ධාතූන් වහන්සේ වැඩමවන්න ඇතකු සොයා ගැනීම ගැටලුවක්
  ධාතූන් වහන්සේ වැඩමවන්න ඇතකු සොයා ගැනීම ගැටලුවක්  

 ලන්ඩනයේ පැවැත්වෙන බටහිරට නුපුරුදු සර්වඥ ධාතු පූජෝත්සවය පැවැත්වීමට පෙර සිට ම ඒ පිළිබඳ වෙසෙස් උනන්දුවක් ලන්ඩන් වාසීන් තුළ ඇති විය.

සර්වඥ ධාතූන් වහන්සේ සෘද්ධියෙන් ජීවමාන ව වඩින ගමනක් සේ අවබෝධ කරවීමට මලලසේකර සමත් විය.

එංගලන්තයේ බකිං හැම් මාළිගාවේ මවුන්ට් බැටන් සාමිවරයා ද මේ ප‍්‍රාතිහාර්යය සියැසින් දැක බලා ගැනීමට පැමිණෙනවා පමණක් නො ව ධාතූන් වහන්සේට පැරැණි රාජ ශ‍්‍රී විභූතිය පිරිනැමීමට ද ඉදිරිපත් වන බව මලලසේකරට දැනුම් දෙන ලදී.

මවුන්ට් බැටන් සාමිවරයා පැමිණෙන රාජකීය උත්සවයකට අනෙක් රටවල තානාපතීන් ගේ පැමිණීම ගැන කවර නම් කතා ද?

දැන් ඇත්තේ මලලසේකර ගේ කාර්ය භාරයයි.

මේ අපූරු සංස්කෘතික පූජෝපහාර උත්සවය මෙතෙක් ලන්ඩනයේ පමණක් නො ව යුරෝපයේ ද පැවැත්වෙන චිත්තාකර්ෂණීය සන්දර්ශනය බවට පත් කිරීමේ වගකීම මලලසේකර පිට පැවරී ඇත.

ඔහු සියල්ල පසෙක තබා මුලින් ම කතා කළේ ලංකාවේ තම සමීප හිතමිතුරු බෞද්ධ උපාසක ඇල්බට් එදිරිසිංහ මහතාට ය.

"එදිරිසිංහ මහත්තය මම ලන්ඩනය බෞද්ධ නගරයක් කරන්න වැඩ පිළිවෙළක් කරල තියනව ඒකට ඔබ තුමාගෙ ආධාර ඕන කරනව."

"මහාචාර්ය තුමනි", මට ලංකාවෙ හිටියට සියල්ල ආරංචියි. මගෙ සියලුම වස්තුව උනත් මේ සර්වඥ ධාතු පූජෝපහාරය වෙනුවෙන් වැය කරන්න ලෑස්තියි" යනුවෙන් සතුටට පත් ඇල්බට් එදිරිසිංහ එක සිතින් ප‍්‍රකාශ කෙළේ ය.

මේ ඉල්ලීම කළ වහාම එදිරිසිංහ මහතා විදේශ ගුවන් සමාගමක ලංකා නියෝජිතයකු හමු වී මුලින් ම කෙළේ විශේෂ ගුවන් යානයක් ලන්ඩනය කරා පිටත් කර යැවීමට කටයුතු පිළියෙල කිරීමයි.

මුළු ලන්ඩන් නගරය ම සැරැසීමට අවශ්‍ය බෞද්ධ කොඩිවලින් ගුවන් යානය පුරවන ලදී.

එමෙන් ම මේ උලෙළ වෙසක් සිරි ගැන්වීම සඳහා එදිරිසිංහ මහතා සිය සේවක පිරිස් ලවා විවිධ හැඩයේ අලංකාර වෙසක් කූඩු දහස් ගණනක් සාදවා ඒවා ද ගුවන් යානයේ තැන්පත් කෙළේ ය.

ලන්ඩන් විහාරයත් ලන්ඩනයේ වීථි තැනින් තැන අලංකාර කිරීම හා පූජනීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය රත් නෙළුම් මල් දස දහස් ගණනක් ද පිළියෙළ කරන ලදී.

ලන්ඩනයේ දී වෙසක් කූඩු අලංකාර ලෙස පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය සේවකයන් කීප දෙනකු ද පිටත් කර යැවීමට එදිරිසිංහ මහතා කටයුතු යෙදවූයේ තම සුහද මිතුරා වන මලලසේකරට ලන්ඩනය සැරසීමේ දී කිසිදු අඩුවක් නොතබා කි‍්‍රයාකිරීමට අවශ්‍ය නිසා ය.

මේ සියල්ල ඊළඟ ගුවන් යානයේ එවීමට පිළියෙළ කර ඇති බව ඇල්බට් එදිරිසිංහ, මලලසේකරට දැනුම් දීමෙන් පසු ව ඔහු ගේ ඉහේ මල් පිපී ගියාක් සේ දැනිණි.

ලංකාවේ පැවැත්වෙන ඉහළ ම සංස්කෘතික උත්සවය වූ දළදා පෙරහරට සමාන පෙරහරක් පිළිබඳ අදහසක් ද මලලසේකර ගේ සිතේ පැළ පැදියම් වී තිබිණි.

"සර්වඥ ධාතූන් වහන්සේ රැගත් කරඬුව වැඩම වීමට කෝ දළ ඇතෙක්?"

මලලසේකර අන්තිමට හිර වූයේ මේ ප‍්‍රශ්නයෙනි. ලංකාවේ ඕනෑ තරම් දළ ඇතුන් සොයා ගැනීමට හැකි වුවත් එංගලන්තයේ කෝ ඇත්තු?

මලලසේකර මේ ගැන දස අතින් කල්පනා කෙළේ ය.

මලලසේකරට අලුත් සිතුවිල්ලක් පහළ විය. ලන්ඩන් සත්වෝද්‍යානයේ එක ම ඇතෙක් සිටී. මේ සත්තු වත්තේ ප‍්‍රධානයා මුළු සත්තු වත්තේ ම සිටින සියලු ම සතුන්ට වඩා මේ ආසියාතික ඇතා රැක ගැනීමට මුල් තැනක් දුන්නේ ය. මේ ඇතා පෙරහරකට සහභාගි කරනවා තබා එළියට ගැනීමටවත් ඔහුගෙන් ඉඩක් නො ලැබෙයි. අනෙක් කරුණ නම් එකී ප‍්‍රධානයාට සර්වඥ ධාතු ගැන කිසි හැඟීමක් නැතිකම ය.

මෙයට හොඳ ම ප‍්‍රතිකර්මය යළිත් ‘මවුන්ට් බැට්න් සාමිවරයා’ හමු වීම බව මලලසේකර තීරණය කෙළේ ය.

මලලසේකර වහා ම සිය අවශ්‍යතාව මවුන්ට් බැටන් සාමිවරයාට දැනුම් දුන්නේ ය. සත්වෝද්‍යානයේ පණ මෙන් රැක ගෙන සිටින මේ ආසියාතික ඇතා ලබා දීමට සාමිවරයා එක පයින් කැමැති විය. මලලසේකර සැලැසුම් කර තිබුණේ ලන්ඩනය පුරා සැතැපුම් හයක් පමණ දුරට සර්වඥ ධාතුන් වහන්සේ සහිත පෙරහර වීථි සංචාරය කරවීමටයි. කිසි දිනෙක ලන්ඩන් සත්තු වත්තෙන් එළියට ගෙනැවිත් නොමැති මේ සධාතුක කරඬුව පිට උඩ හිඳුවා ගෙන සැතැපුම් හයක් දුර වීථි සංචාරය කරවීම මහත් ගැටලුවක් විය. මවුන්ට් බැටන් සාමිවරයා ගේ විශේෂ නියෝගය පිට ඇතුට මේ සඳහා පුහුණු කරවීමට සත්තුවත්තේ ඇත් ගොව්වන් මහත් වෙහෙසක් ගත්තත් එය නො කළ හැක්කක් විය.

ඇතා එළියට ගෙන පුහුණුවීමට යෙදූ අවස්ථාවන්හි දී ඌ මහත් සේ කුලප්පු විය. මෙය ලන්ඩන් නගරයේ ආරක්‍ෂාවට පවා තර්ජනයක් විය හැකි බැව් ඇත් ගොව්වෝ සාමිවරයාට දැනුම් දුන්හ.

”දැන් මොකක්ද කරන්නෙ?” මලලසේකර මහත් සංවේගයට පත් විය. “නොනැවතී ඉදිරියට” මලලසේකරට තමා කුඩා කාලයේ පටන් ඉගෙන ගත් බෞද්ධ ධර්ම පාඨය මතක් විය.

ඔහු උත්සාහය අත් නො හළේ ය.

කෙසේ හෝ මේ බෞද්ධ සංස්කෘතික උත්සවයට දළදා පෙරහරේ සිරි ගැන්විය යුතු ම බවට ඔහු අධිෂ්ඨාන කර ගත්තේ ය.

මලලසේකර සිය අවසන් තීරණය ගත්තේ ය.

ලෝක ප‍්‍රසිද්ධ “විලී ස්මාට්” සර්කස් කණ්ඩායමේ නායක රෝලන්ඩ් ස්මාට් වෙත විශේෂ ආරාධනාවක් යවා ඔහු එංගලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති මන්දිරයට ගෙන්වා ගැනිණි. අනතුරු ව මලලසේකර මුලින්ම කෙළේ ස්මාට් මහතාට පුංචි පහේ අල්ලසක් දීමයි.

අල්ලස කුඩා වුවත් එහි ලොකු වටිනාකමක් ඇති බව ‘ස්මාට්’ ට වැටහුණේ අල්ලස ලබා ගැනීමෙන් පසු ව ය. අල්ලස අන් කිසිවක් නො ව ලයිලි විසින් පිළියෙල කැරුණු සිංහල කැවිලි පෙවිලිවලින් ස්මාට් මහත් සේ සන්තර්පනය කිරීම යි. ඔහු මේ සංග‍්‍රහයෙන් කොතරම් අමන්දානන්දයට පත් වූයේ ද යත් ලයිලි පිළියෙල කළ රස ම රස ශ‍්‍රී ලංකා තේ කෝප්ප එකක් වෙනුවට තේ් ජෝගුවක් ම තලු මරමින් පානය කෙළේ ය.

”ස්මාට් මහතාණෙනි මට ලොකු ප‍්‍රශ්නයක් තියනවා. පුළුවන් නම් උදව්වක් කරන්න.”

”මහාචාර්ය තුමනි ඔබතුමාව මට මුණගැහුණෙ අද වුණත් ඔබ තුමා ගැන මා බොහෝ දේ අසා තිබෙනවා... ඒ දැන ගත් දෙයින් පැහැදී සිටි මා ඔබේ බිරිය දුන් රසම රස සිංහල කැවිලි පෙවිලිවලින් හා අපූරු තේ වලින් තව තවත් පැහැදුණා..... ඉතින් ඔබ වෙනුවෙන් මට කළ හැකි යමක් තිබේ නම් මම ඒ සියල්ල කිරීමට පොරොන්දු වෙනවා.”

”ඔබගේ ප‍්‍රකාශය ගැන මා බෙහෙවින් සතුටු වෙනවා. ඔබට මගේ ඉල්ලීම පුදුම සහගත දෙයක් වෙන්න පුළුවන්.”

”ඒ මොනවා වුණත් මම ඔබේ ඉල්ලීම ඉටු කරන්න යළිත් පොරොන්දු වෙනවා.”

”ශ‍්‍රී ලංකාවේ සිට සර්වඥ ධාතූූන් වහන්සේ නමක් ලන්ඩන් විහාරයේ තැන්පත් කරවීමට වැඩම කරනවා... ඒ ධාතූන් වහන්සේලා ලන්ඩන් නගරය පුරා පෙරහරකින් වැඩමවන්නට තීරණය කර තිබෙනවා...”

”අපූරුයි!”

”ලංකාවේ දළදා පෙරහර ගැන ඔබතුමා සමහර විට අසා නැතුව ඇති. අපේ දළදා වහන්සේ පෙරහරේ වඩම්මවන්නේ හස්තිරාජයකු පිටයි... මට මෙහෙත් ඒ දළදා සිරිය ගන්න ඕන වෙලා තියනවා. ඒකට ධාතූූන් වහන්සේලා වැඩමවන්න ඇතෙකු සොයා ගැනීම මට ඇති ලොකු ම ගැටලුවයි.”

අපොයි ඕක සුළු දෙයක්. මා ළඟ ඉන්නවා ඕනෑ දේකට පුරුදු කරපු ඇතුන් තුන් දෙනෙක්. ඔවුන් නොයෙක් ඇඳුම් ආයිත්තම්වලින් සරසලයි ඉන්නෙ... මම ඒ පිටින්ම ඇතුන් තුන් දෙනාම පෙරහරේ ගෙන යන්න ඔබතුමාට දෙන්නම්.”

මලලසේකරට ඇති වූ සතුට නිම් ඉම් නැති තරම් ය.

තව කොටසක් ලබන සතියේ