අධිරාජයා ගේ ප්ලම් ගහ
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ප්ලම් ගහක් කියන්නේ බොහෝ රටවල්වල වැඩෙන ලොකු
මිදි ගෙඩියක් වැනි ඵලයක් හටගන්නා ගස් වර්ගයක්.
මේ ගස් වර්ගය ජපානයෙත් හට ගන්නවා. එක්තරා
ප්ලම් ගහක් පිළිබඳ ව කතන්දරයක් කියා දෙන්නයි
මම මේ සූදානම් වන්නේ. උකියෝ කියන පුද්ගලය යි, ඔහුගේ බිරිඳ ටන්කායි
ඔවුන්ගේ පුත‍්‍රයා වන මුසුකෝ ඔවුන්ගේ වත්තේ හට
ගත්තු ලස්සන ප්ලම් ගහට හරිම ආදරෙයි. හැබැයි මේ
පවුලට ලොකු ගැටලුවක් මතු වුණා. මොකක්ද ඒ
ගැටලුව? රජතුමාගේ රාජකීය උයනෙත් ප්ලම් ගස්
කීපයක් තිබුණා. ඒ ප්ලම් ගස් එක එක වේළිලා මැරී
මැරී යමින් තිබුණා. ඉතිං රජතුමාට හරිම දුකයි.
රජතුමාගේ සිරි යහන් ගබඩාවේ තාප්පය ළඟ වැඩුණු,
රජතුමා වඩාත් පි‍්‍රය කළ, පණ වගේ ආරක්ෂා කළ
ප්ලම් ගහේ අතු ඉති වේළිලා මිය ගිහින් තිබුණා.
වැඩි කල් යන්නට ඉස්සෙල්ල මේ ප්ලම් ගහ
සම්පූර්ණයෙන්ම මැරිල යාවි. එතකොට මට මගේ හොඳම
ප්ලම් ගහ නැති වෙනවා. මට සිද්ධ වෙනවා කොහෙන්
හරි මේ වගේම අපූරු ප්ලම් ගහක් සොයා ගන්න. මෙහෙම හිත හිතා ඉඳල රජතුමා අසන්තෝෂයට පත්වෙලා.
හිත කලකිරිල රෝගාතුර වුණා. රජතුමා ජීවත්
කරවන්නට නම් කොහෙන් හරි ප්ලම් ගහක් හොයා ගෙන
එන්නට වෙනවා. දැන් ඉතිං රජවාසල රාජපුරුෂයෝ හැම
තැනම ගිහිල්ල මේ වගේ අපූරු ප්ලම් ගහක්
තියෙන්නේ කොහේ දැයි සොයා බැලුවා. අන්තිමට
රාජපුරුෂයන් ගෙන් දැන ගන්න ලැබුණා උකියෝ නමැති
සිත්තරාගේ වත්තේ රාජකීය ප්ලම් ගහට සමාන ප්ලම්
ගහක් තිබෙන බව. රාජ නියෝගය අනුව ඒ ප්ලම් ගහ
රාජකීය උයනෙහි සිරියහන් ගබඩාවට නුදුරින්
හිටවන්නට නියම වුණා. මේ කාරණය දැන ගත්තු උකියෝටත් ඔහුගේ බිරිඳ
ටංකායිටත් ඔවුන්ගේ කුඩා පුතනුවන් වන මුසුකෝටත්
දරාගන්නට බැරි වෙන දුකක් ඇති වුණා. මේ ප්ලම්
ගහ ඔවුන් තුන්දෙනා තමන්ගේ ජීවිතය මෙන් රැක බලා
ගත්තා. උකියෝ සායම් අරගෙන අතු ඉති තව තවත්
අලංකාර කළා. ටන්කා ඒ ගසේ අලංකාරය ගැන කවි
ලියමින් හිටියා. කුඩා පුතනුවන් වන මුසුකෝ
තාත්තාගේ චිත‍්‍රවලිනුත් අම්මාගේ කවිවලිනුත්
අපූරු අභ්‍යාසයක් ලැබුවා. මේ හැම දේකටම වඩා වැදගත් දෙයක් ගැනත් කියන්නට
වෙනවා. මේ ප්ලම් ගහ තම නිවහන කරගත් එක්තරා
කෝකිලාවක් හිටියා. ඒ කෝකිලාව තමයි මුසුකෝගේ
වඩාත්ම සමීප හිතවතිය. ප්ලම් ගහ පාමුල හිටගෙන
මුසුකෝ කෝකිලාවට කතාබහ කරනවා. කෝකිලාවත් ඇගේ
ඉමිහිරි නාදයෙන් මුසුකෝට කථා කරනවා. මේ විදිහට
දෙදෙනා බොහෝ කාලයක් ඉතා සතුටින් කාලය ගත කළා.
උකියෝට දැන ගන්නට ලැබුණා මෙතරම් කාලයක් තම පණ
මෙන් රැකගත් ප්ලම් ගහ තවදුරටත් තමන් සමීපයේම
තබා ගන්නට බැරි බව. "රාජපුරුෂයනි, රජතුමාට ගිහින් කියන්න තව එකම
එක දවසක් අපට මේ ප්ලම් ගහ රැක බලා ගන්නට ඉඩ
දෙන්න කියලා." මේ ඉල්ලීමට රජතුමාගේ අවසරය ලැබුණා.
රාජපුරුෂයන් පැමිණ ප්ලම් ගහ උගුලා ගෙන රජවාසලට
ගෙන යන්නට ඔන්න මෙන්න කියා තිබිය දී මුසුකෝ
නමැති කුඩා දරුවා එතැනට පැමිණ පුංචි ඉල්ලීමක්
කළා. "අපේ මේ ප්ලම් ගහේ පුංචි ලියැවිල්ලක් ලියල
එල්ලන්නට මට අවසර දෙනවාද? මට ඒ සන්දේශය ප්ලම්
ගහේ මුදුන් අත්තක ගැට ගහන්න උවමනා කරල
තියෙනවා." මේ ඉල්ලීමට ගස උගුලාගෙන යෑමට පැමිණි
රාජපුරුෂයන් ගෙන් අවසර ලැබුණා. මේ අතර වාරයේ මුසුකෝ ගේ ඇසින් කඳුළු බිඳු රූරා
හැලෙන අයුරු රාජපුරුෂයන්ට දැකගන්නට ලැබුණා.
දැඩි කම්පනයෙන් ඉවසිල්ලක් දරා ගත්ත කුඩා
දරුවකුගේ ස්වරූපය මුසුකෝගේ මුහුණින් සහ
ඉරියව්වෙන් පළ වුණා. උදුරාගෙන යනු ලැබු ප්ලම් ගහ රාජකීය උයනේ පැළ
කරනු ලැබුවා. ඒ ප්ලම් ගහ දැක බලා ගැනීමට
රජතුමාට ඇරියුම් කැරුණා. රජතුමා බොහෝ වේලාවක්
ඉතා ඕනකමින් ඒ දෙස බලා සිටියා. රජතුමා මෙතෙක්
රෝගාතුරව හිටියත් කෙමෙන් ඒ රෝගාතුර බව නැති වී
මුහුණේ හිනහ රැල්ලක් නැඟෙන හැටි රජවාසලේ
උදවියට දැක ගන්නට පුළුවන් වුණා. රජතුමා
සමීපයෙහි සිටි රජබිසව ඉතා සතුටින් කතා කළා. "දැන් ඉතින් ඔබ වහන්සේ බලාපොරොත්තු වුණු ඒ
අපූරු ප්ලම් ගහ ඔබ වහන්සේගේ සිතුම් පැතුම් ඉටු
කරමින් ලැබී තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ ගේ
හිතට දැන් සතුටක් ඇති ඒ සතුටේ ආනුභාවයෙන් ඔබ
වහන්සේ සනීප වේවි. රජ බිසවගේ ඒ කතාව නෑසුණාක්
මෙන් බොහෝ වෙලාවක් රජතුමාගේ දෑස් අලුත හිටවූ
ප්ලම් ගහ දෙසට යොමු වී තිබුණා. සැනෙකින් ප්ලම්
ගසේ මුදුන් අත්තක ගැට ගසා තබන ලද සටහනක් දෙසට
දෑස් යොමු වුණා. "මොකක්ද අර කඩදාසි කොලයක් තියෙන්නේ මුදුන්
අත්තක. මොකක් හරි හසුනක් වෙන්නට ඕන. කෝ ඒක
ගන්න බලන්න." රාජපුරුෂයෙක් මුසුකෝගේ සංදේශය
රජතුමාට බාර දුන්නා. "ෂහ් හරි අපූරු ලස්සන කෝකිලාවකගේ රූපයක් ඇඳලා
තියෙනවා. අහ් ලස්සන පුංචි කවියකුත් ලියල
තියෙනවා. කෝ බලන්න කියවන්න ඕන. ලස්සන පුංචි
අත් අකුරෙන් ලියල තියෙන්නෙ." "මගේ ආදර කෝකිලාවට දවස කෙළවර ඇගේ නිවහනට
පැමිණි විට මා ඇයට කුමක් කියන්න ද?" බොහෝ වෙලාවක් රජතුමා කල්පනා කරමින් හිටියා.
තමන් අතින් සිදු වී ඇති විපත්තිය රජතුමාට
වැටහුණා. කිසිවකුට නොකියා රජතුමා රාජකීය
සංදේශයක් ලියා උකියෝ නම් සිත්තරාගේ කුඩා
දරුවාට යැව්වා. ඒ හසුනේ මෙසේ සඳහන් වුණා. "දරුව මුසුකෝ, මා කියන්නම් ඔබේ මිතුරු
කෝකිලාවට කිව යුතු දේ. ඔබේ වත්තෙන් මා බලෙන්
ලබා ගත් ඒ ප්ලම් ගහ දැක බලා ගැනීමෙන් මගේ
මනදොල පිරී ගියා. දැන් ඉතින් ඔබේ කෝකිලාවගේ
සුන්දර නිවහන ආපසු එවනු ලබන බව සලකන්න." දරුවාගේ් ශෝකය දැනෙන දෙමාපියන් වන උකියෝ සහ
ටංකා තම විරෝධය රජු වෙත පළ කිරීමට කතාබහ
කරමින් සිටිය දී රාජකීය පණිවිඩය ඔවුන්ට
ලැබුණා. ඒ පණිවිඩයේ තවදුරටත් මෙසේ සටහන් වුණා. "මේ ටික දෙමාපියන් වෙතයි. උකියෝ සහ ටන්කා යන
ඔබ දෙදෙනා ද ආදරයෙන් රැක බලා ගත් ප්ලම් ගහ දෙස
තවදුරටත් මට බලා සිටින්නට පුළුවන් කමක් නැහැ.
මේ ප්ලම් ගහ අයත් වන්නේ ඔබේ ගෙවත්තටය. එය
ඔබෙන් උදුරාගෙන විත් මගේ රජමැඳුරේ සිටවීමෙන්
මා තවදුරටත් සතුටක් ලබන්නේ නැහැ. සුහද සිතින්
රැකබලාගත් වස්තුවක් එතනින් උදුරාගෙන තව තැනකට
ගෙන ගොස් ලැබිය හැකි සතුටක් ඇත්ද?" උකියෝ සිත්තරාණෙනි. මගේ උද්‍යානයට පැමිණ එහි අතු ඉති සායමින්
අලංකාර කර දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. ටන්කා කිවිඳියනි, ඔබේ පුතු මුසුකෝ සමඟ මෙහි පැමිණ හැකිතාක් කවි
ලියන්න. මම ඔබෙන් තව එකම එක ඉල්ලීමක් කරනවා.
මේ සිදු වූ පුවත සුන්දර කතාවක් ලෙස ගොතා
කියවන්නට සලස්වන්න. නුවණක්කාර කුඩා දරුවකු රජ කෙනෙකුට ඉගැන්වූ
අපූරුතම පාඩම මෙය නොවේ දැයි අනාගතයේ දී බිහි
වන අය අහන්නට පුළුවන්."
|