ය ක්ෂේත්‍ර සේවකයන් සහ සමාජ ‍සේවා කටයුතුවල යෙදෙන අය තුළ ය. ඔවුන් වහාම තම පවුලේ වෛද්‍යවරයා හෝ මනෝ වෛද්‍ය විශේෂඥයකු හමුවී ප්‍රතිකාර ගත යුතු ය. සැක හැර ගත යුතු ය. එවිට ඔවුන්ට පූර්ණ සුවය ලැබේ. ඒ වගේ ම එච්.අයි.වී. ආසාදනයෙන් පෙළෙන්නකු සමඟ ලිංගිකව හැසිරුණු විගසම හෝ ආසාදිතයකු භාවිත කළ එන්නත් කටුවකින් විදගත් විගසම තවත් කෙනෙකුට එච්.අයි‍.වී. ආසාදනය ඇති නොවේ. එම වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ වර්ධනය වීම සඳහා අඩු තරමින් සති හයක් හෙවත් මාස එක හමාරක්වත් ගත වේ. එම නිසා ප්‍රතිදේහ හඳුනා ගැනීම සඳහා කරනු ලබන රුධිර පරීක්ෂණය කළ යුතු වන්නේ සති හයකට පසුව ය.

* එච්.අයි.වී. ආසාදිතයකු ගේ කැස්ස, කිවිසුම් යාම, හෝ දහඩිය ස්පර්ශ වීමෙන් රෝගය බෝවනවාද?

නෑ. එය වැරදි ආකල්පයක්. ඒ වගේ ම ලේ උරාබොන මදුරුවන් හෝ කූඩැල්ලන් මගින්, පිහිනුම් තටාක මගින්, වැසිකිළි භාවිතය මගින්, දොර හැඬල් සහ යතුරු ස්පර්ශ කිරීමෙන්, පිඟන් කෝප්ප ‍භාවිතයෙන්, අතට අත දී ආචාර කිරීමෙන් හෝ සිප වැලඳී ගැනීමෙන් ද එච්.අයි.වී‍. ආසාදනය බෝවන්නේ නැත. ලේ දන්දීම මඟින් ද රෝගය බෝ නොවේ.

එකම තුවාය භාවිතයෙන්, එකම ඇඳ හෝ පුටු භාවිතයෙන්, ඇඳුම් මඟින් ද රෝගය බෝවන්නේ නැත.

* ඒඩ්ස් රෝගය සුව කළ නොහැකි ද?

මෙම රෝගයේ ඇති භයානක බව ද එයයි. ඒඩ්ස් රෝගය සුව කළ නොහැකියි. ටික කලකින් රෝගියා මිය යයි.

* එච්.අයි.වී. ආසාදිතයකුට දිය හැකි උපදෙස් මොනවාද?

රෝගයෙන් ආසාදිතයෙක් තමන් ඇසුරු කරන විශ්වාසවන්ත අය. ඒ පිළිබඳව දැන්වීම නුවණට හුරුයි. එහෙත් එය ඉතා කල්පනාවෙන් කළයුතු දෙයක්. ඊට හේතුව රෝගය පිළිබඳ බොහෝ අය දරන ආකල්පය එතරම් සානුකම්පිත නොවීමයි.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන්, ලිංගාශ්‍රිත රෝග පිළිබඳව සායනවල සේවය කරන අය, පවුල් සංවිධාන සංගමය, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි ස්වේච්ඡා සංවිධානවල සේවකයන් එච්.අයි.වී. ආසාදිතයන් පිළිබඳව දරන්නේ නිවැරැදි ආකල්පයක්. එබැවින් ඔවුන් හමුවී සාකච්ඡා කිරීම සුදුසු වේ.

‍‍ඒ වගේ ම තමන් එච්.අයි.වී. ආසාදිතයකු බව දැන දැනත් වෙන අය සමඟ අනාරක්ෂිත ලිංගික ඇසුර සදාචාර විරෝධීය. එන්නත් කටු හුවමාරුව ද එලෙස ය. එය හිතාමතා ම අනෙකාට රෝගය බෝ කරන්නට දරන උත්සාහයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්