එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සැඟවුණේ තිබ්බටුගොඩදියි

සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සැඟවුණේ තිබ්බටුගොඩදියි

සූකිරි පුවත්පතට ලිපි සැපයීමෙන් 1979 දී ලේඛන කලාවට පිවිසි තිලක් සේනාසිංහ මහතා ඉන් වසර තුනකට පමණ පසු සිත්තර නිවසට ගොඩ වැදුණේය. කුමරි, මුතුහර, සරසි, සත්සර ආදි පුවත්පත් හා සඟරාවල කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස ඔහු ජනප්‍රියත්වයට පත්විය. 1986 දී ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඔහුට පැවරූ රාජකාරිය වූයේ සති දෙකක් සඳහා රැජිණ පුවත්පතේ කර්තෘත්වය බාර ගැනීමයි. එදා සිට වසර 28 ක් පුරා නොගෙවුණු ඒ දෙසතිය නිසා රැජිණ පුවත් පතේ රජු ලෙස තිලක් සේනාසිංහ මහතා සිය මාධ්‍ය දිවිය ගත කරමින් සිටී. කුඩා කල සිටම පරිසරයට ලැදි ඔහු තමන් මෙරට දුටු ලස්සනම තැන ගැන මෙසේ පවසයි.

මං පුංචි කාලේ ඉඳන් මිනිසා පරිසරයේම කොටසක් කියන සිතිවිල්ලේ ඉන්නේ. ඒකට හේතුව අපි හුස්ම ගන්නේ මේ පරිසරේ තියෙන වායුව මේ පස, ජලය, ආදිය නැත්නම් අපිත් නෑ නේද කියලා මට තේරුණා.”

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කළ ඔහු පාසලේ දී ඉගෙනීමට නොලැබුණු ඇතැම් දේ පිළිබඳ වැඩිහිටියන්ගේ කතාබහ ඇසුරින් සොයා බැලීමට උනන්දු විය.

“එහෙම අපේ සීයලා ආතලා කියු කතාවක් තමයි අපි සිංහල කීවාට සිංහල නෙවෙයි කියන දෙය. මට ඒ ගැන තිබුණේ විශාල කුතුහලයක්. ඒ වගේම සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සැඟවුණා ය කියන ඩිංගිරි කඩුව ප්‍රදේශය ගැනත් මට ලොකු උනන්දුවක් ඇතිවුණා.”

මේ උනන්දුව නිසාම ඔහු ‘ඩිංගිරි කඩුව’ නම් ස්ථානය පිහිටි ඌරුවල් ඔය ඇතුළු ඒ ජනප්‍රවාදයට සම්බන්ධ ‘සම්බා කොත’ ආදිය පිහිටි තිබ්බටුගොඩ ප්‍රදේශය පිළිබඳ තොරතුරු සොයන්නට විය. ඒ ඩිංගිරි කඩුවේ බහිරවයා පිරිත් බලෙන් එළවූ බව දැනගත් පසුය.

“සම්බා කෙත කියන්නේ විශාල වෙල් යායක්. සාමාන්‍යයෙන් ‘කෙත’ කියලා හඳුන්වන්නේ රාජකීය වෙල් යායකට හෝ බිමකට. හඟුරන්කෙත ඊට හොඳම උදාහරණයක්. කඩුවෙල, කදුරුවෙල, මාදිවෙල වගේ ‘වෙල’ යෙදෙන්නේ සාමාන්‍ය කුඹුරක් පිහිටි ගමකටයි. මේ ගැන එම්. සී. පී. බෙල් මහත්මයා කෑගලු වාර්තාවෙන් කියනවා.”

සම්බාකෙත නම් වූ වෙල් යාය පසුව වහරෙන් සම්බාගම හා හම්බාගම බවට පත් වී අභාවයට ගිය ද ඒ විශාල වෙල් යාය අදටත් තිබ්බටුගොඩ ප්‍රදේශයේ සරුවට වගා කෙරෙනු දැකිය හැකිය.

“මේ වෙල් යාය තමයි සකල කලා වල්ලභ රජුට තිබුණු ලොකුම වෙල් යාය, ඒ රජ්ජුරුවෝ බොහොම හොඳ රණශූරයෙක් වගේම වාරි ඉංජිනේරුවෙක්. අද වුණත් උඩුගම්පොළ අදාහනාගාරය ළඟ බැලුවොත් මේ ලංකාවේ විතරක් නෙවේ අග්නිදිග ආසියාවෙම රජකු සතුව තිබූ ලොකුම මඟුල් පොකුණ කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා පවා කියන්නේ මේ රජුගේ මඟුල් පොකුණටයි.

“මේ කුමාරයාගේ පිය රජු වුණේ ක්‍රිස්තු වර්ෂ 1477 සිට වසර විස්සක් පමණ රජකළ අටවැනි වීර පරාක්‍රමබාහු රජතුමායි. ඒ රජු රජක කුල කාන්තාවක් අගබිසව කරගෙන හිටියා. ඇයගේ නැඟනියට රජුගෙන් උපන් කුමරා තමයි සකල කලා වල්ලභ හෙවත් අම්බුලුගල කුමාරයා.”

“ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සම්බාකෙත බලන්න රජතුමා යන්නේ ඇමැතිවරුන් පිරිවරාගෙන කෙත කෙළවර ගිම්හාන උද්‍යානයේ වාඩිලාගෙන ඉඳලා වාඩි ඔය දිගේ පාරුවකින්. වරක් රජු තමන්ගේ පුතුන් හත්දෙනා අතරින් ඩිංගිරි කුමාරයාත් මේ ගමනට සහභාගි කරවාගෙන යන අතර තම මඟුල් කඩුව තමන්ට හිතවත්ම ඇමැතිවරයකුට බාර දී තිබෙනවා. ඩිංගිරි කුමාරයා ඇමැතිවරයාගෙන් කඩුව රැගෙන ලෙළවමින් සෙල්ලම් කරද්දී අතින් විසි වී ගොස් ඌරුවල් ඔය දියඹේ සැඟවී ගියා. තම වගකීම නිවැරැදිව ඉටු කිරීමට බැරිවීම නිසා රජු හිස ගසා දමතැයි සිතු ඇමැති දිවි පරදුවට තබා දියට පැන කඩුව හෙව්වාලු. නමුත් හමුවී නෑ. ඊට පස්සේ රාජපුරුෂයන් යොදවා හෙව්වත් ඔවුන් ද ජලයට බිලි වුණා මිස කඩුව ලැබී නැහැ. රජතුමා ඒ ගැන සිතින් අතහැරි පසු හොරෙන් කඩුව ගන්න සිතු අයත් එතැනින් පැනලා මියගියා මිස මඟුල් කඩුව සොයාගන්න ලැබිලා නැහැ. කොහොම හරි කතාව තිබුණේ මුලින් ම පැන්න ඇමැති බහිරවයෙක් වෙලා කඩුව රකිනවා කියලයි. ඒ බහිරවයාව පිරිත් කියලම පන්නා ගත් පසුව තමයි මමත් මේ තැන ලස්සන දකින්න ගියේ. හැබැයි මඟුල් කඩුව නම් හොයන්න තාම හිතුවේ නැහැ.”

කෙසේ වුව ද මේ පරිසරය ඔහු සිත් ගත්තේ ඈතට විහිදෙන කෙත් යාය එදා මෙන්ම අදටත් කිසිවකුගේ හානියකට ලක් නොවී තිබීම නිසාය.

“මේ වෙල් යායේ සිදුවෙලා තිබෙන ලොකුම වෙනස තමයි අධිබලැති විදුලි රැහැන් පෙළක් ඇද තිබීම. ඒ අසලම තිබෙන කෝට්ටේ යුගයට අයත් පත්තිනිපිටිය දේවාලයත් මේ පරිසරයට අමුතු අලංකාරයක් වගේම වටිනාකමක් එකතු කරනවා. ඒ දේවාලයට බැඳුණු ඉතිහාස කතාව මගේ ජීවිතයටත් බොහොම සම්බන්ධයි. ඒ කියන්නේ මගේ වාසගම හැදුණු හැටි ඒ දේවාලයත් අතර නොබි‍ඳෙන බැඳීමක් තිබෙනවා.”

ඔහුගේ පරපුර සිංහල කීවාට සිංහලම නොවේ යන්න ගැනත් විජය රජුගේ කතාවට පරිබාහිර කතාවකුත් ඔහු ඊට එක් කළේය.

“තිබ්බටුගොඩ මුල් පදිංචිකරුවන් ඉන්දියාවෙන් සංක්‍රමණය වූ පිරිසක්. තීර්තකයන් බැස්ස ස්ථානය තිබ්, බටු, ගොඩ කියා පසුව වහරන්න ගත්තා. කෝට්ටේ යුගයේ හෝ ඊට කලකට පෙර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් ආව පිරිස හැඳින්වූයේ ‘ආඬින්’ කියලා. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කතා හැදිලා තිබෙන්නේ ඒ අපේ මුතුන් මිත්තන්ට තමයි. ඔවුන්ගේ භාෂාව වුණේ ද්‍රාවිඩ භාෂා පවුලේ එක් කොටසක් වන පර්දාන් භාෂාව. එය දෙමළ නොවේ. දෙමළවලට සම්බන්ධයකුත් නෑ.

හින්දි ඉංග්‍රිසි ශබ්දකෝෂයේ ඒ වචනය හඳුන්වන්නේ චීෆ් නැත්නම් ලීඩර් කියලා. එයින් කියන්නේ ආධ්‍යාත්මික, ආගමික නායකත්වය දැරුවන් භාවිත කළ භාෂාව වගේ අදහසක්. ආන්ද්‍රා ද්‍රාවිඩවලට තමයි අපේ ගැමියන් අන්තිමට අණ්ඩර දෙමළ කියා කීවේ. සංක්‍රමණිකයන් හැටියට අනගාරික පිරිමි අය ජපමාලය කරේ දාගෙන පැන්කෙණ්ඩියක් හා හැරමිටියක් අතේ ගෙන සැහැල්ලුවක් කරේ එල්ලාගෙන සත්‍යාසීන් හැටියට ආවා. පොඩි ළමයින් අල්ලාගෙන යන බිල්ලන් කියා සමහරු බය කළේ මේ සන්නාසීන්ටයි. ඔවුන් තෙල් මැතිරිලි වගේ පොඩි පොඩි දේවලුත් කළා. ජලයේ ගමන් කිරීමට උපන් හපන්නු. ඒ වගේම ශුද්ධස්නානය වැනි දේට ජලය බොහෝ යොදා ගත්තා. මේ අය අර පත්තිනි දේවාලය සමඟ දැඩි සම්බන්ධයක් පැවැත්වූයේ ඉන්දියාවේ බුදු දහමත් සමඟ පත්තින දේව විශ්වාසය සමීප ඇදහිල්ලක් බවට පත්ව තිබු නිසයි.”

“මේ මුතුන් මිත්තන්ගේ මුල් වාසගම ආඬිගේ, සත්‍යාසිගේ හා සේනාසිගේ වෙලා අන්තිමට අපට ලැබුණු සේනාසිංහ වාසගම බවට පත් වුණා. තනිවම පැමිණි සත්‍යාසින් මේ රටේ දී බින්න බැහැලා ඒ කාන්තාවන්ගේ ආගම හා වාසගම අරගෙන, ගොවිතැන් බත් කරගෙන නුවර යුගයේදී සිංහල බෞද්ධයන් බවට පත් වුණා.”

“හොරගොල්ලේ තිබෙන ඛෙත්තාරාම හා තිබ්බටුගොඩ සුගතාරාම පුරාණ විහාරවල අදටත් මහනුවර යුගයේ බිතු සිතුවම් දකින්න පුළුවන්. අර සකල කලා වල්ලභ රජු සම්බාගම කෙත් යායේ ගොවීන්ට කීවලු වී කොළේ උඩට නැංගාම මුහුද පේන උසට අස්වැන්න ගන්න කියලා. ඒත් ඒ වාරේ රජු එද්දි ඒ තරම් අස්වැන්නක් නොතිබුණු නිසා වී අහුරක් අරගෙන “අතේ බොල්” කීවාලු. එය ඒ ප්‍රදේශයේ අයට අවඥාවට වගේ තාමත් බොල් අතේ කියලයි ගමට නම කියලා තිබෙන්නේ.”

මෙවන් ඉතිහාසයක් සහිත රමණීය ප්‍රදේශයක් අස්වැද්දු රජු පසුව සිය බිරිය නිසා දිවි නසාගෙන ගම්බාර දෙවියකු බවට පත්වූ බව ගැමියන්ගේ විශ්වාසය යැයි ද තිලක් සේනාසිංහ මහතා පවසයි.

“දවසක් රජු ස්නානයට ලෑස්ති වෙලා පතහේ පිණුම්ගල සිට බලද්දී වතුර මත මීමැස්සකු වසා සිටින හැටි දුටුවාලු. හොඳ සටන්කරුවකු වූ රජ්ජුරුවෝ රාජ පුරුෂයන් යොදවා එසේ වීමට හේතුව සොයා බලද්දී ජලයේ උල් හිටුවා තිබුණාලු. ඒ දියට පැන්නාම උල් ඇනී මැරෙන්න, එය කර තිබුණේ තමන්ගේම පුතා. සළු අපුල්ලන ඇමැති කෙනකු සමඟ එක්ව මේ දේ කළ කුමාරයා පිය රජතුමාට හසු නොවී කුණු දිය පර්වතයට ගිහින් කලක් ඉඳලා එතැනින් පැනලා දිවි නහගෙන කළු කුමාරයා වෙලා ඇවිත් ගම්මුන්ට ලෙඩ කරන්න පටන් ගත්තලු. ඒ අතර රජක බිසව නිසා අමාත්‍ය මණ්ඩලයේ විරෝධයකුත් තිබුණලු. ගංවතුරක් ඇවිත් අවසාන නොවී මිනිස්සු දුක් වින්දලු. මෙය නවත්වන්න රජක බිසව ගංවතුර බිලි දෙන්න කියා අමාත්‍ය මණ්ඩලය කීවාලු. කරන්න වෙන දෙයක් නොතිබුණු රජු බිසව ගංවතුර බිලි දීලා තමනුත් ඒ වාන කඩාගෙන ගිය තැනට ගිහින් දිවි නහගත්තලු. වාන අස්වුණු තැන අස්වාන කියලා නම් වුණාලු. ගොවිතැනට උපන් හපනෙක් වුණු රජ්ජුරුවෝ හවසට තලප්පාවක් බැඳගෙන මේ වෙල් යාය බලන්න එනවා කියලයි ගැමියන් කියන්නේ. ඒ ගම්බාර දෙවියන් සුදු සූනියම් දෙවියන්ටම එක් කරලා හිතන්නත් ගැමියන් පුරුදු වුණා.”

මෙවන් ඓතිහාසික තොරතුරු රැගත් තිබ්බටුගොඩ හා අවට ප්‍රදේශය තමන් ජීවිතයේ දුටු ලස්සනම තැන වන්නට හේතුව ද ඔහු විස්තර කළේය.

“උදේට ඉර පායද්දී වෙල් යායේ පිනි වැටුණු බණ්ඩි ගොයම වගේම ඉර බහිද්දි ඉපණැල්ල දකින විට හරිම අමුතු හැඟීමක් එනවා. ඒ වගේම අත්තනගලු ඔය අඬුගං ඔය හැටියට මුහුදට වැටෙන්න යන්නේ වංගු කීපයක් ඔස්සේ. එයින් ප්‍රදේශය බොහොම සරුසාර වනවා වගේම ගඟ හැරී වංගුවලින් යන හැඩය බලන්න ලස්සනයි. පුරහඳ පායන විට කෙත් යාය රිදී පාටින් නෑවෙද්දී කඩුව සැඟවුණු ඌරුවල් ඔය වගේම අත්තනගලු ඔයත් රිදී කඳන් වගේ දිලිසෙනවා. හැන්දෑවට මම එතැනට වෙලා බලාගෙන ඉන්න හරි ආසයි. බඩ වැටිවල කුරුලු ගීත වගේම කෙත ආශ්‍රිත විවිධ පක්ෂීීන් උරගයන් මත්ස්‍යයන් දකින්න පුළුවන්. ඒ අතර මගේ හිත අතීතයට යනවා. මට වෙල් යායේ වගේම දිය පාරවල සිදුවීම් මැවී පෙනෙන තරම් ඒ දර්ශනීය ස්වභාවයක් අදටත් ඒ තැන්වල තිබෙනවා.”

එසේ කියූ ඔහු පරිසරය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙසේ කීවේය.

“මම හිතන්නේ පරිසරය කියන්නේ අපේ ආත්මයේම කොටසක්. මොකද මිනිසා කියන්නේ පරිසරයේම කොටසක් නිසා. එහෙම වුණාම පරිසරය විනාශ වුණොත් මිනිසාත් විනාශ වෙනවා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

[email protected]silumina.lk


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්