එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

සමාජවාදයක් තිබුණේ නෑ

සමාජවාදයක් තිබුණේ නෑ

 - බැටී වීරකෝන්

ඔබේ සම්පූර්ණ නම?

රිචඩ් වීරකෝන්

එතකොට බැටී කියන්නෙ?

ඒ මගේ පාසල් මිතුරන් දාපු නමක්. ඒ අනුව එදා ඉඳන් අද දක්වාම කවුරුත් මාව දන්නේ හඳුනන්නෙ බැටී වීරකෝන් කියලයි.

උපන්නෙ?

1932 ජුනි 20.

ගම?

මාතලේ තිබ්බටුවාව. මල් වත්තේ මහ නායක හාමුදුරුවොත් ඒ ගමේනේ. උන්වහන්සේ මගේ ඥාතියෙක්.

පියා?

ඇලෙක්සැන්ඩර් වීරකෝන්. වෘත්තියෙන් පොල් වැවිලි ක්ෂේත්‍රයේ කළමනාකාරිත්වයක් දැරුවා.

මව?

ඥාන ශ්‍රී ධර්මා අලුවිහාරේ වීරකෝන් කුමාරි හාමි. අම්මා කඩුවෙල. තාත්තා කඩුවෙලට බින්න බැහැපු නිසා අපේ ගෙදරට කිව්වෙ කඩුවෙල වලව්ව කියලා.

ඔබේ පවුලේ කී දෙනා ද?

අක්කලා තුන්දෙනයි. අයියයි මමයි. එක අක්කා කෙනකුයි මායි නිවුන්නු. මම අවුරුදු පහක් යනකම් අම්මගෙන් කිරි බිව්වා.

ඔබ ඉගෙන ගත් පාසල?

මාතලේ ශාන්ත තෝමස් හා මහනුවර ත්‍රිත්ව.

ඔබ විශ්ව විද්‍යාල උපාධිධරයෙක්?

ඔව්. 1951 දී විතර මුලින්ම කොළඹ සරසවියටත් පසුව පේරාදෙණියටත් ගිහින් උපාධිය ලබා ගත්තා.

දේශපාලනයට සම්බන්ධ වුණේ විශ්ව විද්‍යාලයේදී ද?

ඔව්. එහිදී මම සමසමාජ පාක්ෂිකයෙක් වුණා.

ඇයි වෙනත් වාමාංශික පක්ෂ තිබියදී සමසමාජ පක්ෂයටම බැඳුණේ? කොටින්ම ඇයි ඔබ ට්‍රොට්ස්කිවාදි නැඹුරුවක් ගත්තෙ?

මම මාක්ස්වාදය, රුසියන් විප්ලවය ගැන පොත් කියෙව්වා. ලෙනින්ගෙන් පස්සේ විප්ලවයට සැබෑ නායකත්වය දුන්නේ ට්‍රොට්ස්කි කියන එකයි මගේ අදහස වුණේ. ඇත්තටම විප්ලවය තනි වුණා. රුසියාවටත් වඩා විප්ලවයක් ඇතිවීමේ විභවය තිබුණේ ජර්මනියේ. ජර්මනියේ මාක්ස්වාදි පක්ෂය බොහෝම ප්‍රබලව තිබුණා. නමුත් රෝසා ලක්සම්බර්ග් වගෙ අය ඝාතනය කළා. ඉන් පස්සේ පැසිස්ට්වාදය හිස එසෙව්වා. ජර්මනියේ විප්ලවයක් සිදුවුණානම් අද ලෝකයේ තත්ත්වය හුඟක් වෙනස්.

ඔබ ට්‍රොට්ස්කිවාදියෙක් වුණත් රුසියාවේ ස්ටාලින් නොසිටින්න හිට්ලර් මුළු ලෝකයම අල්ලගෙන?

ඒක ඇත්ත. ස්ටාලින්ට ඒ තත්ත්වය මඟ හරවගන්න පුළුවන් වුණා. නමුත් ඔහු ඒක කළේ බ්‍රිතාන්‍යයත් එක්ක එකතු වෙලා. කොහොම වුණත් අපි යුද්දෙට විරුද්ධයි. සූරිය මල් ව්‍යාපාරය වුණත් පටන්ගත්තෙ ඒකටනේ.

විශ්ව විද්‍යාලයේදී ඔබ කරපු දේශපාලන ක්‍රියාකාරකම් මොනව ද?

පනස් තුනේදී හර්තාලයට එකතු වීම විශේෂ සිද්ධියක්. නුවර පැත්තට හර්තාලය හුළඟකින්වත් ඇවිත් තිබුණෙ නැහැ. අපි තමයි නුවර ටවුමේ පෙළපාළි ගියේ. ඇත්තටම මම හර්තාලයේ පරම්පරාවේ කෙනෙක්.

හර්තාලය, විප්ලවීය අවස්ථාවක් ලෙස සලකා රාජ්‍ය බලය ඇල්ලීමට කදිම ඉඩ ප්‍රස්ථාවක් උදාකළත් සමසමාජ පක්ෂය එයින් නිසි ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ කියලා සමහරු කියනවා?

එහෙම කියන අයට හර්තාලය ගැනවත් විප්ලවය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ. හර්තාලය බ්‍රිතාන්‍ය පාලනයෙන් පස්සේ අපේ රටේ හටගත් එකම ජනතා නැඟිටීම බව හැබෑව. එහෙත් මේ අරගලය ඉන් ඔබ්බට ගොස් ආණ්ඩු බලය පැහැර ගැනීමේ තත්ත්වයකට මෝරා නොතිබුණු බව තමයි ඇත්ත කාරණාව.

සම සමාජය අවුරුදු 80 කට සමාසන්න කාල පරිච්ඡේදයක් තුළ කිසිම විප්ලවයක් කරපු පක්ෂයක් නොවෙයි.

එහෙම අදහස් කරන අය තුළ තිබෙන්නේ විප්ලවය ගැන ඉතා වැරදි නිර්මාක්ස්වාදී මතයක්. විප්ලවයක් කරන්න නම් මුළුමහත් ජනකායක් මෙයට ඇතුළු වෙන්න ඕනැ බව ලෙනින් පවා කියලා තියෙනවා. එවැන්නක් අපේ රටේ තිබුණේ නැහැ.

විප්ලවයක් කිරීම වෙනුවට ඔබලා කළේ වෙනත් පක්ෂ එක්ක සභාග ආණ්ඩු පිහිටුවීම.

පාර්ලිමේන්තු දේශපාලනය කියන්නෙ එකක්; විප්ලවය කියන්නෙ තවත් එකක්. සභාග ආණ්ඩු තුළ අපි කරපු කිසියම් ඓතිහාසික කාර්යභාරයක් තිබෙනවා. උදාහරණයක් විදියට වතු ජන සතුව ගන්න. ඒක යෝධ පියවරක්. අනෙක අපි නොසිතන තවත් පැත්තක් ද මෙහි තිබෙනවා.

අපි සභාග ආණ්ඩුවක් ඇති කළේ 1964 රේදී. ඒ දවස්වල ඇමෙරිකාව තමන්ගේ මිලිටේරි බලය ආසියාවේ තහවුරු කරමිනුයි හිටියේ. ඔවුන්ට ලංකාව තම ග්‍රහණයට යටත් කරගන්න අඩුවක්ව තිබුණේ ශක්තිමත් ධනපති ආණ්ඩුවක් විතරයි. මෙවැනි ආණ්ඩුවක් ඇතිවීමට තිබු එකම බාධකය සම සමාජ පක්ෂය. අපි නොහිටියානම් ලංකාව තවත් වියට්නාමයක්, ඉන්දුනීසියාවක් වෙන්න ඉඩ තිබුණා. කරුණාකර මේ යථාර්ථය තේරුම් ගන්න.

විශ්ව විද්‍යාලයේ දී ඔබ ලද අමතක නොවන සිදුවීම් මොනව ද?

හුඟාක් තියෙනවා. සර් ජෝන් අගමැතිව හිටපු දවස්වල ඔහුට පේරාදෙණියෙන් ආචාර්ය උපාධියක් දුන්නා. ඒකට කොල්ලෝ විරුද්ධ වුණා කොන්වකේෂන් දවසෙ සර් ජෝන් උපාධිය ගන්න වේදිකාව උඩට නඟිද්දිම කවුදෝ කෙනෙක් ‘ඕකා හොරා’ කියලා කෑ ගැහැව්වා. කට්ටියක් රතිඤ්ඤා පත්තු කළා. අපේ නමුත් මේකට ඈදුණා. එයින් වුණේ අන්තිමේ අපි පන්ති තහනමට ලක්වීමයි.

ඔබ කාලයක් ලේක්හවුස් ආයතනයෙත් වැඩ කළා නේද?

ඒ මං විශ්ව විද්‍යාලයට යන්න කලින්. මාස 6 ක විතර කාලයක් මං ‘ඔබ්සර්වර්’ පත්‍රයේ වැඩ කළා. ධනපති පන්තිය දේශපාලන යාන්ත්‍රණය මෙහෙයවූයේ කොහොම ද කියන එක ගැන මං හොඳ ප්‍රායෝගික දැනුමක් ලැබුවේ පත්තර කලා ජීවිතයෙන්.

විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා ඔබ මොනව ද කළේ?

මම ටික දවසක් ගුරු වෘත්තියේ හිටියා. ඒ කටුගස්තොට. මහාචාර්ය ඒ. වී. සුරවීරත් එදා මාත්තෙක්ක උගන්වපු කෙනෙක්. ඇඩ්ලින් විතාරණ ඉගෙන ගත්තේ මා උගන්වපු පාසලේ. ඒ කාලේම මම නගර සභා ඡන්දයකටත් ඉල්ලුවා. ඒ කටුකැලේ.

ඉතිං දින්න ද?

දින්නෙ නැහැ. නමුත් යූ. එන්. පී. එක පැරැද්දුවා. මං දෙක යූ. එන්. පී. තුන.

ඔබ කොළඹට එන්නෙ?

ඩොරික් ද සූසා ගේ ඉල්ලීමකට කොළඹ ගිහින් එවක විපක්ෂ නායක වූ ආචාර්ය එන්. එම්. පෙරේරා ගේ ලේකම් වුණා. ඔය අතරේ මං නීතිය හැදෑරුවා. එන්. එම්. තමයි මට කිව්වෙ නීති විද්‍යාලයට බැ‍ඳෙන්න කියලා. කොල්වින්ට (ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා) වුවමනා වුණේ මාව කම්කරු සංගමයේ වැඩවලට දාන්න. මම එහිත් ලේකම් විදියට කටයුතු කළා.

ජේ. වී. පී. එක ගැන ඔබේ මතවාදය වුණේ මොකද්ද?

ජේ. වී. පී. එක ගැන කවදත් අපේ විශ්වාසයක් තිබ්බෙ නැහැ. ඔවුන් ප්‍රතිවිප්ලවයයි. එතැන තිබුණේ පැසිස්ට්වාදයක්. ඔවුන් ඉටුකළේ දක්ෂිණාංශික අවශ්‍යතා. ඒක ජේ. වී. පී. බළල් අතින් කෙරෙන කොස් ඇට බෑවීමක් බව ජනතාව මනාව තේරුම් ගත්තා. ඔය ජේ. වී. පී. කොල්ලෝ මාවත් මරන්න ආවනේ.

විජය කුමාරතුංග ඝාතනය ගැන ඔබේ සුප්‍රකට කියමනක් තියෙනවා. ඒ කියන්නේ ජේ. වී. පී. එක තුවක්කුව ඇල්ලුවා. ශ්‍රීලනිපය කොකා ගැස්සුවා කියලා.

මං එහෙම කියලා තියෙනව ද? මං හිතන්නෙ නැහැ. විජය ඝාතනය තනිකරම ජේ. වී. පී. වැඩක්. හැබැයි යූ. එන්. පී. එකේ කෙනෙකුත් මේ වැඩේට සම්බන්ධයි.

ඔබ රිචඩ් ද සොයිසා ඝාතන නඩුවට පෙනී හිටියා.

ඔව්. ඔහුගේ මරණය හංගන්නනෙ ගියේ. මම තමයි ඒක අවුස්සලා ගත්තේ. රිචඩ්ව මැරුවෙ දේශපාලන වුවමනාවකට. ඒ පොලීසියෙ ලොක්කා ප්‍රේමදාස බිලිගත් බෝම්බෙටම ගොදුරක් වෙලා මියගියා.

චන්ද්‍රිකා රජයේ ඔබ ඇමැතිවරයෙක්?

ඔව්. මං විද්‍යා හා තාක්ෂණ ඇමැති. මං ඒ අමාත්‍යාංශයේ කොච්චර අදීනව වැඩ කළා ද කියනවා නම් මාව වෙනත් ඇමැති ධුරයකට මාරු කළා. එතැනදි මට බැහැයි කියන්න බැහැනේ. ඉතිං මං භාරගත්තා. ඒ අධිකරණ ඇමැතිකම.

අද ලෝක පරිමාණයෙන් ගත්තත් සමාජවාදය බිඳ වැටිලා?

ලෝකයේ කොහෙද සමාජවාදයක් තිබුණේ? රුසියාවේවත් සමාජවාදයක් තිබුණ කියලා මං හිතන්නෙ නැහැ. ගොර්බචොෆ්ගේ කාලේ දක්වා එහි තිබුණේ නිලධාරිවාදයක්. ගෝර්බචොෆ් අද ඇමෙරිකාවට වෙලා ඉන්නවා. ඒ අයව පාවිච්චි කරලා ප්‍රති විප්ලවයක් කළා.

ධනවාදයේ පිපිරීමත් එක්ක ලෝකයේ මේ තත්ත්වය වෙනස් වේවි ද?

මට නම් පේන්නේ ධනපති ක්‍රමය තව තවත් ශක්තිමත් වෙන බවයි.

අද සමාජය පිළිබඳ ඔබේ කියැවීම මොකද්ද?

මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. මොකද, එක දෙයක් අද තරුණයන් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. යූ එන් පී එක ගැනවත් ජේ වී පී එක ගැනවත් ඔවුන්ගේ විශ්වාසයක් නැහැ.

සම්ප්‍රදායික වමේ නායකයන් ගැන අසම්ප්‍රදායික ප්‍රශ්නයක් අහන්න කැමැතියි. ඔවුන් තරමක් දුරට ස්ත්‍රී ලෝලයන්ව හිටිය ද?

අපි කාටවත් ගැහැනු පස්සෙ යන්න වෙලාවක් තිබුණේ නැහැ. අනෙක මං ඕවා හොයන්න ගියෙත් නැහැ.

ඔබ දැන් සමසමාජ පක්ෂයට සම්බන්ධයක් නැද්ද?

මං පාක්ෂිකයෙක් වුණාට යාන්ත්‍රණයක් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. උඹලගේ දේශපාලනය ජනතාවට තේරෙන්නෙ නැහැ කියලයි මං ඔවුන්ට කියන්නේ. ඒකට ඔවුන්ට උත්තරයක් නැත්නම් මටත් උත්තරයක් නැහැ. උත්තරයක් නැති දේශපාලනයකට අපිට ගෑවිලා ඉන්න බැහැනේ.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන යමක් කියන්න කැමැති ද?

ඔව්. ඕනැ දෙයක් අහන්න?

ඔබේ බිරිය?

ඇය ආචාර්ය හේමා වීරකෝන්. කැලණිය විශ්ව විද්‍යාලයේ වාග්විද්‍යා ආචාර්යවරියක්. ඇය මට මුණ නොගැහුණා නම් මේ දේශපාලන කාර්ය බහුලත්වය නිසා මට කසදායක්වත් බැඳගන්න බැරි වෙනවා.

දරුවන්?

පුතාල දෙන්නයි දුවලා දෙන්නයි. ඒ ගොල්ලො වෘත්තියෙන් නීතිඥ හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රවලයි ඉන්නේ.

මේ දවස්වල ඔබ මොනව ද විශේෂයෙන් කරන්නෙ?

මම පොත් ලියනවා. මගේ අලුත්ම පොත ඔබ කියෙව්ව ද? ඒක දෝන කැතරිනා ගැන ලියපු පොතක්. නම ‘කුසුමාසන දේවි ඈස් එම්ප්‍රස් ඔෆ් ත්‍රී සිංහල'.

හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නව ඇති?

පාටිවලට ගියාම බොනවා. ඒත් තනියම බොන්න පුළුවනැයි?

විනෝදාංශ වශයෙන් මොනව ද කරන්නෙ?

පොත් ලිවීම තමයි දැන් මගේ ලොකුම විනෝදාංශය.

දැන් ඔබේ වයස අවුරුදු 82 ක්.

මම තමයි උදේට තේ වක්කරන්නේ. තව කොච්චර කාලයක් මට කේතලේ උස්සලා ලිප උඩ තියන්න පුළුවන් වෙයි ද දන්නෙ නැහැ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්