කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කව් සිළුමිණ

සංස්කරණය - රත්න ශ්‍රී විජේසිංහ
 

සමු­ග­නිමි කොග්ගල

සට­හන : දිගු කලක් ඇසුරු කළ පරි­ස­ර­යෙන් ද, එහි සුහද සුළ­ව­තුන් ගෙන් ද වෙන් ව යෑම වේද­නා­කා­රිය. එකී වියෝග හැඟීම් හුදු පුද්ග­ලා­නු­භූ­තීන් සේ පෙනෙන නමුත් එය එසේ ම නොවේ. පර­ත්වා­රෝ­පිත මිනිසා, විගු­ලි­නව යෑම පොදු සමාජ ගැට­ලු­වක් වන තර­මට පුළුල්ය. මේ වෙන්වීම් නිසා මිනිස්සු අලු­තින් උත්ථා­නය වෙති. වඩාත් සියුම් වූ හදැ­තිව ඔවු­නො­වුන් සමූ­හ­නය වෙති.

නෙතඟ කඳු­ළක හොවා
සමු­ග­නිමි සකි­ස­ඳුනි
ඔබේ උණු­සුම තවදු
එහි රැඳුණු සුසු­මක්ය

පෙර­ඹ­රෙහි රන් කිරණ
හිරු ගලින් මුදු­න්පත්
ඇතුළ අධි මඟ දිගේ
නුව­ර­කට පිය මනිමි

නොදත් තොට­මුණ සොයා
සැහැ­ල්ලුව උර දරන්
සකි­ස­ඳුනි.... ඔබම පෑ
සෙනෙ­හස ද මිටි කරන්

තුමුල සිඳු තරග වැද
දැති මුවර එහැම මැඩ
මිනිස් මුක්තක රැගෙන
හද ඉමෙහි වෙලා ගමි

සුන්සු­මා­ර­යන්’ තර
කුමුදු මල් සුවඳ විඳ
සඳ අතුළ දියඹ හිඳ
ඔබ සුවඳ විඳ ගතිමි

සමෝ­සම දුක සැපෙහි
ඔබ මුව'ගලූ කිරෙන්
ආතුර වූ සය­න­යෙන්
නිරෝ­ධව නැග සිටිමි

අඳුර පිරි පෑල දොර
පේළි වැස්සක් විලස
සිතින් ඈතයි ගගා
ඔබෙන් ගිලිහී වැටෙමි

ඇස් කෙවෙණි තුළ ගිලුණු
අව­සාන සිහි­න­යෙක
ඔබේ උණු­සුම දරන්
නව බිමක් සොය­න්නෙමි

උපුල් සේනා­ධී­රිගේ
 

මතු­වීම

තැන තැන ඉරි­තැලී
බොල් වී ගිය
සිමෙන්ති දැමූ ගෙබි­මෙන්
මතුවේ
වල් පැළ ඉහ­ළට
පෙර දව­සක
නොනිමි මත­කය
යට­පත් කර­නට නොහැ­කිව

සන්ධ්‍යා කුමු­දිනී ලිය­නගේ
 

අනි­ත්‍යය

සිය­ප­තක සුමුදු බව
වත කමල ඇතේයා
නා පෙතක වර්ණ­යෙන්
දෙතොල් පෙති දිලේයා
ඇත් දළඟ රැදි පාට
සියො­ළ­ගෙහි පෙනේයා
නොවැ­ටු­ණෙන් ඇසෙහි පිය
දෙව­ඟ­නක වගේයා

පස් පියුම් සුවඳ ළඟ
සිටින විට දැනේයා
ළැම විලෙහි රණ තිසරු
රගනු සේ දිසේයා
පුලු­ලු­කුල වන­ස්පති
අර­ටු­වක් වගේයා
පොළොව සිඹි දිගු වරළ
සිකි පිලක් ලෙසේයා

එදා ඔබැ මා දුටුවෙ
සැබෑ­වට එවි­ල­සයැ
ඒත් අද...

සර­තැ­සට ඉරි තැලුණු
බිමක් සේ වත රළුය
ඉඩෝ­රෙට වක ගැසුණු
රිටක් සේ තොල් කළුය
වැහි වළා­වක් ලෙසින්
සිරුර අව පැහැ වීය
වැසුණු - නොවැ­සුණු ඇසින්
මැහැ­ළි­යක ලෙසින් ඈ
හඬන - නොහ­ඬන අයුරු
අනි­ත්‍යය මෙනෙහි
කෙරු­මට නිබඳ
සුදුසු කම­ට­හ­නෙකි
අසුබ භාව­නා­වට
කදිම වූ නිමි­ත්තෙකි

ඩබ්ලිව්. කේ.
සරත් විම­ල­සිරි
 

පෙනී නොපෙනී ගියා

මට නො කියාම ගියා
පෙනී නොපෙනී ගියා
තනි­යම නොවේ ඔබ
පොඩි දුවත් අර­ගෙන මගේ
සිරු­රු­වත් දකි­න්නට
පින්කර නොති­බිණි මෙමා

අදත් මම ඒ පාරෙ යන විට
මුහුද ගොඩ ගලපු හැටි
හඬ හඬා අප දුවපු හැටි
අද ඊයෙ වාගේ මැවි මැවී පෙනෙ­නවා
රුදුරු රළ පෙළට මැදිවී
ඔබත් දිය­ණි­යත් නොපෙනී යද්දී
හිර­වෙලා නැව­තුණු ගස් දෙබ­ලක මෙමා

නන්ද­වීර ගාල්ලගේ
 

රෝස මල

රෝස මල....
මඳ නල­ටත්,
ඉරී යන තර­මට
පෙති තුනී වුව
හිතේ ගණ­කම හරි­යට
රැක­ව­ර­ණ­යට

නටුවෙ ඇති කටු
පපුවෙ ඇන­ගෙන
කව­ච­යක් තුළ
සිරව දුක් විඳ ගෙවන දිවි­යක
අරුත කිම වෙද?

හැර දමා දොර පියන්
හැම අතින්
හමා එන සුළ­ඟට,
සිත තුනී කර
පෙති ගණ­කම
වැඩි කර ගන්න

වැසූ ඇස්
සවන් යුග විවර කර
ලෝක­යම
දකි­න්නට - අස­න්නට
විඳි­න්නට...
සිත එකඟ කර­ගන්න

බොහෝ දුර ඇති
මර­ණය වෙනු­වට
ජීවි­තය තෝරා­ගන්න!

පිය­න්කා­රගේ
බන්දුල ජය­වීර
 

කවි­දින සම­රමු

සිති­විලි මිහිරි හර බර වද­නට නඟන
සාහිත කෙතේ සුපි­පෙන සුසු­වඳ හමන
දෙස බස රැසේ අභි­මන ලොව­ටම කියන
නිමැ­වුන ගෙතුම පැදි ලෙස අපි ගමු හැඳින

කවි රස අමො­දක්ය දෙස­වන බඳින ලොබ
නැළ­විලි ගීත අර­ඹයි කවි ගමන සුබ
බස රස දත් දනෝ කවි කෙත කළෝ පොබ
වස­රින් දහස් ගණ­නකි කවි උපත ලැබ

උණු­සුම් නැවුම් හැඟු­මන් රස බසට නැගේ
සඳ ලක­රින් ගෙතී සුපිපේ කුසුම් වගේ
දිවියේ අගය මතු­කර දිවි ගමන දිගේ
කවි ගඟ ගලන හැටි සුව‍දෙයි සිතට මගේ

වසරේ තෙවන මස විසි එක්වන දිනට
සම­රමු ලෝක කවි දින විසි­තුරු ලෙසට
හෙළ කවි මධු මිහිර ලොව හැම දෙස­ව­නට
යොමු කොට කරමු යුතු­කම් කිවි­යනි දැයට

විමල් රූබ­සිංහ
 

හන්තානේ රාත්‍රිය

කඳ­වුරු බැඳ­ගෙන
සීත­ලට තුරුලු වීගෙන
නිදි­මත මකා­ගෙන
සඳ නැගී එයි අඳුර පර­දන

පිය­යුරු සිනා­සෙන
ළැම සුවඳ විඳ­ගෙන
හිස එහි හොවා­ගෙන
ඈ නිම්න මත සරම් සතු­ටින

තුරු ළපලු ආදි
ගීත මුමු­නයි නැළවී
සුළඟ වැද සෙළවී
දුහුළු සළු­පිළි දසත ඉහිරී

තාල වන්න­ම්වල
ඇසෙයි මිහිර සී පද­වල
මෙහි නොමැත කුල­මළ
අමා රස­මය මී බඳු­න්වල

රන් රසයෙ ඉන්නට
මත් වෙසින් රඟ­න්නට
ඇ යළි දකි­න්නට
නැවත යන්නෙමි ඈ සිඹි­න්නට

කීර්ති එස්. කුමාර
 

රෑ රූ

සල් ගස යට සිට මග කල් බලන ලියේ
කැරැ රොන­වුල් බිඟු මධු ලොල් මඩින ලියේ
වත හස­රැල් නෙත කඳු­ළැල් දරන ලියේ
රොනැ අඹ මල් නැති දොස, සිල් බිඳුණ ලියේ

පුතුට රෑ හඬන රන් කිරි කොයින්දෝ
විකුට රණ තිසරු මොන­රුන් ඇහින්දෝ
නෙතට නැගි කඳුළ හිත යට බියෙන්දෝ
බිඟුට රොන් නොදෙත උන් බඩ සයින්දෝ

වැසේ සඳ අරුණ නැග එන විට අහසේ
දිසේ සැඟව යන පපු­තුර කොළ දහසේ
කෙසේ වුව විඳුම අම­යුරු රස පහසේ
ඇසේ හඬන හඬ හද­වත හොර රහසේ

වෛද්‍ය නිමල් වසන්ත කුමාර

අත්හළ නොහේ නම් සමූ­හ­යක්

අත්හළ නොහේ නම් ඔබට සමූ­හ­යක්
සොයා­ගත නොහේ­මය ඔබට
ඒක­ත්ව­යට මඟ
අත්හළ නොහේ නම් ඔබට ඔබේ ආත්මා­ර්ථය
හඳුනා ගනු නැත ඔබ ඔබේ සැබෑ අගය
පිරි­න­මනු නැති­නම් ඔබ ඔබ සතු සියලු දෙය
ඔ‍බගේ ප්‍රියා­වට
ජීව­ත්වනු ඇත ඔබ ඒ
වේද­නා­වෙන් නිද­හස්ව
වැද­ගත් කරනු ඇත එය ජීවි­තය

ෂායික් අබු - සායීද් අබිල් - ඛයිර්
(තුර්ක්මේ­නි­ස්තා­නය)

පරි­ව­ර්ත­නය :- කරු­ණා­ති­ලක හඳු­න්ප­ති­රණ

ෂායික් අබු සායිද් :- ක්‍රි. ව. (967. 12. 07 - 1049. 01. 12)

ඉරා­නය හා ඇෆ්ග­නි­ස්ථා­න­යට උතු­රින් පිහිටි තුර්ක්මේ­නි­ස්තා­නයේ උපන් මේ කවියා කීර්ති­මත් පර්සි­යානු ජාතික ඉස්ලාම් තවු­ස්වත රකින අයෙක් විය. ඔහුගේ ජීවිත කාලය තුළ මුළු ඉස්ලාම් ලෝකය පුරා ඔහුගේ කීර්තිය පතළ විය. ගූඪ­වා­දය දල්වා ලන්න­ටත්, ඉදි­රි­පත් කර­න්න­ටත් මගක් ලෙස සාමාන්‍ය පෙම් කවි භාවිත කළ ප්‍රථම මුස්ලිම් තවු­ස්වත රැකි ලේඛ­කයා, කවියා ඔහු ය. ඔහුගේ ඉගැ­න්වී­ම්වල හරය “මම” යන පුද්ග­ල­යා­ගෙන් නිද­හස් වීම ගැන ය. “මම” සහ “අපි” යන්න වෙනු­වට ඔහු භාවිත කළේ “ඔවුන්” යන්න ය.

කුළු­ඳුල් කඳුළු

අත් හැරී විලි රෑන රහ­සේම
නිහඬ වී තිඹි­රි­ගෙය, මොහො­ත­කට
ඉකි­බිඳ අලු­යම
නොතේ­රෙන මළ­ග­ම­කට

උවිඳු ඉසංක ජය­සිංහ
 

වෙළ­ඳාම

අදුර ඇවි­දින් හෙමින් මගෙ අතින් අදි­නවා
රහ­සින්ම ජීවිතේ පැය ගණන් ගෙවෙ­නවා
මදුරු රුදු වදය මැද නිදි නොවිඳ සැත­පිලා
උදේ - දොර අරින විට “නිදි­මත ද” අහ­නවා

වට්ටි අම්මා කියා සම­හ­රුන් නොකි­යනා
තිත්ත තිබ්බටු වලින් මගෙ ඇඟට ගහ­නවා
වික්ක බඩු ගත්ත සම­හ­රක් මගෙ හොඳ කියා
එක්ක යන්නට ගෙදර හොරෙන් අඬ ගස­නවා

ගෑනි­යක් වුණ පවට පැටව් ටික රකි­නවා
හුනු විටක් තර­ම්වත් පිනට නොලැ­බෙන නිසා
හිතෙන දව­සට මිනිහ ඇවිත් දුක කිය­නවා
දහ­ව­ලක් නැති දවස් ඉඳ හිටත් තියෙ­නවා

අක්ක ළඟ මගෙ පැටව් සිප්ස­තර සොය­නවා
වික්ක දව­සට යමක් උන් ගැනත් හිත­නවා
ඉක්ම­නට රෑ වෙන්න හැම­දාම පත­නවා
මත් වුණත් බුලත් විට කාල කෙළ ගස­නවා

සිරි දන්ත­නා­රා­යන


නව බග සඳ
 

කර්තෘ : විමල් අභ­ය­සු­න්දර
ගොඩගේ ප්‍රකා­ශ­න­යකි.

දශක තුන­කට ද පෙර රාජ්‍ය සම්මා­න­යෙන් පිදුම් ලැබු පණ්ඩිත විමල් අභ­ය­සු­න්දර නම් අභ්‍යා­ස­වෘද්ධ කවි­යාගේ මේ කෘතිය නැවත මුද්‍ර­ණය වී තිබීම සතු­ටකි. නව පර­පු­රට එය මුණ­ගැ­ස්වීම ප්‍රයෝ­ජ­න­වත් බැවිනි, මේ සට­හන තැබෙන්නේ. ප්‍රාචීන සහ ප්‍රති­චීන භාෂා දැනු­මින් පිරි­පුන්, කවිය පිළි­බඳ ප්‍රාමා­ණික උග­තකු වූ විමල් අභ­ය­සු­න්දර කවි­යාගේ කවි­ත්වය මතු නොව පාණ්ඩි­ත්‍යය ද මේ කෘති­යෙන් විශද වන්නේය. නූතන කවි මග අනු­ද­ත්ත­වුන්ට මෙන් ම සාම්ප්‍ර­දා­යික කවියේ සරල සැහැල්ලු මතු පිට පම­ණක් ස්පර්ශ කරන සම්ප්‍ර­දාය වාදීන්ට ද මේ කවි හැදෑ­රී­මත් - විඳ ගැනී­මත් එක සේ ප්‍රයෝ­ජ­න­වත් වනු ඇත.

තනි සුදු පියුම් සුදු සළු­පිළි වැලඳි ගත
කොඳ ඉඳු තුසර හර ගෙල මැඳි වෙණු'ර මත
වොර­ජන හේළි දේවිය කම­ල­සුන වෙත
යොමු­වෙයි උපන් හැකියා ඇති කිවිඳු නෙත

‘සර­ස­විය බැලුම සක්’ නමින් අභ­ය­සු­න්ද­ර­යන් රචනා කරන මේ කව ඔහුගේ භාෂා­ධි­ප­ත්‍යය කෙබ­ඳු­දැයි හෙළි කරයි. හුදු හෙළය මතු නොව, මිශ්‍ර සිංහ­ලය ද සමු­ද්‍ර­ඝෝ­ෂය තුළ ඔහුට අභි­ම­තය. සාම්ප්‍ර­දා­යික කවි සම­යත්, වැනුම් මඟත්, කවි වහ­රත් මැන­වින් හික්මවා ගන්නා කවියා, කවි­ක­මත්, දැන උග­ත්ක­මත් එක්තැන් කරන අපූ­රු­මය වේ:

පිය­නු­රු­වල රසනා දම් නිතඹ බැඳී
නයනු ළෙල­කට පුල්ලෙළ ලිය­ව­මිය සැදී
ලිය­දනු බමර පිය­බස් සිය­ප­තෙහි රැඳී
දිය ගී ලලන අනු ගිය පිය­ප­තර බිඳී

විමල් අභ­ය­සු­න්ද­ර­යන් දැඩි ආකෘ­තික වාදි­යකු නොවේ. අනු­භූ­ති­යෙහි හැඩ­රුව අනු­වම කවිය හැඩ ගස්ව­න්නට ඔහු සමත් වෙයි.

ළා රැල්ලේ පිවි­තුරු සිරි­යා­වයි
හොඳ හද­වත සඳ­හන පරි­මා­වයි
වස්සානේ මුල් සිරි පොද වැස්සයි
කුසුම් මඬු­ල්ලයි - හිරි­මල් සුව­ඳයි

අභි­නව ගුප්ත


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]