කව් සිළුමිණ
සංස්කරණය - රත්න ශ්‍රී
විජේසිංහ

සමුගනිමි කොග්ගල
සටහන : දිගු කලක් ඇසුරු කළ පරිසරයෙන්
ද, එහි සුහද සුළවතුන් ගෙන් ද වෙන් ව යෑම
වේදනාකාරිය. එකී වියෝග හැඟීම් හුදු
පුද්ගලානුභූතීන් සේ පෙනෙන නමුත් එය එසේ ම
නොවේ. පරත්වාරෝපිත මිනිසා, විගුලිනව යෑම
පොදු සමාජ ගැටලුවක් වන තරමට පුළුල්ය. මේ
වෙන්වීම් නිසා මිනිස්සු අලුතින් උත්ථානය
වෙති. වඩාත් සියුම් වූ හදැතිව ඔවුනොවුන්
සමූහනය වෙති.
නෙතඟ
කඳුළක හොවා
සමුගනිමි සකිසඳුනි
ඔබේ උණුසුම තවදු
එහි රැඳුණු සුසුමක්ය
පෙරඹරෙහි රන් කිරණ
හිරු ගලින් මුදුන්පත්
ඇතුළ අධි මඟ දිගේ
නුවරකට පිය මනිමි
නොදත් තොටමුණ සොයා
සැහැල්ලුව උර දරන්
සකිසඳුනි.... ඔබම පෑ
සෙනෙහස ද මිටි කරන්
තුමුල සිඳු තරග වැද
දැති මුවර එහැම මැඩ
මිනිස් මුක්තක රැගෙන
හද ඉමෙහි වෙලා ගමි
සුන්සුමාරයන්’ තර
කුමුදු මල් සුවඳ විඳ
සඳ අතුළ දියඹ හිඳ
ඔබ සුවඳ විඳ ගතිමි
සමෝසම දුක සැපෙහි
ඔබ මුව'ගලූ කිරෙන්
ආතුර වූ සයනයෙන්
නිරෝධව නැග සිටිමි
අඳුර පිරි පෑල දොර
පේළි වැස්සක් විලස
සිතින් ඈතයි ගගා
ඔබෙන් ගිලිහී වැටෙමි
ඇස් කෙවෙණි තුළ ගිලුණු
අවසාන සිහිනයෙක
ඔබේ උණුසුම දරන්
නව බිමක් සොයන්නෙමි
උපුල් සේනාධීරිගේ
මතුවීම
තැන තැන ඉරිතැලී
බොල් වී ගිය
සිමෙන්ති දැමූ ගෙබිමෙන්
මතුවේ
වල් පැළ ඉහළට
පෙර දවසක
නොනිමි මතකය
යටපත් කරනට නොහැකිව
සන්ධ්‍යා කුමුදිනී ලියනගේ
අනිත්‍යය
සියපතක සුමුදු බව
වත කමල ඇතේයා
නා පෙතක වර්ණයෙන්
දෙතොල් පෙති දිලේයා
ඇත් දළඟ රැදි පාට
සියොළගෙහි පෙනේයා
නොවැටුණෙන් ඇසෙහි පිය
දෙවඟනක වගේයා
පස් පියුම් සුවඳ ළඟ
සිටින විට දැනේයා
ළැම විලෙහි රණ තිසරු
රගනු සේ දිසේයා
පුලුලුකුල වනස්පති
අරටුවක් වගේයා
පොළොව සිඹි දිගු වරළ
සිකි පිලක් ලෙසේයා
එදා ඔබැ මා දුටුවෙ
සැබෑවට එවිලසයැ
ඒත් අද...
සරතැසට ඉරි තැලුණු
බිමක් සේ වත රළුය
ඉඩෝරෙට වක ගැසුණු
රිටක් සේ තොල් කළුය
වැහි වළාවක් ලෙසින්
සිරුර අව පැහැ වීය
වැසුණු - නොවැසුණු ඇසින්
මැහැළියක ලෙසින් ඈ
හඬන - නොහඬන අයුරු
අනිත්‍යය මෙනෙහි
කෙරුමට නිබඳ
සුදුසු කමටහනෙකි
අසුබ භාවනාවට
කදිම වූ නිමිත්තෙකි
ඩබ්ලිව්. කේ.
සරත් විමලසිරි
පෙනී නොපෙනී ගියා
මට නො කියාම ගියා
පෙනී නොපෙනී ගියා
තනියම නොවේ ඔබ
පොඩි දුවත් අරගෙන මගේ
සිරුරුවත් දකින්නට
පින්කර නොතිබිණි මෙමා
අදත් මම ඒ පාරෙ යන විට
මුහුද ගොඩ ගලපු හැටි
හඬ හඬා අප දුවපු හැටි
අද ඊයෙ වාගේ මැවි මැවී පෙනෙනවා
රුදුරු රළ පෙළට මැදිවී
ඔබත් දියණියත් නොපෙනී යද්දී
හිරවෙලා නැවතුණු ගස් දෙබලක මෙමා
නන්දවීර ගාල්ලගේ
රෝස මල
රෝස මල....
මඳ නලටත්,
ඉරී යන තරමට
පෙති තුනී වුව
හිතේ ගණකම හරියට
රැකවරණයට
නටුවෙ ඇති කටු
පපුවෙ ඇනගෙන
කවචයක් තුළ
සිරව දුක් විඳ ගෙවන දිවියක
අරුත කිම වෙද?
හැර දමා දොර පියන්
හැම අතින්
හමා එන සුළඟට,
සිත තුනී කර
පෙති ගණකම
වැඩි කර ගන්න
වැසූ ඇස්
සවන් යුග විවර කර
ලෝකයම
දකින්නට - අසන්නට
විඳින්නට...
සිත එකඟ කරගන්න
බොහෝ දුර ඇති
මරණය වෙනුවට
ජීවිතය තෝරාගන්න!
පියන්කාරගේ
බන්දුල ජයවීර
කවිදින සමරමු
සිතිවිලි මිහිරි හර බර වදනට නඟන
සාහිත කෙතේ සුපිපෙන සුසුවඳ හමන
දෙස බස රැසේ අභිමන ලොවටම කියන
නිමැවුන ගෙතුම පැදි ලෙස අපි ගමු හැඳින
කවි රස අමොදක්ය දෙසවන බඳින ලොබ
නැළවිලි ගීත අරඹයි කවි ගමන සුබ
බස රස දත් දනෝ කවි කෙත කළෝ පොබ
වසරින් දහස් ගණනකි කවි උපත ලැබ
උණුසුම් නැවුම් හැඟුමන් රස බසට නැගේ
සඳ ලකරින් ගෙතී සුපිපේ කුසුම් වගේ
දිවියේ අගය මතුකර දිවි ගමන දිගේ
කවි ගඟ ගලන හැටි සුවදෙයි සිතට මගේ
වසරේ තෙවන මස විසි එක්වන දිනට
සමරමු ලෝක කවි දින විසිතුරු ලෙසට
හෙළ කවි මධු මිහිර ලොව හැම දෙසවනට
යොමු කොට කරමු යුතුකම් කිවියනි දැයට
විමල් රූබසිංහ
හන්තානේ රාත්‍රිය
කඳවුරු බැඳගෙන
සීතලට තුරුලු වීගෙන
නිදිමත මකාගෙන
සඳ නැගී එයි අඳුර පරදන
පියයුරු සිනාසෙන
ළැම සුවඳ විඳගෙන
හිස එහි හොවාගෙන
ඈ නිම්න මත සරම් සතුටින
තුරු ළපලු ආදි
ගීත මුමුනයි නැළවී
සුළඟ වැද සෙළවී
දුහුළු සළුපිළි දසත ඉහිරී
තාල වන්නම්වල
ඇසෙයි මිහිර සී පදවල
මෙහි නොමැත කුලමළ
අමා රසමය මී බඳුන්වල
රන් රසයෙ ඉන්නට
මත් වෙසින් රඟන්නට
ඇ යළි දකින්නට
නැවත යන්නෙමි ඈ සිඹින්නට
කීර්ති එස්. කුමාර
රෑ රූ
සල් ගස යට සිට මග කල් බලන ලියේ
කැරැ රොනවුල් බිඟු මධු ලොල් මඩින ලියේ
වත හසරැල් නෙත කඳුළැල් දරන ලියේ
රොනැ අඹ මල් නැති දොස, සිල් බිඳුණ ලියේ
පුතුට රෑ හඬන රන් කිරි කොයින්දෝ
විකුට රණ තිසරු මොනරුන් ඇහින්දෝ
නෙතට නැගි කඳුළ හිත යට බියෙන්දෝ
බිඟුට රොන් නොදෙත උන් බඩ සයින්දෝ
වැසේ සඳ අරුණ නැග එන විට අහසේ
දිසේ සැඟව යන පපුතුර කොළ දහසේ
කෙසේ වුව විඳුම අමයුරු රස පහසේ
ඇසේ හඬන හඬ හදවත හොර රහසේ
වෛද්‍ය නිමල් වසන්ත කුමාර

අත්හළ
නොහේ නම් සමූහයක්
අත්හළ නොහේ නම් ඔබට සමූහයක්
සොයාගත නොහේමය ඔබට
ඒකත්වයට මඟ
අත්හළ නොහේ නම් ඔබට ඔබේ ආත්මාර්ථය
හඳුනා ගනු නැත ඔබ ඔබේ සැබෑ අගය
පිරිනමනු නැතිනම් ඔබ ඔබ සතු සියලු දෙය
ඔබගේ ප්‍රියාවට
ජීවත්වනු ඇත ඔබ ඒ
වේදනාවෙන් නිදහස්ව
වැදගත් කරනු ඇත එය ජීවිතය
ෂායික් අබු - සායීද් අබිල් -
ඛයිර්
(තුර්ක්මේනිස්තානය)
පරිවර්තනය :-
කරුණාතිලක හඳුන්පතිරණ
ෂායික් අබු සායිද් :- ක්‍රි. ව. (967.
12. 07 - 1049. 01. 12)
ඉරානය හා ඇෆ්ගනිස්ථානයට උතුරින්
පිහිටි තුර්ක්මේනිස්තානයේ උපන් මේ කවියා
කීර්තිමත් පර්සියානු ජාතික ඉස්ලාම් තවුස්වත
රකින අයෙක් විය. ඔහුගේ ජීවිත කාලය තුළ මුළු
ඉස්ලාම් ලෝකය පුරා ඔහුගේ කීර්තිය පතළ විය.
ගූඪවාදය දල්වා ලන්නටත්, ඉදිරිපත්
කරන්නටත් මගක් ලෙස සාමාන්‍ය පෙම් කවි භාවිත
කළ ප්‍රථම මුස්ලිම් තවුස්වත රැකි ලේඛකයා,
කවියා ඔහු ය. ඔහුගේ ඉගැන්වීම්වල හරය “මම” යන
පුද්ගලයාගෙන් නිදහස් වීම ගැන ය. “මම” සහ
“අපි” යන්න වෙනුවට ඔහු භාවිත කළේ “ඔවුන්”
යන්න ය.
කුළුඳුල් කඳුළු
අත් හැරී විලි රෑන රහසේම
නිහඬ වී තිඹිරිගෙය, මොහොතකට
ඉකිබිඳ අලුයම
නොතේරෙන මළගමකට
උවිඳු ඉසංක ජයසිංහ
වෙළඳාම
අදුර ඇවිදින් හෙමින් මගෙ අතින් අදිනවා
රහසින්ම ජීවිතේ පැය ගණන් ගෙවෙනවා
මදුරු රුදු වදය මැද නිදි නොවිඳ සැතපිලා
උදේ - දොර අරින විට “නිදිමත ද” අහනවා
වට්ටි අම්මා කියා සමහරුන් නොකියනා
තිත්ත තිබ්බටු වලින් මගෙ ඇඟට ගහනවා
වික්ක බඩු ගත්ත සමහරක් මගෙ හොඳ කියා
එක්ක යන්නට ගෙදර හොරෙන් අඬ ගසනවා
ගෑනියක් වුණ පවට පැටව් ටික රකිනවා
හුනු විටක් තරම්වත් පිනට නොලැබෙන නිසා
හිතෙන දවසට මිනිහ ඇවිත් දුක කියනවා
දහවලක් නැති දවස් ඉඳ හිටත් තියෙනවා
අක්ක ළඟ මගෙ පැටව් සිප්සතර සොයනවා
වික්ක දවසට යමක් උන් ගැනත් හිතනවා
ඉක්මනට රෑ වෙන්න හැමදාම පතනවා
මත් වුණත් බුලත් විට කාල කෙළ ගසනවා
සිරි දන්තනාරායන

නව
බග සඳ
කර්තෘ : විමල් අභයසුන්දර
ගොඩගේ ප්රකාශනයකි.
දශක තුනකට ද පෙර රාජ්‍ය සම්මානයෙන්
පිදුම් ලැබු පණ්ඩිත විමල් අභයසුන්දර නම්
අභ්‍යාසවෘද්ධ කවියාගේ මේ කෘතිය නැවත
මුද්‍රණය වී තිබීම සතුටකි. නව පරපුරට එය
මුණගැස්වීම ප්‍රයෝජනවත් බැවිනි, මේ සටහන
තැබෙන්නේ. ප්‍රාචීන සහ ප්‍රතිචීන භාෂා
දැනුමින් පිරිපුන්, කවිය පිළිබඳ
ප්‍රාමාණික උගතකු වූ විමල් අභයසුන්දර
කවියාගේ කවිත්වය මතු නොව පාණ්ඩිත්‍යය ද මේ
කෘතියෙන් විශද වන්නේය. නූතන කවි මග
අනුදත්තවුන්ට මෙන් ම සාම්ප්‍රදායික කවියේ
සරල සැහැල්ලු මතු පිට පමණක් ස්පර්ශ කරන
සම්ප්රදාය වාදීන්ට ද මේ කවි හැදෑරීමත් -
විඳ ගැනීමත් එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
තනි සුදු පියුම් සුදු සළුපිළි වැලඳි ගත
කොඳ ඉඳු තුසර හර ගෙල මැඳි වෙණු'ර මත
වොරජන හේළි දේවිය කමලසුන වෙත
යොමුවෙයි උපන් හැකියා ඇති කිවිඳු නෙත
‘සරසවිය බැලුම සක්’ නමින්
අභයසුන්දරයන් රචනා කරන මේ කව ඔහුගේ
භාෂාධිපත්‍යය කෙබඳුදැයි හෙළි කරයි. හුදු
හෙළය මතු නොව, මිශ්‍ර සිංහලය ද
සමුද්‍රඝෝෂය තුළ ඔහුට අභිමතය.
සාම්ප්‍රදායික කවි සමයත්, වැනුම් මඟත්, කවි
වහරත් මැනවින් හික්මවා ගන්නා කවියා,
කවිකමත්, දැන උගත්කමත් එක්තැන් කරන
අපූරුමය වේ:
පියනුරුවල රසනා දම් නිතඹ බැඳී
නයනු ළෙලකට පුල්ලෙළ ලියවමිය සැදී
ලියදනු බමර පියබස් සියපතෙහි රැඳී
දිය ගී ලලන අනු ගිය පියපතර බිඳී
විමල් අභයසුන්දරයන් දැඩි ආකෘතික
වාදියකු නොවේ. අනුභූතියෙහි හැඩරුව අනුවම
කවිය හැඩ ගස්වන්නට ඔහු සමත් වෙයි.
ළා රැල්ලේ පිවිතුරු සිරියාවයි
හොඳ හදවත සඳහන පරිමාවයි
වස්සානේ මුල් සිරි පොද වැස්සයි
කුසුම් මඬුල්ලයි - හිරිමල් සුවඳයි
අභිනව ගුප්ත
|