ඡ්‍යොතිෂයේ මෙන් ම ශාසනික හා සමාජීය ප‍්‍රබෝධයේ පුරෝගාමී පඩිවරයා
  ඡ්‍යොතිෂයේ මෙන් ම ශාසනික හා සමාජීය ප‍්‍රබෝධයේ පුරෝගාමී පඩිවරයා  

ඈපා අප්පුහාමි මහතාගේ අභාවයෙන් 116 වසරක් සපිරීම නිමිත්තෙනි.

ලාංකේය නිදහස් අරගලය ශක්තිමත් කිරීම සඳහාත් ලාංකිකයන් ජාතික ආගමික නිදහස කරා ගිය ගමන වේගවත් කිරීම සඳහාත් මුද්‍රිත මාධ්‍ය සහ මෙරට මුද්‍රණ ව්‍යාපාරය මඟින් ඉටු කෙරුණේ සුවිසල් කාර්ය භාරයකි. විශේෂයෙන් ම මෙහිදී බෞද්ධ භික්ෂූන්වහන්සේ සහ ඇතැම් ගිහි ප‍්‍රභූවරුන් විසින් ඉටුකරන ලද මෙහෙවර සුළුපටු නො වේ. මුද්‍රණයේ හෝ ප‍්‍රකාශනයේ හිමිකම නොතිබුණු ලාංකිකයෝ එවකට ඉංග‍්‍රිසින් ගෙන ගිය විනාශකාරී සහ මර්දනකාරී ප‍්‍රචාර වෙනුවෙන් පිළිතුරු සැපැයීම සඳහා විවිධාකාර ක‍්‍රමෝපායයන් භාවිතා කළහ. පංච මහා වාද බිහිවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එහෙත් අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව ගෙන ගිය අරගලය මෙවැනි ක‍්‍රමෝපායයන් ඔස්සේ පමණක් සාර්ථක කරගැනීම අපහසු බව අවබෝධ කොට ගත් මෙරට ගිහි, පැවිදි නායකයෝ අනතුරු ව මුද්‍රිත මාධ්‍ය කෙරෙහි සිය අවධානය යොමු කරති. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් විවිධ පාර්ශ්වයන් ගේ උපකාරයෙන් අනෙක දුෂ්කරතා මැද 19 සියවස මැද භාගය වන විට මුද්‍රණාලයෙන් අරඹනු ලබයි. “ලංකෝපකාරය” නමින් හැඳින්වූ මේ මුද්‍රණාලය දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කොට ගෙන බිහිවෙයි. පසු ව මේ මුද්‍රණාලය ඔස්සේ ප‍්‍රථම සිංහල, බෞද්ධ පුවත්පත වශයෙන් 1860 දී “ලංකාලෝකය” එළි දකී. ඒ සමඟ ම මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලය නව මානයකට යොමු වේ.

මෙලෙස ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් බිහිවන මුද්‍රණ කර්මාන්තය මුද්‍රිත මාධ්‍ය ව්‍යාපාරය සහ ජාතික පුනරුදය නොබෝ කලකින් ලංකාවේ සෙසු ප‍්‍රදේශ කරා ද ව්‍යාප්ත වේ.මෙහි ප‍්‍රතිඵලයක් හැටියට බස්නාහිර කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇතිවන ජාතික, ආගමික පුනරුදය පෙන්වා දිය හැකි අතර, මෙහි නියමුවකු ලෙස දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පෙරට පැමිණෙයි.

මෙරට අධිරාජ්‍ය විරෝධී අරගලය ශක්තිමත් කිරීමටත්, එය පෝෂණය කිරීමටත්, ඈපා අප්පුහාමි ඉටු කළා වූ මෙහෙවර අති මහත් ය. විශේෂයෙන් දකුණු ලක ඇතිවන ජාතික ආගමික ප‍්‍රබෝධය කොළඹ ප‍්‍රදේශයේත්, ලංකාවේ සෙසු ප‍්‍රදේශවලත් ව්‍යාප්ත කරවීමේ දී ඈපා අප්පුහාමි සුවිසල් මෙහෙවරක් සිදු කොට ඇති බව හෙළි වෙයි.

වර්ෂ 1811 නොවැම්බර් 30 වනදා බෙන්තර වලල්ලාවිට කෝරලයේ වැයිහේනේ දී උපත ලද දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, සිය මූලික අධ්‍යාපනය ගමේ විහාරස්ථානයෙන් ලබා ගති. ඒ වලගෙදර සිරිධම්මදස්සි හිමිපාණන් ගේ පා සෙවණේ වැඩෙමිනි.

දැඩි උනන්දුවකින් හා උද්‍යෝගයකින් යුක්ත ව අධ්‍යාපන කාර්යයේ නියැලුණ ඈපා අප්පුහාමි කුඩා කල පටන්ම ඡ්‍යොතිෂය ඉගෙනීමට දැඩි රුචියක් දැක්වී ය.

එහෙත් ඒ වෙනුවෙන් සුදුසු ගුරුවරයකු සොයා ගැනීම අපහසු වූ තැන, වයස අවුරුදු 18 දී පමණ ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ්ශාස්ත‍්‍රය ඉගෙනීමේ පරමාර්ථයෙන් සිය උපන් බිම අතැර දමා කොළඹ නගරය වෙත සේන්දු වූයේ ය. එහෙත් කොළඹ ප‍්‍රදේශයෙන් ද එකී අධ්‍යාපනයට සුදුසු ආචාර්ය වරයකු ඔහුට සොයාගත නො හැකි වෙයි. එහෙත් පානදුර ප‍්‍රදේශයේ විසූ ගණිත ශාස්ත‍්‍රඥයකුªවූ ලුවිස්හාමි ගුරුන්නාන්සේ පිළිබඳ ව තොරතුරු ටික කලකින් සොයාගත හැකි වූ අතර ඈපා අප්පුහාමි ඔහු වෙතින් අධ්‍යාපනය ලැබීමට තීරණය කෙළේය. එහෙත් විවිධ ආර්ථික සමාජීය දුෂ්කරතා මධ්‍යයේ ඒ කාර්යය ද අසාර්ථක වූ ඉක්බිති මහනුවර ප‍්‍රදේශයට යන ඈපා අප්පුහාමි සිරිමල් වත්තේ සුමංගල හිමියන් වෙතින් වෛද්‍ය ශාස්ත‍්‍රය ඉගෙන ගනී.

මේ කාලයේ දී ම යාපනයේ විසූ ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයකු වූ විශ්වනාථ ශිවාචාර්ය කුමාරස්වාමි බ‍්‍රාහ්මණ ප¼ඩිතුමා කොළඹ ගනේශ් කෝවිලේ අධිපතිත්වය ලබා කොළඹ නගරය වෙත පැමිණේ. ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රය ඉගෙනීමේ නොනිමි ආශාවෙන් පෙළුණ ඈපා අප්පුහාමි මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා අතර, ටික කලකින් ඔහු ඉතාමත් දක්ෂ ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයෙක් බවට පත් වෙයි.

තමා ලද අධ්‍යාපනය සහ සමාජ සංස්කෘතික අත්දැකීම් පාදක කොට ගනිමින් ඈපා අප්පුහාමි එවකට පුස්කොළ වට්ටෝරුවකට සීමා වී අසම්පූර්ණ සහ සාවද්‍ය මට්ටමේ පැවැති “ලිත” වෙනුවට අංගසම්පූර්ණ ලිතක් නිර්මාණය කිරීමට කි‍්‍රයා කෙළේ ය. ඈපා අප්පුහාමි සිය ආචාර්යවරයා වූ කුමාරස්වාමි ප¼ඩිතුමා ගේ ද, තම සමකාලීනයකු ලෙස ඡ්‍යොතිෂ කටයුතුවල යෙදී සිටි අහුන්ගල්ලේ ගුරුතුමා ගේ ද සහයෝගය සහිත ව අංක විද්‍යාවට අනුව සකසන ලද “පංචාංග ලිතක්” 1857 වර්ෂයේ දී අහුන්ගල්ලේ ගුරුතුමාගේ නමින් ප‍්‍රකාශයට පත් කෙළේ ය. මෙය ප‍්‍රථම “පංචාංග ලිත” වශයෙන් ලංකා ඉතිහාසයට එක් වේ.

උපන්ගෙයි සිට ම ඡ්‍යොතිෂයට අසීමිත ඇල්මක් දැක්වූ ඈපා අප්පුහාමි තමා මෙතෙක් ලැබූ අධ්‍යාපනයෙන් තෘප්තිමත් භාවයට පත්වූයේ නැත. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවෙන් ඡ්‍යොතිෂ ග‍්‍රන්ථ මෙරටට ගෙන්වා ඒවා හදාරමින් තම දැනුම පුළුල් කර ගැනීමට පෙලැඹුණේය.

එපමණක් නො ව සිද්ධාන්ත ගණිතය ආදී වූ ගණිත ක‍්‍රම හැදෑරීමට ඈපා අප්පුහාමි තුළ මහත් අභිරුචියක් පැවැති නමුත් ඒ කාර්යය සඳහා යෝග්‍ය ආචාර්යවරයෙක් මෙරට නො වී ය. එහෙත් එයින් නොපසුබසින ඈපා අප්පුහාමි ඉන්දියාවේ තන්ජාවුර් මහාරාජා සමීපයෙහි විසූ විශිෂ්ට ඡ්‍යොතිෂ් ශාස්ත‍්‍රඥයකු වූ “අන්න වෛයංගල්” ප¾ඩිතුමා වෙත ද, “සින්න පට්ටනමේ වෙංකටෙශ්වර සිද්ධානතී” නම් බ‍්‍රාහ්මණ ප¾ඩිතුමා වෙත ද ස්වකීය ආචාර්යවරයා ව සිටි කුමාරස්වාමි ප¾ඩිතුමා යවා ඉහත කී ගණිත ක‍්‍රමය සහ ඡ්‍යොතිෂ විද්‍යාවට අදාළ නොයෙකුත් ශාස්ත‍්‍රයන් ප‍්‍රගුණ කිරීමට සලස්වා, එතුමා පෙරළා ලංකාවට පැමිණි පසු තමා ද එතුමාගෙන් ඒවා ඉගෙන විශාරද භාවයට පත් වෙයි. තමන් විසින් ප‍්‍රගුණ කරන ලද ශාස්ත‍්‍රය මුළුමනින් ම සමාජ අවශ්‍යතාවන් උදෙසා කැප කරන ඈපා අප්පුහාමි, 1857 සිට අඛණ්ඩ ව වසර 32 ක් පුරා ඈපා පංචාංග ලිත මුද්‍රණය කරයි. මෙරට මුද්‍රණ කර්මාන්තය ඉතා ළදරු මට්ටමක පැවැති අවධියේ ඈපා අප්පුහාමි විසින් මුල පුරන ලද කාර්යය සාර්ථක අයුරින් ව්‍යාප්ත වෙයි.

මේ ආරම්භක පංචාංග ලිත පිටු 32 කින් යුක්ත වූ අතර, එහි විකුණුම් මිල සිලිම් 01 පැන්ස 09 ක් විය. කෙසේ වෙතත් ඈපා අප්පුහාමි ප¾ඩිතුමා ගේ ඇවෑමෙන් පරම්පරා 05 ක් ඔස්සේ ඈපා පංචාංග ලිත වර්තමානය දක්වා ම අඛණ්ඩ ව පැවැත එයි.

ඒ ඈපා ලිතෙහි වයස අවුරුදු 150 ක් බවට පත් කරවමිනි.

ඈපා අප්පුහාමි නම් වූ මෙකී ශාස්ත‍්‍රඥයා, ඡ්‍යොතිෂවේදියකු පමණක් නො වී ය. ඔහු නොයෙක් වර විවිධාකාරයෙන් එවක පැවැතියා වූ ජාතික ආගමික අරගලයේ ජයග‍්‍රහණය සඳහා ද කි‍්‍රයා කෙළේ ය. හෙතෙම එකල අගනුවර විසූ සුවිශේෂී බෞද්ධ උපාසකයා ද විය. ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයෙන් ඇරැඹි ශාසනික, සමාජීය ප‍්‍රබෝධය සමස්ත දේශය පුරා ම විසුරුවා හැරීමේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරය තුළ ඉදිවන්නේ ඈපෑ අප්පුහාමි මහතා ගේ මැදිහත් වීමෙනි.

ලංකාවේ ප‍්‍රථම වරට පොත් පත් ප‍්‍රකාශන සමාගමක් පිහිටවනු ලබන්නේ ද ඈපා අප්පුහාමි ප¾ඩිතුමා විසිනි. පොත් කතුවරුන් සඳහා මුදල් ගෙවා, ඔවුන් ගේ පොත් පත් ප‍්‍රකාශනය කරන බව දක්වන දැන්වීම් එකල පුවත්පත්වල ඵල විය. එපමණක් ද නො ව බෞද්ධාගමික කටයුතු සඳහා "ලංකාභිනව විශ‍්‍රැත" නමින් 1863 දී කොළඹ නගරයේ මුද්‍රණාලයක් ස්ථාපිත කෙළේ ද ඈපා අප්පුහාමි ය. මෙය ලාංකිකයන් විසින් ස්ථාපිත කරනු ලැබූ දෙවැනි මුද්‍රණාලය වශයෙන් හැඳින්විය හැකි ය. එසේ ම මෙරට ජාතික සටන වෙනුවෙන් මෙකී මුද්‍රණාලය ඔස්සේ විශාල කාර්ය භාරයක් ඉටු කැරිණි. මේ මුද්‍රණාලය ආරම්භයේ දී ඈපා අප්පුහාමි විසින් පල කරන ලද නිවේදනයක මෙසේ දැක්වේ.

"දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, වෙත්තසිංහ ගේ කොර්ණේලිස් අප්පුහාමි මෙකී දෙන්නා ආදි හත් අට දෙනෙක් විසින් එක් කරන ලද මුදලින් මෙය පටන් ගනිමු. මෙසේ ම බුද්ධාගම ඕනෑ කරන වෙන අයත්, කල්පනා නො කළොත් මේ යන්ත‍්‍ර ශාලාවේ දියුණුවට බාධා බැව් කල්පනා කළ යුතුය.

දහනව වැනි සියවසේ අවසන් භාගය වන විට රට තුළ විශාල ජාතික ආගමික ප‍්‍රබෝධයක් වර්ධනය වෙමින් පැවැතිණි. මෙහි ඉතා වැදගත් ම අංශය වන්නේ යළිත් වරක් පිරිවෙන් අධ්‍යාපනය මෙරට ස්ථාපිත වීම ය. මෙලෙස රට තුළ සිදු වන සමාජ, දේශපාලන සහ සංස්කෘතික පරිවර්තන කෙරෙහි ඈපා අප්පුහාමි වැන්නවුන් ගේ කි‍්‍රයා කලාපය සෘජු ලෙස ම ඉවහල් විය.

ඈපා අප්පුහාමි සහ දොන් වික‍්‍රමතිලක අප්පුහාමි යන දෙදෙනා ගේ අත්සනින් යුතු ව ලංකාවේ "සියලු දෙනාට සාධාරණ වූ පාඨශාලාවක්" පිළිබඳ යෝජනාවක් 'ලක්රිවිකිරණ' පුවත්පත ඔස්සේ ඉදිරිපත් විය. ඈපා අප්පුහාමි විසින් සාධාරණ පාඨශාලාවක් ලෙස අපේක්ෂා කරන ලද්දේ පැරැණි පිරිවෙන් ආකෘතිය හා සමාන අධ්‍යාපන ආයතනයක් ඇරැඹීම යි. කෙසේ වෙතත් මෙවැනි ජනමත නිර්මාණ කාර්යයන් ඔස්සේ ඈපා අප්පුහාමි වැනි දේශමාමක බලවේග විසින් මෙරට යහපත් අධ්‍යාපනික, සංස්කෘතික පරිසරයක් යළිත් නිර්මාණය කිරීම පිණිස ඇප කැප වී කි‍්‍රයා කරන ලද බව හඳුනා ගත හැකි ය. එහෙත් එවක ඉංගී‍්‍රසි ආණ්ඩුවේ දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් ඈපා අප්පුහාමි ප‍්‍රමුඛ මෙරට බෞද්ධ ජනතාව ගේ 'සාධාරණ පාඨශාලාවක්' පිහිටුවීමේ යෝජනාව 1873 වන තෙක් යථාර්ථයක් බවට පත් නොවිණි.

කෙසේ වෙතත් විවිධ බාධක හා කැපකිරීම් මධ්‍යයේ තම අරමුණ මුදුන් පත් කර ගැනීමට උත්සාහ දැරූ ඈපා අප්පුහාමි සහ පිරිස හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන් ගේ නායකත්වය, උපදේශකත්වය හා මඟ පෙන්වීම යටතේ බුද්ධාගමේ පාඨශාලාව පිහිටුවනු ලැබූහ. ඒ අනෙකක් නො ව 'විද්‍යෝදය මහ පිරිවෙන' යි. බුද්ධ ධර්මය, පාලි, සිංහල, සංස්කෘත, ආයුර්වේදය යන විෂයන් ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීම මේ පිරිවෙන පිහිටුවීමේ මූලික අභිප‍්‍රාය විය. මෙපරිද්දෙන් මෙරට ජාතික ආගමික අරගලය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික පරිසරය, මතවාදි පරිසරය, ඈපා අප්පුහාමි ප¾ඩිවරයා ගේ මැදිහත් වීමෙන් වර්ධනය වෙමින් පැවැතිණි. මේ සඳහා අවශ්‍ය සියලු අධ්‍යයන කාර්යයන් විද්‍යෝදය තුළ සිදු කැරිණි.

වර්තමානයේ විද්‍යෝදය පිරිවෙන පිහිටා ඇති භූමි භාගය මිල දී ගැනීමට කි‍්‍රයා කරන්නේ ද ඈප අප්පුහාමි මහතා යි. එපමණක් නො ව 1873 වසරේ ඇරැඹි මේ බෞද්ධ පාඨශාලාව පාලනය කිරීම සඳහා 13 දෙනකු ගෙන් යුත් පාලක සභාවක් 'විද්‍යාධාර සභාව' නමින් ඈපා අප්පුහාමි ගේ ප‍්‍රධානත්වයෙන් යුක්ත ව පිහිටුවා ගැනේ. පිරිවෙනෙහි සාර්ථක පැවැත්ම වෙනුවෙන් ඉහත කී කමිටුවේ මඟ පෙන්වීම අතිශයින් ඉවහල් විය.

මේ ආකාරයට මෙරට නිදහස් අරගලය පෝෂණය කිරීම උදෙසා නිහඬ මෙහෙවරක යෙදුණු ඈපා අප්පුහාමි, නිදහස ලබා ගැනීම වෙනුවෙන් රටේ සියලු ප‍්‍රගතිශීලි බලවේග එක් කිරීමට වෙර දරයි. විද්‍යෝදය පිරිවෙන බිහි කිරීම එහි ආසන්නතම අවස්ථාව යි. පසුකාලීන ව විද්‍යෝදය පිරිවෙන මෙරට නිදහස් අරගලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන අතර, විසි වන සියවස මැද භාගයේ විශ්වවිද්‍යාලයක් බවට පත් වන මේ මහ පිරිවෙන මඟින් අද දක්වා ම ලාංකේය සමාජය විවිධාකාරයෙන් පෝෂණය කැරේ.

ලාංකේය ඡ්‍යොතිෂ විද්‍යා ක්ෂේත‍්‍රයට මුද්‍රණ ව්‍යාපාරයට සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පොදුවේ ගත් කල අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබා ගැනීම යනාදි දැවැන්ත කි‍්‍රයාවලීන් සඳහා ඈපා අප්පුහාමි ප¾ඩිතුමා කි‍්‍රයා කොට ඇත. මේ සෑම කි‍්‍රයාකාරකමක ම ප‍්‍රතිඵල ඒ යුගයට පමණක් සීමා නො වේ. අද දක්වා ම ලාංකේය සමාජය පෝෂණය කරමින් තිබීම ද විශේෂත්වයකි.

දැවැන්ත සමාජ කි‍්‍රයාකාරකම් රාශියකට උර දුන් මේ ප¾ඩිවරයා 1891 මාර්තු 10 වන දා ස්වකීය උපරිම මෙහෙවර නිම කොට අභාවයේ නියාමයට යටත් වූයේ ය.