“අම්මා නැති පාළුව මටත් දැනෙනවා”
“අම්මා නැති
පාළුව
මටත් දැනෙනවා”
අපල කාලේ ඉවර ද කොහෙද. නැත්නම් හැමදාම මොකක් හරි කලබගෑනියක් ඔළුවේ තියාගෙන නිදා
ගන්නවා, නැඟිටිනවා, වැඩට යනවා, එනවා, ජීවිතේ හරිම ඒකාකාරියි, එහෙම වුණාම. ඒ නිසයි
අපි විනෝද චාරිකාවක් යන්න හිතුවේ. ඒ ගමනේ රසමුසු තැන් මතකයේ අවදි කරන්න හොඳම තැන
මගේ බංකුව. කාලෙකින් නිදහසේ අඹ ගහ යටට වෙලා ටිකක් සැනසිල්ලේ ඉන්නත් බැරි වුණානේ.
ගහක් කොළක් සෙළවුණේ නැතත් හෙවණ නිසා ගහක් යට හරි සනීපදායකයි. ඒත් හිතේ කෙළවරක
මොකක්දෝ දුකක් ද සතුටක් ද මන්දා කැරකෙනවා. මම අඹ ගහට පිටදී හේත්තු වුණා. හිත
එක්තැන් වෙද්දී ආයෙත් මගේ ඉස්සරහ ‘චූටි පැටියා’ ඉන්නවා වගෙයි මට දැනුණේ. අනේ “චූටි
පැටියා” හැමදාම මා ළඟ තියාගන්න තිබුණානම්! මගේ හිතේ ඇතිවුණේ ආසාවක්වත් දුකක්වත්
නෙවෙයි. ඒත්... අනේ මන්දා. ආ මට අමතක වුණානේ... චූටි පැටියා හම්බ වුණේ අපි ගිය
බදාදා පින්නවල ගියාම!
අපි කාර්යාලය පැත්තෙන් යනකොට චූටි පැටියා එතන තිබුණු ලොකු තිරුවානා ගලකින් ආදරේ
ඉල්ලනවා.
“අනේ ෂෝක් අනේ... මොකක්ද මෙයාගෙ නම” මම චූටි පැටියා බලාගන්න හිටපු කෙනාගෙන් ඇහුවා.
“තාම නමක් දාලා නෑ, මාස දෙකහමාරයිනේ.”
“ඇයි මේ මුළු ඇඟේම අළු පිපිලා වගේ” මල්ලි ඇහුවා.
“කිරි නැතුව“
“ඇහ්... ඒ කිව්වේ” අපි පුදුම වුණා.
“මෙයාගේ අම්මා මෙයාට කිරි දුන්නේ නෑනේ”
ඒ කතාවෙන් තිගැස්සුණු ආච්චි “හනේ දෙයියනේ තිරිසං ලෝකෙත් එහෙම දේවල් වෙනවා නේද ඉතිං
අනේ අසරණයා” කියමින් චූටි පැටියා දිහා බලාගෙන හිටියා.
“මෙයාව ටිකක් අත ගෑවට කමක් නැද්ද” මම අහපු විදිහට එපා කියන්න බැරිව ද කොහෙද බලාගන්න
කෙනා හිස වනා අවසර දුන්නා.
“හු...ං හෝර්ර්... ෆුහ්”
“මොකක්ද ඒ සද්දේ” අපි තිගැස්සුණා.
“ඒ පොඩි රණ්ඩුවක්” අම්මලා කණු වැට ගාවට දිවුණේ ඉබේටම.
අලි පැටියාගේ හිස අතගාමින් සිටි මමත් ඒ රණ්ඩුව බලන්න යන්නයි හැදුවේ. ඒත් කවුදෝ මගේ
අතින් අදිනවා වගේ දැනුණු නිසා මම ටිකක් පසුබැස්සා. චූටි පැටියා උගේ චූටි හොඬෙන් මගේ
අත වෙලාගන්න හදනවා.
“ඇයි පැට්ටෝ” මම දිවිල්ල නතර කරලා චූටි පැටියාගේ හිස අනිත් අතින් අත ගාමින් ඇහුවා.
චූටි අලි කකුලක් ඉස්සරහට තියා තවත් ළඟට වූ පැටියා මොනවද කියන්න හදනවා. කූරු, කූරු
වගේ ඈතින් ඈතින් වැඩුණු කෙඳිවලට ඉර එළිය වැටිලා දුඹුරු පාටට දිලිසෙනවා. අඩි
දෙකහමාරක්වත් උස නැති වුණාට දඟේ නම් අහසටත් උසයි. උගේ චූටි හොඬවැලෙන් මගේ දෑතම ඉව
කරලා විශ්වාසයක් ගොඩනැගුණු හින්දද මන්දා කුංචනාද කරන්න වගේ හොඬවැල උඩට අඹරලා හොරෙන්
මා දිහා බැලුවා.
“ඔයා හරිම හොඳයි, හරි හුරතල් හොඳ සුදු පැටියා” මම ඔහේ කටට එන වචන ඔක්කොම කීවේ අනේ
මං කියන දේ මේකට තේරෙනවනම් කියන ප්‍රාර්ථනයත් එක්ක, එතන තිබුණු කොට බිත්ති කෑල්ලකට
බර දෙන ගමන්. මට ඒ හුරතලාව අතෑරලා ගෙදර කට්ටියට එකතු වෙන්න හිතුණේ නෑ.
“මං ඔයාට චූටි පැටියා කියන්න ද” එක කණකට ළං වෙලා මම හොරෙන් ඇහුවා.
“හී... ං... ර්...” කට ලොකුවට ඇරලා හීන් හඬින් පිළිතුරු දෙන ගමන් ඔලුව දෙපැත්තට
වැනුවේ හරියට “හා” කියනවා වගේ. ඒත් ඒක රහසින්ම විතරක් කියන්න කියලා චූටි හොඬෙන්
“ෂ්ෂ්...” කියලා කීවා.
“ඇයි ඒ” මම ඇහුවා.
“අපිට නම් තියන්නේ ගණ පිහිටලාද මොකක්ද ක්‍රමේටලු” හොරෙන් දෙපැත්ත බලලා චූටි පැටියා
රහසින් කීවා.
“ඔයාට හොඳට දේවල් තේරෙනවනේ?” මම කීවේ සද්ද නොකර. චූටි පැටියා තක්කඩි විදිහට ඔළුව
වැනුවා.
“කවුද ඔගොල්ලන්ට නම් තියන්නේ”
“මම තාම දැකලා නම් නෑ ඒ වුණාට මැති ඇමැතිවරු කියන අය අපිව බලාගන්න ලොකු මහත්තුරු,
අර ඔගොල්ලෝ වගේම ගොඩාක් සුදු අය. ඒගොල්ලොත් නම් තියනවලු” චූටි පැටියා කීවා.
“පොඩි වුණාට හොඳටම පැහිලා” මම චූටි පැටියාගේ කණකින් අල්ලලා හෙමිහිට හෙළෙව්වා.
“අපි යමුද වටයක්” මම නැගිටින ගමන් ඇහුවා.
“මාව බලාගන්න ඕගොල්ලන්ගේ ජාතියේ මාමා කෙනෙක් ඉන්නේ. එයා නැතිව මම කොහේවත් යන්නේ
නෑ.”
“මම එයාටත් එන්න කියන්නං.” මම එහෙම කීවම චූටි පැටියා ඔළුව වැනුවෙ හරි සතුටින්.
“හරි යං ඉතින්” පොඩි තල්ලුවක් කළත් චූටි පැටියා හෙළවුණේ නැහැ. ඒත් එයාව බලාගන්න
කෙනා “යං කොළු” කීවා විතරයි මෙන්න පටන් ගත්තා.
“ඉතිං ඔයා දන්නා දේවල් මොනවහරි මට කියන්නකෝ” මම චූටි පැටියා දිහා බැලුවේ එයාගේ
බාරකාරයට හොරෙන්.
“මං දන්නේ හරි ටිකයි. මං තාම පොඩියිනේ. මේගොල්ලන් කියන සමහර දේවල් මට තේරෙන්නේ නෑ”
මොහොතක් නතර වෙලා තනි ගස්වල බැඳලා තිබුණු අලින් දිහා බයෙන් බැලු චූටි පැටියා කීවා.
“ඒ මාමලාව මං ඉපදුණු දවසේ ඉඳලත් ගස් බැඳලා තියෙන්නේ. හරි සැරයි මට දවසක් පිඹලා
එළෙව්වා.” නෝක්කඩුවක් වගේ චූටි පැටියා කීවා.
උඹටත් මදකිපුණු දාකට ඔහොම තමයි කියලා මේ චූටි පැටියට මම කොහොම කියන්න ද? අපි සද්ද
නැතිව එතනින් එහාට ගියා.
“මෙන්න මෙයා නම් හරි පව්” චූටි පැටියා නතර වෙලා රාජා දිහා බලාගෙන හිටියා.
“ඇයි” මම ඇහුවා.
“මේ අපේ සීයා කෙනෙක්. පේනවද දළ දෙකේ තරම මටත් ලොකු වුණාම ඒ වගේ දළ දෙකක් ආවොත්
ලස්සන වෙයි නේද? රජෙක් වගේලු කැලේ හිටියේ. දළ පූට්ටුවද මොකක්දත් කියනවා. ඒත්
ඕගොල්ලන්ගේ කෙනෙක් එයාට වෙඩි තියලා ඇස් දෙකම අන්ධයි. වලිගෙත් කැඩිලා වෙඩි පාරකට!
ඕගොල්ලො හරි නරකයි. මං තරහයි ඔයත් එක්ක.” චූටි පැටියා ගස්සලා එහාට ගියා.
“එහෙම කියන්න එපා චූටි පැටියෝ අපි ඔයාලාට කොච්චර ආදරේද එක්කෙනෙක් දෙන්නෙක් එහෙම
කළාට දැන් බලන්න ඔයාගේ ඒ සීයාව නාවලා, කවලා, පොවලා සාත්තු කරන්නෙත් අපිමනේ.
ඕගොල්ලන්ගේ සමහර මාමලාත් අපේ අය පාගල ගෙවල් කඩලා දාන්නේ එහෙනං. ඒක තමයි ලෝකේ හැටි.
ඔයා තව ලොකු වුණාම තේරෙයි” මම කීවා.
චූටි පැටියා ඔලුව වැණුවේ පිළිනොගෙන බැරි නිසා.
“එතකොට අර රංචුවේ කට්ටියගේ නැටි කොට වුණේ කොහොම ද?” මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.
ඒකට නම් චූටි පැටියාටත් හිනා ආවද කොහෙද.
“ඒ අපේ නැන්දලා හිටි හැටියේ රණ්ඩු වෙනවානේ. අර ඕගොල්ලන්ගේ සමහරු කොණ්ඩවලු පටලව
ගන්නවා වගේ එහෙම වෙලාවට තරහකාරිගේ නැට්ට හක්කේ දාගෙන කැඩෙනකල්ම හපනවා හිහ්”
“මොනවා” මම පුදුම වුණා. ඒ අතර උදේම නාගෙන ආ පිරිස කළු පාටින් ඔප දැම්මා වගේ
දිලිසෙද්දි පස් නාගෙන සිටි දෙවැනි රංචුව පේළියට ඔයට යන්න ලෑස්ති වුණා. එහා පැත්තේ
කොටුවේ හිටපු ටිකක් උස මහත නාම්බො දෙන්නෙකුත් දුවගෙන විත් ඒ පෝළිමට එක්වුණා.
අපි යද්දි ඒ දෙන්නාට බලාගන්න අය බණ්ඩිය පිරෙනකල් කිරි පොවමින් හිටියේ. “මේ දෙන්නත්
ඔයාගේ යාළුවො ද?” මම ඇහුවා.
“ඔව් ඒ වුණාට ඒගොල්ලෝ ලොකුයිනේ. මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නෑ. එක්කෙනෙක්
කිරියා අනිත් කෙනා පිල්ලමලේ.”
චූටි පැටියා එහෙම කියද්දි මට පුදුම හිතුණා. අපේ කොල්ලො දෙන්නෙක් ඒ නම්වලින්
හිටියනම් එකෙක් සිංහල අනිකා දෙමළ. ඒත් අලි අලිමයි. හොයාගත්ත ගම අනුව විතරයි නම
වෙනස් වෙන්නේ.
“අර... අනේ ඒ මොකද?” මට කෑ ගැහුණා.
“ඒ සාමා නැන්දා වැලිකන්ද කියල දිහාක මොකද්ද මන්ද බිම්බෝම්බ කියන්නේ අන්න ඒකට
අහුවෙලාලු, එයාගේ දකුණු අත කැඩුණේ. එයා හරි අමාරුවෙන් යන්නේ. මෙහෙ මහත්තුරු එයාට
අලුත් අතක් ගෙනත් දීලා තියෙනවා. ඒත් ඒක විසි කළා කියන්නේ. මට නම් තේරෙන්නේ නෑ, ඒක”
ඔව් චූටි පැටියෝ ඔයාට තියා මටත් තේරෙන්නේ නෑ. මිනිස්සු කෘත්‍රිම දේවල්වලට
හුරුවෙන්නේ කොහොමද කියලා. ඒත් ඕගොල්ලන්ට එහෙම බෑ. මිනිස්සු කට්ටියක් බිම්බෝම්බ
තියලා කකුල කඩලා තවත් කට්ටියක් කකුලක් ගෙනත් දීලා. කකුලක් ගේන එකනම් මනුස්සකම තමයි.
ඒත් ඒ දෙකම ඕගොල්ලෝ හීනෙකින්වත් හිතන වැඩ නෙවෙයි. හනේ මන්දා.”
මම එහෙම කියලා බලද්දි චූටි පැටියා හෙළවෙන්නෙවත් නැතිව බලාගෙන ඉන්නවා. මම ඒ පැත්ත
බැලුවා. නාන්න යන රංචුවේ ඉන්න පොඩි කට්ටිය අම්මලා කිරි අම්මලා නැන්දලා වට කරගෙන අලි
ජරමරයක්.
“ඇයි පැට්ටෝ” මං ඇහුවා.
“නෑ. මෙහෙම ගිය අපේ අයියෙක් ද අක්කෙක් ද මන්දා අර නාන තොටේ ගිලිලා. මම නම් ඒ හරියට
ගිහිං නෑ තාම.
ඒත් කට්ටිය කතා වෙනවා ඇහුණා වැලි ඇදලාම ගල් පර්වත මතු වෙලාලු එතන. ඒ නැන්දාට තේරුණේ
නෑලු බබා ගිලෙනවා කියලා. කට්ටිය සෙල්ලමුත් කරනවානේ, එතන. ඒත් ඒ නැන්දා නොකීවට හරිම
දුකෙන් ඉන්නේ. එයා ඒ බව කාටවත් පෙන්නන්නේ නෑ.
අපි වටේම ඇවිද්ද නිසා ආපසු එන්න හැරුණා. එතන ටිකක් එහාට වෙන්න බැඳලා හිටපු අලියා
තොරතෝංචියක් නැතිව නටනවා.
“අර මොකද” මම හිනාවේවි ඇහුවා.
“ඒ මාමාගේ හැටි. ගස් බැඳපු නැති කාලෙට හරිම හොඳයිලු. ඒත් දැන් ඔහොම නැටුවට මොකද
ඕගොල්ලො විතරක් නෙවේ බලාගන්න අය හරි අපි හරි ළඟට ගියත් කන්න දීලා තියෙන කිතුල්
පිතිවලින් දමලා ගහනවා. එයාට කෑම දෙන්නේ දිග රේක්කෙකින්. නැත්නම් අපේ හොඳ අලි මාමා
කෙනෙක් අතේ කෑම ළඟට යවනවා” චූටි පැටියා කීවා.
“ඔයා කෑම ගැන දන්න එකේ ළපටි තණකොළ ටිකක්වත් කන්නේ නැද්ද?”
“නෑ” චූටි පැටියා කීවේ මුරණ්ඩු විදිහට.
“ඇයි?” මම බරට ඇහුවේ ටිකක් බය කරන්න හිතාගෙන.
“මට බෑ. මට බෑ මට බෑ මම තාම ගොඩක් පුංචියි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නෑ. මම කැමති උක්කු
බොන්න විතරයි.”
“එහෙනම් අර බලාගන්න එක්කෙනා කීවේ චූටි පැටියට ඒකවත් හරියට බොන්න දන්නේ නෑ කියලා.
ඒගොල්ලන් උගුරටම දාලා කිරි ටික පොවන කල් කට ඇරගෙන ඉන්නවා කියලා” මම ටිකක් සැරෙන්
වගේ කීවා.
චූටි පැටියාගේ දඟකාර ගමන නැවතුණා.
හෙමීට ඔළුව හරවලා ඒ පැත්ත මේ පැත්ත බැලුවා. ඒ පැත්තේ කොටුවේ පැටවු දෙන්නෙක්
අම්මලාගෙන් කිරි බොනවා. මේ පැත්තේ කොටුවේ චූටි පැටියාගේම වයසේ වගේ එක්කෙනෙක් අම්මා
ළඟ හුරතල් වෙවී කිරි බොනවා. චූටි පැටියාගේ ඇස දිළිසෙන්න ගත්තා.
“ඒ ගොල්ලෝ හරි වාසනාවන්තයි” චූටි පැටියාගේ එක් ඇසක රැඳුණු මව් සෙනෙහස සෙමින් පහළට
බර වුණා.
“අර ඉන්නේ ළඟදි නැතිවුණු අනුරාධා ආච්චිගේ දුවයි ඒ දුවගේ බබයි. මාත් ආසයි ඒ වගේ මගේ
අම්මාත් ළඟ ඉන්නවානම්. ඒත් මාව මාස විසි තුනක්ම බඩේ තියාගෙන ඉඳලා ආදරෙන් මේ ලෝකෙට
ගෙනා අම්මා එක දවසක්වත් ආසාවට බීලා බලන්නවත් කිරි ටිකක් දුන්නේ නෑ. මං ගොඩාක්
බඩගිනි වෙලා ළඟට ගියාමත් අම්මා කිව්වේ කිරි නෑ කියලා. මං අහල තියෙන්නේ අපි වගේ
බබෙක් ආවාම අම්මලා පුංචි අම්මලා ඔක්කොම එකතු වෙලා කිරි දෙනවා කියලයි. ඒත් මම අම්මා
කෙනෙක්ගේ කිරි මොන රහද කියලාවත් දන්නේ නෑ. මට කවුරු හිටියත් හැම තිස්සෙම හරි
පාළුවක් වගේ දැනෙනවා.”
“අනේ චූටි පැටියෝ” මම චූටි පැටියාගේ හිස අත ගෑවා. චූටි හොඬෙන් පොළව හාරා පස් ටිකක්
ගෙන මගේ අල්ල මත තැබු චූටි පැටියා ආයාචනාත්මක බැල්මකින් මා දිහා බැලුවා.
“පොරොන්දුවක් වෙන්න” චූටි පැටියා කීවා.
“මොකක්ද?” මම ඒ පස් ටික මිට මොළවාගෙන පොරොන්දු වන බව කීවා.
“මගේ අම්මගේ නම ළසඳා එයා දැන් ඉන්නේ දෙවුන්දර දේවාලේ කවදාහරි ඒ පැත්තේ ගියාම අම්මා
හම්බුණොත් පණිවුඩයක් තියනව ද?”
“හා”
“උක්කුං ඕනැ නෑ, මාව බලන්න එක සැරයක් එන්න කියන්න. මම අම්මට ගොඩාක් ආදරෙයි.”
සරස්... සරස්...
“අක්කේ මොකද මෙතන නින්ද ගියා ද? පත්තරෙත් හුළඟේ ගිහින්” මල්ලි උරහිසෙන් සොළවා
ඇහැරුවාමයි මට බංකුව උඩම නින්ද ගිහින් බව දැනුණේ.
අරුණි මුතුමලී
|