එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


සෙනෙහසක

සෙනෙහසක

කාලෙකින් සාත්තු කරන්න බැරි වුණ හින්දා මේ මල් ගස් ඔක්කෝම කේඩෑරී වෙලා. දවස් ගාණකින් වැහි පොදක් වැටුණෙත් නෑනේ. සිරිසේනට කියලා ගොම පොහොර ටිකක් ගෙන්න ගන්න ඕනේ. තද අව් රශ්මිය නිසා වියළෙමින් තිබූ මල් ‍ගස්වලට වතුර දාන ගමන් සාරතී කල්පනා කළාය.

දුව අද ටිකක් පරක්කුයි ව‍ගේ. වෙනදාට නම් මේ වෙලාව වෙන කොට ඇවිත්.. සාරතීගේ ඇස් ගේට්ටුව දෙස යොමු වුණේ නිරායාසයෙනි. ඒත් එක්කම වගේ නිපුණිගේ මෝටර් රථයේ නළා හඬත් සිරි‍ෙස්න දුවගොස් ගේට්ටුව අරින හඬත් ඇසුණි. මෝටර් රථය ගරාජයේ නැවැත්වූ නිපුණි තමන් වෙතට එන අයුරු සාරතී දුටුවාය.

“ෂා අම්මා අද මල් ගස්වලට සාත්තු කරනවා වගේ” නිපුණි පැවසුවාය. දුව අද බොහොම සන්තෝෂයෙන් ඉන්න බව සාරතීට දැනුණි.

“දූත් අද හරි සතුටින් වගේ..” සාරතී මඳ සිනාවෙන් යුතුව පැවසුවාය.

“අම්මේ.. මේ සෙනසුරාදට .. ඒ කියන්නේ අනිද්දට විශ්වයි, අයියයි, තාත්තයි මෙහෙ එනවා කිව්වා. අම්මා මුණගැහෙන්න” නිපුණි හොරැහින් සාරතී දෙස බලන ගමන් කිව්වාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ නිපුණි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිලධා‍රිනියක ලෙස සේවයට බැඳී වසර දෙකක් පමණ වේ. සේවය නිමකර නිවසට පැමිණි වේලේ පටන් සාරතී වටේ දැවටෙමින් ගිරවියක සේ දොඩමළු වීම නිපුණිගේ පුරුද්දකි. එසේ දොඩමළු වන හැම අවස්ථාවකදීම එම ආයතනයේම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන විශ්ව ජයවික්‍රම නම් තරුණයෙකු ගැන නිපුණි වැඩි උනන්දුවකින් කතාකරන බවත් එම තරුණයා සමඟ නිපුණිගේ විශේෂ ඇසුරක් ඇති බවත් ඇගේ වචනවලින් පමණක් නොව ඉරියව් තුළින් ද සාරතී නිරීක්ෂණය කළාය.

“ඔය විශ්ව කියන ළමයට දවසක මෙහෙ එන්න කිව්වා නම්. ඔයා ඒ ළමයා ගැන බොහොම පැහැදීමෙන් ඉන්න වග මට තේරෙනවා.” නිපුණි පුදුමයෙන් වගේ සාරතී දෙස බලා සිටියාය.

“මාත් ඔය වයස පහුකලානේ මගේ දුවේ. ඔයා කොච්චර උගත් ළමයෙක් උණත් ඔය කාරණේ මාත් එක්ක කෙළින් කතාකරන්න බැරුව ලැජ්ජාවෙන් ඉන්න වග මට තේරනවා.” සාරතී පැවසුවාය. දින කිහිපයකට කලින් ඇතිවූ එම කතාබහ ඵල දරා තියෙන බව සාරතීට මේ මොහොතේ ඒත්තු ගියාය.

“ආ.. ඇත්තද? හොඳයි අපි කතාබහ කරලා බලමුකෝ” සාරතී බොහොම කල්පනාකාරීව පැවසුවාය.

“දැං ඉතිං දුව ගිහින් ඇඳුම් මාරු කරගන්නකෝ” තමන්ට පිටුපා ගේ දෙසට යන නිපුණි දෙස සාරතී බලන් හිටියාය. පුංචියට හිටපු කෙලි පැටික්කි ලොකු වෙච්ච ඉක්මන. දැන් දීග දෙන වයසත් ළං වෙලා. පුංචි ගවුම් පොඩියක් ඇඳන් සුරතල් කතා කියමින් මගේ ඇ‍‍ඟේ දැවටෙමින් ඉස්කෝලේ ගිය මගේ දූ දැන් ලස්සන ළමිස්සියක්. සාරතීගේ ඇහැට කඳුළක් ආවාය.

කවුරු උණත් දුවගේ යාළුවෙක්නේ. මේ වැඩේ කෙරුණත් කොකෙරුණත් ඒ මිනිස්සුන්ට හොඳට සංග්‍රහ කරන්න ඕනේ. දුව මෙච්චර කාලෙකට ම‍ෙග් විශ්වාසේ කඩලා නෑ. ඒ හින්දා හිත රිද්දන්න හොඳ නෑ. සෙනසුරාදා උදෙන්ම ඇහැරුණ සාරතී අමුත්තන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් කල්පනා කළාය.

ක්‍රීන්... ක්‍රීන්... දොරේ සීනුව නාද වන සද්දෙ සාරතීට ඇසුණාය.

කට්ටිය ඇවිල්ලා යි සිතමින් සාරතී ආලින්දය දෙසට යනකොටත් නිපුණි අමුත්තන් සමඟ කතාකරමින් ගෙට එන අයුරු සාරතී දුටුවාය.

“අම්මේ මේ තමයි විශ්ව. විශ්ව මේ අපේ අම්මා” වැදගත් පෙනුමින් යුත් කඩවසම් ඉලන්දාරියෙක් සාරතීගේ දෙපා නැමදුවේය.

“අම්මේ මේ තමයි අපේ තාත්තා නන්දසේන ජයවික්‍රම. මේ මගේ අයියා නාමල් ජයවික්‍රම”

බොහොම පැහැදිලි, ස්ථිර කඩහඬකින් විශ්ව සිය පවුල සාරතීට හඳුන්වා දුන්නේය.

සාරතී නන්දසේන දෙස බැලුවාය. මේ ..විශ්වගේ පියා... නන්දසේන ජයවික්‍රම. බොහොම හුරුපුරුදු මූණක්. මං කොහේදි හරි මේ මහත්තයාව දැකලා තියෙනවා. සාරතී කල්පනා කළාය.

සාරතීව දුටු ගමන් නන්දසේන ඇයව හඳුනා ගත්තේය. “දෙවියනේ... සාරතී නෝනා.. නෝනට මාව මතක නැතුව ඇති” නන්දසේන පුදුමයෙන් පැවසුවේය.

සාරතී නන්දසේනගේ මුහුණ දෙස හොඳින් බැලුවාය. සාරතීගේ මතකය අවදි විය. ඇය මීට වසර විසි පහකට පමණ පෙර කුරුණෑගල උසාවියේ වැඩ කරන අවදියේ තමන් විසින් උදව් කළ නන්දසේන මහතා මොහු නොවේදැයි සාරතී කල්පනා කළාය.

“නෝනා තමයි මගේ නඩුවට සල්ලි..” කියන විටම සාරතී ඔහුට බාධා කළාය. “ආ.. මට මතකයි. නන්දසේන මහත්තයා..” සාරතී පැවසුවාය.

“පුදුම හමුවීමක්නේ නන්දසේන මහත්මයා. එන්න වාඩිවෙන්න” නිපුණින් විශ්වත් නාමලුත් පුදුමයෙන් බලාසිටියෝය.

එහෙනම් නිපුණිගේ අම්මා තමයි අපේ තාත්තගේ නඩුවට සල්ලි ගන්නේ නැතුව කතා කරපු ලෝයර්. නිපුණිගේ අම්මා අපේ සම්බන්ධයට අකමැති වේවිද? එහෙම උණොත් මොකද කරන්නේ. විශ්වගේ සිත කඩාවැටුණේය.

“දුව එහෙනම් කතා කර කර ඉන්න. මම ගිහින් තේ ටිකක් ලැහැස්ති කරන්නම්” සාරතී මුළුතැන් ගෙය දෙසට ගියාය.

නන්දසේන ආලින්දය දෙසට ඇවිද ගියේය. සාරතී නෝනා මේ මංගල්ලෙට කැමති වෙන එකක් නෑ. ‘දෙවියනේ .. විශ්ව මගේ පුතා උණත් නෝනා ඒ ගැන කොහොම හිතන් ඉන්නවද කියලා කොහොමද දන්නේ? මගේ දරුවෝ දෙන්නා ඉස්සරහා නෝනා ඒ ගැන මගෙන් අහවිද? අම්මා වෙන විවාහයක් කරගෙන ඉන්න බව විතරයි විශ්වයි නාමලුයි දන්නේ’ නන්දසේනගේ සිතුවිලි තෙරපී දරාගත ‍ෙනාහැකිව දෑස් තෙත් වූයේ නන්දසේනටත් නොදැනීමය.

නිපුණි ළඟට ගිය නන්දසේන නිපුණිගේ හිස අතගෑවේය. “දුවේ.. මම දන්නවා නම් මේ ගමන එන්නේ නෑ. දුවගේ අම්මා සාරතී නෝනා කියලා මම දැනං හිටියේ නෑ. අම්මා ඔයාලගේ සම්බන්ධෙට විරුද්ධ උණත් ඒ ගැන අහිතක් හිතන්න එපා. කවදාවත් ඒ උත්තමාවියගේ සිත රිද්දන්න එපා” කඳුළු පිරි දෑසින් යුතුව පැවසුවේය.

කිසිත් නොදත් නිපුණි අන්දුන්කුන්දු වී විශ්ව දෙස බැලුවාය. විශ්වගේ දෑසත් තෙත්වී ඇති අයුරු ඇය දුටුවාය. විශ්වත් අප්සට් එකෙන්. මොකද මේ ..” ඇයි විශ්ව මොකක්ද ප්‍රශ්නේ” නිපුණි ඇසුවාය. විශ්ව අපහසුවෙන් සිනාසුණා පමණි.

විශ්වගේ අම්මා සිය පවුල අතහැර වෙන විවාහයක් කරගෙන ජීවත් වන බව විශ්ව තමන් සමඟ පවසා ඇති බව නිපුණිට මතක් විය. මේ ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් ද? නිපුණි කල්පනා කළාය.

තේ මේසය සූදානම් කරන සාරතීගේ මතකය මොහොතකට අතීතයට දිව ගියාය.

නන්දසේනගේ බිරිය ඔහු අතහැර වෙනත් මිනිසකු වෙත ගොස් තිබුණේ ඔහුගේ බාල දරුවාත් රැගෙනයි. ඒ බව දැනගත් නන්දසේන හැම තැනකම විපරම් කර ඇය ඉන්නා තැන සොයා ගොස් දරුවා නැවත රැගෙන ආ බැවින් බිරිය ඔහුගෙන් දික්කසාදයත් බාල දරුවාත් ලබාගැනීමට නන්දසේනට විරුද්ධව නඩු පවරා තිබුණ බව සාරතීට මතක් විය.

නන්දසේන සාරතී සොයා පැමිණියේ එම නඩුව වෙනුවෙන් උපදෙස් ලබාගැනීමටය. නන්දසේන තම කතාව සාරතී වෙත පවසන විට ඔහුගේ දෙනෙතෙන් කඳුළු වැගිරුණ අයුරු සාරතීට අද මෙන් මතකය.

“දරුවා මගේ නෙමෙයි කියලා එයැයි කියනවා. ඒක මම පිළිගන්නෑ නෝනා. මගේ දරුවා වෙන කාටවත් දෙන්න බෑ නෝනා. ඒකගේ තාත්තා මමයි. ඒකගේ උප්පැන්නේ තියෙන්නේ මගේ නම. ඒකා උපන් දා ඉඳලා ඒකගේ උණුහුම වින්දේ මම. ඒකා තාත්තා කියන්නේ මට. ඒ විශ්වාසේ මට නැති කරන්න බෑ නෝනා. නෝනා මගේ අතමිට හිඟ බව ඇත්ත. මගේ ඉඩම් කෑල්ල විකුණලා හරි මම නඩුවට වියදම් කරන්නම්. නෝනා මට මගේ දරුවා අරන් දෙන්න”

ඒ මොහො‍තේ සාරතී මොහොතකට ගොළු වූ බව සාරතීට මතක් විය. සාරතීට විමල් සිහි විය. විමල් ගම්හේවා. නමට පමණක් තම දරුවාගේ තාත්තා වූ විමල්. ඔහු අද දරුවාවත් තමාවත් අතහැර විදෙස්ගතවී විදෙස් කාන්තාවක් සමඟ දිවිගෙවයි. වසර ගණනාවක් ගත වූවත් කිසිදිනෙක තමන් ගැනවත් අඩුතරමේ තමාගේ ලෙයින් ජාතක වූ බව ස්ථිර ලෙසම දන්නා තම දරුවා ගැනවත් ඔහු සොයා නොබැලූ බව සාරතීට සිහිවිය. නමුත් මේ මිනිසා.. දරුවාගේ පියා තමන් නොවේ යැයි සිය අඹුව පැවසුවත් ඔහු එය තුට්ටුවකටවත් මායිම් නොකර දරුවාට ආදරය කරයි. පිරිමි ජාතිය කෙරෙහිම කලකිරී සිටි සාරතීට නන්දසේන කොතරම් උතුම් මිනිසෙක් ද කියා සිතිණි. මේ මනුස්සයාට මම උදව් කරන්න ඕනේ සාරතී තීරණය කළාය.

ඒ අනුව ඇය ඔහු වෙනුවෙන් පෙනී සිටියාය. ඇයට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සිදු වූයේ නඩු වාර දෙකක් පමණි. තෙවන නඩු වාරය වන විට නන්දසේනගේ බිරිය නඩුව ඉල්ලා අස්කර ගැනීම නිසා ඔහුට දරුවා හිමි විය. එබැවින් දරුවා‍ගේ පියා කවුරුන්ද යන්න උසාවියේ දී තහවුරු කිරීම අවශ්‍ය නොවීය. නන්දසේන‍ගේ බිරිය කොහේ ජීවත් වූවත් ඇය තවමත් ඔහුගේ නීත්‍යානුකූල බිරියය.

“එහෙනම් විශ්ව තමයි ඒ දරුවා..” සාරතීට සුසුමක් හෙළිණි.

නන්දසේන අවසන් වතාවට උසාවියේ දී මුණගැසුණ දිනය සාරතී සිහිපත් කළාය.

“නෝනා... නෝනා...” කවුදෝ තමාට කතා කරනු සාරතීට ඇසුණි. ආපසු හැරුණු සාරතීට දක්නට ලැබුණේ මීට පැය කිහිපයකට පෙර තමන්ට බොහෝ වේලාවක් ස්තුති කර උසාවියෙන් පිටව ගිය නන්දසේනය.

“ඇයි නන්දසේන මහත්තයා ආපහු දුවගෙන ආවේ” සාරතී ඇසුවාය.

“හරි වැඩේනේ නෝනා. මම යන ගමන් ස්වීප් ටිකට් එකක් ගත්තා. ඒකෙන් මට රුපියල් පන්සීයක් ඇදුණා.” සාක්කුවෙන් ඇදගත් ලේන්සුවකින් දහඩිය පිසින ගමන් නන්දසේන උත්තර දුන්නේය.

“ඉතිං කොච්චර හොඳද. අද නන්දසේන මහත්තයට හොඳ දවසක් වගේ. දරුවවත් ලැබුණා. දැන් ස්වීප් එකකුත් ඇදිලා. ඇයි ඉතිං ආපහු ආවේ?” සාරතී ඇසුවාය.

“ආපහු ආවේ මේ සල්ලි නෝනට දීල යන්න” නන්දසේන අතේ ගුලිකරගෙන හිටිය නෝට්ටු කිහිපයක් සාරතී දෙසට ‍දික්කළේය. එක එල්ලේ ඒ අත්ල දිහා බලපු සාරතීට පෙනුණේ මුදල් නෝට්ටුවලට යටින් ඇති රළු අත්ල පුරා තියෙන කරගැටය. සාරතී නන්දසේනගේ මුහුණ දිහා බැලුවාය. අව්වට කළු පැහැ ගැන්වුණ මුහුණේ මැදිවිය ඉක්මවා යන ලකුණු පෙන්නුවත් තවත් අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් විඳදරා ගැනීමේ ශක්තියක් ඔහු තුළ තිබෙන බව සාරතීට දැනුණි.

“නෝනා මං වෙනුවෙන් කතාකළේ සල්ලි ගන්නේ නැතුව. ඒ නිසා මේ සල්ලි නෝනට දෙන්න ඕනේ කියලා මට හිතුණා. ගන්න ‍නෝනා..” නන්දසේන බැගෑපත් වුණි.

“නන්දසේන මහත්තයා මම සල්ලි ගත්තා කියලා හිතාගන්න. ඔය සල්ලිවලින් දරුවන්ට මොනවා හරි ගිහින් දෙන්න. මම නන්දසේන මහත්තයාගේ නඩුවට කතා කළේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙමෙයි.” සාරතී බොහොම කරුණාවෙන් උත්තර දුන්නාය.

ටික වේලාවක් සාරතී දෙස ස්තුතිපූර්වක දෑසින් බලා සිටි නන්දසේන එහෙනම් මම ගිහින් එන්නම් නෝනාÓයි පවසා හිමින් හිමින් උසාවි බිමෙන් පිටවී ප්‍රධාන පාර දෙසට යනු සාරතී බලන් සිටියාය.

“අම්මේ...” සාරතී තිගැස්සුණි. නිපුණිගේ හඬින් සාරතී නැවතත් වර්තමානයට ආවාය.

“ඇයි දූ..” නිපුණීට සිය මවගේ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගැනීමට අපහසු විය.

“අම්..අම්මේ..” නිපුණි ගොත ගසුමින් සාරතී දෙස බලාසිටින්නට විය. “අම්මා.. විශ්වට අක..මැතිද?..”

තම සේවා කාලය තුළ නානාප්‍රකාර මිනිසුන්ගේ ප්‍රශ්න විසඳා දුන් සාරතීට තම එකම දියණිය විමසන පැනයට එකවර පිළිතුරු දීමට අපහසු විය. දෑස පියාගත් සාරතී මොහොතක් ගොළු වූවාය. ඇයට කිසිම හඬක් නෑසුණු මුත් නන්දසේන තමාට හමුවූ ප්‍රථම දිනයේ තම දරුවා ලබාගැනීමට උදව් කරන ලෙස ආයාචනා කළ අයුරු සාරතීට මැවි මැවී පෙනුණි. ඒ අප්‍රමාණ පිය සෙනෙහසේ සුවඳ සාරතීට දැනුණි.

නිපුණිගේ අතින් අල්ලා ගත් සාරතී විසිත්ත කාමරයට පිවිසියාය.

නන්දසේන අසුනින් නැඟී සිටියේය.

“යමු නන්දසේන මහත්තයා.. අපි තේ ටිකක් බීලා ඉමු. දැන් ඉතින් අපි නෑදෑයොනේ..” නන්දසේනට සිය දෑස් අදහා ගත නොහැකි විය. නිපුණිත් විශ්වත් පුදුමයෙන් බලා සිටින්නට විය.

“මම විශ්ව පුතාට කැමැතියි” දෙනෙතින් ගලන කඳුළු ඔසරි පොටින් පිහින ගමන් සාරතී හිනැහුණාය.

“සාරතී නෝනා..” නන්දසේනට කියාගැනීමට හැකි වූ‍ෙය් එපමණකි.

“මේ වගේ තාත්තා කෙනෙක් ළඟ හැදුණ පුතෙක් නරක් වෙන්න විදිහක් නෑ. නන්දසේන මහත්තයා වගේ තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න ඕන දුවේ. කවදාවත් මේ තාත්තාට වෙනසක් කරන්න එපා.” සාරතී නන්දසේනගේ දෑස තෙත්වී ඇති අයුරු දුටුවාය.

“බොහොම ස්තුතියි...” මුවින් නොදෙඩූවත් නන්දසේනගේ කාරුණික දෑසෙන් කියැවෙන පණිවුඩය සාරතී වටහා ගත්තාය.

එය සාරතීට ඉතා හුරුපුරුදුය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්