චිත‍්‍ර කලා අධ්‍යාපනයෙන් දරුවනට
  තකේෂෝ විශාල ගල්කුළක්
සතුරන් දෙසට වීසි කෙළේ ය
 

ඔත්සු ගේ මුව වියළී ගොස් තිබිණ. ඇය නොනවත්වා ම කෙඳිරි ගාන්නට වූවා ය. "අනේ.. මට වතුර ටිකක් දෙන්න.. මට.."

මෙයට කිසි පිළිතුරක් නොලැබුණෙන් ඇය වැලමිටෙන් නැඟී හිඳ හිස හරවා අවට විපරම් කළාය. දොරටුවෙන් පිටත වතුර බේසමක් තිබෙනු ඇයට පෙනිණ. ඇය සෙමින් ඒ දෙසට බඩගෑවා ය. පසෙක වූ උණ ලී හැන්දක් වෙත අත යොමු කරන අතරතුර ඇයට ඇසුණේ කොහේදෝ තැනක වැසි ආවරණිත පැළැල්ලක් බිමට වැටෙන හඬ ය. මේ අවන්හල කඳු මුදුන්වල දක්නට ලැබෙන කුඩා තේ පැන් සල්වලට වඩා තරමක් විශාල ය. එහෙත් මෙහි ඇති පැළැලි ආවරණ හරිහැටි සවිකොට නැති හෙයින් ඒවා විවර කරන්ට යන ඕනෑම කෙනකුට, ඒවා ගැලවී වැටීමේ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමාන ය.

ඔසුගි සහ ගෝන් දෙදෙනා බිම වැටුණු පැළැල්ල අතරින් හිස පොවා බැලූහ.

"කිසිම දෙයක් පේන්නේ නැහැ. තිත්ත කරුවල." මහලු කාන්තාව කෙඳිරිලි හ¾ඩින් කීවා ය.

"ටිකක් ඉන්න." යනුවෙන් පිළිතුªරු දුන් ගෝන් මුළුතැන් ගෙය වෙත ගොස් ළිපෙන් ගිනි පෙනෙල්ලක් ගෙනැවිත් එහි මන්ද එළියෙන් ඇතුළත විපරම් කළේ ය.

"කව්රුත් පේන්ඩ නැහැ. ඒකිට පැනල යන්ඩ ක‍්‍රමයක් නැහැ!"

ඒ සමඟ ම ඔසුගි මැහැල්ලට පෙනුණේ කුටියේ පසුපස දොර හැර දමා තිබෙන බව ය.

ඔව් එළියේ බලමු." ඇය කෑගසමින් කීවා ය.

ඔත්සු වතුර භාජනය අසල සිටගෙන හැන්දෙන් දිය පානය කරන අතර දොරටුවේ පටු තීරයෙන් ඇයට දකින්ට ලැබුණේ ඔසුගි මැහැල්ලගේ මුහුණ ය. සුළඟේ ඉගිල යන කිරිල්ලියක් මෙන් ඇය වහා කඳු බෑවුම දෙසට දිව ගියා ය.

එළියට පැමිණි ඔසුගි මැහැල්ල කෝපයෙන් යුතු ව නියෝග කරනට වූවා ය.

"ගෝන්... මල්ලියේ.. මොනව හරි කරපන්. ඉක්මන් කරපන්.."

"ඇයි කෙල්ල පැනල ගිහිල්ලද?"

"ඔව්. ඒකි ගිහින්! අපි සද්ද කරපු එකයි වැරැද්ද. ඒ මදිවට උඹ පැළැල්ලත් බිම දැම්මා!"

මැහැල්ල ගේ මුහුණ කෝපයෙන් දැවෙනු පෙනිණ.

"දැන් ඉතින් බලං නොයිඳ මොනව හරි කරපන්."

ගෝන් මාමාට ඈත දිව යන මුවකු ඉව වැටුණාක් මෙන් දැනිණ. ඔහු තම කඩුව ඔසවා අතක් ඈතට දිගු කළේ ය.

"අන්න ඒකි. ඒකිට දුවල මගෙන් බේරෙන්ඩ බැහැ. ගැහැනියකුට පුළුවන්ද මාත් එක්ක දුවන්ඩ. ලෙඩ ගානේ ඉන්න එකී තව මොහොතෙන් අල්ල ගන්නම්."

ගොන් මාමා දිව යන්ට වුණේ ය. ඔසුගි ඔහු පස්සෙන් වැටුණා ය.

"මල්ලියේ... කඩුව පාවිච්චි කරන්නේ පරිස්සමින්. මගේ හිතට සහනයක් ගන්නකල් ඒකිගේ පණ ඉතිරි කරන්ඩ ඕනෑ."

ගෝන් මාමා එකවර ම භීතියෙන් යුතු ව කෑගසමින් දෑත් හා දෙදණ බිම ඔබාගෙන සිටියේ ය.

"මොකද උඹ දණ ගහගත්තේ?" පසුපසින් දිව එමින් ඔසුගි විමසුවා ය.

"පහළ බලපන්!" ඔහු කෑගෑවේ ය.

ඇයට දක්නට ලැබුණේ උණ පඳුරින් පිරුණු පහතට නෙරා ගිය දැවැන්ත පතහකි.

"ඒකි එහෙනම් පහතට වැටිලා?"

"ඔව්. හැබැයි පහත ගැඹුරු නැහැ වගේ. නමුත් අඳුර හන්ද මොනවත් පේන්නේ නැහැ. මම අවන්හලට ගිහින් එළියක් අරන් එන්නම්."

ඔහු දණ ගසාගෙන ගැඹුරු පතල දෙස බලා හිඳිනා විට ඔසුගි කෝපයෙන් කෑ ගෑවා ය.

"තවත් මොනව බලනවද මොට්ටයෝ?"

ඒ සමඟ පහළට බඩගාන්ට තැත් කළ ඇය වහා දෙපා ඉහළට ගන්නා අයුරු ඔහුට පෙනුණේය. ඔහු තිගැස්සී ගියේ ය.

"නාකි මළඉලව්ව. ඕනෑ කුදයක් ගහගනින්!" ඔහු කෝපයෙන් කෑගැසී ය.

තකේෂෝ ගල්කුළක් මුදුනෙහි වාඩි වී දෑත් නමාගෙන පහළ නිම්නයෙහි පිහිටි හිනාගුරා කඳවුර දෙස බලා සිටියේ ය. මේ කඳවුරෙහි තැනක තම සොහොයුරිය හිර කොට තබා තිබෙන බව ඔහු දන්නේ ය. එහෙත් පෙර දින සැන්දෑවේ සිට අලුයම වන තෙක් ද, මෙදින මුළු දවස පුරා ද ඒ දෙස බලා සිටි මුත් ඇය බේරා ගැනීමට කළ යුත්තේ කුමක් දැයි ඔහු නො දත්තේ ය. එහෙයින් කළ යුතු දෙයක් කල්පනාවට එන තුරු මෙසේ වාඩි වී බලා හිඳීමට ඔහු පි‍්‍රය කළේ ය.

පනහක හෝ සියයක පමණ සොල්දාදුවන් පිරිසක් සිර කඳවුර ආරක්ෂා කළ ද එය ඔහුට ප‍්‍රශ්නයක් නොවන වග හැඟුණේ ය. එහෙත් ඔහුට ගැටලුවක් ව ඇත්තේ කඳවුරේ ඇතුළත පිහිටීම කෙසේ ද යන්න ගැන නොදැනීම ය. ඔහු ඇතුළට යා යුතු ය. එසේ ම පිටතට ආ යුතු ය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. සිර කඳවුර පසුපසින් ඇත්තේ ගැඹුරු ගල් දෙබොක්කාවකි. පාරට මුහුණ ලා ඇති එහි ඉදිරිපස දැවැන්ත ගේට්ටු දෙකකින් ආවර්ණිත ය. යම් වැරැදීමක් සිදුවුවහොත් දිව යා යුත්තේ සමතලා ගල් තීරයක් ඔස්සේ ය. එහි සැඟවීම පිණිස එක ගසක් හෝ දක්නා නොලැබේ. මෙවැනි දීප්තිමත් දිනක ඉලක්කය කරා යෑම බෙහෙවින් අපහසු ය. එහෙයින් පහර දීම රාති‍්‍රයේ කළ යුත්තක් බව ඔහුට වැටහුණේ ය. ඉර බැස යන්ට පෙර ගේට්ටුව වසා අගුල්ලන සැටි ඔහු නිරීක්ෂණය කෙළේ ය. යම් හෙයකින් දොර විවර කරන කාර්යයේ දී සැකයක් ඇතිවුවහොත් අනතුරු නිකුත් කිරීමේ උපකරණයක් එහි සවිකොට තිබේ. එතැනින් සිර කඳවුර පිහිටි කොටුව තුළට පිවිසීම අභියෝගයකි.

”වෙන කිසිම මාර්ගයක් නැහැ.” තකේෂෝ දුකින් යුතු ව කීවේ ය. ඒ වගේ මම මෙහෙම ඈතට වෙලා බලා හිඳීමෙනුත් මටත් ඈටත් කිසිම ඵලක් සිද්ධ වෙන්නේ නැහැ.” ඔහු අසරණව තමාටම කියා ගත්තේය. ‘ඔව්. මම කොයිතරම් මෝඩයෙක් වගේ වැඩ කළාද? සතියකට පෙර මම ජීවත් වෙන්ඩවත් හිතාගෙන හිටියෙ නැහැ.”

සවස් යාමය වන විට ඔහු පොරවාගෙන සිටි දෑත් අගුල් වැටී ඇති බවක් දැනුණේ ය. සිර කඳවුරට ළඟාවීමට බියක් හා දෙගිඩියාවක් ඔහු තුළ ඇතිවන්ට වන්නේ ය. ඔහු නැවත නැවතත් මෙසේ සිතුවේ ය. “මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබේ. මරණය අබියස දී හැම දෙනම මෝඩයන් මෙන් කි‍්‍රයා කරති.

”නැහැ මම මෝඩයකු ලෙස කි‍්‍රයා කරන්නේ නැහැ.” ඔහු දඩි ව අධිෂ්ඨාන කර ගත්තේ ය.

තකුවාන් භික්ෂුව මහත් බාධක මැද ඔහුට ඉගැන්වීමට උත්සාහ දැරූ පාඩම ඔහුට දැන් පැහැදිලි ව තේරුම් යන්නේ ය. ඔහුට අලුත් සංයමයක් හා සංසුන් බවක් දැනිණ. සුන්දර ගඟක් ගලා බසින්නාක් මෙන් හෘදය සැහැල්ලු බවක් ඔහුට දැනිණ. නිර්භීත කම රෞද්‍ර කමට වඩා බෙහෙවින් වෙනස් ය. ඔහුට එය මේ මොහොතේ දැනුණේ්ය. ඔහුට තමා තිරිසන් සතකු නො ව මිනිසකු බව දැනුණේ ය. ජීවිතය කිසියම් අන්දමකින් ඔප කොට, ධනයක් මෙන් ඔහුට ලබා දී ඇති බව හැඟුණේ ය.

මායාවක් වැනි වර්ණවත්, පැහැදිලි, සුන්දර අහස් කුස දෙස ඔහු බලා සිටියේ ය. ඔහු ගේ සැලැසුම හැඩයක් ගන්ට වන්නේ ය.

”රාති‍්‍රයට කරුවල වැටුණම මම මිටියාවත ඔස්සේ අනෙක් පසින් ඇති කඳුවැටිය මුදුනට ගමන් කරමි. ස්වභාවික බාධක මට පිහිටක් වේවි. සිර කඳවුරේ පසුපස ගේට්ටු දක්නට නැත. එසේ ම එහි ප‍්‍රබල ලෙස ආරක්ෂාව යොදා තිබිය නො හැකි ය.

මේ තීරණයට එළැඹීමත් සමඟ ම ඔහු දෙසට ඇදී ආ හී තලයක් පාදයට අඟල් කීපයක් නුදුරින් බිම මත පතිත විය. මිටියාවත හරහා ගමන් ගන්නා ඔහුට පෙනුණේ සිර කඳවුර තුළ මිනිසුන් දුනු විදීම පුහුණු වන ආකාරය යි.

ඔවුන් තමා ඉලක්ක කොටගත් බව සැකයක් නැත. ඔවුහු වහා විසිර ගියහ. එය තමා දක්වන්නේ කුමන ප‍්‍රතිචාරයක් දැයි දැන ගැනුම පිණිස එවන ලද හීයක් විය යුතු ය.

වැඩි වේලාවක් ගත වන්නට මත්තෙන් සැඳෑ හිරු බටහිර කඳු වළල්ලේ සැඟැවෙන්ට පටන් ගත්තේ ය; අඳුර වැටෙන්නට පෙර ඔහු කඳු මුදුනකට නැඟ ගත්තේ ය; ඔහු හිසට උඩින් පියාසර කරන්නකු තම රාතී‍්‍ර ආහාරය සඳහා ඩැහැ ගත්තේ ය; ඉක්බිති ඌගේ මස අමු අමුවේ බුදින්ට පටන් ගත්තේ ය.

ඔහු එසේ රාතී‍්‍ර ආහාරය බුදිනා අතරතුර විස්සක පමණ හේවා කණ්ඩායමක් ඔහු වට කෙළේ ය.

”මේ ඉන්නේ තකේෂෝ! මියාමොතෝවල ඉඳල ඇවිත් ඉන්න තකේෂෝ!” එකෙක් කෑගැසී ය.

”භයානක මිනිහෙක්! මිනිහ ගැන සුළුවෙන් හිතන්ඩ එපා.” තවෙකෙක් කීවේ ය.

තම ආහාරය සඳහා අල්ලාගත් කුරුල්ලා දෙසත්, ඉක්බිති පහතින් තමා වටකර සිටින පිරිස දෙසත් තකේෂෝ මාරාන්තික බැල්මක් හෙළුවේ ය. තම ආහාරය බුදින අවස්ථාවේ එයට බාධා කරන්නන් වෙත හෙළනු ලැබූ තියුණු බැල්මකි එය.

”යා... හා:” යනුවෙන් හඬක් නගමින් විශාල ගල්කුළක් ඔසවාගත් ඔහු එය මිනිස් පේළිය දෙසට වීසි කෙළේ ය. ගල්කුළ රත් පැහැයෙන් නැහැවිණ. තවදුරටත් එහි රැඳී නොසිටි ඔහු වහා සිර කඳවුරේ දොරටුව දෙසට දිව ගියේ ය.

ඉතිරි හේවායෝ පුදුම ව බලා සිටියහ.

”මොනවද මිනිහා කරන්නේ?”

”මෝඩයා කොහාටද දුවන්නේ?”

”ඌට පිස්සු හැදිල වගේ!”

ඔහු අශ්ව වේගයෙන් දිව යන්ට වූ අතර හේවායෝ ඔහු පසුපස හඹා යන්ට වන්හ. ඔවුන් පිටුපස ද්වාරය කරා සමීප වන විට ඔහු ද්වාරයෙන් ඇතුට ම පැනගෙන තිබිණි. ඔහු දැන් ද්වාර දෙක අතර ය. එසේත් නැත්නම් කොටු වෙලා ය. තකේෂෝ එය දුටු වගක් පෙනුණේ නැත. තකෙෂෝ තමා පසුපසින් හඹා එන සොල්දාදුවන් හෝ දොරටුව හෝ දුටුවේ නැත. ඇතුළත දෙවැනි දොරටුවක් සේ එහි ආරක්ෂක භටයන් සිටිනා බවක් දුටුවේ නැත. එපමණක් නො ව තමා ඉදිරියට පැන්න ආරක්ෂක භටයාට පහරක් දීමට තරම්වත් ඔහු උත්සුක වුණේ නැත. අසාමාන්‍ය බලයක් ලද්දාක් මෙන් ඔහු තම පූර්ණ ශක්තිය යොදා ඇතුළත දොරටු කණුව වේගයෙන් තල්ලු කෙළේ ය. එය සෙලවී ගියේ ය. ඔහුට දොරටු කණුව බිම පතිත කිරීමට හැකි විය. ඉන්පසු ඔහු තමා පසුපස හඹා එන්නන් වෙත හැරුණේ ය.

ඔවුන් ගේ පිරිස කොතරම් දැයි ඔහු නොබැලුවේ ය. ඔහුට දැනුණ එක ම දෙය වුණේ කළු යමකින් තමන් වෙත පහර වැදෙන බවය. නිවැරැදිව ඉලක්කය ගනිමින් දොරටු කණුව ඔසවා සන්නද්ධ පිරිස වෙත පහර දුන්නේ ය. කඩු සහ හෙල්ල විශාල ප‍්‍රමාණයක් කැඩී අවකාශයේ විසිර ගොස් බිම පතිත වන සැටි පෙනිණ.

”ඔගින්!” තකේෂෝ මොර ගෑවේ ය.

සිට කඳවුරේ පසුපස දෙසට ගොස් “ඔගින්. මම තකේෂෝ!” යනුවෙන් නැවතත් මොර ගෑවේ ය.

ඔහු තියුණු දෑස් යොමා ගොඩනැගිල්ල නිරීක්ෂණය කරමින් ඔගින් යන නම කියා කෑගසන්ට වන්නේ ය.

”මේක මායාවක්ද?” ඔහු පුදුමයෙන් විමැසුවේ ය.

සොල්දාදුවෝ එකෙකා දොරටු කණුව ඔසවා එහි දොරටුව සවි කිරීමට උත්සාහ කරනු පෙනිණ. සමහරු හිස හැරුණු අත දිව යනු පෙනිණි.

”ඔගින්!”

ඔහු ගේ හඬගෑම තියුණු බවට පත්වනු පෙනිණි. ඒ සමඟ ම ඔහුට පෙනී ගියේ එක් සිර කුටියක සිට සිරකරුවන් පලා යෑමට උත්සාහ කරනා අයුරු ය.

"ඔහොම හිටපන්!"

තකේෂෝ ඔහු මත පිම්මක් පැන්නේ ය. සිරකාරයා හඬන්ට වන්නේ ය. තකේෂෝ ඔහු ගේ කම්මුලට පහරක් දුන්නේ ය.

"මගේ අක්කා කොහෙද කියපිය!" ඔහු ගෙරෙව්වේ ය.

"උන් මගේ අක්කට මොකද කළේ? කතා කරපිය. නැත්නම් මම තෝව පණපිටින් හම ගහනව!"

"එයා... එයා... මෙහෙ නැහැ. දැනට දවස් දෙකකට ඉස්සර රජවාසලේ නියෝගයක් අනුව අරන් ගියා."

කොහාටද යකෝ අරන් ගියේ?"

"හිමෙජිවලට."

"එහෙම... යි."

"තෝ බොරු කියල තිබුණොත්..." තකේෂෝ ඔහු ගේ කෙස් වැටියෙන් අල්ලා සෙලවූයේ ය.

"එහෙමයි මම කියන්නේ ඇත්ත සහතික ඇත්ත!"

"තෝ බොරු කියල තිබුණොත් මම තෝව ආයෙත් හොයාගෙන එනව."

සොල්දාදුවෝ නැවතත් ඔහු දෙසට එමින් සිටියහ. තකේෂෝ සිරකරුවා ඔවුන් දෙසට තල්ලු කෙළේ ය. තකේෂෝ නැවතත් සිර ගෙයි අඳුරු සෙවණැලි අතරට එක්වීය. හී වර්ෂාවක් ඔහු පසුපස පැමිණියේ ය. ඉන් එක් හීයක් ඉඳිකටුවක් මෙන් පැමිණ ඔහු ගේ කිමෝනාවෙහි ඇමිනුණේ ය. ඉක්බිති වහා තාප්පය වෙතදුව ගිය ඔහු ඉන් පිටට පැන ගත්තේ ය.

ඒ සමඟ ම දැවැන්ත ශබ්දයක් ඇසිණ. තුවක්කුවකින් නිකුත් වූ වෙඩි හඬක් මුළු මිටියාවත පුරා දෝංකාරය දුන්නේ් ය.

තකේෂෝ ගල් දෙබොක්කාව ඔස්සේ දිවයන්ට වන්නේ ය. එසේ දිව යන අතර, ඔහු ගේ් සිතට ගලා ආවේ තකුවාන් භික්ෂුව ගේ ඉගැන්වීම් ය. "බියජනක මොහොතේ බිය කුමක් දැයි ඉගෙන ගන්න. තිරිසනුන් ගේ කාය ශක්තිය ඵලකට නැත. මනසක් නැති සතුන්ගේ ශක්තිය ශක්තියක් නො වේ. සැබෑ රණ කාමියකු ගේ ශක්තිය හා ධෛර්යය ඇතිකර ගනු. එවිට ජීවිතය වටිනා එකක් වන්නේ ය.

හිමෙජිහි මාලිගා නගර සීමාවේ නතර ව හිඳි තකේෂෝ විටින් විට හනාඩා පාලමෙන් නෙත් ඉවතට යොමු කළ ද, පාලම මත හිඳිමින් එය පසුකර යන්නන් දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. පාලම අවට ප‍්‍රදේශය වෙත ක්ෂණික බැල්මක් හෙළුෑ ඔහු පැදුරු කඩමාල්ලකින් හිස වසාගත් යාචකයකු ;මන් තම හිස්වැස්ම මුහුණ අඩක් වැසීයන අයුරින් පහතට නමාගෙන නගරය දෙසට කෙටි බැලුම් හෙළුවේ ය.

ඔහු එන තෙක් දින සිය ගණනක් නො ව දහස් ගණනක් වුව ද බලා සිටිනා බවට දිවුරා කියූ ඔත්සු, සතියක් ඉක්ම ගිය ද තවමත් එහි පැමිණ නැති බව ඔහුට හැඟුණේ ය. තමා පොරොන්දුවක් දුන් විට එය බිඳ දැමීමට තකේෂෝ අකැමැති ය. ඔත්සුට තමා පොරොන්දුවක් දුන් මුත් ගතවූ කාලය තුළ ඔහු ගේ එක ම අරමුණ වූයේ හිමෙජි කරා ගොස් ඔගින් සිටින්නේ් කොහි දැයි සොයා ගැනීම ය.

දිනක් ඔහු නගරය මධ්‍යයට ළඟාවෙමින් සිටිනා විට කවුදෝ ඔහු ගේ නම කියනු ඇසුණේ ය. ඒ සමඟ ම තමා දෙසට දිව එන පියවර හඬක් ද ශ‍්‍රවණය විය. ඔහු හැරී බැලුවේ ය. "තකේෂෝ නතර වෙනු!" කියමින් තකුවාන් භික්ෂුව ඔහු දෙසට එමින් සිටියේ ය.

මේ භික්ෂුව ඉදිරියේ සුපුරුදු පරිද්දෙන් තකේෂෝ ගල් ගැසුණේ ය. ඒ සමඟ ම භික්ෂුවට අවනත විණ. තම වෙස්වළා ගැනීම සාර්ථක යැයි ඔහු සිතා සිටියේ ය. තම වෙස්වළා ගැනීම හේතු කොට ගෙන කිසිවකුට තමා හඳුනාගත නො හැකි වන බව, අඩුතරමින් තකුවාන් භික්ෂුවට වුව ද තමා හඳුනාගත නොහැකි වන බව ඔහු සිතා සිටියේ ය.

භික්ෂුව ඔහු ගේ අතින් අල්ලා ගත්තේ ය. "එනව මාත් එක්ක." භික්ෂුව නියෝග කෙළේ ය. ඔහු ගේ කටහඬෙහි පැවැති අත්‍යවශ්‍ය භාවය ඉවතට දැමිය නො හැකි විය.

"ඉතින් කරදර කරන්ඩ හදන්ඩ එපා. මම උඹව හොයන්ඩ බොහෝම කාලයක් මිඩංගු කළා."

තකේෂෝ නිහඬ ව ඔහු පසුපස ගමන් කෙළේ ය. ඔවුන් යන්නේ කොහි දැයි ඔහු නොදැන සිටියේ ය. එහෙත් නැවත වරක් තමා බලරහිත ව මේ සුවිශේෂ මිනිසා ගේ ග‍්‍රහණයට හසු වූ බව ඔහුට දැනුණේ ය. එසේ වූයේ මන් දැයි ඔහුට පුදුම ය. තමා නිදහස් පුද්ගලයකු වුව ද නැවත වරක් ගමන් කරන්නේ මියාමොතෝහි බියකරු වෘක්ෂය කරා හෝ මාලිගාවේ සිරකුටිය කරා හෝ බව ඔහුට දැනුණේ ය. තම සොහොයුරිය සිරකොට ඇත්තේ මාලිගාව තුළ බව ඔහු සැක කළ ද එය ඔප්පු කිරීමට තරම් අංශුමාත‍්‍රයක සාධකයක් ඔහු සතු නො වී ය.

තමා ගේ් සැකය නිවැරැදි නම් තමා ද රැගෙන යන්නේ එහි බවත්, එසේ නම් අඩු තරමින් දෙදෙනාට ම එක් ව මිය යා හැකි බව ඔහුට දැනුණේ ය. එය එසේ නම් මේ අවසාන මොහොතේ, අවසාන හුස්ම නිකුත්වන මොහොතේ ඔහු හා ජීවිතය බෙදාගන්ට කිසිවකු නොමැති බවක් ඔහුට හැඟුණේ ය.

මතු සම්බන්ධයි