උතුරු රුසියාවේ ජනශ‍්‍රැති
 

උතුරු රුසියාවේ ජනශ‍්‍රැති

නැනායි සුරංගනා කතාවකි රෝසවන් වොඩ්කා

 

කුමන කාලයේ දී දැයි නිශ්චිත ව කිය නො හැකි නමුත් එක්තරා කාලයක වාසය කළ එක්තරා පුරුෂයකුට අගනා වස්තු තුනක් හිමි වී තිබිණි. පෙනේරයක්, ලොකු බොකුටු රිදී හැන්දක් සහ දැවමුවා රිටක් යන තුන යි ඒ. තමා සතු වූ මේ අජීවි වස්තූූන්ට මහත් සේ ඇල්ම කළ හෙතෙම ඒවා හොඳින් රැක ගති.

ඔහු ගේ යාබද නිවෙසේ විසුවේ මායාකාරී දොස්තර කෙනෙකි. මේ පුරුෂයාට වරක් තම අසල්වැසියා බැහැදැකීමේ සිතක් ඇතිවිණි. හෙතෙම සිය පෙනේරය ද ගෙන එහි පිටත් විය. ඒ පෙනේරය අසාමාන්‍ය එකකි. එයට වැලි ස්වල්පයක් හෝ දමා සෙලවූ විට එයින් ඉතා රසවත් අහර වර්ග නිපැයේ.

කෙසේ හෝ පෙනේරය අසල්වැසි නිවසේ ඉදිරිපස තබා මේ පුරුෂයා ගෙතුළට වන්නේ ය. එවිට ඔහුට වොඩ්කා පානය සංග‍්‍රහයක් ලෙස ලැබිණි. ඒ වොඩ්කා ඊට රසය පිණිස එක්කැරුණු බෙරි වර්ග නිසා රෝස පැහැති ඒවා විය.

මේ අතර මායාකාරී දොස්තර පෙනේරය දකින්නේ එයට වැලි ස්වල්පයක් දමා සෙලැවී ය. එවිට එයින් නිමක් නැති රස අහර නිපැයෙන්නට පටන් ගත් විට ඔහු තුළ මහත් වූ ලෝබ සිතක් ඉපැදිණි. ඒ සිතින් මැ¼ඩී ගිය දොස්තර පෙනේරය සැඟැවී ය.

මෙතෙක් පෙනේරය හිමි ව සිටි පුරුෂයාට එදින හිස් අතින් ම ගෙදර පිටත්වන්නට සිදු විය. එහෙත් මීළඟ දිනයේ දීත් හෙතෙම සිය අගනා රිදී හැන්ද ගෙන මායාකාරී දොස්තර ගේ නිවෙසට වන්නේ ය. ඒ හැන්ද සෙලැවූ විට ඉන් මිහිරි වයින් ගලයි.

මේ හැන්දට ද අත්වූයේ පෙර ඉරණම ය.

ඊළඟ දිනයේ මේ පුරුෂයා දැවමුවා රිට ද ගෙන සිය අසල්වැසියා වෙත පැමිණිනි.

ඔහු පෙර දෙදින මෙන් ම රෝස වොඩ්කා බොමින් සිටිනා’තර කිසිවකු ගේ මොර දීමක් ඇසෙන්නට විය. ගෙතුළ සිටි සියල්ලෝ පිටතට දිවූ හ. සිය දැවමුවා රිට දොස්තර ලුහුබඳිමින් පහර දෙනු එවිට පුරුෂයාට පෙනිණි.

දොස්තර මෙසේ කෑ ගසා කීවේ ය.”පෙනේරෙත් දෙන්නම්, හැන්දත් දෙන්නම් මා නොමරා බේරාපං.”

එදින මේ පුරුෂයා සිය නිවෙස වෙත ගියේ සිය අගනා වස්තු තුන ම යළි හිමි කරගෙන ය.

නිසි ලෙස සැලැකිලි ලැබුණු විට අජීවි වස්තු පවා කළගුණ සලකන්නට දනියි.