පර්යාලෝකය ආතර් සී. ක්ලාක් ගේ සිනමා පරිකල්පනය
  පර්යාලෝකය ආතර් සී. ක්ලාක් ගේ සිනමා පරිකල්පනය  

පසුගිය දා අභාවප‍්‍රාප්ත වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් පිළිබඳව ලියැවුණු අනුස්මරණ ලිපි බොහොමයක ම ඉතා අඩුවෙන් කියැවුණු ක්‍ෂේත‍්‍රයක් වුණේ සිනමාවට ඔහු ගේ තිබුණු සම්බන්ධය යි. ක්ලාක් සිනමාවට අංශ තුනකින් බද්ධ වී සිටියා. එක් අංශයක් චිත‍්‍රපට නිෂ්පාදනය. අනෙක් අංශය චිත‍්‍රපට තිර නාටක රචනය. තුන්වැනි අංශය තමයි රඟපෑම.

’රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ නිෂ්පාදක ලෙස එහි නාමාවලියේ සඳහන් වන්නේ ශේෂා පලිහක්කාර ගේ නම වුණත් එය නිපද වූ සෙරන්ඩිබ් චිත‍්‍රපට සමාගම ආතර් සී. ක්ලාක් ගේ ද මූල්‍ය දායකත්වයෙන් ගොඩනැංවුණු එකක්.

ක්ලාක් ලියා තිබෙන ‘ද ටෙ‍්‍රෂර් ඔෆ් ද ග්‍රේට් රීෆ්’ (මහා කොරල් පරයෙහි නිධානය) නමැති පොතේ ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ නිෂ්පාදනය හා සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කැරෙනවා.

’රන්මුතු දූව‘ අධ්‍යක්‍ෂණය කළේ මයික් විල්සන්. ඔහු ක්ලාක් ගේ ම සොයා ගැනීමක්. 1950 ගණන්වල මුල ක්ලාක්ට මයික් මුණගැසුණේ ලන්ඩන් නුවර සුරා සලකදීයි. මයික් කාලයක් බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ සේවය කර තිබුණා. ක්ලාක් - මයික් දෙදෙන 1955 දී ලංකාවට පැමිණියේ ඔස්ටේ‍්‍රලියාව බලා යන අතරවාරේ. ඊළඟ අවුරුද්දේ ඉඳන් ඔවුන් ලංකාව ස්වකීය වාසස්ථානය බවට පත් කර ගත්තා. එහි දී රොඩ්නි ජොන්ක්ලස් ද ඔවුන්ට එකතු වුණා. මේ තිදෙන මූලික වී කිමිදුම් සමාගමක් ආරම්භ කිරිම ‘රන්මුතු දූවේ’ ආරම්භක නිමිත්ත බවට පත්වෙනවා.

ආතර් සී. ක්ලාක් සමඟ මයික් විල්සන්

කිරින්ද අසල මහ මුහුදේ මහා රාවණා හා කුඩා රාවණා යන නමින් තිබෙන කොරල් පර අවට කිමිදුමේ යෙදෙන මයික්ට රිදී කාසි හා පිත්තල කාලතුවක්කු දෙකක් සොයා ගන්න ලැබෙනවා. ඊළඟට ඔවුන් ගේ අවධානය යොමුවන්නේ මුහුද යට තිබෙන නිදන් සෙවීම සම්බන්ධයෙනුයි. ඒකට නවීන පන්නයේ බෝට්ටුවක් මිලට ගන්න අවශ්‍ය වෙනවා. එහි මිල ඇමෙරිකානු ඩොලර් දස දහසක්. මුදල් සොයා ගැනීමට මඟක් ඔවුන් කල්පනා කරනවා. චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම ඉන් එක් මාර්ගයක්. ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ නිෂ්පාදන පසුබිම එයයි.

’රන්මුතු දූව‘ නිර්මාණය කරන්න පෙර මයික් මුහුදු යට දර්ශන ඇතුළත් කොට වාර්තා චිත‍්‍රපටයකුත් නිපදවා තිබුණා. ඔහු එය නම් කරලා තිබුණේ (EPIC) ද සීස් ඔෆ් සිලෝන්’ යන නමින්. ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයට එහි දර්ශනත් ඇතුළත් වෙනවා.

සෙරන්ඩිබ් සමාගමට අවශ්‍ය වුණේ අන්තර්ජාතික මට්ටමේ චිත‍්‍රපටයක් නිපදවීමට බව පැහැදිලියි. එය වර්ණයෙන් නිපදවීමේ අභිප‍්‍රාය වුණෙත් එයයි. “අපට ඕනෑ වුණේ පිටරටවල පවා පෙන්වන්න පුළුවන් විදියේ වර්ණ චිත‍්‍රපටයකට කතාවක් යැයි” ශේෂා පලිහක්කාර ‘රන්මුතු දූව‘ සමරු කලාපයට ලිපියක් ලියමින් කියා තිබෙනවා.

’රන්මුතු දූව‘ නිෂ්පාදනයක් වශයෙන් ගත්තම දැවැන්ත චිත‍්‍රපටයක්. එය එපික් (EPIC) ශෛලියේ චිත‍්‍රපටයක්. ඒ ශෛලියට බෙහෙවින් ගැළැපෙන වීර වික‍්‍රමාන්විත(ADVENTURE)  කතා පුවතක් මේ චිත‍්‍රපටයට පාදක වුණා.

රන්මුතු දූවේ විතරක් නෙමෙයි මයික් ඊට පසුව හදපු චිත‍්‍රපට දෙකෙත් (ගැටවරයෝ, සොරුන්ගෙන් සොරු) මා දකින එක් ලක්‍ෂණයක් තමයි ඒවා පුරුෂාකාර (MASCULINE) ස්වභාවයකින් යුක්ත වීම. ඒවායේ කේන්ද්‍රීය චරිතය පුරුෂයෙක්. ඔහු ගේ වීර වික‍්‍රමාන්විත කි‍්‍රයා ඔස්සේයි කතාව විකාශනය වන්නේ. සොරුන්ගෙත් සොරු මුළුමනින් ම ජේම්ස් බොන්ඩ් ගණයේ චිත‍්‍රපටයක්. (ඉහත චිත‍්‍රපට දෙකක් සෙරන්ඩිබ් නිෂ්පාදන)

’රන්මුතු දූව‘ මුහුද යට දර්ශන රැගත් ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය විතරක් නෙමෙයි එබඳු දර්ශන ඇතුළත් ආසියාවේ පළමුවැනි චිත‍්‍රපටය ද වෙනවා. ටෙරන්ස් යං තමා ගේ ‘තන්ඩර් බෝල්’ නමැති ජේම්ස් බොන්ඩ් ගණයේ චිත‍්‍රපටයට දිය යට දර්ශන ඇතුළත් කිරීමට ආභාසයක් ලැබුවේ ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ කොටස් නැරඹීමෙන් බව මා කියවා තිබෙනවා. ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ රසායනාගාර කටයුතු කැරුණේ එංගලන්තයේ ආතර් රෑන්ක් රසායනාගාරයේ (ඒ සඳහා වියහියදම් දැරුවේ ආතර් සී. ක්ලාක්) ටෙරන්ස් යං තමා ගේ ‘ඩොක්ටර් නෝ’ චිත‍්‍රපටයේ රසායනාගාර කටයුතු කළෙත් ඒ රසායනාගාරයේදී ම යි. ඔහුට ‘රන්මුතු දූව‘ චිත‍්‍රපටයේ කොටස් දකින්න ලැබුණේ එහි දී යි.

'රන්මුතු දූව' ගැන ක්ලාක් මෙසේ සඳහන් කර තිබෙනවා. 'රන්මුතු දූව' තිරගතවූ දා මට දැනුණේ මා ලෝකයේ ඉහළම කෙළවරේ සිටිනා බවයි. මයික් කළේ දැවැන්ත නිර්මාණයක්. රන්මුතු දූව ඉතා ප‍්‍රශස්ත මට්ටමක පවත්නා නිර්මාණයක්. වැඩි කලක් නොගිහින් රන්මුතු දූවේ ගීත ගුවන් විදුලියෙන් නිතරම ඇහෙන්න පටන් ගත්තා. අප යන යන තැනක මිනිසුන් අපි පස්සේ එන්නට පුරුදු වුණා. මාස කිහිපයක් තුළ දශ ලක්ෂයක් දෙනා එය නරඹා තිබුණා. ඒ කියන්නේ එවකට ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් දහයෙන් පංගුවක්. ශ‍්‍රී ලංකාව තුළ ඉන්පසුව අප කි‍්‍රයාත්මක කළ හැම වැඩපිළිවෙළකටම නිබඳ මහජන සහාය ලැබෙන්නට මේ චිත‍්‍රපටය හේතු වුණා යැයි මම සිතනවා. (පරිවර්තනය - චානුක වත්තේගම)

මයික් ඔය කාලේදීම සත්‍යජිත් රායිත් සමඟ එකතු වෙලා විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කළත් එය ව්‍යවර්ථ වුණා. එය නම් කර තිබුණේ 'දි එලීයන්' යන නමින්. ඇන්ඩෲ රොබින්සන් ලියපු 'සත්‍යජිත් රායි දි ඉනර් අයි' නමැති පොතේ නිෂ්පාදනය නො වූ චිත‍්‍රපට (UNMADE FILM)  යන පරිච්ඡේදය යටතේ රායි නිෂ්පාදනය නොකළ චිත‍්‍රපට අතරට (මහා භාරතය, අ පැසේජ් ටු ඉන්ඩියා හා සමඟ) 'දී එලියන්' චිත‍්‍රපටය ගැනත් කරුණු සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

මයික් විල්සන් පසුකලෙක ස්වාමි සිවකල්කි නමින් පැවිදි ජීවිතයක් ගත කළා. ඔහු ගේ තිරරචනයක් අනුව මනික් සන්ද්‍රාසාගර අධ්‍යක්ෂණය කරන්න ගිය 'කි‍්‍රයිටීරියන්' නමැති විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් අතරමඟ ඇණහිටියා. එහි කතාව කෙටියෙන් ගත්තොත් මේ වගෙ එකක්. අභ්‍යාවකාශ යානයක් ලංකාවට කඩා වැටෙනවා. එය වැටෙන්නේ සිංහල බෞද්ධ ගමකට. මේ යානයේ සිටින නවීන මිනිසාත් ගමේ පන්සලේ නායක හාමුදුරුවොත් අතර ඇතිවන සම්බන්ධය මතිනුයි මේ චිත‍්‍රපටය විකාශනය වෙන්නේ. එය එක අතකට නවීන විද්‍යාවත් බුදුදහමත් එකිනෙකට මුණගැසීමක්. 1995 දී ස්වාමි සිවකල්කි ජීවිතය හැර ගියා.

ආතර් සී. ක්ලාක් ගේ සිනමාවට ඇති ඊළඟ සම්බන්ධය තමයි '2001 අ ස්පේස් ඔඩිසි' චිත‍්‍රපටය (1968). මේ චිත‍්‍රපටය ස්ටැන්ලි කුබ්රික් විසින් නිර්මාණය කරන ලද්දේ ක්ලාක් 1950 දී ලියූ 'ද සෙන්ටිනල්' නමැති කෙටිකතාව ඇසුරෙන්. ක්ලාක් හා කුබ්රික් එක්ව එහි තිරනාටකය රචනා කළා. '2001 අ ස්පේස් ඔඩිසි' එදා මෙදා තුර ලෝක සිනමාවේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට දහය අතරට ගැනෙනවා. සුප‍්‍රකට හල් (HAL) නම් වූ පරිගණකය ඇතුළත් වුණේ මේ චිත‍්‍රපටයේයි. ක්ලාක් ගේ '2010' විද්‍යා ප‍්‍රබන්ධයත් සිනමාවට නැංවී තිබෙනවා. ඒ 1984 රේ දී. එහි තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළේ පීටර් හයිම්ස්. මේ චිත‍්‍රපටයේ ක්ලාක් ඉතාම සුළු දර්ශනයක පෙනී සිටියා. ඒ උද්‍යානයක බංකුවක් මත හිඳ සිටින අයකු වශයෙන්. ලබන අවුරුද්දේදි ක්ලාක්ගේ තවත් විද්‍යා ප‍්‍රබන්ධයක් වූ 'RENDEZBOWS WITH RAMA' ඇසුරෙන් චිත‍්‍රපටයක් නිපදවීමට සැලැසුමක් තිබෙන බව අන්තර්ජාලය වාර්තා කර සිටිනවා.

ආතර් සී. ක්ලාක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'බැද්දේගම' චිත‍්‍රපටයේ ලෙනාඩ් වුල්ෆ්ගේ චරිතය රඟපෑවා.

සු.මි.