අනුකරණය කරන සිත මිය ගිය සිතකි
  අනුකරණය කරන සිත මිය ගිය සිතකි  

කි‍්‍රෂ්ණමූර්තීන් ගේ
“This Mattor of Culture”
නමැති කෘතිය ඇසුරෙනි.

පසු ගිය උදෑසනක මා දුටුවේ ආදාහනය පිණිස රැගෙන යන මළ සිරුරකි. නිල් සහ රතු මුසු දීප්තිමත් පැහැයක් ඇති රෙදි කඩකින් ඔතන ලදු ව, තවත් මැරෙන සුලු මිනිසුන් සිවු දෙනකු ගේ කරපිටින් ඔසවා ගැනුණු මළකඳ ඔවුන් ගේ ගමනෙහි රිද්මයත් සමග දෙපසට පැද්දෙමින් තිබිණ. මළ සිරුරක් දකින කෙනකු තුළ ඇති වනුයේ කවර විදියේ හැඟීමක් ද? මෙබඳු කඩා වැටීමක් ඇති වන්නට හේතුව කුමක් දැයි දැන ගැනීමේ වුවමනාවක් ඔබට ඇති නොවන්නේ ද? ඔබ මිලට ගන්නේ අලුත් ම මෝටර් රථයකි. එහෙත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ගෙවී පරණ වෙයි. ශරීරය ද එසේ ම ය. එය ද ගෙවී ගොස් දිරාපත් වෙයි. එහෙත් අප සිත් සතන් පිරිහීමට පත් වනුයේ කවර හෙයින් දැයි වටහා ගනු වස් ඔබ තව ටිකක් දුරට විමසා නොබලන්නේ ද? කිසියම් දවසක ශරීරය මරණයට පත් වනු ඇත. එහෙත් අප බොහෝ දෙනකුට ඇත්තේ දැනටමත් මියගිය සිත් සතන් ය. පිරිහීම දැනටමත් සිදු ව ඇත. අපේ සිත් සතන් පිරිහීමට පත් වන්නේ ඇයි? ශරීරය පිරිහීමට පත් වනුයේ අප විසින් එය නිරන්තරයෙන් ම පරිහරණය කරනු ලබන බැවිනි. එසේ ම භෞතික වූ ජීව වස්තු ද තව දුරටත් ප‍්‍රයෝජනයට ගත නො හැකි සේ දිරාපත් වෙයි. ලෙඩ රෝග, හදිසි අනතුරු, වයස්ගතවීම, නුසුදුසු ආහාර පාන හා ප‍්‍රවේණිගත දුබලකම් යනාදි කරුණු ශරීරයේ පිරිහීමට හා අභාවයට හේතු වන්නේ ය. එහෙත් අප සිත් සතන් ද පිරිහී, ජරාජීර්ණ විය යුතු ද? දුකින් බර වී අඳුරු විය යුතු ද?

මළ සිරුරක් දුටු විට මේ ගැන ඔබ කවරදාවත් සිතා නොබැලුවේ ද? ශරීරය මරණයට පත් විය යුතු නමුත් අපේ සිත් සතන් පිරිහීමට පත් විය යුත්තේ ඇයි? මේ ප‍්‍රශ්නය කිසිවිටෙක හෝ ඔබ වෙත ඉදිරිපත් නොවූයේ ද? වයස්ගත වූවන් ගේ පමණක් නො ව, තරුණ වියෙහි සිටින්නන් ගේ පවා සිත් සතන් පිරිහී ඇති සැටි අපි දකින්නෙමු. දැනටමත් එය දුකින් බර ව අසංවේදී වෙමින් ඇති සැටි අපට පෙනේ. සිත පිරිහී යනුයේ කවර හෙයින් දැයි අපට තේරුම් ගත හැකි නම්, ඇතැම් විට සැබැවින් ම විනාශ කළ නොහෙන යම් කිසිවක් අපට හෙළි කර ගත හැකි වනු ඇත. එවිට ගඟ පහළට රැගෙන ගොස් දවා ඉතිරි වූ දෙයක් ගඟට විසි කරනු ලබන සිරුරක් මෙන් ජරාජීර්ණ නොවන, පරම පවිත‍්‍ර වූ ද, කාලයට හසු නොවන්නා වූ ද, පිරිපුන් සදාතනික ජීවිතය යනු කුමක් දැයි අපට තේරුම් ගත හැකි වනු ඇත.

එසේ නම් අපේ සිත් පිරිහීමට පත් වනුයේ කවර හෙයින් දැයි අපි විමසා බලමු. ඔබ කවර දා හෝ ඒ ගැන සිතා බලා තිබේ ද? ඔබ තවමත් යොවුන් වියෙහි සිටින බැවින් එසේ ම සමාජය හෝ මාපියන් හෝ වෙනත් හේතු සාධක හෝ නිසා දැනටමත් ඔබේ සිත අඳුරු වී නොමැති නම් ඔබට ඇත්තේ කුතුහලයෙන් හා උනන්දුවෙන් පිරි නැවුම් සිතකි. ඔබට දැන ගැනීමට වුවමනා කරන්නේ අහසෙහි පායන තාරකා ගැන ය; කුරුල්ලන් මිය යෑමට හා කොළ හැලීමට හේතුව ය; ජෙට් යානාවක් පියාසර කරන සැටි උගැනීමට ය. ඒ හැර තවත් බොහෝ දෑ දැන ගන්නට ඔබට අවශ්‍ය වී ඇත. එහෙත් විමැසීමට හා සොයා බැලීමට ඇති ඒ උද්‍යෝගවත් හැඟීම ඉක්මනින් ම යටපත් වී යනවා නො වේ ද? එසේ වනුයේ බිය, සම්ප‍්‍රදායයෙහි බලපෑම හා ජීවිතය නමැති මේ අපූර්වත්වයට මුහුණ පෑමේ අපේ ම නොහැකියාව හේතු කොට ගෙන ය. රළු පරළු වචනයකින් හෝ අවඥා සහගත ඇඟවීමකින් හෝ විභාග පරීක්ෂණයකට බියෙන් හෝ මාපියන් ගේ තර්ජනයකින් හෝ යමක් දැන කියා ගැනීමට ඇති ඔබේ කුතුහලය හා උනන්දුව කොතරම් ඉක්මණින් නැති නාස්ති වී යන්නේ දැයි ඔබ වටහා ගෙන තිබේ ද? එනම් එයින් හැඟෙනුයේ දැනටමත් ඔබ බැහැර කොට ඇති බව ය. ඔබේ සිත් සතන් අඳුරු කොට ඇති බව ය.

මෙලෙස සිත අඳුරු වීමේ හා අසංවේදී වීමේ තවත් හේතුවක් නම් අනුකරණය කිරීම ය. අනුකරණය කරනු පිණිස ඔබ යොමු වී තිබෙනුයේ සම්ප‍්‍රදායයෙහි බලපෑම හේතුවෙනි. අතීතයෙහි බරපතළ බව ඔබ තෙරපා ගෙන සිටිනුයේ අනුකූල වනු පිණිස ය; අවනත වනු පිණිස ය. අනුකූලවීම මඟින් සිතට දැනෙනුයේ ආරක්ෂාවකි; රැකවරණයකි. එසේ ම ඒ අනුකූලවීම තහවුරු වනුයේ බාධාවකින් හෝ සැකයක කම්පනයකින් හෝ තොර ව පහසුවෙන් කි‍්‍රයා කරනු වස් ඒකාකාරී පුරුද්දක ඇබ්බැහිවීමෙනි. ඔබ අවට සිටින වැඩිහිටියන් දෙස හොඳින් බලන්න.

බාධා කිරීම ඔවුන්ගේ සිත් සතන්වලට වුවමනා නැති බව ඔබට පෙනී යනු ඇත.

ඔවුන්ට අවශ්‍ය වනුයේ පවතින විදියට ම සැනසිල්ලේ සිටීමට ය. මේ වනාහි මරණයේ සැනසිල්ල ය. සැබෑ සැනසීම වූ කලී ඊට හාත් පසින් ම වෙනස් වූවකි.

ඉදින් සිත කිසියම් ඒකාකාරී රටාවක තහවුරු වන විට එය හැම විට ම පෙලැඹෙනුයේ ආරක්ෂා වීමේ ආසාවෙන් ම බව ඔබට වැටහී තිබේ ද? උදාහරණයක් වශයෙන් කිසියම් ආගමික ගුරු කෙනකු වැනි යම් පරමාදර්ශයක් එය අනුගමනය කරනුයේ ද එහෙයිනි. ඔබේ ඉතිහාස පොත්වල සඳහන් වන ශ්‍රේෂ්ඨ නායකයන්, සාධුවරුන් හා රණ ශූරයන් ගැන කියවන විට ඔවුන් අනුගමනය කිරීමේ වුවමනාවක් ඇති වන බව ඔබට දැනී තිබේ ද? ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් නොමැති වුව ද, එබඳු පුද්ගලයන් අනුගමනය කිරීමේ ද, ඔවුන් හා සමානයන් වීමේ ද සහජාසයක් මිනිසුන් තුළ ඇත්තේ ය. ඒ වනාහි පිරිහීමේ කරුණුවලින් එකකි. මක්නිසා ද යත්, එවිට මනස කිසියම් ආකෘතියක පිහිටා ඒ අනුව හැඩ ගැසෙන බැවිනි.

එපමණක් නො ව තියුණු බුද්ධියක් ඇති එළැඹ සිටි සිහියෙන් යුතු ව සිටින විප්ලවකාරී පුද්ගලයන් සමාජයට අවශ්‍ය නොවනුයේ, එබඳු පුද්ගලයන් ස්ථාපිත සමාජීය ආකෘතියට නොගැළපෙන හෙයිනි; ඔවුන් එය කඩාකප්පල් කළ හැකි හෙයිනි. මේ නිසා සමාජය සොයා බලන්නේ ඔබේ සිත එහි ආකෘතියෙහි හසු කර ගැනීමට ය.

එසේ ම ඔබේ ඊනියා අධ්‍යාපනය ද ඔබ දිරිමත් කරනුයේ ඊට අනුකූලවීමට ය; අවනතවීමට ය; එහි අනුගාමිකයකු කර ගැනීමට ය.

ඉදින් අනුගමනය කිරීමෙන් වැළැකී සිටීමේ හැකියාවක් සිතට තිබේ ද? එනම්, පුරුද්දට අනුව හැඩ ගැසීමෙන් වියුක්ත ව සිටින්නට එයට පුළුවන්කමක් තිබේ ද? එසේ ම දැනටමත් පුරුදුවලට හසු ව තිබෙන සිතට එයින් නිදහස් විය හැකි ද?

සිත වූ කලී නොයෙකුත් පළපුරුදුවල ප‍්‍රතිඵලයක් නො වේ ද? ඒ වනාහි සම්ප‍්‍රදායයෙහි ප‍්‍රතිඵලයකි; කාලයෙහි ප‍්‍රතිඵලයකි. කාලය යනු නැවත නැවතත් කිරීම ය. එය අතීතයෙහි අවිච්ඡින්නයකි. ඉදින් ඔබේ සිතට අතීතය හා අනාගතය ගැන සිතීම අවසන් කර දැමිය හැකි ද? අනාගතය යනු සැබැවින් ම අතීතයෙහි ප‍්‍රක්ෂේපණයකි. පුරුදුවලින් හා පුරුදු ඇති කර ගැනීමෙන් නිදහස් වීමේ හැකියාවක් සිතට තිබේ ද? මේ ගැටලුවෙහි වඩාත් ගැඹුරට පිවිසිය හැකි නම්, එය කළ හැකි දෙයක් බව ඔබට වැටහෙනු ඇත. ඉදින් නව ආකෘති හා පළපුරුදු ඇති කර ගැනීමෙන් ද, නැවත වතාවක් අනුගමනය කිරීමේ මං පෙතට වැටීමෙන් ද, තොර ව පවතින විට ඔබේ සිත හැම විට ම නැවුම් ය; ප‍්‍රාණවත් ය; පවිත‍්‍ර ය; සැහැල්ලු ය. එහෙයින් ම එය අපරිමේය වූ ප‍්‍රතිවේදයෙහි ද සමත් වන්නේ ය.

එපමණක් නො ව එය මිය ගිය සිතක් නොවන බැවින් තව දුරටත් එකතු කර ගැනීමේ කි‍්‍රයාවලියක් ද එහි නොමැත්තේ ය. එකතු කර ගැනීමේ කි‍්‍රයාවලිය යනු පුරුදු ඇති කර ගැනීම ය; අනුකරණය කිරීම ය. එබඳු කි‍්‍රයාමාර්ගයක නිරත ව ඇති සිත වෑරී, පිරිහී ගිය සිතකි; මිය පරලොව ගිය සිතකි. එහෙත් එකතු කර ගැනීමක් නොමැති දිනපතා මොහොතින් මිය යන සිත මිය ගිය සිතක් නො වේ. එය හැම විට ම පවතිනුයේ අනන්ත වූ අවකාශයක ය.

එබැවින් සිත විසින් එක් රැස් කරනු ලැබ ඇති සියල්ලට ම එය මිය යා යුතු ය. එනම්, හුරු පුරුදුවීමෙන් හා අනුකරණයෙන් යුතු ව පවත්නා සදාචාර වූ පැවතුම් යන සියල්ලට ම ය; ආරක්ෂාව පිළිබඳ හැඟීමෙන් විශ්වාසය තබා ඇති සියල්ලට ම ය. එවිට එය තවදුරටත් සිතුවිලි දැලෙහි හසු ව නොපවතිනු ඇත. මොහොතින් මොහොත අතීතයට මිය යෑම මඟින් ඔබේ සිත නැවුම් ස්වභාවයෙන් යුතු ව ම පවතිනු ඇත. එහෙයින් එය කිසි විටෙකත් වෑරී, පිරිහී යන්නේ හෝ අවිඳු අඳුරෙහි කටයුතු කරන්නේ හෝ නැත.