සේපාල් අමරසිංහ මාර්තු 16 වනදා සිළුමිණ පුන්කලසට සැපැයූ ලිපියට පිළිතුරු
  සේපාල් අමරසිංහ මාර්තු 16 වනදා සිළුමිණ පුන්කලසට සැපැයූ ලිපියට පිළිතුරු  

මහගම සේකර යනු මතවාදයක් ද?

කාව්‍යගත යථාර්ථයක් ද?

මහගම සේකර ගේ කවිය හා ගීතය නැවත කියැවීමට පෙර සේපාල් අමරසිංහ ගේ කියැවීම් විලාසයෙන් මතුවන කතිකාමය ගැටලු කෙටියෙන් සාකච්ඡා කළ යුතු වන්නේ ඔහු තම ලිපියෙන් ගොඩනඟන කරුණු හා තර්ක ඒ ලිපියේ ව්‍යුහය අනුසාරයෙන් ම තේරුම් ගත යුතු බැවිනි. ඔහු කාව්‍ය විචාරයට සහ සංස්කෘතික විචාරයට ප‍්‍රවේශ වෙන්නේ යථානුභූතවාදයේ (Positivism) සහ ව්‍යුහවාදයේ (Structuralism) දොරටුවෙනි.

අර්බුදකාරී සංස්කෘතික වාතාවරණයක් තුළ සිදු කරනු ලබන කාව්‍ය විචාරයේ දී ඒ විචාර ප‍්‍රවේශ දෙක ම අසාර්ථක ය. විට්ගන්ස්ටයින් පිළිබඳ විග‍්‍රහයේ දී පළමු වන වරද පැහැදිලි ව දිස් වේ. සමකාලීන විචාරය ඇසුරේ විට්ගන්ස්ටයින් ගේ භූමිකාව හුදෙක් වචන පිළිබඳ නිර්වචනයට සීමා කරන සේපාල් අමරසිංහ, සාහිත්‍යයෙහි ලා භාෂාවේ කාර්යය පමණක් නො ව භාෂාවෙහි ලා සාහිත්‍ය කී‍්‍රඩාවෙහි කාර්යය ද තේරුම් ගැනීමෙහි ලා විට්ගන්ස්ටයින් නමැති නාමකරණය භාවිත වන ආකාරය අමතක කරයි. අසංඛ්‍ය ලෙස එකිනෙක පෙනෙන කැඩපත් ලෙස සාහිත්‍යයේ සහ භාෂාවේ සංඥා දෙස බලන්නට අපට අද හැකි වී තිබේ. ඒ කැඩපත් විසින් එකෙකා විසංයෝජනය කර ගනු ලබන ආකාරය ද, එම භාෂා සහ සාහිත්‍ය කැඩපත් පවා ඇතුළත (inside) නමැති රාමුවෙන් ප‍්‍රචණ්ඩ සහ හිතුවක්කාර ලෙස වෙන්කර ගන්නා ලද සන්දර්භයන් බව ද අපි අද දනිමු. තවමත් අප විශ්වවිද්‍යාලයයන්හි උගන්වන සිංහල සාහිත්‍ය විචාරය ද යල් පැන ගොස් ඇත්තේ මේ ප‍්‍රවර්ධනය ඇසුරෙහි ය.

විට්ගන්ස්ටයින් ගේ සුවිශේෂ දාර්ශනික සේවාව, වචන විවිධ සන්දර්භ තුළ විවිධ අර්ථ ලබා ගැනීම පැහැදිලි කිරීමක් ලෙස පටු කිරීම වැරැදි ය. දේව භාෂිතයක් හෝ මුනි භාෂිතයක් ලෙස මහන්තත්තකමෙන් උදම් වී සිටි භාෂාව, විට්ගන්ස්ටයින් නිසා නිර්වස්ත‍්‍ර විය. විවිධ සන්දර්භ තුළ වෙස් මාරු කිරීමේ අපූර්ව හැකියාවක් වචනයට ඇතැ යි සිතීම ද ප‍්‍රති - විට්ගන්ස්ටයින්වාදී ගූඪකරණයකි; දර්ශනයෙන් පිටට ගමන් කිරීමකි. දර්ශනවාදයෙහි මුල් - විට්ගන්ස්ටයින් සහ පසු විට්ගන්ස්ටයින් යනුවෙන් දෙදෙනකු සිටින්නේ මේ අපයෝජනය වැළැක්වීමට විය යුතු ය.

තමන් වෙත පැවරෙන 'ජොබ්' එකේ හැටියට ස්වරූපයෙන් නානා ප‍්‍රකාර සෙල්ලම් දැමිය හැකි කී‍්‍රඩා කෞශල්‍යයක් භාෂාව සතු ය. එය කෙටි ප‍්‍රසංග පවත්වන වාදක කණ්ඩායමක් (repertoire) වැනි ය. විට්ගන්ස්ටයින් දර්ශනය භාවිත කිරීමේ දී මතුවන ප‍්‍රධාන අභියෝගය තුන් වන විට්ගන්ස්ටයින් කෙනෙකු නිර්මාණය නො කිරීම යි. "මම සිතමි. එහෙයින් මම සිටිමි" යන කාටීසියානු චින්තන වාක්‍යය අනුව විට්ගන්ස්ටයින් ගැන කල්පනා කළ යුතු ය. "විට්ගන්ස්ටයින් සිතන්නේ ය. එහෙයින් ඔහු සිටින්නේ ය. " Wittgenstein thinks. Therefore he is) මෙය අපට පහසුවෙන් දැරිය නොහැකි දාර්ශනික ආතතියකි.

ඒ නිසා යථානුභූත කියැවීමක් අද යෝග්‍ය වන්නේ සම්ප‍්‍රදායික, මතවාදී අධ්‍යාපන ශාලා තුළ සාහිත්‍ය ඉගැන්වීමට පමණි. අර්බුදාත්මක සමාජ පරිසරයක සාහිත්‍ය කියැවීම සඳහා භාෂාත්මක අධිනාටකීය (linguistic melodrama) ප‍්‍රවේශ වඩාත් යෝග්‍ය වේ. සේපාල් අමරසිංහ මහතා ගොඩනඟන්නේ මහා ජාතික ව්‍යුහයක් (Structure) සහිත භාෂා පාරිසරික භූ දර්ශනයකි. ඒ භූ දර්ශන ව්‍යුහය තුළ මහගම සේකරට හිමි තැනක් ඇත; සිරි ගුණසිංහට හිමි තැනක් ඇත; වෙනත් කලා පෞරුෂයන්ට ද එෆ්.එම්. සංස්කෘතියට ද හිමි ව්‍යුහාත්මක ස්ථාන ඇත.

මහගම සේකර සහිත ජාතික සාහිත්‍ය මතවාදය නඩත්තු කරනු ලබන්නේ එලෙස ඒ ඒ සංස්කෘතික ප‍්‍රපංචවලට ලබා දී තිබෙන ව්‍යුහාත්මක ස්ථානීය වටිනාකම් මඟිනි. විද්‍යාව සඳහා ආතර් සී. ක්ලාක් ප‍්‍රතිරූපය, සාහිත්‍යය සඳහා මහගම සේකර ප‍්‍රතිරූපය වශයෙන් 'ප‍්‍රතිරූප දේශයක්' අපි අද නඩත්තු කරමු.

විට්ගන්ස්ටයින්

සේපාල් අමරසිංහ මහතා ගේ යථානුභූතවාදී සහ ව්‍යුහවාදී සීමාවන්ට විකල්පයන් යෝජනා කරනු කැමැත්තෙමි. එසේ කරන්නේ බරපතළ හා අනුවේදනීය වෙර දැරීම් මඟින් තමන් ගේ් ම වූ අධ්‍යාපනික ජාලයක් කෙරෙන් ශික්ෂණය වී සිටින තරුණ කි‍්‍රයාකාරිකයන් යථෝක්ත ව්‍යුහ වෙනුවෙන් සේවය නොකළ යුතු බැවිනි. සාහිත්‍ය කලාවෙන් ජේම්ස් ජොයිස් ද විචාර කලාව වෙනුවෙන් ජෝර්ජ් ස්ටයිනර් (Language and silence කෘතියේ කර්තෘ) ද එම විකල්ප සඳහා තෝරා ගනිමි.

කලාකරුවා ලෙස තරුණයෙකුගේ ආලේඛ චිත‍්‍රයක් (A Portrait of the Artist as a Yong Man)  නමැති නවකතාවේ දී ජේම්ස් ජොයිස් විසින් සාහිත්‍යකරුවන් වෙත ඉදිරිපත් කරනු ලබන විකල්පය මෙසේ ය.

"අසනු. මා කිරීමට ඉඩ තිබෙන්නේ කුමක් ද, නොකිරීමට ඉඩ තිබෙන්නේ කුමක් දැයි ඔබ විමසයි. මා කරනු ඇත්තේ කුමක් දැයි, නොකරනු ඇත්තේ කුමක් දැයි මම ඔබට කියමි."

"මම තවදුරටත් විශ්වාස කරන්නේ නැති දේවල් වෙනුවෙන් මම සේවය නො කරන්නෙමි. එය මගේ නිවෙස, මගේ පීතෘභූමිය හෝ මගේ ආගම ධර්මය හෝ විය හැකිය. ආත්මාරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්නට මවිසින් මට ඉඩ හරිනු ලබන නිශ්ශබ්දතාව පිටුවහල්වීම සහ කට්ටකම Silence" exile and cunning) පාවිච්චි කරමින්, කිසියම් ජීවන විලාසයකින් හෝ කලාවකින් හෝ හැකි තරම් නිදහස් ලෙසත් පරිපූර්ණ ලෙසත් මා ප‍්‍රකාශ කරන්නට මම උත්සාහ කරමි."

අංකුර සාහිත්‍ය චරිතයක් එලෙස වර්ජන ප‍්‍රතිඥා දෙන්නේ සමාජ ව්‍යුහයේ කොයි තරම් සුවිශාල සහ සංවේදී මර්මස්ථානවලට ද යන බව කිව යුතු නැත. එහි ඇතුළත් "සේවය නො කරමි මම" යනු පුරාණෝක්තික උධෘතයකි. (Non serviam - ලතින්)  (I will not serve) මේ ලුසිෆර් හෙවත් සාතන් දෙවියන්ට එරෙහි ව කැරැලි ගසා අපායට පනිද්දී පවසන ලද වදන් ය. තව ද ආත්මාරක්ෂාවේ අවියක් ලෙස ඒ ලේඛක තරුණයා තමාට පාවිච්චි කිරීමට ඉඩ දෙන කපටිකම යනු පෙ‍්‍රාමිතියස්, ගින්න සොරකම් කිරීමේ දී හෝ යුලිසිස් වීරයා ටෙ‍්‍ර¤ජන් යුද්ධයේ දී හෝ පාවිච්චි කළ කපටිකම විය යුතු ය.

සේපාල් අමරසිංහ

දෙවනු ව යථානුභූතිවාදය වැඩියෙන් ම අසාර්ථක වන්නේ අර්බුද කතිකාවේ දී ය. (Crisis discourse)  ඊට හොඳ ම විකල්ප යෝජනා වන්නේ පශ්චාත් - ව්‍යුහවාදය ඇසුරෙහි ය. එතරම් දුර නොගොස් ජෝර්ජ් ස්ටයිනර් උපුටා දක්වන්නේ සේපාල් අමරසිංහ ගේ පහත සඳහන් අවධාරණය ද වෙනුවෙනි.

" ඉලයප්ආරච්චි කියා සිටින්නේ සිංහල ගීතයට මඟ පාදා ගැනීමේ අටියෙන් සේකර හිතාමතා සිංහල කවිය සැහැල්ලු කොට ඇති බව යි. එබැවින් ම, එතැන් සිට ම ඔහු කියන පරිදි නූතන එෆ්.එම්. සංස්කෘතිය ද ඇරැඹෙයි."

සේපාල් පවසන්නේ එෆ්. එම්. සංස්කෘතිය මගේ නාමකරණයක් බවයි. ඔහුට අනුව එය සංස්කෘතියක් නො ව විකෘතියකි.

ඊට දිය යුත්තේ කෙටි පිළිතුරු දෙකකි. සංස්කෘතියට ප‍්‍රකෘතිය විකෘතිය කියා දෙකක් ඇත්තේ නැත. යුද කාලීන ජර්මන් සංස්කෘතිය විකෘතිය ප‍්‍රකෘතිය ඇසුරෙන් තේරුම් ගත හැකි ද? ඩිස්නිලන්තය  (Disneyland) ප‍්‍රකෘතියක් ද? විකෘතියක් ද? ප‍්‍රකෘතිය සැබැවින් ම පැවතුණේ සංස්කෘතිය ගොඩනැඟීමට පෙර පැවැතුණු නැවුම් කැලෑ සහිත සොබාදහම තුළ ය.

සංස්කෘතික විචාරය පවතින්නේ නාමකරණය මත ය. අප තේමා, ප‍්‍රවණතා යන ආකල්ප දිනපතා හඳුනා ගත යුතු ය. ප‍්‍රබන්ධිත යථාර්ථය (hyper - reality) දේශපාලනික ව විනිවිදිය හැක්කක් නාමකරණයෙනි. මතවාදය කි‍්‍රයා කරන්නේ යථාර්ථය නොකියවා සිටීම සංස්කෘතිය, සිහිබුද්ධිය, විනය බවට පත් කරන්නට ය. ලෝකය කියැවීමෙන් එය වෙනස් කළ යුතු ය. කියැවීමට පෙර ලෝකයත්, කියැවීමට පසු ලෝකයත් එකක් නො ව දෙකකි. කිසියම් භූමි දර්ශනයක් චිත‍්‍රයකට නැඟූ පසු ව එය තව දුරටත් පැරැණි භූමි දර්ශනය නොවන බැව් හේගල් පැවැසී ය. යථාවේ අතුරුදන්වීම (disappearance of the real) ඉදිරිපිට නාමකරණය නියතයකි.

එෆ්.එම්. සංස්කෘතිය හෝ විද්්‍යුත් මාධ්‍ය සංස්කෘතිය (ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය) පවතිනවා පමණක් නො ව එය නූතන සංස්කෘතියේ තීරකයා හා නිර්මාපකයා ලෙස ද කටයුතු කරයි. ප‍්‍රාග්ධනය විසින් ඒ විනෝද කර්මාන්ත ගොඩනඟනු ලබන අතර භාෂාව විසින් ඊට අවශ්‍ය ... උපරි - ව්‍යුහය (Supper stracture) ගොඩනඟනු ලබයි. භාෂාව එවැනි ව්‍යාපාරයක යෙදවූ විට ඊට අත්වන ඉරණම පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් යුතු ව ජර්මන් භාෂාව සහ හිට්ලර් ගේ නාසිවාදය පිළිබඳ ව අවධානය යොමු කරමි.

ජෝර්ජ් ස්ටයිනර් "භාෂාව සහ නිශ්ශබ්දතාව" (Language and Silence) රචනා කරන්නේ භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අර්බුද කතිකාවක් හා හැඬීම් කතිකාවක් (dicourse of mourning) වෙනුවෙනි. හිට්ලර් ගේ නාසිවාදයේ නැඟීම ඉදිරියේ භාෂාව, විශේෂයෙන් ජර්මන් භාෂාව තුළ ඇති වූ අර්බුදයත්, නාසි අපරාධ ඉදිරියේ භාෂාව නිශ්ශබ්දතාවක ගිලීමත්, නාසි බොරු සඳහා ජර්මන් භාෂාව පාවිච්චි කිරීමෙන් ඒ භාෂාව තුළ ඇති වූ මාරාන්තික ආතතියත්, කෆ්කා සහ විට්ගන්ස්ටයින් ප‍්‍රමුඛ සාහිත්‍යකරුවන් සහ දාර්ශනිකයන් වෙතින් පැන නැඟුණු භාෂාමය ප‍්‍රතිචාරයත් ඔහු ඒ කෘතියේ දී සාකච්ඡා කරයි. පාඨක අවධානය පිණිස උධෘත කිහිපයක් ගෙන හැර දක්වමු.

"ඔෂ්විට්ස් ලෝකය (හිට්ලර්ගේ වධක කඳවුරක්) භාෂණයට (speach) එපිටින් රැඳී තිබෙන්නේ එය තර්ක බුද්ධියට (reason)එපිටින් රැඳී තිබෙන අයුරිනි. කතා කිරීමට නො හැකි දේ (unspeakable)  ගැන කතා කිරීමට යෑමෙන්, තර්ක බුද්ධි විෂයක මිනිස් සත්‍යයෙහි ධාරකයා සහ නිර්මාපකයා හැටියට භාෂාව සතු උර දී දරා සිටීමේ හැකියාව අවදානමට (risk of the survivance of language) භාජන වේ. බොරුවලින් සහ දරුණු ම්ලේච්ඡ කි‍්‍රයාවලින් සම්පූර්ණයෙන් සංතෘප්ත වුණු වචන නැවත පහසුවෙන් ජීවය ලබා ගන්නේ නැත."

"අමතක වීමේ ගතිය සෑම දෙයකට ම තිබේ. (Everything forgets) එහෙත් භාෂාවට එසේ නැත. භාෂාව ඇසුරේ ම බොරුව එන්නත් කළ විට එය ශුද්ධ පවිත‍්‍ර කිරීමට හැකි වන්නේ ඉතා නාටකීය සත්‍යයට ම පමණි."

"විශාල ජීවන සංචිත භාෂාවට තිබේ. හිස්ටීරියාවෙන් පෙළෙන, අකුරු නො දත් සහ ලාබ බාල තුට්ටු දෙකේ ජනතාවන් දරා සිටින්නට භාෂාවට පුළුවන. එහෙත් නතරවීමක් සිදුවන බිඳුම් ඉමක් (breaking point) පැමිණෙයි."

මහගම සේකර ගේ කවි හා ගී පිළිබඳ විවේචනයට පාදක වන්නේ එවැනි අර්බුද කතිකාවක හා හැඬුම් කතිකාවක ආවේග විනා යටි අරමුණු සහිත ද්වේශ සහගත බවක් නො වේ. සේකර කාව්‍ය රචනා නොකළා නො වේ. වැදගත් කාරණය වන්නේ ඔහු ගේ පද්‍ය රචනා වඩ වඩාත් ගේය ලකුණු (singable) මෙන් ම සරුව පිත්තල ග‍්‍රාම්‍ය කලා ආකෘතික ලකුණු (Kitsch) ඇති කර ගැනීමයි.

සරල සංගීතයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සිංහල කවිය පෙර සූදානම් කරන සේකර, එයින් නොනැවතී විනෝද කර්මාන්තයේ (entertainment industry) අවශ්‍යතා සඳහා පද්‍ය කලාව යොමු කිරීමට හැකි වන පරිදි ගීත මතවාදය ද ගොඩනඟයි. මෙය සිංහල කවිය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් වන අතර, සිංහල කවියට තම පෞරුෂය අත්හැර දැමීම සඳහා ද කරන ලද මතවාදී පීඩනයකි. ගීත රචනා කිරීමේ ව්‍යාපාරය තුළ සාර්ථකත්වයේ පුරාවෘත්තය (myth of success) ස්ථාපනය විය. එය සිංහල කවියට ධනේශ්වර ක‍්‍රමය සහ විනෝද කර්මාන්තය තුළ සාක්ෂාත් කර ගත නො හැකි හා ජය ගැනීමට උත්සාහ නොකළ යුතු නව පුරාවෘත්තයකි. (modern myth) අද එෆ්.එම්. හා රූපවාහිනී චැනලයන්හි සිංහල කාව්‍යමය භාවය භාවිතයට ගැනෙන්නේ කලාව පාරිභෝගික භාණ්ඩ බවට පත්වීමේ සම්භාව්‍ය නිදර්ශන ප‍්‍රදර්ශනය කරමිනි. ධනේශ්වර සාර්ථකත්වයේ පුරාවෘත්තයට සිංහල කාව්‍යමය භාවය ද ඇතුළත් කරන්නට සිංහල ගීත රචනා කලාව සමත් විය.

මහගම සේකර ගෙන් දශක තුනකට පමණ පසු අද විනෝද කර්මාන්තයේ නව අවධීන් උදා වී ඇත. අද කලාත්මකවීම යනු ප‍්‍රාග්ධනයේ මනා පැවැත්ම (massive being of capital) සහ එහි කැඩපත වන ඩිජිටල් තිරය මත විකිණීමයි. අද කලා පෞරුෂ බිහි කිරීමත්, පාරිභෝජනවාදී කලා භාණ්ඩ සමාජගත කිරීමත් අලවිකරණයේ විෂයකි. සිංහල භාෂාව සතු කලාත්මක ශක්‍යතාව අමුද්‍රව්‍ය කර ගෙන අද කාර්මික වශයෙන් ප‍්‍රතිනිෂ්පාදනය වන්නේ කලා කෘති සහ කලා පෞරුෂ පමණක් නො වේ. කලාකරුවන් මිනිස් අනුපිටපත් ලෙස ප‍්‍රතිනිෂ්පාදනය කිරීමට අමතර ව ජාතික රසික පර්ෂද පවා නිර්මාණය කරන්නට අද ප‍්‍රතිනිෂ්පාදන යන්ත‍්‍රවලට පුළුවන.

පවතින ව්‍යුහයට අනුගත මානසික ප‍්‍රවණතා (mindset)චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, රියැලිටි ෂෝ, ගීත යනාදිය ලෙස අද නිපද වේ. මේ සියල්ල සරුව පිත්තල රැල්ලේ කලාව හෙවත් කිච් (Kitsch) කලාවෝ වෙති. වෙළෙඳ පෝස්ටරයේ මැවෙන නිළි මුහුණ, තී‍්‍රවීලරයේ ඇලවූ චේ ගුවේරා මුහුණ, ටීෂර්ටයේ මදර් තෙරේසා, ඩෙනිමයේ පිත්තල මුද්‍රාව කිච් කලා භාණ්ඩවලට ප‍්‍රාථමික නිදසුන් වන අතර, යථෝක්ත විනෝද කර්මාන්තීය නිෂ්පාදනයන්හි පවතින්නේ ද ඒ සෞන්දර්යවේදය යි.

ඩිජිටල් - රූපික ප‍්‍රබන්ධිත සමාජයක් සහ පුරවැසි ලිලිපුටයන් විස්ම ගන්වන, ප‍්‍රාග්ධනයේ මනා පැවැත්ම නමැති ගලිවරයා ගේ පාලනයට නතු වන අන්දමේ සමාජයක් බවට පරිවර්තනය වීම සේකර දුටුවේ නැත. එහෙත් පාරිභෝගික සමාජය තුළ මතුවන පශ්චාත් නූතනත්වය පෙර දුටු සේකර, එය තම කවියේ කලාත්මක භාවය සඳහා නිමිති කර ගත්තේ ය.

"වැඩ ඇරී එන කලට ඔබ සමඟ සෙනඟින් පිරී ගිය දුම්රියක අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක් ඒ මත පැන්සල් කෙටියකින් කුරුටු ගාන්නට මට ඇත කවියක්"

(ප‍්‍රබුද්ධ)

තම මානවවාදය සහ ධාර්මික දර්ශනවාදය මඟින් ඔහු පාරිභෝජනවාදය සපුරා ප‍්‍රතික්ෂේප කරන බව ගෞරව පෙරදැරි ව සඳහන් කළ යුතු ය. එනමුත් තම කවියේ කලාත්මක භාවය සඳහා ඔහු එය ම පුනරුච්චාරණය කිරීමත්, ප‍්‍රතිනිර්මාණය කිරීමත් සිදු කරයි. පාරිභෝජනවාදී ප‍්‍රමෝදය සහ ඒ සමඟ බැඳුණු අනුභූතීන් අතික‍්‍රමණය කරන්නට ඔහු අසමත් වේ. සේකර ගේ බෝඩිම අවසන් වන්නේ මෙලෙසිනි.

"ඒක නෙමෙයි

හදමුද අපි කවියක්

පුටුව අරං මෙතනින් වාඩි වෙනව

අපි අපි ගැන ම ලියමු

තමුසෙට කවි බැරි නෑ

මට පේනව

කොලුවෝ

දුවල ගිහින් සුරුට්ටුවක් ගෙනෙං

මේ! මේ!

සුරුට්ටු දෙකක් ගෙනෙං

(බෝඩිම)

සේකර මෙයාකාර කවි මඟින් මතු කරනු ලබන්නේ සෞන්දර්යාත්මක අනුභූතියක් හෝ භාව විරේචනයක් හෝ නො වේ. ඒ දෙක ම හාස්‍ය ප‍්‍රබන්ධ තත්ත්වයකට පෙරැළීමකි. මේ නිසා සේකර කවියේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ භාව විශෝධනයේ හාස්‍ය ජවනිකා(Parody of catharsis)සහ සෞන්දර්ය අනුභූතියේ හාස්‍ය ජවනිකා  (Parody of aesthetic experience)නිර්මාණය වීම යි. මෙය විනෝද කර්මාන්තවල නැඟීමට අවශ්‍ය වූ සෞන්දර්ය කොන්දේසි සපුරාලීමකි.

සේකර සෞන්දර්යවේදයේ අනෙක් පැත්ත, කාව්‍යයේ අලංකාර ශාස්ත‍්‍රය (rhetoric of poetry)  ගීතයේ අලංකාර ශාස්ත‍්‍රය (rhetoric of song) බවට පිරිහෙළීම යි. සේකර ගේ කවියෙහි ඇත්තේ කාව්‍යයේ අලංකාර ශාස්ත‍්‍රයට පිටුපෑමකි. සක්වා ලිහිණි සහ හෙට ඉරක් පායයි යන කෘති දෙකේ ඇතුළත් බොහෝ නිර්මාණයන්හි ඇත්තේ කවිය නො ව ගීතයේ අලංකාර ශාස්ත‍්‍රය අනුව සැකැසුණු ඉතා ලිහිල් පද මාලාවන් ය.

මළ ඉර බසිනා (හෙට ඉරක් පායයි 41) පාළු අඳුරු නිල් අහස මමයි (53) වැනි රචනාවන් සහ සේකර විසින් ම උපුටා දක්වනු ලබන (56) 'ඉසුරුමුනියෙහි පැතලි ගලෙක ඒ ආලය, ලීලය පෑ විස්මිත ගල් වඩුවාණෙනි 'පදවැල' අතර කාව්‍ය රසයක් ජනනය කරන අන්දමේ වෙනසක් හෝ සුවිශේෂත්වයක් හෝ තිබේ ද? අමරදේව ඒ පදවැල් ගායනා කිරීමෙන් ඒවා සාර්ථක පැදි ලෙස ගොඩනැඟේ ද? පද්‍ය ලෙස සාර්ථකත්වයක් ලබා නැති නමුත් ගායනා බවට පත් කළ හැකි නිර්මාණ රැසක් සක්වා ලිහිණි, මක්නිසා ද යත් වැනි කෘතිවල අඩංගු වී ඇත.

පද්‍ය සම්බන්ධයෙන් ඊටත් වඩා අසාර්ථක වන්නේ සිංහල කවියකට සුදුසු සෞන්දර්ය ශාස්ත‍්‍රයකට පිටුපාමින් රැඩිකල් ස්වරයක් මතු කරන කවි නිර්මාණයේ දී ය. මක්නිසා ද යත්, බෝඩිම, නොමියෙමි, ප‍්‍රබුද්ධ වැනි දීර්ඝ නිර්මාණවල ඇත්තේ නාට්‍ය කලාව සතු සංවාද නිර්මාණ නිදහස කවිය තුළ අපයෝජනය වීමකි.

'පෙ‍්‍ර්මිය

නුඹ බඳින්නට පෙර

රෑ දවල් මගේ සිත කීවේ

විවාහය! විවාහය! විවාහය!

(මක්නිසා ද යත්)

'මිසී මිසී

මේ අහන්ඩ

මෙය ඔබටත් දැනෙනවා ද?

ජීවිතයම රිත්මයක් ය

ජීවිතයම ගීතයක් ය

ඒ රිත්මය මට ඇහෙනව සැම තැන ම

ටී‍්‍ර... ටී‍්‍ර...

ටික්... ටික්... ටික්...

ටක්... ටික්... ටුක්"

(නොමියෙමි)

සමහර විට මේ නිර්මාණ ද අමරදේව අතින් සිදු වූ පරිදි අනාගතයේ දී කිසියම් කලාත්මක විපරිවර්තනයකට භාජන වීමට ඉඩ ඇත. විශේෂයෙන් සංගීත - බද්ධ නූතන වේදිකාවක් මත ඒවා සැමුවෙල් බෙකට් නාට්‍යයක් බවට පරිවර්තනය විය හැකි ය. එනමුත් කිච් කලා න්‍යායක් ඇසුරේ නාට්‍යමය ආතතියක් ඇති වන පරිදි සිංහල භාෂාව සැහැල්ලු ලෙස භාවිත කිරීම නූතනවාදය හෝ දර්ශනවාදය හෝ ලෙස හැඳින්වීම මෙරට කලාත්මක විනිශ්චයේ බරපතළ වරදකි.

ඒ නිර්මාණ කාව්‍යශේඛරය, පියසමර, ගුරුළු වත වැනි දීර්ඝ සිංහල කාව්‍ය සහ ටී.එස්. එලියට් ගේ Waste Land සමඟ සැසැඳීමෙන් කාව්‍යමය දරිද්‍රතාවය හඳුනාගත හැකි ය. එලියට් ගේ භාෂාව මෙන් ම සංකල්පරූප ද ඉංග‍්‍රීසි සාහිත්‍යයෙහි මැනවින් කිඳ්‍ර බැස තිබේ. ශිෂ්ටාචාරයක මහා අර්බුදයක් ප‍්‍රතිනිර්මාණය කරනු සඳහා ඒ ශිෂ්ටාචාරය ගොඩනැඟූ භාෂා ලෝකය , කාව්‍යය, පුරාණොක්තිවේදය, දෛනික බස් වහර, එලියට් ගේ දීර්ඝ කාව්‍යය තුළ පෙළ ගැසෙයි. ලේඛකීය වියමනක් (Writerly text)  ලෙස වුවත් ඉංග‍්‍රීසි පාඨකයාට එයට ප‍්‍රතිචාර දැක්විය හැකි අතර, පාඨක ප‍්‍රතිචාරය සෞන්දර්ය ආස්වාදයක් ලෙස පරිසමාප්ත වේ.

සේකර අතින් සිදුවී ඇති ප‍්‍රධාන දෝෂය වන්නේ නූතන අනුභූතීන් පළ කරනු සඳහා පද්‍යයේ අවකාශය අහිමි කිරීම යි. මෙය ඊට දශක තුනකට පසු ව රූපවාහිනී සහ එෆ්.එම්. නාලිකා විසින් සරුව පිත්තල කිච් කලා වෙනුවෙන් කලාවේ හා භාෂාවේ අවකාශය අහිමි කිරීම පෙරදැකීමක් වැනි ය. කලාත්මක භාෂා අවකාශය තුළ රැඳී සිටි සමහර අවස්ථාවල දී මහගම සේකර අතින් සිහි ගිරි, රන් පිළිමය, රෝස නටුවේ කටු, මොනාලීසා, කලාතුරකින් දවසක ගමට යන විට (හෙට ඉරක් පායයි - 19) වැනි සාර්ථක පද්‍ය නිර්මාණ බිහි වී ඇත.