සම්ප‍්‍රදාය සංස්කෘතිය දැඩිව විවේචනය කරන කවියකුට ලොකු පැවැත්මක් නැහැ
  සම්ප‍්‍රදාය සංස්කෘතිය දැඩිව විවේචනය කරන කවියකුට ලොකු පැවැත්මක් නැහැ  

- මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

"නූතන සිංහල කවියේ නවයුගය" නම් ඔබේ නව කෘතිය පරාක‍්‍රම කොඩිතුවක්කු ගේ කාව්‍ය රචනා පිළිබඳ විමර්ශනයකින් යුක්තයි. පරාක‍්‍රම කොඩිතුවක්කු ගේ කාව්‍ය පමණක් තෝරා ගැනීමේ විශේෂත්වය කුමක්ද?

විශේෂයෙන් 1950 න් පසු දශක පහේ සිංහල කවිය පිළිබඳ ප‍්‍රබල ප‍්‍රබෝධයක් ඇති වූවා නම් ඒ ප‍්‍රබෝධය ඇති වූයේ 1970 දශකයෙන් පසුවයි. පරාක‍්‍රම කොඩිතුවක්කු ඇතුළු නව කවීන් ගේ ප‍්‍රවේශය මීට බලපෑම් කළා. පරාක‍්‍රම ඒ අතර විශේෂ කවියෙක් වෙනවා. මොකද ඔහු එක්තරා මතවාදයකට අනුව, ජනතාවාදී සංකල්පය පද්‍ය සාහිත්‍යය කෙරෙන් ඉස්මතු කිරීමේ නැඹුරුව සහිත කවියෙක් නිසා. තරුණ කාලේ ඔහුගේ තිබුණු මේ මතවාදය ඉතා දැඩිව සමාජයට ගෙන යන්න අවශ්‍ය විදියේ බසක්, කාව්‍ය ආකෘතියක්, කාව්‍ය සංදර්භයක් ඔහු භාවිත කළා. ඔහු කාව්‍යාලංකාර පරිහරණය කිරීමේදීත් බොහෝ දුරට සිය මතවාදය සමාජයට ගෙන යන්න තුඩුදෙන විදියට තමයි යොදා ගෙන තිබෙන්නේ. ඔහු ගේ සමකාලීන අනෙක් කවීන් සමඟ සංසන්දනය කරන විට මේ සංකල්පයේ දැඩිව එල්බගෙන සිටි කවියා වන්නේ පරාක‍්‍රමයි. මොනිකා රුවන්පතිරණත් ඔහුට සමාන්තරව මේ කාර්යයේ නිරත වුණා. මේ දෙදෙනාම එකල සමාජයේ දක්නට ලැබුණු සමාජ විෂමතා, අඩුපාඩු, සමාජ අසාධාරණකම්, පන්ති සමාජීය ආකල්පය ආදිය කවියෙන් කලාත්මකව නිරූපණය කිරීමට වෙරදැරූ කවියන්. මොනිකා රුවන් පතිරණ බොහොම ශික්ෂණයකින් යුතුවයි තම සංකල්පනා කවිත්වයට නැඟුවේ. ඇය කලාත්මක යථාර්ථවාදී රීතිය තම අත්දැකීම් ප‍්‍රකාශනයට යොදා ගත්තා. පරාක‍්‍රම මුල සිටම විවේචනාත්මක යථාර්ථවාදී රීතියටයි පෙලඹුණේ. ඔහු සමාජ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කෝප සහගතව බැලුවා. වෙනත් කවීන් සමඟ සංසන්දනය කිරීමේ දී කොඩිතුවක්කු තුළ දැඩි ආවේගාත්මක භාෂා ශෛලියක් තිබුණා. අපිට ප‍්‍රශ්න කරන්නත් පුළුවන් කවියකට උචිත භාෂාවක් නොවෙයි ඔහු භාවිත කළේ කියලා. එහෙත් කොළඹ යුගයේ වැඩිහිටි කවියෙකු ලෙස සලකන ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ පද රචනා පිළිබඳවත් එවැනිම චෝදනාවක් එල්ල වුණා. නමුත් යුගයට අනුව බැලුවහම ඒ කාව්‍ය රීතිය ඒ කාලයට උචිතයි. ජාත්‍යානුරාගය දේශානුරාගය ඇතිවීමට තුඩුදෙන විදියට තමයි මහින්ද හිමියන් භාෂාව භාවිත කළේ. ඒ වගේ ම කොඩිතුවක්කු 70 දශකයේ සමාජය තුළ ඔහු දුටු සමාජ විෂමතා, පන්ති සමාජීය ආකල්ප නිසා මිනිසුන් මුහුණ දෙන අර්බුදය විග‍්‍රහ කිරීමට පෙලැඹුණා. ඔහු සෑම විටම හිතුවේ "සාහිත්‍ය පොදු ජනතාව උදෙසා ය" කියලයි. ජනතාවාදී සාහිත්‍යයක් බිහි කිරීමට පෙරමුණ ගත් කවීන් අතර පරාක‍්‍රම කොඩිතුවක්කු වඩාත් කැපී පෙනෙනවා. මොනිකා ගේ තිබුණේ පීඩක හා පීඩිත යන පන්ති දෙකටම අනුකම්පා කරන මනෝ භාවයක්, පරාක‍්‍රම කිසිම විටෙක පීඩකයන් කෙරෙහි අනුකම්පා කරන්න පෙලඹුණේ නැහැ. උදාහරණයක් විදියට,

දනීය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකි...

ඒ වගේ ම "ගඟට උඩින් කොක්කු ගියා" "පුංචි පැලේ මම තනිවී" වැනි පද රචනාවලින් ඔහු පෙන්නුම් කරන්නේ ඔහු ගේ මනසේ ඉහළ පැළැන්තියේ පීඩකයන් වෙනුවෙන් පවතින ද්වේශය, වෛරය ආදියයි. මැදහත් විචාරකයකු මෙය පරාක‍්‍රමගේ දුර්වලතාවක් විදියට දකින්නට පුළුවන්. කවියා තම හැඟීම් නිරූපණය කළ යුත්තේ ඉතා මධ්‍යස්ථව හා ශික්ෂණයකින් යුතුවයි.

නමුත් 70 දශකයේ දී 'පොඩි මල්ලි', 'අකීකරු පුත‍්‍රයකුගේ ලෝකය', 'අලුත් මිනිහෙක් ඇවිත්' වැනි කාව්‍ය සංග‍්‍රහයන්හිදී ඔහු ගේ ආවේගශීලී භාෂා රටාව වඩාත් ප‍්‍රබලව ඉස්මතු වෙනවා.

පරාක‍්‍රම කොඩිතුවක්කු මේ විචේචනාත්මක යථාර්ථවාදී රීතියෙන් ඔබ්බට තම කවීත්වය පවත්වා ගෙන නොගිය බව ද ඔබ පවසන්නේ?

නැහැ. ඔහු මුහුකුරා යන විට ඔහුගේ දැඩි විප්ලවකාරී චින්තනය අඩුවීමක් සිදු වෙනවා. ඊට වඩා මධ්‍යස්ථව පැසුණු නුවණින් යුතුව සමාජ අත්දැකීම් සියුම් විමර්ශනයකට යොමු වූ ආකාරයක් පසුකාලීනව ඔහු තුළ වර්ධනය වුණා. ඔහුගේ 'රශ්මි', 'ලොවි කහට', දිවමන් ගජමන්' ආදී කාව්‍ය සංග‍්‍රහයන්හි බොහෝ දුරට මුලින් දුටු ආවේගාත්මක ශෛලියට වඩා කලාත්මකව අත්දැකීම් රූපණය කිරීමට නැඹුරු වූ ආකාරයක් දක්නට ලැබුණා. ඔහු කාව්‍යකරණය හේතුවෙන් ම පරිණත කවියකු බවට පත් වුණු බවයි මගේ හැඟීම.

පරාක‍්‍රමගේ කවි සංකල්පනා මුල සිට අග වනතෙක් ආලෝකනය කරන විට ඔහු කවියකු අනුගත විය යතු යථා මාර්ගයට ප‍්‍රවිශ්ට වී තිබෙනවා. ඔහු මුලින් සම්ප‍්‍රදාය ඛන්ඩනය කිරීමට උත්සාහ කළා. කවිය පිළිබඳව යම් යම් අත්හදා බැලීම් කි‍්‍රයාවලියක නිරත වූ අයකු ලෙසටයි මම පරාක‍්‍රම හඳුනා ගන්නේ. ඒ නිසයි මම මේ විමර්ශනය ඔහුගේ කවි සඳහා යොදා ගත්තේ.

පරාක‍්‍රම කවියා කාවේ‍ය¤පක‍්‍රම මඟින් කාව්‍යයේ රසය වර්ධනය කරන කවියෙකු නොව අදහස් මතවාද වල උඩු හඬම, කවිය යැයි සලකන කවියෙක්ය යන අදහසක් ඇතැමුන් දරනවා. මේ සම්බන්ධ සියුම් විමර්ශනයක් ඔබේ කෘතියේ නොමැති බවයි හැඟී යන්නේ.

පරාක‍්‍රම දෙස අප බැලිය යුත්තේ සම්මත කවි ආකෘතියේ පිහිටා නොවෙයි කියලයි මගේ හැඟීම. ඔහුගේ 'පොඩි මල්ලියේ', 'අකීකරු පුත‍්‍රයකුගේ ලෝකය', 'අලුත් මිනිහෙක් ඇවිත්' වැනි මුල් කාව්‍ය ති‍්‍රත්වයේදී ඔහු කාව්‍යෝපක‍්‍රම මඟින් කලාත්මක භාවයක් කවියට ආරෝපණය කිරීමට වඩා උත්සාහ ගෙන තිබෙන්නේ සමාජය විසින් ඉල්ලනු ලැබූ යම් ධර්මතාවන්ට අනුව කවිය හැසිරවීමට උත්සාහ කිරීමයි. නමුත් 80 දශකයේදී හා 90 දශකයේ දී ඔහු රචනා කළ 'රශ්මි', 'ලොවිකහට' වගේ කාව්‍ය සංග‍්‍රහයන්හි දී ඔහු යළිත් යථා තත්ත්වයට පත්වී තිබෙනවා. ඔහු රසය ජනනය වන අයුරින් කාව්‍ය නිර්මාණ කළේ නෑ කියන එකට මම එකඟ වන්නේ නැහැ. ඔහු මුල්කාලීන කාව්‍ය සංග‍්‍රහයන්හිදී කාව්‍ය උපක‍්‍රමවලට වඩා ජනතාවාදී සංකල්පය ඉස්මතු කර දැක්වීමටයි පෙලඹිලා තිබෙන්නේ. ඒ නිසා කෙනකුට කිසියම් ප‍්‍රචාරාත්මක ස්වරූපයක් පරාක‍්‍රම ගේ කවිවල තියෙනවා කියලා පේන්න පුළුවන්. නමුත් හොඳ කවි සංග‍්‍රහ දක්නට ලැබෙනවා. කාව්‍ය උපක‍්‍රම කලාත්මක ලෙස භාවිත කළේ නැති කෙනෙක් කියලත් පරාක‍්‍රම හඳුන්වන්න බැහැ. මුල් කාලයේ දී ඔහු ඒවා පිළිබඳව තැකීමක් කළේ නැහැ. සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කරන්න ඔහු පෙලඹුණා. උපමා රූපක, ව්‍යංගාර්ථවත් භාෂාව, පරිකල්පනය, කාව්‍යාලංකාර ඔහු බැහැර කළා. ඒ වුණත් ඔහුගේ අවශ්‍යතාවට අනුකූලව ඒවායේ කාවේ‍ය¤උපක‍්‍රම යොදාගත් බවයි මගේ හැඟීම. ඒ පිළිබඳව මගේ දැනුමේ ප‍්‍රමාණයට මම විමර්ශනයක් මේ කෘතියේ කරලා තියෙනවා.

පරාක‍්‍රම කියන්නේ මුලදී මාක්ස්වාදියෙක්. මාක්ස්වාදි චින්තනයක් සහිතවයි ඔහු තම පණිවිඩය සමාජගත කරන්න උත්සාහ කළේ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කළා. බුද්ධාගම හා භික්ෂුන් වහන්සේලා පිළිබඳව විවේචනාත්මක ඇසකින් ඔහු නිරතුරුව බැලුවා. මේක කොඩිතුවක්කු තුළ පමණක් නොවෙයි පොදුවේ සියලු වාමාංශිකයන් කෙරේ දක්නට ලැබුණු කාරණයක්. පරාක‍්‍රම පමණක් නොවෙයි සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර වැනි කවීන් ගේ නිර්මාණවලත් මේ ලක්ෂණය තිබුණා. මට හිතෙන්නේ එය ඔවුන් ගේ දුර්වලතාවක් කියලයි. සම්ප‍්‍රදාය, සංස්කෘතිය, ආගම දැඩි ලෙස විවේචනය කරන කවියකුට ඒ තරම් ලොකු පැවැත්මක් ඇතිවන්නේ නැහැ. අමරසේකර පස්සේ කාලේ ඒ සියල්ලම බැහැර කළා. පරාක‍්‍රමත් මේ වනවිට ඒ තත්ත්වයෙන් බැහැර වී තිබෙනවා. පරාක‍්‍රමගේ චින්තනයේ යම් දෝෂයක් තිබෙනවා. එය මගේ කෘතියේ මම ඉස්මතු කොට තිබෙනවා.

ඔබ පශ්චාත් නූතනවාදී කාව්‍යකරණය පිළිබඳවත් අවධානය කළ කෙනෙක්. පශ්චාත් නූතනවාදී මතවාදවලට අනුව කවියේ උපමාරූපක භාවිතය, ව්‍යංගාර්ථවත් භාෂා භාවිතය, සංකේත ආදිය ප‍්‍රතික්ෂේප කිරීමක් කරනවද?

මේක ඉතා විශාල පරාසයක කතා කළ යුතු ප‍්‍රශ්නයක්. පශ්චාත් නූතනවාදීන් බොහෝ දුරට නූතනවාදීන් ඉදිරිපත් කළ යම් යම් සංකල්පනා ප‍්‍රතික්ෂේප කරන අතරම සමහර සංකල්පනා වඩාත් දියුණු තත්ත්වයකින් පරිහරණය කිරීමටත් පෙලඹෙනවා. පශ්චාත් නූතනවාදය කියන්නේ නූතනවාදයේම එක්තරා දියුණුවක්. ඔවුන් සම්පූර්ණයෙන්ම නූතනවාදී මත ප‍්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් නූතනවාදීන් පිළිගන්නා යම් යම් ධර්මතා ඔවුන් බැහැර කොට තිබෙනවා. උදාහරණයක් විදියට ඊ.ඒ. කමින්ස් කියන අමෙරිකානු කවියා කවියේදී ප‍්‍රමුඛත්වය දෙන්නේ පද මාලාව වඩාත් රිද්මයානුකූූලව, විරිතකට අනුව, රසිකයන්ගේ අවධානයට ග‍්‍රහණය කළ හැකි ලෙස කාව්‍යානුකූලව ඉදිරිපත් කිරීමකටයි. අර සම්ප‍්‍රදායික කවියට ආවේණික ලක්ෂණ ඔවුන් බැහැර කරනවා. බැහැර කරලා ඒ කවි මඟින් වාර්තාලාපයක් ඉස්මතු කරන්න පෙලඹෙනවා. පශ්චාත් නූතනවාදීන් ගේ හා නූතනවාදීන් ගේ ඇති ලක්ෂණයක් තමයි ගද්‍ය නිර්මාණයේදී පද්‍ය රීතියකුත්, පද්‍ය නිර්මාණයේදී ගද්‍ය රීතියකුත් අනුගමනය කිරීමට පෙලඹීම. සම්ප‍්‍රදායික පද්‍ය රීතින් ඔවුන් බැහැර කරනවා. සාම්ප‍්‍රදායික ගද්‍ය රීතියත් ඔවුන් බැහැර කරනවා. කිසියම් විප්ලවකාරී ස්වරූපයකින් පදමාලාව හසුරුවන්න තමයි ඔවුන් පෙලඹෙන්නේ. ඔවුන් වාර්තාලාපී ස්වරූපයකටයි භාෂාව භාවිත කරන්නේ. රිද්මය, විරිත ප‍්‍රතික්ෂේප කරනවා. එය පශ්චාත් නූතනවාදීන් ගේ සාහිත්‍යයික ලක්ෂණයක්. පශ්චාත් නූතනවාදී කවීන් නම් අපේ රටේ නැහැ. නවකතාව වගේ සාහිත්‍යාංගවල යම් තරමකින් හෝ පශ්චාත් නූතනවාදී ලක්ෂණ දක්නට ලැබුණත් කාව්‍යකරණයේ නම් එවැන්නක් දකින්නම නැහැ. එය ආයාසයෙන් කළ යුතු දෙයක්. එහෙම කරපු කවියෙක් තමයි ඇමරිකාවේ ඊ.ඒ. කමින්ස්. නමුත් ඔහුත් අසාර්ථක වුණා. ඔහුටත් එය එක දිගට කරගෙන යන්න බැරි වුණා. පශ්චාත් නූතනවාදී ලක්ෂණ දරන කවියෙක් බිහිවෙන්න අපේ රටේ සමාජ වටපිටාව සකස් වෙලත් නැහැ. කවියකුගේ කවිත්වය මනින යම් යම් මාපක පිළිබඳව සමාජයේ යම් මතයක් ගොඩනැඟී තිබෙනවා. කවිය පිළිබඳ සමාජයේ අවබෝධය පුළුල් නොවනතාක් කල් එවැනි කවියකුට අපේ රටේ ඉඩක් ඇත්තෙත් නැහැ.

ඔබ වඩාත් ප‍්‍රකටව සිටින්නේ කෙටිකතා ක්ෂේත‍්‍රය පිළිබඳ විමර්ශකයකු ලෙසයි. එහෙත් ඔබගේ නවතම ග‍්‍රන්ථය නිකුත් වූයේ නූතන සිංහල කවිය පිළිබඳවයි. මේ සාහිත්‍යාංග දෙක පිළිබඳවම අධ්‍යයනයක නිරත වූවකු ලෙස ඔබ මේ ක්ෂේත‍්‍ර දෙකේ යම් කිසි සාම්‍යයක් දකිනවද?

කෙටිකතාව හා කවිය කියන සාහිත්‍යාංග දෙකම එකිනෙකට නොවෙනස් සාහිත්‍යාංග දෙකක්, කෙටිකතාකරුවා භාෂාව පරිහරණය කරන්නෙත් හරියට කවියෙක් භාෂාව පරිහරණය කරනවා වගේ හරිම පරිස්සමෙන්. ඒ වගේ ම සීමාවන් තුළ සිටිමිනුයි.

සංකල්පනා, අත්දැකීම් සියල්ල රූපණය කිරීම සඳහා මේ සාහිත්‍යාංග දෙකටම තියෙන්නේ සීමිත වූ ඉඩ ප‍්‍රමාණයක්. නවකතාකරුවා වගේ අසීමිත සීමාවක් තුළ බොහොම විවේකයෙන් යුතුව අත්දැකීම් විවරණය කිරීමට කවියාට හා කෙටිකතාකරුවාට ඉඩක් ලැබෙන්නේ නැහැ. කවියාට වගේම කෙටිකතා කරුවාටත් භාෂාව ධ්වනිතාර්ථවත් ලෙස භාවිත කිරීමට සිදු වෙනවා. ඒ වගේම වචන භාවිත කළ යුතු වන්නේ අරපිරිමැස්මෙන් යුතුවයි. සංක්ෂිප්ත භාවය කවියේ මෙන් ම කෙටිකතාවේත් අනිවාර්ය සාධකයන්.

හොඳ කවියක්, හොඳ කෙටිකතාවක් හඳුනා ගැනීමේ මූලික ලක්ෂණය තමයි බස සංක්ෂිප්ත හා රසවත් ලෙස පරිහරණය කිරීම. කවියේ හා කෙටිකතාවේ සාර්ථකත්වය නිරීක්ෂණය කරන විචාරකයකුට එහි වදන් භාවිතයේ පැවතිය යුතු ශක්‍යතාව අධ්‍යයනය කිරීමට සිදුවෙනවා. මේ දෙකම එක හා සමාන කලා මාධ්‍යයන්. දක්ෂ කෙටිකතා කරුවන්, දක්ෂ කවියන් වන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදියට අපිට ඉන්න දක්ෂ කෙටිකතාකරුවෙක් තමයි අජිත් තිලකසේන. ඔහුගේ 'සංයුක්ත කවි' කාව්‍ය සංග‍්‍රහය නවීන චින්තනය පෙරටු කරගෙන නිර්මාණය වූ කාව්‍ය සංග‍්‍රහයක්. නමුත් ඒ යුගයේ එය කිසි කෙනෙක් තේරුම් ගත්තේ නැහැ. ඔහු 'සමාජයට වඩා ඉදිරියෙන් සාහිත්‍යකරුවා සිටිය යුතුයි' කියන ආස්ථානයේ සිටියෙක්. නමුත් ඔහු විචාරකයන්ගේ අවධානයට ලක් වූයේ නැහැ. සමාජයට වඩා ඉදිරියෙන් සිටින කලාකරුවන් බොහෝ දුරට විචාරකයන්ගේ අවධානයට ලක් වෙලා නැහැ. මෙය සෑම ක්ෂේත‍්‍රයකම දක්නට ලැබෙන කාරණයක්. සිනමාව, නාට්‍ය වැනි ක්ෂේත‍්‍රවලදී වුණත් ඒ තත්ත්වය එහෙමයි. සමාජයේ එවැනි අඩුපාඩු බොහොමයක් තියෙනවා.