කොහා වෙනුවට කපුටා
 

කොහා වෙනුවට කපුටා

 

2050 වසරේ අපෙ‍්‍ර්ල් මස 14 වැනි දා උදා වී තිබිණ. කපුටකු කෑ ගසන හඬ ඇසෙන්නට විය. ඌ වසා සිටියේ එක පෙළට තනා තිබූ නිවාස රැසකට අයත් එක් නිවසක වහලය මත වූ ඇන්ටෙනාවක ය. කපුටා හුදෙකලා වී සිටියේ ය. ඌ කෑ ගසන්නේ බඩගින්නට නො ව, දරා ගැනීමට අපහසු තරම් වූ වේදනාවක් නිසා විය යුතු යැයි කපුටා දකින්නකු සිතන්නට ඉඩ තිබිණ.

කපුටකු නඟන හඬ හැරුණු විට වෙන කුරුල්ලකු නඟන හඬක් මේ පෙදෙසේ ඇසෙන්නට නොතිබිණ. සිංහරාජ අඩවියේ පමණක් අක්කර කිහිපයක කැලෑ ප‍්‍රදේශයක් ඉතිරි ව තිබිණ. කොහා නඟන ගී නද ඒ පෙදෙසට පමණක් සීමා වී තිබිණ. සමහර පරිසර ලෝලීහු කොහා නඟන ගී නද අසන්නට සති අන්ත නිවාඩු දිනවල සිංහරාජ අඩවිය බලා ගමන් ගත්හ. රතු ම රතු මල් පිපෙන එරබදු ගස් තබා වෙන කිසි ගහක් කොළක් මේ නිවාස රැස පිහිටි පෙදෙසේ දක්නට නො වී ය.

මේ නිවාස පේළියේ වූ එක් නිවසක නිදන කාමරයේ ගායනා සහ ඇගේ සැමියා වූ කසුන් නිදාගෙන සිටියහ. වේලාව උදෑසන අටට පමණ විය. මේ වන විට ද කසුන් පසු වූයේ තද නින්දේ ය. ගායනා දෑස් හැර බැලුවා ය. මළමිනියක් සේ වැතිර සිටින සැමියා ගේ රුව දකින ඇගේ සිතෙහි ඇති වූයේ ප‍්‍රසන්න හැඟීමක් නො වේ. කපුටා ගේ අෙඳ¤නාව ඇගේ සවන් කරා ළඟා විය. ‘අයියෝ ඒ කපුටා කෑ ගසන්නේ මහ මූසල විදියට’ ඇය හිස ඔසවා නැඟිටින්නට තැත් කළා ය. එහෙත් ඇයට එක් වර ම නැඟී සිටින්නට අපහසු ය. ඇඟපත තළා දැමුවා සේ ය. හිස තව ම බමයි. කසුන් හා ගායනා පෙර දින රාති‍්‍රයේ මිතුරකු ගේ නිවසෙහි වූ අවුරුදු සාදයකට ගියහ. පැමිණ සිටි සියල්ලෝ ම අපූරු සොඳුරු ලොවක සරන්නට සූදානමින් සිටියෝ ය. ඔවුහු මධුවිත තොල ගෑහ. නොයෙක් ආහාරයන් හි රස බැලූහ. මිතුරු මිතුරියන් සමඟ රංගනයෙහි යෙදුණහ. මේ අතර සමහර මිතුරු මිතුරියෝ නොයෙක් කතා කියමින් සිනාසුණහ.

”ඉස්සර නැකතට ගිනි මොළවනවා කියලා මොකක්ද චාරිත‍්‍රයක් තිබුණ ලු. ගෑනු උදවිය ළිප ළඟට වෙලා සුබ වෙලාව එනකන් බලාගෙන හිටිය ලු.”

”චිකේයියා... මොන වැඩක්ද ඒ? ළිප ළඟට වෙලා තැපලා ඉඳලා අළු ගාගන්න පුළුවන්ද?”

”පෙ‍්‍රාමිතියස්ද ජෙරමියස්ද කියලා ඔන්න ඔය කවුදෝ කෙනෙක් අපිට ගින්දර ගෙනත් දීලා තියෙන්නෙ අපිට ජොලියේ ඉන්න මිසක් නැකතට පත්තු කරන්න නෙවෙයි.”

”කිරිබත් කියලා කෑමක් හදාගෙන ලු අවුරුද්ද දාට කෑවේ.”

”ඒ කතාව නම් මමත් අහලා තියෙනවා. ඒ වුණාට මම නම් තාම ඒ කෑම ජාතිය දැකලා වත් නැහැ.”

”බුලත් දීලා වැඩිහිටියන්ට වඳිනවා කියලා මොකක්ද එකකුත් කළා ලු.”

”විකාර... කවුරුත් කාටවත් වඳින්න අවශ්‍ය නැහැ.”

කසුන් හා ගායනා ආපසු නිවසට පැමිණෙන විට පාන්දර හතරට පමණ විය. ගායනා යළිත් වරක් නැඟී සිටින්නට තැත්කළා ය. එහෙත් පෙර පරිදි ම දැනුණේ අපහසුවකි. සැමියා යහළුවන් කිහිප දෙනකු සමඟ දිගින් දිගට ම සුරා බඳුන් හිස් කරද්දී ඇයට සාදයට සහභාගි වීමට පැමිණ සිටි කඩවසම් තරුණයකු සමඟ රංගනයෙහි යෙදෙන්නට අවස්ථාව ලැබිණ. ඒ ගැන සිතන විට මේ මොහොතේ පවා ඇගේ සිතෙහි ඇති වූයේ ආස්වාදයකි. තරුණයා ගේ රුව ඇගේ මනසෙහි මැවෙන්නට විය.

”ඕ...හ්... ඕ...හ්.”

එක් වර ම හිස එසවූ කසුන් නිදන කාමරයේ බිම වමනය කරන්නට වූයේ ය. තිගැස්සී නැඟී සිටි ගායනා යහනෙන් බිමට බැස්සා ය. ඇය සැමියා දෙස බැලුවේ නැඟී එන කෝපයෙනි.

”චිකේයියා... මොකක්ද ඒ කළ කැත වැඩේ. බාත් රූම් එකට වත් යා ගන්න තිබුණේ නැද්ද? ඕනෑ තැනක ගියාම කණමදයා වගේ බී ගන්නවා.”

අධික ලෙස මත්පැන් ගැනීම නිසා දැඩි හෙම්බත් බවකට පත් ව තිබූ කසුන් ගේ සිරුර එක් වර ම කෝපයෙන් ගිනියම් වී ගියාක් මෙන් විය. නැඟී සිටි හේ බිරිය දෙස රවා බැලී ය.

”මගේ බීම තමයි උඹට පේන්නෙ. එතකොට උඹ අර කොහේද යන එකෙක් එක්ක නටපු නැටිල්ල මම දැක්කෙ නැහැ කියලද උඹ හිතන්නෙ?”

”ඔව්, මම නැටුවා තමයි. එහෙම නැතුව ආදි කාලේ ගෑනියෙක් වගේ ගෙට රිංගගෙන ඉන්නද මට කියන්නෙ.”

”වහ ගනින් කට.”

කාටවත් බැහැ මගේ කට වහන්න.”

ඉදිරියට පැන්න කසුන් එක් වර ම ගායනා ගේ කම්මුල හරහා පහරක් දුන්නේ ය. එවිට ගායනා කෝපයෙන් පිස්සු වැටුණා ය. අසල තිබූ හැම දෙයක් ම ගෙන ඇය සැමියාට දමා ගසන්නට වූවා ය.

”අම්මේ... අම්මේ... දොර හරින්න.”

ඔවුන් ගේ දොළොස් හැවිරිදි දියණියන් වූ හිරුණි දොරට ගසමින් කතා කරන්නට වූවා ය. කසුන් හා ගායනා පියවි සිහි බුද්ධිය ලබා ගන්නට තැත් කරන්නා සේ ඒ මේ අත බැලූහ. දියණියන් ගේ මුහුණ දෙස බලන්නට කසුන්ට අපහසුවක් දැනිණ. ඔහු වහා යළි ඇඳ මත දිගා වී දෑස් තද වන්නට පියා ගත්තේ ය. ගායනා දෑසේ කඳුළු පිස දමමින් ගොස් දොර හැරියා ය.

”අද අවුරුදු දවසක් කියලා කියනවා නේද? ඉතින් ඇයි අදත් රණ්ඩු කර ගන්නෙ.”

”නැහැ, දුව. අපි රණ්ඩු කර ගත්තෙ නැහැ.”

නැත්තේ මොකද? අම්මයි තාත්තයි පාටියකට යන කොට නම් හොඳට ඇඳලා කියලා සමගියෙන් ඉන්න දෙන්නෙක් වගේ යනවා. ඒ වුණාට පහුවදාට රණ්ඩු කර ගන්නවා. කාමරෙන් මොකද්ද ගඳකුත් එනවා.”

”තාත්තා වමනෙ දැම්මෙ. එයාම හෝදපුවාවේ. අපි යමු.”

ගායනා දියණියන් ගේ අතින් අල්ලාගෙන සාලයට පිවිසියා ය. ඇයට අවශ්‍ය වූයේ දියණිය අසලින් ඉක්මනින් ඉවතට යාමට ය. එහෙත් ඊට පෙර දියණියන් ගේ කට හඬ යළි නැඟිණ.

”මම කාමරයේ තිබුණු පරණ සඟාවක් බල බලා ඉඳලා නින්දට ගියේ ටිකක් රෑ වෙලා. ඒ ගමන හොඳටම නින්ද ගියා. අම්මයි තාත්තයි කොයි වෙලාවෙද ආවේ?”

”අපි... අපි... ඉක්මනටම වගේ ආවා.”

ගායනා දියණිය අසල නොරැඳී නාන කාමරයට ගියා ය.

මුසාවාද දෙසා බා දියණියන් රවටන්නට තැත් කිරීම මොන තරම් වරදක් දැයි ඇයට සිතිණ. තමාත් සැමියාත් ඉක්මනින් ම ආපසු එන බව පවසා නිවසින් පිට වී ගිය ද සාදයට සහභාගි වී සතුටු සයුරේ ගිලෙන්නට වූ පසු දරුවන් දෙදෙනා ගැන සිහිපත් වූ බවක් වත් කිව හැකි ද? ගායනා ළමා කාලයේ දී ඇගේ තනි නොතනියට ආච්චී මහ ගෙදර කලක් නතර වී සිටියා ය. ආච්චීට එහි පැමිණ සිටින්නට සිදු වූයේ අම්මාට වැඩට යෑමට තිබුණු නිසා ය. එක් අවස්ථාවක ආච්චී, අම්මාට පැවැසූ වචන කිහිපයක් ගායනාට තව ම මතක ය.

”කසාද බැඳලා ගෙදරින් පිටවෙලා යනකන් අම්මා නැතුව එක රැයක් වත් අපිට පිට තැනක ඉන්න ඉඩ දීලා නැහැ. අම්මා ඇස් දෙක වගේ තමයි අපි රැක බලා ගත්තෙ.”

තමාත් සැමියාත් කරන්නේ කුමක් ද? සාදයකට යන්නට තිබෙන විට දියණියටත් අට හැවිරිදි පුතාටත් ගෙ තුළට වී නිදා ගන්නා ලෙස පවසා දොර වසා යතුර රැගෙන යෑම නො වේ ද? එක පෙළට ගෙවල් පිහිටා තිබෙන නිසා බැහැරින් කෙනකුට පැමිණෙන්නට අපහසු ය. ඒ නිසා බිය වන්නට කාරණයක් නැත. බොහෝ දෙනෙක් මෙසේ ගමන් යති. හැරත් හණමිටි කාලේ මත සිහියට නඟමින් සාදයක් පවත්වන සුන්දර අවස්ථාවකට සහභාගි නො වී සිටිය හැකි ද?

ඔවුන් නිවසට ආපසු පැමිණෙන විට රූපවාහිනිය කි‍්‍රයාත්මක ව පැවැතිණ. සාලයේ වූ සැටිය මත පුතාට නින්ද ගොස් තිබිණ. ගායනා දියණියන් සමඟ සාලයට පිවිසෙන විට ද දරුවා යළි රූපවාහිනියේ දෑස අලවාගෙන සිටියේ ය. ඇය නාන කාමරයේ සිට පිටතට පැමිණෙන විට දරුවා යළිත් සැටිය මත නින්දට වැටී සිටියේ ය.

”දුව ඔයා තේ හදාගෙන බිව්වද?”

”ඔව්.”

”මල්ලිටත් තේ දුන්නද?”

”මම තේ හදලා දෙන්නද කියලා මල්ලිගෙන් ඇහුවා. ටී. වී. එක දිහා බලාගෙන හිටියා මිසක් මල්ලි කතා කළේ නැහැ. ටී. වී. එක දිහා බලාගෙන ඉන්නවා මිසක් මල්ලි දැන් කොහොමටත් වැඩිපුර කතා බහක් නැහැ අම්මෙ.”

ඒ වචන නෑසුණා සේ ගායනා කුස්සියට ගියා ය. වතුර උණු කළ ඇය තේ කෝප්පයක් පිළියෙල කරන්නට වූවා ය. ‘කසුන් කොයි වෙලාවේ නැගිටියි ද දන්නෙ නැහැ. එයා නැගිට්ට වෙලාවක තේ එකක් හදාගෙන බොන්නෙ නැතෑ. අපි පිරිමින් ගේ වහල්ලු වෙන්න නරකයි.’ පසෙක වූ පුටුවක වාඩි වූ ගායනා, පිළියෙල කර කර ගත් තේ කෝප්පය තොල ගාන්නට වූවා ය. ඇය බලාපොරොත්තු වූයේ වෙන කාමරයකට ගොස් නැවත ටිකක් නිදා ගැනීමට ය. වමනෙ ගඳ නිසා නිදන කාමරේ නිදා ගැනීමට ඇයට අපහසුවක් දැනිණ. එහෙත් ඊට ඉඩ නොලැබිණ. ඇය සාලයට පිවිසෙත් ම හිරුණි යළි පැමිණියා ය.

”අම්මෙ ඉස්සර අපේ රටේ මිනිස්සු අවුරුදු දවසට කාලා තියෙන්නෙ කිරිබත් කියලා ජාතියක්. ඒ කිරිබත් කන්න මටත් ආසයි.”

”සමහර කඩවල අවුරුදු දාට කිරිබත් විකුණන්න තියෙනවා. තාත්තා නැගිට්ටාම ඕනැ නම් කෑල්ලක් ගෙන්නාගෙන කන්න.”

”අයියෝ, එහෙම කිරිබත් කාලා වැඩක් නැහැ. ඉන්න මම විස්තරේ කියන්න.”

හිරුණි අම්මාට කිව යුතු විස්තර සිහිපත් කළා ය. ඒ ඇය පෙර දින රාති‍්‍රයේ කියැවූ සඟාවේ වූ ලිපියක් ඇසුරෙනි. ආතා කෙනකු පැවැසූ විස්තර අනුව ‘හැත්තෑ පස් වසරකට පෙර අවුරුදු උත්සවය’ යන මැයෙන් ඒ ලිපිය සකස් කර තිබිණ.

’වැටවල තියෙන එරබොදු ගස්වල මල් පිපෙන්න පටන් ගන්නවා. ඒ මල් රතු ම රතුයි. ගස් මුදුන්වල සිට කොහා නද දෙනවා. මේවා අවුරුද්ද එන බවට ලකුණු. ගොයම් කපලා පාගලා වී ටික ගෙට අරන්. මේ දවස්වල කවුරුත් ඉන්නෙ විවේකෙන්. අවුරුදු දාට සුමානෙකට දෙකකට කලින් ඉඳලා ම කවුරුත් මේ වෙනුවෙන් සූදානම් වන්නේ හරිම උනන්දුවකින්. ගෙවල් දොරවල් අස්පස් කරලා බොහොම පිරිසිදුවට තබා ගනියි. හැම දෙනා ම අලුත් අවුරුදු දාට අඳින්න අලුත් ඇඳුමක් කොහොම හරි ගන්නවා. දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම ගෙදරක ම එක වෙලාවට ගිනි දැල්වෙනවා. ගිනි දල්වන්න කලින් ගමේ පන්සලට ගිහිල්ලා පුණ්‍ය කටයුතුවල යෙදෙනවා. හැම නිවසක ම කිරිබත් ඇතුළු තවත් කෑම ජාති තියෙන මේසයක් පිළියෙල කරනවා. නියමිත වේලාවට ගෙදර ප‍්‍රධානියා මේසේ ඉඳුල් කරනවා. ඊළඟට භාර්යාවටයි, දරුවන්ටයි කිරිබත් ටික ටික කවනවා. මේ කාර්යය කරන්නේ හැම දෙනා කෙරෙහි උපන් ආදරයකින්. ඒ වෙලාවට ගෙදර පිරිලා තියෙන්නෙ සතුටෙන්. දුක් සම්පූර්ණයෙන් ම මොහොතකට හරි අමතක වෙලා. මේ වෙලාවට තරහකාරයෙක් ගෙදරට ආවත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. දොළොස් මහක් ගෙවිලා දොළොස් මහක් ලබන දාට පැරණි තරහ මරහ සේරම අහෝසියි. ආහාර ගැනීමේ කටයුතු ඉවර වුණාට පස්සෙ ගමේ හැම දෙනා ම පොදු ස්ථානයකට රැස් වෙලා නොයෙකුත් කී‍්‍රඩා කරමින් සතුටු වෙනවා. නැකතට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, පසු දිනෙක හිස තෙල් ගෑම ආදී තවත් අංගකිහිපයක් ම මේ උත්සවයේ තියෙනවා. මෙය කිසි ම උස් පහත් භේදයක් නැතුව සතුට හා මිහිර ගලා හැළුණු දවසක්. අතීතයේ තිබුණු ඒ සුන්දර දවස ගැන සිහිවන කොට පවා ඇති වන්නේ සතුටක්.....”

හිරුණි සිහියට නඟා ගත් කරුණු මවට සැල කර සිටියා ය. තමා කිසි විටෙකත් නොසිතන කරුණු සම්බන්ධයෙන් දියණියන් උනන්දුව දක්වන බව ගායනාට පෙනිණ. පෙර දිනෙක වූ සිද්ධියත් ඇය මේ මොහොතෙහි සිහිපත් විය. ඒ ගායනා රැකියාවට ගොස් අඳුර සමග ගෙට ගොඩ වූ මොහොතකි. කුමක් දෝ පොතක පිටු පෙරළමින් සිටි හිරුණි මව අසලට පැමිණියා ය.

”ඉස්සර පරාක‍්‍රමබාහු කියලා බොහොම බලසම්පන්න රජ කෙනෙක් පොලොන්නරුවේ රජකම් කරලා තියෙනවා. අම්මා දන්නවා නම් මට ඒ රජ්ජුරුවෝ ගැන විස්තර ටිකක් කියන්න.”

”අනේ, මම දන්නෙ නැහැ.”

”ඊටත් කලින් අනුරාධපුරේ රජකම් කරලා තියෙනවා දුටුගැමුණු කියලා රජ කෙනෙක්.”

”ඉන්න ඇති... මම දවස තිස්සේ මැරිලා මැරිලා ගෙට ගොඩ වුණු වේලාවේ ඔයා මොනවා නම් අහනවද මන්දා. තාත්තා ගෙදර ආවාම අහලා බලන්න. සමහර විට එයා නම් දන්නවා ඇති”

”ඕවා අහන්න තාත්තා සිහිය ඇතුව ගෙදර එන දවසක් හොයා ගන්න එක තමයි ප‍්‍රශ්නෙ අම්මෙ.”

හිරුණි මෙසේ පැවැසුවේ උපහාසයෙන් සිනාසෙමිනි. එහෙත් ඇගේ හද තුළ වේදනාවක් තිබුණා විය යුතු ය. දියණියන් අද ද කරන්නේ එවන් දෙයක් සේ ය. දවස තිස්සේ කොම්පියුටරය අබියස හිඳගෙන සිටින තමා මෙවන් දේ ගැන සිතන්නේ කෙසේ ද? වෙලාවකට මගේ ඇස් නිලංකාර වී ගෙන යනවා. තවත් වෙලාවකට හිසේ විදුලි කොටන්න වගේ කැක්කුමක් ඇති වෙනවා.

අපිත් යන්තර වගේම තමයි. ඇත්තටම අපේ ජීවිතයේ ඇති තේරුම මොකක්ද? දියණියන් විමසන කරුණකට පවා පිළිතුර දෙන්නට නොදැන සිටීම තම ජීවිතයේ දුක්මුසු තත්ත්වයක් නොවේ දැයි ගායනාට සිතිණ. නිදන කාමරය දෙසින් එන වමනෙ ගඳ සාලයට ද දැනෙන්නට විය. අපූරු අතීත උරුමයන් ගෙන් මිදුණු සිය ජීවිතවලින් පවා නැඟෙන්නේ කිසියම් දුගඳක් නො වේ ද? කුමක් වුව දියණියන් අසලින් ඉවතට නො යා යුතු ය. සත්‍යයට මුහුණ දිය යුතු ය.

දුව අසලින් වාඩි වූ ගායනා ආදරෙන් ඇය ගේ මුහුණ දෙස බලා සිටින්නට වූවා ය. ඇගේ සිතෙහි පෙර නො වූ සොම්නසක් ජනිත වන්නට විය. ඇය හෙමින් දියණියන් ගේ හිස අතගෑවා ය.

”මම කවදා වත් නොහිතපු දේවල් ගැන ඔයා හිතනවා දුවේ. අපි අපේ අතීත උරුමයන් බොහොමයක් අපේ දරුවන්ට නැති කරලා තියෙනවා. ඔයගොල්ල උත්සාහ කළොත් ඒ දේවල් නැවත හොයා ගන්න පුළුවන් වේවි. එහෙම වුණොත් ජීවිතයට අපූරු නැවුම් සුවඳක් එක් වෙන්න ඉඩ තියෙනවා.”

”ඔන්න අම්මා ගේ ඇස්වලින් කඳුළු ගලනවා.”

”නැහැ දුවේ.”

ගායනා දෑස පිස දමමින් නැඟී සිටියා ය. වතුර බාල්දියක් හා රෙදි කඩක් ගත් ඇය නිදන කාමරය දෙසට යන්නට වූවා ය.

”මොනවා...? අම්මා නිදන කාමරේ සුද්ධ කරන්නද යන්නෙ?”

”ඔව්.”

”අම්මා කලින් කිව්වෙ තාත්තටම හෝදන්න කියලා නේද?”

”ඇයි දැන් සැරයක් දුව කිව්වෙ දොළොස් මහක් ගෙවිලා දොළොස් මහක් ලබන දවසේ පරණ තරහ සේරම අහෝසියි කියලා.”

හිරුණි ගේ මුවග සිනාවක් නැඟිණ. නිදන කාමරයට ගිය ගායනා එය පිරිසුදු කරන්නට වූවා ය. කපුටා යළි කෑ ගසන්නට වූයේ ය. ඔහු මෙවර කෑ ගසන්නට වූයේ වඩාත් ළං ව පිහිටි නිවසක වහලය මත සිට ය. මෙවර ගායනාට එය මූසල හඬක් යයි නො සිතිණ. “මගේ හිතේ දුකටත් එක්න උඹ හඬපන් කපුටෝ. කොවුලා අපෙන් වෙන්වෙලා ඈතට ම යන්න ගිහිල්ලා. ඒ වෙනුවට උඹ වත් කෑ ගසන එක මොන තරම් දෙයක්ද? කොහා ගේ වුණත් බිත්තර රැක බලා ගන්නේ උඹනේ.” ගායනා තමාට ම මුමුණා ගත්තා ය. කසුන් හිස ඔසවා යහන මත හිඳ ගත්තේ්ය. ඇය සිනාමුසු මුහුණෙන් යුතු ව ඔහු දෙස බැලුවා ය.

”ඔයා මුහුණ කට හෝදා ගන්න. මම තේ ලැහැස්ති කරන්නම්.”